27/03/2026
ඇමරිකාවේ ඇත්ත ස්වරූපය දැනගන්න නම් ඔයා වියට්නාම යුද්ධය ගැන දැනගන්නම ඕන. හිතලා බලන්න, 1961 වසරේ දවසක වියට්නාමයට ඉහලින් එකපාරටම ඇමරිකානු C-123 ගුවන් යානා පියාසර කරගෙන එනවා. හැබැයි ඒ යානා වලින් බිමට දාන්නේ බෝම්බ නෙවෙයි, සුදු පාට මීදුමක් වගේ රසායනික දියරයක්. මේ මීදුම වැටෙන්නේ වියට්නාමයේ තියෙන අතිවිශාල කැලෑ වලට සහ ගම්මාන වලට. දවස් කිහිපයක් යද්දී ඒ කොළ පාට කැලෑ සම්පූර්ණයෙන්ම මැරිලා ගිහින් ඇටසැකිලි වගේ වෙනවා.
හැබැයි ඒක විතරක් නෙවෙයි වුණේ. ඒ රසායනික මීදුම නිසා, එදා ඒ කැලෑවල් අස්සේ හිටපු මිනිස්සුන්ගේ, සෙබළුන්ගේ විතරක් නෙවෙයි, තව අවුරුදු 50කට පස්සේ ඉපදෙන්න හිටපු ඔවුන්ගේ මුණුබුරු මිණිබිරියන්ගේ පවා ජාන (DNA) සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා. මේ තියෙන්නේ ලෝක ඉතිහාසයේ සිද්ධ වුණු දරුණුතම පාරිසරික සහ සෞඛ්‍ය ඛේදවාචකය වෙන "Agent Orange" රසායනික ප්‍රහාරයේ අඳුරු කතාව.
1960 ගණන් වල ඇමරිකාව වියට්නාමයේ යුද්ධ කරද්දී ඔවුන්ට තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි වියට්නාම් කැලෑව. Viet Cong කියන වියට්නාම් ගරිල්ලා සෙබළුන්ට මේ කැලෑව හරියට ගෙදර වගේ වුණා. ඔවුන් කැලෑව අස්සේ හැංගිලා ඇමරිකානු හමුදාවට පහර දීලා අතුරුදහන් වුණා. ඇමරිකානු හමුදාවට මේ කැලෑව පේන්න බැරි වුණා.
මේකට විසඳුමක් විදිහට ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව (Pentagon) 1961 දී "Operation Ranch Hand" කියලා මෙහෙයුමක් පටන් ගත්තා. මේකේ අරමුණ වුණේ සතුරන් හැංගිලා ඉන්න කැලෑව සහ ඔවුන් කෑමට ගන්න වගාවන් රසායනික ද්‍රව්‍ය ගහලා සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන එක. මේක බැලූ බැල්මට ලේසි, ඉක්මන් යුධ උපක්‍රමයක් (Tactical shortcut) විදිහට පෙනුණට, මේකෙන් සිද්ධ වුණේ ලෝක ඉතිහාසයේ කවදාවත් නොවුණු විදිහේ මානව සහ පාරිසරික විනාශයක්.
Operation Ranch Hand එකට පාවිච්චි කරපු ප්‍රධානම රසායනිකය තමයි Agent Orange. මේ නම වැටුණේ මේවා ගබඩා කරලා තිබුණු බැරල් වල ගහලා තිබුණු තැඹිලි පාට පටිය (Orange stripe) නිසයි. මේක ඇත්තටම හැදිලා තිබුණේ ඒ කාලේ කෘෂිකර්මාන්තයට පාවිච්චි කරපු 2,4-D සහ 2,4,5-T කියන වල්නාශක (Herbicides) දෙකක් 50/50 අනුපාතයට කලවම් කරලා.
හැබැයි මේකේ තිබුණු මාරාන්තිකම අවුල මේකයි. යුද්ධය නිසා මේ රසායනික ද්‍රව්‍ය ගොඩක් ඉක්මනින්, ලොකු ප්‍රමාණ වලින් හදන්න ඇමරිකානු රජය Monsanto, Dow Chemical වගේ සමාගම් වලට උපදෙස් දුන්නා. මෙහෙම හදිස්සියේ හදද්දී මේක ඇතුළේ අතුරුඵලයක් විදිහට TCDD හෙවත් Dioxin (ඩයොක්සින්) කියන අතිශය භයානක රසායනිකය හැදුණා.
ඩයොක්සින් කියන්නේ විද්‍යාවෙන් හොයාගෙන තියෙන විෂම රසායනික ද්‍රව්‍ය වලින් එකක්. මේකේ තියෙන භයානක කම තමයි, මේක ගස් මරලා දාලා නිකන්ම වාෂ්ප වෙලා යන්නේ නැහැ. මේක පසට, භූගත ජලයට සහ මිනිස්සුන්ගේ ඇඟේ තියෙන මේද සෛල වලට එකතු වෙලා දශක ගණනාවක් තිස්සේ ඒවා විනාශ කරනවා.
Agent Orange හැදුවේ ඇමරිකාවේ හිටපු ප්‍රධාන රසායනික සමාගම් කිහිපයක් එකතුවෙලා. ඒ අතරින් ප්‍රධානම නිෂ්පාදකයා වුණේ Monsanto සමාගම. අද වෙද්දී එළියට ඇවිත් තියෙන අභ්‍යන්තර ලියකියවිලි (Internal memos) වලින් පැහැදිලි වෙන්නේ, මේ සමාගම් වල විද්‍යාඥයින් මේ ඩයොක්සින් කියන විෂ ගැනත්, ඒකෙන් සත්තුන්ට සහ මිනිස්සුන්ට වෙන පිළිකා සහ විකෘතිතා ගැනත් කලින්ම දැනගෙන හිටියා කියන එකයි.
ඔවුන් රජයට මේ ගැන දැනුම් දුන්නත්, රජයේ අවශ්‍යතාවය වුණේ "කොහොමහරි ඉක්මනින් බඩු ටික හදලා දෙන්න" කියන එක විතරයි. ලාභය සහ රජයේ කොන්ත්‍රාත්තු වෙනුවෙන් Monsanto සහ අනෙකුත් සමාගම් දිගටම මේ විෂ සහිත Agent Orange ලීටර් ලක්ෂ ගණනින් නිෂ්පාදනය කළා.
පස්සේ කාලෙක නඩු දාද්දී Monsanto සමාගම හැමදාම කිව්වේ එකම දෙයක්. ඒ තමයි "Government Contractor Defense". ඒ කියන්නේ "අපි කළේ ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව (DoD) දීපු රෙසිපි එකට, ඔවුන්ට ඕන විදිහට බඩු හදලා දීපු එක විතරයි. මේකට වගකියන්න ඕනේ අපි නෙවෙයි, රජය" කියන තර්කය.
1961 ඉඳන් 1971 වෙනකන් අවුරුදු 10ක් තිස්සේ ඇමරිකානු ගුවන් යානා වියට්නාමය පුරා Agent Orange ඇතුළු රසායනික ද්‍රව්‍ය ලීටර් මිලියන 70 කට වඩා ස්ප්‍රේ කළා. මේකෙන් වියට්නාමයේ අක්කර මිලියන 4.5 කට වඩා කැලෑ සහ වගාබිම් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා.
මේ ප්‍රහාර වලින් පස්සේ වියට්නාමයේ කඩොලාන වනාන්තර සහ වැසි වනාන්තර හරියට හඳ මතුපිට වගේ ජීවයක් නැති තැන් බවට පත් වුණා. ගස් මැරුණාට පස්සේ කැලේ හිටපු සත්තු ඔක්කොම මැරිලා ගියා. හැබැයි භයානකම දේ වුණේ මේ ඩයොක්සින් විෂ ආහාර දාමයට එකතු වුණු එක.
පොළොවට වැටුණ ඩයොක්සින් වැස්සත් එක්ක ගංගා සහ ඇළ දොළ වලට ගියා. ඒ වතුරේ හිටපු මාළුන්ට සහ තාරාවන්ට මේ විෂ එකතු වුණා. කැලෑ මැරුණාට පස්සේ ජීවත් වෙන්න විදිහක් නැති වුණු වියට්නාම් වැසියෝ මේ මාළුන්ව සහ සත්තුන්ව ආහාරයට ගත්තා. මේ විදිහට ඩයොක්සින් කෙලින්ම මිනිස්සුන්ගේ ඇඟට ගියා. අදටත් වියට්නාමයේ Da Nang, Bien Hoa වගේ පැරණි ඇමරිකානු ගුවන් කඳවුරු තිබුණු තැන් "Dioxin Hotspots" විදිහට සලකනවා, මොකද ඒ පසේ අදටත් මාරාන්තික ඩයොක්සින් පිරිලා තියෙනවා.
Agent Orange කියන්නේ කැලෑ මරන්න හදපු දෙයක් වුණාට, ඒකෙන් වැඩියෙන්ම බැටකෑවේ මිනිස්සු. මුලින්ම ලෙඩ වුණේ මේවා ස්ප්‍රේ කරපු ඇමරිකානු සෙබළුන් සහ පහළ හිටපු වියට්නාම් වැසියන්. ඔවුන්ට දරුණු සමේ රෝග, ලියුකේමියාව (Leukemia), ලිම්ෆෝමා වගේ පිළිකා, සහ ස්නායු රෝග හැදෙන්න ගත්තා.
හැබැයි මේ කතාවේ කඳුළු එන, කම්පනයට පත්වෙනම හරිය තියෙන්නේ එතන නෙවෙයි. ඩයොක්සින් මිනිස්සුන්ගේ ජාන වලට (DNA) බලපෑම් කළා. මේ නිසා යුද්ධය ඉවර වෙලා අවුරුදු ගාණකට පස්සේ ඉපදුණු ළමයි, ඒ කියන්නේ මේ රසායනික වලට ගොදුරු වුණු අයගේ දරුවන් සහ මුණුබුරු මිණිබිරියන් ඉපදුණේ අතිශය දරුණු උපත් දෝෂ සහ ශාරීරික විකෘතිතා එක්කයි.
අත් කකුල් නැති, ඇස් නැති, ඔළුව විකෘති වුණ, කොඳු ඇට පෙළේ ආබාධ තියෙන දරුවන් දහස් ගණනක් වියට්නාමයේ ඉපදුණා. මේ දරුවන්ට මුළු ජීවිත කාලයම රෝද පුටු වල, ඇඳන් වල දුක් විඳින්න සිද්ධ වුණා. ඇමරිකානු සෙබළුන්ගේ දරුවන්ටත් මේ දේම වුණා. යුද්ධය ඉවර වුණත් ඩයොක්සින් තමන්ගේ යුද්ධය මිනිස්සුන්ගේ ලේ ඇතුළේ දිගටම කරගෙන ගියා.
තමන්ට වුණ අසාධාරණය වෙනුවෙන් ඇමරිකානු සෙබළු 1979 දී Monsanto සහ Dow සමාගම් වලට විරුද්ධව නඩු දැම්මා. අවුරුදු ගාණක් ඇදෙමින් ගිය මේ නඩුව 1984 දී සමථයකට පත් වුණේ සමාගම් වලින් ඩොලර් මිලියන 180 ක වන්දියක් සෙබළුන්ට ගෙවන්න එකඟ වීමත් එක්ක. හැබැයි මේ මුදල ලෙඩ වුණු සෙබළුන් ලක්ෂ ගාණක් අතරේ බෙදුවාම, එක්කෙනෙකුට ලැබුණේ ඩොලර් 750 ක් වගේ බොහොම පොඩි ගාණක්. මේක හරියට පිළිකාවකින් මැරෙන්න යන කෙනෙකුට ප්ලාස්ටරයක් ඇලෙව්වා වගේ වැඩක් වුණා.
හැබැයි මේ රසායනික වලින් කෙලින්ම බැටකාපු වියට්නාම් ජනතාව මිලියන 3 කට විතර මොකද වුණේ? 2004 දී වියට්නාමයේ Agent Orange වින්දිතයින්ගේ සංගමය (VAVA) ඇමරිකානු අධිකරණයක මේ සමාගම් වලට විරුද්ධව නඩු දැම්මා. හැබැයි ඇමරිකානු උසාවිය ඒ නඩුව නිශ්ප්‍රභ කළා. ඔවුන් කිව්වේ Agent Orange කියන්නේ වල්නාශකයක් මිසක් රසායනික අවියක් (Chemical weapon) නෙවෙයි, ඒ නිසා මේ සමාගම් ජාත්‍යන්තර නීතිය කඩ කරලා නැහැ කියලා. වියට්නාම් වින්දිතයින්ට අන්තිමට සත පහක්වත් ලැබුණේ නැහැ.
කොහොම වුණත්, මෑතකදී 2024-2025 කාලයේදී Monsanto සමාගමේ (දැන් Bayer සමාගම යටතේ තියෙන) වෙනත් නිෂ්පාදන වලට, උදාහරණයක් විදිහට 'Roundup' වල්නාශකයට විරුද්ධව දාපු නඩු වලින් මිනිස්සු දිනලා බිලියන ගණන් වන්දි ලබාගෙන තියෙනවා. මේ නඩු තීන්දුත් එක්ක Agent Orange වින්දිතයින්ටත් "ඓතිහාසික සාධාරණයක්" ඉටු කරගන්න පුළුවන් වෙයි කියලා අලුත් බලාපොරොත්තුවක් ඇතිවෙලා තියෙනවා.
අද 2026 වෙද්දීත් වියට්නාමයේ සමහර ප්‍රදේශ වල පස යට මේ ඩයොක්සින් විෂ හැංගිලා තියෙනවා. ඇමරිකානු රජය සහ වියට්නාම් රජය එකතුවෙලා අදටත් Bien Hoa ගුවන් කඳවුර වගේ තැන් වල පස සුද්ද කරන (Remediation) දැවැන්ත ව්‍යාපෘති කරගෙන යනවා. මේවාට ඩොලර් මිලියන සිය ගණනක් වියදම් වෙනවා වගේම මේවා සම්පූර්ණයෙන්ම සුද්ද කරලා ඉවර කරන්න තව දශක ගණනාවක් යාවි.
ඇමරිකානු රජයට වගේම Monsanto ඇතුළු රසායනික සමාගම් වලටත් මේ මහා විනාශය වෙනුවෙන් සදාචාරාත්මක ණයක් ගෙවන්න තියෙනවා. මොකද යුද්ධයක් කියන්නේ තුවක්කු වලින්, බෝම්බ වලින් ගහගන්න එක විතරක් නෙවෙයි. Agent Orange අපිට කියලා දෙන ලොකුම පාඩම තමයි, සමහර වෙලාවට යුද්ධයක තියෙන භයානකම ආයුධය ඇස් දෙකට පේන්නේ නැති අණුවක් වෙන්න පුළුවන් කියන එක. ගිවිසුම් ගහලා යුද්ධය ඉවර වුණත්, ඒ රසායනික විෂ පරම්පරාවෙන් පරම්පරාවට අහිංසක දරුවන්ගේ ලේ ඇතුළේ තාමත් යුද්ධ කරමින් ඉන්නවා.
Written By : Sulochana Dissanayake
Sources : Independent Media Articles
25/02/2026
13/11/2025
26/08/2025
24/08/2025