22/08/2026
රටකට ජාතික ගීයක් තියෙනවා…
හැබැයි ජාතියකට තමන්ගේම හඬක් ලැබෙන්නේ කලාතුරකින්.
අපට එහෙම හඬක් තිබුණා.
ඒ විශාරද ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ හඬ.
ඒ නිසාම වෙන්න ඇති ඇයට “ජාතියේ යශෝරාවය” කියලා කිව්වේ.
“අම්මාවරුනේ” ඇහෙද්දි ඒ හඬ අම්මාගේ වුණා.
“මිරිවැඩි සඟලක්” ඇහෙද්දි දරුවෙක් වෙනුවෙන් දුක් විඳින තාත්තාගේ වුණා.
හැබැයි “පවන” ඇහෙද්දි…
ඒ හඬ කාගේවත් තනි හඬක් නෙමෙයි.
කතා කරන්න බැරිව, කතා කරන්න බයෙන්, නිහඬව හිටපු මුළු සමාජයකම හඬ වුණා.
සාමාන්‍යයෙන් පවනක් හමන්නෙ විඩාබර හිතක් නිවන්න.
නමුත් නන්දා මාලනී මහත්මියගේ “පවන” ආවේ නිවන්න විතරක් නෙමෙයි…
නිදාගෙන හිටපු මිනිස්සුන්ව ඇහැරවන්න.
1987දී වේදිකාවට ආපු පවන ප්‍රසංගය මාස දහඅටක් ඇතුළත දර්ශන 205ක් පවත්වනවා. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියපු වචන නන්දා මාලනියගේ හඬින් එළියට එද්දි ඒවා සින්දු විතරක් වුණේ නෑ.
ඒවා ප්‍රශ්න වුණා…
විරෝධය වුණා…
අසාධාරණය ඉස්සරහා නිහඬව හිටපු මිනිස්සුන්ගේ හෘදසාක්ෂිය වුණා.
“යදමින් බැඳ විලංගු ලා” කියනකොට ඇය නිදහස ගැන ඇහුවා.
“බමුණා වුණත් දුදනෙකු නම්” කියනකොට තනතුරට, බලයට සහ වංශයට වඩා මනුස්සකම ලොකුයි කියලා කිව්වා.
“සීතල පොළොවම සිරි යහනක් වේවා” කියනකොට අහිමි වුණු ජීවිත වෙනුවෙන් අඬන්න බැරිව හිටපු මිනිස්සුන්ට අඬන්න හඬක් දුන්නා.
“වහින්නට හැකිනම් ගිගුම් දී” කියනකොට දුක දිහා බලාගෙන ඉන්නෙ නැතුව ඒ දුක වෙනස් කරන්න පුළුවන් නම් කරන්න කියලා අපේ හිතටම කිව්වා.
ඒ නිසා පවන ගීත රාජ්‍ය ගුවන්විදුලියෙන් සහ රූපවාහිනියෙන් තහනම් වුණා. පවන කැසට් පටයක් ගාව තියාගැනීමත් අවදානමක් වුණු කාලයක් තිබුණා.
හැබැයි තහනම් කරන්න පුළුවන් වුණේ විකාශනය විතරයි…
මිනිස්සුන්ගේ හිත්වල ඒ සින්දු වාදනය වෙන එක නවත්වන්න කාටවත් බැරි වුණා.
මගේ ගාවත් ඒ “පවන” කැසට් පටය තියෙනවා.
කැසට් පටය player එකට දාලා play button එක ඔබනකොට, ඒ පුංචි රෝද දෙක අදටත් කැරකෙනවා…
දශක ගණනකට කලින් මුළු රටක්ම කම්පනය කළ නන්දා මාලනියගේ හඬ අදත් ඒ පටියෙන් ඇහෙනවා.
අද අපට කැමති සින්දුවක් තත්පර කිහිපයකින් phone එකෙන් හොයාගෙන අහන්න පුළුවන්.
හැබැයි පවන ඒ කැසට් පටයෙන් අහනකොට දැනෙන්නෙ වෙනම හැඟීමක්.
මොකද ඒ පුංචි ප්ලාස්ටික් කවරය ඇතුළේ තියෙන්නෙ සින්දු ටිකක් විතරක් නෙමෙයි.
බය වෙලා හිටපු කාලයක බය නැතුව ගැයුණු ගැහැනියකගේ හඬක්.
බලය ඉදිරියේ හිස නමන්න අකමැති කලාකාරියකගේ හෘදසාක්ෂියක්.
රටක අඳුරු කාල පරිච්ඡේදයක සංගීතයෙන් ලියපු ඉතිහාසයක්.
ඒ නිසා ඒ “පවන” කැසට් පටය මගේ ගාව සිහිවටනයක් විදිහට හැමදාම තියේවි.
කවදාහරි කෙනෙක් ඒක දැකලා “මේ මොකක්ද?” කියලා ඇහුවොත්…
“මේක සින්දු තියෙන කැසට් එකක් විතරක් නෙමෙයි. සින්දුවකට පාලකයො බය වුණු කාලයක සාක්ෂියක්” කියලා මට කියන්න පුළුවන්.
ළමා මණ්ඩපයේ බුදු සාදූ ගීතයෙන් ඇරඹුණු ඒ හඬ “ගලන ගඟකි ජීවිතේ” හරහා සිනමාවට ආවා. ප්‍රේමය, මව් සෙනෙහස, පිය සෙනෙහස, ළමා ලෝකය, බුදු බැතිය, මනුස්සකම, දුප්පත්කම සහ සමාජ අසාධාරණය—මේ හැම දෙයක්ම ඇය තමන්ගේ හඬ ඇතුළෙ තියාගෙන අපට දුන්නා.
ගායිකාවක් වෙන්න ලස්සනට සින්දු කියන්න පුළුවන් වුණාම ඇති.
හැබැයි ජාතියක හඬක් වෙන්න…
ඒ ජාතිය සතුටු වෙද්දි සින්දු කියන්නත්, ඒ ජාතිය දුක් විඳිද්දි ඒ වෙනුවෙන් කතා කරන්නත් පුළුවන් වෙන්න ඕන.
නන්දා මාලනී මහත්මියට ඒ දෙකම පුළුවන් වුණා.
හෙට—අගෝස්තු 23—ඇගේ 83 වැනි උපන්දිනය සමරන්න තිබුණු දවස.
හැබැයි අද අපි ඇයට අවසන් වරට සමුදෙනවා…
එහෙම වුණාට නන්දා මාලනියගේ හඬට සමුදෙන්න අපට පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ.
හෙටත් කොහේ හරි “අම්මාවරුනේ” ඇහෙයි.
කවුරුහරි තමන්ගේ අම්මා ගැන හිතයි.
හෙටත් “මිරිවැඩි සඟලක්” ඇහෙයි.
කවුරුහරි තමන්ගේ තාත්තා ගැන හිතයි.
හෙටත් “යදමින් බැඳ විලංගු ලා” ඇහෙයි.
අසාධාරණයක් ඉදිරියේ නිහඬව ඉන්න එපා කියලා කවුරුහරි තමන්ගේම හිතට කියාගනියි.
මගේ ගාව තියෙන ඒ කැසට් player එකේ රෝද දෙකත් ආයෙත් කැරකෙයි…
එතකොට පවන ආයෙත් හමයි…
නන්දා මාලනී මහත්මිය ආයෙත් අපිත් එක්ක කතා කරයි.
මෙතුමිය ගැන තව ගොඩක් දේවල් තියනව කියන. මේක දිග වැඩි වෙන නිසා කියන්නෙ නෑ.
ඒකට මාත් එක්ක තරහ වෙන්න එපා...
ජාතියේ යශෝරාවය නිහඬ වුණාට, ඒ හඬ මේ ජාතියේ මතකයෙන් කවදාවත් නිහඬ වෙන්නේ නෑ.
ජාතියේ යශෝරාවය වූ විශාරද ආචාර්ය නන්දා මාලනී මහත්මියනි…
ඔබට උතුම් නිවන් සුව අත්වේවා! 🙏
~ මම සතිර අබේගුණවර්ධන.