28/02/2026
බලාපොරොත්තුවේ සීමාව .....
2026 පෙබරවාරි 18 දින පැවති "රාජ්‍ය දෘශ්‍ය කලා උළෙලේ 2025" හි දී ලේඛනමය වටිනාකම සහ කලාත්මක ප්‍රකාශනය යන දෙකම පෙන්නුම් කරන ඡායාරූප ලේඛනගත කිරීම් (Photographic Documentation) කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා දේවා ජයවර්ධන රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවේය. ඡායාරූප චින්තනය, සංයුතිය සහ තාක්ෂණික කුසලතාවයන් සත්‍ය සහ ප්‍රකාශන ආකාරයෙන් විෂයයක් ලෙස ඉදිරිපත් කිරීම සඳහා කෙතරම් ඵලදායීව භාවිතා කරන්නේද යන කරුණු මත විනිශ්චය කිරීම් සිදු කරනු ලැබූ මෙම උළෙලේ දී පසු සැකසුම් වලට හෝ සංස්කරණ නොකළ මෙම ඡායාරූපය ඔහුගේ ශූර බව මෙනවට විදහා දක්වයි. මෙම සටහන ඒ විශිෂ්ඨ නිර්මාණය පිළිබඳ කෙටි සමාලෝචනයකි.
2021 වසරේදී මැයි මාසයේදී ශ්‍රී ලංකා මුහුදු තීරයේදී අනතුරට පත් වූ X-Press Pearl නෞකාවෙන් සිදුවූ මහා සාගර දූෂණය සමඟ ශ්‍රී ලංකාවේ නීතිමය ක්‍රියාවලිය තුල නෞකාවේ කපිතාන්වරයා වූ රුසියානු ජාතික විටාලි ටියුට්කාලෝ (Captain Vitaly Tyutkalo) ප්‍රධාන චූදිතයෙක් විය. ඒ පිළිබඳව මෙරට සිදු වන නීතිමය ක්‍රියාවලිය හේතුවෙන් වසර ගණනාවක් ගත වුවද ලංකාවෙන් බැහැර වීමට අවසර නොමැතිව ඔහු **අභ්‍යන්තරික සිරකරුවෙක් **බවට පත්ව සිටියි. 2024 ජූලි 24 වන දින ජයවර්ධන මහතා විසින් ගත් මෙම ජායාරූපයෙන් නිරූපණය වන්නේ ඇප මත නිදහස්ව සිටින කපිතාන් ටියුට්කාලෝ කොළඹ වරාය දෙස බලා සිටිනා මොහොතකි. ඒ වන විට වසර 3 කාලයක් ගත වී වුවද කපිතාන්වරයා තම රටින් හා පවුලෙන් දුරස් ව ආගන්තුක රටක නීති කාර්යයක් අවසන් වනතුරු අපේක්ෂා සහගතව බලා සිටිම මෙයින් පෙන්නුම් කරයි.
ඡායාරූපයේ තාක්ෂණික සහ කලාත්මක විශේෂතා පිළිබඳ සැලකීමේදී රාමුගත කිරීම (Framing) ඉතා මැනවින් ඉටුකර ඇති බව පැහැදිලි ය. ඡායාරූපය ගෙන ඇත්තේ කම්බි වැටක් සහිත කොන්ක්‍රීට් රාමුවක් තුළින් වන අතර, එමඟින් කපිතාන්වරයාගේ "සිරගත වූ" ස්වභාවය සහ මානසික පීඩනය මැනවින් නිරූපණය කෙරෙයි. ඡායාරූපයේ වර්ණ මාලාව සහ ආලෝකය භාවිතා කර ඇත්තේ කපිතාන්වරයා සහ සාගරය අතර ඇති ගැටුම හා ඔහුගේ හුදෙකලාව ඉස්මතු කිරීමටයි.
මෙම ඡායාරූපයේ පෙරබිම, මැදබිම සහ පසුබිම පිළිබඳව කෙරෙන විශ්ලේෂණාත්මක විග්‍රහය ඉතා වැදගත් අදහස් මතු කරවයි.
පෙරබිම (Foreground)
ඡායාරූපයේ පහළ කොටසේ ඇති වියළුණු තණකොළ සහ පඳුරු සහිත බිම මඟින් ව්‍යසනයෙන් පසු ඇති වූ පාළු බව සහ ජීවී බව හීන වූ ස්වභාවය සංකේතවත් කරයි. ඡායාරූප ශිල්පියා පෙරබිමේ සිටම මෙම දිරාපත් වූ කොන්ක්‍රීට් රාමුව සහ කම්බි වැට භාවිතා කර ඇත්තේ කපිතාන්වරයා සහ සාගරය අතර ඇති නොපෙනෙන තාප්පය පෙන්වීමටයි. එය කපිතාන්වරයාගේ මානසික සිරගත වීම සහ අසරණභාවය තීව්‍ර ලෙස නිරූපණය කරයි.
මැදබිම (Middle ground)
ඡායාරූපයේ ප්‍රධාන වස්තුව (Subject) වන කපිතාන්වරයා පිටුපසින් සිටින සේ රාමුගත කර ඇති මෙහි ඔහු දෑත් පිටුපසට කරගෙන හුදෙකලාව බලා සිටින ඉරියව්ව මඟින් පශ්චාත්තාපය, කනස්සල්ල සහ බලාපොරොත්තු සුන් වූ හැඟීමක් මතු කරයි. කපිතාන්වරයා කම්බි වැටෙන් වට වූ රාමුවක් ඇතුළත තැබීමෙන්, ඔහු නීතිමය සහ මානසික උගුලක සිරවී සිටින බව ප්‍රකාශ වේ. කම්බි වැටේ සිදුරු තුළින් පෙනෙන ඔහුගේ රූපය මඟින් ව්‍යසනයෙන් පසු කැබලි වූ ඔහුගේ ජීවිතය පිළිබඳ සංකේතයක් ඉදිරිපත් කරනු ලබයි.
පසුබිම (Background)
ඡායාරූපයේ පසුබිම පුරා විහිදී ඇත්තේ රළ නැති, නිසල සාගරයයි. මෙය නෞකාව ගිනිගත් අවස්ථාවේ තිබූ රෞද්‍ර බවට හාත්පසින්ම වෙනස් වූ, එමෙන්ම අභිරහස් සැඟවුණු නිහඬ බවකි. පැහැදිලි නිල් පැහැති අහස සහ නිල්වන් සාගරය මඟින් දෘශ්‍යමාන සන්සුන් බවක් ලබා දුන්නද, එය කපිතාන්වරයා මුහුණ දෙන අභ්‍යන්තරික කුණාටුවට පටහැනි (Contrast) බවක් එක් කරයි. මුහුද කෙතරම් සමීප වුවත්, කම්බි වැට නිසා ඔහුට එය කෙතරම් දුරස් දැයි පසුබිම මඟින් පෙන්වා දෙයි.
මෙම ඡායාරූපය හුදෙක් පරිසර විනාශයක් ගැන පමණක් නොව, එම සිදුවීමට මැදිවූ මිනිසෙකුගේ පශ්චාත්තාපය සහ වේදනාව ප්‍රකාශ කරන ප්‍රබල මානුෂීය ලේඛනයක් ලෙස හඳුන්වා දිය හැක. මිනිසා සහ සොබාදහම අතර ඇති අවිනිශ්චිත සබඳතාවය කැමරාවේ සියුම් ඇසෙන් පිරික්සන දේවා ජයවර්ධනට රාජ්‍ය සම්මානය හිමිවීම අරුමයක් නොවන්නේම ය.
දේවා ඔබට අපේ හෘදයංගම සුබ පැතුම් !