30/10/2021
රාජ්‍ය ණය- I වන කොටස......................................................................................................................................
“ණය” කියන වචනය අපට කොහොමත් හුරුපුරුදු වචනයක්. ණයත් එක්ක එන අනෙක් වචනය තමා පොලිය. අපි කුටුම්භ විදිහට, ව්‍යාපාර විදිහට වගේ ම ජාතියක් විදිහටත් විවිධ වූ ණය අරන් තියෙනවා. අද මාතෘකාව තමා රාජ්‍ය ණය. මෙහි දී ජනයා විසින් බහුලව මේ සම්බන්ධ ව අසා තිබූ පැනයන්ට හැකි අයුරින් පිළිතුරු දීමටයි.
-------------------------------------------------------------------------
1. ඇයි අපි රාජ්‍ය ණය ගන්නේ?
දැන් හැම දෙනා ම පාහේ දන්න දෙයක් තමා අපේ හැම කැමැත්තක් ම නැත්තම් වුවමනාවක් ම සපුරාලන්න තරම් සම්පත් මේ ලෝකයේ ප්‍රමාණවත් තරම් නෑ කියලා. ඒ නිසා අපිට ඒ ඒ වුවමනාව ඉටු කරගන්න මේ වටිනා සම්පත් ටික බෙදාහරින්න වෙනවා. ඒ සඳහා කිසියම් යාන්ත්‍රණයක් ඕන කරනවා. මේ සඳහා යාන්ත්‍රණ කිහිපයක් තිබුණත් වර්තමාන ලෝකය තුළ බහුලව භාවිතා වෙන්න මිල යාන්ත්‍රණය. මේ මිල යාන්ත්‍රණය ක්‍රියාත්මක කරලා මිල මගින් සම්පත් බෙදා හරින ආර්ථික පද්ධති වෙළඳපොළ ආර්ථික පද්ධති නැතිනම් ධනවාදී ආර්ථික පද්ධති කියලා හදුන්වනවා.
න්‍යායානුකූල ව වෙළඳපොල ආර්ථික ක්‍රමය උචිත වුවත්, ප්‍රායෝගිකව එය බොහෝ විට අසාර්ථකයි. ඒකාධිපති ව්‍යාපාර හා කාටල සංවිධාන පාරිභෝගිකයා සූරා කෑම, පොහොසතා රජ සැප විඳින විට දුප්පතා පීඩාවට පත් වීම, මානව සුබසාධනය අත්‍යවශ්‍ය අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි පහසුකම් පෞද්ගලික අංශය ප්‍රමාණවත් ව නොසැපයීම හා සාර්ව ආර්ථික අසමතුලිතා වගේ දේවල් නිසා මේ ක්‍රමය අසාර්ථක වෙනවා. පසුගිය කාලේ සීනි සඟවා පාරිභෝගිකයා පීඩාවට පත් කිරීම වගේ දේවල් මීට උදාහරණ ලෙස ගන්න පුළුවන්.
මේ අහිතකර දේවල් පාලනය කරලා මානව සුබසාධනය පැවැත්වීම තමා රජයක කාර්‍යභාරය. මේ සඳහා අපේ රජයන් යටිතල පහසුකම් (අධිවේගී මාර්ග, වරාය, ගුවන්තොටුපොළ, පාසල්, රෝහල්, විශ්වවිද්‍යාල වැනි දෑ) සංවර්ධනය කිරීම, නොමිලේ සෞඛ්‍ය හා අධ්‍යාපනය ලබා දීම, රාජ්‍ය ආයතන පවත්වා ගෙන යාම, සහනාධාර ලබා දීම සිදු කළ යුතු වෙනවා. මේ සදහා දරන වියදම් රාජ්‍ය වියදම් ලෙස හඳුන්වනවා. මේ වියදම් පියවීම සදහා රජය බදු අය කිරීම, ලොතරෑයි, දඩ හා ගාස්තු, පොලී හා ලාභාංශ වැනි ක්‍රම හරහා මුදල් රැස් කරගනු ලබනවා. මේවා රාජ්‍ය ආදායම් ලෙස හදුන්වනවා. මෙම ආදායම් වියදම් සම්බන්ධව රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය “ෆිස්කල් ප්‍රතිපත්තිය” ලෙස හදුන්වනවා.
- රාජ්‍ය වියදම් වර්ග 2ක් පවතිනවා. ඒවා නම්,
1. වර්තන වියදම් - වර්ෂයක් පාසා රාජ්‍ය සේවා සැපයීමට දරනු ලබන වියදම්
2. ප්‍රාග්ධන වියදම් - ප්‍රාග්ධන සම්පාදනය දරනු ලබන වියදම්
- රාජ්‍ය ආදායම් ද වර්ග දෙකක් පවතිනවා. ඒවා නම්,
1. බදු ආදායම
2. බදු නොවන ආදායම්
සාමාන්‍යයෙන් රජයක් උපයන ආදායමෙන් අති බහුතරය බදු ආදායම් (T) වේ. මේ බදු හා බදු නොවන ක්‍රම හරහා බොහෝ විට පියවිය හැකි වන්නේ වර්තන වියදම් (G) හා ප්‍රාග්ධන වියදම්වලින් කොටසක් පමණී. මන්ද විශාල වශයෙන් බදු අය කිරීම තුළින් ආර්ථික වර්ධන අඩු වෙන බැවිනුත්, එමඟින් මානව සුබසාධනයට බලපාන බැවිනුත් ය. කනගාටුවට කරුණ නම් ලංකාවේ මුළු රාජ්‍ය ආදායමෙන් වර්තන වියදම්වත් පියවිය නොහැකි වීමයි. එම නිසා ලංකාවේ වර්තන ගිණුමේ ඍණ ශේෂයක් පවතිනවා. (ඒ කියන්නේ අපි කන්නත් ණය ගන්න රටක්) 💔
මේ නිසා රජයට එම හිඟ මුදල මූල්‍යනය කිරීම සදහා කටයුතු කළ යුතු වේ. මේ සඳහා රජය විසින් ණය ගනු ලබනවා.