07/15/2023
මහායාන බෞද්ධයෙකුගේ ජීවිතය - 4 කොටස
මහායානිකයෙකු ලෙස මා ගත කරන ජීවිතය ගැන කියැවෙන සිව්වැනි කොටස. කරුණාකර අනෙක් කොටස් තුන කියවා ඉන්න.
5. සම්මත ඒ තරම් වැදගත් නැහැ
මං මේ ලිපිපෙළ පටන් ගත්තේ ප්‍රඥාව ගැන කියල නේ. දැන් අවසන් කරන්නේත් ඒ ගැන කියල.
යම් පුද්ගලයෙකු මහායානිකයෙකු ලෙස ජීවත් වෙනවා කියන කාරණය ඇත්තටම පටන් ගන්නේ ඔහු/ඇය ශූන්‍යතාව යනු කුමක්ද කියා වටහා ගැනීමත් සමග. ඒ නිසා, මං මෙතෙක් කී සියල්ල මට තනිවාක්‍යයකින් කියන්න කීවොතින් මට කියන්නේ වෙන්නේ ‘ශූන්‍යතා අවබෝධයෙන් ජීවත් වීම මහායානික බෞද්ධ ජීවිතය‘යි කියා.
මේක උදාහරණවලින් පෙන්වා දෙන්නම්. දැන් හිතන්න කෙනෙකු කියනවා, බෝධිපූජාවක් තියමු කියල. මහායානිකයා පින්, පවු වගේ දේවල් පස්සේ යන කෙනෙකු නෙවේ. ඒත් ඒ අවස්ථාවේ හැටියට අර පුද්ගලයාගේ හිත සතුටු වෙන්නත් එක්ක ඒ වැඩේට හා කියල බෝධිපූජාවක් තියන්න ඉඩ තියෙනවා. එහෙම කරන්නේ ඒක කළා කියා කාටවත් අහිතක් වෙන්නේ නැති නිසා.
අනෙක් අතට විශාල ධනස්න්ධයක් වැය කරල බෝහට හෝ චෛත්‍යයට වඳින්න සිදුවෙනවා නම්, මහායානිකයා බලන්නේ ඒ මුදල් තව පුද්ගලයෙකුට හෝ සමස්ත සමාජයට වඩා ඵලදායී ලෙස යොදවන්න පුළුවන්ද බැරිද කියන කාරණය. එහෙම පුළුවන් නම් ඔහු/ඇය කවමදාකවත් පින උදෙසා මෝඩ වැඩ කරන්නේ නැහැ. මොකද මහායානිකයා පින් කරන්න බයත් නැහැ, පින් කරන්න කෑදර කමකුත් නැහැ. ඔහුට/ඇයට පින කියන්නේ කොටස් වෙළෙඳපොලේ ආයෝජනය කරනවා වගේ ව්‍යාපාරයක් නෙවේ. රුවන්මැලි සෑයට පූජා කළොත් පින වැඩියි, සංඝයාට දන් දුන්නොත් පින වැඩියි වගේ කියල හිතල වැඩිපුර ලාබ ලැබෙන තැන්වල මුදල් ආයෝජනය කරන ව්‍යාපාරික මානසිකත්වය මහායානිකයාට නැහැ. ඔහු/ඇය බලන්නේ තමුන් කරන කියන දෙයින් තව කෙනෙකුට වඩාත් ප්‍රයෝජනයක් වෙන්නේ කොහොමද කියල හිතල ඒ අනුව ක්‍රියා කරන්න. ඒ තමයි ප්‍රඥාව. ශූන්‍යතාව පිළිබඳ අවබෝධය.
මහායානිකයා සමාජ සම්මතවලට බයත් නැහැ, ඉබා ගාතේ ඒවා කඩන්න යන්නේත් නැහැ. ශූන්‍යතාව දන්න කෙනා දන්නවා, මේවා කිසිම හරයක් නැති දේ බව. ඒ නිසා, ඔහු/ඇය හැමවිටම බලන්නේ ඒ සම්මතයන්වල ඇති උපයෝගිතාව විතරයි. යම් පලක් ප්‍රයෝජනයක් තියෙනවා නම් සමාජ සම්මතයන්, සංස්කෘතික හරයන් ඒ විදිහට රකින්නත්, එහෙම නැත්තං ඒවා කඩන්නත් මහායානිකයා දෙසැරයක් හිතන්නේ නැහැ.
මහායානිකයාට ජාති, ආගම් ආදි මිනිසා හදාගත් සීමා හෝ පෙරදිග අපරදිග ආදි භූගෝලීය සීමා නැහැ. ඒවා පිළිබඳ සැලකිලිමත් වෙන්නේ ඒවායේ උපයෝගිතාවක් තියෙනවා නම් විතරයි. නැත්තං අතහැරල දානව. කිසිම දේකට ඇලෙන්නේ නැහැ.
මහායානිකයා කවදාකවත් මේ තමයි පරම සත්‍යය, මේ තමයි පරමාර්ථය කියල කිසිම දේකට සීමා වෙන්නේ නැහැ. මොකද එහෙම නොවෙනස් වන එක නිත්‍යය සත්‍යයක් තියෙනවා කියා හිතීමම තමුන්ගේ චින්තනයට සීමාවක් ඇඳ ගැනීමක්. මහායානිකයා හැමවිටම විවෘත මනසකින් අලුත් දැනුම සමග ඉදිරියට යන්න සූදානමින් සිටින කෙනෙක්. ඒ නිසා තමයි, දලයිලාමා වගේ මහායාන ප්‍රධානියෙකු ප්‍රසිද්ධියේ කියන්නේ, යම් දවසක බුදුදහමින් උගන්වන දෙයක් විද්‍යාවෙන් බොරු කරල පෙන්වනවා නම්, එදාට බුදුදහම අතහැරල විද්‍යාව බාරගන්න කියා. මහායානිකයන් හිතන්නේ එහෙම.
මේ තමයි සරලවම මහායානිකයෙකු ලෙස මා ගත කරන ජීවිතය. මං විතරක් නෙවේ, ලෝකයේ බොහෝ මහායාන උගතුන්ගේ ජීවිත මේ වගේ.
මං දන්නවා මං මේ කියල තියෙන සමහර කාරණා ඔබට මහත් කම්පනයක් ඇති කරවන කාරණා බව. සමහර කරුණු මං මෙහි දැක්වූවාට වඩා විස්තර කරන්න පුළුවන් නම් වටිනවා. ඒත් ලියනවා කියන එකටත් සීමාවක් තියෙනවා නේ. ඒ නිසා, හැකි පමණ කෙටියෙන් තමා දැක්වූයේ. ඔබේ දහසකුත් ප්‍රශ්නවලට මට පිළිතුරු දෙන්න අමාරුයි. වෙලාව නැහැ. ඒ නිසා මං කැමතියි, තව දුරටත් ගැඹුරින් මහායානය හදාරන්න කියා ඔබෙන් ඉල්ලීමක් කරන්න. ඊට පස්සේ පුළුවන් නං ප්‍රශ්න අහන්න.
ඔබ පිළිගත්තත් නැතත් ඔබට මහායානය ගැන විවිධ ප්‍රශ්න ඇති වෙන්නේ ඔබ ඒ ගැන හරියට ඉගෙන ගෙන නැති නිසා. එහෙම නැත්තං ථේරවාදීන් මහායානිකයන්ට විරුද්ධව ගෙන යන අසත්‍යය ප්‍රචාරවලට ඔබ ගොදුරුවෙලා නිසා.