30/08/2025
2023.08. 28 වන දින බැසිලිකා ප්‍රාථමික විදුහලේ විදුහල්පතිනිය ලෙස රාජකාරි අරඹමින් දෙවසරක් පුරාවට පාසලේ දියුණුව උදෙසා හැකි පමණින් දායක වෙමින් සමුගැනිම සනිටුහන් කරමි.
අනේක විධ බාධක හමුවේ ආ මේ ගමන පිළිබඳව ඇත්තේ සතුටකි.
ආරම්භයේ සිටම මා වෙත එල්ල වූයේ සාමාන්‍ය පුද්ගලයෙකුට දරා ගත නොහැකි තරමේ ගල් මුල්, වාග් ප්‍රහාර, පෙත්සන්, තාඩන පීඩන පමණි.
ඒ සඳහා මූලීකත්වය ගත් මෙම පාසලේම සේවය කළ නිලධාරින්, පරිපාලන නිලධාරීන්, දෙමාපියන්, ආදි ශිෂ්‍යයින් හා අවට ප්‍රජාව ස්තුතිපූර්වකව සිහිපත් කරන්නේ තලන යකඩය මුවහත් වන්නාක් සේ ඒ සියල්ලගෙන්ම මා තියුණු ආයුධයක් වූ නිසාවෙනි. "යකඩ වුණත් ඕනෑවට වඩා තලන්න යන්න එපා.. මොකද ඊට පස්සේ උත්තර දෙන්නේ යකඩ නෙමෙයි, මුවහත....."
එලෙසම ඒ සෑම අවස්ථාවකදීම මා සමඟින් නොවෙනස්ව සිට මේ අවසාන දිනය තෙක් මට ශක්තියක් වූ මාගේ සහෝදර විදුහල්පතිවරුන්, ආචාර්‍ය මණ්ඩලය, සහෘද දෙමාපියන්, අනධ්‍යන කාර්‍ය මන්ඩලය , ආදි ශිෂ්‍යයින් කිහිපදෙනාව ද ආදරයෙන් සිහිපත් කරමි.
ගැහැණියක වූ මා හට එල්ල කළ චෝදනාවලින් ඔබ තෘප්තිමත් වූයේ නම් මට කම් නැත. ඔබේ මව, සහෝදරිය, යෙහෙළිය, දියණිය, බිරිඳ හෝ පෙම්වතියට එවැනි චෝදනා එල්ල වූයේ නම් ඔබ දක්වන්නේ කෙබඳු ප්‍රතිචාරයක් ද ??? නමුත් මා වැටුනේ නැත. වැටෙන්නේ ද නැත. වට්ටන්නට ද නොහැකි බව සිහිපත් කරනු කැමැත්තෙමි.
වසර 108 ක ඉතිහාසයක් හිමි බැසිලිකා ප්‍රාථමික විදුමාතාව වෙනුවෙන් ඔබ යමක් කලේ ද? දැන්වත් සිතා බලන්න. මෙය මාගේ උපන් ගමත් නොව, උගත් පාසලත් නොවන බව ද දන්වමි. පාසල වෙනුවෙන් ඔබට යමක් කළ නොහැකි නම් යමක් කිරීමට උත්සහා ගන්නෙකුටවත් පාසල දියුණූ කිරීමට ඉඩ දෙන්න.
2025.09.01 දින සිට මා ශ්‍රි ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට එක් වන්නේ සමත්වීමට අපහසු විභාගයකින් සමත්ව අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්මුඛ පරීක්ෂණයෙන් ද සමත්ව General cadre හී දිවයිනෙන්ම තෝරාගත් 40දෙනා අතරට එක් වෙමිනි. එය මට ආඩම්බරයකි. එයද සමහරුන්ට ගැටලුවක් වී ඇති බවක් පෙනේ.
මේ සියල්ල පවසන්නේ උදම් ඇනීමට නොව, ඔබ යොමු කළ ප්‍රශ්නවලට පිලිතුරු වශයෙනි.
ඉතින් තුටින් සමුගනිමි. නිවැරදී නිසාම කාලය එනතුරු නිහඬව සිටියෙමි.වටිනාකමක් දැනෙන තැනකට කැපවීමක් කිරීමට පිටත් වෙමි.
අත්පොළසන් ලැබුණත් නැතත් මට කළ හැකි උපරිමයෙන් මම කළෙමි.. ඒ බැව් මම හොඳින් දනිමි..
දෙවසරකුත් සිව්දිනකුත් ගෙවා 2025 අගෝස්තු 31 වන දිනෙන් නික්මෙන්නේ බැසිලිකා ප්‍රාථමික විදුහලට සුබ අනාගතයක් පතමිනි.
ස්තුතියි..
ජේසු පිහිටයි..
හිටපු විදුහල්පතිතුමිය.
W. S. U. ප්‍රනාන්දු මිය.