20/02/2025
කලාභුමිය ට 40 වසරක් පිරුණු වගයි
ආචාර්ය රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, සහ ආනන්ද වීරසිරි යන සංගීතවේදී මිතුරන් තම දීර්ඝ කාලින සිහිනයක් සැබෑ කරගනිමින් නුගේගොඩ දී 'කලාභුමිය' ආරම්භ කලේ 1985 වසරේ ජනවාරි 27 වන දා.
මේ වසරේ පසුගිය ජනවාරි 27 වනදා ට කලාභුමිය ට වසර 40 ක් සම්පුර්ණ වුනා. මේ වැදගත් මං සලකුණ උත්සවාකාරයෙන් සැමරීම සඳහා සංවත්සර හමුවක් පෙබරවාරි 15 වන සෙනසුරාදා පිළියන්දල වෑවල Rock House සම්භාෂණ ශාලාවේ දී පැවැත්වුනා.
කලාභුමියේ ආරම්භයේ පටන් මේ දක්වා ඊට සම්බන්ධ වුනු විශාල පිරිසක් එදින උත්සවය ට සහභාගී වුනා. ඒ අතර කලාභුමියේ වර්තමාන සිසු සිසුවියන්, වර්තමාන ආචාර්ය මණ්ඩලය, ආදී සිසු සිසුවියන්, පෙර සේවය කල ආචාර්ය වරුන්, දෙමාපියන්, කලාභුමියේ කටයුතු වලට නිබඳව දායක වන කලාකරුවන්, සහ හිතවතුන් රැසක් සිටියා. ඒ සන්ධ්‍යාව රැස් ව සිටි සියලු දෙනා ගේ අතිතකාමි මතකයන් අලුත් වෙන සොඳුරු සුයාමයක් වුනා.
කලභුමියේ සමාරම්භක අධ්‍යක්ෂ ආචාර්ය රෝහණ වීරසිංහයන් තම මතකය ආවර්ජනය කරමින් පැවැත්වූ හැඟුම්බර දේශනය රැස් ව සිටි සියලු දෙනාට වරෙක සිනහවත් වරෙක කඳුලත් ලඟා කළා. 2021 වසරේ අප අතරින් වෙන් වූ කලාභුමි අධ්‍යක්ෂ ලක්ෂ්මන් විජේසේකරයන් සිහි කර ඔහු ගේ සේයාරුව ට මල් මාලාවක් පළඳවනු ලැබූ අතර ඔහු ගේ ගීත කිහිපයක් වර්තමාන සිසු සිසුවියන් කණ්ඩායමක් විසින් ගායනා කරනු ලැබුවා. කලාභුමියේ වර්තමාන සිසු සිසුවියන්, ආදී සිසු සිසුවියන්, සහ ගුරුවරුන් කණ්ඩායම් වශයෙන් සහ තනි තනිව ඉදිරිපත් කල ගායනා පෙළගැස්ම සියලු දෙනා ට ඉමහත් රසයක් ලඟා කර දුන්නා.
සංවත්සර හමුව අවසානයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වුනා.
මේ සංවත්සර හමුව සංවිධානය කිරීම සඳහා විදේශගතව සිටින ආදී සිසු සිසුවියන් කිහිප දෙනෙක් වෙතින් ලැබුණු මුල්‍යමය දායකත්වය ඉමහත් පිටිවහලක් වුන බව කෘතඥ පුර්වක ව සඳහන් කරමු.
(සේයාරු: නාරද අමරතුංග සහ වෙනත් අනේක සහභාගී වුවන්)