06/05/2020
හිතුමතේ මුදල් අච්චු ගැසිය හැකිද..?
කාසි හා නෝට්‌ටු වශයෙන් අප භාවිතා කරන මුදල් භාණ්‌ඩ හා සේවා මිලදී ගැනීමටත් වෙනත් විවිධ ගෙවීම් පියවීමටත් අත්‍යවශ්‍ය දෙයක් බවට පත්ව තිබේ. අතීතයේ දී මිනිසුන් භාණ්‌ඩ හුවමාරු කිරීම තුළින් සිය අවශ්‍යතා ඉටු කරගත් අතර, එහි පැවති දුෂ්කරතා හේතුවෙන් වෙනත් විවිධ ද්‍රව්‍ය මුදල් ලෙස භාවිතා කිරීමට පුරුදු විය. ලුණු, සිප්පිකටු, විවිධ ලෝහ වර්ග, රත්රන් යනාදිය කලින් කලට මෙසේ භාවිතා වූ ද්‍රව්‍ය විය. එහෙත් ගනුදෙනු ක්‍රමයෙන් වර්ධනය වීමත්, විවිධ වීමත්, මුදල් ලෙස භාවිතා කළ ඇතැම් ද්‍රව්‍යවල හිඟ බව මෙන්ම ඒවා භාවිතයේ දී පවත්නා ප්‍රායෝගික දුෂ්කරතා නිසාත් ක්‍රම ක්‍රමයෙන් වර්තමානයේ භාවිතා කරන කාසි හා නෝට්‌ටු දක්‌වා මුදලේ විකාශනය සිදු විය. ඒ අනුව, වර්තමානයේ ඕනෑම ගනුදෙනුවක් මුදල් භාවිතයෙන් පියවීම ඉතා පහසුවෙන් කළහැකි අතර, මිනිසා සතු භෞතික වත්කම් එනම් ඉඩකඩම්, නිවාස, ගොඩනැඟිලි යනාදියෙහි අගය මුදලින් මැනීමද පහසුවෙන් සිදුකළ හැකිව ඇත. කෙසේ වුවද, මුදල් භාවිතයේ සාර්ථකත්වය රඳා පවතින්නේ රටක මුදල් කෙරෙහි එම රටේ ජනතාව තුළ පවත්නා විශ්වාසය මතයි. මුදල් පිළිබඳ විශ්වාසය පළුදු වුවහොත් රටක සියලු කටයුතු අඩාල වනු ඇත.
ලෝකයේ රටවල්වලින් බොහොමයක මුදල් අච්චු ගැසීමේ බලය තිබෙන්නේ එම රටවල්වල මහ බැංකුවලටයි. ශ්‍රී ලංකාවේද මුදල් අච්චු ගැසීමේ බලය තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවටයි. මෙම බලය මහ බැංකුවට ලැබී ඇත්තේ 1949 අංක 58 දරණ මුදල් නීති පනතිනි. මෙම පනත අනුව, 1950 අගෝස්‌තු මස ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවන ලද අතර, එතැන් පටන් මුදල් අච්චු ගැසීමේ කාර්යය අඛණ්‌ඩව මහ බැංකුව විසින් සිදු කරනු ලබන අතර, මහ බැංකුව පිහිටුවීමට පෙර එය සිදු කරන ලද්දේ ව්‍යවහාර මුදල් මණ්‌ඩලයක් මගිනි. ඉහත සඳහන් කළ පරිදි රටක මහජනයා තුළ මුදල් සඳහා පිළිගැනීමක් ඇතිවන්නේ ඒ පිළිබඳව ඔවුන් තුළ පවත්නා විශ්වාසය මතයි. එය රැඟෙන්නේ මුදල් සඳහා පවත්නා නීතිමය වලංගුභාවය මතයි. ඒ නිසා, නීතියට පටහැනිව මහ බැංකුව නිකුත් කරන මුදල්වලට සමාන පෙනුමක් ඇති ව්‍යාජ නෝට්‌ටු අච්චු ගැසීම සපුරා තහනම් අතර, එය නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදකි.
මහජනයා තුළ මුදල් පිළිබඳ විශ්වාසය පළුදු විය හැකි තවත් අවස්‌ථාවක් වන්නේ යම්කිසි රටක භාණ්‌ඩ හා සේවාවල මිල අඛණ්‌ඩව සීඝ්‍රයෙන් ඉහළ යාම හෙවත් අධික උද්ධමනකාරී තත්ත්වයක් ඇතිවීමයි. එවැනි තත්ත්වයක් තුළ භාණ්‌ඩ හා සේවා මිලදී ගැනීමට විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වන අතර, මුදල් නිකුත් කිරීමේ බලධාරීන්ට විශාල වශයෙන් නව මුදල් නිකුත් කිරීමට සිදුවේ. උදාහරණයක් ලෙස 1920 - 1923 අතර කාලය තුල ජර්මනියෙහි පැවති අධි උද්ධමනකාරී තත්ත්වය නිසා ජර්මන් මාර්ක් කෙරෙහි මහජනයා තුළ පැවති විශ්වාසය පළුදු විය. ජර්මනියෙහි පාන් රාත්තලක මිල 1920 වසරෙහි මාර්ක් 1 ක් වූ අතර, එය 1923 වන විට මාර්ක් බිලියන 4 ක් දක්‌වා ඉහළ ගියේය. භාණ්‌ඩ මිලදී ගැනීමට වීල් බැරෝවලින් මුදල් ගෙන යැමට මිනිසුන්ට සිදුවිය. මුදල් පිළිබඳ විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති වී ගිය බැවින් ව්‍යාපාරික ආයතන මෙන්ම බැංකුද කඩා වැටීම සිදු වූ අතර, මහජනයා නැවතත් භාණ්‌ඩ හුවමාරු කර ගැනීම හෙවත් බාටර් ක්‍රමය වෙත යොමු විය. එමෙන්ම කිසිම අගයක් නොමැති වූ බැවින් මුදල් තොග වශයෙන් විනාශ කර දැමීමට ජර්මන් බලධාරීන්ට සිදුවිය. එමනිසා රටක මහ බැංකුවකට තිබෙන ප්‍රධානතම වගකීම වනුයේ මුදල් ප්‍රතිපත්තිය නිසි පරිදි හසුරවමින් රට තුළ භාණ්‌ඩ හා සේවා මිල මට්‌ටම ස්‌ථායීව පවත්වා ගැනීමට කටයුතු කිරීමයි.
සාමාන්‍යයෙන් රටක මහ බැංකුවක් මුදල් අච්චු ගැසීම සිදු කළ යුත්තේ රට තුළ සිදුවන සමස්‌ත ගනුදෙනු සිදු කිරීමට ප්‍රමාණවත් මට්‌ටමකින් පමණකි. රටක ආර්ථික කටයුතු සහ ව්‍යාපාරික කටයුතු වර්ධනය වන විට එම කටයුතු පහසු කරලීමට එයට සමානව මුදල් සැපයුමේ ද වර්ධනයක් සිදු විය යුතුය. ඒ නිසා, සාමාන්‍යයෙන් යම්කිසි වර්ෂයක් තුළ ආර්ථිකයක සිදුවිය හැකි වර්ධනය (නාමික වශයෙන්) පිළිබඳව ඇස්‌තමේන්තු සකස් කර, ඒ අනුව, රට තුළ ඇතිවන ගනුදෙනු සිදු කිරීමට ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් පමණක් අලුතින් නිකුත් කිරීම සිදු කළ යුතුවේ. ගනුදෙනු සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් අච්චු ගසා ආර්ථිකයට මුදා හැරියහොත් එය රට තුළ භාණ්‌ඩ හා සේවාවල මිල මට්‌ටම ඉහළ යැමටත් ඒ අනුව උද්ධමන පීඩනයක් ඇති වීමටත් හේතු වෙයි. එමනිසා මහ බැංකුවකට තිබෙන ප්‍රධානතම වගකීමක් වන්නේ රට තුළ උද්ධමන පීඩනයක් ඇති නොවන ආකාරයට රටේ සමස්‌ත මුදල් තොගය (මුදල් සැපයුම) පවත්වාගෙන යැමයි. ශ්‍රී ලංකා මහ බැංකුව ද සෑම වර්ෂයක් ආරම්භයේදීම එම වර්ෂය තුළ දී අලුතින් එකතුවන ගනුදෙනු සිදු කිරීමට අවශ්‍ය මුදල් ප්‍රමාණය පිළිබඳ ඇස්‌තමේන්තු සකස් කර ඊට සමාන අලුත් මුදල් ප්‍රමාණයක් ආර්ථිකයට මුදා හැරීම සිදු කරයි.
වර්තමානයේ විවිධ මාධ්‍ය තුළින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් අච්චු ගැසීම පිළිබඳව විවිධ අදහස් පළ වෙමින් පවතී. මුදල් අච්චු ගැසීම යන්නෙහි සාමාන්‍ය අර්ථය වනුයේ මහ බැංකුව විසින් නව මුදල් නිකුත් කිරීමයි. ආර්ථික විද්‍යානුකූලව මෙය හඳුන්වන්නේ සංචිත මුදල් ලෙසයි. මේ ලිපියේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව මුදල් හෙවත් සංචිත මුදල් නිකුත් කිරීමේ ක්‍රියාවලිය සිදු කරන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමයි.
භාණ්‌ඩ හා සේවා අපනයනය, විදේශීය ආයෝජන සහ පෞද්ගලික අංශයට විදේශීය වශයෙන් ලැබෙන විවිධ ලැබීම් යනාදිය තුළින් රටට විදේශ විනිමය ලැබේ. මෙම විදේශ විනිමය සාමාන්‍යයෙන් වාණිජ බැංකු හරහා ලැබේ. භාණ්‌ඩ හා සේවා ආනයනය සඳහා සහ විදේශයන්ට කරනු ලබන වෙනත් විවිධ ගෙවීම් සිදු කළ පසු යම් විදේශ විනිමය අතිරික්‌තයක් වේ නම් වාණිජ බැංකු විසින් එය මහ බැංකුවට විකුණනු ලැබේ. එමෙන්ම රජයට ලැබෙන විදේශීය ණය භාණ්‌ඩමය ස්‌වරූපයෙන් සහ යම් ප්‍රමාණයක් විදේශීය මුදල් වශයෙන් ලැබේ. දේශීය ආර්ථිකය තුළ අවශ්‍ය ගෙවීම් කිරීම සඳහා විදේශීය මුදලින් ලැබෙන ණය රුපියල් බවට පත් කිරීම අවශ්‍ය වන නිසා රජය විසින් එම විදේශීය මුදල් මහ බැංකුවට විකුණා රුපියල් ලබා ගනී. මෙසේ රජයෙන් හෝ වාණිජ බැංකුවලින් විදේශ විනිමය මිලදී ගැනීමේ දී මහ බැංකුව විසින් අලුතින් රුපියල් නිකුත් කිරීම සිදු කරයි. එමඟින් රට තුළ දැනට පවත්නා මුදල් තොගයට අලුතින් මුදල් ප්‍රමාණයක් එකතු වීම සිදුවේ. එමෙන්ම, මහ බැංකුව විසින් මිලදී ගන්නා විදේශ විනිමය මහ බැංකුව විසින් පවත්වාගෙන යන රටේ විදේශ සංචිතය ඉහළ යැමට හේතු වේ.
මෙහි දී අවධාරණය කරගත යුතු තවත් වැදගත් කරුණක් වන්නේ රජය වෙනුවෙන් විදේශීය ණය ගෙවීම මහ බැංකුව විසින් සිදු කරන නිසා ණය ආපසු ගෙවීම සිදුවන අවස්‌ථාවේ දී ඒ සඳහා අවශ්‍ය වන විදේශ විනිමය වෙනුවෙන් ඊට සමාන රුපියල් අගයක් මහ බැංකුවට ගෙවීමට රජයට සිදුවන බවයි. එය සිදු වන්නේ වාණිජ බැංකුවල පවත්වාගෙන යනු ලබන රජයේ ගිණුම් හරහා වන අතර, එසේ මහ බැංකුව වෙත කරනු ලබන රුපියල් ගෙවීම් හේතුවෙන් රට තුළ සංසරණයෙහි පවත්නා මුදල් තොගයේ හෙවත් සංචිත මුදල්වල අඩුවීමක් සිදුවේ. එමෙන්ම, රජය වෙනුවෙන් මහ බැංකුව විදේශ ණය ගෙවන නිසා මහ බැංකුව විසින් පවත්වා ගෙන යනු ලබන රටේ විදේශ සංචිත ප්‍රමාණය ද ඒ අනුව අඩු වේ.
මේ අයුරින් මහ බැංකුව විසින් කරනු ලබන විදේශ විනිමය ගනුදෙනු හරහා මහ බැංකුව විසින් රට තුළ සංසරණය සඳහා නිකුත් කර ඇති රුපියල් මුදල් තොගයෙහි හෙවත් සංචිත මුදල් තොගයෙහි අඩු වැඩිවීම් සිදුවන අතර, සාමාන්‍යයෙන් එය හඳුන්වන්නේ මහ බැංකුවේ විදේශ වත්කම් වෙනස්‌වීම තුළින් රට තුළ සංසරණයෙහි පවත්නා මුදල් තොගයෙහි ඇතිවන වෙනස්‌වීමක් ලෙසයි.
දෙවනුව, මහ බැංකුව විසින් රජය හා වාණිජ බැංකු සමඟ සෘජුවම රුපියල්වලින් කරනු ලබන ගනුදෙනු හරහා ද රට තුළ සංසරණය වන සමස්‌ත මුදල් තොගයෙහි අඩු වැඩි වීම සිදුවේ. මෙයට අමතරව, මහ බැංකු සේවකයන් සඳහා සේවක වැටුප්, විශ්‍රාම වැටුප් ගෙවීම් යනාදිය සහ මහ බැංකුවේ අනෙකුත් වත්කම් හා වගකීම්වල සිදුවන අඩු වැඩි වීම්ද සංචිත මුදල් වෙනස් කිරීමට යම්කිසි බලපෑමක් සිදු කරයි. මෙවැනි සෘජුව කරනු ලබන රුපියල් ගෙවීම් සහ ලැබීම් හරහා රට තුළට මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන මුදල් තොගයෙහි සිදුවන වෙනස්‌වීම් හඳුන්වන්නේ මහ බැංකුවේ දේශීය වත්කම් හරහා සිදුවන වෙනස්‌වීම් යනුවෙනි.
මහ බැංකුව රජය සමඟ සිදු කරන මෙවැනි සෘජු ගනුදෙනු අතර ප්‍රධාන තැනක් ගන්නේ මහ බැංකුව විසින් රජයේ භාණ්‌ඩාගාර බිල්පත් මිලට ගැනීම සහ රජයට තාවකාලික අත්තිකාරම් සැපයීමයි.
රජයේ මුදල් අවශ්‍යතා සඳහා රජය විසින් භාණ්‌ඩාගාර බිල්පත් නිකුත් කිරීම්වලදී මුදල් නීති පනතින් ලැබී ඇති බලතල අනුව ඒවායින් යම් කොටසක් මහ බැංකුවේ අභිමතය පරිදි සහ සමස්‌ත මුදල් සැපයුමට අහිතකර ලෙස බල නොපාන පරිදි මිලදී ගැනීමට මහ බැංකුවට හැකිය. එසේ භාණ්‌ඩාගාර බිල්පත් මිලදී ගැනීමේ දී එහි අගයට සමාන මුදල් ප්‍රමාණයක් නව මුදල් නිකුත් කිරීම් ලෙස ආර්ථිකයට මුදා හැරීම සිදු වේ. එම භාණ්‌ඩාගාර බිල්පත් සාමාන්‍යයෙන් දින 91, දින 182 සහ දින 364 වශයෙන් වන කෙටිකාලීන ඒවා වන අතර, ඒවා කල් පිරුන විට රජය විසින් මහ බැංකුවට එම කල් පිරෙන බිල්පත්වල අගයට සමාන මුදලක් වාණිජ බැංකුවල තිබෙන සිය ගිණුම් හරහා ගෙවිය යුතුවේ. එය රට තුළට මහ බැංකුව විසින් නිකුත් කර ඇති මුදල් තොගය හෙවත් සංචිත මුදල් අඩුවීමට හේතු වේ.
එමෙන්ම, මුදල් නීති පනතට අනුව යම් වර්ෂයක රජයේ ඇස්‌තමේන්තුගත ආදායමෙන් සියයට 10 කට සමාන මුදල් ප්‍රමාණයක් තාවකාලික අත්තිකාරකමක් ලෙස සෑම වර්ෂයක් ආරම්භයේදීම මහ බැංකුව විසින් රජයට සැපයිය යුතුය. එය සිදු වන්නේ අලුත් මුදල් නිකුත් කිරීමක් තුළින් වන අතර, ඒ අනුව රට තුළ සංසරණයට අලුතින් මුදල් ප්‍රමාණයක් එකතුවීම සිදුවේ. මෙම අත්තිකාරම් සාමාන්‍යයෙන් මාස 6 ක කාලයක් සඳහා වන අතර, රජය එම අත්තිකරම් පියවීම සිදු වන විට එයට සමාන මුදල් ප්‍රමාණයක් රට තුළ තිබෙන මුදල් තොගයෙන් අඩුවීම සිදු වේ.
විදේශීය වත්කම් අත්කර ගැනීම තුළින් වැඩි මුදල් ප්‍රමාණයක් රටට මුදාහළ වර්ෂයන්වලදී එයට සමගාමීව මහ බැංකුව දේශීය වත්කම් හරහා මුදාහළ මුදල් ප්‍රමාණය අඩු කර ගෙන ඇත. එයට ප්‍රතිවිරුද්ධව විදේශීය වත්කම් අත්පත්කර ගැනීම හරහා රටට මුදා හරින නව මුදල් ප්‍රමාණය අඩු අවස්‌ථාවලදී දේශීය වත්කම් අත්පත් කර ගැනීම තුලින් නව මුදල් මුදා හැරීම සිදුවේ. ඒ අනුව, සමස්‌ත නව මුදල් නිකුත් කිරීම රට තුළ උද්ධමනකාරී තත්ත්වය පාලනය කර ගත හැකි අයුරින් පවත්වා ගෙන යැම සිදුවේ. උදාහරණයක් වශයෙන් 2017 වසරෙහි දී මහ බැංකුව විදේශීය වත්කම් අත්පත් කර ගැනීම තුළින් රුපියල් බිලියන 287.5 ක නව මුදල් ප්‍රමාණයක් රටට මුදාහළ අතර, රට තුළ මුදල් තොගය නිසි මට්‌ටමක පාලනය කිරීම සඳහා දේශීය වත්කම් හරහා මුදා හැර තිබූ මුදල් ප්‍රමාණයෙන් රුපියල් බිලියන 203.9 ක ප්‍රමාණයක් මහ බැංකුව වෙත ආපසු ලබාගෙන ඇත. එය සිදුකර ඇත්තේ විශේෂයෙන් මහ බැංකුව විසින් මිලදී ගෙන තිබූ භාණ්‌ඩාගාර බිල්පත්වලින් රුපියල් බිලියන 304.5 ක ප්‍රමාණයක් ඉවත් කරගෙන එම ආයෝජනය කර තිබූ මුදල් මහ බැංකුව වෙත ආපසු ගෙන්වා ගැනීම තුළිනි. ඒ අනුව, 2017 වසරේහිදී සමස්‌ත නව මුදල් නිකුත් කිරීම් ප්‍රමාණය රුපියල් බිලියන 83.7 ක මට්‌ටමක පවත්වාගෙන යැමට මහ බැංකුවට හැකි වී ඇත. මෙයින් පැහැදිලි කිරීමට උත්සාහ කළේ මහ බැංකුව විසින් නව මුදල් නිකුත් කිරීම් සිදු කරන්නේ යම් පාලනයක් සහිතව රට තුළ උද්ධමනකාරී පීඩනයන් අවම කිරීමේ අරමුණ ඇතිව බවයි.
මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති රාමුව ගැන සලකා බැලීමේදී 1980 ගණන්වල සිටම අනුගමනය කරනු ලැබූයේ රට තුළ සමස්‌ත මුදල් තොගය පාලනය කිරීම මගින් උද්ධමනය පාලනය කිරීමේ ක්‍රියාවලියකි. ලෝකයේ බොහෝ රටවල සිදුවන්නාක් මෙන් විශේෂයෙන් මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතික උපයෝගී කර ගනිමින් උද්ධමනකාරී තත්ත්වය සෘජුව පාලනය කිරීමේ අදහස ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුව දැනට පවත්වාගෙන යන මුදල් ප්‍රතිපත්ති රාමුව රටට වඩාත් උචිත ආකාරයකට සකස් කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටී. ඒ සඳහා මුදල් නීති පනතට සංශෝධනයන් කිරීම අවශ්‍ය වේ. ඉන් ඉතා වැදගත් සංශෝධනයක් වනුයේ මහ බැංකුව විසින් රජයේ භාණ්‌ඩාගාර බිල්පත් මිලදී ගැනීම සහ රජයට අත්තිකාරම් සැපයීම සම්බන්ධව මුදල් නීති පනතේ දැනට තිබෙන වගන්ති සංශෝධනය කිරීමයි. මහ බැංකුවට ඒ තුළින් රජයේ මුදල් අවශ්‍යතා සම්බන්ධව සිදුවන නව මුදල් නිකුත් කිරීම් වැළැක්‌වීමටත් ඒ අනුව වඩාත් ස්‌වාධීනව සිය මුදල් ප්‍රතිපත්තිය පවත්වාගෙන යැම තුළින් උද්ධමන තත්ත්වයන් දැනටත් වඩා ක්‍රියාකාරී ලෙස පාලනය කිරීමටත් අවස්‌ථාව සැලසෙනු ඇත. මුදල් නීති පනතට සිදු කිරීමට අපේක්‌ෂිත මෙම සංශෝධන රජයේ අමාත්‍ය මණ්‌ඩලය මඟින් දැනටමත් අනුමත කර ඇති අතර, එම සංශෝධන 2019 වර්ෂය අවසන් වන විට සිදු කර, 2020 වර්ෂයේ සිට නව මුදල් ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීමට මහ බැංකුව දැනට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටී.
( උ.ගැ.: අන්තර්ජාලය ඇසුරෙනි)