17/06/2025
ඕස්ට්‍රේලියාවේ දී skill assessment එක කරන්න හිතන් ඉන්න ඔයාලා හැමෝටම වැදගත් වෙන පුංචි තොරතුරු කිහිපයක්.
👉Skill assessment process එක සාමාන්‍යයෙන් දවස් 60කට ආසන්න කාලයක් ගන්නවා. මේ අතරතුර ඔයාලගේ documents වල අඩුපාඩු තියෙනවා නම් ඒ පිළිබඳව mail එකකින් දන්වනවා.
👉 Passport එක අවශ්‍ය වෙනවා
👉අපේ අධ්‍යාපන සුදුසුකම් මොනවද කියලා ඇතුළත් කරන්න ඕනේ. අදාළ Certificates, transcripts අවශ්‍ය කරනවා. (Degree, diploma, masters..)
👉 අපි කොච්චර pratical hours/days ගානක් සම්පූර්ණ කළද ( ඔයාත් වෙන රටකට ගුරුවරියක් විදියට එන්න බලන් ඉන්න කෙනෙක් නම් අනිවාරෙන් ඔයාගේ practical දවස් 45ක් වත් තියෙන්නේ ඕනේ) හරියටම අපි practical පටන් ගත්ත දිනය, අවසාන කළ දිනය ද අවශ්‍ය වෙනවා.
👉අනිවරෙන් ඔයාගේ Institute/university එකෙන් ලිඛිතව ඔයා කරපු practical වල සටහනක් අවශ්‍යයි.
👉ඒ වගේම ඔයා මේ සුදුසුකම් ලබා ගත්ත Institute එකේ හෝ university එකේ තොරතුරු ඔයට අවශ්‍ය වෙනවා. රජයේ පිළිගත් ආයතනයකින් පමණක් ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් ලබාගන්න උත්සාහ කළොත් ඔයාගේ මහන්සියට ලොකු වටිනාකමක් ලැබෙයි.
👉ඒ වගේම ඔයා ලංකාවේදි වැඩ කරපු පාසල් හෝ පෙර පාසල් වල තොරතුරු. (Business registration number, address, telephone number, official website එකක් තියෙනවා නම් අනිවරෙන් ඒ තොරතුරු ඇතුලත කරන්න ඕනේ)
👉විශේෂයෙන්ම ඔයා IELTS තමයි කරන්න ඕනේ. මොකද PTE ලකුණු වලින් මේකට apply කරන්න බෑ. එහෙම නැත්නම් ඔයා ඕස්ට්‍රේලියාවේ දී teaching පිළිබද අවුරුද්දක් වත් ඉගෙන ගන්න ඕනේ.
👉පහළ ලින්ක් එකෙන් ගිහින් බලන්න පුළුවන් ඔයට අවශ්‍යකරන සුදුසුකම් මොනවද, කොහොමද apply කරන්නේ කියලා.
https://www.acecqa.gov.au/
මන් ඔයාලා එක්ක බෙදාගත්තේ මගේ පෞද්ගලික අත්දැකීම. මේ සම්බන්ධව තවත් තොරතුරු දන්න අය ඉන්නවනම් පහළ comment තීරුවේ සටහනක් තියන්න මතක කරන්න එපා. තවත් කෙනෙක් ට එය උපකාරයක් වෙයි.
ඉතින් මගේ ඊළග පෝස්ට් එකෙන් මන් අරන් එන්නම් Disability support worker කෙනෙක් විදියට මම කොහොමද ඕස්ට්‍රේලියාවේ ජොබ් එකක් හොයාගත්තේ කියලා.
✍️පියුමි බටගොඩ
(Early childhood educator)
ACECQA
We're supporting governments to implement the National Quality Framework. The Australian Children's Education & Care Quality Authority offers resources and information to improve quality outcomes for children.
07/02/2025
උපන්දිනය වෙනස් විදියට.......
උපන්දිනය කියන්නේ අපි හැමෝටම හරිම විශේෂ දවසක්. පුංචි කාලෙදි නම් අපි හැමෝම ගොඩක් ආසයි උපන් දිනේ දවසට හැමෝම wish කරනවනම්, තෑගි දෙනවනම් ඒ වගේම birthday party දානවනම් වගේ දේවල් වලට. ඒත් අපි ටිකක් වයසින් ලොකු වෙද්දි සමහර වෙලාවට උපන්දිනය කියන්නේ තවත් එක දවසක් විතරක් වෙන්න පුළුවන්. මං මේ කියන්න හදන්නේ උපන් දිනේ දවස ගැන ටිකක් වෙනස් දෙයක්.
මන් මෙහෙම දෙයක් කියුවොත්, අපේ උපන්දිනය දවසේ අපි අපේ දෙමාපියන්ට තෑගි දෙමුද කියලා, එතකොට ඔයාලට මොකද හිතෙන්නෙ.
ඔව් මේක සමහර අයට අලුත් වෙන්න පුළුවන්. ඒ වගේම චුට්ටක් පුදුම දෙයක් වෙන්නත් වගේම හරිම නුහුරු දෙයක් වෙන්නත් පුළුවන්. ඔව් ඔයාල හරි. ඒක සාමාන්‍යයෙන් නොවෙන දෙයක් තමයි. ඒත් මං ඒ සාමාන්‍යයෙන් නොවෙන දෙය පුරුද්දක් විදියට හැම අවුරුද්දෙම මගේ උපන්දිනය දවසට කරනවා. මං මුලින්ම රස්සාවක් කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් ඒ කියන්නේ 2017 ඉඳන් මේ දක්වා මගේ හැම උපන්දිනේටම මගේ අම්මටයි තාත්තටයි පුංචි තෑගි දෙකක් දෙනවා. ඒ තෑගිත් එක්කම මම ඒගොල්ලන්ට ස්තුති කරලා පුංචි ලියුමක් දෙන්න අමතක කරන්නේ නෑ.
මේ පුරුද්ද මං ඉගෙන ගත්තේ මගේ තාත්තාගෙන්. තාත්තාගේ උපන්දිනය දවසට අපේ තාත්තා පුරුදු වෙලා හිටියා අපිත් එක්ක තාත්තාගේ මහා ගෙදර ගිහින් ආච්චියි, සීයයි එක්ක ඒ දවස ගත කරන්න. හැබැයි සීයා නැති උනාට පස්සේ ඉඳන් හැම උපන්දිනයටම ආච්චිව අපේ ගෙදර එක්කන් එන්න පටන් ගත්තා. මං ඒක ගොඩක් කාලයක් දැක්කා. මට ඒක හරිම අසාමාන්‍ය දෙයක් වගේ පේන්න ගත්තේ ටිකක් තේරෙන වයසෙදී. මං තාත්තාගෙන් ඒ ගැන අහුවහම තාත්තා කිව්වේ "එයාල මගේ කකුල් අත පය ගොඩක් පරිස්සමෙන් හදපු නිසයි අද මන් මේ විදියට උපන්දිනයක් සමරන්නේ. ඒ gratitude එක එයාලට දෙන්න ඕන. මගේ උපන්දිනය මට සතුටින් ගත කරන්න හම්බ උනේ ඒ දෙන්නා නිසා කියලා"
මම දකින්නේ ඒක හරිම ආදරණීය දෙයක් විදියට. ඉතින් මං ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා ඔයාලාත් මේ පුංචි ආදරණීය දෙය කරලා බලන්න, ඔයාට කොච්චර සතුටක් දැනෙයිද කියලා. ඒ වගේම තමයි ඔයාගේ ගෙදර පුංචි පැටියෙක් ඉන්නව නම් එයත් මේක දැකලා මං වගේම එයාලත් ඔයාලව අනුකරණය කරයි. ඒ ආදරණීය පුරුද්ද ජීවිත කාලේම මතක තියෙයි. ඒ වගේම තමයි එයාල හරිම ආදරණීය දරුවෝ විදියට මේ ලෝකේ දිහා බලාවි❤️❤️
සටහන - පියුමි බටගොඩ
Bambi
23/01/2025
මාතෘත්වය කියන්නෙම ගැහැණියක් තව තවත් ශක්තිමත් කරන සන්ධිස්ථානයක්. මක් නිසාද ඒ ගමනෙදි,
🤱අත්හැරීමක් නැත
🤱විවේකයක් නොමැත
🤱කොන්දේසි විරහිත අසීමාන්තික ආදරය හා ඔරොත්තු දීමේ හැකියාව පමණක් ඇත.
ඒ තුළින් ගැහැණියකට දුෂ්කර දින පසු කරන්න අසීමාන්තික ශක්තියක් ලබා දෙනවා.
මේ සටහන Bambi page තුළින් ලෝකේ සිටින සියලු ම අම්මාවරුන් වෙනුවෙන් 🙏
We don’t know how strong we are until we become MOMS. Motherhood has a way of bringing out a strength we never knew we had.
💪 Because in this journey, there’s no giving up, no taking a break,
just unconditional love and resilience that carries us through even the hardest days.
❤️ To all the amazing moms out there, keep shining and thriving! 🌟
✍️Piumi Batagoda
(Early Childhood Educator)
06/01/2025
ඔබ පසුගිය වසරේ දී,
🫵ඔබේ පෙර පාසලේ හෝ පාසලේ දරුවන්ට ගෙදර වැඩ ගොඩාක් ලබාදෙන,
🫵මහා උස් හඩින් නැතිනම් යටිගිරියෙන් බෙරිහන් දෙමින් පන්තියේ දරුවන් නිශ්ශබ්ද කරන්න උත්සාහ කරන,
🫵ලොකු වේවැලකින් හෝ අඩි රූලකින් දරුවන්ට නිතරම සංග්‍රහ කරන,
🫵දරුවන් තවත් දරුවන් සමඟ හැමවිටම සංසන්දනය කරන,
🫵දෙමාපියන්ගේ තත්වය බලා දරුවන්ට උගන්වන,
🫵ඔබත් එක්ක එකට වැඩ කරන ගුරුවරුන්, ගුරුවරියන් ගැන හෙඩ් ටීචර්ට හෝ ප්‍රින්සිපල්ට නිතරම පැමිණිලි කරන ගුරුවරියක් නම්..
ඔබ නූතන අධ්‍යාපන සංකල්ප සංකල්ප වලට අනුව ගුරු වෘත්තියට උචිත නොවන හැසිරීම් රටාවකින් සහ යල්පැන ගිය ආකල්ප වලින් සපිරුණු අයෙකු බව අකමැත්තෙන් හෝ කිව යුතු වේ. ඒවා වෙනස් කරගත යුතු වර්ශයක් තමයි 💁2025 කියන්නේ....
🧑🏫හැකි උපරිමයෙන් පාසල් කාලය තුළ විෂය නිර්දේශය ආවරණය කරන්න. අමතර පංති දාන්න එපා. ඔබට ලබාදී තිබෙන විශාල කාලය හොඳටම ප්‍රමාණවත්.
🧑🏫හැකි තරම් home work අඩු කරන්න. දරුවන්ගේ ළමා කාලය විඳින්න ඔවුන්ට අවශ්‍ය කාලය ලබා දෙන්න. පාසලේ වැඩ පාසලේදීම කරන්න.
🧑🏫ඔබේ හඩෙහි උස් පහත් වීම් කළයුතු අවස්ථා ගැන මනා අවබෝධයකින් සිටින්න. භාෂාව හොඳින් හැම විටම යහපත්ව සහ ප්‍රිය මනාපව හසුරුවන්න. වේවැල වෙනුවට ආදරය බෙදන්න.
🧑🏫පන්ති කමාරය තුල විවිධ වර්ගයේ දරුවන් සිටිය හැක. ගොඩක් ක්‍රියාශීලී ළමයින් වගේම ටිකක් හෙමින් වැඩ කරන ළමයින් ඉන්න පන්ති කමාරයක් වෙන්න පුළුවන්. හැකි සෑම විටම සෑම දරුවෙක්ට ම අසාධාරණයක් නොවන ආකාරයට ළමා මනසට ගැලපෙන කාල සටහනේ ක්‍රියාකාරකම් නිර්මාණශීලී ව ගොඩනගන්න.
🧑🏫දෙමව්පියන්ගේ අල්ලසට, අසාධාරණයට, පන්ති මට්ටම් වලට යටත් නොවී කොන්ද පණ ඇති හැම දරුවෙක්ටම එක හා සමානව ආදරය බෙදන්න පුළුවන් ගුරුවරියක් වන්න. හැමෝටම ඔබේ ආදරය සමාන බව දැනෙන්න ඉඩ හරින්න.
🧑🏫පියා කරන දේ මව කරන දේ ගැන දරුවන්ගෙන් විමසන්න එපා. පියා කවුද මව කවුද කියන එක හොඳ ගුරුවරයෙක්ට වැදගත් නැහැ. පෞද්ගලිකත්වය කියන දේ පෞද්ගලිකවම තබන්න. එතැනින් තමයි සමානාත්මතාවය හදන්න පුළුවන්. ඔබ විමසිය යුත්තේ දරුවා ගැනයි. ඔහුගේ සිහින, අදහස්, හැඟීම් ගැනයි. ඔහුගේ ක්‍රියාකාරකම් ගැනයි.
🧑🏫සෑම දරුවෙකු ගැනම වෙන වෙනම සටහනක් තබා ගන්න. ඒවා නැවත නැවත අළුත් කරන්න. දරුවන්ගේ වෙනස්වීම් ගැන අවධානයෙන් ඉන්න. පුළුවන් හැම විටම දෙම්විපියන් සමග දරුවා ගැන ධනාත්මකව කතා කරන්න.
මේ වගේ නූතන අධ්‍යාපනික දැනුම හා ශිල්ප ක්‍රම ගැන අවධානය ලබාදී ඒවා නිරන්තරව පුහුණු කිරීම මගින් ඔබට පුළුවන් වේවි මේ වසර අවසානයේ දී ආදරය, කරුණාව, මෛත්‍රිය පිරුණු යහපත් දරුවන් පිරිසක් මේ සමාජයට දායාද කරන්න.
💪පළමුව අපි වෙනස් වෙමු. එවිට දරුවන් වෙනස් වේවි. සමාජය වෙනස් වේවි❤️
✍️පියුමි බටගොඩ
[Early Childhood Educator]
14/12/2024
අලුත උපන් බබෙක් බලන්න යන්න ඉන්න ඔයාලා වෙනුවෙන්...........
බබෙක් කියන්නෙ පවුලකට මහ මෙරක් වගේම ආඩම්බරයක් ගෙනදෙන සම්පතක්. ඒ සතුට ගොඩක් අය එක්ක බෙදා හදා ගන්නත් පවුලේ අය කැමතියි. ඒ වගේම තමයි පවුලකට අලුතින්ම බබෙක් එකතු උනා කියල දැනගත්තම නෑදෑයන්ට, යහළුවන්ට වගේම අසල්වාසීන්ටත් ඉවසිල්ලක් නෑ බබාව බලන්න යන්න. සමාජ මතයකුත් තියෙනවනෙ අලුත් බබාවයි අම්මාවයි පුළුවන් තරම් ඉක්මනට hospital එකට ගිහින් හරි ගෙදරට ගිහින් හරි බලන එක අපේ යුතුකමක් කියලා. ඇත්තටම ඒ විදියට පුළුවන් තරම් ඉක්මනින් අලුත් බබෙක් බලන්න යන එක හරිද? ඒක ගෙදර අයට කරදරයක් නෙමෙයිද? ඒ ගැන අපි හිතල බලන්න ඕන කරුණු කීපයක් ගැන තමයි මම අද කතා කරන්න හිතුවෙ.
🍼මාස 9ක කාල සීමාවක් අම්මා කෙනෙකුගේ කුස තුල ඉදලා ආපු මේ පැටියාට අලුත් පරිසරයට හුරු වෙන්න ටිකක් කල් ඕනේ. එයාගේ ප්‍රතිශක්තිකරණයත් තියෙන්නෙ ඉතාම පහළ මට්ටමක. ඒ නිසා බොහොම ඉක්මනින් ලෙඩ වෙන්න පුළුවන්. ඒ වගේමයි ගෙදර අයත් හරිම කාර්යබහුල වෙනවා අලුත් බබාගේ වැඩ එක්ක. මොකද රෑ එළිවෙනකන් හොඳ නින්දක් නැති වෙන්න පුළුවන්. බබා සන්නිවේදනය කරන විදිය ගෙදර අයට තේරෙන්නේ නැති නිසා එයාලගෙ මානසික තත්වය ගොඩක් පහළ මට්ටමක තියෙන්න පුළුවන්. දහසක් වැඩ අස්සෙ ගෙදරට බබාව බලන්න එන අයට හරියට සලකන එක හරි අමාරු වැඩක්. ඒක කරදරයක් වගේ දැනෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ නිසා බබාට මාස තුනක් වගේ වෙනකම් නොගිහින් ඉන්න එක තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ.
🍼ඔබ අළුත් බබාව බලන්නම යන්න ඕන ළගම ඥාතියෙක් නම් ඒ ගෙදර අයව මුලින් දැනුවත් කරල එයාලට පහසු වෙලාවක යන එක තමයි වඩාත් සුදුසු. ඒ වගේම හොඳට පිරිසිදු වෙලා යන්නත් අමතක කරන්න එපා. බබාව වඩා ගන්න, බබාව තුරුල් කරගෙන හාදු දෙන්න එහෙම යන්න එපා කොහොමත්ම. පුංචි හරි හෙම්බිරිස්සාවක් තියෙනව නම් බබාව බලන්න නොයා ඉන්න එක තමයි වඩාත්ම හොඳ. පුංචි බබාල හරිම ඉක්මනට ලෙඩ වෙනවා. ඒ වගේම හැකි තරම් සංග්‍රහ වලින් වැලකෙන අදහසින් තමයි ගියත් යන්න ඕන.
🍼අලුත් බබෙක් බලන්න ගියාම කිසිම වෙලාවක බබාගේ අඩු පාඩු කියන්නත් අම්මාගේ බාහිර පෙනුමේ ඇතිවෙලා තියෙන තාවකාලික වෙනස්වීම් ගැන අදහස් දක්වන්නත් යන එක තවත් නොකල යුතු දෙයක්. "බබා ටිකක් කළුයි නේද? මුලින්ම දුවෙක් හම්බ උනානම් නේද හොඳ? බබා ටිකක් කෙට්ටුයි නේද? බර ටිකක් මදි වගේ නැද්ද? තාත්තාගෙ වගේ කොන්ඩෙ බොකුටු උනා නම් තමයි හොඳ, බබා නිසා අම්ම ගොඩක් මහත් වෙලා නේද? ඔයාට කලින් වගේ කෙට්ටු වෙන්න ගොඩක් මහන්සි වෙන්න වෙයි නේද? අපි නම් ඒ කාලේ කිරි දුන්නේ ඔහොම නෙමෙයි මෙහෙමයි.." වගේ එක එක විදියෙ අදහස් ගොඩක් හිතට ආවත් ඒව කියන්න නම් යන්න එපා. හැකි තරම් ධනාත්මකව කතා කරන්න බලන්න. ඒ වගේම ගොඩක් වැදගත් දෙයක් තමයි වෛද්‍ය උපදෙස් දෙන්න නොයා ඉන්න එක. මොකද ඇයට අවශ්‍ය උපදෙස් දෙන්න වෛද්‍යවරයෙක් ඉන්නවා. ඉතින් අපි වෛද්‍ය උපදෙස් දෙන්න අවශ්‍යතාවයක් නෑ.
🍼ඉස්සර ඉඳල අපි පුරුදු වෙලා ඉන්නෙ බබෙක් බලන්න යනකොට සබන්, පවුඩර්, ක්‍රීම් වර්ග වගේ දේවල් අරන් යන්න. ඒත් අද ගොඩක් දෙමාපියන් පාවිච්චි කරන්නේ එකම ජාතියක පවුඩර්, සබන් වෙන්න පුළුවන්. ඒ නිසා අත්‍යාවශ්‍යම දෙයක් හෝ වවුචර් එකක් හරි අරන් යන්න පුළුවන් නම් ගොඩක් හොදයි. මොකද අපි ගෙනියන දේ වැඩක් නැති දෙයක් උනොත් අනවශ්‍ය දේවල් එකතු වෙලා ඒ ගෙදර අයට තව කරදර විදින්න වෙනවා වගේම අපේ මුදලුත් නාස්ති වෙනවා. වවුචර් එකක් දෙන එක අද කාලෙ විදියට හරිම කාලෝචිතයි.
ඉතින් මන් හිතනවා මේ පුංචි දේවල් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒ වගේම page එකට පුංචි like එකක් දාන ගමන් ඔබේ වටිනා අදහස් ද Bambi Facebook පිටුවත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා❤️❤️
✍️සටහන - පියුමි බටගොඩ
(මුල් ළමාවිය හා ප්‍රාථමික අධ්‍යාපන ගුරුවරිය)
19/07/2024
ගුරුවරියක් තම වෘත්තීය ජීවිතය තුල දි, පංති කාමරය තුලදි දරුවන්ව ආමන්ත්‍රණය කළ යුත්තේ කවර භාෂාවකින්ද?
කාරුණික, සෙනෙහෙබර, උද්යෝගිමත් භාෂාවකින් ආමන්ත්‍රණය කළ යුතුයි. එය පුහුණු කළ යුතුයි. කිසිදු අවස්ථාවකදී අකාරුණික, අලස ඒ වගේම ග්‍රාම්‍ය භාෂාවකින් පංති කාමරය ආමන්ත්‍රණය නොකළ යුතුයි.
ඔබේ භාෂාව හැම විටම දරුවාට මානසික සහනයක්, ආදරයක් ගෙන ආ යුතුයි. පංති කාමරය වයස අඩු දරුවන්ගෙන් පිරෙන තරමට ඔබේ භාෂාවත් මෘදු මොළොක් වීම අත්‍යවශම දෙයක්.
මට මේ දේවල් සිතුනේ මට ලැබුණු අත්දැකීමක් නිසා. ඒක විශේෂ දක්ෂතා (Differently abled) තිබෙන දරුවන්ට උගන්වන ගුරුවරියක් විදියට සේවය කරන මට දකින්න ලැබුණු දෙයක්. මම වැඩ කරපු පාසලේ සමහර ගුරුවරියන් මේ විශේෂ දක්ෂතා(Differently abled) තියෙන දරුවන්ට කතාකරන්නේ හරිම ග්‍රාම්‍ය, අකාරුණික භාෂාවකින්. එය අමිහිරි අත්දැකීමක්.
මා විවිධ වයස් කාණ්ඩවල දරුවන්ට උගන්වා අත්දැකීම් තිබෙනවා. ඒ හැම දරුවෙක්ටම මේ මා කියන භාෂාව හරිම වැදගත්. ඒ හැමෝටම වඩා විශේෂ දක්ෂතා (Differently abled) ඇති දරුවන්ට ආදරය, අවධානය, කරුණාව අවශ්‍යයි. ඔවුන්ව තමයි අපි වැඩියෙන්ම ආදරය දීල රැක බලා ගත යුතු දරුවන් කණ්ඩායම.
ඒ වගේ දරුවන්ව ග්‍රාම්‍ය, අකාරුණික භාෂාවකින් ආමන්ත්‍රණය කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකියි. මගේ රටේ ගුරුවරුන්ව බොහෝ පුහුණු කළ යුතුයි. අපේ ගුරුවරුන්ගේ මට්ටම තව බොහෝ ඉහළට ගෙන ආ යුතුයි.
✍️Piumi Batagoda
(Early childhood Educator)
23/05/2024
අපි මේ වෙසක් පොයෙන් පටන් ගමු......
අද වෙසක් නිසා හැම ගේකම වගේ අපේ ගෙදරත් කූඩු එල්ලුවා , ලයිට් වැල් දැම්මා. ලයිට් දානකොට චුට්ටක් දිග මදි වෙලා වයර් එක ඒකට අලුත් වයර් එකක් සෙට් කරද්දී එකපාරටම මගේ මතකේ මගේ චූටි කාලෙට ගියා. ඉස්සර මට මතකයි මේ සේරම කරන්නේ අපේ තාත්තා. හැබැයි තාත්තා කවදාවත් ඒ කිසිම දෙයක් තනියම කළේ නෑ මාවයි මල්ලිවයි දෙන්නම එකතු කරගත්තා.
මට මතකයි අලුතෙන් වයර් එකතු කරලා ඒ තැන් වලට වයරින් ටේප් ගහනවා. ඉතින් ඒ මතකෙන් අද මාත් ඒ එකතු කරපු වයර් එකට වයරින් ටේප් ගහලා ලයිට් වැල් දැම්මා.
අද අපි ගොඩක් ලොකු වෙලා, ඒත් ගෑනු ළමයෙක් උනාට ඒ ලැබුනූ අත්දැකීම් ගොඩක් වටිනවා අපේ ජිව්ත වලට.
මම නම් හිතන්නේ ගෑනු ළමයෙක් පිරිමි ළමයෙක් කියලා වෙනසක් නැතුව මේ හැම දේම අපේ දරුවන්ට උගන්වන්න ඕනේ. පෙර පාසල් මට්ටමෙන් මේ දේවල් අපිට පටන් ගන්න පුළුවන් නම් දරුවන්ගේ ජීවිත වලට ගොඩක් ලොකු වටිනාකමක් ලැබේවි.
ඉතින් මේ වෙසක් දවසෙ ගෙදර වෙසක් සැරසිලි කරන්න ඔගොල්ලන්ගේ පුංචි පැටව් එකතු කර ගන්න අමතක කරගන්න එපා. අපි මේ වෙසක් පොයෙන් පටන් ගමු.
සුබ වෙසක් මංගල්‍යක් වේවා🙏
©️පියුමි බටගොඩ
16/03/2024
මොනාද මේ 'අධ්‍යාපන දුර්වලතාවයන්' (Learning disabilities) කියන්නෙ ???
සරලවම,
- ස්නායු සංවර්ධනයේ දුර්වලතවයන් ඒ කියන්නේ දරුවෙකුට වටපිටාවෙන් ලැබෙන තොරතුරු සංවේදනය කරගන්න, එහෙම නැත්නම් ග්‍රහණය කරගන්න අපහසුකම.
- ඊට පස්සේ ඒ දේවල් සංවිධානය කරගෙන අපේ මොළය තුළ ගබඩා කරගන්න එහෙම නැත්නම් තැන්පත් කරගන්න අපහසුකම වගේම වෙනත් කෙනෙක් ඒ පිළිබදව ප්‍රශ්ණයක් ඇහුවම අදාළ තොරතුරු පිටතට දෙන්න බැරිකම.
මේ වගේ අපහසුතා තියෙන ළමයින්ට මොකද වෙන්නේ ?? ඉගෙනුම් ක්‍රියාවලිය හරියට කර ගන්න අමාරුයි.
හැබැයි මේ කියන Learning disability තත්ත්වය දරුවන්ගේ IQ එහෙම නැත්නම් බුද්ධි මට්ටමට බලපාන තත්ත්වයක් නෙමේ.
අපි හිතමුකො ඔටිසම් හෝ ඩවුන්සින්ඩ්‍රොම් කියලා මෙන්න වගේ වෙලාවට දරුවන්ගෙ බුද්ධි මට්ටමට(IQ) බලපාන දුර්වලතාවයන් තියෙනවා.
නමුත් learning disability කියන්නේ එහෙම එකක් නෙමේ. Learning disability කාණ්ඩයේ දරුවන්ට බැරි වෙන්නේ,
- කියවන්න (කියවීමේ අපහසුතා)
- ලියන්න (ලිවීමේ අපහසුතා)
- ගණිතය
- අක්ෂර වින්‍යාසයේ ප්‍රශ්න
- ඇහුම්කන් දීමේ ගැටළු
- කතාව ආශ්‍රිත ගැටළු(වචන උච්චාරණය)
- හේතු දැක්වීමේ ගැටළු
- තොරතුරු සංවිධානය කරගැනීමේ ගැටළු යනාදීන් පමණයි.
හැබැයි මේ කිසිම දෙකින් අපිට කියන්න බෑ මෙවැනි දරුවන්ට අනිත් දක්ෂතාවයන් නෑ කියලා. අපි නොදන්නවා උනාට මෙවැනි දරුවන්ට සැඟවුණු දක්ෂතා, සැඟවුණු කුසලතා ඕනැ තරම් තියෙනවා.
අපි ඊළග post එකෙන් අධ්‍යාපන දුර්වලතා (Learning disabilities )ඇතිවෙන්නෙ කොහොමද කියලා කතා කරමූ..
10/03/2024
දැනගෙන හිටියද දරුවෙක්ගෙ ජීවිතේ වයස අවුරුදු හතේ ඉඳන් දහය වගේ කාලය ජීවිතේට ඉතාම වැදගත් කියලා ???
මේ වයස් සීමාවේදී තමයි දරුවෙක් brain chemistry එක explore කරන්නේ.
ඇල්බට් බන්දුරා ගේ (Alburt Bandura) සමාජ ඉගෙනුම් න්‍යායට අනුව දරුවා මේ වයසේදී තමයි අනිත් පුද්ගලයන්ගේ චර්යා, හැසිරීම් අනුකරණය කරන්න ගන්නේ. දරුවෙකුගේ සංවර්ධනයට මූලිකව ම බලපාන්නේ ජානමය හේතූන්, පරිසරාත්මක සාධක වගේම සමාජ ඉගෙනුම්. ඉතින් මේ වයසේදී තමයි ළමයින් සමාජ ඉගෙනුම් මූලික කරගන්නේ. ළමයින් ගෙදර දෙමාපියන්, අහල පහල පරිසරයේ පුද්ගලයන් හෝ තමන් දකින චරිත නිරීක්ෂණය කරලා තමයි ඉගෙන ගන්නේ.
මේ කාලෙදි දෙමාපියන් දරුවන් සමග කොහොමද හැසිරෙන්න ඕන ??
මේ කාලයේදී දරුවාගේ ජීවිතේට වෙන හිතකර හෝ අහිතකර අත්දැකීම් තුළින් තමයි දරුවාගේ පෞරුෂය ගොඩ නැගෙන්නේ. දෙමාපියන් විදිහට ඔබ ඔබේ දරුවාගේ හදවතට ළං වීමට හැකියාවක් තියෙනවා නම් එවැනි දරුවන් අනාගතයේදී extraversion එහෙම නැතිනම් ඉතාමත් සමාජශීලී වගේම healthy personality එකක් සමඟ ගොඩනැගෙනවා. ඔබේ ක්‍රියාවන් දරුවාට අහිතකර නම් එවැනි දරුවන් introversion ඒ කියන්නේ හැම විටම හුදකලා වෙන්න උත්සාහ කරන අතර සමාජයත් එක්ක ගනුදෙනු කරද්දී එක්තරා සීමාවක් තියාගන්නවා.
ඒ වගේමයි මානසික ආතතියෙන් පෙළෙන, සමාජ විරෝධී ක්‍රියාකාරකම් වල යෙදෙන, අධික කෝපය නිසා ගන්න වැරදි තීරණ නිසා ජීවිතයේදී ඉතාමත් සංකීර්ණ ගැටළු වලට මුහුණ පාන, සම්බන්ධතා වලදී එකිනෙකාට අවංක නොවන විශ්වාස කළ නොහැකි හෝ වෙනස් ලිංගික අවශ්‍යතාවයන් සහිත වැඩිහිටියන් ගොඩනැගෙන්නේත් විශේෂයෙන් ම කුඩා කාලයේදී සිදුවන emotional damage නිසා බව ඔබ දන්නවාද ???
ඉතින් දෙමාපියන් හැකි සෑම විටම තමන්ගේ දරුවන්ට ආදරණීය ප්‍රතිචාර ලබා දෙන්න. මම හිතන්නේ ලෝකයේ සෑම දරුවකුටම ආදරණීය ප්‍රතිචාර දක්වන දෙමාපියන් සිටිය යුතු අතර ඔවුන් කරුණාවෙන් දරුවන් සුවපත් කරවන්නන් විය යුතුමයී...
©️ පියුමි බටගොඩ