13/03/2026
මේ ලිපිය කියවා අවසන් වන විට ඔබ ඔබ දෙස බලන ආකාරය සහ ලෝකය දෙස බලන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් වනු ඇතැයි මට විශ්වාසයි.
අපි හැමෝම ජීවිතේ මොනවා හරි ප්‍රශ්නයක් ආවාම හිතනවා, "මම මොකටද මේ ලෝකෙට ආවේ?" නැත්නම් "මගේ ජීවිතේ තියෙන වටිනාකම මොකක්ද?" කියලා..
සමහර වෙලාවට අපිට හිතෙනවා අපි මේ ලෝකයේ තනි වෙලා කියලා. හැබැයි ඔබ කවදාවත් හිතුවද ඔබ අද මේ මොහොතේ මේ අකුරු ටික කියවන්න තරම් වාසනාවන්ත වුණේ කොහොමද කියලා? අපි ටිකක් ආපස්සට ගණන් කරලා බලමු.
ඔබ ඉපදීමට දෙමාපියන් 2 දෙනෙකු අවශ්‍යයි.
ඒ දෙමාපියන් බිහිවීමට සීයා සහ ආච්චිලා 4 දෙනෙක් අවශ්‍යයි.
එතැනින් එහාට මුතුන් මිත්තන් (Great-grandparents) 8 දෙනෙක්.
ඊළඟ පරම්පරාවේදී එය 16 ක් වෙනවා..
පස්වන පරම්පරාවේදී 32 ක්.
හයවන පරම්පරාවේදී 64 ක්.
හත්වන පරම්පරාවේදී 128 ක්.
අටවන පරම්පරාවේදී 256 ක්.
නවවන පරම්පරාවේදී 512 ක්.
දසවන පරම්පරාවේදී 1,024 ක්.
එකොළොස්වන පරම්පරාවේ 2,048 ක්.
දොළොස්වන පරම්පරාවේ 4,096 ක්.
හිතන්න, වසර 400 ක වැනි කෙටි කාලයක් තුළ, පරම්පරා 12 ක් ආපස්සට යන විට, ඔබේ රුධිරය ඔබේ ශරීරය තුළ ගලා යාම සඳහා, පුද්ගලයන් 4,094 දෙනෙකුගේ දායකත්වය ලැබී තිබෙනවා..
ඒ කියන්නේ ඔබ මේ ලෝකයට එන්න කලින් හාරදහසකට අධික පිරිසක් මේ මිහිතලය මත ජීවත් වෙලා, ආදරය කරලා, දුක් විඳලා තියෙනවා..
"ඒ ඔබ වෙනුවෙන් පාර කපන්නයි!"
මේ හාරදහසකට අධික මිනිසුන්ගේ ජීවිත දෙස පොඩ්ඩක් හැරිලා බලන්න. ඔවුන් ජීවත් වුණේ අද වගේ සැපපහසු ලෝකයක නෙවෙයි.
ඔවුන් අතරේ යුද්ධ වලට මුහුණ දුන්න අය ඉන්න ඇති. මහා සාගත, වසංගත රෝග වලින් බේරුණු අය ඉන්න ඇති. දරුණු වන සතුන්ගෙන්, ස්වභාවික විපත් වලින් තමන්ගේ ජීවිතය රැකගත්ත අය ඉන්න ඇති. ඒ එකම එක පුද්ගලයෙක් හෝ තමන්ගේ සටන අතහැරියා නම්, ඔවුන්ට යම් අනතුරක් වුණා නම්, අද ඔබ මෙතැන නැහැ!
ඔබේ ශරීරය තුළ දුවන්නේ ඒ 'ජයග්‍රාහකයන්ගේ' ලේ. ඔවුන් හැමෝම තමන්ගේ ජීවිතේ ආපු හැම බාධකයක්ම ජය ගත්තා.. ඔවුන් හැමෝම තමන්ගේ ඊළඟ පරම්පරාවට ජීවය දෙන්න සමත් වුණා.
ඔවුන්ගේ ඒ නොපසුබට උත්සාහය, බලාපොරොත්තුව සහ ආදරය තමයි අද ඔබේ ජීවිතය විදිහට මේ මොහොතේ මූර්තිමත් වෙලා තියෙන්නේ.
මේ දත්ත සහ සංඛ්‍යා වලට එහා ගිය ලස්සන කතාවක් මෙතන තියෙනවා. මේ හැම පරම්පරාවකම ආදර කතාවක් තිබුණා. දහස් ගණනක් පෙම්වතුන්, දහස් ගණනක් විවාහයන්, දහස් ගණනක් දරු නැලවිලි ගී මේ ගමන ඇතුළේ තියෙනවා.
ඔබේ මුතුන් මිත්තන් අනාගතය ගැන මොන වගේ හීන දකින්න ඇද්ද? ඔවුන් කවදාවත් ඔබව දැකලා නැති වුණත්, ඔවුන් ඔබ වෙනුවෙන් යහපත් ලෝකයක් ප්‍රාර්ථනා කරන්න ඇති. ඔබ යනු ඒ දහස් ගණනකගේ ප්‍රාර්ථනාවල ප්‍රතිඵලයක්.
අපි තවත් ටිකක් ඈතට යමු!
ඔබ පරම්පරා 20 ක් ආපස්සට ගියොත්, ඒ කියන්නේ මීට අවුරුදු 600-700 කට වගේ කලින්, ඔබේ මුතුන් මිත්තන්ගේ සංඛ්‍යාව මිලියනය ඉක්මවා යනවා! ඕනී නම්, කලින් විදියට ගණන් හදලා බලන්න.
"හිතාගන්න පුළුවන්ද?"
මීට සියවස් කිහිපයකට පෙර, මේ ලෝකයේ ජීවත් වුණු මිලියනයකට අධික මිනිස්සු තමන් නොදැනුවත්වම මග සකසමින් හිටියේ ඔබ වෙනුවෙන්.
ඔබ මේ මිහිතලය මත තබන සෑම පියවරක්ම ඒ මිලියනයක් මිනිසුන්ගේ කැපකිරීමේ ප්‍රතිඵලයක්. ඔබ ඉපදීමට අවශ්‍ය වූ ඒ දෙමාපියන් දෙදෙනා, මුතුන් මිත්තන් අට දෙනා, සහ පරම්පරා 20 ක් ආපස්සට යන විට හමුවන ඒ මිලියනයක් වූ මිනිසුන් ඔබෙන් වෙන් වූ පිරිසක් නෙවෙයි.
ඔබේ ශරීරය තුළ අද තිබෙන ඒ ජානමය මතකය, ඒ ජීව ශක්තිය එදා ඒ මිලියනයක් මිනිසුන් තුළත් තිබුණා. ඔවුන් අත්විඳි ප්‍රීතිය, ඔවුන් විඳි දුක, ඔවුන්ගේ ජයග්‍රහණ මේ සියල්ල අද ඔබේ විඥානය තුළ තැන්පත් වෙලා තියෙනවා.
හිතන්න, මීට වසර 400 කට පෙර ඔබේ එක් මුතුන් මිත්තෙක් යම් අනතුරකින් මිය ගියා නම්, නැතිනම් ඔහුට සිය සහකාරිය මුණනොගැසුණා නම්, අද ඔබ මේ ලිපිය කියවන්නේ නැහැ. තාඕ දහමට අනුව, සොබාදහම විසින් ඒ මිලියනයක් වූ මිනිසුන්ව එකිනෙකා වෙත යොමු කළේ, ඔවුන්ව ආරක්ෂා කළේ සහ ඔවුන්ව මෙහෙයවූයේ හරියටම අද මේ මොහොතේ 'ඔබව' නිර්මාණය කරන්නයි.
ඒ නිසා 'ඔබේ උපත' යනු අහම්බයක් නොව, වසර දහස් ගණනක ලාංකීය වීරත්වයේ සහ නොනැසී පැවතීමේ ප්‍රතිඵලයක්.
දැන් ඔබ සුවපහසු පුටුවක වාඩි වී, ස්මාර්ට් ජංගම දුරකථනයකින් මේ අකුරු කියවනවා විය හැකියි. නමුත් මොහොතකට ඇස් දෙක පියාගෙන මීට වසර සිය ගණනකට එහා ගිය ලංකාව ගැන හිතන්න. ඝන කැලෑ, දරුණු වසංගත, පරදේශක්කාර ආක්‍රමණ සහ නිමක් නැති ජීවන අරගල... මේ හැමදේම මැදින් ඔබේ ලේ පරම්පරාව ආරක්ෂා කරගෙන ආපු ඒ අද "අදෘශ්‍යමාන" මිනිස්සු ගැන ඔබ දන්නවාද?
මීට වසර 100 කට පෙර.. ඔබේ මී මුත්තන් ජීවත් වුණේ බ්‍රිතාන්‍ය පාලන සමයේ. ඔවුන් සුද්දන්ගේ බදු බරට එරෙහිව සටන් කරමින් ඔබ වෙනුවෙන් ජීවිතය රැකගත්තා..
මීට වසර 250 කට පෙර උඩරට රාජධානිය බේරාගන්නට ලෙයින් කඳුළින් කැපවුණු පරම්පරාවක් එදා සිටියා.
මීට වසර 400 කට පෙර පෘතුගීසි සහ ලන්දේසි ආක්‍රමණ හමුවේ, ගම්බිම් අතහැර කැලෑ වැදී හෝ තම ජානමය උරුමය ආරක්ෂා කරගත් මිනිසුන් 4,000 ක් ඔබ වෙනුවෙන් පාර කැපුවා.
හිතන්න, ලංකා ඉතිහාසයේ අප මුහුණ දුන් ඒ බිහිසුණු අවස්ථාවන්. බැමිණිතියාසාය වැනි වසර 12 ක් පුරා පැවති මහා සාගත වලින් ඔබේ මුතුන් මිත්තන් බේරුණේ නැත්නම්, අද "ඔබ" කියා කෙනෙක් නැහැ!
මැලේරියාව, වසූරිය වැනි රෝග මුළු ගම්මාන පිටින් විනාශ කරද්දී, ඔබේ ලේ පරම්පරාවේ අය ඒ ඒ රෝග වලට ප්‍රතිශක්තිය ගොඩනගාගෙන අමාරුවෙන් ජීවත් වුණා. මාඝගේ ආක්‍රමණයේ සිට විවිධ විදේශීය බලපෑම් දක්වා වූ සියලු මරණීය තර්ජන හමුවේ ඔවුන් පලා ගියේ නැහැ..ඔවුන් සටන් කර ජය ගත්තා!
ඔබ යනු ඒ දහස් ගණනක් වූ 'සර්වයිවර්ස්ලාගේ' (Survivors) අවසාන බලාපොරොත්තුවයි!
අපි පරම්පරා 20 ක් ආපස්සට ගියොත්, එනම් මීට වසර 600-700 කට පෙර කෝට්ටේ හෝ ගම්පොළ යුගයට ඔබේ මුතුන් මිත්තන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා යනවා.
ලංකාවේ වැව් බැඳි රාජ්‍යයේ වැව් හදන්නට පස් ඇද්ද, අහස දෙස බලා වැසි ප්‍රාර්ථනා කළ, කුඹුරේ පැල් රක්ක ඒ මිලියනයක් ලාංකීය මිනිසුන් තමන් නොදැනුවත්වම මග සකසමින් සිටියේ අනාගතයේ උපදින ඔබ වෙනුවෙන්.
අද ඔබ හුස්ම ගන්නා සෑම වාරයක් පාසාම, ඒ මිලියනයක් මිනිසුන්ගේ ජීවිත වල සලකුණු ඔබ තුළ ජීවත් වෙනවා. ඔවුන් මුහුණ දුන් අරගල, ඔවුන්ගේ නිර්භීතකම, ඔවුන්ගේ කලාත්මක හැකියාවන් මේ සියල්ල 'සංස්කාර' ලෙස ඔබේ DNA තුළ ලියවී තිබෙනවා.
ඔබට සමහර දේවල් වලට සහජයෙන්ම දක්ෂතා තිබෙන්නේ ඇයි? ඔබට සමහර දේවල් ගැන අමුතුම බියක් දැනෙන්නේ ඇයි?
ඒ ඔබේ අත්දැකීම් නිසා නෙවෙයි, ඔබට පෙර සිටි ඒ මිලියනයක් දෙනා ලබාගත් අත්දැකීම්වල සාරය ඔබ තුළ තිබෙන නිසයි. මේ ලිපිය කියවන ඔබ, ජීවිතයේ මොන යම් හෝ පරාජයකින් පසුබට වී සිටිනවා නම් මෙය මතක තබා ගන්න.
ඔබ මෙතරම් දීර්ඝ, දුෂ්කර සහ ආශ්චර්යමත් ගමනක් ආවේ "පරාජය" වෙන්න නෙවෙයි. ඔබ පිටුපස රජවරුන්ගේ, ගොවියන්ගේ, වීරයන්ගේ වීරවරියන්ගේ සහ සාමාන්‍ය මිනිසුන්ගේ මිලියනයක ශක්තිය තියෙනවා. ඔබට අසාර්ථක වීමට ඉඩක් නැත. මන්ද, ඔබ යනු වසර දහස් ගණනක ලාංකීය අභිමානයේ "ජීවමාන සාක්ෂියයි".
පරම්පරා මිලියනයක ශක්තිය ඔබේ සිරුර තුළ 'අගුළු දමා' ඇති මහා නිධානයක් වැනියි. එම නිධානය විවෘත කර දෛනික ජීවිතයට ප්‍රායෝගිකව යොදාගත හැකි, 'අනන්ත-මුල ධ්‍යාන' භාවනා ක්‍රමය විමසා බලමු!
නිශ්ශබ්ද ස්ථානයක කොන්ද කෙළින් තබා වාඩි වෙන්න. ඇස් පියාගන්න. ගැඹුරු හුස්මක් ගන්න... එය සෙමින් පිට කරන්න. ඔබේ ශරීරය සැහැල්ලු වන බව දැනෙන්නට හරින්න.
දැන් ඔබ වාඩි වී සිටින පොළොව ගැන සිතන්න. මේ පොළොව මතම තමයි ඔබේ මුතුන් මිත්තන් මිලියන ගණනක් ඇවිද ගියේ, වැඩ කළේ සහ අවසානයේ පස් වී ගියේ..
දැන් ඔබේ නහර දිගේ ගලා යන රුධිරය කෙරෙහි අවධානය යොමු කරන්න. මේ රුධිරය අලුත් දෙයක් නොවේ. එය වසර දහස් ගණනක් පුරා එකිනෙකාට අතමාරු වෙමින් ආ "පණිවිඩයක්" වැනියි. ඔබේ හද ගැස්ම ඇසෙන විට, එය මීට වසර 500 කට පෙර සිටි ඔබේ මුතුන් මිත්තෙකුගේ හද ගැස්මේම ප්‍රතිරාවයක් බව සිතන්න.
ඔබේ පිටුපසින් ඔබේ දෙමාපියන් දෙදෙනා සිටගෙන සිටින බව සිතන්න. ඔවුන්ගේ උරහිස් මත අත් තබාගෙන ඔවුන්ගේ දෙමාපියන් (සීයා සහ ආච්චි) සිටිනවා. මෙලෙස දහස් ගණනක්, මිලියනයක් මිනිසුන් ආලෝක ධාරාවක් ලෙස පෙළ ගැසී සිටින අයුරු මවාගන්න.
ඔබේ වම් පසින් ඔවුන්ගේ ප්‍රඥාව සහ ආදරය ගලා එන බව සිතන්න.
ඔබේ දකුණු පසින් ඔවුන්ගේ ධෛර්යය සහ ශක්තිය ගලා එන බව සිතන්න.
ඒ මිලියනයක් පිරිස එකවරම ඔබට ආශිර්වාද කරන බවත්, ඔවුන්ගේ සියලු ජයග්‍රාහී ශක්තීන් ඔබේ කොඳු ඇට පෙළ දිගේ ඉහළට ගලා එන බවත් සිතන්න. ඔබ දැන් හුදකලා පුද්ගලයෙකු නොව, මිලියනයකගේ ශක්තිය දරා සිටින "කේන්ද්‍රස්ථානයක්" බව ගැඹුරින් අත්දකින්න.
ඔබ මේ භාවනාව අත්හදා බැලුවාද? එහිදී ඔබට දැනුණු හැඟීම හෝ ඔබේ මනසට ආ විශේෂ රූපයක් තියෙනවද? මෙයින් ලැබෙන ප්‍රයෝජනය? ඔබ කවදාවත් ඉගෙන නොගත් දෙයක් කිරීමට ඇති හැකියාවක් උදා: චිත්‍ර ඇඳීම, සංගීතය, සටන් කලා.. ක්ෂණිකව මතු විය හැකියි.
අද්වෛත වේදාන්තයට අනුව, ඔබ ලියන කවි, ඔබ අඳින සිතුවම් හෝ ඔබ ඉදිරිපත් කරන නව ව්‍යාපාරික අදහස් ඔබේ මොළයේ පමණක් නිපදවෙන ඒවා නොවේ. ඒවා වසර දහස් ගණනක් තිස්සේ ඔබේ මුතුන් මිත්තන් ලෝකය දෙස බැලූ විවිධ දෘෂ්ටිකෝණවල එකතුවයි.
බොහෝ වෙලාවට අප නිර්මාණයක් කිරීමට "වෙහෙසෙන" විට අපේ නිර්මාණශීලිත්වය අවහිර වේ. තාඕ දහමේ එන Wu Wei සංකල්පය මෙහිදී ඉතා වැදගත් වේ. ඔබට කලින් සිටි මිලියනයක් මිනිසුන් ජීවිතය ගලා යාමට ඉඩ දුන් ආකාරය සිහිපත් කරන්න.
ඔබේ පෑන හෝ පින්සල අතට ගත් විට, "මම නිර්මාණයක් කරනවා" යන හැඟීම පසෙක තබා, "මගේ මුතුන් මිත්තන්ගේ ශක්තිය මා හරහා ගලා යන්නට ඉඩ දෙනවා" යනුවෙන් සිතන්න. එවිට ඔබම පුදුම වන තරමට නිර්මාණයන් ඔබ හරහා ගලා එනු ඇත.
ඔබ ප්‍රශ්නයක අතරමං වූ විට, ඔබෙන්ම මෙසේ අසන්න. "මගේ පරම්පරාවේ සිටි නිර්භීතම මුතුන් මිත්තා මේ අර්බුදය දකින්නේ කොහොමද?" බොහෝ විට එවිට ඔබට ලැබෙන පිළිතුර, ඔබ මින් පෙර කිසිදා නොසිතූ අලුත් එකක් වනු ඇත. අද සිට ඔබේ සෑම දෙයකටම ඒ "මිලියනයක ශක්තිය" එක් කරන්න. තවත් අප්‍රකට දැනුමකින් හමුවෙමු!
©️ සාගර දියගම
[email protected]