නෙතු කවුළු

නෙතු කවුළු

Share

විශ්වය දකින්නට කවුළුවක්
An eye beyond the Universe

26/11/2023

"මේ අඹ ගසේ තියෙන අඹ වලින් ටිකක් කඩාගත්තට කමක් නැද්ද?”
දින දෙක තුනක් තිස්සේ නිල නිවසේ නතර වී සිටි පරණවිතාන මහතාගේ වැඩිමහල් සොහොයුරි සේවකයකුගෙන් ඇසුවාය. එසේ අසා මඳ වේලාවක් අඹ ගෙඩිවලින් අතු ඉති බරවී තිබූ අඹ ගස දෙස නෙත් හෙළා සිටියාය.
”කමක් නැහැ. නෝනා මහත්තයා ඒත් අපේ ලොකු මහත්තයගෙන් අවසර ගත්තොත් මල්ලක් පිරෙන්න අඹ කඩල දෙන්න පුළුවන්.” ඩිංගිරි නම් වූ සේවකයා ඇයට කීය.
”මේ අඹවලට මෙහෙමම ඉදෙන්න අරිනවද?” ඊළඟට ඈ ඇසුවාය.
”වෙන මොනව කරන්නද? ඔය දවල් වෙන කොට වඳුරු රංචුවක් ඒවි. උන්ගෙන් නම් අඹ ගහ බේරාගන්න බැහැ.”
”ඇයි උන්ව එලවන්නේ නැද්ද?”
”ලොකු මහත්තයා ඒකට ඉඩ දෙන්නේ නැහැ. ලොකු මහත්තයා කියන්නේ සතුන්ගේ පංගුව සතුන්ට දෙන්න ඕන කියල.”
”එතකොට අපේ මල්ලි අවසර දුන්නොත් අඹ ටිකක් කඩා ගන්න පුළුවන් ද?”
”මොකද බැරි?”
”මං හැන්දෑවේ ගෙදර යන්නයි කල්පනා කෙරුවෙ?”
ඉන් පසුව ඇය තම සොහොයුරා වැඩ කරමින් සිටින කන්තෝරු කාමරය දෙසට ගියාය. තම සොහොයුරා උදේ පාන්දර තේ එක බීමෙන් පසුව එක දිගටම කුමක්දෝ ලියමින් හා කියවමින් සිටින අයුරු දැක ගත්තාය. එබඳු වෙලාවකදී තමන්ගේ සොහොයුරා වුවද කතාබහට යාමට ඇය පි‍්‍රය නොකළාය.
”මල්ලිට මල්ලිගෙ වැඩ කටයුතු තමන්ගේ පාඩුවේ කරගෙන යන්නට ඉඩ දෙන්න ඕන. මම ආවේ මල්ලිට උදව් පදව් කරන්න මිසක් වෙන අහවල් දේකට යැ.” ඇය කල්පනා කරමින් ඉස්තෝප්පුවේ හිඳ ගත්තාය. ඇයට උවමනා කර තිබුණේ කොයියම් මොහොතකදී හෝ තම සොහොයුරා හුනස්නෙන් නැගිට සිටියහොත් කතා බහ කරන්නය.
”මල්ලියේ අර අඹ ගහෙන් අඹ ටිකක් කඩාගත්තට කමක් නැද්ද?” තමන් විසින් ඇසිය යුතු වූ ප්‍රශ්නයට සුදුසු වචන ඇය සිතින් ගළපා ගත්තාය. එතෙක් ඇය කල්පනා කරමින් සිටියාය. කොයි මොහොතකදී හෝ ඔහු තමන් සිටින පැත්තට ඇස් හරවනු ඇත. ඒ මොහොත එළඹෙනු තුරු නිශ්ශබ්ද වී සිටිය යුතුය. නිල නිවාසය පිහිටි වත්තේ කුරුල්ලන්ගේ සංගීත සංධ්වනිය හිමිදිරි යාමයේ දී අපූරුවට ඇසිණ. කෙමෙන් හිරු නැගෙත්ම ඒ සංධ්වනිය මැකී යයි. එහෙත් ඉඳහිට අත්තක ලැගගත් කුරුල්ලකු නඟන ගීතය ඇසේ. පරණවිතාන මහතා ලියමින් සිට එකවරම එය නතර කොට ඉස්තෝප්පුව දෙසට දෑස් යොමු කරනු අක්කා දුටුවාය.
”මල්ලී...”
”ආ අක්කනේ.”
”මල්ලිට බාධාවක් දන්නේ නෑ පොඩි කාරණයක්?”
”මොකක්ද?”
”අර පිටිපස්සේ අඹ ගහෙන් අඹ ටිකක් කඩාගත්තට කමක් නැද්ද මල්ලියේ?”
”ඔය ඩිංගිරිට කියල ඒක කරගන්න බැරියැ.”
”කමක් නැද්ද එහෙම කළාට?”
”හ්ම්.”
ඔහු නැවතත් තම කාර්යය පටන් ගත් බවක් පෙනිණි. “හ්ම්” කීවේ ඒ නිසාය. එහෙත් දැන් නිසි අවසරය ලැබී ඇති. සොහොයුරිය ඩිංගිරි මුණ ගැසීමට ගියාය.
”එහෙමනන් අඹ ටිකක් කඩල දෙන්න පුළුවන් ද ඩිංගිරි?” සොහොයුරිය ඇසුවාය.
”හොඳයි.”
විශාල පන් මල්ලකට අඹගෙඩි විස්සක් පමණ කඩා දුන්නේ ඩිංගිරිය. “මේවා නියම අඹ. මේ පැත්තේ පුරාණයේ ඉඳලම අඹ වතු තිබිල තියෙනවා. රජවරු කාලා තියෙන්නෙත් මේ අඹ තමයි.” ඩිංගිරි කීවේ තම හාම්පුතාගේ මතයක් තමන්ගේ මතයක් ලෙස තහවුරු කිරීමටය.
”මේවාට කියන්නේ ගිරාඹ කියල නේද?” සොහොයුරිය මල්ලෙන් අඹ ගෙඩියක් අතට ගනිමින් විමසුවේ සැක හැර ගැනීම සඳහාය.
”මේ තමයි නියම ගිරාඹ. පේන්නේ නැද්ද මේ තියෙන්නේ පුංචි ගිරා හොටය.” ඩිංගිරි කීවේ සිනාසෙමිනි.
කෙමෙන් දහවල් වෙන්නට විය. නොදැනීම කාලය ගතවී ගිය බවක් ඇයට දැනිණි. තේ කෝප්පයක් හදල දුන්නොත් මල්ලි බොන්න කැමති වේවි යැයි ඇය සිතුවාය. ඒ සමඟ ඇගේ මල්ලි, පරණවිතාන, ඒ පැත්තට හෙමින් පැමිණ සිටියේය.
”මොකක්ද අක්කා කීවේ?” ඔහු විමසිලිමත් විය.
”නෑ මං ඩිංගිරි ලව්වා අඹ ටිකක් කඩාගන්නද කියල ඇහුවේ.”
”මේක අඹ වාරය මයේ හිතේ.” ඔහු පිළිතුරු දුන්නේ වෙනත් අයුරකිනැයි ඈ සිතුවාය. මල්ලිගේ හැටි එහෙම තමයි. වෙලාවකට අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නෙ සිනාමුසු අයුරකිනි.
”ඩිංගිරි ඔය අඹ කැඩුවේ” ඔහු ඊළඟට ඇසුවේය.
”ඔව් මම ඩිංගිරි ලව්වා අඹ කඩවා ගත්තා.”
”කෝ මේ ඩිංගිරි?”
ඩිංගිරි තම හාම්පුතා සමීපයට පැමිණියේය. අක්කා තේ හැදීමට මුලුතැන්ගෙට ගියාය.
ඩිංගිරියෝ ඔය මල්ලේ අඹ කීයක් තියෙනවද?”
”විස්සයි අපේ මහත්තයෝ.”
”ගණන් ඇතිව තව ටිකක් කඩල දෙන්න පුළුවන්ද?”
”එහෙමයි අපේ මහත්තයෝ. කීයක් විතර ද?”
”තව දහයක් දොළහක් විතර.”
ඩිංගිරි ඉක්මනින් අඹ කඩන අයුරු පරණවිතාන මහතා බලා සිටියේය. අක්කා විසින් පිළිගන්වන ලද තේ පානය කරමින් ඔහු අඹ ගහ යටට ගියේය. ඩිංගිරි ද අසලක සිටියේය.
”ඩිංගිරි තේ වතුර ටිකක් බිව්ව ද?”
”එහෙමයි මහත්තයෝ.”
”හොඳයි ඩිංගිරි එහෙමනන් මට පොඩි වැඩක් කරල දෙන්න ඕන.”
”හොඳයි අපේ මහත්තයො.”
”ඕවායින් හොඳ අඹයක් පොළට අරන් ගිහින් පොළේ විකුණන්නෙ කීයටද කියල දැනගත්තොත් හොඳයි.”
ඩිංගිරි මල්ලෙන් අඹයක් අතට ගෙන දුව ගියේ පොළටය. පොළේ ගිරාඹයක් විකුණන ගණන කීයදැයි ඔහු දැන ගත්තේය. ගිරාඹයක මිල කෙතරම් දැයි දැන හැඳින ගත් ඩිංගිරි ඒ වග පැමිණ තම හාම්පුතාට සැල කළේ ඇසෙන නොඇසෙන පරිද්දෙනි. එහෙත් එසේ කළේ කුමකටද යන්න ඔහු සඟවාගෙන සිටියේය.
තම සොහොයුරන් අඹ පිරවූ පැස ද රැගෙන ඇය කැටුව යාමට පැමිණ රථයට නැගුණු පසුව පරණවිතාන මහතා තම කන්තෝරු කාමරයට ගියේය. කරදාසියක් අතට ගෙන ලියුමක් ලියුවේය.
මුල්‍යධිකාරිතුමා වෙතට ලියන වග නම්,
මගේ සොහොයුරිය වෙත තෑගි කිරීමට මාගේ නිල නිවස පිහිටා ඇති වත්තේ ගිරඹ ගසින් අඹ ගෙඩි 30 ක් කඩවා දුන්නෙමි. එක් අඹයකට රුපියල් දෙක ගණනේ අඹගෙඩි 30 කට රුපියල් 60 ක් මගෙන් වැය වෙන පරිදි නිල කටයුතු ඉටු කරන මෙන් ඉල්ලා සිටිමි.
මෙයට විශ්වාසි
පරණවිතාන"
උපුටා ගැනීම Wimuktha Pathmasiri මහතාගේ පිටුවෙන්. ස්තූතියි එතුමාට.

_______________________________________
පසුව ලියමි...
මෙහි පරණවිතාන මහත්මා මෙන්ම
සොයුරියත්, ඩිංගිරිත් එවැනිම වූ
ශීලාචාරබවින් යුක්ත වීම
සැලකිය යුතුය.

Athula Siriwardhane

උපුටා ගැනීමකි
නෙතු කවුළු ✍️ ❤️

26/11/2023

සිව් හෙළයේ සිංහයා ස්වකීය ජීව්තය මව්බිම වෙනුවෙන් පුදා අද නොවැම්බරයේ විසි හය වනදාට වසර 205 යි

මොණරවිල කැප්පෙටිපොළ , ඇහැලේපොල කුමාරිහාමි ගෙ ලොකු අයියා කියන්නෙම විරළ ගණයේ මනුස්සයෙක් , වීරයෙක් ,.... ඒකයි බ්‍රිතාන්‍ය වෛද්‍ය හෙන්රි මාෂල් ඒ හිස් කබළ පවා එරටට අරන් ගියේ වැඩි දුර පරියේෂණ කරන්න .....ඒත් අපේ අය මොකද කරේ ඒ උතුම් මනුෂ්‍ය රත්නයෙ හිස් කබළ නැවත ලබාගෙන වළ දැම්මා

මේ නිකන්ම නිකන් පොළවට පස් වෙලා යන්න ඕනි මතක අමතක වෙලා යන්න ඕනි මිනිස්සු නෙවෙයි ...මැරෙන බව දැන දැන ජීවිතය වෙනුවට රට ලේසියෙන්ම තෝරගන්න ඔබට මට හරි ලේසිද ........අවංකවම කීවොත් ඒක හරි අමාරු තීරණයක්

මරණය දණ්ඩනය ක්‍රියාත්මක වෙන අවසන් තත්පරය හමුවේත් කැප්පෙටිපොළ නිළමේතුමා දක්වපු එඩිතර බව නිසා ජාති ආලය නිසා එතුමන්ගේ හිස් කබල වෛද්‍ය ජෝන් මාර්ෂල් විසින් ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවර තිබුණු කපාල ලක්ෂණ විද්‍යා සංගම් කෞතුකාගාරයට පරිත්‍යාග කරනවා. එහිදී කරපු පර්යේෂණවලින් ඒ හිස් කබලේ සාමාන්‍ය මිනිසුන්ගේ දැකිය නොහැකි සුවිශේෂ ලක්ෂණ තිබුණු බවයි කියන්නේ.

කැප්පෙටිපොළ මහ විරුවාගෙ නිර්බීත ගති ලක්ෂණ සමාන වෙන්නෙ මේ ලෝකෙ හිටපු එකම එක පුද්ගලයෙක්ට විතරක් බව ඒ පර්‍යේෂණ වලින් කියවෙනවා..ඒ ස්කොට්ලන්ත යුද විරුවෙක් වුණ ශ්‍රීමත් විලියම් වොලස්ට.

ඉතො චතොහං වර ජම්බුදීපේ
හිමාලයේ හෙමමයයහිකූටේ
කප්පායුකො දෙව වසත්වහුත්වා
මෙතත්‍යෙය නාථස්ස සුණොමි ධම්මං

විලියම් වොලසුත් ස්කොට්ලන්ත යුද විරුවෙක් ..හිස් ගැසුම් කන්න වුණ...
මේ කැප්පෙටිපොළ නිළමෙ තුමාගෙ මරණ දණ්ඩනය ක්‍රියාත්මක වෙන මොහොතෙ එතුමන් කල අවසන් ප්‍රාර්ථනය ..ඒකෙ තේරුම එතුමන් කල පින් බෙලෙන් හිමාල පර්වත ප්‍රාන්තයේ කල්ප ආයුෂ ඇති දිව්‍ය රාජයෙක්ව
ඉපදිලා අවසානයේ මෙතේ බුදුන්ගෙන් බණ අසා නිවන් දකිත්වා යන්නයි......ඒත් මගේ නම් ප්‍රාර්ථනය ඔබතුමා මේ ලක්දිව කොහේ හෝ නැවත ඉපදී දවසෙන් දවස දූෂණය වන්නා වූ විනාශ වන්නා වූ ඔබතුමන්ගෙත් මගෙත් අපි හැමෝගෙමත් අම්මා වූ මේ ලක් මවුන් විනාස වෙන්නට නොදී බේර ගන්න ....සසර අවසානයේ නිවන් දකින්නට මත්තෙන් !

වීර කැප්පෙටිපොළ මහ විරුවන් ගැන නෙතු කවුළු පළ කරපු ලිපි සියල්ලක්ම මේ පහළ ලින්ක් එකෙන් ගිහින් කියවන්න පුළුවන් ...අපිට මව්බිමේ ස්වකීය නිවහල් බව රැකගෙන ජීවත් වෙන්න එදා 1818 දී පණ පුදාපු මේ විරුවන් අද අපේ ලක් අම්මා 2023 දී මෙහෙම ශෝකාන්තයකට පැටලෙන බව එදා දැනගෙන උන්නා නම් ඔවුන් ළය පැළී මියැදේවි

https://www.facebook.com/navodyapathirana.NethuKawulu?mibextid=ZbWKwL

🥀 කැප්පෙටිපොළ හිස් කබලට මොකද වුණේ
https://www.facebook.com/2458268327739485/posts/2970530056513307/?app=fbl

🥀 1818 විමුක්ති අරගලයේ සැගවුණ කතා
https://www.facebook.com/2458268327739485/posts/2965973493635630/?app=fbl

🥀 කැප්පෙටිපොළ විරුවාට මරණ දඩුවම දුන්නෙ මෙහෙමයි
https://m.facebook.com/story.php?story_fbid=2955989427967370&id=2458268327739485&mibextid=Nif5oz

මොණරවිල වීරයාණන් ගැන සවිස්තරාත්මක ලිපියක් එතුමන්ට උපහාර පිණිස අද පළ කරනවා ..එතෙක් මේ ලිපි කියවන්න

නෙතු කවුළු ✍️ ❤️

වීඩියෝ ව Gauthama shrawaka යූ ටියුබ් චැනලයෙන්..හරිම ලස්සන කැප්පෙටිපොළ උපහාර ගීයක්..අහලම බලන්න...ඔබේ හදවතටම ඒ ජ්‍යාත්‍යාලය දැනෙන බව මට විශ්වාසයි

Video credit goes to Gauthama shrawaka youtube channel
https://youtu.be/5EJwkWnajRQ?si=s7BhWpQkD_zYV6K8

24/11/2023

යුතුකම ඉටුකරමු ❤️

17/11/2023

දෑස නොපෙනෙන දැවැන්තයා.. යන්නම යන්න ගිහින්..🥺🥺

මනසින් උසස්යැයි පම්පෝරි ගසන මේ වගේ තිරිසන් නරුමයන් බහුල ප්‍රදේශයක අනේකවිධ බාධක, තර්ජන, පහරකෑම්, අසීමිත වේදනා සියල්ල විඳ දරාගනිමින් දෑස නොපෙනනුණත් ගව් ගණන් ඇවිද ගිය මහවටත් ගල්ගමුවටත් අවට ඉන්න මානුෂීය මිනිස්සුන්ටත් හැර උන් විතරක් හිටියම ඇති කියල හිතන ආත්මාර්ථකාමී කාළ කණ්ණි රැළකට අධික හිසරදයක් වූ දැවැන්තයා අද මඩ වගුරකම අවසන් හුස්ම හෙළයි..

තමන්ගෙ වගකීම යුතුකම නිසි කල, නිවැරදිව නොපිරිහෙලා ඉටු කිරීම⁣ට අපොහොසත් වූ බහුතරයක් වනසන ජීවි පිංබත් බැලයිනි.. උඹලට මේකෙ ශාපෙන් කෙසේවත් නිදහස් විය නොහැක.. මරණ මංචකයේදී මෙවන් කෲරතම අපරාධයන්ට ඉර හඳ පවතිනාතාක් කල් වන්දි ගෙවීමට සිදුවන අතරම එය තොප ගිලින බත් ඇටයක් පාසා ම හත්මුතු පරම්පරාවටම පඩිසන් දෙන සාපයක් බව සපථ කරමින් ආයෙත් මේ පව්කාරයොන්ගෙ හුළඟවත් වදින් ඉසව්වක නොඉපදී යහපත් ආත්ම භවයකට දසේ නම් දෑස් නොපෙනෙන වනඅලියා වෙනුවෙන් අපි පුණ්‍යානුමෝදනා කරමු..

✍️ - සෙනෙහස් පැතුම්❤️

Photos from නෙතු කවුළු's post 16/11/2023

කටුගෙයක් තුළ සැඟවූ මහනුවර රජවාසල
**********************************************

මහනුවර දළදා මාළිගාව පිහිටා තිබෙන ස්ථානය මෙරට සෑම දෙනෙකුම පාහේ දන්නා බව අමුතුවෙන් පැවසිය යුතු කරුණක් නොවේ. එහෙත් සෙංකඩගලපුර රජ මාළිගය හෙවත් රජවාසල පිහිටා තිබූ ස්ථානය මෙරට බොහෝ දෙනෙක් දන්නේ නැත. මහනුවර ජීවත්වන අයගෙන් බොහෝ දෙනෙක් ද ඒ අතර සිටීම පුදුමයට කරුණකි. රජ මාළිගාව පිහිටා තිබුණේ ද, දළදා මාළිගය අසලමය. මෙරට රජ මාළිගා අතුරින් තවමත් මේ තරමින් හෝ ඉතිරිව පවතින එකම රජමැඳුර මෙය පමණකි.


දැනට පුරාවිද්‍යා කෞතුකාගාරයක් වශයෙන් පවත්වාගෙන යන රජවාසල පුරාවිද්‍යාත්මක කෞතුක භාණ්ඩ ප‍්‍රදර්ශනාගාරයක් නොවිය යුතුය. මෙරට බොහෝ දෙනෙකුගේ අදහස එයයි. කෙසේ වුවත්, පැරණි රජවාසල වශයෙන් සඳහන් වන්නේ එදා රජවාසලෙහි අමුත්තන් පිළිගැනීම සඳහා භාවිතා කළ ගොඩනැගිල්ලයි. නැතහොත් දැකුම් (දකින* මාළිගයයි. එසේ නම් රජවාසලෙහි අනෙකුත් ගොඩනැගිලිවලට සිදුවූයේ කුමක්ද?
ඉංග‍්‍රීසින් කන්ද උඩරට පාලන බලය ලබා ගැනීමත් සමඟම මෙරට රජවරුන්ගේ පාලන ක‍්‍රමය ද අවසන් විය. ඒ නිසාම මෙරට පිහිටි රජමැඳුරු ද විනාශ වූ අතර එහි නටබුන් පමණක් තැනින් තැන අදට ද දක්නට ලැබේ. එහෙත් තරමක් දුරට සතුටුදායක මට්ටමින් හෝ ඉතිරිව පවතින එකම රජමැදුර පිහිටා තිබෙන්නේ සෙංකඩගල පුරවරයේ ය. ඒ ”මහනුවර රජවාසලයි”. රජවාසල පිහිටා තිබෙන්නේ දළදා මාළිගාව අසලය. දැනට පුරාවිද්‍යා කෞතුකාගාරය වශයෙන් භාවිතා කරන රජවාසල, මහනුවර දළදා මාළිගය දේව වීදිය ඉදිරිපිට පිහිටි සුදු සේලයෙන් වර්ණවත්ව පවතින දිගු ගොඩනැගිල්ලක් වශයෙන් පිහිටා තිබේ. වර්තමානයේ දිගු ගොඩනැගිල්ලක් වශයෙන් පැවතිය ද, අතීතයේ සේනාසම්මත වික‍්‍රමබාහු රජතුමාගේ සිට පාලකයන් දොළොස් දෙනෙක් වාසය කර තිබෙන විශාල මන්දිරයකි.


🥀වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජ දවස සෙංකඩගලපුර රජවාසල

එදවස ජර්මන් ජාතික ජොහාන් වොල්ෆ්ගංග් හෙයිඞ්ට්, ඕලන්ද තානාපති ඩැනියෙල් ග‍්‍රීන් සමඟ පැමිණි අවස්ථාවක තබා ඇති සටහනක මෙසේ සඳහන් වේ. ”වත්මන් දළදා මාළිගාව අසල පිහිටි සෙංකඩගල රජවාසලට එදවස පිවිසිය යුතු වූයේ කළුගල් පඩි හෙවත් පියගැටපෙළ දහනවයක් පසු කරමිනි. අශ්වයන් පවා මෙම කළුගල්වලින් ගෙනවුත් රජුට පෙන්විය යුතුව තිබුණි. මාළිගයට ඇතුඵ වන දොරටුවේ ඉදිරිපස කළුගලින් සාදා ඇති ඝන තාප්පයකි. ඉන් ඇතුඵ වන විට දැකිය හැකි ගොඩනැගිලි මැටි බිත්තිවලින් ආවරණය කර ලී කණු මත සාදා ඇත. ප‍්‍රධාන දොරටුවෙන් ඇතුඵ වන විට පිවිසෙන්නේ එවන් ගොඩනැගිල්ලකටය. රජුගේ සෙබඵ ඉතාමත් පරීක්ෂාකාරීව සිටියෝය. ගොඩනැගිල්ල මැදින් තවදුරටත් ඉදිරියට යාමේදී කදිමට සකසා තිබූ මැද මිදුලකට පිවිසිය හැක. එහි මැද කොටසේ කළුගල් අතුරා සාදා ඇති මාර්ගයකින් තවත් ගොඩනැගිල්ලකට පිවිසිය යුතුව තිබේ. මෙය දිගින් සහ පළලින් තරමක් විශාල ගොඩනැගිල්ලකි. එහි වහලය ලී කණු පේලි දෙකක් මත ඉදිකර තිබුණි. එය මැදින් ඉදිරියට ගමන් කිරීමේ දී අවසානයට දකුණු පැත්තෙන් හමුවෙන්නේ එළිමහන් බිමකි. රජතුමා සිංහාසනාරූඪ සිට ඇත්තේ එහිය.”

මෙය සනාථ කරන සිතියමක් නෙදර්ලන්ත හේග් නුවර කෞතුකාගාරයේ ද, එහි පිටපතක් මහනුවර ජාතික කෞතුකාගාරයෙත් තිබේ. මෙම සෙංකඩගලපුර රජවාසල සිතියම අඳින ලද්දේ ක‍්‍රි.ව 1765 වසරේ දී කීර්ති ශ‍්‍රී රාජසිංහ රජ සමයේ දී ඕලන්ද ජාතිකයකු විසිනි. එම සිතියමට අනුව මහා වාසල සංකීර්ණය තුළ නරේන්ද්‍රසිංහ රජු සෑදු අලූත් විහාරය, විමලධර්මසූරිය රජු සෑදු දළදා මාළිගයේ පැරණි විහාරය, සිංහාසනය ඇති ස්ථානය, තනාපති මඟුල් මඩුව, ලැඟුම් ගේ, බේත් ගේ, බිසෝවරුන්ගේ ලැගුම් ගේ, රජතුමා සතු ඉස්තරම් භාණ්ඩ තබා ඇති කාමර, තුවක්කු ගබඩාව, දුනු හී ගබඩාව, කුඵබඩු කාමරය, රජතුමාගේ සොහොයුරන් සහ පවුලේ සාමාජිකයන් නැවතී සිටි කාමර, වෙඩිබෙහෙත් සහ තුවක්කු සාදන මඩු, රජුගේ අලූත් ලැඟුම් ගේ, වැසිකිළි, ඇත්හල ආදී ගොඩනැගිලි ආදිය පිහිටා තිබුණි. සංස්කෘතික ත‍්‍රිකෝණය මඟින් සිදු කරන ලද කැණීම්වල දී සිතියමේ සඳහන් කරුණු සනාථ කරගෙන ඇත.



🥀ඉංග‍්‍රීසීන් අල්ලාගත් පසු රජ මාළිගය

එහෙත් දැනට තිබෙන රජ මාළිගයේ ස්වරූපය ඊට වඩා බොහෝ වෙනස්ය. අද දක්නට ලැබෙන්නේ ක‍්‍රි.ව 1798 දී රජ වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු විසින් අලූතින් සාදා එක් කරන ලද කොටස්ය. කෙසේ වුවත්, ලූතිනන් කර්නල් බාබට් මහනුවර ආක‍්‍රමණය කළ අවස්ථාවේ දී මෙය දක්නට ලැබුණු ආකාරය විස්තර කර තිබුණේ මෙසේය. ” රජ මාළිගා ගොඩනැගිල්ල ගින්නෙන් හානිවී තිබුණි. එය දැවැන්ත රජ මාළිගාවකි. ප‍්‍රධාන දොරටුවෙන් මාළිගයට ඇතුඵ වන විටම ඉදිරියෙන් දක්නට ලැබෙන්නේ අලංකාර ලෙස කැටයම් කරන ලද, ගල් කුලූණුවලින් සාදා ඇති මහා ශාලාවකි. එම කුලූණු අතර සම දුරින් දැව ආධාරක මත සවි කරන ලද ඇත්දළය. මාළිගය මැද ආරක්ෂිත මිදුලකි. එම ඇත්දළ සහිත මහා ශාලාව පසුකර යන විට බුද්ධ ප‍්‍රතිමා සහිත පිළිම ගෙයකි” යනුවෙනි. ක‍්‍රි.ව 1815 වසරේ හෝ ආසන්න දිනයක දී ලූතිනන් ලිට්ල්මන් අඳින ලද චිත‍්‍රයකට අනුව, අද දක්නට ලැබෙන රජවාසල එදාත් දැකගත හැකි විය. ජෝන් ඬේවිගේ විස්තරය ද ඒ හා සැසඳේ.

කි‍්‍ර.ව 1815 වසරේ ඉංග‍්‍රීසීන් විසින් අඳින ලද සැලැස්මකට අනුව රජ මාළිගය සමන්විත වූ ආකාරය මෙසේ දැක්වේ. සටන් පුහුණු වන ස්ථානය (හරමක්කාර මඩුව), මහ වාසල, සැතපෙන ගේ, උල්පැන් ගේ, හලූ මණ්ඩපය, ආයුධ මණ්ඩපය, දකින ශාලාව (රජු සහ ප‍්‍රධානීන් හමුවන), මුද්දර මණ්ඩපය (රාජකීය මුද්‍රාව තිබූ), කවිකාර මණ්ඩපය, මඟුල් මඩුව, සාන්ති මණ්ඩපය (රජුට සෙත්සාන්ති කරන ස්ථානය), දකින මණ්ඩපය (විදේශීය තානාපතින් රජු හමුවන තෙක් නැවතී සිටින ස්ථානය), මහ ගබඩාව සහ අරමුදල (මෙම ගොඩනැගිලි දෙක පිහිටා තිබුණේ ඉංග‍්‍රීසි සමයේ කච්චේරිය වශයෙන් හා පසුව මහ අධිකරණය වශයෙන් භාවිතා කළ ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේය), උඩ ගබඩාව, මැඳ වාහල, දළදා මැඳුර, පල්ලේ වාහල, දෙමළ ඉලංගම් මඩුව, කූණම් මඩුව, ජලතිලක මණ්ඩපය සහ ගබඩා අටුව වේ.

කෙසේ වුවත්, ඉංග‍්‍රීසින් සෙංකඩගල රජ මාළිගය අල්ලාගත් පසු, දැන් ඉතිරිව පවතින රජවාසල කොටස නිවහන කරගෙන ඇත්තේ මහනුවර ඉංග‍්‍රීසි නියෝජිතයා වූ ජෝන් ඩොයිලිය. ඉන්පසු ඉහළ ඉංග‍්‍රීසි නිලධාරීන්ගේ වාසය සඳහා රජවාසල ගොඩනැගිල්ල යොදාගෙන තිබේ. එහිදී පැරණි ස්වරූපය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යමින් වෙනස්කම් කිහිපයක් සිදු කර ඇත. එසේ වුවද, පැරණි ස්වරූපයෙන්ම දැනට ද වෙනස් නොවී පවතින්නේ එහි ඉදිරිපස ප‍්‍රවේශය හා එයට සම්බන්ධ ශාලාව පමණි. ජෝන් ඩොයිලි ක‍්‍රි.ව 1811 වසරේ දී තබා ඇති සටහනකට අනුව ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ දියණිය සහ කිරි අම්මා මියයාමෙන් පසු රජ මාළිගයේ විවිධ ආකාරයේ අද්භූත ශබ්ද ඇසීමට පටන්ගෙන තිබෙන බවට මතයක් පැවති බවත්, නොකඩවා ජනෙල්වලට තට්ටු කිරීම හා පය තබා යන අඩි ශබ්ද ඇසුණු බව කියැවේ.

බි‍්‍රතාන්‍ය පාලන සමයේ මෙම ගොඩනැගිල්ල දිසාවේ දිසාපතිවරුන්ගේ නිවාස බවටත් පත්වී තිබේ. එම කාලයේ රජ මැඳුරේ බිත්තිවල අලංකාර බිතුසිතුවම් ඇඳ තිබුණු අතර, ඔවුන් වසරක් පාසා බිත්තිවල හුණු දියර ආලේප කර තිබෙන්නේ එම චිත‍්‍ර වැසී යන අයුරිනි. ඉතිහාසයේ සොඳුරුතම සිහිවටන ඒ ආකාරයෙන් වියැකී ගියේ ඉංග‍්‍රීසීන්ගේ කුරිරු බව පසක් කරමිනි.

ඉංග‍්‍රීසීන් සෙංකඩගල පුරවරයට ඇතුල්වීමත් සමඟම ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු රජ මාළිගයට ගිනි තබා පලාගියේ රජ වාසලෙහි ඇති රහස්‍යභාවය ඔවුන්ගෙන් වසන් කිරීම සඳහා විය යුතුය. කෙසේ වෙතත්, රජවාසලට ඇතුළ්විය යුතු වූයේ දැවැන්ත උළුවස්සකිනි. එය උසින් අඩි නවයයි අඟල් තුනක් ද, පළලින් අඩි පහක් ද වේ. මෙම දොර උඵවස්සෙහි ඇති විශේෂත්වය නම්, උඵවස්සෙහි ඇතුඵ පැත්තේ කට්ටයක් කපා එයට දොර ඇතුළත් කර තිබීමයි. මෙම උඵවස්සට දොර පියන් පත් දෙකකි. උඵවස්ස වටේටම දිවෙන අලංකාර පලාපෙති මඟින් එදා ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වය මනාව පෙන්නුම් කෙරේ. ප‍්‍රධාන උඵවස්ස දෙපස පිටත බිත්තියේ රාජකීයත්වය පෙන්නුම් කිරීම සඳහා ඉර හඳ දෙක හා ගජසිංහ රූප සහිත පිළිස්සූ මැටි පුවරු දක්නට ලැබේ. ගොඩනැගිල්ල එළියේ සහ ඇතුළත බිත්තිවල ද, සායම් කරන ලද සිංහ උඵ අල්ලා තිබෙනු දැකගත හැකිය. මෙහි ඇතුළත බිත්ති චිත‍්‍රවලින් අලංකාරව තිබී ඇති බව බිත්තිවල ආලේප කර ඇති හුණු ඉවත් කිරීමේ දී දැක ගැනීමට ලැබුණු බව ද සඳහන්ය. රජ වාසල ඇතුළත සී මැඳුරු කවුඵ පිහිටා තිබූ අතර, ශ‍්‍රී වික‍්‍රම රාජ සමයේ දී මෙම පෙදෙස ”දකින ශාලාව” වශයෙන් භාවිතා කර තිබෙන බව පෙනී යයි.



🥀අගබිසව වාසය කළ මැද වාහල

මැද මිදුලක් සහිතව පිහිටි මෙම ගොඩනැගිල්ල පැරණි කච්චේරි ගොඩනැගිල්ල සහ ජාතික කෞතුකාගාරය අතර පිහිටි ගොඩනැගිල්ලකි. මෙහි බිත්ති උසින් අඩුය. සමාන හතරැුස් ආකාරයෙන් පිහිටි ජනේල කුඩාය. ඒවාට බීරඵ සහිත පොලූ සවිකර තිබේ. වහලයට පෙති උඵ සෙවිලි කර තිබෙන අතර, වහලයේ මුදුන්වල මැටි කොත් සතරකි. අගබිසව වාසය කළ මෙම ගොඩනැගිල්ල මහනුවර දක්නට ලැබෙන පැරණිතම ගොඩනැගිල්ලය. එදා පැවති ස්වරූපය වෙනස් නොකර අද ඒ ආකාරයෙන්ම පවතින ගොඩනැගිල්ලකි. දකින මණ්ඩපය (රජු හමුවීමට පැමිණෙන විදේශීය තනාපතිවරු, රජුගේ අවසරය ලැබෙන තෙක් නැවතී සිටි ස්ථානය) වශයෙන් පැවැති ගොඩනැගිල්ල අද දක්නට නොමැති අතර, එය මඟුල් මඩුව හා උඩ වාහල්කඩ (මෙයද අද නොමැත) අතර පිහිටා තිබුණි.

🥀පල්ලේ වාහල

වර්තමානයේ මහනුවර ජාතික කෞතුකාගාරය වශයෙන් සඳහන් වන ස්ථානයේ පල්ලේ වාහල පිහිටා තිබුණි. කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමා මෙහි පළමුවෙන්ම පදිංචිව සිටියා යැයි විශ්වාස කෙරේ. පසුව රජ බිසෝවරුන්ගේ වාසය සඳහා වෙන් කෙරිණි. මැද වාහලට වඩා තරමක් විශාල ගොඩනැගිල්ලක් වුවද සමාන ලක්ෂණ බොහොමයකි. දළදා මාළිගයට නැගෙනහිරින් උස භූමියක පිහිටා තිබෙන පල්ලේ වාහල මැද මිදුලක් සහිත මිටි ගොඩනැගිල්ලකි. කුඩා වා කවුළුවලින් යුක්තය. රටඋඵ සෙවිලි කර තිබේ. පල්ලේ වාහලට ඇතුඵවන උඵවස්ස දැව භාවිතා කර තිබුණ ද කැටයම් දක්නට නොලැබේ. උඵවස්ස දෙපස බිත්තියේ කලූගලින් නිම කළ කැටයම් සහිත පුවරු දෙකකි. වහලයේ මැටි කොත් දෙකකි. එහෙත් කුඩා වා කවුඵවලට බීරඵ පොලූ යොදා ඇත.

🥀 ජලතිලක මණ්ඩපය

සෙංකඩගල පුරවරයට අපූර්ව අලංකාරයත් සුන්දරත්වයත් එක්කරන, කිරිමුහුද මැද පිහිටි කුඩා දුපත හෙවත් ”ජලතිලක මණ්ඩපය” රජතුමාගේ විවේකය ගත කිරීම සඳහා භාවිතා කළ ස්ථානයකි. මෙය ”කුණ්ඩසාලේ” යන නමින්ද ව්‍යවහාර කර තිබේ. ක‍්‍රි.ව 1850 වන විටත් මෙහි අෂ්ටාශ‍්‍ර කුටියක් තිබී ඇත. ඉංග‍්‍රීසීන් මහනුවර අල්ලා ගැනීමෙන් පසු වෙඩි බෙහෙත් ගබඩාවක් වශයෙන් භාවිතා කර, තවත් වසර කිහිපයක් ගත වීමෙන් පසු එම ගොඩනැගිල්ල කඩා බිඳ දමා ඇත. ජලතිලක මණ්ඩපය ද, පත්තිරිප්පුව, මඟුල් මඩුව ඉදිකළ දේවේන්ද්‍ර මුලාචාරියාගේ නිර්මාණයකි. ජෝන් ඩොයිලි ඔහුගේ දිනපොතෙහි ක‍්‍රි.ව 1812 ජූනි 12 දින තබන ලද සටහනකට අනුව මෙසේ සඳහන් කර තිබේ. ”ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා විසින් ළඟදී සාදන ලද වැව මැද කුණ්ඩ ශාලාවක් ගොඩනංවා කොකු උඵ සෙවිලි කරන ලදී. ඒ වැවෙහිම එකකට එක කුඹ ගස බැගින් වූ යාත‍්‍රා දෙකක් ද සාදා, පාරු දෙකක් ද සාදන ලදී. වැව මැද තිබෙන කුණ්ඩ ශාලාවට යාම සඳහා දිගහැරීමට හා හැකිළීමට හැකි පාලමක් ද රජු තැනෙව්වෝය” වශයෙනි.

🥀උඩරට රජවරු සහ ඉංග‍්‍රීසීන් ඉදිකළ මඟුල් මඩුව

උඩරට රජවරු සහ ඉංග‍්‍රීසි යන දෙපිරිසේම සහභාගිත්වයෙන් මෙරට ඉදිවූ එකම ගොඩනැගිල්ල මෙය වේ. ඒ අනුව, ක‍්‍රි.ව 1784 වසරේ දී ශ‍්‍රී රාජාධි රාජසිංහ රජතුමා විසින් මඟුල් මඩුව ඉදිකිරීම ආරම්භ කර ඇති බව ඉංග‍්‍රීසි ලේඛක ජේ. සී ලූවිස් සනාථ කර ඇත. ඔහු සඳහන් කරන ආකාරයට ක‍්‍රි.ව 1796 රාජාධි රාජසිංහ රජ සමයේ ඉංග‍්‍රීසීන් මහනුවරට ඇතුඵ වන විටත් මෙම ගොඩනැගිල්ල සාදා නිමකර නොමැත. මහා වංශයේ මෙම ගොඩනැගිල්ල පිළිබඳව සඳහනක් නොමැත. කෙසේ වුවත්, කන්ද උඩරට නායක්කාර වංශික රජවරු දෙදෙනෙක් වන රාජාධි රාජසිංහ සහ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රට පාලන කටයුතු සිදු කළේ මෙම ගොඩනැගිල්ලේ සිටය. රාජ සභාව පවත්වාගෙන යාම, යුක්තිය පසිඳලමින් අධිකරණ කටයුතු මෙහෙය වූයේ ද මෙහි සිටය. එදා ”මහ නඩුව” යන නමින් ද මඟුල් මඩුව හඳුන්වා දී ඇත. මහ නඩුව යන්නෙන් ශ්‍රේෂ්ඨාධිකරණය යන තේරුම ද ලබා දෙයි. එදා රාජ සභාව පවත්වන අවස්ථාවල දී මෙම ගොඩනැගිල්ලේ ඇති දැව කුළුණු අතර රතු පැහැති රෙදිවලින් රැුළි පාලම් ඇද අලංකාර කර සරසා තිබුණි. මහනුවර යුගය දැව නිර්මාණ සම්බන්ධයෙන් විශේෂ දක්ෂතා දක්වා තිබූ බවට මඟුල් මඩුව කදිම සාක්ෂියකි. මෙය පොලොන්නරු මඟුල් මඩුවෙන් ආභාෂය ලබා ඉදිකළ දැව ගොඩනැගිල්ලකි.

රාජාධි රාජසිංහ රජු මෙම ගොඩනැගිල්ල නිර්මාණය කිරීම සඳහා භාරදී තිබෙන්නේ දේවේන්ද්‍ර මුලාචාරියාටය. නාලන්දා කැලයෙන් කපාගෙන එන ලද හල්මිල්ල, නා ආදී දැව භාවිතා කර තිබේ. එහෙත් රාජාධි රාජසිංහ රජුට මෙය අවසන් කිරීමට ඉඩ ලැබී නැත. ඉන්පසු බලයට පත්වෙන මෙරට අවසන් රජුවන ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ ද මෙහි ඉදිකිරීම්වලට සම්බන්ධවී ඇත. ක‍්‍රි.ව 1803 වසරේ දී ඉංග‍්‍රීසීන් සෙංකඩගල පුරවරය ආක‍්‍රමණයේ දී රාජකීය ගොඩනැගිලි බොහොමයක් ගිනි තබා විනාශ කරන ලද අතර, එහිදී මඟුල් මඩුවට ද හානි සිදුවෙන්නට ඇත. ඉංග‍්‍රීසීන් පාලනය ආරම්භ මුල් කාලයේ දී පමණ මෙහි වැඩ නිමවී තිබේ. ගල් පදනමක් මත ඉදිකරන ලද මඟුල් මඩුව ලී කණු පේලි හතරක් මත රැුඳුණු තද හැඩ සහිත පෙති උළු සෙවිලි කළ වහලයකි. එහි මුදුන දෙපස මැටි කොත් දෙකකි. සෑම පැත්තෙන්ම විවෘතය. කණු මත විශාල බාල්ක, කුරුපා හා යට ලී විසිතුරු ලෙස කැටයම් කර තිබුණි. ඒවා පිහිටියේ කැටයම් කළ පේකඩ මතය. වහලය සෑහෙන දුරක් කණුවලින් පිටතට නෙරා තිබේ. මෙහි දකුණු කෙළවරේ උස් වේදිකාවක් තිබූ බවට සළකුණකි. බොහෝ විට එහි රජවරු විනිශ්චය සභාව පැවැත්වීමට යොදාගත් ස්ථානය බව පෙනේ. ඉංග‍්‍රීසීන් විවෘත ගොඩනැගිල්ල වටා බිත්ති බැඳ භාවිතයට ගත්ත ද, ක‍්‍රි.ව 1875 හත්වැනි එඞ්වඞ් රජුගේ උඩරට ආගමනය නිමිත්තෙන් එම වටේ බිත්ති කඩා බිඳ දමා තවත් දික්කර ඇත. ඒ අනුව උඩරට රජවරුන් සහ ඉංග‍්‍රීසි ආණ්ඩුව යන කොටස් දෙක සම්බන්ධ වෙමින් මෙරට ඉදිකළ එකම ඓතිහාසික ගොඩනැගිල්ල මෙය වශයෙන් ඉතිහාසයට එක්වී අවසන්ය.

🥀බිසෝ උල්පැන්ගේ

දළදා මාළිගය ඉදිරිපිට කිරිමුහුද ඉවුරේ පිහිටි සුදු පැහැති ගොඩනැගිල්ල බිසෝ උල්පැන්ගෙයයි. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ බිසෝවරු ස්නානය කිරීම සඳහා භාවිතා කළ ස්ථානයයි. වර්තමානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරමින් පවතී. ක‍්‍රි.ව 1806 වසරේ දී වැවේ ඉවුරෙහි කොටසක් අයත් වන ආකාරයෙන් සාදා ඇති දෙමහල් ගොඩනැගිල්ල තුන් පැත්තකින් ජලයෙන් වටවී තිබේ. උඩුමහලේ සොල්දර තට්ටුව ඇඳුම් මාරුකර ගැනීම සඳහා භාවිතා කර ඇත. මෙම ගොඩනැගිල්ල ද දේවේන්ද්‍ර මූලාචාරියාගේ නිර්මාණයකි. දියවඩන නිලමේ මෙම උල්පැන්ගෙයහි ද ප‍්‍රධානියා වේ. පහත මාලය වැව්දිය පිරි තටාකයකි. පැරණි ජල තටාකය අඩි 40 දිගක් ද, අඩි 25 පළලකින් ද සහ අඩි 5 ක ගැඹුරකින් ද යුක්තය. මෙම ජල තටාකයට බැසගත් බිසෝවරු ස්නානය, ජල ක‍්‍රීඩා, සහ මාලූන්ට කෑම ලබාදීම ආදිය සිදු කළහ. මෙහි සිට කිරිමුහුද මැද පිිටි ජලතිලක මණ්ඩපය දක්වා ගමන් කිරීම සඳහා කඹවලින් සෑදු පාලමකි. කි‍්‍ර.ව 1815 වසරේ ඉංග‍්‍රීසීන් විසින් සෙංකඩගල පුරවරයේ රාජකීය ගොඩනැගිලි සියල්ල ගිනි තබා විනාශ කළ අතර, මෙම ගොඩනැගිල්ල ද ඊට අයත් විය. ක‍්‍රි.ව 1857 දී නාන තටාකය ගල් සහ පස් යොදා වසා දැමූහ. ඉන්පසු විශාල කුළුණු සාදා දෙමහල් ගොඩනැගිල්ලක් සාදා පුස්තකාලයක් බවට පත්කර ඉංග‍්‍රීසි නිලධාරීන්, හමුදා නිලධාරීන්, වතු හිමියන්ගේ ප‍්‍රයෝජනයට යොදා ගත්හ. පසු කාලයේ මෙම පුස්තකාලය නඩත්තු කිරීම අපහසු වූ හෙයින් එහි පොත්පත් මහනුවර නාගරික පුස්තකාලයට ලබා දී තිබේ. ඉන්පසු මෑතක් වනතුරු පොලිස් මුරපොළක් වශයෙන් ද යොදා ගැණුනි.

සිසිර කුමාර බණ්ඩාර මහතාගේ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනීමකි

නෙතු කවුළු ✍️ ❤️

31/10/2023

කවදහරි අන්තිම කැමති පත්‍රයක් ලියන්න හිතන් ඉන්නව නම් තව කෙනෙක් ගෙ අන්තිම කැමති පත්‍රයක් බලන්න ඔයා කැමතිද

එහෙනම් හෙට ඔයාට බලන්න අන්තිම කැමති පත්‍රයක් අරන් එන්නම් නෙතු කවුළු පිටුවෙන් ...එසේ මෙසේ කෙනෙක් ගෙ අන්තිම කැමති පත්‍රයක් නෙවේ..ඇහැලේපොල දෙවෙනි රජ්ජුරුවන්ගෙ අන්තිම කැමති පත්තරේ... ඒ කියන්නෙ විජයසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනෙවිරත්න ජයතිලක ඒකනායක අමරකෝන් වාහල පණ්‌ඩිත මුදියන්සේගේ;
නැත්නම් කවුරුත් කියන , ඇහැලේපොල නිළමෙගෙ තමයි

නෙතු කවුළු like කරල නැත්නම් like කරල follow කරල තියාගන්න සහෘදයිනි..ඔන්න link එක https://www.facebook.com/navodyapathirana.NethuKawulu

ආදරෙයි..................
නෙතු කවුළු ✍️ ❤️

Photos from නෙතු කවුළු's post 31/10/2023

අග්බෝ කියන්නෙ පිස්සෙක්

මම වගේම පිස්සෙක්.තමන් උපන් හැදුන වැඩුන රටට පනට වඩා ආදරය කරන පිස්සෙක්.තමන්ගෙ වන පෙදෙසේ දඩයමේ එන දඩයම් කරුවන් එලව එලවා පහරදෙන රක්ෂිතවල කසිප්පු පෙරන උන් එලව එලවා පහර දෙන අග්බෝ.මෙවන විට වෙඩි පහරවල් විස්සකට අධික සංඛ්‍යාවක් දරාගෙන තවමත් තමන් උපන් බිමේ අණසක පතුරන අග්බෝ ඇත්තටම අපිට සමාවෙයන්.අපි උඹලා වෙනුවෙන් හඬ නැගුවා.ඒත් උඹලගේ ජීවිත මේ රටේ පාර්ලිමේන්තුවේ පරයන්ට පයට පෑගෙන පෑගෙන දූවිල්ලක් නොවටිනා තරම්.

මිනිස් අමනයින් ගිනි බිඳපු මේ තරම් වෙඩ් වරුසාවක් දරාගෙන තම උපන් භූමිය රකින උඹ මට ආඩම්බරයක්.දළදා වහන්සේ උඹ වැඩම නොකෙරුවාට උඹ මට මේ රටේ ජාතික වස්තුවක්..දුටු ගැමුණු රජුගේ කණ්ඩුල ඇතා තරම් පනා මුරේ ඇත් රජා තරම් උඹ ගැන මිනිසුන් නොදන්නවා උනාට මේ රටේ ඉතිහාසයේ ශක්තිමත්ම නිර්භීතම ඇතා මට නම් උඹයි අග්බෝ..

අපිට සමාවෙයන්

ඩිෂාන් චමින්ද මහතාගේ සටහනක්

උපුටා ගැනීමකි

Photos from නෙතු කවුළු's post 31/10/2023

ගජමන්නෝනා ජෝන් ඩොයිලි ගේ සිංහල පෙම්වතියද
*********************************************
බලන්න 👇
https://www.facebook.com/navodyapathirana.NethuKawulu

මහාචාර්ය ගණනාථ ඔබේසේකර විසින් රචිත ඩූම්ඩ් ද කිං(ග්)( The Doomed King) කෘතියේ සිංහල පරිවර්තකයා වන දයාසිසිර හේවා ගමගේ මහතා සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවකි,

• මේ පොත සිංහලට පරිවර්තනය කළ යුතු යැයි සිතුවේ ඇයි?

මේහි මුල් කෘතිය සඳහා මහාචාර්ය ඔබේසේකරයන්ට සහය දැක්වීමට මට අවස්ථාව සැලසුණා. මම කාලයක සිට එතුමා සමඟ කටයුතු කරනවා. මේ කෘතිය සඳහා තොරතුරු සොයද්දි, ඒවා අධ්‍යයනය කරද්දි, එතුමා ලියූ සටහන් කියවද්දි මට හිතුණා මෙහි සිංහල පරිවර්තනයතක් සිදු කිරීම වඩාත් උචිත බව. ඊට මහාචාර්යතුමා බෙහෝසෙයින් කැමැති වුණා. ඒ අනුව ඉංග්‍රීසි පිටපත හා සමගාමීව සිංහල පිටපතත් ලියැවුණා. සිංහල පොත මම පරිවර්තනය කරලා තියෙන්නේ 'නෙරපූ රජ' රාජසිංහ ප්‍රත්‍යවලෝකනය නමින්. තවම එය නිකුත් වී නැහැ. මම මේ සඳහා නම තබද්දී ද ඩූම්ඩ් ද කිං(ග්) (The Doomed King) කියන වචනය අර්ථ ගන්වන්න 'නෙරපූ රජ' කියන නාමකරණය යෙදා ගත්තා. නමුත් 'ඩූම්' කියන අර්ථය හෙන ගැහුවා වගේ අදහසක් මතුව එනවා. ඒ කියන්නේ ප්‍රබල කම්පනයක්. මමත් මේ කෘතිය එක්ක වැඩ කරද්දි ඒ කම්පනය ඇති වුණා. ඒ නිසා එය සිංහල පාඨකයන්ට සමීප කළ යුතු යැයි හැඟුණා.

• ශ්‍රී වික්‍රම රාජසිංහ කියන කොට අපේ හිතේ ඇඳෙන්නේ ඒ තරම් හොඳ චිත්‍රයන් නෙමෙයි?

ලංකාවේ බොහෝදෙනා රාජසිංහ රජු පිළිබඳව තිබෙන්නේ ඉතාම කළු චිත්‍රයක්. අපි ඔහුව හඳුනා ගන්නේ බොහොම පවිටු, මත්පැන්වලට ඇබ්බැහි වුණු බේබදු සල්ලාල මිනීමරු රජ කෙනෙක් ලෙසයි. ඉංග්‍රිසී ජාතිත රොබට් බ්‍රවුන්රිග්, ජෝන් ඩොයිලි වගේ අය රජු පිළිබඳව සටහන් තැබූ අාක­ාරය මීට බෝසෙයින් සමානයි. ඒ ආකාරයටම රටේ ජනතාවත් රජු පිළිබඳව සිතන්න පුරුදු වී තිබෙනවා. ඊට ආසන්න කාලයක වැලිගල කිවිඳු නම් කවියකු අතින් ලියවුණු ඇහැළේපොල වර්ණනාව (වඩිග හටන), කිරළ සන්දේශය ආදී කෘතිවලත් මොහු ඉතා පාපී දුෂ්ට රජකු ලෙස මතු කර දක්වා තිබෙනවා. ඉතාම දැඩි විදියට දෙමළ විරෝධයක් මේ කෘති තුළ ඉස්මතු වී පෙනෙනවා. රුදුරු දෙමළා, පවිටු දෙමළා, නපුංසක දෙමළා ආදී වශයෙන් ඉතාම නරක ආකාරයකටයි ඒ තුළ සඳහන් වන්නේ.

• ඇහැළේපොල කුමාරිහාමි ඇතුළු දරුවන්ට ලබාදුන් දඩුවම් නිසා තමයි වැඩි වශයෙන්ම මේ ජනතා විරෝධය මතුව එන්නේ.

ඔව්, ඔහු බේබද්දෙක්, සල්ලාලයෙක් නිකං නිස්කාරනේ අහිංස මිනිසුන් මරාදැමුවා. පුංචි කිරිසප්පයෙක් වංගෙඩියක දාල කොටන්න නියෝග කළා කියන කාරණා වැඩි වශයෙන් ප්‍රකටව පවතිනවා. මේ ආකාරයට ඔහුගේ ප්‍රතිරූපය කැලැල් කර කළු චිත්‍රයක් ගොඩනගන්න ඉංග්‍රීසින් විසින් හිතමතාම ඉතාම සැලසුම් සහගතව ගෙන ගිය බොරු ප්‍රචාරණ බව මහාචාර්ය ගණනාථ ඔබේසේකරයන්ගෙ කෘතිය තුළින් මනාව තහවුරු කර තිබෙනවා. ඒ සඳහා මහාචාර්යතුමා දේශීය මූලාශ්‍ර වගේම ඒ හා සමකාලීනව ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ සේවය කළ අප්‍රකට සිවිල් සේවකයින් ලියූ ලේඛන අධ්‍යනය කර තිබෙනවා. ඒ අනුව යමින් ශ්‍රී වික්‍රම රාජසිංහ බේබද්දෙකුවත්, සල්ලාලයකුවත් , ස්ත්‍රී සොඬෙකුවත්, ඔය කියන ආකාරයේ මිනීමරුවකුවත් නොවන බව එතුමා තහවුරු කර තිබෙනවා. එනිසා අප තුළ ඇති කර තිබෙන මේ කළු චිත්‍රය ඇත්තෙන්ම මුළාවක්.

• ඔබ කියන ආකරයට අප මුළාවක නම් ඉන්නේ, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කෙවැනි අයෙක්ද?

රජු සිරභාරයට ගෙන කොළඹට රැගෙනවිත් කොළඹ කොටු පවුරට ඇතුල් කරන වෙලා‍වේ කොටු පවුර උඩ සිටින පිරිස බිමට බස්සන්නේ නැතිව ඒතුළට ඇතුළු වීම රජු ප්‍රතික්ෂේප කරනව. එමඟින් වැටහෙනවා සිරකරුවකු වුවත් රජු තම පෞරුෂය රැකගෙන තිබෙන බව. ඒ වගේම රජු පිටුවහල් කිරීම සඳහා නැවට නංවන විට එතනට පැමිණෙන එක්නැලිගොඩ ඉතාම දරුණු අන්දමින් රජුට පහර දෙනවා. රජුගෙ බිසෝවරුන්ගේ කණකර ආභරණ කොල්ල කාගෙන ඔවුන්ගේ සලුපිළි පවා ගලවාගනිමින් නිරුවත් කරනවා. ඒ මොහොතේ පවා රජු උපේක්ෂාවෙන් ඔහුදෙස බලා විමසා ඇත්තේ 'රජකුට මෙහෙමද සලකන්නේ' කියල. නැවේදි රජුව භාරව සිටි මාර්ෂල් කියන වෛද්‍යවරයා රජු පිළිබඳව සටහන් තබමින් පවසන්නේ රජු ඉතාම උදාරම් විශිෂ්ට පෞරුෂයකින් හෙබි පුද්ගලයකු බවයි. ඔහු සුරාසොඬෙකු ලෙස සැලකුවත්, මාර්ෂල් කියන්නේ රජු මත්පැන් තියා අඩුම තරමින් ඔවුන්ගේ දරුවන් බොන වයින් පවා ප්‍රතික්ෂේප කළා කියලයි. මේ තුළින් මනාව වැටහෙනවා රජු මත්පැන් පානය නොකළ පුද්ගලයකු බව. ඉංග්‍රීසි ලේඛකයන් තුන්දෙනෙක්ම හොඳින්ම අවධාරණය කර සිටිනවා රජු ආඥාදායක ස්වරූපයෙන් කටයුතු නොකළ බව. ඔහු දඬුවම් නියම කරා නම් ඒ උඩරට පැවති රාජ නීතියට යටත්ව බව ඔවුන් අවධාරණය කර කියා සිටිනවා.

• එහෙම නම් මේ කුමන්ත්‍රණය සිද්ධ වෙන්නේ කෙහොමද?, මේ ක්‍රියවලිය පිටුපස සැබැවින්ම සිටින්නේ කවුද?.

ශ්‍රි වික්‍රම රාජසිංහ රජු බලයට පත්වන්නේ වයස අවුරුදු 18දී හිරිමල් තරුණයෙක් විදියට. 1836දි ඔහු රටින් පිටුවහල් කරනවා. ළමා කාලයේ සිටම රජුට පිළිමතලාවෙගෙ දැඩි ග්‍රහණයට ලක්ව කටයුතු කරන්න සිදුවනව. නමුත් කල්යත්ම රජු පිළිමතලාවට අවනත නොවන විට ඔහු රජුට එරෙහිව ද්‍රෝහිකම් කරනවා. ඒ ද්‍රෝහිකම්වල ප්‍රතිඵලයක් විදියට ඇහැළේපොල, එක්නැළිගොඩ වැනි ප්‍රභූ පිරිස් පිළිමතලාවගෙ පාර්ශ්වය ගෙන රජුට එරෙහිව කටයුතු කරනවා. එහෙත් මේ සියල්ල පිටුපස සිටින කුමන්ත්‍රණ කරුවා තමයි ජෝන් ඩොයිලි. 1798 දී රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා ලෙස පත්වී ලංකාවට එනවා. ඒ අවුරුද්දෙම තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජ වෙන්නේ. ඒ වෙනකොට ලංකාව එංගලන්තයේ ක්‍රවුන් කොලනියක් විදියට ප්‍රකාශයට පත්කර තිබුණා. බ්‍රිතාන්‍ය ඒ කා‍ෙල් ප්‍රංශයත් සමඟ යුද්ධයකට මුහුණ දුන්නා. ඒකට කිව්වේ ඒනියන් යුද්ධය කියලා. ඉන් විශාල පරාජයකට ඉංග්‍රීසීන්ට මුහුණ දෙන්න සිදු වුණා. ඒ නිසා බටහිර රටවල් යටත් කිරීම නවතා ආසියාතික රටවල් යටත් කරගැනීමට ඔවුන් පෙළඹුණා. එහිදී ඉන්දියන් සාගර කලාපයේ කේන්ද්‍රීය ස්ථානයක පිහිටි රටක් ලෙස මුලින්ම ඔවුන්ට යටත් කර ගතයුතු රට වූයේ ලංකාවයි. ඒ අනුව ආසියාවේ මුල්ම ක්‍රවුන් කොලනියක් වන්නේ ලංකාවයි. හතරවන ජෝර්ජ් රජ්ජුරුවන්ට යටත් රාජ්‍යයක් නිසා ලංකාවේ රජකෙනෙක් ඉන්න බැහැ. ඒ නිසා බ්‍රවුන්රිග්ට නියමවෙනවා මේ රටේ සම්පුර්ණ බලය ඔහු යටතට ගන්න. 1803 දි බ්‍රවුන්ර්ග්ගේ සැලැසුම් අනුව උඩ රට යටත් කරගැනීමට යාමේ දී ඔවුන් නොසිතූ විරූ ප්‍රහාරයකට ලක්වෙනවා. මෙලෙස දරුණු පරාජයක් ඉංග්‍රීසීන්ට අත්වෙන්නේ මෙරට රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහගේ සූක්ෂ්ම වැඩපිළිවෙල නිසා. ඒ අනුව 1803දී ඉංග්‍රීසීන් සහමුලින්ම කන්ද උඩරට රාජ්‍යට යටත්වෙනවා. මේ ලැබූ දරුණු පරාජයත් සමඟ ඔවුන් උඩ රට ඇල්ලීමේ අදහස මුලුමනින්ම අතහැර දමනවා. එහෙම අතහැරලා හිටපු වෙලාවක තමයි, හොඳින් පුහුණු කළ රහස් පරීක්ෂකයකු වූ ජෝන් ඩොයිලි ලංකාවට එන්නේ. ඔහු කේන්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ උගත් බුද්ධිමත් දැනුමැති සටකපට පුද්ගලයෙක්. ඔහුට පැවරෙන රාජකාරිය තමයි උඩරට රාජ්‍ය ක්‍රමානුකූලව දුර්වල කර දියකර හැරීම.

ඒ සැලැස්ම අනුව ඩොයිලි දකුණේ බලවත් භික්ෂුවක්ව සිටි මාතර කරතොට ධර්මාරාම හමුදුරුවන් ළඟ සිංහල ඉගෙන ගැනීමට යනවා. උන්වහන්සේ දේශපාලනික වශයෙන් උඩරට ප්‍රභූ පිරිස් සමඟ හොඳ සබඳතාවයන් පැවති භික්ෂුවක්. එතකොට ඉතාම පැහැදිලියි, ඔහු කරතොට හාමුදුරුවන් ළඟ නතරවෙන්නෙම ඔහුගේ සැලැස්මට අනුව බව. ඒ අනුව ඔහු භික්ෂූන්වහන්සේලා සමඟ සමීප සම්බන්ධතා ගොඩනගනවා. බුලත් විටක් කාලා සරමක් ඇඳලා සිංහල උරුවට හැඩගැහිලා සිංහලයෙක් වගේ ගම්මුන් එක්ක කුළුපග වෙනවා. ඔවුන්ගේ කටයුතු සඳහා උදව් පදව් කරන්න පටන් ගන්නවා. එය සම්පූර්ණයෙන්ම රහස් ඔත්තු කරුවකුගේ ක්‍රියාන්විතයක් බව ඉතාම පැහැදිලියි. භික්ෂූන් වහන්සේලා මෙයාට රැවටෙනවා. ඩොයිලි කියන්නේ බෞද්ධ උත්තමයෙක් ඔහු ඇවිත් තියෙන්නේ බුදු දහම ආරක්ෂා කරන්න බුද්ධ ශාසනය බේරගන්න කියලා හාමුදුරුවරු හිතනවා. ඔහු බුදු සසුන රැකගන්න ආ උත්තමයෙක් බව කිරළ සන්දේශයේ පවා සටහන් වී තිබෙනවා. ඒ අරමුණ ඇතිව ඩොයිලිට උදව් කරන්න භික්ෂූන් වහන්සේලා කටයුතු කරනවා. එතනදි ඩොයිලිට උඩරට නායකයින් සමඟ සබඳතා වර්ධනය කර ගන්න භික්ෂූන් වහන්සේලා තමයි මුල්වෙන්නේ. (භික්ෂූන් ගේ නම් හා මේ ක්‍රියාවලිය පිළිබඳ දීර්ඝ විස්තරයක් කෘතියේ දැක්වෙනවා) එපමණකින් නොනැවතී ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට එරෙහි බලවේගයක් ගොඩනගන්නත් ඔවුන් මූලිකත්වය සපයනවා. එහි අවසාන ප්‍රතිඵලය වුණේ අවුරුදු දහයක් වැනි කෙටි කාලයක් ඇතුළත උඩරට රාජ්‍යය දියවී යෑමයි. මේ නිසා මේ සියලු දේම සැලසුම් කරන්න ඔහුට මූලික අඩිතාලම වැටෙන්නෙ පන්සල හරහා. එමගින් උඩරට නායකයින් හා රජු අතර මෝදුවෙමින් තිබෙන විරසකය ඔහු දැන ගන්නවා. ඒ අනුව ඔහු තම පිඹුරුපත සකස් කරනවා. අනතුරුව ක්‍රමයෙන් මෙරට රාජ්‍ය පාලනය දිය කර හැරීම පිළිබඳව ඉතාම පැහැදිලි නිරවුල් කරුණු මත පදනම්ව මහාචාර්ය ඔබේසේකරයන් මේ කෘතිය රචන කර තිබෙනවා.

• ජෝන් ඩොයිලි හා ගජමන් නෝනා අතර පෙම්සබඳතාවක් පැවති බව කියැවෙනවා. ඒ සම්බන්ධයෙන් මේ කෘතිය තුළ සඳහනක් නැහැ?

ඔව්, එහෙම ආදර සම්බන්ධතාවයක් ගැන සඳහනක් මෙහි දක්වා නැහැ. එහෙත් මනරම් ලෙස ඩොයිලිව වර්ණනා කරමින් ගජමන්නෝනා ඩොයිලිට කවි පන්තියක් ලියා යවනවා. ඒවා ඉතාම රසවත් කවි. මෙහි එම කවි අන්තර්ගත කර තිබෙනවා. එහෙත් එවැනි සබඳතාවයක් තිබුණු බවට මේ කවි පාදක කර ගනිමින් බ්‍රෙන්ඩන් ගුණරත්න සහ යස්මින් ගුණරත්න 'This Inscrutable Englishman', Sir John D’Oyly, කියලා කෘතියක් ලියා තිබෙනවා. එහෙත් එය එතරම් යථාර්ථවාදී කියැවීමක් ලෙස පිළිගන්න අමාරුයි. මොකද ඇයට ප්‍රශ්නයක් මතුවී තිබුණා ඉඩමක් සම්බන්ධව. එය නිරාකරණය කරගැනීම සඳහා උදව් කරන ලෙස ජෝන්ඩොයිලිට ඇය ලියා තිබෙනවා. එහිදී තම කාර්ය සඵල කරගැනීම උදෙසා ජෝන් ඩොයිලිව වර්ණනා කරමිනුයි ඒ කවි ලියා තිබෙන්නේ. ස්ත්‍රියකගේ ආලවට්ටම් කතා කාව්‍යයට රිංගා තිබෙනු විනා වෙනත් සම්බන්ධයක් නිසා එසේ ලියූවායැයි සිතීමට පුළුවන් කමක් නැහැ.

• මේ කෘතිය තුළ සිංහල දෙමළ භේදයේ ඓතිහාසික මුහුණුවර පිළිබඳ කිසියම් විවරණයක් ගෙන ඒමට උත්සාහ කළ බවක් පේනවා.

සත්තකින්ම ඔව්, මේ කෘතියේ වැදගත්ම තැනයි ඔබ අල්ලාගෙන තිබෙන්නේ. මම කලින් සඳහන් කළ ආකාරට රජු සමඟ ජනතාව වෛරයක් ඇති කිරීම සඳහා ඔවුන් සිංහල දෙමළ භේදයක් උත්සන්න කරනවා. ඒක හරි බල සම්පන්න භේදයක්. ඇත්තෙන්ම ශ්‍රී වික්‍රම රාජසිංහ දෙමළ රජ කෙනෙක් නෙවෙයි. ඔහු 'වඩුග ර‍ෙජක්. 'වඩුග' කියන වදනේ නිරුක්තිය 'උතුරු වැසියා' කියන එකයි. තෙළිඟු කියනනේ දෙමළ භාෂාවට නෙමෙයි. එය ද්‍රවිඩ භාෂා කුලකයට අයත් උපභාෂාවක්. ලංකාවේ නම ඇතුළුව සිංහල භාෂාවේ 70%ක් පමණ තිබෙන්නේ තෙළිඟු වචන. 'ලංකා' කියන වචනයේ තෙළිඟු නිරුත්තිය 'දූපත' කියන එකයි. එතනින්ම තේරෙන්න ඕන මේ සම්බන්ධතාවයේ පවතින ඓතිහාසික ස්වරූපය කෙතරම් වැදගත්ද? එය අප කොතෙක් දුරට ගවේෂණය කර තිබෙනවාද කියන කාරණය. අනික තෙළිඟු භාෂාව කතා කළ මේ පිරිස බෞද්ධයින් බව හොඳින්ම සනාථවන කාරණාව වන්නේ තෙළිඟු භික්ෂූන් අනුරධපුරයට පැමිණ බෞද්ධ ග්‍රන්ථයන්ට අටුව ටීකා ලිවීමට දායක වීමයි. එහෙම දායක වීමට ඔවුන්ට පුළුවන් කම ලැබුණෙ තෙළිඟු හා සිංහල භාෂව අතර පවතින ඥාතීත්වය නැත්නම් සමාන කම නිසයි. අදටත් සිංහල අකුරුවල හා තෙළිඟු අකුරුවල හැඩය එකහා සමානයි. ඒ නිසා අනුරාධපුර යුගයේ සිටම තෙළිගු භාෂාව කතා කරන අය හා සිංහල අය අතර ඒ තරම් දුරස්ථභාවයක් තිබී නැහැ. ඒ සමීපතාවය බාධාවකින් තොරව පැවති නිසා තෙළිඟු භාෂාව කතා කරන නායක්කාර් වංශිකයින්ට උඩරට පාලන බලය හිමිවීම ගැටළුවක් වූයේ නැහැ. වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ කියන කුණ්ඩසාල රජු මියගියායින් පසුව මදුරා පුරයෙන් ගෙනා රජුගේ නායක්කාර් වංශික බිසවගේ මලනුවන් වන විජය රාජසිංහ උඩරට රජකමට පත්කිරීමේ කටයුත්ත සඳහා මුල්වන්නේ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන්. එදා සිට වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගෙන් පසුව වසර 400ක පමණ කාලයක් උඩරට රජ්‍යය නායක්කාර් වංශිකයින් යටතේ පැවතුණා. එහෙම වුණාය කියලා කවුරුවත් ඔවුන් සමග ප්‍රශ්නයක් ඇති කරගත්තේ නැහැ. ඒ ප්‍රශ්නය මුලින්ම ගොඩනගන්නේ ජෝන් ඩොයිලි. මොහු දෙමළෙක්, ආක්‍රමණිකයෙක් කියලා මතයක් ජනතාව තුළ ගොඩනගන්නේ ඩොයිලි. නමුත් මහාචාර්ය ඔබේසේකරයන් පෙන්ව දෙනවා රජු කෙතරම් බෞද්ධ වත්පිළිවෙත් සමඟ බැඳී සිටියද කියන කාරණාව.

විශේෂයෙන්ම දළදා මාළිඟා පරිශ්‍රය නවීකරණය කරලා, පත්තිරිප්පුව හදලා, වළාකුළු බැම්ම හදලා, නුවර වැව සහ බෝගම්බර වැව් හදලා නුවර වීදි සැලැස්ම හදල අද ලෝක උරුමයක් වෙච්ච මහනුවර නගරයේ සැලැසුම් කරුවා ඔහු බව. රජුලෙස ඔහුගේ මෙහෙය වීමෙන් මේ දෙවල් නිර්මාණය වී තිබෙන බව. එහෙත් මේ සියල්ලක්ම වැරැදි ලෙසයි ඇහැළේපොල වර්ණනාවේ සහ කිරළ සංදේශයේ සඳහන්ව ඇත්තේ. ඒ තුළ අපට දෙමළ විරෝධය ඉතා හොඳින් දැක ගන්න පුළුවන්. එනිසා නැවතත් අපි දිහාම අාපසු හැරී බලන්න කියලා මම මේ රටේ පුරවැසියන්ට ආරාධනා කරනවා. එ් සඳහා එබී බලන්න හොඳ කවුළුවක් මහාචාර්ය ගණනාථ ඔබේසේකරයන් ඩූම් කිං(ග්) කෘතිය හරහා නිර්මාණය කර දී තිබෙනවා.



වසින් සක රජ එක් දහස් සත් සිය විසිවන වස පෙ මා
මෙවන් සිරි ලක සතුන් පෙර කළ පවක් පල දෙන විලස මා
නපුං සක දිටු අරිටු මිසදිටු කුදිටු දෙමළෙක් රජව මා
සසුන් වවමැ'යි කියා සිරි ලක නැසී මෙලෙසින් දින හැ මා

එතැන් සිට ලක මිනී මැරුමට පටන්ගෙන විලසට සො රා
ඔවුන් සන්තක මුදල් ගම් බිම් මරාලෙට ගෙන වැඩි ක රා
බුදුන් දෙවියන් සතුව තිබු ගම් රැගෙන එහි දෙමළුන් පු රා
ලෙවන් සිත් බිය ගන්වමින් පත් ලෙසින් අංගුලි මල් සො රා

ඇහැළේ පොළ වර්ණනාව - වැලිගල කිවිඳු
(මුල්කාලීන කාව්‍යය පිළිබඳව ලියැවී ඇති කෘතියකිනි)

වැඩි විස්තර සදහා 👇
https://www.facebook.com/navodyapathirana.NethuKawulu
සංවාද සටහන
නරසික කොටුදුරගේ

උපුටා ගැනීමකි
නෙතු කවුළු ✍️ ❤️

Want your school to be the top-listed School/college in Warakapola?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Main Street , Warakapola
Warakapola