05/01/2026
🔵 ආර්ථික පද්ධති වර්ගීකරණය:
න්‍යායාත්මක හා ප්‍රායෝගික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ප්‍රධාන විකල්ප ආර්ථික පද්ධති හතරක් හඳුනාගත හැකිය:
01. සම්ප්‍රදායික ආර්ථික පද්ධති (Traditional Economic Systems)
02. වෙළඳපොළ ආර්ථික පද්ධති (Market Economic Systems)
03. සැලසුම් ආර්ථික පද්ධති (Planned Economic Systems)
04. මිශ්‍ර ආර්ථික පද්ධති (Mixed Economic Systems)
01. සම්ප්‍රදායික ආර්ථික පද්ධති :
-----------------------------
සිරිත් විරිත්, සම්ප්‍රදායන් සහ ආගමික පසුබිම මත පදනම්ව මූලික ආර්ථික ප්‍රශ්න (කුමක්,කොපමණ, කෙසේ, කා සඳහා නිෂ්පාදනය කරන්නේද?) විසඳනු ලබන පද්ධති මෙයින් අදහස් කෙරේ.
🟩 ප්‍රධාන ලක්ෂණ:
i. සාමූහික හිමිකම: දේපළ හා සම්පත්වල අයිතිය බොහෝ විට ප්‍රජාව හෝ ගෝත්‍රය සතු වේ.
ii. ස්වයංපෝෂිත බව: සරල අවශ්‍යතා සපුරා ගැනීම ඉලක්ක කරගත් සරල අර්ථ ක්‍රමයකි.
iii. පාරම්පරික තාක්ෂණය: නිෂ්පාදන ක්‍රියාවලියේදී සරල ශිල්පී ක්‍රම හා අතීතයේ සිට පැවත එන ක්‍රමවේද භාවිත කරයි.
iv. බෙදාහැරීම: නිෂ්පාදිත භාණ්ඩ බෙදී යාම තීරණය වන්නේ වෙළඳපොළ බලවේග මත නොව, පවතින සම්ප්‍රදායන්ට අනුකූලවය.
v. භාණ්ඩ හුවමාරුව: මුදල් භාවිතය අවම වන අතර, ගනුදෙනු බොහෝ විට භාණ්ඩ-භාණ්ඩ හුවමාරු (Barter System) ක්‍රමය මත පදනම් වේ.
02. වෙළඳපොළ ආර්ථික පද්ධති (ධනවාදී ආර්ථික පද්ධති) :
--------------------------------------------------------
සම්පත්වල පෞද්ගලික හිමිකම පවතින, මිල යාන්ත්‍රණය (Price Mechanism) මඟින් සියලු ආර්ථික තීරණ සම්බන්ධීකරණය කරනු ලබන නිදහස් ආර්ථික පද්ධතියකි.
උදාහරණ: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, සිංගප්පූරුව, ජපානය.
🟩 ප්‍රධාන ලක්ෂණ:
i. පෞද්ගලික දේපළ හිමිකම: භූමිය, ප්‍රාග්ධනය හා අනෙකුත් සම්පත් හිමිකර ගැනීමට, පරිහරණය හා විකිණීමට පුද්ගලයන්ට නීතිමය අයිතිය ඇත.
ii. නිදහස් ව්‍යවසාය: ඕනෑම නිෂ්පාදනයක නිරත වීමට හෝ එයින් ඉවත් වීමට පූර්ණ නිදහස පවතී.
iii. තරඟකාරීත්වය: නිෂ්පාදකයන් හා පාරිභෝගිකයන් අතර පවතින නිදහස් තරඟය නිසා කාර්යක්ෂමතාව ඉහළ යයි.
iv. මිල යාන්ත්‍රණය: ඉල්ලුම හා සැපයුම මත පදනම්ව මිල තීරණය වන අතර, එම මිල මඟින් සම්පත් බෙදාහැරීම සිදු වේ.
v. ස්වාර්ථය (Self-Interest):
🔘 නිෂ්පාදකයන් : උපරිම ලාභය
ලැබීමට උත්සාහ කරයි.
🔘 පාරිභෝගිකයන් : අවම පිරිවැයකින්
උපරිම තෘප්තිය ලැබීමට උත්සාහ
කරයි.
vi. සීමිත රාජ්‍ය මැදිහත්වීම: රජයේ කාර්යභාරය නීතිය හා සාමය පවත්වා ගැනීමටත්, පෞද්ගලික දේපල සුරක්ෂිත කිරීමටත් පමණක් සීමා වේ (Laissez-faire).
03. සැලසුම් ආර්ථික පද්ධති (Command Economic Systems) :
----------------------------------------------------------------
මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම සඳහා මධ්‍යගත රජයක් හෝ සැලසුම් අධිකාරියක් සෘජුව මැදිහත් වන පද්ධතියකි. මෙහිදී මිල යාන්ත්‍රණයට වඩා රජයේ නියෝග වැදගත් වේ.
⭕ ⭕>> මිල යාන්ත්‍රණය (Price Mechanism):
ආර්ථිකයක් පුරා විසිරී සිටින පාරිභෝගිකයන්, නිෂ්පාදකයන් සහ සාධක සපයන්නන් ස්වාර්ථය (Self-interest) මත පදනම්ව ගනු ලබන ස්වාධීන තීරණ, කිසිදු මධ්‍යගත පාලනයකින් තොරව මනාව සම්බන්ධීකරණය කරනු ලබන පද්ධතිය මිල යාන්ත්‍රණය ලෙස හැඳින්වේ.
වෙළඳපොළ ආර්ථිකයක මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම සඳහා භාවිත වන ප්‍රධානතම මෙවලම මෙයයි.
🔘 ප්‍රධාන ලක්ෂණ සහ ක්‍රියාකාරිත්වය :
✅අදෘශ්‍යමාන හස්තය (Invisible Hand): ආර්ථික විද්‍යාවේ පියා ලෙස සැලකෙන ඇඩම් ස්මිත් (Adam Smith) පෙන්වා දුන් පරිදි, පුද්ගලයන් තමන්ගේ පෞද්ගලික ලාභය හෝ වාසිය උදෙසා කටයුතු කළද, මිල යාන්ත්‍රණය හරහා එම තීරණ පොදු සමාජ සුබසාධනය ඉහළ නංවන පරිදි ස්වයංක්‍රීයව මෙහෙයවනු ලැබේ.
✅සම්බන්ධීකරණය: ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතර ඇති වන අන්තර් ක්‍රියාකාරිත්වය මත මිල තීරණය වන අතර, එම මිල මඟින් සම්පත් බෙදා හැරිය යුතු ආකාරය පිළිබඳව සංඥා නිකුත් කරයි.
✅තීරණ ගැනීම:
▪️පාරිභෝගිකයා: භාණ්ඩයක මිල ඉහළ යන විට තම ඉල්ලුම සීමා කරමින් උපරිම තෘප්තියක් ලැබීමට උත්සාහ කරයි.
▪️නිෂ්පාදකයා: ඉහළ මිලක් පවතින භාණ්ඩ නිෂ්පාදනය වැඩි කරමින් ලාභ උපරිම කර ගැනීමට උත්සාහ කරයි.
▪️සාධක හිමියන්: වැඩිම මිලක් (වැටුප්/කුලී) ගෙවන අංශ වෙත තම සම්පත් ලබා දීමට පෙළඹේ.
මිල යාන්ත්‍රණයේ මූලික කාර්යය:
▪️සංඥා නිකුත් කිරීමේ කාර්යය (Signalling Function):
සම්පත් හිඟතාවය හෝ අතිරික්තතාවය පිළිබඳව පාරිභෝගිකයන්ට සහ නිෂ්පාදකයන්ට අවශ්‍ය තොරතුරු මිල මඟින් සපයයි.
▪️සලාකනය කිරීමේ කාර්යය (Rationing Function):
හිඟ සම්පත් වැඩිම මිලක් ගෙවීමට කැමති පිරිස අතර බෙදා හැරීමට මිල යාන්ත්‍රණය උපකාරී වේ.හිඟ සම්පත් විකල්ප භාවිතා අතර බෙදා වෙන්කොට දීම හෙවත් සලාක කොට දීම සලාක කිරීම ලෙස හැඳින්වේ.
උදා:- කිසියම් භාණ්ඩයක මිල ඉහළ යාම නිසා එම කර්මාන්තයේ භාණ්ඩ නිෂ්පාදනය ඉහළ දැමීම සිදු කරයි. එවිට එවිට සාපේක්‍ෂව මිල අඩු කර්මාන්තවල සිට මිල වැඩි කර්මාන්ත වෙත සම්පත් සංචලනය වේ.
▪️සානුබල සැපයීමේ කාර්යය (Incentive Function):
නිෂ්පාදකයන්ට වැඩිපුර නිෂ්පාදනය කිරීමට හෝ පාරිභෝගිකයන්ට අරපිරිමැස්මෙන් පාරිභෝජනය කිරීමට මිල වෙනස්වීම් මඟින් පෙළඹවීමක් ඇති කරයි.
◾ නිෂ්පාදන සානුබල :
භාණ්ඩයක මිල ඉහළ යාම - ලාභය වැඩිවීම - නිෂ්පාදනය වැඩි කිරීමට පොළඹවයි.
භාණ්ඩයක මිල පහළ යාම - ලාභ අඩු වීම - එම නිසා නිෂ්පාදන අඩු කිරීමට පෙළඹේ
◾ පාරිභෝගික සානුබල:
භාණ්ඩයක මිල ඉහළ යාම - පරිභෝජන වියදම වැඩිවීම- පරිභෝජනය සීමා කිරීමට පෙළඹේ.
භාණ්ඩයක මිල පහළ යෑම - පරිභෝජන වියදම අඩුවීම - පරිභෝජනය වැඩි කිරීමට පෙළඹේ
වෙළඳපොළ ආර්ථිකයක මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම:
--------------------------------------------------
වෙළඳපොළ ආර්ථිකයක මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම සඳහා ප්‍රධාන වශයෙන්ම පාදක වන්නේ මිල යාන්ත්‍රණය (Price Mechanism) සහ ස්වාර්ථය (Self-interest) මත පදනම් වූ පුද්ගල තීරණයි.
01. කුමක් නිෂ්පාදනය කළ යුතුද ? :
මෙම ප්‍රශ්නය තීරණය වන්නේ පාරිභෝගික කැමැත්ත හෙවත් පාරිභෝගික පරමාධිපත්‍යය (Consumer Sovereignty) මතයි.
🔷ලාභ පරමාර්ථය: නිෂ්පාදකයන් සැමවිටම පෙළඹෙන්නේ ඉහළ ඉල්ලුමක් පවතින, එමඟින් උපරිම ලාබ ඉපයිය හැකි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමටයි.
.
🔷මිල සංඥා: වෙළඳපොළේ යම් භාණ්ඩයකට ඉහළ ඉල්ලුමක් පවතින විට එහි මිල ඉහළ යයි. මෙය
නිෂ්පාදකයාට එම භාණ්ඩය වැඩිපුර නිපදවීමට ලැබෙන සංඥාවකි.
🔷අලාභ අවම කිරීම: ඉල්ලුමක් නොමැති හෝ පාඩු ලබන භාණ්ඩ නිෂ්පාදනයෙන් සම්පත් ඉවත් කර
ගනු ලැබේ.
02. කෙසේ නිෂ්පාදනය කළ යුතුද? (How to Produce?):
මෙම ප්‍රශ්නය විසඳනුයේ පිරිවැය අවම කර ලාභය උපරිම කරගත හැකි කාර්යක්ෂම නිෂ්පාදන ශිල්ප ක්‍රම තෝරා ගැනීමෙනි.
🔷සාධක මිල ගණන්: නිෂ්පාදනය සඳහා යොදාගන්නා සාධක (ශ්‍රමය, ප්‍රාග්ධනය ආදිය) වල මිල ගණන් මෙහිදී තීරණාත්මක වේ.
🔷අවම පිරිවැය සංයෝජනය: නිෂ්පාදකයින් සැමවිටම උත්සාහ කරන්නේ සාපේක්ෂව බහුල (මිල අඩු) නිෂ්පාදන සාධක වැඩිපුර භාවිතා කරමින් පිරිවැය අවම කිරීමටයි.
උදාහරණ: ශ්‍රමය බහුල රටක ශ්‍රම මූලික ශිල්ප ක්‍රමද, ප්‍රාග්ධනය බහුල රටක ප්‍රාග්ධන මූලික (යන්ත්‍ර සූත්‍ර) ශිල්ප ක්‍රමද භාවිතා වේ.
🔷තාක්ෂණික දියුණුව: තරඟකාරීත්වය හමුවේ වෙළඳපොළේ රැඳී සිටීම සඳහා නවීන හා කාර්යක්ෂම
තාක්ෂණයන් අනුගමනය කිරීමට නිෂ්පාදකයන් පෙළඹේ.
03. කා සඳහා නිෂ්පාදනය කළ යුතුද? (For Whom to Produce?) :
වෙළඳපොළ ආර්ථිකයක භාණ්ඩ හා සේවා බෙදී යෑම තීරණය වන්නේ පුද්ගලයන්ගේ ක්‍රය ශක්තිය (Purchasing Power) මතයි.
🔷ආදායම් බෙදීයාම: පුද්ගලයෙකුට භාණ්ඩ පරිභෝජනය කිරීමට ඇති හැකියාව තීරණය වන්නේ ඔවුන් සතු නිෂ්පාදන සාධක (ශ්‍රමය, ඉඩම්, ප්‍රාග්ධනය) වෙළඳපොළට සැපයීමෙන් ලබන ආදායම මතය.
🔷සාධක මිල: ශ්‍රමයට වැටුප් ලෙසද, ඉඩම්වලට කුලී ලෙසද, ප්‍රාග්ධනයට පොලී ලෙසද ලැබෙන ආදායම අනුව පුද්ගලයාගේ මිලදී ගැනීමේ හැකියාව තීරණය වේ.
🔷ප්‍රතිඵලය: අවසාන නිෂ්පාදිතයන් බෙදී යන්නේ අවශ්‍යතාවය මත නොව, ඒ සඳහා මිලක් ගෙවීමට ඇති හැකියාව (Effective Demand) මතය. එනම්, ඉහළ ආදායම් ලබන්නන්ට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් පරිභෝජනය කිරීමට අවස්ථාව හිමි වේ.
🍀 සාරාංශය: වෙළඳපොළ ආර්ථිකයක මෙම ප්‍රශ්න තුනම විසඳීමේදී මධ්‍යගත සැලසුම්කරුවෙකු නොමැති අතර, සියල්ල මිල යාන්ත්‍රණය නැමැති "අදෘශ්‍යමාන හස්තය" මඟින් ස්වයංක්‍රීයව පාලනය වේ.
🛑 පාරිභෝගික පරමාධිපත්‍යය (𝗖𝗼𝗻𝘀𝘂𝗺𝗲𝗿 𝗦𝗼𝘃𝗲𝗿𝗲𝗶𝗴𝗻𝘁𝘆):
වෙළඳපොළ ආර්ථිකයක අවසාන තීරකයා හෝ "රජු" ලෙස සැලකෙන්නේ පාරිභෝගිකයාය. සම්පත් වෙන් කළ යුත්තේ කුමන නිෂ්පාදන සඳහාද යන්න තීරණය වන්නේ පාරිභෝගික කැමැත්ත මත බැවින් මෙය පාරිභෝගික පරමාධිපත්‍යය ලෙස හැඳින්වේ.
පාරිභෝගික බලය: පාරිභෝගිකයන් යම් භාණ්ඩයක් මිලදී ගැනීම මඟින් එම නිෂ්පාදනයට "ඡන්දය" ලබා දෙන අතර, එමඟින් කුමන කර්මාන්ත වෙළඳපොළේ රැඳී සිටිය යුතුද යන්න තීරණය වේ.
🔥 අභියෝග: වර්තමානයේ ප්‍රබල වෙළඳ දැන්වීම් (Advertising) මඟින් පාරිභෝගික රුචිකත්වය වෙනස් කිරීම සහ ඒකාධිකාරී වෙළඳපොළ බලය (Monopoly power) හරහා පාරිභෝගික තේරීම් සීමා කිරීම නිසා පාරිභෝගික පරමාධිපත්‍යය යන්න "අර්ධ සත්‍යයක්" ලෙස ඇතැම් ආර්ථික විද්‍යාඥයෝ හඳුන්වති.
වෙළඳපොළ ආර්ථික ක්‍රමයේ වාසි (𝗔𝗱𝘃𝗮𝗻𝘁𝗮𝗴𝗲𝘀):
✔️සම්පත් බෙදාහැරීමේ කාර්යක්ෂමතාව: මිල යාන්ත්‍රණය හරහා සම්පත් වඩාත් ඉල්ලුමක් පවතින අංශ
වෙත ස්වයංක්‍රීයව යොමු වීම.
✔️නව්‍යකරණය (Innovation): තරඟකාරීත්වය හමුවේ වෙළඳපොළ රැඳී සිටීම සඳහා නිෂ්පාදකයන්
නිරන්තරයෙන් අලුත් නිෂ්පාදන සහ තාක්ෂණයන් හඳුන්වා දීම.
✔️සානුබල (Incentives): ලාභය මූලික කරගත් පද්ධතියක් බැවින් පිරිවැය අවම කර ගැනීමට සහ
කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට නිෂ්පාදකයන් පෙළඹීම.
✔️තේරීමේ නිදහස: පාරිභෝගිකයාට තමන්ගේ කැමැත්ත සහ ආදායම අනුව විවිධ වර්ගයේ භාණ්ඩ හා
සේවා තෝරා ගැනීමට පුළුල් අවස්ථාවක් ලැබීම.
✔️ආර්ථික අතිරික්තය උපරිම වීම: පාරිභෝගික අතිරික්තය සහ නිෂ්පාදක අතිරික්තය යන දෙකෙහි
එකතුව උපරිම මට්ටමක පවතිමින් සමාජ සුබසාධනය ඉහළ යාම.
✔️ඉක්මන් ප්‍රතිචාර: වෙනස් වන පාරිභෝගික වුවමනා සහ වෙළඳපොළ තත්ත්වයන්ට ඉක්මනින්
අනුවර්තනය වීමේ හැකියාව.
වෙළඳපොළ ආර්ථික ක්‍රමයේ අවාසි (𝗗𝗶𝘀𝗮𝗱𝘃𝗮𝗻𝘁𝗮𝗴𝗲𝘀):
✔️වෙළඳපොළ බලවේග මඟින් පමණක් සම්පත් කාර්යක්ෂමව බෙදා හැරීමට නොහැකි වීම "වෙළඳපොළ අසාර්ථක වීම" (Market Failure) ලෙස හඳුන්වන අතර එහි අවාසි කිහිපයකි:
✔️පොදු භාණ්ඩ (Public Goods) නිෂ්පාදනය නොවීම: ලාභයක් ඉපයිය නොහැකි බැවින් වීදි ලාම්පු, ආරක්ෂාව වැනි පොදු භාණ්ඩ පෞද්ගලික අංශය මඟින් නිෂ්පාදනය නොකිරීම.
✔️සමාජ සාධාරණත්වය ඉටු නොවීම: ආදායම් ව්‍යාප්තියේ විශමතා ඇති වීම නිසා ධනවතුන් සහ දුප්පතුන් අතර පරතරය ඉහළ යාම.
✔️බාහිරතාවන් (Externalities) නොසලකා හැරීම: නිෂ්පාදන ක්‍රියාවලියේදී සිදුවන පරිසර දූෂණය වැනි අහිතකර සමාජ පිරිවැය නිෂ්පාදකයන් විසින් සැලකිල්ලට නොගැනීම.
✔️අවගුණ භාණ්ඩ (Demerit Goods): සමාජයට අහිතකර වූවත් ලාභ ලැබිය හැකි නම් මත්පැන්, දුම්වැටි වැනි භාණ්ඩ අධික ලෙස නිෂ්පාදනය හා පරිභෝජනය වීම.
✔️සුභසාධන භාණ්ඩ (Merit Goods) අවම වීම: අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සමාජයට හිතකර භාණ්ඩ ප්‍රමාණවත් පරිදි නිෂ්පාදනය නොවීම.
✔️ආර්ථික අස්ථාවරත්වය: උද්ධමනය, විරැකියාව සහ වෙළඳ චක්‍ර (බූම් සහ පසුබෑම) වැනි තත්ත්වයන් නිතර ඇති වීම.
✔️ඒකාධිකාරී තත්ත්වයන්: තරඟය වෙනුවට විශාල සමාගම් වෙළඳපොළ බලය අත්පත් කර ගැනීම නිසා පාරිභෝගිකයා සූරාකෑමට ලක්වීම.
🔴 මෙම වෙළඳපොළ අවාසි මඟහරවා ගැනීම සඳහා "මිශ්‍ර ආර්ථිකයක" රජය මැදිහත් වන ආකාරය
පිළිබඳව කරුණු සොයා බලමු.
03. සැලසුම්ගත ආර්ථික පද්ධති (Planned / Command Economic Systems):
නිර්වචනය: මූලික ආර්ථික ප්‍රශ්න මධ්‍යම සැලසුම් අධිකාරියක් හෝ රජය විසින් නිකුත් කරනු ලබන නියෝග මඟින් විසඳනු ලබන, නිෂ්පාදන සම්පත්වල අයිතිය රජය සතු වූ ආර්ථික පද්ධතියකි.
උදාහරණ: උතුරු කොරියාව, කියුබාව.
✔️ප්‍රධාන ලක්ෂණ:
◾ රාජ්‍ය හිමිකම: ශ්‍රමය හැරුණු විට අනෙකුත් සියලුම නිෂ්පාදන සම්පත් රජය සතු වේ.
◾ පොදු යහපත: පුද්ගලික ලාභය (ස්වාර්ථය) වෙනුවට පොදු සුබසාධනය මූලික වේ.
◾ මධ්‍යගත තීරණ ගැනීම: රජය විසින් පත් කළ සැලසුම් අධිකාරියක් මඟින් ආර්ථික ක්‍රියාවලිය
මෙහෙයවයි.
◾ සමානතාව: ආදායම් බෙදී යාමේ විශාල විෂමතාවයක් දැකිය නොහැක.
◾ තරඟකාරීත්වයක් නොමැති වීම: වෙළඳපොළ තරඟය වෙනුවට රජයේ ඒකාධිකාරයක් පවතී.
🔴 මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරය:
✔️කුමක් නිපදවන්නේද?
◾සැලසුම් අධිකාරිය විසින් වාර්ෂික සැලසුම් සකස් කරනු ලැබේ.
◾භාණ්ඩ හා සේවා සඳහා පාලන මිලක් නියම කරන අතර, පාරිභෝගිකයන් එම මිලට භාණ්ඩ මිලදී ගත යුතුය.
✔️කෙසේ නිපදවන්නේද?
◾සම්පත් සහ තාක්ෂණය පිළිබඳ විස්තර සලකා බලා රජය විසින් නිෂ්පාදන ශිල්ප ක්‍රම තීරණය කරයි.
✔️කා සඳහා නිපදවන්නේද?
◾ආදායම් බෙදී යාම සහ මිල මට්ටම් රජය තීරණය කරයි.
◾අත්‍යවශ්‍ය භාණ්ඩ සහනාධාර යටතේ හෝ නොමිලේ (අධ්‍යාපනය, සෞඛ්‍යය) ලබා දෙන අතර, සුඛෝපභෝගී භාණ්ඩ සඳහා ඉහළ මිලක් නියම කරයි.
නූතන ආර්ථික මාදිලි සහ ප්‍රවණතා:
1. සමාජීය වෙළඳපොළ ආර්ථිකය (Social Market Economy)
වෙළඳපොළ පද්ධතියේ කාර්යක්ෂමතාවය පවත්වා ගනිමින්, වෙළඳපොළෙන් ඉටු නොවන සමාජ සුබසාධන කටයුතු (සමාජ ආරක්ෂණය) සඳහා රජය ප්‍රබලව මැදිහත් වන ක්‍රමයයි.
උදා: ජර්මනිය, නෝර්වේ.
2. සමාජවාදී වෙළඳපොළ ආර්ථිකය (Socialist Market Economy)
සම්පත්වල අයිතිය රජය සතු වුවද, නිෂ්පාදන තීරණ ගැනීම (කුමක්, කොපමණ, කෙසේ) වෙළඳපොළ බලවේගවලට ඉඩ දී ඇති ක්‍රමයයි.
උදා: චීනය.
3. පරිවර්තන ආර්ථික (Transition Economies)
මධ්‍යම සැලසුම් පද්ධතියක සිට වෙළඳපොළ ආර්ථිකයක් කරා ගමන් කරන රටවල් මෙයට අයත් වේ.
උදා: රුසියාව, පෝලන්තය, රුමේනියාව.
4. නැගී එන ආර්ථික (Emerging Economies)
ඉතා කෙටි කලක් තුළ සීඝ්‍ර ආර්ථික වර්ධනයක් අත්කරගත්, ගෝලීය වෙළඳාමේ තීරණාත්මක බලපෑමක් කරන රටවල් වේ. මෑත කාලීනව BRICS රටවල් මෙහි පෙරමුණේ සිටී.
ලක්ෂණ : විශාල ජනගහනය, බහුල සම්පත් සහ පුළුල් වෙළඳපොළ.
රටවල් : බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව.
සාරාංශ සංසන්දනය: ධනවාදය 𝘃𝘀 සමාජවාදය :
🟣ධනේෂ්වර (Capitalist): සම්පත්වල හිමිකාරීත්වය පෞද්ගලික අංශය සතු වන අතර ස්වාර්ථය මත
මෙහෙයවේ.
🟣සමාජවාදී (Socialist): සම්පත් හිමිකාරීත්වය රජය සතු වන අතර සාමූහික සුබසාධනය පරමාදර්ශය
කොට ගනී. (කොමියුනිස්ට්වාදය යනු මෙහි උපරිම අවස්ථාවයි).
04. මිශ්‍ර ආර්ථික පද්ධති (Mixed Economic Systems):
--------------------------------------------------------
✔️නිර්වචනය:
පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශය යන අංශ දෙකෙහිම සහභාගීත්වයෙන් මූලික ආර්ථික ප්‍රශ්න විසඳනු ලබන ආර්ථික පද්ධතිය මිශ්‍ර ආර්ථිකයක් ලෙස හැඳින්වේ. මෙහිදී සම්පත් බෙදාහැරීම සඳහා මිල යාන්ත්‍රණය මෙන්ම රජයේ මැදිහත්වීම යන දෙකම ක්‍රියාත්මක වේ.
✔️මිශ්‍ර ආර්ථිකයක ප්‍රධාන ලක්ෂණ:
◾ද්විත්ව හිමිකම: නිෂ්පාදන සම්පත්වල අයිතිය පෞද්ගලික අංශය මෙන්ම රජය සතු වේ. (උදා: පෞද්ගලික රෝහල් මෙන්ම රජයේ රෝහල් පැවතීම).
◾මිල යාන්ත්‍රණය සහ රජයේ නියාමනය: බොහෝ භාණ්ඩවල මිල ඉල්ලුම හා සැපයුම මත තීරණය වීමට ඉඩ හරින අතරම, අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා රජය පාලන මිල හෝ සහතික මිල පනවනු ලබයි.
◾පෞද්ගලික නිදහස සහ සමාජ සුබසාධනය: පුද්ගලයන්ට තීරණ ගැනීමේ නිදහස පවතින අතරම, දුප්පත් පිරිස් ආරක්ෂා කිරීම සඳහා රජය සුබසාධන වැඩසටහන් (සමෘද්ධි, අස්වැසුම) ක්‍රියාත්මක කරයි.
◾ලාභය සහ පොදු සේවය: පෞද්ගලික අංශය ලාභය අරමුණු කරගෙන ක්‍රියා කරන අතර රාජ්‍ය අංශය පොදු සේවය අරමුණු කරගෙන ක්‍රියා කරයි.
◾ආර්ථික සැලසුම්කරණය: රජය විසින් ජාතික මට්ටමේ සැලසුම් (National Planning) සකස් කරමින් ආර්ථිකයේ දිශානතිය තීරණය කරයි.
✔️මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරය:
මිශ්‍ර ආර්ථිකයක "කුමක්, කෙසේ සහ කා සඳහා" යන ප්‍රශ්න විසඳීමේදී අංශ දෙකම දායක වේ:
◾කුමක් නිපදවන්නේද?: ලාභ ලැබිය හැකි භාණ්ඩ පෞද්ගලික අංශය නිපදවන අතර, ලාභ ලැබිය නොහැකි නමුත් සමාජයට අත්‍යවශ්‍ය පොදු භාණ්ඩ (වීදි ලාම්පු, ආරක්ෂාව) රජය විසින් නිපදවනු ලබයි.
◾කෙසේ නිපදවන්නේද?: පෞද්ගලික අංශය පිරිවැය අඩුම කාර්යක්ෂම ශිල්ප ක්‍රම තෝරාගන්නා අතර, රජය ඇතැම්විට රැකියා උත්පාදනය වැනි සමාජ අරමුණු වෙනුවෙන් ශ්‍රම මූලික ශිල්ප ක්‍රම දිරිමත් කරයි.
◾කා සඳහා නිපදවන්නේද?: ක්‍රය ශක්තිය (Purchasing Power) ඇති අයට වෙළඳපොළෙන් භාණ්ඩ මිලදී ගත හැකි අතර, අඩු ආදායම්ලාභීන් සඳහා රජය සහනාධාර මිලට හෝ නොමිලේ භාණ්ඩ හා සේවා සපයයි.
🟥රජයේ මැදිහත්වීම සිදු වන ආකාර (Government Intervention):
මිශ්‍ර ආර්ථිකයක රජය ප්‍රධාන වශයෙන් ආකාර 3 කින් මැදිහත් වේ:
✔️නියාමකයා ලෙස: පෞද්ගලික අංශයේ අසාධාරණ ක්‍රියා පාලනය කිරීමට නීති පැනවීම.
✔️සැපයුම්කරු ලෙස: අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය වැනි සේවාවන් සෘජුව සැපයීම.
✔️පාරිභෝගිකයා ලෙස: රජයේ අවශ්‍යතා සඳහා පෞද්ගලික අංශයෙන් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම.
උදාහරණ රටවල්: ශ්‍රී ලංකාව, ඉන්දියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය.
🟥ආර්ථික පද්ධතිවල ව්‍යාප්තිය (The Economic Spectrum)
න්‍යායාත්මකව බලන විට, ආර්ථික පද්ධති පූර්ණ නිදහස (වෙළඳපොළ) සහ පූර්ණ පාලනය (සැලසුම්) යන අන්ත දෙකක් අතර පිහිටා ඇත. වර්තමාන ලෝකයේ බොහෝ රටවල් මෙම අන්ත දෙක අතර පවතින "මිශ්‍ර ආර්ථික" කලාපයේ පවතී.
සාරාංශය:
✔️සම්ප්‍රදායික: අතීතය මත රඳා පවතී.
✔️වෙළඳපොළ: ලාභය සහ මිල මත රඳා පවතී.
✔️සැලසුම්: රජය සහ සැලසුම් මත රඳා පවතී.
✔️මිශ්‍ර: වෙළඳපොළ සහ රජය යන දෙකෙහිම එකතුවකි.
සකස් කළේ:
Namal Indrajith Widhanaarachchi
BA (Econ)Sp, MA (Econ), MBA
MFE(Master of Fin.Econ), MIT
PGD in IT, Econ & Bus.Writer.
#ආර්ථිකවිද්‍යාව
#ආර්ථිකවිද්‍යාව