16/05/2020
ජීවිතය වෙනුවට මරණය දෙන්න....
දරුවෙක් ඉපදීම පවුලක් නොව පරම්පරාවක් සතුටු කරනු ඇත.
යමෙකුගේ උපතින් ඇරඹි ජීවිතය හා බැඳුනු බොහෝ දේ පවතී.
අරමුණ, අපේක්ෂා, ජයග්‍රහණ, සම්බන්ධතා, පරාජයන්, දුක්, නින්දා, අවමාන, පාඩු ආදී ලෙස අෂ්ට ලෝක ධර්මතා සමඟ මිනිස්සු ජීවිතය පවත්වා ගෙන යාම සඳහා බොහෝ දේ කරති.
ඒ සියල්ල තුළ එකම අපේක්ෂාව ජීවත් වීම වේ.
''ජීවිතය'' මිනිසෙකුගේ අග්‍රගණ්‍ය අපේක්ෂාව වන්නේ එසේ ය.
නමුත්
ඉපදීම දුකකි. ඉපදීම නිසා මහළු වීම, ලෙඩ වීම හා මරණයට මුහුණ පෑමට සිදු වේ.
නමුත් ඉපදීම පිළිබඳ සතුටු වන මිනිස්සු ලෙඩ වූ විට ප්‍රතිකාර සොයමින්, මහළුව නානාප්‍රකාර ක්‍රම මගින් සඟවමින් මරණය හැකි තාක් ප්‍රමාද කරමින් හැමදාම ජීවත් වීමට උත්සාහ ගනිති.
සැබවින්ම
අපි දුක විඳිමින් දුක් අතර සැප සොයමු.
වෛද්‍යවරු ජීවිත රකින දෙවිවරු ය. ඔවුහු යමෙකු ලෙඩ වූ විට, රෝගය උත්සන්නව මරණීය අවස්ථාවේදීත් එකී රෝගියාගේ සැඟව ඇති හුස්ම පවා සොයා ජීවත් කරති.
ලෝකය පුරා ජීවත් වීම මානව අයිතියක් ලෙස ද, ඇතැම් විට මූලික අයිතිවාසිකමක් ලෙස ද විග්‍රහ කරයි.
ජීවිතය, ජීවත් වීම එතරම්ම වටින්නේ ය.
මිනිස්සු ජීවත් වීමට අැති අයිතිය උදෙසා සටන් කරති. නඩු පවරති.
ඒ කිසිවෙක් මරණය ඉල්ලා සිටින්නේ නැත.
හැමෝම ජීවිතය වෙනුවෙන් සටන් කරද්දි, මරණය ඉල්ලන්නේ කවුරුන්ද?
නමුත් ඇතැමෙක් Right to live සොයද්දී ඇතැමෙක් Right to death සොයන්නේ ඇයි?
ජීවත් වීමේදී පැමිණෙන විවිධ අභියෝග වලට මුහුණ දීමට නොහැකි ව මැරෙන්න හිතු වාර ගණන් ඕනැම ජීවිතයක තිබිය හැක.
නමුත් අභියෝග ජය ගත් විට මරණය විසඳුම නොවන බව අවබෝධ වනු ඇත.
එහෙත්, එසේ නොසිතා මරණය වැළඳගත්තෝ සුගතියට නොයන බවද ආගමික විශ්වාස අනුව දනිමු.
සිය දිවි හානි කර ගැනීම දුගතිගාමී බවද, යමෙක් මැරෙන බව දනිමින්ම ඔහු මරණයට පත් කිරීම අපරාධ වරදක් බවද දනිමු.
නමුත්,
දරා ගත නොහැකි රෝගී වේදනාව, ජීවිතය පිළිබඳ පුංචි බලාපොරොත්තුවක් නොතබන කළ,
මරණය සැපක් වේ නම් යමෙකුට මරණය
ස්ව කැමැත්තෙන් වැළඳ ගත හැකි ද?
තාත්තාගේ පපුවේ අන්තිම හුස්ම කළද යන්ත්‍ර බලයෙන් අමාරුවෙන් රකින දරුවකුට තාත්තාගේ සැනසීම උදෙසා ''මරණය'' සුවයක් ලෙස ලබා දෙනු වස් යන්ත්‍ර ක්‍රියා විරහිත කිරීමේ තීරණය ගත හැකි ද?
හිපොක්රටීස් ආචාර ධර්ම රකින,
රෝගියාගේ ජීවිතය ම පතන වෙෙද්යවරයෙකුට
ජීවත් වීමට වඩා මරණය සැපක් වන රෝගියකුට මරණය
එන්නතක්ව, ඔසුවක්ව ලබා දිය හැකි ද?
සත්‍ය ලෙසම එවැනි රෝගියකුට මරණය ''සැපතක්ද''
"සුඛ මරණය" , " අනායාස මරණය" එසේත් නැත්නම් "Euthanasia" ඇත්තටම සුවදායක වන්නේ ද?
සුව කළ නොහැකි, අතිශය වේදනාකාරී තත්ත්වයකින් පෙළෙන මනුෂ්‍යයෙකු හෝ සත්ත්වයෙකු වේදනා විරහිතව මරණයට පත් කිරීම "සුඛ මරණය"යි.
ඒ මරණය ඉල්ලන්නේ ඇතැම් විට රෝග පීඩාව හුස්මට වඩා බලවත් ව අසරණ වූ දෙමව්පියන් වෙනුවෙන් විය හැකි ය.
ජීවිතයේ ම එකම ගමනක් එක්ව යාමට පොරොන්දු වූ ස්වාමි පුරුෂයා හෝ භාර්යාව වෙනුවෙන් විය හැකි ය.
ස්වකීය ලෙයින් සැදුනු, දාරක ස්නේහය ඈට මිදුළු දක්වා කිදා බසින ලද දරුවා වෙනුවෙන් විය හැකි ය.
එසේත් නැත්නම් දරා ගත නොහැකි අප්‍රමාණ වේදනා මැද ජීවත් වීම පාපයක් සේ දකින රෝගියකු ඔහු වෙනුවෙන් කරන ඉල්ලීමක් විය හැකි ය.
තීරණය අතිශයින් ම සංවේදීය.
ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකකි. එකී වියෝව දිනකට, සතියකට නොව සදහටම වන්නේය.
නමුත්
"ඔයිට වඩා හොඳයි මැරිලා ගියා නම්'' කියන ලෙසින් ම මරණය දරා ගැනීම පහසු නොවන්නේ නොවේ ද?
ඇමරිකා එක්සත් ජනපදයේ කැලෆෝනියා වේ දී ඉපිද දීර්ඝ කාලයක් තිස්සේ මොළයේ පිළිකාවකින් පීඩා විඳි Brittany Maynard මරණය අයැදිමින් ,
සුඛ මරණය අනුමත කළ ඔරෙගන් ප්‍රාන්තය සොයා ගියාය.
පපු අතර සිරවුණු හුස්ම ඉහළට ඇද ගත නොහැකි ව හෝ ඉහළට ගත් හුස්ම පහළට දැමීය නොහැකි තරම් රෝග වේදනාවක් විදින්නෙකුට ප්‍රාණය නිරුද්ධ වීම නිදහසක් නොවේද?
අතක් පයක් සෙලවිය නොහැකි ව ඔත්පලව ජීවත් වීමේ හීන දියවන, අනිකෙකුගේ සහය නොමැති ව ශරීර කෘත්ය කළ නොහැකි ව, ජීවිතය ඇඳ මතටම සින්න වෙද්දී අනුන්ටම බරක් වනවාට වඩා ඔවුන් නිදහස් කරන්නට මරණය විසඳුමක් සේ නොසිතේද?
ස්වසන ආධාරකය ඉවත් කර මා නිදහස් කරන්න යැයි කරනු ලබන රෝගී ආයාචනය වෛද්යවරයට දැරිය හැකි ද?
නලයෙන් ගමන් ගන්නා ආහාර නිසා මිස ජීවිත බලාපොරොත්තු නැති අයෙකුගේ ඥාතියෙකු ට ආහාර නලය ගලවා දමන ලෙස ඉල්ලා සිටිය හැකි ද?
''Doctor මට මැරෙන injunction එකක් ගහන්න''
ඔවුන් ඉල්ලන්නේ ජීවිතය නොව මරණය ම පමණි.
සුඛ මරණය අනුමත කළ, මෙන් ම සීමා සහිත ව අනායාස මරණයට අවසර දුන් රටවල්ද ඇත. නෙදර්ලන්තය, බෙල්ජියම, ජර්මනිය, ඉන්දියාව , ඔස්ට්‍රේලියාව ( ඇතැම් ප්‍රදේශ), කැනඩාව, කොලොම්බියාව වැනි රටවල් ඊට නිදසුන්ය.
අනායාස මරණය යම් සීමාවන්ට යටත්ව
නීත්‍යානුකූල කරමින් ඉන්දීය ශේෂ්ඨාධිකරණය 2011 දී තීන්දුවක් ලබා දෙන ලදී. ඒ අනුව දැඩි ලෙස රෝගාතුර වූ තැනැත්තකුගේ ශ්වසන ආධාරක ඉවත් කළ හැකි බව එම නඩු තීන්දුව මගින් තීරණය කෙරිණ.
ඇතැම් විට නීත්යානුකූල නොවන ලෙස ද අනායාස මරණය සිදු වන බවද කිව යුතුය.
සීමිත දැඩි සත්කාර ඒකකයේ පහසුකම් මත ඉතා වයෝවෘද්ධ රෝගියකුට සවි කළ ස්වසන ආධාරක ගලවා තරුණ රෝගියකුගේ ජීවිතය බේරා ගැනීමට ඉඩ ඇත.
කොවිඩ් 19, දරාගත නොහැකි ආසාධිතයන් වෙනුවෙන් සීමාසහිත සෞඛ්‍ය පහසුකම් ලබා දෙන්නේ කෙසේද යන්න හා තෝරා ගත යුත්තේ කවුරුන් ද යන්න පිළිබඳ, අසීරු තීරණ ගත් අවස්ථාවකි.
ඉතාලිය, ඇමරිකාව වැනි රටවල් ගෙවුණු පසුගිය සති කිහිපය ජීවිතයේ වටිනාකම හා මරණයේ වටිනාකම 'අ' යනු 'ආ' යනු සිට අවබෝධ කර දෙන ලදී. එනම් ජීවත් විය යුත්තේ කවුරුන් ද යන්න වයස මත පදනම්ව වටිනාකම තීරණය කිරීමකි.
යමෙකු ජීවිතය වෙනුවෙන් සටන් කරද්දි කෙනෙකු වෙන්ටිලේෂන් යන්ත්‍ර ස්ව කැමැත්තෙන් ගලවා දමන්නැයි ඉල්ලා සිටියේ තරුණ ජීවිත ලෝකයට අවශ්‍ය බව කියමිනි. ඔවුහු අනායාස මරණය එසේ භුක්ති වින්දාහ.
තවත් වෙදදුරන්ට සීමිත සෞඛ්‍ය පහසුකම් මත රැකිය යුතු ජීවිත පිළිබඳ තෝරා ගැනීමේ ප්‍රශ්නයට මුහුණ දීමට සිදු විය. ඔවුහු තෝරා ගත් අයට අනායාස මරණය පිරිනැමීමට ආචාර ධර්ම පසකලා තීරණය කළ බවට ද ප්රචාරයන් පවතී.
ඇතැම් තීරණ වල නිරවද්‍යතාව වෙෙද්ය විද්‍යානුකූලව විග්‍රහ කළද, නීත්යානුකූලව විමසිය නොහැකි වීමටද ඉඩ ඇත. ආගමික මතවාද, සදාචාරය, මත තීරණ වලට එළඹීමට වඩා අවස්ථානුකූලව අත්යවශ්ය තීරණ වල අවශ්‍යතාව දැඩි බවද යමෙකු අවධාරණය කළ හැකි ය.
ලෝකයේ ඇතැම් විට හඬ නැගූ, ඇතැම් විට යම් තීරණ ගත් අනායාස මරණය පිළිබඳ කාරණය තුළ පවතින නීතිමය විග්‍රහය මීට වඩා පුළුල් ව විමසිය යුතු කාලය එළඹ ඇත.
කොවිඩ් -19 වලදී පමණක් නොව වෙනත් අවස්ථා වලද රහසේම සිදු වන ආනායාස මරණ වල ප්‍රශ්න, හඬක් නොමැතිව, සාධාරණයක් නොලැබ ,වැළලී ඇත.
එසේම,
තීරණය ඇතැම් විට නීත්යානුකූලව ගත්තද ආචාර ධර්ම, ආගමික හර ධර්මයන්ට ගැළපේද?
රෝගියාගේ සුවය පතන ජීවිත රකින්නට දිවුරුම් දුන් වෛද්යවරයාට, දැන දැනම කළ පණ නැසීමේ පවෙන් මිදිය හැකි ද?
චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි යන්න ගැඹුරින් විග්‍රහ කළ යුතු ය.
ඉන් ජීවිත ජීවත් කරවීමට වඩා මරණ ඉහළ යාමට ද හේතු විය හැකි ය.
කොයි ලෙස වූවත් මරණය එකම විසඳුම නොවිය යුතුය.
විසඳිය හැකි ද?
'සුඛ මරණය' සැබවින්ම සැපවත් මරණයක්ද? ගෙවා අවසන් කළ නොහැකි වන පවක්ද?
-නදීජා ඩයස්-