13/09/2025
අනුරාධපුර ශුද්ධ නගරයේ ගැලවුම්කරුවාණන් වූ බ්‍රහ්මචාරී වළිසිංහ හරිශ්චන්ද්‍ර තුමන්ගේ 112 වෙනි ගුණානුස්මරණය අදට යෙදී තිබෙයි.
"සතිශ්චන්ද්‍ර වෙද මහතා වෙත සංවේගයෙනි ,
මාගේ දොස්තර මල්ලී දන්වා ඇති පරිදි සිංගප්පූරුවේදී මා පිළිගැනීමට නැවට පැමිණි මගේ සිංහල මිතුරන් ගෙන් ඇසූ මෙම ශෝක ජනක පුවත නිසා මට ඇති වූ කම්පනය ටික වෙලාවක් යනතුරු ම පැවතියේ ය. හරිස්චන්ද්‍ර වයස 36 දි මරණයට පත් වේ යයි කිසි කෙනෙකු සිතුවාද ? අහෝ ! ලංකා ශාසනය දියුණු වේගෙන යන මේ කාලයේ පරමාර්ථය සලකා ක්‍රියාකරන ඥාන ශක්තියෙන් යුත් වීර පුරුෂයෙක් සොයා ගැනීම දුර්ලභයි. සිංහල බෞද්ධ ජනයා කෙරෙහි කරුණා සිත් ඇති ජනහිතකාමී හරිස්චන්ද්‍ර ගේ වැඩ නිසා සිංහල ජනතාව දියුණුවේය යන භයක් මාරයාට ඇති වුණාද ? පාදිලිරාලලාට ,පර සුද්දන්ට බනිනවා යැයි චෝදනා විදිනු ලබන මට මේ මරණය පැමිණ හරිස්චන්ද්‍ර ට දීර්ඝායු ලැබුණා නම් මම සතුටුයි. වර්ෂ 1898 සිට සම්බුද්ධ ශාසනයට හරිස්චන්ද්‍ර විසින් කල වැඩ ලක්ෂයක් මනුෂ්‍යයන්ගෙන්වත් නොකළ හැකිය. මත්පැනට ඇබ්බැහි වී සිටි තම පියතුමා වූ මීගමුව, මහහුණුපිටියේ පදිංචි වලිසිංහ හෙන්ද්‍රික් ද සිල්වා මුදලිතුමා සම්පූර්ණයෙන්ම මත්පැනින් බේරා ගැනීමට හැකිවීම ම හරිස්චන්ද්‍රට දිව්‍ය සම්පත් ලැබීමට තරම් ප්‍රමාණවත් වන්නේ ය. රාජගිරි ආරාමය විවෘත කිරීමෙන් ලැබුණු ඵලයට හරිස්චන්ද්‍ර නැතිවීමෙන් වාෂ්ප වීය. ලංකා ශාසනයට මේ මරණයෙන් ඇති වූ පාඩුව සම්පූර්ණ කර ගැනීම වර්ෂ 40 කින් මෙහා නොහැකියි. ජගත්සේන ( දියසේන ) කුමාරයා එන කාලයට හරිස්චන්ද්‍ර පැමිණේ යයි ප්‍රාර්ථනා කරමු. ලංකාවට ඕනෑ කරන හරිස්චන්ද්‍ර නැති වුණේ සිංහල බෞද්ධයන් ගේ පුණ්‍ය බලය හීන නිසයි. 22 වෙනි දින ලංකාවට පැමිණි කල මා වැඩ රාශියක් කරන්ට හිතා සිටියා. මගේ අදහස්වලට සතුටු එකම හිතැති පුද්ගලයා හරිස්චන්ද්‍ර යි. ඔහු නැති වී යාම ලෝකයාට දුක යි. මේ කාලයේ ඉදිරිපත් වන කිසිවෙක් නැති සේ ය.
-අනගාරික ධර්මපාල හේවාවිතාරණ-
1913 .09.15 වෙනිදා , සිංගප්පූරුවේ සිට"
[ආර්.ජේ.ද සිල්වා මයා විසින් රචිත, බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර චරිතාපදානයෙන් උපුටා ගැනීමකි]