22/12/2021
සම්මා සම්බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන අවසන් භවයේ උන්වහන්සේගේ ශරීරය තුල පිහිටි මහා පුරුෂ ලකුණු 32
1.සුප්පතිට්ඨිත පාදෝ - මනාව පිහිටන ලද පා ඇති බව
2.පාදතලේසු චක්කලක්ඛණං - යට පාතලයන්හි චක්‍ර ලකුණ
3.ආයතපණ්හි - දික් විලුඹ ඇත්තේය
4.දීඝංගුලී - දිගු ඇගිලි ඇත්තේය
5.බ්‍රහ්මුජ්ජුගත්තෝ - මහබඹහුගේ බදු සෘජු සිරුර ඇත්තේය
6.සත්තුස්සදෝ - සත් තැනක උස්ව පිහිටි මාංශ ඇත්තේය
7.මුදුතළුණහත්ථපාදෝ - මෘදු යොවුන් අත් පා ඇත්තේය
8.ජාල හත්ථපාදෝ - එල්ලා වැටෙනසුළු නම්‍යශීලී අත්පා ඇත්තේය
9.උස්සංඛපාදෝ - උස්ව පිහිටි ගොප්ඇට සහිත පා ඇත්තේය
10.උද්ධග්ගලෝමෝ - උඩු අතට කරකැවුණු අග ඇති ලෝම ඇත්තේය
11. ඒණිජංඝෝ - ඒණි නමැති මුවන්ගේ බදු කෙණ්ඩා ඇත්තේය
12. සුඛුමච්ඡවී - සියුම් සම ඇත්තේය.
සුඛුමත්තා ඡවියා රජෝජල්ලං කායේ න උපලිප්පති - සම ඉතා සියුම් බැවින් කයෙහි දුහුවිලි කුණු දැලි නොතැවරෙයි
13.සුවණ්ණවණ්ණෝ - රන්වන් ය
කඤ්චනසන්නිභත්තචෝ - රන් හා සමාන සිවි පැහැ ඇත්තේය
14. කෝසෝහිත වත්ථගුය්හෝ - කොපුවක බහා සැගවූ දෙයක් සෙයින් පුරුෂ නිමිත්ත පිහිටියේ ය
15.නිග්‍රෝධපරිමණ්ඩලෝ - නුග රුකක් බදුව උසට සරිලන මහතින් යුතු බව ය. කය යම් පමණද, බඹයද එපමණ ය. බඹය යම් පමණ ද, කය ද එපමණය.
16. ඨිතකෝව අනෝනමන්තෝ උභෝගි පාණිතලේහි ජණ්ණුකානි පරිමසති, පරිමජ්ජති - නොනැමී සිටියේම දෙඅත්ලෙන් සිය දෙදණ ස්පර්ශ කරයි, පිරිමදියි
17. සීහපුබ්බද්ධකායෝ - සිංහයෙකුගේ බදු තේජමාන පෙර ඉදිරිපස කය ඇත්තේය
18. චිතන්තරංසෝ - මාංශයෙන් පිරීගිය පිටිකර ඇත්තේය
19. සමවත්තක්ඛන්ධෝ - සමව වට වූ කද ඇත්තේය
20. රසග්ගසග්ගී - අග්‍ර රස ලැබදෙන රස නහර ඇත්තේය.
උද්ධග්ගාස්ස රසහරණියෝ ගීවාය ජාතා හොන්ති සමාවාහිනියෝ - ගෙලෙහි උඩුකුරුව කෙලින් නැගී සිටි රසනහර ඇත්තේය. එයින් අහර රස සමව උරා දෙයි
21.අභිනීලනෙත්තෝ - ඉතා තද නිල් පැහැ නෙත් ඇත්තේය
22. ගෝපඛූමෝ - උපන් කෙණෙහි වසුපැටියෙකුගේ බදු දිගු පුළුල් නෙත්පියුම් ඇත්තේය
23. උණ්හීසසීසෝ - පිරිපුන් නළල් තලයෙන් හෙබි පිරිපුන් හිස ඇත්තේය
24.ඒකේකලෝමෝ - එක් එක් ලෝමකූපයෙහි තනි ලෝමය බැගින් ඇත්තේය
25. උණ්ණා ච භමුකන්තරේ ජාතා හෝති ඕදාතා මුදුතූලසන්නිභා - ඇහි බැම මැද ඉතා සිනිදු පුළුන් රොදක් බදුව සුදු පැහැයෙන් යුතුව ඌර්ණ රෝමය පිහිටියේ වෙයි
26. චත්තාළීස දන්තෝ - උඩු ඇන්දේ දත් විස්සකින් ද යටි ඇන්දේ දත් විස්සකින් ද යුතුව දත් සතළිසක් ඇත්තේය
27. අවිරල දන්තෝ - විරල නොවූ, හිඩැස් නැති දත් ඇත්තේය
28. පහූතජිව්හෝ - දිගු පුළුල් දිව ඇත්තේය
29. බ්‍රහ්මස්සරෝ කරවීකභාණී - මහබඹුගේ බදු නින්නාද වන හඩ ඇත්තේ, කුරවි කොවුලකගේ බදු මියුරු හඩ ඇත්තේය
30. සීහහනු - සිංහයෙකුගේ බදුව සවිමත් හනු ඇත්තේය
31.සමදන්තෝ - සමව පිහිටි දත් ඇත්තේය
32. සුසුක්කදාඨෝ - තද සුදු පැහැ දත් ඇත්තේය
මෙසේ සසරේ බොහෝ පින් කරන ලද අප පින් සිරුරාණන්ගේ කයෙහි මහාපුරුෂ ලකුණු දෙතිසම අඩු නැතිව පිහිටා තිබුණේ ය.
නමෝ බුද්ධාය!!