Rambukpitiya Maha Vidyalaya

Rambukpitiya Maha Vidyalaya

Share

Provincial School
Gender - Mixed - Boys And Girls School

14/05/2026

සමහර දවස් වලට අපි ඉන්න තැන ඉඳලා අපිට යන්න ඕනේ ඉලක්කය දිහා බැලුවම, ඒක හරියට අහස උසට පේන මහා කන්දක් වගේ..

"මම කොහොමද මේක කරන්නේ? මට මේක කවදා හරි ඉවර කරන්න පුළුවන් වෙයිද?" කියලා හිතෙනකොටම අපිට දැනෙන්නේ ලොකු තෙහෙට්ටුවක් හා බයක්.. ලෝක පූජිත ලේඛක, ලියෝ ටෝල්ස්ටෝයි මේ ගැන අපූරු කතාවක් කියලා තියෙනවා. ඔහු කියන්නේ මෙහෙම දෙයක්,

"සැතපුම් දහසක පාගමනක යෙදෙන මිනිසෙකුට, තමන්ගේ අවසාන ඉලක්කය ගැන හිතන එක අමතක කරන්නම සිද්ධ වෙනවා.. ඔහු හැමදාම උදේට තමන්ටම මෙහෙම කියාගන්න ඕනේ 'අද මම යන්නේ සැතපුම් විසිපහක් විතරයි. ඒ ටික ගිහින් මම හොඳට විවේක ගන්නවා, නිදාගන්නවා.."

අපි හැමෝටම හීන තියෙනවා. ලොකු රස්සාවක් කරන එක, ගෙයක් හදන එක, විභාගයක් පාස් වෙන එක, නැත්නම් අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න එක. මේවා ඔක්කොම "සැතපුම් දහසක" ගමන්. හැබැයි, අපි කරන ලොකුම වැරැද්ද තමයි, ගමන පටන් ගන්න ඉස්සෙල්ලා ඉඳලම ඒ සැතපුම් දහසම එක පාර ඔළුවට දාගන්න එක.

අපි අද ඉන්නේ පළවෙනි සැතපුමේ නම්, සැතපුම් දහසක් ගැන හිතන එකෙන් වෙන්නේ, අපේ වර්තමාන ශක්තිය හීන වෙන එකයි.. ටෝල්ස්ටෝයි කියන්නේ, ඒ "අවසාන ඉලක්කය" තාවකාලිකව අමතක කරන්න කියලා. ඒකෙන් අදහස් වෙන්නේ 'සිහිනය' අතහරින්න කියන එක නෙවෙයි, ඒ හීනය දෙස බලා හූල්ලන එක නවත්වන්න කියන එකයි.

අපිට පාලනය කරන්න පුළුවන් එකම දේ "අද" විතරයි. ඊයේ දවස ඉවරයි, හෙට දවස තවම ඇවිත් නැහැ. ඔබ ලොකු පොතක් ලියන්න හීන දකින කෙනෙක් නම්, පිටු 500ක් ගැන හිතලා බය වෙන්න එපා. අද දවසේ ලියන්න ඕනේ එක පිටුව ගැන විතරක් හිතන්න.

ඒක තමයි ඔබේ "සැතපුම් 25!"

ඔබ බර අඩු කරගන්න උත්සාහ කරන කෙනෙක් නම්, කිලෝ 20ක් ගැන හිතලා හෙම්බත් වෙන්න එපා.. අද දවසේ කරන්න තියෙන විනාඩි 20ක ව්‍යායාමය ගැන විතරක් අවධානය දෙන්න. අපි ගොඩක් වෙලාවට අමතක කරනවා. හැබැයි මතක තියාගන්න, ඕනෑම මහා සාගරයක් හැදෙන්නේ, එක එක වැහි බිංදුව එකතු වෙලා.

අර ටෝල්ස්ටෝයිගේ කතාවේ තියෙන වටිනාම කොටසක් තමයි, "විවේක ගන්නවා, නිදාගන්නවා" කියන එක! අද කාලේ අපි දුවන්නේ හති දාගෙන. අපි හිතන්නේ විවේකයක් ගත්තොත් අපි පස්සට යයි කියලා..

හැබැයි, ගමනක් සාර්ථක වෙන්න නම් ශරීරයට වගේම මනසටත් විවේකය අත්‍යවශ්‍යයි. අද දවසේ වැඩ කොටස අවංකව ඉවර කරාට පස්සේ, හෙට ගැන වද නොවී සුව නින්දක් ලබන එක ඔබේ අයිතියක්.

මොකද ඒ නින්ද තමයි ඊළඟ දවසේ සැතපුම් 25 යන්න ඔබට ශක්තිය දෙන්නේ. තමන්ටම වද දීගෙන කරන ගමන්වල අවසානය ඉක්මන් තෙහෙට්ටුව නැත්නම් 'Burnout' විතරයි.

ලංකාවේ අපිට මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නය තමයි, හෙට දවස ගැන තියෙන අවිනිශ්චිත බව. ආර්ථික ප්‍රශ්න, රැකියා පීඩනය, පවුලේ වගකීම් මේ හැමදේම එක්ක අපි ඉන්නේ මහා පීඩනයක. ඉතින් අපි කොහොමද මේ "ටෝල්ස්ටෝයි ක්‍රමය" පාවිච්චි කරන්නේ?

ලිස්ට් එකක් හදන්න. හැමදාම උදේට හෝ කලින් දවසේ රෑට, පහුවදා කරන්න තියෙන ප්‍රධාන වැඩ 3 ක් හෝ 4 ක් විතරක් ලියාගන්න. ඒක තමයි ඔබේ සැතපුම් 25.

ප්‍රශංසා කරගන්න! දවස අවසානයේ ඒ වැඩ ටික ඉවර නම්, ඔබටම "හොඳයි" කියලා කියාගන්න. සැතපුම් 1000න් තව 25ක් අඩුවුණා නේද කියලා සතුටු වෙන්න. ඒක පොඩියට හීනියට සමරන්න.

වැදගත්ම දේ සංසන්දනය කිරිම නතර කරන්න. ඔව්, වෙන කෙනෙක් සැතපුම් 100ක් ගිහින් ඇති! ඒ එයාගේ ගමන, ඒත් ඔබේ ගමන ඔබේමයි. අද දවසේ ඔබේ කොටස කළා නම්, ඔබ සාර්ථකයි.

_______________________

පන්සල අසල රතු පස් පාර දිගේ විහිදී යන දූවිලි වලාකුළු අතරින් කමල්ගේ බයිසිකලය කෙඳිරිගාමින් ඉදිරියට ඇදෙයි. දහවල් දොළහේ ඉර මුදුන් වී හමාරය. කමල්ගේ කමිසය පිට මැදින් දාඩියට පෙඟී සිරුරට ඇලී තිබිණි. ඔහු අතේ වූ ලෙදර් බෑගය තුළ තිබුණේ රජයේ රැකියාවක් සඳහා වන අයදුම්පත් සහ තවත් සහතික කිහිපයකි.

නගරයේ සිට ගමට එන මේ කිලෝමීටර් අටක දුර ඔහුට දැනුණේ මහා දහස් සැතපුම් ගමනක් ලෙසය. "තව කොච්චර කල්ද මෙහෙම දුවන්නේ?" ඔහු තමාගෙන්ම අසා ගත්තේය. නිවසට පැමිණි ඔහු බයිසිකලය පේර ගහේ හේත්තු කළේය. "පුතේ, අද අර ඉන්ටවිව් එකට ගියාද?" කුස්සියේ සිට එළියට ආ අම්මා විමසුවාය.

"ඔව් අම්මේ. ඒත් ඒකත් හරියයිද දන්නේ නැහැ. මට හිතාගන්න බැහැ කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද කියලා. ගේ හදන්න ඕනේ, නංගිව උගන්වන්න ඕනේ, මේ හැමදේම මම කොහොමද කරන්නේ?" ඔහු බංකුව මත හිඳගත්තේ හිස දෑතින් බදාගනිමිනි.

අම්මා කිසිවක් කීවේ නැත. ඇය කුස්සියට ගොස් රතු ලූණු සහ වියළි මිරිස් දමා කොටන ලද ලුණු මිරිසක සුවඳ නිවස පුරා විහිදුවා හැරියාය. සවස කමල් ගමේ වැව අසලට ගියේය. එහි පැරණි නුග ගස යට මාමා වාඩි වී සිටියේය.

'සුමනදාස' යනු ගමේ සිටින දක්ෂතම පෙදරේරුවෙකි. ඔහු දැන් වයසක වුවද, ඔහුගේ දෑත්වල ශක්තිය තවමත් මැකී ගොස් නැත. ඔහු ඉදිරිපිට තිබුණේ අලුතින් ඉදිවන කුඩා මල් අසුනකි. කමල් ඔහු අසලින් වාඩි විය.

"මාමේ, මට හරි මහන්සියි."
සුමනදාස මාමා සිමෙන්ති පිහිය පැත්තකින් තබා කමල් දෙස බැලුවේය. "ඇයි පුතේ? මේ වයස දහඅටේ විසි ගණන්වල කොල්ලෙක් වෙලත් මහන්සියි කියන්නේ..?"

"නැහැ මාමේ, මේ කරන වැඩවල ඉවරයක් පේන්න නැහැ. මම අවුරුදු පහක ප්ලෑන් එකක් ගැහුවා.. හැබැයි ඒකට යන්න තියෙන දුර දැක්කම මට දැන්ම එපා වෙලා."

සුමනදාස මාමා මද සිනහවක් පෑවේය. ඔහු ඉදිරිපිට තිබූ ගඩොල් ගොඩ දෙසට අත දිගු කළේය. "කමල්, මම මේ වැව් බැම්ම ළඟ හැදුව ප්‍රාකාරය දැකලා තියෙනවා නේද?"

"ඔව් මාමේ, ඒක හරිම විශාලයි."

"මම ඒක හදන්න පටන් ගන්න කොට, ඒ මුළු බැම්ම දිහාම බැලුවා නම්, මට ඒ වැඩේ කවදාවත් කරන්න වෙන්නේ නැහැ.. මම කළේ එක දෙයයි. හැමදාම උදේට මම හිතාගන්නවා,

'අද මම අඩි දහයක දිගට ගඩොල් පේළි තුනක් බඳිනවා' කියලා. මම මුළු බැම්ම ගැනම හිතන්නේ නැහැ. මම හිතන්නේ අර අතේ තියෙන එක ගඩොල් කැටය ගැන විතරයි."

ඔහු නැවතත් සිමෙන්ති හැන්ද අතට ගත්තේය. "මම ඒ ගඩොල් කැටය හරිම ලස්සනට, නිවැරදිව තියනවා. ඒක ඉවර වුණාම මම සතුටින් ගෙදර යනවා. මම දන්නවා බැම්ම ඉවර වෙන්න තව ගොඩක් කල් යනවා කියලා. හැබැයි මගේ අද දවසේ 'අඩි දහය' මම ඉවර කරලා තියෙන්නේ." කමල් නිහඬව බලා සිටියේය.

සුමනදාස මාමා ගඩොල් කැටයක් ගෙන එය මත සිමෙන්ති තවරා, මට්ටම් ලණුවට අනුව ඉතා සෙමින් එය තැබුවේය. ඔහුගේ මුළු අවධානයම තිබුණේ, ඒ මොහොතේ තබන ගඩොල් කැටය මත මිස, තව අඩි සිය ගණනක් ඉතිරිව ඇති, මල් අසුනේ උස ගැන නොවේ.

"කමල්, මනුස්සයෙක් හැතැප්ම දහසක් යන්න පටන් ගත්තම, එයා ඒ දහස ගැනම හිත හිතා ගියොත් පළවෙනි හැතැප්ම දහය යනකොටම එයා ඇදගෙන වැටෙනවා.. එයා කරන්න ඕනේ, 'අද මම හැතැප්ම විසිපහක් යනවා, ඊට පස්සේ මම හොඳට නිදාගන්නවා' කියලා තමන්ටම කියාගන්න එක!"

එදින රාත්‍රියේ කමල් තම කාමරයට වී මේ ගැන කල්පනා කළේය. ඔහු සැමවිටම උත්සාහ කළේ අවුරුදු පහකින් විය යුතු දේ අද රාත්‍රියේම විසඳා ගැනීමටය. ඒ නිසා ඔහුට අද දවසේ කළ හැකිව තිබූ පුංචි වැඩ පවා මඟ හැරී තිබුණි.

පසුදා උදෑසන ඔහු අවදි වූයේ අලුත් ප්‍රබෝධයකිනි. ඔහු තීරණය කළේය. ඔහුගේ මේසය මත තිබූ විශාල "To-Do List" එක ඔහු ඉරා දැමුවේය. ඒ වෙනුවට කුඩා කොළ කැබැල්ලක මෙසේ ලිවීය.

1. අද දිනට අදාළ රැකියා වෙබ් අඩවි 3ක් පරීක්ෂා කිරීම.
2. ඉංග්‍රීසි වචන 10ක් අලුතින් ඉගෙන ගැනීම.
3. ගෙවත්තේ පේර ගහ වටා ඇති වල් පැලෑටි ටික සුද්ධ කිරීම.

එපමණකි. ඔහු මුළු අනාගතයම ගැන සිතීම නතර කළේය. උදෑසන දහය වන විට ඔහු වෙබ් අඩවි පරීක්ෂා කර අයදුම්පත් දෙකක් යවා අවසන් කළේය. ඒ වැඩේ ඉවර වූ විට ඔහුට දැනුණේ සැහැල්ලුවකි. "සැතපුම් පහක් ඉවරයි," ඔහු තමාටම කියාගත්තේය.

දවල් කාලයේ ඔහු පේර ගහ යට වල් පැලෑටි සුද්ධ කළේය. අව්ව රශ්මිය දැනුණද, පස පීරද්දී දැනෙන පස් සුවඳ ඔහුට ජීවයක් ගෙන දුන්නේය. සවස් වන විට ගහ වටා තිබුණේ පිරිසිදු මතුපිටකි. ඔහු දහඩිය පිසදා ගනිමින් ඒ දෙස බලා සිටියේ මහා මාලිගාවක් තැනූ ශිල්පියෙකු මෙනි.

රාත්‍රියේ ඔහු අලුත් ඉංග්‍රීසි වචන දහය පොතක ලියා ගත්තේය. එදින නින්දට යන විට කමල්ට වෙනදා දැනෙන "අනාගත බිය" දැනුණේ නැත. ඒ වෙනුවට අද දවසේ කළ වැඩ ගැන තෘප්තියක් දැනුණි. ඔහු දෑස් පියාගත්තේය. හෙට උදෑසන තවත් "සැතපුම් විසිපහක්" ඔහු බලා සිටින බව ඔහු දැන සිටියේය. නමුත් දැන් ඔහු දන්නේ, ඒ දහස් සැතපුම් ගමන නිමවන්නේ, මේ පුංචි සැතපුම් විසිපහේ එකතුවෙන් බවයි.

මාස කිහිපයක් ගත විය..

කමල්ට නගරයේ පෞද්ගලික ආයතනයක රැකියාවක් ලැබුණි. එය ඔහු හීන දැකපු "මහා ලොකු රස්සාව" නොවේ. නමුත් එය ඔහුගේ ගමනේ තවත් සැතපුම් විසිපහකි. ඔහු දැන් හති දමන්නේ නැත. ඔහු දැන් පීඩනයෙන් පීඩිත වන්නේ නැත. ඔහු කරන්නේ හැමදාම උදේට තමන්ගේ "අද දවසේ කොටස" ලියාගෙන එය උපරිමයෙන් ඉටු කිරීම පමණි.

එදින සවස ඔහු නැවතත් වැව් බැම්ම ළඟට ගියේය. සුමනදාස මාමා එදා පටන් ගත් මල් අසුන අද නිම කර හමාරය. එය සුදු පාටින් බැබළෙමින් තිබුණි. "නියමයි නේද මාමේ?"

"ඔව්, පුතේ.. ගඩොලින් ගඩොල තියන කොට මටත් හිතුණේ නැහැ මේක මෙච්චර ලස්සන වෙයි කියලා. අපි කරන්න ඕනේ අපේ වැඩේ හරියට කරන එක විතරයි. ඉතුරු ටික කාලය විසින් ඉවර කරයි."

කමල් වැව් දිය දෙස බලා සිටියේය. ඈත ක්ෂිතිජයේ ඉර බැස යන දර්ශනය හරිම නිසලයි. ජීවිතය කියන්නේ දිනාගත යුතු යුද්ධයක් නෙවෙයි, ජීවත් විය යුතු මොහොතක් බව ඔහුට වැටහුණි! "ඉතුරු ටික කාලය විසින් ඉවර කරයි.." ඔහු මිමිණුවේය. ටෝල්ස්ටෝයි කීවාක් මෙන්, ඔහු අද දවසේ සැතපුම් විසිපහ අවසන් කර ඇත. දැන් ඔහුට සුවසේ නිදාගත හැකිය. හෙට උදෑසන, නැවතත් අලුත් සැතපුම් විසිපහක උදාවක් ඔහු පිළිගනු ඇත.

පසු සටහන...

අපේ ජීවිතෙත් මේ වගේමයි. අපි හැමෝම යන්නේ මහා දිගු ගමනක්. ඒ ගමනේ අවසානය ගැන හිතලා බය නොවී, අද දවසේ අපිට කරන්න පුළුවන් පුංචිම වැඩේ හෝ උපරිමයෙන් කරමු. 'සාර්ථකත්වය' කියන්නේ මහා පිම්මක් නෙවෙයි, නොකඩවා තබන කුඩා පියවරවල් සමූහයක, එකතුවක් විතරයි.

© සාගර දියගම
[email protected]

13/03/2026

මේ ලිපිය කියවා අවසන් වන විට ඔබ ඔබ දෙස බලන ආකාරය සහ ලෝකය දෙස බලන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් වනු ඇතැයි මට විශ්වාසයි.

අපි හැමෝම ජීවිතේ මොනවා හරි ප්‍රශ්නයක් ආවාම හිතනවා, "මම මොකටද මේ ලෝකෙට ආවේ?" නැත්නම් "මගේ ජීවිතේ තියෙන වටිනාකම මොකක්ද?" කියලා..

සමහර වෙලාවට අපිට හිතෙනවා අපි මේ ලෝකයේ තනි වෙලා කියලා. හැබැයි ඔබ කවදාවත් හිතුවද ඔබ අද මේ මොහොතේ මේ අකුරු ටික කියවන්න තරම් වාසනාවන්ත වුණේ කොහොමද කියලා? අපි ටිකක් ආපස්සට ගණන් කරලා බලමු.

ඔබ ඉපදීමට දෙමාපියන් 2 දෙනෙකු අවශ්‍යයි.

ඒ දෙමාපියන් බිහිවීමට සීයා සහ ආච්චිලා 4 දෙනෙක් අවශ්‍යයි.

එතැනින් එහාට මුතුන් මිත්තන් (Great-grandparents) 8 දෙනෙක්.

ඊළඟ පරම්පරාවේදී එය 16 ක් වෙනවා..

පස්වන පරම්පරාවේදී 32 ක්.
හයවන පරම්පරාවේදී 64 ක්.
හත්වන පරම්පරාවේදී 128 ක්.
අටවන පරම්පරාවේදී 256 ක්.
නවවන පරම්පරාවේදී 512 ක්.
දසවන පරම්පරාවේදී 1,024 ක්.
එකොළොස්වන පරම්පරාවේ 2,048 ක්.
දොළොස්වන පරම්පරාවේ 4,096 ක්.

හිතන්න, වසර 400 ක වැනි කෙටි කාලයක් තුළ, පරම්පරා 12 ක් ආපස්සට යන විට, ඔබේ රුධිරය ඔබේ ශරීරය තුළ ගලා යාම සඳහා, පුද්ගලයන් 4,094 දෙනෙකුගේ දායකත්වය ලැබී තිබෙනවා..

ඒ කියන්නේ ඔබ මේ ලෝකයට එන්න කලින් හාරදහසකට අධික පිරිසක් මේ මිහිතලය මත ජීවත් වෙලා, ආදරය කරලා, දුක් විඳලා තියෙනවා..

"ඒ ඔබ වෙනුවෙන් පාර කපන්නයි!"

මේ හාරදහසකට අධික මිනිසුන්ගේ ජීවිත දෙස පොඩ්ඩක් හැරිලා බලන්න. ඔවුන් ජීවත් වුණේ අද වගේ සැපපහසු ලෝකයක නෙවෙයි.

ඔවුන් අතරේ යුද්ධ වලට මුහුණ දුන්න අය ඉන්න ඇති. මහා සාගත, වසංගත රෝග වලින් බේරුණු අය ඉන්න ඇති. දරුණු වන සතුන්ගෙන්, ස්වභාවික විපත් වලින් තමන්ගේ ජීවිතය රැකගත්ත අය ඉන්න ඇති. ඒ එකම එක පුද්ගලයෙක් හෝ තමන්ගේ සටන අතහැරියා නම්, ඔවුන්ට යම් අනතුරක් වුණා නම්, අද ඔබ මෙතැන නැහැ!

ඔබේ ශරීරය තුළ දුවන්නේ ඒ 'ජයග්‍රාහකයන්ගේ' ලේ. ඔවුන් හැමෝම තමන්ගේ ජීවිතේ ආපු හැම බාධකයක්ම ජය ගත්තා.. ඔවුන් හැමෝම තමන්ගේ ඊළඟ පරම්පරාවට ජීවය දෙන්න සමත් වුණා.

ඔවුන්ගේ ඒ නොපසුබට උත්සාහය, බලාපොරොත්තුව සහ ආදරය තමයි අද ඔබේ ජීවිතය විදිහට මේ මොහොතේ මූර්තිමත් වෙලා තියෙන්නේ.

මේ දත්ත සහ සංඛ්‍යා වලට එහා ගිය ලස්සන කතාවක් මෙතන තියෙනවා. මේ හැම පරම්පරාවකම ආදර කතාවක් තිබුණා. දහස් ගණනක් පෙම්වතුන්, දහස් ගණනක් විවාහයන්, දහස් ගණනක් දරු නැලවිලි ගී මේ ගමන ඇතුළේ තියෙනවා.

ඔබේ මුතුන් මිත්තන් අනාගතය ගැන මොන වගේ හීන දකින්න ඇද්ද? ඔවුන් කවදාවත් ඔබව දැකලා නැති වුණත්, ඔවුන් ඔබ වෙනුවෙන් යහපත් ලෝකයක් ප්‍රාර්ථනා කරන්න ඇති. ඔබ යනු ඒ දහස් ගණනකගේ ප්‍රාර්ථනාවල ප්‍රතිඵලයක්.

අපි තවත් ටිකක් ඈතට යමු!

ඔබ පරම්පරා 20 ක් ආපස්සට ගියොත්, ඒ කියන්නේ මීට අවුරුදු 600-700 කට වගේ කලින්, ඔබේ මුතුන් මිත්තන්ගේ සංඛ්‍යාව මිලියනය ඉක්මවා යනවා! ඕනී නම්, කලින් විදියට ගණන් හදලා බලන්න.

"හිතාගන්න පුළුවන්ද?"

මීට සියවස් කිහිපයකට පෙර, මේ ලෝකයේ ජීවත් වුණු මිලියනයකට අධික මිනිස්සු තමන් නොදැනුවත්වම මග සකසමින් හිටියේ ඔබ වෙනුවෙන්.

ඔබ මේ මිහිතලය මත තබන සෑම පියවරක්ම ඒ මිලියනයක් මිනිසුන්ගේ කැපකිරීමේ ප්‍රතිඵලයක්. ඔබ ඉපදීමට අවශ්‍ය වූ ඒ දෙමාපියන් දෙදෙනා, මුතුන් මිත්තන් අට දෙනා, සහ පරම්පරා 20 ක් ආපස්සට යන විට හමුවන ඒ මිලියනයක් වූ මිනිසුන් ඔබෙන් වෙන් වූ පිරිසක් නෙවෙයි.

ඔබේ ශරීරය තුළ අද තිබෙන ඒ ජානමය මතකය, ඒ ජීව ශක්තිය එදා ඒ මිලියනයක් මිනිසුන් තුළත් තිබුණා. ඔවුන් අත්විඳි ප්‍රීතිය, ඔවුන් විඳි දුක, ඔවුන්ගේ ජයග්‍රහණ මේ සියල්ල අද ඔබේ විඥානය තුළ තැන්පත් වෙලා තියෙනවා.

හිතන්න, මීට වසර 400 කට පෙර ඔබේ එක් මුතුන් මිත්තෙක් යම් අනතුරකින් මිය ගියා නම්, නැතිනම් ඔහුට සිය සහකාරිය මුණනොගැසුණා නම්, අද ඔබ මේ ලිපිය කියවන්නේ නැහැ. තාඕ දහමට අනුව, සොබාදහම විසින් ඒ මිලියනයක් වූ මිනිසුන්ව එකිනෙකා වෙත යොමු කළේ, ඔවුන්ව ආරක්ෂා කළේ සහ ඔවුන්ව මෙහෙයවූයේ හරියටම අද මේ මොහොතේ 'ඔබව' නිර්මාණය කරන්නයි.

ඒ නිසා 'ඔබේ උපත' යනු අහම්බයක් නොව, වසර දහස් ගණනක ලාංකීය වීරත්වයේ සහ නොනැසී පැවතීමේ ප්‍රතිඵලයක්.

දැන් ඔබ සුවපහසු පුටුවක වාඩි වී, ස්මාර්ට් ජංගම දුරකථනයකින් මේ අකුරු කියවනවා විය හැකියි. නමුත් මොහොතකට ඇස් දෙක පියාගෙන මීට වසර සිය ගණනකට එහා ගිය ලංකාව ගැන හිතන්න. ඝන කැලෑ, දරුණු වසංගත, පරදේශක්කාර ආක්‍රමණ සහ නිමක් නැති ජීවන අරගල... මේ හැමදේම මැදින් ඔබේ ලේ පරම්පරාව ආරක්ෂා කරගෙන ආපු ඒ අද "අදෘශ්‍යමාන" මිනිස්සු ගැන ඔබ දන්නවාද?

මීට වසර 100 කට පෙර.. ඔබේ මී මුත්තන් ජීවත් වුණේ බ්‍රිතාන්‍ය පාලන සමයේ. ඔවුන් සුද්දන්ගේ බදු බරට එරෙහිව සටන් කරමින් ඔබ වෙනුවෙන් ජීවිතය රැකගත්තා..

මීට වසර 250 කට පෙර උඩරට රාජධානිය බේරාගන්නට ලෙයින් කඳුළින් කැපවුණු පරම්පරාවක් එදා සිටියා.

මීට වසර 400 කට පෙර පෘතුගීසි සහ ලන්දේසි ආක්‍රමණ හමුවේ, ගම්බිම් අතහැර කැලෑ වැදී හෝ තම ජානමය උරුමය ආරක්ෂා කරගත් මිනිසුන් 4,000 ක් ඔබ වෙනුවෙන් පාර කැපුවා.

හිතන්න, ලංකා ඉතිහාසයේ අප මුහුණ දුන් ඒ බිහිසුණු අවස්ථාවන්. බැමිණිතියාසාය වැනි වසර 12 ක් පුරා පැවති මහා සාගත වලින් ඔබේ මුතුන් මිත්තන් බේරුණේ නැත්නම්, අද "ඔබ" කියා කෙනෙක් නැහැ!

මැලේරියාව, වසූරිය වැනි රෝග මුළු ගම්මාන පිටින් විනාශ කරද්දී, ඔබේ ලේ පරම්පරාවේ අය ඒ ඒ රෝග වලට ප්‍රතිශක්තිය ගොඩනගාගෙන අමාරුවෙන් ජීවත් වුණා. මාඝගේ ආක්‍රමණයේ සිට විවිධ විදේශීය බලපෑම් දක්වා වූ සියලු මරණීය තර්ජන හමුවේ ඔවුන් පලා ගියේ නැහැ..ඔවුන් සටන් කර ජය ගත්තා!

ඔබ යනු ඒ දහස් ගණනක් වූ 'සර්වයිවර්ස්ලාගේ' (Survivors) අවසාන බලාපොරොත්තුවයි!

අපි පරම්පරා 20 ක් ආපස්සට ගියොත්, එනම් මීට වසර 600-700 කට පෙර කෝට්ටේ හෝ ගම්පොළ යුගයට ඔබේ මුතුන් මිත්තන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා යනවා.

ලංකාවේ වැව් බැඳි රාජ්‍යයේ වැව් හදන්නට පස් ඇද්ද, අහස දෙස බලා වැසි ප්‍රාර්ථනා කළ, කුඹුරේ පැල් රක්ක ඒ මිලියනයක් ලාංකීය මිනිසුන් තමන් නොදැනුවත්වම මග සකසමින් සිටියේ අනාගතයේ උපදින ඔබ වෙනුවෙන්.

අද ඔබ හුස්ම ගන්නා සෑම වාරයක් පාසාම, ඒ මිලියනයක් මිනිසුන්ගේ ජීවිත වල සලකුණු ඔබ තුළ ජීවත් වෙනවා. ඔවුන් මුහුණ දුන් අරගල, ඔවුන්ගේ නිර්භීතකම, ඔවුන්ගේ කලාත්මක හැකියාවන් මේ සියල්ල 'සංස්කාර' ලෙස ඔබේ DNA තුළ ලියවී තිබෙනවා.

ඔබට සමහර දේවල් වලට සහජයෙන්ම දක්ෂතා තිබෙන්නේ ඇයි? ඔබට සමහර දේවල් ගැන අමුතුම බියක් දැනෙන්නේ ඇයි?

ඒ ඔබේ අත්දැකීම් නිසා නෙවෙයි, ඔබට පෙර සිටි ඒ මිලියනයක් දෙනා ලබාගත් අත්දැකීම්වල සාරය ඔබ තුළ තිබෙන නිසයි. මේ ලිපිය කියවන ඔබ, ජීවිතයේ මොන යම් හෝ පරාජයකින් පසුබට වී සිටිනවා නම් මෙය මතක තබා ගන්න.

ඔබ මෙතරම් දීර්ඝ, දුෂ්කර සහ ආශ්චර්යමත් ගමනක් ආවේ "පරාජය" වෙන්න නෙවෙයි. ඔබ පිටුපස රජවරුන්ගේ, ගොවියන්ගේ, වීරයන්ගේ වීරවරියන්ගේ සහ සාමාන්‍ය මිනිසුන්ගේ මිලියනයක ශක්තිය තියෙනවා. ඔබට අසාර්ථක වීමට ඉඩක් නැත. මන්ද, ඔබ යනු වසර දහස් ගණනක ලාංකීය අභිමානයේ "ජීවමාන සාක්ෂියයි".

පරම්පරා මිලියනයක ශක්තිය ඔබේ සිරුර තුළ 'අගුළු දමා' ඇති මහා නිධානයක් වැනියි. එම නිධානය විවෘත කර දෛනික ජීවිතයට ප්‍රායෝගිකව යොදාගත හැකි, 'අනන්ත-මුල ධ්‍යාන' භාවනා ක්‍රමය විමසා බලමු!

නිශ්ශබ්ද ස්ථානයක කොන්ද කෙළින් තබා වාඩි වෙන්න. ඇස් පියාගන්න. ගැඹුරු හුස්මක් ගන්න... එය සෙමින් පිට කරන්න. ඔබේ ශරීරය සැහැල්ලු වන බව දැනෙන්නට හරින්න.

දැන් ඔබ වාඩි වී සිටින පොළොව ගැන සිතන්න. මේ පොළොව මතම තමයි ඔබේ මුතුන් මිත්තන් මිලියන ගණනක් ඇවිද ගියේ, වැඩ කළේ සහ අවසානයේ පස් වී ගියේ..

දැන් ඔබේ නහර දිගේ ගලා යන රුධිරය කෙරෙහි අවධානය යොමු කරන්න. මේ රුධිරය අලුත් දෙයක් නොවේ. එය වසර දහස් ගණනක් පුරා එකිනෙකාට අතමාරු වෙමින් ආ "පණිවිඩයක්" වැනියි. ඔබේ හද ගැස්ම ඇසෙන විට, එය මීට වසර 500 කට පෙර සිටි ඔබේ මුතුන් මිත්තෙකුගේ හද ගැස්මේම ප්‍රතිරාවයක් බව සිතන්න.

ඔබේ පිටුපසින් ඔබේ දෙමාපියන් දෙදෙනා සිටගෙන සිටින බව සිතන්න. ඔවුන්ගේ උරහිස් මත අත් තබාගෙන ඔවුන්ගේ දෙමාපියන් (සීයා සහ ආච්චි) සිටිනවා. මෙලෙස දහස් ගණනක්, මිලියනයක් මිනිසුන් ආලෝක ධාරාවක් ලෙස පෙළ ගැසී සිටින අයුරු මවාගන්න.

ඔබේ වම් පසින් ඔවුන්ගේ ප්‍රඥාව සහ ආදරය ගලා එන බව සිතන්න.
ඔබේ දකුණු පසින් ඔවුන්ගේ ධෛර්යය සහ ශක්තිය ගලා එන බව සිතන්න.

ඒ මිලියනයක් පිරිස එකවරම ඔබට ආශිර්වාද කරන බවත්, ඔවුන්ගේ සියලු ජයග්‍රාහී ශක්තීන් ඔබේ කොඳු ඇට පෙළ දිගේ ඉහළට ගලා එන බවත් සිතන්න. ඔබ දැන් හුදකලා පුද්ගලයෙකු නොව, මිලියනයකගේ ශක්තිය දරා සිටින "කේන්ද්‍රස්ථානයක්" බව ගැඹුරින් අත්දකින්න.

ඔබ මේ භාවනාව අත්හදා බැලුවාද? එහිදී ඔබට දැනුණු හැඟීම හෝ ඔබේ මනසට ආ විශේෂ රූපයක් තියෙනවද? මෙයින් ලැබෙන ප්‍රයෝජනය? ඔබ කවදාවත් ඉගෙන නොගත් දෙයක් කිරීමට ඇති හැකියාවක් උදා: චිත්‍ර ඇඳීම, සංගීතය, සටන් කලා.. ක්ෂණිකව මතු විය හැකියි.

අද්වෛත වේදාන්තයට අනුව, ඔබ ලියන කවි, ඔබ අඳින සිතුවම් හෝ ඔබ ඉදිරිපත් කරන නව ව්‍යාපාරික අදහස් ඔබේ මොළයේ පමණක් නිපදවෙන ඒවා නොවේ. ඒවා වසර දහස් ගණනක් තිස්සේ ඔබේ මුතුන් මිත්තන් ලෝකය දෙස බැලූ විවිධ දෘෂ්ටිකෝණවල එකතුවයි.

බොහෝ වෙලාවට අප නිර්මාණයක් කිරීමට "වෙහෙසෙන" විට අපේ නිර්මාණශීලිත්වය අවහිර වේ. තාඕ දහමේ එන Wu Wei සංකල්පය මෙහිදී ඉතා වැදගත් වේ. ඔබට කලින් සිටි මිලියනයක් මිනිසුන් ජීවිතය ගලා යාමට ඉඩ දුන් ආකාරය සිහිපත් කරන්න.

ඔබේ පෑන හෝ පින්සල අතට ගත් විට, "මම නිර්මාණයක් කරනවා" යන හැඟීම පසෙක තබා, "මගේ මුතුන් මිත්තන්ගේ ශක්තිය මා හරහා ගලා යන්නට ඉඩ දෙනවා" යනුවෙන් සිතන්න. එවිට ඔබම පුදුම වන තරමට නිර්මාණයන් ඔබ හරහා ගලා එනු ඇත.

ඔබ ප්‍රශ්නයක අතරමං වූ විට, ඔබෙන්ම මෙසේ අසන්න. "මගේ පරම්පරාවේ සිටි නිර්භීතම මුතුන් මිත්තා මේ අර්බුදය දකින්නේ කොහොමද?" බොහෝ විට එවිට ඔබට ලැබෙන පිළිතුර, ඔබ මින් පෙර කිසිදා නොසිතූ අලුත් එකක් වනු ඇත. අද සිට ඔබේ සෑම දෙයකටම ඒ "මිලියනයක ශක්තිය" එක් කරන්න. තවත් අප්‍රකට දැනුමකින් හමුවෙමු!

©️ සාගර දියගම
[email protected]

29/01/2026
13/01/2026

පහුගිය දවසක ඕස්ලෝ ක්‍රිස්ටියානියා විශ්ව විද්‍යාලයේ පැවත්වුනා ආදි මානවයන් ගැන කදිම දේශණයක්. බොහෝම රසවත් තොරතුරු ඇතුලත් මේ දේශණය අතරතුර අවධානය යොමුවුනා බලංගොඩ මානවයා ගැන.
වැසි වනාන්තර කියන්නෙ ජීවත්වෙන්න අසීරු අභියෝග රැසක් පිරුණු තැනක්. මේ වගේ තැනක් ජීවත්වෙන්න තෝරාගන්නවා කියන්නෙ.. ටිකක් නෙවේ බොහොම අමුතු දෙයක්. මොන ආකාරයට හිතපු මොනවගේ කෙනෙක්ද මේ බලංගොඩ මිනිසා?
ෆාහියන් ලෙණ වගේම බටදොඹ ලෙණ ගැන ජීවිතේට අහපු නැති තොරතුරු දැනගන්න ලැබුනා මේ දේශණයේදී. මේ අවට කැණීම් කරන්නෙත්.. බොහොම වටිනා දැනුම රාශියක් එකතු කරන්නෙත් ශිරාන් දැරණියගල මහත්තයා.

ප්ලෙස්ටොසීන් යුගයට ( Pleistocene era) අයිති.. ඒ කියන්නෙ අදින් වසර 30,000 කට පමණ පෙර යුගයේදී ( 38000-5000 ) ජීවත්වූ මේ මානවයා ඉතා සියුම් නිෂ්පාදන හා නිර්මාණ කරන්න පෙලඹුනු අමුතුම මානවයෙක්. බලංගොඩ මානවයා ජීවත්වන්නේ අදින් වසර 33000කට පමන පෙර.( Late Quaternary period)

එතනදි කියවෙනවා වඳුරු දතක් ගැන.
කුඩා වඳුරු දතක් ඉතා සූක්ශමව හැඩය වෙනස් කරලා පාවිච්චි කරනවා මේ කුඩා මිනිසා විසින්. ඒ ආභරණයක් විදිහට හෝ වෙනත් විශ්වාසයක් හේතුකරගෙන මිස ආයුධයක් ලෙස වෙන්න බැහැ. බලංගොඩ මානවයා ගැන දැනගෙන හිටියත් මේ කුඩා වඳුරු දත ගැන දැනගත්තේ ජීවිතේ පලමු වතාවට. ( දැනුම ගැන ඇතිවුනේ ලොකු ලැජ්ජාවක්)
වසර 30,000කට පමන පෙර ජීවත් වූ මානවයෙක් ආභරණ ගැන හිතනවා..? පුදුමයි.
කුඩා මිනිසා කීවෙ අඩි 5 අඟල් 6ක පමණ උසක් මේ මානවායට ලැබෙන නිසයි. නමුත් ඔහුගේ හැකියාව අතින් ඔහු මහා විශාල මිනිසෙක්.
ලේණුන්.. වඳුරන්.. මුවන්.. වල් ඌරන් පමණක් නෙවෙයි අලින් පවා මේ කුඩා මිනිසා අතින් දඩයමට ලක්වෙලා තියෙනවා.
අපේ දේශකයා කියනවා මේ මානවයා තමන්ගෙ මියගිය සගයන්ව බොහොම ගෞරවාන්විතව භූමදානය කල බව. මට මතක්වුනේ අපි මීට කලින් කතාකරපු දකුණු අප්‍රිකානු තරු මිනිසා ගැන.
මේ විදිහට භූමදාන කරද්දි කුඩා ඊතල.. වර්ණවත් ගල් .. සතුන්ගේ හම් කැබලි ආදිය එක්ක පසට යට කරපු ආකාරය ගැන කියද්දි පාරාවෝ රජුන් හා සොහොන් මතක්වෙනවා.

අප්‍රිකාවෙන් පටන් අරගෙන මධ්‍යම ආසියාව හරහා ශ්‍රී ලංකාව නම් කුඩා දූපතට සංක්‍රමණය වුනු මේ කුඩා මිනිසා ගැන දැනුනෙ ලොකු පුදුමයක්.. ගෞරවයක්.
පුරා විද්‍යාව ගැන මගේ දැනුම බින්දුවයි. ඒ ගැන කිසිම දවසක හදාරලා නැහැ.
නමුත් මේ තොරතුරු එක්ක මේ විෂය ගැන ඇතිවුනේ ලොකු කුතුහලයක්.

රාමා සීතා රාවණා වගේ කතාංදරවලින් වහලා දාපු.. මහින්දාගමනය හරහා වසංකරපු මේ තොරතුරු දැනගන්න ලැබෙන්නේ විදේශයකදී.. විදෙස් දේශකයෙක් මගින් වීම තවත් කුතුහලය දණවන කරුණක්.
©Malcom_Sang

17/12/2025
Photos from I Love Kandy's post 16/12/2025
Want your school to be the top-listed School/college in Nawalapitiya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Ginigathhena-Nawalapitiya Road
Nawalapitiya
20674