13/05/2026
කාමය යනු සාමාන්‍ය ආශාවක් නොවේ.
බුදුදහම එය හැඳින්වූයේ “ගින්නක්” ලෙසය.
“නත්ථි රාගසමෝ අග්ගි”
රාගය තරම් ගිනික් නැත.
ධම්මපදය
ගින්නක ස්වභාවය දහනය කිරීමය.
එය වියළි කොළද, මහ වෘක්ෂද, රන් මාලිගාද කියා නොබලයි.ඒ අසල ඉන්ධන තිබුණොත් දවාලයි.කාමයත් එසේමය.සාමාන්‍ය මනුෂ්‍යයෙකුද,ධනවතෙකුද,දේශපාලකයෙකුද,
ලෝකයේ බලවත්ම පුද්ගලයාද,මහානායක හිමිනමක්ද —පෘථග්ජන සිතක් තුළ රාගයේ බීජ නිවී නැති නම්,ඒ ගින්න ඕනෑම මොහොතක නැවත ඇවිලිය හැකිය.බුදුදහම කවදාවත්
“තනතුර” විශ්වාස කළේ නැත.
බුදුදහම විශ්වාස කළේ “සිත”ය.
කසාවත ඇඳීමෙන් කෙලෙස් මැරෙන්නේ නැත.
බලය ලැබීමෙන් රාගය නිවෙන්නේ නැත.
ගෞරවය ලැබීමෙන් සිත පිරිසිදු වෙන්නේද නැත.
ඒ නිසාම බුදුදහම තුළ “සංවරය” මෙතරම් වැදගත් විය.අභිධර්මයට අනුව කාම රාගය යනු සිත අල්ලාගන්නා අකුසල චෛතසිකයකි.
එය උපදින්නේ රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය හා සිතිවිලි ඇසුරෙනි.
මුලින් කුඩා සිතුවිල්ලක් ලෙස උපදින එය,
නැවත නැවත පෝෂණය කළ විට “ආශාවක්” වෙයි.
ආශාව “ඇලීමක්” වෙයි.
ඇලීම “වහල්භාවයක්” වෙයි.
ඒ මොහොතේ මනුෂ්‍යයා බුද්ධියෙන් නොව, තණ්හාවෙන් ක්‍රියා කරයි.
බුද්ධ කාලයේ පවා මෙය සිදු විය.
සොහොන් භූමිවල අසුභ භාවනාව වඩමින් සිටි ඇතැම් භික්ෂූන් වහන්සේලා, මළ සිරුරු දැක අසුභය වෙනුවට රාගය උපදවාගත් බව විනය හා අට්ඨකථා සාහිත්‍යයේ සඳහන් වේ.
එය අහන විට අපට ලැජ්ජා හිතෙන කතාවක් වුවත්, එහි තිබෙන්නේ ඉතා භයානක ධර්ම සත්‍යයකි.
සිත සංවර නොවී නම්,
භාවනාව පවා වැරදි දිශාවට හැරිය හැකිය.
එසේ නම් අද කාලයේ — බලය, මුදල්, ප්‍රශංසාව, රහස් අවස්ථා, සමාජ ගෞරවය හා අන්ධ භක්තිය මධ්‍යයේ ජීවත් වන පෘථග්ජන මනුෂ්‍යයාගේ සිත කොතරම් පරීක්ෂාවකට ලක්වේද?
❇️ ප්‍රශ්නය කසාවත නොවේ.
ප්‍රශ්නය දේශපාලනය නොවේ.
ප්‍රශ්නය බලයද නොවේ.
සැබෑ ප්‍රශ්නය සංවර නොකළ සිතයි.
මේ නිසාම බුදුදහම තුළ “සිල්” යනු සාමාන්‍ය ආගමික චාරිත්‍රයක් නොව,සිත ආරක්ෂා කරන වැටක් ලෙස සැලකුණි.ගෙයක් වටේ වැටක් දමන්නේ හොරුන්ගෙන් බේරෙන්නය.වැවක් වටේ බැම්මක් බැඳෙන්නේ ජලය පාලනය කරන්නය.
එසේම සිල් යනු —
සිත කෙලෙස් ගින්නෙන් ආරක්ෂා කරන අභ්‍යන්තර බැම්මකි.පංචශීලයේ තුන්වන සිකපදය වූ“කාමේසු මිච්ඡාචාරා වෙරමණී…”
යනු ශරීරික වරදක් පමණක් වැළැක්වීමක් නොවේ.
එය —
❇️බැල්ම සංවර කිරීම,
❇️සිතුවිලි පාලනය කිරීම,
❇️ආශාවට සීමා දැමීම,
❇️අනෙකා භාණ්ඩයක් නොව ජීවියෙක් ලෙස දැකීම,
❇️තම සිතට ලැජ්ජාව හා භය ඇතිකර ගැනීම
යන ගැඹුරු ආධ්‍යාත්මික පුහුණුවකි.
අභිධර්මයට අනුව “හිරි” සහ “ඔත්තප්ප” යන චෛතසික දෙක ලෝකය රැකගන්නා ධර්ම ලෙස හඳුන්වයි.
හිරි = “මෙය නොකළ යුතුය” යන අභ්‍යන්තර ලැජ්ජාව
ඔත්තප්ප = “මෙයින් විනාශයක් වේ” යන භය
මෙම දෙක නැති වූ විට,
උගත්කම, බලය, කසාවත, තනතුරු — කිසිවක් මනුෂ්‍යයාව රැක නොගනී.
සිල් රැකීම යනු අන් අයට “පෙනෙන්න” හොඳ මිනිහෙක් වීම නොවේ.තමන්ගේම සිතට රැකවරණයක් සැපයීමය.මනුෂ්‍යයා වැටෙන්නේ එක්වරම නොවේ.මුලින් බැල්ම වැටේ.
ඊළඟට සිතුවිල්ල වැටේ.ඉන්පසු සිත ඇලේ.අවසානයේ ජීවිතයම කඩා වැටේ.
සිල් යනු එම වැටීම මුලදීම නවත්වන ආරක්ෂක දොරටුවයි.
⬛ අද සමාජයේ බොහෝ දෙනා පුද්ගලයන් “වන්දනා” කරති.
නමුත් බුදුදහම පෙන්වා දුන්නේ පුද්ගලයා නොව, ධර්මය පරීක්ෂා කළ යුතු බවයි.
රහත්භාවයට නොපැමිණි සිත,
තවමත් අනතුරේ ඇති සිතකි.ඒ නිසා බුදුදහම තුළ “අප්පමාදය” — අවදියෙන් සිටීම — මෙතරම් වටිනාකමක් ලැබීය.කාමය මුලින් සතුටක් ලෙස පැමිණේ.
නමුත් අවසානයේ එය
❇️ලැජ්ජාව නැති කරයි,
❇️බුද්ධිය වසා දමයි,
❇️ගෞරවය බිඳ දමයි,
❇️ජීවිත විනාශ කරයි.
❇️එය ගිනි ගන්නා ගෙයක් වැනිය.
මුලින් උණුසුමක් දැනෙනවා සේ පෙනුනත්,අවසානයේ ඉතිරි වන්නේ අළු පමණි.
ඒ නිසාම බුදුන් වහන්සේ කාමය දුටුවේ “සතුට” ලෙස නොව,
“බැඳීමක්” ලෙසය.
“නිදහස” ලෙස නොව,
“දාසභාවයක්” ලෙසය.
අද අප සමාජයක් ලෙස අවදි විය යුත්තේ අන් අය දෙස ඇඟිල්ල දිගු කිරීමට නොව,
තමන්ගේම සිත දෙස බැලීමටය.
මන්ද —කාම ගින්නට දුප්පත් මිනිසාත්,උගතාත්,බලවතාත්,භික්ෂුවත්,තනතුරුත්,ගෞරවත් —කිසිවක් බේරී නොයයි.
සංවරය නැති තැන
වැටීම අනිවාර්යය.🙏🙏🙏