27/05/2026
ලෝකය සහ එහි ඇති සියලු දේ නුඹගේම වනු ඇත.
Rudyard kipling ගේ if කාව්‍යයේ සිංහල අනුවාදය.
සැවොම කලබල වී, තැතිගෙන, වැරදි පටවද්දී නුඹ පිට,
නුඹට පුළුවන් නම් ඉන්න නොසැලී, තබාගෙන විශ්වාසය නුඹ ගැනම...
සැවොම නුඹ ගැන සැකකරද්දී, ඒ සැකයටත් ඉඩ දී,
නුඹේ ස්ථාවරය වෙනුවෙන් නොසැලී ඉන්නට පුළුවන් නම්...
බලාපොරොත්තු සුන් කර නොගෙන, ඉවසීමෙන් බලා ඉන්නට හැකිනම්,
නැතහොත්, නුඹට එරෙහිව බොරු කියද්දී, නුඹ බොරුවෙන් වැලකී සිටින්නේ නම්,
වෛරය හමුවේ වෛරයෙන් නොබැඳී සිටින්නට හැකිනම්,
එසේම, ඕනෑවට වඩා දැහැමි හෝ ඕනෑවට වඩා ප්‍රඥාවන්තයෙකු සේ පෙනී නොසිටින්නේ නම්...
නුඹට සිහින දකින්නට හැකිනම් — හැබැයි ඒ සිහිනවලට නුඹේ ස්වාමියා වන්නට ඉඩ නොදී,
නුඹට සිතන්නට හැකිනම් — හැබැයි ඒ සිතුවිලි පමණක්ම නුඹේ ඉලක්කය කර නොගෙන...
ජයග්‍රහණය සහ පරාජය යන දෙකටම මුහුණ දී,
ඒ වංචනික අවස්ථා දෙක දෙසම එක හා සමානව බලන්නට හැකිනම්...
නුඹ පැවසූ සත්‍යය, කපටියන් විසින් මෝඩයන් මුලාවේ දැමීමට විකෘති කරන අයුරු,
අසා සිටින්නට නුඹට ශක්තියක් ඇත්නම්...
නැතහොත්, නුඹ මුළු ජීවිතයම කැපකර තැනූ දෑ බිඳ වැටෙනු බලා සිට,
පරණ වී ගෙවීගිය මෙවලම්වලින් නැවතත් ඒවා ගොඩනැඟිය හැකිනම්...
නුඹ උපයාගත් සෑම දෙයක්ම එක ගොඩකට තබා,
එකම කාසියක වාසිය මත ඔට්ටු තබා,
එය පැරදී, නුඹ සතු සියල්ල අහිමි වුවද,
කිසිවෙකුට නොකියා, නුඹේ මුල් පියවරෙන්ම නැවත ආරම්භ කරන්නට හැකිනම්...
නුඹේ හදවත, ස්නායු සහ මස්පිඬු,
ඒවා බෙලහීන වූ පසුත්, නුඹේ අරමුණ වෙනුවෙන් මෙහෙයවන්නට හැකිනම්,
නුඹ සතුව කිසිවක් නැති කල, "නොසැලී ඉන්න!" යැයි පවසන,
නුඹේ අධිෂ්ඨානය (මනස) පමණක් ඉතිරිව තිබියදී නොසැලී සිටිය හැකිනම්...
සාමාන්‍ය ජනයා සමඟ කතා කරමින් නුඹේ ගුණය රැකගත හැකිනම්,
රජුන් සමඟ ඇවිද ගියත් සාමාන්‍ය මිනිසෙකු ලෙස සිටිය හැකිනම්...
මිතුරන් හෝ සතුරන් කිසිවෙකුටත් නුඹව රිදවිය නොහැකි නම්,
සැමදෙනා නුඹව විශ්වාස කලත්, කිසිවෙකුට පමණට වඩා ඉඩ නොදෙන්නේ නම්...
ගෙවී යන අනුකම්පා විරහිත සෑම මිනිත්තුවක්ම,
තත්පර හැටක වටිනාකමකින් යුතුව අර්ථවත් ලෙස ගෙවා දැමිය හැකිනම්...
ලෝකය සහ එහි ඇති සියලුම දේ නුඹ සතු වනු ඇත,
එපමණක් නොව — මගේ පුතණුවනි, නුඹ සැබෑම මිනිසෙකු වනු ඇත!
🔴කාව්‍යයේ ප්‍රධාන පණිවිඩය:
✅මධ්‍යස්ථභාවය:
ජීවිතයේ ලැබෙන ජය සහ පරාජය යන දෙකෙහිදීම එකලෙස සන්සුන්ව සිටීම.
✅ධෛර්යය සහ නොසැලෙන බව:
සියල්ල අහිමි වුවද බිඳ වැටෙන්නේ නැතිව නැවත මුල සිට ආරම්භ කිරීමේ ශක්තිය.
✅නිහතමානීකම:
සමාජයේ ඉහළම තලයට ගියත් තම නිහතමානීකම සහ පොදු මිනිසා පිළිබඳ හැඟීම අතනොහැරීම.