02/03/2021
185 ගුණ සමරුව වෙනුවෙන් පැරණි ලිපියක් නැවත පලකරමු 2021.03.30
ශ්‍රී ලාංකික ධන කුවේරයෝ
මේ මාතෘකාව යටතේ අද මා කතාකරන්නට යන්නේ එසේ මෙසේ කෙනෙක් ගැන නොව, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වර්තමානයේ විසූ අති මහත් ධන සම්භාරයක හිමිකරුවෙකු මෙන්ම එම ධනය නොමසුරුව පොදු ජනයා උදෙසා යෙදවූ #අනේපිඬු_සිටාණන් කෙනෙක් ගැනයි. එතුමාගේ කෙටි කාලීන නමුත් වැඩදායක ජීවිතය හා බැඳුනු #සත්‍ය හා අද්භූත ජනප්‍රවාද ආශ්‍රයෙන් සැකසූ ලිපියකි. විශේෂයෙන්ම මෙ ලිපිය සකසන්නට හේතු වූයේ මා කාලයක්ම ලිවීමට පෙරුම් පුරමින් ඉන්න, නමුත් කරුණු තවමත් එකතු කරගන්නට නොහැකිවූ, එකල නම කියූ සැණින් මිනිසුන් භීතියට පත්වූ, මන්ත්‍ර ගුරුකම් සඳහා නමගිය, නියම නමින් පවා නොඅමතන, #බත්තරමුල්ලේ_හාමුදුරුවන්ද මෙහි කොටසකට සම්බන්ධ වීමයි.
වැඩි අටුවාටීකා නැතුව අපි මහ සොයිසා නොහොත් ශ්‍රීමත් චාල්ස් හෙන්රි ද සොයිසා මහතාගේ කතාවට යමු. ලංකාවේ එවක සිටි විශාල ධනවතෙකු මෙන්ම මෙරට කෝපි වගාවේ පළමු වැවිලිකාර ස්වදේශීය ප්‍රභූවරයාවූ ජෙරෝනිස් සොයිසා දිසානායකයන් හා ෆ්රැන්සිස්කා ද සොයිසා කුරේ ලමාතැනියගේ කුසින් 1836.03.03 මොරටුවේදී උපන් වරුසහැන්නදිලාගේ ධර්ම ගුණවර්ධන විපුල ජයසූරිය කරුණාරත්න දිසානායක චාර්ල්ස් හෙන්රි ද සොයිසා රාජ කුමාරයා උපන්නේම මහත් ධනයකට උරුම කම් කියාගෙනය.
පසුකලෙක මහ ව්‍යවසායකයෙක්, වැවිලිකරුවෙක්, සේම විවිධ කර්මාන්තශාලා රැසක හිමිකරුවෙක්ව අති මහත් ධනස්කන්දයකට හිමිකම් කීවත්, ඔහු සතු විශේෂත්වය වූයේ තම බූදලයෙන් විශාල කොටසක් නිර්ලෝභීව පොදු ජන සුවසෙත පිණිස යෙදවූ #අනේපිඬු_සිටාණෝ කෙනෙක්ම විය. ඔබ මදක් දහසක් දෙනා උද්ඝෝෂණ අයිතිවාසිකම් ඉල්ලන ලිප්ටන් වටරවුම දෙස බලන්න. එමැද ඇති පිළිරුවේ අත රැඳි යතුර, ඔහු සතු ධන නිධානයේ යතුර දිගු කරන්නේ ඔබටය, ඒ මහඟු දානපතියා නිර්ලෝභීව ඔබට එය දිගු කරනු පෙනෙනු ඇත. මෙසේ සිය රටවැසියන්ට ඉමහත් සේවයක් කල එම උදාර පුරුෂයා මෙරට ප්‍රථම නයිට් පදවියෙන් පිදුම් ලද්දා වන අතර එතුමාගේ භාර්යාව ශ්‍රීමත් කැත්රීන් ඩි සොයිසා සිල්වා මෙරට ප්‍රථම ආර්යාවයි. ශ්‍රීමත් සොයිසා සමග කුඩා කල සිට එකට හැදුනේ, අනාත දරුවෙකුවූ අප්පු සිංඤ්ඤො සමගය. පසුව අප්පු සිඤ්ඤොද ධනවතෙකු විය.
ජනප්‍රවාදවලට යාමට පෙර මෙම නූතන අනේපිඬුසිටුවරයා මිනිස් වර්ගයාට කල අති මහත් සේවාවන් වලින් ඉතා සුළු කොටසක් සඳහන් කරන්නේ අප දැනුදු ඒවා භුක්ති විඳින නිසාවෙනි.
පලමුවෙන්ම පටන් ගන්නම් කවුරුත් දන්න පොදු වහරේ කියැවෙන ** #ලයිනිං_හෝම්(lying in home) හෙවත් බොරැල්ල ොයිසා_කාන්තා_ළමා_රෝහලින්ම. මෙය එතුමාගේ ධන පරිත්‍යාගයෙන් බිහිවූවකි. එම නිවස එතුමා සතුය.එය ආසියාවේ පැරණිතම දෙවැනි රෝහල සේම කාන්තාවන් සඳහා ඉදිවූ මෙරට පලමු රෝහලයි.
**ලේඩි රිජ්වේ ලමා රෝහල
**වෛද්‍ය විද්‍යාල මුල් ගොඩනැගිල්ල (එය තම මාමාවූ සුසෙව් ද සොයිසා සම පරිත්‍යාගයකි)
**ලුනාව, පානදුර, ඉංගිරිය රෝහල්
**හඟුරන්කෙත දිස්පැන්සරිය
**කොළඹ ඇස් රෝහල
මේ ධන කුවේරයාගේ පරිත්‍යාගයන් අතරින් ඉතා සුළු කොටසකි. එපමණක් නොව,
1886 ඔහුගේ බ්රිතාන්‍ය සංචාරයේදී,
Guys hospital London
Seamen's hospital
Royal free hospital
Great Ormond Street Childrens hospital
ආදී රෝහල් විස්සකට අධික ප්‍රමාණයකට සිය ධනය නොමසුරුව ලබා දුන්නේය.
ද සොයිසා රෝහල හා බැඳුනු කටකතාවද මෙතනටම ඈඳන්නට හිතුවේ එහි ඇති අපූරු බව නිසාමය. අපි සාමාන්‍යයෙන් දන්නවා රජුන්ට සිටුවරුන්ට හිසේ සිට පාදාන්තය දක්වාම උපදෙස් දෙන්නට උපදේශක මණ්ඩලයක් ඉන්න බව. ඒ අතර දැන් වගෙම කේවට්ටයෝද අන්දරේලාද ඉන්න අැති. ඉතිං මේ ධන කුවේරයාටත් ඒ එක උපදේශකයකුගෙන් මෝඩ උපදෙසක් ලැබුනලු, කිරි උරා බොන ලදරු වසුපැටවුන්ගෙ ආමාශය කෑමෙන් රුව වැඩෙනවා කියලා (කතාවෙදි නම් කිව්වේ සිටුතුමා එතරම් රුව නැති බවය), ඉතිං එය පිලිගත්ත සිටුවරයා ගේ ආහාරයට ලදරු වසු පැටවුන් සෑහෙන ගනනක් මියගියාලු. පසුව එතුමාටම තේරුනාලු තමන් අතින් වූයේ පාපකර්මයක් බව. තමන් අතින් වූ වරදට මහත් කම්පාවට පත්වූ ඔහු එය වහම නවතා ඇතිවූ ඒ පශ්චත්තාපය මකාගන්නට තමන් කුඩා කල ජීවත් වූ නිවස දරුවන් ලැබෙන්නට සිටින මවුවරුන් සඳහා දාරක රෝහලක් ඉදිකලේලූ. අදටත් සමස්ත ගර්භණී මව්වරුන් සඳහා සෙවනක් වූ ද සොයිසා ළමා හා කාන්තා රෝහලයි එය. කෙසේවෙතත් මෙය කටකතාවක් බව සිහියට ගන්න.
තවත් එතුමා කල දෑ කියනවා නම් ඔහු කතෝලිකයකු වූවත්, තමන් ජීවත්වූ #බගතලේ_වලව්ව(වර්තමාන ඇල්ෆ්‍රඩ් හවුස්) හී, බෞද්ධ භික්ෂූන් සඳහා රෝගෝපසම නිවාසයක්ද පවත්වාගෙන ගියේය. එසේම,
මාරවිල බෞද්ධ විහාරය, මොරටුව සොයිසාරාමය,හඟුරන්කෙත පොත්ගුල් විහාරය, සා.මතායස් දේවස්ථානය ලක්ෂපතිය, වේල්ස් කුමර කුමරි විදුහල්, ප්රතම ලාංකික බැංකුව (The Bank of Kandy), මොඩ්ල්ෆාම් පර්යේෂණ ආයතනය, ශා.තෝමස්, රාජකීය විදුහල් පරිත්‍යාග මෙතුමා කල දේවල් වලින් සුළු ප්‍රමාණයකි. මෙසේ පරිත්‍යාග කරන්නට තරම් අතිමහත් ධනයක් ඔහු සතු වූයේ නිධානයක් හිමිවීම නිසා බව එකල #කටකතාවක්ද විය. නමුත් සත්‍යය නම්, මෙතුමන්ලාගේ පරම්පරාව සතු ධන ආකරයයි. උපදින විටම රන් හැන්ද මිට මොලවාගෙන පැමිණියෙකු ලෙස කතාවට කියන සොයිසා මහතාගේ බූදලයට පසුව සිය මාමා වන සුසෙව් ද සොයිසා ගේ ධන නිධානයද එකතු විය. ඊටම සරිලන පවුලක් වූ සිය ආර්යාව ගේ ජුසේ සිල්වා පරම්පරාවේ බූදලයෙන් කොටසක්ද අයත් විය.
මෙරට කෝපි තේ කුරුඳු පොල් වී කපු රබර් වතු හිමිකරුවෙකු මෙන්ම මිනිරන් කර්මාන්තශාලා, පැඟිරි තෙල් පොල්තෙල් කොහු කර්මාන්තශාලා ආදී විශාල ව්‍යාපාර රැසක හිමිකරුවෙකු වූ මෙතුමා බ්‍රිතාන්‍ය කිරුළ සමග සෘජු සබඳතාවක් තිබිණි. ඊට කදිම උදාහරණයකි 1870.මාර්.30 වන දින එඩින්බරෝහී අාදිපාද ඇල්ෆ්‍රඩ් කුමරු හා පිරිස සඳහා බගතලේ වලව්වේ පැවැත්වූ රාජකීය ප්‍රියසම්භාෂණය හා භෝජන සංග්‍රහය. අද ද අදහාගත නොහැකි සුරංගනා කතාවක් බඳු එම සම්භාෂණය සඳහා සියලුම බඩු භාණ්ඩ ඇණැවුම් කරන ලද්දේ එංගලන්තයෙන් බවත් ඒවා අතර මැණික් ඔබ්බවූ රන් පිඟන්,හැඳි,ගෑරුප්පු,පිහි මෙන්ම එදා රඟ දැක්වූ නාට්‍ය සඳහා රනින් නිමකල ඇඳුම් පවා එංගලන්තයෙන් ගෙන එන ලද බව කියයි. එසේම රාජකීය සංප්ප්‍රාප්තිය උදෙසාම දින 80 තුල එකල අක්කර 120ක පොල්වත්තක් වූ භූමිය බගතලේ වලව්ව සඳහා වෙනස් කර නිර්මාණය කල බව සඳහන්.එය කාමර 100 කින් යුතු මෙම මාළිගය එදා මොනතරම් අසිරියක් ගන්නට ඇත්ද කියා සිතාගන්නටවත් පුළුවන්ද? එවක තාර පාරක් නොවුන ගාලු පාර, රාජකීයයන් දුහුවිල්ලෙන් ආරක්ෂා කරන්නට පාන්දර සිටම ගැල් කරුවන් ලවා වතුර ගෙන්වාගෙන පාර තෙත් කල බවත් කියනවා.
මේසා විශාල සැප සම්පත් වින්ද, එසේම තම ධනය දනට පිනට විශාල වශයෙන් වැය කල මෙතුමාගේ අවසානය ඉතා ඛේදනීය වීමද අදහාගත නොහැකිවා මෙන්ම එය එසේ වූයේ ඇයි ද පවා අදහාගත නොහැක. මා මෙතුමාගේ ජීවිතයේ අවසානය ලියැවී ඇති ආකාරය හා ඒ ගැන ගොඩනැගුනු ජනප්‍රවාදයද කියන්නට සිතුවේ දෙකම අදහාගන්නට නොහැකි කාරණාවක් නිසාවෙනි. එසේම එම කටකතාව මට ලැබෙන්නට සැලැස්වූයේ විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් මෙන්ම බොහෝ ඇසූ පිරූ තැන් ඇති වියතෙකු විසින් බවත්, ඒ මහතාට එය කියා ඇත්තේ සොයිසා කල ජීවත් වූ එතුමාගේ පියාණන් විසින් බවත් සඳහන් කරන්නට කැමතියි. අපි පලමුව පුස්තක වල සඳහන් මරණය සිදුවූ ආකාරය බලමු.
1890.අගෝ.2 වැනිදා මෙතුමාව මෙතුමාගේම වත්තෙදී අයාලේ ආ පිස්සු බල්ලෙක් සපා කනවා. එය මෙයාකාරයෙන්ද සඳහන් වෙනවා, එතුමාගේම සුරතලාවූ ටෙරියර් වර්ගයේ බල්ලාට පිස්සු හැදී, ඌ විසින් හපාකන ලද බව කියනවා.කෙසේ වෙතත් එයින් ඇතිවූ තුවාලය සුව කරන්නට ලංකාවේ දක්ෂ වෛද්‍යවරුන් උත්සාහ දරණ ලද බවත් අවසානයේ එතුමාව පැරීසියෙ රෝහලකට මාරු කර යවන්නට උත්සාහ දරණ ලද බවත් ඊට සොයිසා මහතා දැඩිව විරුද්ධවූ බවත් ඔහුට ලංකාවේම රැඳෙන්නට අවශ්‍ය බව කී බවත් සඳහන්. නමුත් අවසානයේ අවුරුදු 54 කෙටි ජීවිතය 1890.සැප්.29 දින හැරදා යනවා. එතුමාගේ අවසාන ඉල්ලීමට අනුව ශු.එමානුවෙල් දේවස්ථාන සුසාන භුමියේ සිය කුඩා පුත්‍රයා සමීපයේ මිහිදන් වෙනවා.
මේසා විශාල මෙහෙයක් කල වැඩදායක උතුමෙකුගේ අවසානය එසේ වෙද්දී ඒ හා බැඳුනු ජනප්‍රවාදය වෙත හැරෙමු. මෙහි සත්‍යයතාව කෙසේ වෙතත් ඊට ඈඳුණු #බත්තරමුල්ලේ_හාමුදුරුවන් නිසාම එය මහත් කුතුහලයක් දනවයි. බත්තරමුල්ලේ හාමුදුරුවන් සතු නොවරදින මහානුභාවසම්පන්න ගුරුකම් වල බලය එවක මිනිසුන් දැන සිටි අතර උන්නාන්සේගේ නම පවා එදවස කියූවේ නැතිලු.බත්තරමුල්ලේ ස්වාමීන්වහන්ස හා සොයිසා මහතා අතර ආගමික වශයෙන් මතබේද තිබුණේලු, එමනිසා සුළු අමනාපයක් ද පැවතුණු බව කියනවා. මෙසේ තිබියදි දිනක් සොයිසා මහතා සිය උඩුමහලේ සිටිද්දී හාමුදුරුවන් වහන්සේ එම වලව්ව ඉදිරිපස පාරෙන් ගමනක් යන්නට වැඩියේලු. එදෙස බැලූ සොයිසා මහතා "මුත්තරබල්ලොත් යන්නේ " යනුවෙන් කීවේලු. එය හාමුදුරුවන්ට ඇසුණු බවත් උන්වහන්සේ දබරැඟිල්ල ලෙලවා, "හොඳයි මුත්තරබල්ලාගේ හැටි පෙන්නන්නම්" යනුවෙන් කී බවත්, එය සොයිසා මහතාට නෑසුන මුත් පහල සිටි උද්‍යාන සේවකයාට ඇසී,එතුමාට පරෙස්සම් වන ලෙසත් කීවේලු. මේ අර මුලින් කියූ 1890 අගෝස්තු කාලයයි,හිටිගමන් සොයිසා මහතාගේ වලව්වේ සුරතලයට ඇති කරන ටෙරියර් වර්ගයේ බල්ලා අමුතු හැසිරීම් පෙන්වන්නට විය.දිනක් සොයිසා මහතා එන මග රැක සිටි බල්ලා ඒ මහතා වෙතට පැන හපා කෑ බවත්, ඒ ආදරයට වෙනදා මෙන් පනින ආකාරයට නොවන බවත් කියනවා. ඒ එදා ඇතිවූ සුළු තුවාලය කිසිම වෛද්‍යවරයකුටවත් සුව කරන්නට බැරිවූ බවත්, එයින් පසුව ඒ මහතාට දිගටම බියකරු සිහින පෙනෙන්නට වූ බවත්,කියනවා.පසුව කටකතාව ගිය ආකාරයට, බත්තරමුල්ලේ හාමුදුරුවන්ට එදා කල අවමානයෙන් හටගත් කෝපය නිසා උන් වහන්සේ බලු පිල්ලියක් එවූ බවත්, එම බල්ලා මග දිගට මුත්‍රා කරමින් පැමිණි අතර, කෙලින්ම අවුත් සොයිසා මහතාගේ ටෙරියර් බල්ලාට වැහුණු බවත්, සොයිසා මහතාව හපා කෑවේ සුරතල් බල්ලාට වැහුණු බලු පිල්ලිය බවත් එකල කටකතාවක් ලෙස පැතිර ගියේය.
කෙසේනමුත් මේවා කටකතා වන අතර, මේසා විශාල ධනයක් පොදු ජනයා වෙනුවෙන් දුන් හා ඒ සඳහා සිය වත්කම නිර්ලෝභීව වැය කල මනුෂ්‍යත්වයෙන් පිරිපුන් මිනිසෙකුගේ ආයූ කාලය ඉතා කෙටි හා ඛේදනීය වූයේ කිනම් කර්මයක් පලදුන් නිසාදෝයි සිතෙන තරමට පුදුම සහගතය. මොනදේ වුනත් මෙලොව සිටි කාලය තුල මෙම උතුම් මිනිසා කල සේවය අප්‍රමාණයි, අනන්තයි, අපි අදද ඒ සේවාවලින් ප්‍රයෝජන ගනිමු. යහපත් මිනිසුන් මිය නොයයි.
ඡායාරූප හා සමහර තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි