28/07/2022
විද්‍යාපීඨ ප්‍රශ්නයට විසඳුම් ලැබෙයි - ත්‍රිකුණාමලයේ දරුවනි, මෙවර විද්‍යාපීඨ ඇතුලත්වීම සඳහා ඉක්මණින් අයැදුම් කරන්න.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් විද්‍යාපීඨ සිංහල මාධ්‍ය ශික්ෂණලාභීන් බඳවා ගැනීම පිළිබඳ ගැටළුවට සාධනීය පිළිතුරක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලැබුණු බව සතුටින් දැනුම් දෙමි. දැන් සුළු මොහොතකට පෙර විද්‍යාපීඨ කොමසාරිස් රංජිත් චන්ද්‍රසේකර මහතා මා ඇමතීය. මේ ගැටලුව පිළිබඳ ව බොහෝ කරුණු සාකච්ඡා කළෙමු. කන්තලේ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධර්මතිලක මහතා ද මා දුරකථනය ඔස්සේ එම ඇමතුම හා සම්බන්ධ කළ අතර ඉතා ඵලදායී සාකච්ඡාවක් සිදු විය.
විද්‍යාපීඨ කොමසාරිස් රංජිත් චන්ද්‍රසේකර මහතා විසින් අදාල ගැසට් පත්‍රිකා සෑදීමේ දී අනුගමනය කරනා ක්‍රමවේදයන් ඉතා පැහැදිලිව විස්තර කළ අතර වර්තමානයේ මෙම දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය විදුහල් තුල පවතින උග්‍ර ගුරු හිඟය පිළිබඳ ප්‍රායෝගික තත්ත්වය පැහැදිලි කිරීමට අපට හැකි විය. කරුණු සළකා බැලූ විට සිදු වී ඇති අර්බුධය වන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය ගුරු හිඟය පිළිබඳ නිවැරදි සංඛ්‍යා ලේඛන පළාත් අධ්‍යාපන කාර්යාලය මගින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත සන්නිවේදනය නො වීම බව පෙනේ. ඒ කරුණු සළකා බලා විද්‍යාපීඨ කොමසාරිස්තුමන් පැවසූයේ මෙම දිස්ත්‍රික්කයට අදාළ නිවැරදි සහ යාවත්කාලීන වූ සංඛ්‍යා ලේඛන නැගෙනහිර පළාත් අධ්‍යාපන බලධාරීන් හරහා එතුමන් වෙත විශේෂ ඉල්ලීමක් ලෙස යොමු කරනා ලෙස යි. අදාළ බඳවා ගැනීම් සිදු කිරීමේ දී එම නිවැරදි කරන ලද සංඛ්‍යා ලේඛන සළකා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා සුදුසු අවස්ථා ලබාදිය හැකි බවට එතුමා පොරොන්දු විය. මේ පිළිබඳ ව කඩිනම් අවධානය යොමු කොට පැය 24ක් ගතවීමටත් පෙර සාධනීය විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් විද්‍යාපීඨ කොමසාරිස් රංජිත් චන්ද්‍රසේකර මහතා වෙත ත්‍රිකුණාමලයේ අප සියලු දෙනාගේ පුණ්‍යානුමෝදනාව හිමි වේ.
දැන් මේ සම්බන්ධව ඉදිරි වගකීම පැවරෙන්නේ නැගෙනහිර පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත ය. මේ පිළිබඳ ව නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම්තුමන් සහ නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය කඩිනම් පියවර ගනු ඇතැ’යි අපි බලාපොරොත්තු වෙමු. හැකි ඉක්මණින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය ගුරු හිඟය පිළිබඳ, නිවැරදි සහ යාවත්කාලීන වූ සංඛ්‍යා ලේඛන සහිත විස්තරාත්මක වාර්තාවක් විද්‍යාපීඨ කොමසාරිස්තුමන් වෙත යවනු ඇතැ’යි අපි අපේක්ෂා කරමු. මේ පිළිබඳව නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම්තුමන් වන දිසානායක මහතා හා සාකච්ඡා කළ විට එතුමා පැවසුවේ හෙට දිනයේ ම ක්‍රියාත්මක වී සිය ප්‍රමුඛ කාර්යය ලෙස එම වාර්තාව සැකසීමට එතුමා කටයුතු කරන බව යි.
ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 2019 සහ 2020 වර්ෂයන් හි උසස්පෙළ විභාගයට සිංහල මාධ්‍යයෙන් පෙනී සිට ගුරු අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම් කිරීමේ අපේක්ෂාවෙන් සිටි සියලු ත්‍රිකුණාමලයේ දරුවන් හට, ගැසට් පත්‍රයේ දක්වා ඇති ‘දිස්ත්‍රික් අවස්ථා ප්‍රමාණය’ නො සළකා කඩිනමින් අයැදුම් කරන ලෙස මෙත් සිතින් දැනුම් දෙමි. අවශ්‍ය මගපෙන්වීම එම ගැසට් පත්‍රයෙන් ලබාගත හැකි ය. ඔබ ඉදිරියේ දී උතුම් ගුරු වෘත්තිය සඳහා ලබන අවස්ථාව මේ දිස්ත්‍රික්කයේ ගුරු හිඟය පියවමින් දරුවන්ගේ නෙත් පෑදීමට ම යොදවනු ඇතැයි අපේක්ෂා කරමි.
මා අද උදෑසන ඵල කළ සටහනට සංවේදී වී මා ඇමතූ අධ්‍යාපන අමාත්‍යංශයේ පෞද්ගලික පාසල් අධ්‍යක්ෂිකා කුමාරි පිරිස්යාල මහත්මියටත්, ගණිත විෂයය අධ්‍යක්ෂිකා ශ්‍රීමා දසනායක මහත්මියටත් දර්ශනී අමරසිංහ මහත්මිය ඇතුළු නන් අයුරින් ත්‍රිකුණාමලයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තමන්හට හැකි උත්සාහයන් සිදු කළ සැමට මෙත් සිතින් පින් දෙමි.
සියලු දෙනාට ශ්‍රීමත් ලලාට ධාතූන් වහන්සේගේ ආශිර්වාදය සැලසේවා!
මෙත් සිතින්,
අළුදෙණියේ සුබෝධි ස්ථවිර
විහාරාධිපති - සේරුවිල මංගල රාජමහා විහාරය
2022.07.27 - ප.ව.7.00
ප. ලි. - ගැසට් පත්‍රයේ ඵල වී ඇති අවස්ථාවන් ප්‍රමාණය අල්ප නිසා එය දැක මන්දෝත්සාහී වී අයැදුම් නො කිරීමට ඉඩ ඇති දරුවන්ගේ දැන ගැනීම පිණිස මෙම ලිපිය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුදුසුකම් සහිත දරුවන් හට දැකිය හැකි ලෙස share කරන්න.
ඇමිණුම - අංක 2,290 දරණ 2022.07.22 දිනැති ගැසට් පත්‍රය 👇
https://govdoc.lk/view?id=3871&fid=62d984354312f
පෙර සටහන 👇
https://www.facebook.com/103753498603000/posts/360232626288418/?d=n