25/07/2021
මුතුහර සඟරාව (2005 මැයි/ජූනි) 18 කණ්ඩය - 11 කලාපය
පිටු අංක : 134-138
ලිපිය : කියවීමේ පුරුද්ද දරුවෙකුට දිය හැකි මහඟුම දායාදයි.
සටහන : රවී සමරසිංහ මයා
ඔබේ දරුවාට දක්ෂ සිසුවෙකු වීමට මඟ පෙන්වන්නේ කෙසේද ?
"පස් හැවැරිදි වික්ටෝරියා ලින් ගේ හොඳම පාසල් කාල පරිච්ඡේදය ඇය පුස්තකාලයේ ගත කරන කාලයයි. ඕ තම ප්‍රියතම ලේඛකයා වන ඩොක්ටර් සියුස් ගේ පොත් සොයා ගන්නීය. ඇගේ මව 'තොප්පිය දමාගත් පූසා' ගේ කතාව කොපමණ වාර ගණනක් ඇයට කියා දී ඇතිද යත් ඇයට තම මතකයේ ද උදව් ඇතිව එම පොතේ බොහෝ ප්‍රමාණයක් තනිව කියවිය හැකිය. ඇය හා ඇගේ පියා එක්ව කියවන, ඇය පියා හා කතාබහ කරන විෂයයන් වන ගිනි නිවන්නන් ගේ ජීවිතය ආදියයි. මුහුදු ජීවීන් පිළිබඳ පොත්පත් ද ඕ රැගෙන යන්නීය. ඇය ළඟදීම මින් මැඳුර නැරඹීමේ අදහසින් සිටින බැවින් ඇය ඩොල්ෆින් මාළුන් පිළිබඳව පොතක් කියවිය යුතු යැයි පුස්තකාලාධිපති නිය පැවසූ නිසා වික්ටෝරියා ඒ පොත ද තම පොත් ගොන්නට එකතු කර ගත්තාය. වික්ටෝරියා හොඳ (පොත්) කියවන්නියක් බවට පත් වෙමින් සිටින්නීය. ඇගේ අනාගතයේ පැහැදිලි වෙනසක් ඇති කිරීමට මේ පුරුද්ද උපකාර වනු ඇත."
දශක ගණනාවක් තිස්සේ කරන ලද සමීක්ෂණවලින් හෙළි වී ඇත්තේ වැඩියෙන්ම පොත්පත් කියවීම හා කියවීම විනෝදාංශයක් කර ගැනීම දරුවකු පාසලේ දී සාර්ථක විමට රුකුලක් වන බවයි. හොඳ කියවන්නෝ සාර්ථක ශිෂ්‍ය ශිෂ්‍යාවෝ බවට පත්වෙති.
ඔවුහු හැම වසරේම වාර විභාග වලින් හැම විෂයකටම වැඩි ලකුණු ලබා ගනිති. ගණිතය, විද්‍යාව වැනි තාර්කික කරුණු ඇතුළත් විෂයයන් ද ඔවුනට අපහසු නොවේ. ඔබේ දරුවන්ට අධ්‍යාපන කටයුතු වලට උපකාර වන ජීවිතය පුරාම විනෝදාංශයක් බවට පත්වන මෙම පුරුද්ද ඔවුන් තුළ ඇතිකරවන්නේ කෙසේද?
01. හොඳ පොත් කියවන්නෝ දිගින් දිගටම වැඩි ලකුණු ලබා ගනිති.
පළමු වසරේ දී දරුවා කියවීමට වැඩිපුර ලකුණු ලබා ගන්නේ නම් දරුවා එකොළොස්වන වසරේ දී හැම විෂයකටම පාහේ වැඩි ලකුණු ලබා ගැනීම නිතැතින්ම සිදුවේ. එයින් අදහස් වන්නේ කුඩා කාලයේ දී පුරුදු වන දේ පසුකාලීන අධ්‍යාපනයටද බලපාන බවයි දරුවාට කියවීම පුරුදු කිරීම සඳහා ඔබත් මේ උපාය මාර්ගයන් අනුගමනය කර බලන්න.
ඔබේ දරුවාට කුඩා කාලයේ දී පොත් කියා දෙන තරමට, ඔබ දරුවා හා කතා බහ කරන්න තරමට, දරුවාට නැළවිලි ගී කියා දෙන තරමට දරුවාගේ වාං මාලාව (Vocabulary) හා වචන පිළිබඳ අවබෝධය වැඩිවේ. කුඩා දරුවන්ගේ භාෂාව අවබෝධ කර ගැනීමේ හැකියාව ඉතා පුදුම සහගතය.
මේ කවුද ? තව කවුද මේ පින්තූරේ ඉන්නේ ? වැනි ප්‍රශ්න ඔබ පොත කියවන අතර දරුවන්ගෙන් අසන්නේ නම් කුතුහලය ඇවිස්සීම නිසා ඔවුන් ඔබ ළඟින් නිසොල්මන්ව වාඩි වී ඔබ සමග පොතට අවධානය යොමු කරනු ඇත.
භාෂාවක හෝඩිය ඉගෙනගැනීම මෙන්ම අකුරු එකතු වී වචන සෑදෙන ආකාරය අවබෝධ කර ගැනීම පටන්ගැනීමට සුදුසුම ස්ථානය පෙර පාසලයි. දෙවැනිව සඳහන් හැකියාව හොඳින් කියවීම සඳහා ඉතාම වැදගත්ය. වික්ටෝරියා හා ඇගේ මව මේ බව නොදන්නා නමුත් තමුන් කැමතිම කවි පොත් කියවන අතර ඔවුන් පුරුදු වන්නේ මේ හැකියාවයි. ඔවුහු නම් හා වචන ශබ්ද වන ආකාරය පැහැදිලි කර ගනිති. වචනවලින් කරන ක්‍රීඩා පුරුදු වෙති. "මම 'අ' යන්නෙන් පටන් ගන්න වචනයක් කල්පනා කළා. දුවට කියන්න පුළුවන්ද ඒ මොකක්ද කියලා."
කුඩා පාසල් දරුවන්ට හඬ නගා කියවීම පුරුදු කිරීමට දෙමාපියන්ට සිදුවේ. ඔබ එක ඡේදයක් කියවා දරුවාට ඊළඟ ඡේදය කියවන්නට දෙන්න. විරාම ලකුණු වලට, වැදගත් වචන වලට ඔබේ දරුවාගේ අවධානය යොමු කරවන්න.
02. හොඳ කියවන්නන්ගේ වාං මාලාව (Vocabulary) වඩාත් විශාලය.
ඔබ ඔබේ දරුවා සමග අද දින කථාබහ කළ දේ කල්පනා කර බලන්න. ඔබ කියූ බොහෝ දෑ ඉතා සරල වචන වලින් කිව්වා වන්නට ඇත දරුවාට ඔබ සරල විධානයක් දෙන්නට ඇත දැන් අපි යමු වැනි කුඩා වාක්‍ය පවසන්නට ඇත. 'දැන් අපි යමු' වැනි කුඩා වාක්‍ය පවසන්නට ඇත. සැබෑය. ඔබට අධික ලෙස වැඩ තිබෙන නිසා දරුවා සමග කතා බහ කරන්නට වෙලාව මදි වෙනවා විය යුතුය. වැඩ වඩාත් අධික දිනවල දී දරුවා ඔබ සමග කතාබහ කරන්නට බලා සිටින බව ඔබට අමතක වෙනවා වන්නට පුළුවන. නමුත් දරුවාට වයස අවුරුදු තුනෙන් පසු වසරකට අලුත් වචන 3000 ක් පමණ ඉගෙන ගැනීමට අවැසි වේ. ඒ දිනකට අලුත් වචන 8 ක් බැගිනි. එක වචනයක් තම වාං මාලාවට එකතු කර ගැනීමට දරුවාට එය සිව්වරක් වත් පවසනු ලැබිය යුතුය. දරුවාගේ වචන මාලාව වැඩි කිරීමට මේ ක්‍රම භාවිතා කර බලන්න.
අතීතය, වර්තමානය අනාගතය ගැන කතන්දර දරුවාට කියාදෙන්න. රාත්‍රී කෑම මේසයේදී ඔබේ කුඩා කාලය ගැන කථාවක් දරුවාට කියාදෙන්න. පාසලේදී අනාගතයේ කිරීමට සූදානම් වන වැඩ ගැන දරුවාගෙන් විමසන්න. වචන සමඟ කරන ක්‍රීඩා කිරීමට දරුවාව උනන්දු කරවන්න. දරුවන්ගේ භාෂා හැකියාවන් වර්ධනය කිරීමට මෙය බෙහෙවින් උපකාරී වේ.
විවිධ ආකාරයේ පොත් දරුවාට කියාදෙන්න. කියවන්නට දෙන්න. පින්තූර පොත් කවි සමඟ ඇති කතන්දර පොත්, විද්‍යාව හෝ ඉතිහාසය පොත් වැනි අලුත් දැනුම උකහාගත හැකි පොත් පත් දරුවාට ලබා දෙන්න. ඒ පොත් වල ඇති කරුණු ගැන පසුව දරුවා සමඟ සාකච්ඡා කරන්න.
03. හොඳ කියවන්නෝ පොතෙහි ඇති දෑ විශ්ලේෂණය කර සංක්ෂිප්ත කර ගනිති.
අලුත් පොතක් කියවන්නට පටන් ගන්නා විට පිටකවරයේ ඇති දෑ බලන්න. පොතේ නම කියවන්න. කවරයේ ඇති රූපය බලන විට සිතෙන්නේ කුමක්දැයි දරුවාගෙන් අසන්න. සමික්ෂණ වලින් පෙනී ගොස් ඇත්තේ යමක් ගැන අනුමාන කිරීම මගින් අවබෝධය වැඩි කරන ගැඹුරු චින්තනය අවදි කරන බවයි. පිටු කිහිපයක් කියවීමෙන් පසු එම පිටු වලදී සිදු වූ දේ දරුවාගේ වචන වලින් කියන්නට ඉඩ දෙන්න. ඊළඟට කුමක් සිදුවේවි දැයි දරුවාගෙන් අසන්න.
04. හොඳ කියවන්නෝ කථාව ගැන රූපයක් සිතේ ඇඳගනිති.
මෙසේ කරන දරුවෝ පොතෙහි ඇති දෑ වඩාත් විස්තරාත්මකව මතක තබා ගනිති. ඔවුහු විනෝදාංශයක් හැටියට කියවීමට පුරුදු වෙති. උදාහරණයක් ලෙස චරිතයක ගතිගුණ හෝ එම චරිතය ඇඳ සිටින ඇඳුම්, පැළඳුම්, රූප ලක්ෂණ විස්තර කර ඇති ආකාරය ගැන විමසිලිමත් වන්න.
05. හොඳ කියවන්නෝ තමන් කියන දෑ එකිනෙකට සම්බන්ධ කර ගනිති.
"මේ කථාව කියවගෙන යනකොට මට මතක් වෙන්නෙ මේ වගේ දෙයක් ….." හෝ "මම හිතන්නෙ මේ චරිතය මෙච්චර වෙලා කටයුතු කරපු හැටියට ඊළඟට මේ විදිහට වැඩ කරයි …." ලෙස ඔබ පොතෙහි ඇති දේ ගැන පවසන දරුවාද තමන් කියවන දේ එකිනෙකට සම්බන්ධ කරගැනීමට පුරුදු වනු ඇත.
දරුවාටද කියවීම පුරුදු කිරීම දෙමව්පියන් ලෙස ඔබට දරුවාට දිය හැකි ලොකුම ත්‍යාගයයි. පොතක ඇති වචන කියවා ගැනීමට නොහැකිව අරගල කරන දරුවෝ පෙළපොත් පවා කියවීමට අදිමදි කරති. ඔවුහු හැකි පමණ කියවීමේ අවස්ථා මගහරිති. ඒ බව විභාග ප්‍රතිඵල වලදී ද පෙන්නන්නට ගනී. පස්වන වසරේ ඉගෙනුම ලබන ඇමරිකානු දරුවන් අතරින් හොඳ කියවන්නන් අනෙක් අය මෙන් 50 ගුණයක කාලයක් කියවීම සඳහා දිනකට වැය කරති. වසරක් අවසාන වන විට ඔවුන් වචන මිලියන දෙකකට වැඩියෙන් කියවා තිබේ. මේ නිසා ඔවුන් නොකියවන්නන්ට වඩා බොහෝ දුරක් ඉදිරියට යති.
දරුවා තුළ කියවීමේ හැකියාවන් වර්ධනය කිරීමේ එකම අවශ්‍යතාව හොඳ විභාග ප්‍රතිඵල ලබා ගැනීම පමණක් නොවේ. කියවීමෙන් මනාවූ වින්දනයක් ලැබිය හැකිය. Raising Reader (නැගී එන පොත් කියවන්නා) ග්‍රන්ථයේ කර්තෘ ජෙනී නෑෂ් පවසන ආකාරයට පොත් පත් තුළින් ඔබට මිත්‍රත්වය, උපදේශනය හා සතුට ලැබේ. හුදෙකලාව කාමරයකට වී ලිඛිත වචන වල සංගීතයට සවන් දෙමින් පැය ගණන් ගතකළ හැකිය. කියවීම මගින් ඔබේ දරුවාට මෙවන් මහඟු නිමේෂයන් මෙන්ම තවත් බොහෝ දෑ ලැබෙනු ඇත.
නැවත පළකරීම :
"මුතුහර - නවයුගය සඟරා ලිපි"
කසුන් ජයරත්න තන්ත්‍රීවත්ත
25-07-2021
(ඡායාරූප අන්තර්ජාලයෙනි)