අධ්‍යාපන " ප්‍රතිසංස්කරණ" කියල අපි හිතාගෙන ඉන්න ලියවිලි වල තවමත් මානසික සෞඛ්‍ය පිලිබඳ සාධනීය කතිකාවක් තවම නැහැ. අවම වශයෙන් ගුරු පුහුණුවටවත් අදාල කරගෙන නැහැ. ඒ පිලිබඳ අපි පුලුවන් විදිහට මැදිහත් වෙනවා.
අපි හැමෝම. (දරුවන් වෙනුවෙන් ) බලාපොරොත්තු වන සුරක්ෂිත සමාජය ඒක නැතුව හැදෙන්නෙ නැහැ.
මේ අම්මාට උත්තමාචාරය මේ සංවේදී කථාව බෙදාගැනීම ගැන!
ඇත්තටම දරුවෙක් සියදිවි නසාගන්නවානම් අනිවාර්යයෙන් වගකීම ඇයගේ පරාසයේ තිබුනු මුලු සමාජයම දරාගන්න ඕන. ඒක තමයි ශිෂ්ඨ සම්පන්න සමාජයක ලක්ෂණය.
පාසල දරුවන් සුවපත් කරන තැනක් විය යුතුමයි. අතිධාවනකාරි තරගකාරි සංස්කෘතිය ප්‍රගතිගාමී ලෙස සලකා බැහැර කල යුතුයි.
උපුටාගැනීම
ඒ 2025 ජනවාරි 10 වැනිදා. එදා මේ කියන සිදුවීම වෙලා තිබුණේ බොරැල්ල ප්‍රදේශයේ වූ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක. ඔව්, වයස අවුරුදු 16ක් වයසැති තරුණියක් එහි 13 වැනි මහලින් පහලට පැනලා සියදිවි හානි කරගෙන.
“මං මගේ දුවගේ කතාව මෙච්චර කාලෙකට ප්‍රසිද්ධියේ කියලා නෑ. ඒත් මට හිතුණා මගේ දුවගේ කතාවෙන් මේ රටේ තවත් එකම එක දරුවකුගේ ජීවිතයක් හරි රැකගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා තමයි මං මේ කතාව මේ විදියට කියන්න හිතුවේ.”
ඒ සිදුවීම වෙලා හරියටම අවුරුද්දක් ගිය තැන එහෙම කියන්නේ සුගන්ධි සමරසිංහ. ඒ කියන්නේ ඉහත කී මියගිය දැරියගේ මව. ඇය එහෙම කියද්දී මට හිතුණා ඇයට ටිකක් කන් දෙන්න.
හැබැයි එක දෙයක්... මේ මියගිය දියණියව නැවත වළෙන් ගොඩගැනීමක් නෙවෙයි. මේ ඒ දියණිය මෙන් සමාජය විසින් වළදාන්නට නියමිත තවත් එක් දරුවෙකුගේ හෝ අහිංසක ජීවිතයක් ඉන් මුදවාගන්න මවක් දරන වෑයමක්. ඒ වෙනුවෙන් ඇයත් සමඟ කළ කතාබහයි මේ.
*අපි මේ කතාව පටන්ගන්නේ කොතැනින්ද?
මගෙන්ම පටන්ගන්නම්. මං එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ දේශගුණික විපර්යාස පිළිබඳව ජාතික ව්‍යාපෘති සම්බන්ධීකාරකවරියක්. හැබැයි මං මේ අද කතා කරන්නේ ඒ තතතුරේ ඉඳගෙන නෙවෙයි, අම්මා කෙනෙක් විදියට. මට හිතෙනවා මේ සමාජය වෙනුවෙන් දෙන්න ඕන පණිවිඩයක් මං ළඟ තියෙනවා කියලා. මට ලස්සන, දක්ෂ දුවක් හිටියා. ඒත් එයා දැන් මගේ ළඟ නෑ. ඇයට උරුමවුණු දේ මේ සමාජයේ ජීවත්වෙන තවත් අහිංසක දරුවකුට උරුම නොවිය යුතුයි කියන බලාපොරොත්තුව උඩ ඉඳගෙනයි මං මේ විදියට කතා කරන්නේ.
*එදා ඔබ ගෙවපු ජීවිතය ගැන කිව්වොත්?
මං සාමාන්‍ය පවුලක දරුවෙක්. ඒත් මං හොඳට ඉගෙනගෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබලා වෘත්තිමය ජීවිතය පටන්ගත්තා. ඊටපස්සේ මං විවාහවුණා. කාලයක් යනකොට මට දරුවෙක් ලැබුණා. එයා දුවක්. ඒත් දුවට අවුරුදු 4ක් වෙනකොට මමත් සැමියාත් වෙන්වුණා. එතැන් පටන් දුවට අම්මා විතරක් නෙවෙයි තාත්තා උනෙත් මං. ඒත් ඒක ලේසි වුණේ නෑ. හැබැයි මං දුවට කිසිම අඩුපාඩුවක් දුන්නෙ නෑ කියලා මම විශ්වාස කරනවා. පසුගිය වසර කිහිපයේ අපි හිටියේ බොරැල්ලේ අපාර්ට්මන්ට් එකක. දුවගෙ පාසලට, පන්තිවලට, මගේ වැඩ රාජකාරිවලට තියෙන පහසුව ගැනයි, දරුවෙක් එක්ක තනියම ඉඳපු මගේ ආරක්ෂාව ගැනයි හිතලා ඒ වගේ තැනක් නවතින්න තෝරගත්තේ. මගේ දුව ගැන විස්තර කළොත් ලස්සන, හොඳ ගතිගුණ තිබුණු, ඉගෙනගන්න දක්ෂ දරුවෙක්. නිතරම හිනාවුණු ගමන් හිටියේ. ඒත් දුවට වයස අවුරුදු 11 - 12ත් අතර කාලෙදි මට එයාගෙන් පොඩි වෙනසක් තේරුනා.
*ඔබ එදා දැකපු දුවගේ වෙනස මොකක්ද?
වෙනසක් කියන්නේ දුවට ඉක්මණින් කේන්ති යන ගතියක්, නුරුස්සන ගතියක් සහ සමහර අවස්ථාවල හේතුවක් නැතිවම දුකෙන් ඉන්න ගතියක් තේරුනා. එක දවසක් එයා එයාගේ හිටපු ටෙඩිබෙයාර් කෙනෙක් කෑලි කෑලිවලට කපලා තිබුණා. අන්තිමේදි මං දුවව මානසික සෞඛ්‍ය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් ළඟට එක්ක ගියා.
*දුව බලපු ඒ වෛද්‍යවරු මොනවද කිව්වේ?
එදා දුවව පරීක්ෂා කරපු වෛද්‍යවරයා කිව්වා දුවට Adjustment Disorder එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ කෙටිකාලීන මානසික සෞඛ්‍ය තත්ත්වයක්. ඒ නිසා කාංසාව, මානසික අවපීඩනය, හැසිරීම් වෙනස්වීම් වගේ දේවල් වෙන්න පුළුවන් කිව්වා. එහෙම කියලා දුවව මනෝ උපදේශනයට යොමුකළා. ඒත් වෙනසක් වුණේ නෑ. ආයෙත් මං වෛද්‍යවරයා මුණගැහිලා දුව පෙන්නුවා. එතැනදි කිව්වා දුවට Borderline Personality Disorder කියන පෞරුෂ ආබාධයේ යම් රෝග ලක්ෂණ තියෙනවා කියලා. ඒත් එක්කම දුවට විෂාදයත් (Depression) තියෙනවා කිව්වා. ඊටපස්සේ ඒවට වෛද්‍ය ප්‍රතිකාර කළා. ඒ කිසිම වෙලාවක එයාගේ බාහිර පෙනුමෙන් කිසිම රෝගී තත්ත්වයක් තියෙනවා කියලා පෙනුණේ නෑ. ඒත් එකපාරම එයා කෑම කන එක අඩුකළා. ඒ වෙලාවේ දුවව පරීක්ෂා කරලා බලපු වෛද්‍යවරු කිව්වා දුවට සිරුර කෙට්ටු කරගැනීමේ අදහසින් බඩගින්නේ ඉන්න Anorexia Nervosa කියන මානසික රෝගී තත්ත්වය ඇවිත් කියලා. පස්සේ ඒකටත් ප්‍රතිකාර කළා. ප්‍රතිකාරවලින් ඒ රෝගී තත්ත්වය පාලනය කරගන්න පුළුවන් වුණත් එයා සිරුරේ හැඩය ගැන නිතරම වද වුණා. ඔය අතරේ සමහර අවස්ථාවල එයා එයාටම හානිකරගන්න ගත්තා. ඒ කියන්නේ අත්, කකුල් එහෙම බ්ලේඩ්, වීදුරු කැබලිවලින් ලේ එන්නම කපාගන්නවා. මං දුව අරන් ආයෙත් වෛද්‍යවරු ළඟට ගියා. එතැනදි කිව්වා දුවට Self Harming Disorder එකක් කියන තමන් තමන්ට හානිකර ගන්න මානසික රෝගී තත්ත්වයක් කියලා. පස්සේ ඒකට ප්‍රතිකාර පටන්ගත්තා. ඔන්න ඔය කියපු මානසික රෝගී තත්ත්වයන් කීපයක්ම ඒ වෙද්දි දුවට තිබුණා. ඒත් අර මං කලින් කියපු විදියට මගේ දුව එහෙම රෝගවලින් පෙළෙනවා කියලා එයාගේ බාහිරින් පෙනුණේ නෑ. එයා සාමාන්‍ය ගැහැනු දරුවෙක් වගේම අනෙක් අයත් එක්ක කතාබහ කරලා, හිනාවෙලා හොඳට හිටියා. ඒ විතරක් නෙවෙයි අධ්‍යාපන කටයුතුත් හොඳටම කළා. නමුත් ඖෂධ නිසා ඇතිවුණු නිදිමත ගතිය නිසා එයට බලපෑමක් ඇතිවුණා.
*ඔබට එදා දුව ගැන බයක් දැනුණේ නැද්ද?
බයක් දැනුණා. ඒත් මම මගේ පැත්තෙන් දුවව සුවකරගන්න පුළුවන් හැමදේම කළා. වෛද්‍ය ප්‍රතිකාර විතරක්ම නෙවෙයි, මොකක්ම හරි පිහිටක් ලැබෙයි කියන විශ්වාසෙන් ආගමික පැත්තෙන් පවා හුඟාක් දේවල් කළා. ඒත් ඉතින් ලොකු වෙනසක් වුණේ නෑ. හැබැයි මං දුව ගැන හොඳ අවධානයෙන් හිටියේ. මට දුවගේ ගැන ලොකුවටම බයක් දැනෙන්න ගත්තේ 2022 අවුරුද්දේ ඉඳන්. හේතුව දුව ඒ අවුරුද්දේ එක සැරයක් ලයිසෝල් බෝතලයක් බීලා සියදිවි නසාගන්න උත්සාහ දරලා තිබුණා. ඒත් වෛද්‍ය ප්‍රතිකාර නිසා දුව බේරගන්න පුළුවන් වුණා. එදා දුව මට කියපු කතාවක් මට තාම මතකයි. දුව කිව්වා “අනේ අම්මි, මට තේරුම් කරන්න බැරි වේදනාවක් හිත ඇතුළෙන් දැනෙනවා, බෙහෙත්වලින් හෝ උපදේශනයෙන් ලොකු උදව්වක් නෑ” කියලා.
*දුවගේ සමීපයෙන්ම හිටියේ ඔබ විතරද?
ඇත්තටම ඔව්. දුවගේ ළඟින් කවුරුත් හිටියේ නෑ. එයා අත පය එහෙම කපාගන්නවා කියලා දැනගත්තු දුවගේ පන්තියේ දරුවන්ගේ අම්මලා දවසක් මට කතා කළා. ඒ කතා කරලා දුව ගැන ඇහුවා. මං කිව්වා දුව මේ වගේ මානසික රෝගී තත්ත්වයකින් පෙළෙනවා, ඒක තේරුම් අරන් මටයි, මගේ දුවටයි උදව් කරන්න කියලා. ඒත් එයාලා මට කතා කරලා තිබුණේ එයාලගේ දරුවන්ගේ ආශ්‍රයෙන් මගේ දුවව වෙන්කරන අදහසින්. ඒ අය බයවුණා දුව එයාලගේ දරුවන්ටත් හානියක් කරයි, ඒ අයගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් වෙයි කියලා.
*දුව එහෙම තත්ත්වයක හිටියේ නෑනේ නේද?
අනේ නෑ. එයා එයාව කපාගත්තේ එයාට දැනුණු වේදනාව වැඩි නිසා. එයා කිසිම වෙලාවක ඒ වේදනාව වෙන අයගේ පිටින් යැව්වේ නෑ. අනික දුව වෙන අයට තියා සතෙක්ටවත් හානිකරන්න කැමතිවුණු කෙනෙක් නෙවෙයි. පූසන්ට එහෙම පුදුම ආදරෙයි. ඒත් එහෙම වෙලත් දුවගේ පන්තියේ දෙමව්පියන් දුවගේ ගැන නිකන්වත් සංවේදී වුණේ නෑ. ඒ අතරේ දුව සියදිවි නසාගන්න හිතපු අවස්ථා තිබුණා. ඒ වෙලාවට පෞද්ගලික රෝහලක අපි දෙන්නා නතර වුණා. නැත්නම් ඇවිදින්න ගියා. සොබාදහමත් එක්ක ඉන්නැද්දි එයා සන්සුන් වුණා. මට තේරුනා ඒකෙන් එයා ලොකු සතුටක් ලබනවා කියලා.
*පවුලේ නෑදෑයෝ දුව ගැන බැලුවේ නැද්ද?
ඒ කවුරුත්ම මගේ දුව මෙහෙම අසනීපෙකින් පෙළෙන බව දැනසිටියේ හෝ විශ්වාස කළේ නෑ. ඉතින් ආයෙත් මං ඒ ගැන මුකුත් කියන්න ගියේ නෑ. පුළුවන් විදියට මං දුව බලාගත්තා. හැබැයි මං වැඩ කරන ඔෆිස් එකෙන් මං ඉන්න තත්ත්වය තේරුම් ගත්තා. ඒ නිසා දුවව ඔෆිස් එකට එක්ක ඇවිත් වැඩ කරන්න කියලා මට නිදහස දීලා තිබුණා.
*එතකොට දුවගේ පාසල් ගමන නැවතුණාද?
අතරින් පතර දුව පාසල් ගියා. නිවාඩු දවස්වලට තමයි ඔෆිස් එක්ක ගියේ. ඒ අතරේ මෙහෙම දෙයක් වුණා. ඒ 2025 ජනවාරි 06 වැනිදා. ඒ වෙනකොට දුවට සාමාන්‍ය පෙළ විභාගය ලියන්න පුංචි කාලයයි තිබුණේ. කොහොමහරි ඒ කියන දවසේ අවසන් වාර විභාගයේ ලකුණු දීලා තිබුණා. දුව ගෙදර ඇවිදින් කිව්වා, “අම්මි මට ප්‍රශ්නයක් වුණා මගේ එක්සෑම් එකට ලකුණු අඩුයි” කියලා. ඇත්තටම එයා වෙනදා ගත්ත ලකුණුවලට වැඩිය ලකුණු අඩුවෙන් තිබුණේ. මං හිතන්නේ එයාගේ රෝගී තත්ත්වය ඒකට බලපෑවා. අනෙක ඒ වෙනුවෙන් බීපු බෙහෙත්වලට නිදිමත එහෙම ආවා. ඒවත් බලපාන්න ඇති. එදා දුව කාලෙකට පස්සේ පාසලේදී අත කපාගෙනත් තිබුණා. එයා හිතුවා පාසලේදී එදා යාළුවෝ කතා කරයි කියලා. ඒ උනාට කවුරුත්ම කතා කළෙත් නෑ. පස්සේ මං කපාගත්තුවට බෙහෙත් දාලා එයා ගැන අවධානයෙන් හිටියා. ඊට හරියටම දවස් හතරකට පස්සේ තමයි එයා මට හොරෙන් ආයෙමත් නොඑන්නම යන්න ගිහින් තිබුණේ.
*ඇත්තටම එදා මොකක්ද වෙලා තිබුණේ?
එදා 2025 ජනවාරි 10 වැනිදා. රෑ කෑම කෑවට පස්සේ දුව පාඩම් කරන්න කියලා කාමරේට ගියා. මං කාමරේ ඔෆිස් එකේ වැඩ වගයක් කර කර හිටියේ. එදා රෑ 8.30ට විතර දුව අපි හිටපු අපාර්ට්මන්ට් එකේ 13 වැනි තට්ටුවෙන් බිමට පැනලා සියදිවි හානිකරගෙන තිබුණා. ඒ වෙද්දි දුවට වයස 17 ලබන්න මාසයක් වගේ තිබුණේ.
*දුව සියදිවිනසාගන්න කලින් ඒක ප්ලෑන් කරලා තිබුණාද?
ඔව්, එයා Qoura වෙබ් අඩවියේ හොයලා තිබුණා කොච්චර උසකින් පැන්නොත්ද මැරෙන්නේ, කොයිතරම් උසකදී ද පීඩනයත් එක්ක සිහි නැතිවෙන්නේ වගේ දේවල්. හැබැයි මම දන්නවා දුව එහෙම දෙයක් කරගන්න හරි බයයි කියලා.
*ඒත් දුව එහෙම දෙයක් කරගෙන තිබුණා?
ඔව්, එදා එහෙම කරගන්න කලින් දුව ලියුමක් ලියලා තිබිලා පොලිසියට හම්බුණා. ඒකේ පැහැදිලිවම තිබුණා එයා මෙහෙම තීරණයක් ගන්න හේතුව.
*ලියුමේ තිබුණු විදියට හේතුව මොකක්ද?
එයා කලිනුත් කීපසැරයක් මං එක්ක කියලා තිබුණනේ අම්මි, මට තේරුම් කරන්න බැරි වේදනාවක් හිත ඇතුළෙන් දැනෙනවා කියලා. ඒ වේදනාව තවත් දරාගන්න අමාරුයි, ඒ නිසයි මං මෙහෙම තීරණයක් ගත්තේ කියලා දුව ලියුමේ ලියලා තිබුණා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මොන දේ උනත් දරාගන්න තිබුණනේ කියලා. මං දන්නවා මගේ දුව ශක්තිමත් කෙනෙක්. හැබැයි කොයිතරම් ශක්තිමත් උනත් එදා ඇයට ඒක දරාගන්න බැරිවුණේ රෝගයේ ස්වාභාවය නිසා.
*දුව සමුඅරන් දැන් අවුරුද්දක්. අවුරුද්දකට පස්සේ ඔබට දුවගේ කතාව මෙහෙම කියන්න හිතුණේ ඇයි කියලා කෙනෙක් ඔබගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්?
මං කතාබහ ආරම්භයේදිම කිව්වනේ මං මේ කතා කරන්නේ අම්මා කෙනෙක් විදියට, මට හිතෙනවා මේ සමාජය වෙනුවෙන් දෙන්න ඕන පණිවිඩයක් මං ළඟ තියෙනවා කියලා. අන්න ඒ වෙනුවෙන් තමයි මං මගේ දුවගේ කතාව මේ විදියට ප්‍රසිද්ධියේ කියන්න හිතුවේ.
*අපි කැමතියි ඔබේ ඒ පණිවිඩය මොකක්ද කියන දේ දැනගන්න?
අම්මා කෙනෙක් විදියට මම දැක්කා මගේ දුව මේ මානසික රෝගී තත්ත්වය හමුවේ කොච්චර දුක් වින්දද කියලා. ඒක දුව ජීවිතේ අත්විඳපු ප්‍රශ්නයක් නිසා එයාට ඇතිවුණු රෝගී තත්ත්වයක් නෙවෙයි. ඒත් ඒක මමයි දුවයි ඇරෙන්න අපේ වටා හිටපු කවුරුත් තේරුම්ගත්තේ නෑ. එහෙම තේරුම්ගත්තා නම් සමහරවිට මගේ දුව තාම අපි අතර ඉන්න තිබුණා. මට මතකයි දුව දවසක් මට කිව්වා එයාගේ පාලනය එයාගෙන් ගිලිහිලා යනවා වගේ දැනෙනවා කියලා. ඒ මට්ටමට දුව මේ රෝගී තත්ත්වය නිසා අසරණ වුණා. එහෙම දරුවෙක්ට ප්‍රතිකාර විතරක් ප්‍රමාණවත් නෑ. මං හිතන විදියට එයාට ජීවත්වෙන්න සමාජයේ ආදරය, කරුණාව, සෙනෙහස, උදව්ව ඕන. ඒත් මගෙන් ඇරුනම මගේ දුවට ඒ දේවල් සමාජෙන් ලැබුණේ නෑ. හැමතැනින්ම වුණේ දුව ප්‍රතික්ෂේප වීම විතරයි. මං දන්නවා මගේ දුව වගේම මානසික රෝගී තත්ත්වවලින් පෙළෙන දරුවෝ ඕනතරම් අපේ රටේ ඇති. ඒ අහිංසකයොත් සමාජෙන් ප්‍රතික්ෂේප වෙනවා ඇති. කවදාවත් එහෙම කරන්න එපා. ඒ දරුවන්ට, ඒ දරුවන්ගේ දෙමව්පියන්ට සමාජයේ උදව් ඕන. සමහරවිට ඔවුන්ට ඇහුම්කන්දීමත් ඔවුන්ට කරන ලොකු උදව්වක්. අන්න ඒ දේ සමාජය තේරුම්ගත්ත දවසට මගේ දුවගේ තත්ත්වයේ ඉන්න අහිංසක දරුවන්ගේ ඉරණම මීට වඩා ගොඩාක් වෙනස් වෙයි. මගේ බලාපොරොත්තුවත් අන්න ඒකමයි.
*ඔබ තනිවම හැමදේම දරාගත්තේ කොයි විදියටද?
ඒක ලේසිවුණේ නෑ. මං ශක්තිමත් ගැහැනියක් කියලා මං විශ්වාස කරනවා. ඒත් ශක්තිමත් ගැහැනුන්ටත් සමාජයේ උදව් අවශ්‍යයි කියලා සමාජය තේරුම්ගත්තේ නෑ. මං කොයිතරම් ශක්තිමත් උනත් එක තැනකදි මට තේරුනා දුව හිටපු තත්ත්වයත් එක්ක ඒ ශක්තිය ප්‍රමාණවත් නෑ කියලා. මං සමාජයෙන් උදව් බලාපොරොත්තු වුණා. ඒත් ඒක මට ලැබුණේ නෑ. ඒ නිසා මං මේ වෙලාවේ අපේ රටේ ඉන්න සමස්ත ගැහැනියම නියෝජනය කරලා මේ සමාජයෙන් ඉල්ලනවා, ගැහැනුන්ට ශක්තිමත් වෙන්න ඉඩ දෙන්න. ඒ වගේම ශක්තිමත් ගැහැනුන්ට මෘදු වෙන්නත් ඉඩ දෙන්න.
*ඔබ දුවගේ ගැන ගීතයක් කළ බවත් අපිට දැනගන්න ලැබුණා. අවසාන වශයෙන් ඒ ගීතය ගැනත් කිව්වොත්?
මට හොඳට ලියන්න පුළුවන්. දුව ජීවතුන් අතර ඉන්න කාලෙත් මං කවි, සිංදු එහෙම ලියනවා. ඒ වෙලාවට දුව විහිලුවට කියනවා අම්මි, මොනවා හරි දෙයක් ලියලා කොහේ හරි හංගනවා ඒවා කවදාවත් එළියට දාන්නේ නෑ කියලා. ඒක නිසා මං හිතුවා දුව ගැන මගේ හිතේ හිතෙන ආදරය, සෙනෙහස ගීතයක් කරන්න. එහෙම හිතලයි මං ‘හිමි අහිමි කුමරී’ කියන ගීතය ලිව්වේ. ළඟදීම ඒ ගීතය ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද ප්‍රදීපා ධර්මදාස මහත්මියගේ හඬින් එළිදක්වන්නයි හිතාගෙන ඉන්නේ. මේ වෙනකොට ගීතයේ වැඩ අවසානයි.
රුවන් එස්.සෙනවිරත්න
උපුටාගැනීම අවසන්
- ධරණී
https://www.facebook.com/share/1EU9L1c97Q/?mibextid=wwXIf
Dharanee - ධරණී සතුටින් ජීවිතය දරන්නී
20/02/2026
08/02/2026
04/02/2026
24/01/2026
22/01/2026
06/01/2026
25/12/2025
17/12/2025
16/12/2025