04/06/2024
විදුම් පොම්ප (injection pumps)
ඩීසල් ඉන්ධන පද්ධතියක හදවත වන්නේ විදුම් පොම්ප යයි. මෙහි ඉතා නිරවද්‍ය උසස් නිමාවකට නිෂ්පාදනය කර ඇති සංරචක ගණනාවක් ඇත. මෙම සංරචක උපයෝගී කරගෙන විදුම් පොම්ප මගින් ප්‍රධාන කාර්යයන් තුනක් ඉටු කරයි.
1. සම්පීඩන පහර අවසානයේ එන්ජිමේ සිලින්ඩරය තුල ඇතිවන අධික පීඩනය අභිබවමින් දහන කුටීරය තුලට විදීම සඳහා අවශ්‍ය වන අධික පීඩනයට ඉන්ධන පත්කරයි.
2. එන්ජිම ක්‍රියා කරන එක් එක් තත්වයන්ට ගැලපෙන අයුරු ඉන්ධන ප්‍රමාණය නිවැරදිව මැන විදින වෙත සැපයීම හෝ ඉන්ධන කපාහැරීම හෝ සිදු කරයි .
3. එක් එක් සිලින්ඩරය වෙත නියමිත අවස්ථාවේදී ඉන්ධන නිකුත් කිරීම සිදු කරයි.
දැන් තරමක් විස්තරාත්මකව සලකා බලමු
ඉන්ධන ටැංකියේ සිට විදුම් පොම්පයට ඉන්ධන සැපයීම සිදු කරනුයේ සැපයුම් පොම්පයක ආධාරයෙනි. සැපයුම් පොම්පයෙන් සපයනු ලබන ඉන්ධන වල පීඩනය බාර් 1ට වඩා අඩුය. මෙම අඩු පීඩනය ඩීසල් එන්ජිමක් ක්‍රියා කරවීමට අවශ්‍ය වන බාර 100- 300ත් අතර ප්‍රමාණය වන ඉතා ඉහල පීඩනයකට නැංවීම සිදු කළ යුතුවේ. එවැනි අධික පීඩනයක් අවශ්‍ය වන්නේ දහන කුටීරය තුල ඇතිවන අධික පීඩනය අභිබවා ගෙන ඉන්දන විදීම සිදුකළ යුතු නිසාත් ඉන්ධන කුඩා අංශු වලට කැඩීම හෙවත් තූකරණය සිදු කිරීම සඳහාත් ය.
සාමාන්‍ය ප්‍රමාණයේ වාහන එන්ජිමක් සාමාන්‍ය තත්ත්වය යටතේ ක්‍රියාකරන විට එක් සිලින්ඩරයකට එක් වරකදී අවශ්‍ය වන්නේ ගිණිකූරු හිසක තරම් වන ඉතා කුඩා ඉන්ධන ප්‍රමාණයකි. වාහනයේ ධාවන තත්වය වෙනස් වන විට අවෂ්‍ය වන ඉන්ධන ප්‍රමාණය ද වෙනස් වේ. මෙම ඉන්ධන ප්‍රමාණය ඉතා නිවැරැදිව මැන එන්ජිමේ සෑම සිලින්ඩරයක ට ම එක හා සමාන ඉන්ධන ප්‍රමාණයක් සැපයීම සිදු කළ යුතුය.
එන්ජිම මගින් ඉහළ කාර්යක්ෂමතාවක් ලබා ගැනීම සඳහා සිලින්ඩරය තුලට ඉන්දන විදීම ආරම්භ කළ යුත්තේ සම්පීඩන පහර අවසානයේ මුදුන් සීමාවට පැමිණීමට නියමිත අංශක ගනනකට පෙරය. එය එන්ජිමේ වර්ගය අනුව වෙනස් වන අතර සාමාන්‍යයෙන් එය මුදුන් සීමාවට පෙර අංශක 30 අංශක 15 අතර පමනවේ. එමෙන්ම ඉන්දන විදීම නිශ්චිත කාලයක් පැවති ඉන්පසු එක්වරම නතර විය යුතුය. මෙසේ සෑම සිලින්ඩරයක නියමිත අවස්ථාවේදී මේ ඉන්ධන සැපයීම සිදු කළ යුතුය.
එසේම විදුම් පොම්පයට සියලු කාර්යයන් ඉටු කිරීමට සිදුවන්නේ ද ඉතා ඉහල වේගයෙනි. උදාහරණයක් වශයෙන් විනාඩියට වට තුන්දාහක් වේගයෙන් ක්‍රියා කරන එන්ජිමක එක් සිලින්ඩරයකට විනාඩියකට ඉන්දන විදුම් 1500ක් හෙවත් තත්පරයකට වාර 25 ක් සැපයිය යුතුය. එන්ජිමේ සිලින්ඩර හතරක් ඇත්නම් විදුම් පොම්පය කළ යුතු විදුම් සංඛ්‍යාව තත්පරයට සීයකි. විදුම් පොම්පයකින් සිදුවන කාර්යභාරය එයින්ම වටහා ගත හැකිවේ. විදුම් පොම්ප මෙම කාර්යයන් සාර්ථකව ඉටු කරලීම සඳහා නිෂ්පාදය කර ඇති අතර ඒවා එන්ජිමට පහසුවෙන් සවි කිරීමට හැකිවන ලෙස සැහැල්ලුවට කුඩාවට නිපදවා ඇත.
විදුම් පොම්ප වර්ග (type of injector pump)
වාහන වල භාවිතා කරන විදුම් පොම්ප ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට වෙන්කළ හැකිය.
එනම්
inline වර්ගයේ විදුම් පොම්ප( inline type injection pumps)
distributor වර්ගයේ විදුම් පොම්ප (distibutor type injection pumps )
කාර්යන් එකම වුවද වර්ග දෙකෙහි නිර්මාණය හා ක්‍රියා කරන්නා වූ පිළිවෙළ සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස්ය.
ලෝකයේ විදුම් පොම්ප නිපදවන්නා වූ සමාගම් ගණනාවක් වෙයි.
ඒ අතරින් Robert bosch, american bosch,
nippon denso ,CAV, zexel, Diesel kiki, miko යන සමාගම් ප්‍රධාන තැනක් ගනියි.මෙම සමාගම් inline වර්ග මෙන්ම distributor වර්ගයේ විදුම් පොම්ප නිෂ්පාදනය කරයි. යුරෝපයේ නිපදවන pumps බොහෝ විට ඇත්තේ boss විදුම් පොම්ප වන අතර ජපානය නිෂ්පාදනය කරන වාහන වල බහුලව ඇත්තේ nippon denso,Diesel kiki ,zexol වර්ගයේ විදුම් පොම්ප වර්ග ය. mico දක්නට ලැබෙනුයේ ඉන්දියාවේ නිපදවන ඩීසල් වාහන වලය. මෙම සියලු පොම්ප ක්‍රියා කරනු ලබන්නේ රෝද හෝ දම්වැල් වල හෝ දැති සහිත පටි ආධාරයෙන් එන්ජිම මගින්ය.
ඉහත සඳහන් සමාගම් සියල්ලම නිපදවනු ලබන ඉන්ලයින් පොම්ප වල මූලික නිර්මාණය හා ක්‍රියාකාරිත්වය බොහෝ දුරට සමාන වේ. එහෙත් විශේෂිත වෙනස්කම් ඇත.
CAV සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලබන distributor වර්ගය විදුම් පොම්පයෙ නිර්මාණය හා ක්‍රියාකාරීත්වය bosch සමාගම මගින් නිපදවන distributor වර්ගය විදුම් පොම්පයකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්ය. Nippon denso,zexel යන සමාගම් විසින් නිපදවන distributor වර්ගයේ විදුම් පොම්ප නිර්මාණය හා ක්‍රියාකාරීත්වය bosch වර්ගයට බොහෝ දුරට සමාන වේ