Bertram Gregory Liyanage

Bertram Gregory Liyanage

Share

I am a PhD student and Teaching Assistant at Temple University, USA.

07/15/2023

මහායාන බෞද්ධයෙකුගේ ජීවිතය - 4 කොටස

මහායානිකයෙකු ලෙස මා ගත කරන ජීවිතය ගැන කියැවෙන සිව්වැනි කොටස. කරුණාකර අනෙක් කොටස් තුන කියවා ඉන්න.

5. සම්මත ඒ තරම් වැදගත් නැහැ

මං මේ ලිපිපෙළ පටන් ගත්තේ ප්‍රඥාව ගැන කියල නේ. දැන් අවසන් කරන්නේත් ඒ ගැන කියල.

යම් පුද්ගලයෙකු මහායානිකයෙකු ලෙස ජීවත් වෙනවා කියන කාරණය ඇත්තටම පටන් ගන්නේ ඔහු/ඇය ශූන්‍යතාව යනු කුමක්ද කියා වටහා ගැනීමත් සමග. ඒ නිසා, මං මෙතෙක් කී සියල්ල මට තනිවාක්‍යයකින් කියන්න කීවොතින් මට කියන්නේ වෙන්නේ ‘ශූන්‍යතා අවබෝධයෙන් ජීවත් වීම මහායානික බෞද්ධ ජීවිතය‘යි කියා.

මේක උදාහරණවලින් පෙන්වා දෙන්නම්. දැන් හිතන්න කෙනෙකු කියනවා, බෝධිපූජාවක් තියමු කියල. මහායානිකයා පින්, පවු වගේ දේවල් පස්සේ යන කෙනෙකු නෙවේ. ඒත් ඒ අවස්ථාවේ හැටියට අර පුද්ගලයාගේ හිත සතුටු වෙන්නත් එක්ක ඒ වැඩේට හා කියල බෝධිපූජාවක් තියන්න ඉඩ තියෙනවා. එහෙම කරන්නේ ඒක කළා කියා කාටවත් අහිතක් වෙන්නේ නැති නිසා.

අනෙක් අතට විශාල ධනස්න්ධයක් වැය කරල බෝහට හෝ චෛත්‍යයට වඳින්න සිදුවෙනවා නම්, මහායානිකයා බලන්නේ ඒ මුදල් තව පුද්ගලයෙකුට හෝ සමස්ත සමාජයට වඩා ඵලදායී ලෙස යොදවන්න පුළුවන්ද බැරිද කියන කාරණය. එහෙම පුළුවන් නම් ඔහු/ඇය කවමදාකවත් පින උදෙසා මෝඩ වැඩ කරන්නේ නැහැ. මොකද මහායානිකයා පින් කරන්න බයත් නැහැ, පින් කරන්න කෑදර කමකුත් නැහැ. ඔහුට/ඇයට පින කියන්නේ කොටස් වෙළෙඳපොලේ ආයෝජනය කරනවා වගේ ව්‍යාපාරයක් නෙවේ. රුවන්මැලි සෑයට පූජා කළොත් පින වැඩියි, සංඝයාට දන් දුන්නොත් පින වැඩියි වගේ කියල හිතල වැඩිපුර ලාබ ලැබෙන තැන්වල මුදල් ආයෝජනය කරන ව්‍යාපාරික මානසිකත්වය මහායානිකයාට නැහැ. ඔහු/ඇය බලන්නේ තමුන් කරන කියන දෙයින් තව කෙනෙකුට වඩාත් ප්‍රයෝජනයක් වෙන්නේ කොහොමද කියල හිතල ඒ අනුව ක්‍රියා කරන්න. ඒ තමයි ප්‍රඥාව. ශූන්‍යතාව පිළිබඳ අවබෝධය.

මහායානිකයා සමාජ සම්මතවලට බයත් නැහැ, ඉබා ගාතේ ඒවා කඩන්න යන්නේත් නැහැ. ශූන්‍යතාව දන්න කෙනා දන්නවා, මේවා කිසිම හරයක් නැති දේ බව. ඒ නිසා, ඔහු/ඇය හැමවිටම බලන්නේ ඒ සම්මතයන්වල ඇති උපයෝගිතාව විතරයි. යම් පලක් ප්‍රයෝජනයක් තියෙනවා නම් සමාජ සම්මතයන්, සංස්කෘතික හරයන් ඒ විදිහට රකින්නත්, එහෙම නැත්තං ඒවා කඩන්නත් මහායානිකයා දෙසැරයක් හිතන්නේ නැහැ.

මහායානිකයාට ජාති, ආගම් ආදි මිනිසා හදාගත් සීමා හෝ පෙරදිග අපරදිග ආදි භූගෝලීය සීමා නැහැ. ඒවා පිළිබඳ සැලකිලිමත් වෙන්නේ ඒවායේ උපයෝගිතාවක් තියෙනවා නම් විතරයි. නැත්තං අතහැරල දානව. කිසිම දේකට ඇලෙන්නේ නැහැ.

මහායානිකයා කවදාකවත් මේ තමයි පරම සත්‍යය, මේ තමයි පරමාර්ථය කියල කිසිම දේකට සීමා වෙන්නේ නැහැ. මොකද එහෙම නොවෙනස් වන එක නිත්‍යය සත්‍යයක් තියෙනවා කියා හිතීමම තමුන්ගේ චින්තනයට සීමාවක් ඇඳ ගැනීමක්. මහායානිකයා හැමවිටම විවෘත මනසකින් අලුත් දැනුම සමග ඉදිරියට යන්න සූදානමින් සිටින කෙනෙක්. ඒ නිසා තමයි, දලයිලාමා වගේ මහායාන ප්‍රධානියෙකු ප්‍රසිද්ධියේ කියන්නේ, යම් දවසක බුදුදහමින් උගන්වන දෙයක් විද්‍යාවෙන් බොරු කරල පෙන්වනවා නම්, එදාට බුදුදහම අතහැරල විද්‍යාව බාරගන්න කියා. මහායානිකයන් හිතන්නේ එහෙම.

මේ තමයි සරලවම මහායානිකයෙකු ලෙස මා ගත කරන ජීවිතය. මං විතරක් නෙවේ, ලෝකයේ බොහෝ මහායාන උගතුන්ගේ ජීවිත මේ වගේ.

මං දන්නවා මං මේ කියල තියෙන සමහර කාරණා ඔබට මහත් කම්පනයක් ඇති කරවන කාරණා බව. සමහර කරුණු මං මෙහි දැක්වූවාට වඩා විස්තර කරන්න පුළුවන් නම් වටිනවා. ඒත් ලියනවා කියන එකටත් සීමාවක් තියෙනවා නේ. ඒ නිසා, හැකි පමණ කෙටියෙන් තමා දැක්වූයේ. ඔබේ දහසකුත් ප්‍රශ්නවලට මට පිළිතුරු දෙන්න අමාරුයි. වෙලාව නැහැ. ඒ නිසා මං කැමතියි, තව දුරටත් ගැඹුරින් මහායානය හදාරන්න කියා ඔබෙන් ඉල්ලීමක් කරන්න. ඊට පස්සේ පුළුවන් නං ප්‍රශ්න අහන්න.

ඔබ පිළිගත්තත් නැතත් ඔබට මහායානය ගැන විවිධ ප්‍රශ්න ඇති වෙන්නේ ඔබ ඒ ගැන හරියට ඉගෙන ගෙන නැති නිසා. එහෙම නැත්තං ථේරවාදීන් මහායානිකයන්ට විරුද්ධව ගෙන යන අසත්‍යය ප්‍රචාරවලට ඔබ ගොදුරුවෙලා නිසා.

07/15/2023

මහායාන බෞද්ධයෙකුගේ ජීවිතය - 3 කොටස

මහායානිකයෙකු ලෙස මා ගත කරන ජීවිතය ගැන කියැවෙන තෙවැනි කොටස. කරුණාකර එක සහ දෙක කොටස් කියවා ඉන්න.

4. බෝසත් කෙනෙකු වීම

මහායානය ගැන කතා කරද්දි ලංකාවේ හැමෝගේම ඔළුවට දාලා තියෙන විකාර අදහසක් තමා මහායානකියන් රහත්වීමක් පිළිගන්නේ නැහැ බුදුවෙන්න විතරයි කල්පනා කරන්නේ කියා. මේක එක්තරා ආකාරයකට මහායානය ගැන කතා කළ නලිනක්ෂි දත්, සුසුකි වගේ මුල් කාලීන උගතුන් ගෙනා වැරදි කතාවක්. සද්ධර්මපුණ්ඩරීක සූත්‍රය වැරදියට තේරුම් ගැනීමත් මේකට එක හේතුවක්.

ඇත්තටම මහායානය කියන්නේ මෙහෙම දෙයක්. ඔබ A සාමාර්ථයක් ගන්න උත්සාහ කළොත් ඔබට B හෝ ලබා ගන්න පුළුවන්. හැබැයි ඔබ උත්සාහ කරන්නේ B වලට නම්, ඔබට එය ලැබෙන්න පුළුවන් ඒකත් නොලැබෙන්න පුළුවන්. ඒ නිසා, ඉහළම තැන වෙන බුදුවෙන්න උත්සාහ කරන්න. එවිට රහත් වෙන්න වුණත් පුළුවන්. තවත් විදිහකින් කියනවා නම්, ඒක මහායාන ජීවිතය එක්තරා තැනකට ගන්න හදපු එක උපාය මාර්ගයක් විතරයි.

අනෙක් අතට මා කීවා නේ, මහායානිකයාට මේ කිසිවක් ලොකුවට වැදගත් වෙන්නේ නැහැ කියා. ඔහුට/ඇයට වැදගත් වන්නේ දැන් මේ මොහොතේ කළ යුතු දේ නිවැරදිව කරන්නේ කෙසේද යන්න පමණයි.

මහායානයේ තියෙන්නේ පාරමිතා හයයි. භූමි දහයක් තියෙනවා. හැබැයි මේ එකක්වත් යාන්ත්‍රික නැහැ. ඒ කියන්නේ, ඔන්න දැන් මං දානපාරමිතාව පුරනවා කියා දන් දීම විතරක් කරන්නේ නැහැ. දාන, සීල, ක්ෂාන්ති ආදි කළ හැකි හැම දේම කරනවා. ජීවිතය එක්තරා රාමුවකට හිර කරගන්නේ නැහැ.

හැබැයි පාරමිතා වගේ යාන්ත්‍රික දේවල් නිසා පුද්ගලයෙකු මහායාන බෝධිසත්ත්වයෙකු වෙන්නේ නැහැ. මහායාන බෝධිසත්ත්වයෙකු වෙන්න නම් කරුණාව සහ ප්‍රඥාව තියෙන්න ඕනේ. මතක තියා ගන්න මේ දෙකම එක විදිහට තියෙන්න ඕනේ. එකක් අනෙකට වඩා අඩුවෙන්න හෝ වැඩි වෙන්න බැහැ. මේ දෙක වෙන වෙනම තියෙන්නත් බැහැ.

මෙතැන කරුණාව කියන්නේ තව කෙනෙකුගේ කරදයකදී, ‘අය්යො, අනේ’ ආදි වශයෙන් කියමින් වැළපීම හෝ ‘පවු අය්යෝ’ කියමින් මනස්තාප වීම නෙවේ. ප්‍රඥාව කියා අදහස් කරන්නේත් බරපතල ගණිත ගැටලු විසඳනවා වගේ දෙයක් නෙවේ. මේක මං උදා. පැහැදිලි කරන්නම්.

දැන් හිතන්න, කිසියම් පුද්ගලයෙකු බරපතල රෝගයකින් පෙළෙනවා. වෛද්‍යවරු කියනවා එයාව මොන විදිහකින්වත් හොඳ කරන්න බැහැ කියා. මෙන්න මේ වගේ අවස්ථාවක මහායානික බෝධිසත්ත්වයන් කරන්නේ ඒ පුද්ගලයාව මරා දැමීම. එහෙම කරන්නේ, හේතු දෙකක් නිසා.
1. බෝධිසත්ත්වයන් දන්නවා තවදුරටත් ප්‍රතිකාර කර වැඩක් නැහැ, මැරෙනවා කියා (ප්‍රඥාව)
2. ඉක්මනට මැරුණොතින් දවස් ගාණක් දුක් විඳ විඳ ගතකරන ජීවිතයට වඩා රෝගියාට සැනසීමක් ලැබෙනවා කියා (කරුණාව)

(මං දන්නවා, මේ කතාවට ථේරවාදී බෞද්ධයන් කම්පා වෙනවා. ඒ කම්පාව එල්.ටී.ටී.ඊ. එක කෙරෙහිත් තිබ්බානං කියා එවිට මහායානිකයා අහන්න ඉඩ තියෙනවා. )

තව දුරටත් මේ මරන කතාව පැහැදිලි කළොත් මහායානිකයා එය කරන්නේ ඒ මොහොතේ කළ යුතු හොඳම දේ එය බව දන්න නිසා. නැතිව, පෞද්ගලික රුචි-අරුචිකම්, විශ්වාස, සාම්ප්‍රදායික මත ආදියට බය වෙලා, යට වෙලා නෙවේ.

මේකෙන් ඔබට තේරෙන්න ඕනේ මහායාන බෝධිසත්ත්වයෙකු වීම අතිශය අමාරු කාරණයක් කියා. ඒ බෝධිසත්ත්වයන් ජාතකපොතේ ඔබ දැක ඇති බෝධිසත්ත්වයන්ට වඩා සම්පූර්ණයෙන් වෙනස්. ඒ නිසා යාන්තං සැසැඳීමක්වත් කරන්න එපා.

මෙහි අනෙක් පැත්තත් එහෙම තමා. හිතන්න, යම් පුද්ගලයෙකුගේ ජීවිතය බේරා ගන්න පුළුවන් එකම ක්‍රමය තමුන්ගේ ජීවිතය පරිත්‍යාග කිරීම කියා. මහායාන බෝධිසත්ත්වයෙකු ඒක කරන්න දෙසැරයක් හිතන්නේ නැහැ.

දැන් ඔබ අහයි මේ විදිහට බැලුවාම පව්, පින් වගේ දේවල් ප්‍රාණඝාතය වගේ සිල්පදවලට මොකද වෙන්නේ කියා. මහායානිකයාට අනුව, සිල්පද තියෙන්නේ විචාරපූර්වකව කල්පනා කරන්න බැරි අයට ජීවිතය හදා ගන්න. පව්, පින් තියෙන්නේත් හිතන්න බැරි අයට සරල ආකෘතියක් ඇතුළේ ජීවත් වෙන්න. සැබෑ ලෝකයේදී හොඳ, නරක, පව්, පින්, ආදි සියල්ල හරිම සංකීර්ණ කාරණා. ඒවා ඒ අවස්ථාව, සම්බන්ධවෙලා ඉන්න පුද්ගලයන්, කාලය වගේ බොහෝ දේවල් මත තීරණය වෙනවා. මේ නිසා ‘සතුන් මරන්න එපා’ වගේ ඍජු නීති ඇඳල හොඳ නරක වෙන් කරන්න බැහැ. ඒ අවස්ථාව නිවැරදිව විග්‍රහ කරගන්න තරම් ප්‍රඥාවක් තියෙන්න ඕනේ, කළ යුතු නිවැරදිවම ක්‍රියාව තෝරාගන්න තරම් කරුණාව තියෙන්න ඕනේ.

දැන් ඔබට තේරෙනවා ඇති මහායානය තුළ බෝධිසත්ත්වයෙකු වීම මොන තරම් අමාරු වැඩක්ද කියා. ඒ වගේම ඒක හැමෝටම කරන්න බැරි බවත් තේරෙනවා ඇති. ඒ නිසා තමයි, අර මුලින් කිව්ව විදිහට හැමෝම බුදුවෙන්න පතන්න ඕනේ කියන කතාව මහායානය සම්බන්ධයෙන් අර්ධ-සත්‍යයක් වන්නේ.

මං කවදාකවත් මාව හඳුන්වල නැහැ බෝධිසත්ත්වයෙකු ලෙස. ඒත් මහායාන බෝධිසත්ත්වයෙකු වෙන්න මං උත්සාහ කරනවා. ඒ මහායාන බෞද්ධ ජීවිතයේ මා ලබා ඇති අභියෝගයක්.

මහායානිකයාගේ දෛනික ජීවිතය ගැන ඊළඟ කොටසින්

07/15/2023

මහායාන බෞද්ධයෙකුගේ ජීවිතය - 2 කොටස

මහායානිකයෙකු ලෙස මා ගත කරන ජීවිතය ගැන කියැවෙන දෙවැනි කොටස. කරුණාකර පළමු කොටස කියවා ඉන්න.

3. නිවන නොවෙයි වැදගත් මාර්ගයයි වැදගත්

පාරමිතා පුරල බුදු වෙන කතාවක් ඔබට පාසලෙන් දහම්පාසලෙන් උගන්වල ඇති කියා මං විශ්වාස කරනවා. මං කියන්න කැමැතියි ඒ තමයි ථේරවාදීන් මහායානිකයන් දැකපු විදිහ. ඒත් මහායානය ඊට ගවුගාණක් ඈතින් ඉන්නේ.

මහායානය ඇතුළේ සංසාරය, නිවන, කර්මය, පුනරුත්පත්තිය, දිව්‍යලෝක, අපාය වගේ දේවලුත් ස්‍රොතාපන්න, සකෘදාගාමී, අනාගාමී, අර්හත්, බුද්ධ, ප්‍රත්‍යේකබුද්ධ වගේ සංකල්පත්, පාරමිතා, බෝධිසත්ත්වභූමි වගේ සංකල්පත් තියෙනවා. හැබැයි මේ සේරම තියෙන්නේ ධර්මය නිසියාකාරව තේරුම් ගන්න බැරි මිනිසුන්ට යහපත් ජීවිතයක් ගත කරන්න විතරයි.

මහායානය තුළ ප්‍රඥාව දියුණු කරන කෙනා දන්නවා සංසාරය, නිවන, කර්මය යනාදි උඩ කී සියල්ල හුදු සංකල්ප විතරක් බව. අෂ්ටසාහස්‍රිකා ප්‍රඥාපාරමිතා වගේ සූත්‍රයක ඒ සියල්ල නොපවතින දේවල් හැටියට ප්‍රතික්ෂේප කරනවා. ඒවායේ ගතයුතු හරයක්වත් ඇත්තක්වත් නැහැ. මේක ටිකක් අමාරු අවස්ථාවක්. ඔවුන් මෙය ‘ශූන්‍ය’ යන වචනයෙන් තමයි හඳුන්වන්නේ. මහායානයේ කියන විදිහටම මෝඩයෙකුට කිව්වාම නිවන, බුද්ධත්වය වගේ දේවල් නැහැ කියා, ඔහු/ඇය බය වෙනවා. එහෙනම් අපි මේ පින් කරන්නේ, පාරමිතා පුරන්නේ මොකටද වගේ මෝඩ ප්‍රශ්න අහනවා. බුද්ධිමතා ඒ ශූන්‍යතාව අසා සැනසෙනවා.

අපි ගොඩක් දුර යන්නේ නැතිව මෙහෙම හිතමු. අපි කොහොමද දන්නේ සංසාරයක් තියෙනවා කියා. එහෙම දැනුමක් අප කාටවත් නැහැ. අප කරන්නේ බුදුදහම ඉගැන්වූ දෙයක් විශ්වාස කිරීම. ඒ විශ්වාස මත පිහිටල - තවත් විදිහකින් කියනවා නම් තහවුරු කර ගන්න බැරි දැනුමක් මත පිහිටල - අප හිතනවා අපට සංසාරය නතර කරන්න පුළුවන්, නිවන කියන්නේ එය බව. බලං යද්දී පටන් ගන්න තැනම අපි හරියට දන්නේ නැහැ. ඉතිං අවසානය දැන ගන්නේ කොහොමද?

නාගාර්ජුන හාමුදුරුවන් අහන වැදගත්ම ප්‍රශ්නය තමා යමක බීජය බොරුවක් නම් එයි හටගන්න පැලය ඇත්ත වෙන්නේ කොහොමද කියා. අපි හරියටම දන්නේ නැති දෙයක් දන්නවා කියල හිතාගෙන අනිත් දේවලුත් ඒ විදිහටම හිතා ගන්න හදන්නවා.

මේ නිසා, මහායාන බෞද්ධයා කර්මය, සංසාරය, පින්, පව් වගේ දේවල් ගැනත් නිවන ගැනත් එච්චර හිතන්නේ නැහැ. ඔහුට/ඇයට වැදගත් වෙන්නේ මාර්ගය පමණයි. ඒක මෙහෙමයි.

දැන් හිතන්න, නිවන කියන්නේ ඇත්තක්. ඒක ලැබුවාම සංසාරය නැතිවෙනවා කියා. නිකමට හිතන්න මේක ඇත්තම ඇත්ත කියා. දැන් ඉතිං ඒ නිවන කියන දේ ලබා ගන්න මිනිසා කළ යුත්තේ මොනවාද? තර්කානුකූලව හිතීම, හොඳ දේවල් කල්පනා කිරීම, යහපත් වචන කතා කිරීම, යහපත් වෘත්තීන්හි නියැලීම, හිත දමනය කර ගැනීම, අනුන්ට උපකාර කිරීම වගේ දේවල්. ඉතිං මේ දේවල් කරගෙන යනකොට නිවන කියන්නේ ඇත්තක් නම්, අපට නිවන ලබා ගන්න පුළුවන්. හිතන්න, නිවන කියන්නේ සම්පූර්ණ බොරුවක්, බුදුහාමුුදුරුවන් අපව ගොනාට අන්දල තියෙන්නේ කියා. ඒත් අර උඩින් කියාපු දේවල කළා කියා මිනිසාට හෝ සමාජයට සිදුවන හානිය මොකද්ද? හැමෝම අවසානයේදී සතුටින්පිරි ජීවිත ගත කිරීම නෙවේද වෙන්නේ? මහායානිකයාට වැදගත් වෙන්නේ අන්න ඒ කොටස විතරයි.

ඒ නිසා, මහායාන බෞද්ධයෙකු හැටියට මට නිවන වැදගත් නැහැ. වැදගත් වෙන්නේ මාර්ගය විතරයි.

බෝසත්කම ගැන ඊළඟ කොටසින්

07/15/2023

මහායාන බෞද්ධයෙකුගේ ජීවිතය - 1 කොටස

ලංකාවේ අය කවදාකවත් මහායාන බෞද්ධයෙකුව ඇසුරු කර නැහැ. යාන්තමට දැක ඇත්තේද ජපානය ආදි ඈත පෙරදිග රටක හෝ ටිබෙටය වගේ රටක ඉන්න කෙනෙකුව පමණයි. ඒත් ඒ අයගේ ජීවිතය මොනවගේද ඒ අය හිතන්නේ පතන්නේ මොනවගේද කියා අපේ අයට තේරුම් ගන්න අමාරුයි.

මං කීපවතාවක්ම මාව මහායාන බෞද්ධයෙකු වශයෙන් හඳුන්වා දී තිබෙනවා. එතකොට ඇත්තටම වෙන්නේ එය අහං ඉන්න කෙනා, එක්කෝ මාව මිථ්‍යාදෘෂ්ටිකයෙකු හෝ පිස්සෙකු වශයෙන් සලකනවා, එහෙම නැත්තං මහායානය යනු මෙන්න මේකයි කියා ථේරවාදීන් හදල දීපු වැරදි රාමුවක් ඇතුළට මාව දාලා ඒ අනුව මං දිහා බලනවා.

මේ නිසා, මං හිතුවා මගේ මහායාන ජීවිතය ගැන යම් පැහැදිලි කිරීමක් කරන්න.

1. වැදගත් වන්නේ ප්‍රඥාව - අභිචාරවිධි නෙවේ

මහායාන බෞද්ධයෙකු බවට පත්වෙන්න අමුතු ක්‍රමයක් නැහැ. ඒත් සමහර සම්ප්‍රදායයන්වල බෝධිසත්ත්ව ශික්ෂා සමාදන් වීම වගේ දේවල් තියෙනවා. ඒවා ඇත්තටම යම් සමාජ සම්මතයක් රැක ගන්න කරන දේවල්. රටට ලෝකයට පේන්න මං බෝධිසත්ත්ව ශික්ෂා සමාදන් වුණා කියා උත්සව ගන්න, ඡායාරූප ගෙන මූණුපොතේ දාන්න කාටත් පුළුවන්. දලයිලාමා වහන්සේ සමග ඡායාරූප අරගෙන පෙන්වන්න කාටත් පුළුවන්. ඒත් තමුන්ගේ අභ්‍යන්තරය වෙනස් වෙන්නේ නැතිනම්, චින්තනය වෙනස් වෙන්නේ නැති නම් ඒ කිසිවකින් තමුන්ට මහායානිකයෙකු වෙන්න බැහැ.

සැබෑවටම මහායාන බෞද්ධයා බිහි වෙන්නේ විචාරපූර්වක චින්තනය මඟින්. කොටින්ම කියනවා නම් සම්‍යග්දෘෂ්ටිය පහළ කරගැනීම මඟින්. ඒ සඳහා ප්‍රශ්නය නිවැරදිව වටහා ගැනීම, එයට හේතු සෙවීම, ඒ හෙතු නැති කළ හැකි සම්භාවිතාව අවබෝධ කරගැනීම සහ ඒ සඳහා ගතහැකි ක්‍රියාමාර්ග ඇත්නම් ඒවා අනුගමනය කිරීම යන කරුණු හතරම ඇතුළත්. මේ අතුරින් වඩාත්ම අමාරු ප්‍රශ්නය තේරුම් ගැනීම. ඒ සඳහා මනාව ප්‍රගුණ කළ දාර්ශනික/තාර්කික චින්තනයක් අවශ්‍යයි. මේ නිසා, මහායානයට අනුව, බෞද්ධයා බිහි වෙන්නේ, ‘බුද්ධම් ශරණම් ගච්ඡාමි’ යයි කීම මඟින් නෙවේ. සියල්ල තාර්කිකව හිතන්න පුරුදු වීම මඟින්. මහායාන ජීවිතය පටන් ගන්නේ එහෙම.

ප්‍රශ්නය වටහා ගත්තාම ඊළඟට කරන්න ඕනේ එයට හේතුව වටහා ගැනීම. ඒක බුදුහාමුදුරුවන් මහනිදාන ආදි සූත්‍රවල පෙන්වල දීලා තියෙනවා. සරලව කිව්වොත්, y හට ගන්නේ x නිසා නම් x නැති වුණාම y නැති වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැත්තං x කියන්නේ y හට ගැනීමේ හේතුව නෙවේ. උදා. ළමයා විභාගය සමත් වෙන්නේ බෝධිපූජා තිබ්බාම නම් බෝධිපූජා නොතිබ්බ ළමයි විභාගය ෆේල් වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැත්තං බෝධිපූජාව විභාගය සමත්වීමට හේතුවක් නොවේ. මේ විදිහට හිතල හේතුව වටහා ගැනීමත් ඒ අනුව ජීවත් වීමත් තමා මහායාන ජීවිතය.

ප්‍රශ්නයකට හේතුව නිවැරදිව වටහා ගත්තාම ඒ හේතුව නැති කිරීම තමයි ඒ ප්‍රශ්නයට උත්තරය වෙන්නේ. හැබැයි ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් වෙන්න ඕනේ. අපට උත්තරයක් තිබුණත් එය ප්‍රායෝගික නැත්තං ඒ ගැන හිතල වැඩක් නැහැ. ඒ ප්‍රශ්නය වෙනුවෙන් කාලය කැප කරන එක පවා අපරාදයක්. අනෙක් අතට උත්තරයක් තියෙනවා නම් ඒක ප්‍රායෝගික නම් එය ක්‍රියාත්මක කරන්න ඕනේ. ශාන්තිදේව හාමුදුරුවන් බෝධිචර්යාවතාරයේදී පැහැදිලි කළේ එහෙම. මහායාන බෞද්ධයා ජීවිතය ගත කරන්නේ එහෙම.

2. සත්‍යයට අයිතිකාරයෙකු නැහැ

පිරිසිදු බුද්ධ දේශනාව කුමක්ද, නිර්මල බුද්ධවචනය කුමක්ද වගේ කරුණු ගැන මහායානිකයා උනන්දු නැහැ. ඇයිද කියනවා නම්, අප අද බුද්ධ දේශනා කියා හදාරන දේ ඇත්තටම බුදුහාමුදුරුවන් දේශනා කළාද නැද්ද වගේ කාරණා තහවුරු කරගන්න විදිහක් නැහැ. විශ්වාස කරන්න ඕනැ කෙනෙකුට පුළුවන්. ඒත් විශ්වාස කිරීම යනු යමක් ඇත්ත බව තහවුරු කිරීම නෙවේ.

මේ නිසා, මහායාන බෞද්ධයා මේ විදිහට කල්පනා කරනවා. සත්‍යය යන්නට අයිතිකාරයෙකු ඉන්න විදිහක් නැහැ. යමක් සත්‍යය නම් බුදුහාමුදුරුවන් දේශනා කළත් නොකළත් එය සත්‍යය. එහෙම නම්, වැදගත් වන්නේ යමක් සත්‍යයද කියා අපේ පෞද්ගලික අත්දැකීම් ඇසුරින් තේරුම් ගැනීම මිස, ඒක බුදුහාමුදුරුවන් දේශනා කළාද නැද්ද කියා සෙවීම නෙවේ.

ඒ අනුව, යමක් බයිබලයේ හෝ කුරානයේ තිබුණත් එය සත්‍යය නම් පිළිගැනීමටත් යමක් ත්‍රිපිටකයේ තිබුණත් එය අසත්‍යය නම් ප්‍රතික්ෂේප කිරීමටත් මහායාන බෞද්ධයා දෙසැරයක් හිතන්නේ නැහැ. මොකද ගනුදෙනුව තියෙන්නේ සත්‍යාසත්‍යය කියන කරුණ මත මිසක බුදුහාමුදුරුවන් කියන පුද්ගලයා සමග නෙවේ.

නිවන කියන්නේ සත්‍යාවබෝධය නම්, අප සත්‍යය වෙත ළං වෙන්න වෙන්න, නිවනට සමීප වෙනවා මිස නිවනින් ඈත් වෙන්නේ නැහැ. ඒ නිසා, සූත්‍රයක හෝ වෙනත් කෘතියක අකුරු හෝ වචන අල්ලාගෙන දඟලන්න මහායානිකයා උනන්දු වෙන්නේ නැහැ. ජීවිතාවබෝධයයි වඩා වැදගත්. ලෝකයේ හැම රටකම මහායානිකයන් අනෙක් ආගම්වල අය සමග ඉතා සුහද කටයුතු කරන්නේ මේ අවබෝධය නිසයි. මං මහායානික බෞද්ධයෙකු වෙන්නේ එහෙමයි.

නිවන සහ තවත් කරුණු ඊළඟ කොටසින්

04/17/2023

අවබෝධය වචනවලට පෙරළීම

ඔබට යමක් සරලව කියන්න බැරි නම් එය ඔබට මනාව වැටහිල නැහැ කියන කතාව ඔබ අහල ඇති කියල මං විශ්වාස කරනවා. මට මතක විදිහට ඔය කතාව කිව්වේ අයින්ස්ටෛන්. මං හිතන්නේ නැහැ අයින්ස්ටෛන් ඔය කතාව ඥානවිභාගාත්මක අර්ථයකින් කිව්වා කියා. ඒ විතරකුත් නෙවේ, මං හිතන්නේ නැහැ අයින්ස්ටෛන්ට භෞතිකවිද්‍යාව ගැන දැනුමක් තිබුණට ශාස්‍ත්‍රවිෂයයන් ගැන ඒ හැටි අවබෝධයක් තිබුණා කියා. ඒ නිසා, අයින්ස්ටෛන් කියපු කතාව ඕනෑවට වඩා දුරදිග ගෙන ගියෝත් වෙන්නේ වැරදි වැටහීමක්.

ව්‍යවහාර වර්ෂ 2 වන සියවෙස් පතඤ්ජලී මහාභාෂ්‍ය ලියපු දවසේ සිටම පෙරදිග මිනිසුන් දැන ගෙන හිටියා භාෂාව සහ පුද්ගල අත්දැකීම් අතර පියවන්න බැරි පරතරයක් තියෙනවා කියා. උදා. විදිහට අප දකින වර්ණ ගැන හිතන්න. අපට ගහක තියෙන කොළයක කොළ පැහැය, කමිසයක තියෙන කොළ පැහැය, පෝසිලේන් කෝප්පයක තියෙන කොළ පැහැය වෙන් කොට අඳුනන්න පුළුවන්. ඒත් ඒ විවිධ කොළ පාට වචනයෙන් කියන්න කීවෝත් අපට ඒක කියා ගන්න බැරි වෙන්න පුළුවන්. මේක පුද්ගලයෙගන් පුද්ගලයට වෙනස් වෙනවා. අයන් මෑන් යානයේ කාර්මික දෝෂය ගැන කරන පැහැදිලි කිරීම කැප්ටන් ඇමරිකාට තේරෙන්නේ නැහැ. මොකද ඒ අදාළ ශිල්පීය වචනමාලාව කැප්ටන් දන්නේ නැහැ. මේ විදිහට භාෂාව ඉතා හොඳින් ප්‍රගුණ කළ කෙනෙකුට එසේ නැති කෙනෙකුට වඩා හොඳට සිය අත්දැකීම් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒත් කොතැනකවත් නැහැ සමස්ත මිනිස් අත්දැකීම් වචනවලට පෙරළන්න පුළුවන් භාෂාවක්. එහෙම එකක් කවුරුන් හෝ ප්‍රගුණ කළත් ඒ භාෂාව කාටවත් තේරෙන්නේ නැහැ. නිකමට හිතන්න මං අත්විඳින හැම දේම වචනවලින් කියන්න තරම් මට වචන තියෙනවා කියා. ඒත් ඒවා අහන ඔබ දන්නේ නැති නම් මට ඒ වචන භාවිත කර මගේ අදහස කියන්න බැහැ. යම් වචනයක් මායි ඔබයි දෙන්නම දන්නවා කියන එකේ තේරුම අප දෙදෙනාටම ඒක එක විදිහට වැටහෙනවා කියන එක නෙවේ. උදා. ලෙස මං ‘පූසා’ කියා කියන විට ඔබට තේරෙනවා මං කියන්නේ මොකද්ද කියා. ඒත් මං ‘පූසා’ කියන විට මගේ හිතේ ඇඳෙන පූසා සමහර විට කළුපාට එකෙක් විය හැකියි. ඔබේ හිතේ ඇඳෙන්නේ සුදු පුල්ලි තියෙන පූසෙකු විය හැකියි. වචනය තේරුණාට මං හිතපු දේ ඒ විදිහටම මට ඔබට දෙන්න බැරි වෙනවා. විශාල පැහැදිලි කිරීමක් කරල යම් එකඟ බවකට එන්න පුළුවන් වුණත්, කොතැනක හරි කියා ගන්න බැරි වන දෙයක් තියෙනවා. (විට්ගන්ටෛන් පෞද්ගලික භාෂාව ගැන කියපු දේවලුත් හොයල බලන්න.) ඉතිං මෙන්න මේ තත්ත්වය පෙරදිග දර්ශනය තුළ යටත් පිරිසෙයින් අවුරුදු 1000ක් පමණ කාලයක් සාකච්ඡා කරල තියෙනවා. ඔවුන් හැමෝම අවසානයේදී පිළිගන්න දේ තමයි වචනවලින් කියා ගන්න බැරි ඒත් මිනිසාට අවබෝධ කරන්න පුළුවන් දේ කියා කොටසක් මේ ලෝකයේ තියෙන බව.

ශූන්‍යතාව වැටෙන්නේ ඔන්න ඔය කොටසට. ඉතිං කවුරුන් හෝ ඉල්ලීමක් කරනවා නම්, ඔබට ශූන්‍යතාව ගැන අවබෝධයක් තියෙනවා නම් ඒක සරලව කියන්නකෝ කියා, ඒක පෙරදිග දර්ශනයට අනුව මෝඩ ඉල්ලීමක්. මොකද අර මුලින් අයින්ස්ටෛන් කියපු නිර්ණායකයට අනුව ඔබට ශූන්‍යතාව සරලව කියා දෙන්න බැරි ඔබ එය නිවැරදිව වටහා ගෙන නැති නිසයි කියා චෝදනාවක් එල්ල කළොත් නාගාර්ජුනත් ශූන්‍යතාව දන්නේ නැහැ කියා තමයි කියන්න වෙන්නේ. ඒත් ඔහු බෞද්ධ ශූන්‍යතාවාදයේ ආදිකර්තෘ.

බර්ට්‍රම් ජී. ලියනගේ

The Quandary of Nirvana: Or, why become a monk 11/12/2022

I would like to question some trends in Buddhism. This is one such that.

The Quandary of Nirvana: Or, why become a monk If you ask, “is there nirvana?” that can be either a religious or philosophical question. But if you ask, “can I achieve nirvana?” or…

Want your school to be the top-listed School/college in Philadelphia?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


1154 S Carlisle Street
Philadelphia, PA
19146