04/06/2021
"කඩ්ඩ පුළුවන් සෙට් එක... අපිට ඉතින් කඩ්ඩ බෑනේ"
ඉංග්‍රීසි භාෂාව දන්නා - නොදන්නා අය ලෙස විවිධ බෙදීම් නිර්මාණය කිරීම මෙන්ම, එම භාෂා දැනුම අනුව පුද්ගලයන් විනිශ්චය කිරීම අප සමාජය තුළ අදටත් දැකිය හැකිය.
ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ඉංග්‍රීසි භාෂාව 'කඩ්ඩ' නැත්නම් 'කඩුව' ලෙස හැඳින්වූව ද, ඔවුන් වැඩිහිටියන් වීමත් සමග බොහෝ විට එය 'වීදි භාෂාවේ' වචනයක් ලෙස හඳුන්වමින් භාවිතයෙන් වැළකෙති.
නමුත් ඉංග්‍රීසි භාෂාව කඩුව ලෙස හැඳින්වීම පිටුපස ඇති ඉතිහාස කතාවක් ගැන ද පොත්පත්වල සඳහන් වේ. මෙම පැරණි යටත් විජිත භාෂාව ශ්‍රී ලංකාවේ සමාජ පන්ති සලකුණු කරන්නක් ලෙස පවතින අතර, එය ඉංග්‍රීසීන් අත තිබුණු කඩුවට සමාන කර තිබේ.
කඩුව පසු කලෙක මුවට හුරු වචනයක් ලෙස කඩ්ඩ ලෙස වෙනස් වී තිබෙන බවට මත ඉදිරිපත් වී තිබේ.
ලොව පුරා බිලියන 1.30කට ආසන්න ප්‍රමාණයක් ඉංග්‍රීසි පළමු හෝ දෙවෙනි භාෂාව ලෙස භාවිත කරන අතර, සමාජ මාධ්‍ය ජාල ඇතුළු ලෝකය හා සම්බන්ධ විය හැකි බොහෝ අවස්ථා ඉංග්‍රීසි භාෂාව හා බද්ධ වී ඇත.
ඉංග්‍රීසි භාෂාවේ ආරම්භය ක්‍රිස්තු වර්ෂ පස් වෙනි සියවසේ දී සිදු වූ බවට ඉතිහාස පොත්පත් සාක්ෂි දරයි. බ්‍රිතාන්‍යය ආක්‍රමණය කළ ජර්මානු ගෝත්‍ර තුනක් වන ඇන්ග්ල්ස්, සැක්සන් සහ ජූට්ස් භාවිත කළ භාෂාවන් පැරණිතම ඉංග්‍රීසි බසෙහි ආරම්භය ලෙස සැලකේ.
පැරණිතම ඉංග්‍රීසි භාෂාව එහි නූතන ස්වරූපයට වඩා බෙහෙවින් වෙනස්ය. නමුත් සමහර පැරණි වචන අදටත් භාවිත කරන අතර, යම් වචනවල තේරුම් ද පැරණි ඉංග්‍රීසි භාෂාව හා සම්බන්ධ වේ.
1066 දී නෝර්මානුවන් එංගලන්තය යටත් කර ගැනීමත් සමඟ ඉංග්‍රීසි භාෂාවට ප්‍රංශ ස්වරූපයක් ද ලැබිණි. බොහෝ ප්‍රංශ වචන සහ සමහර ලතින් වචන ද පැරණි ඉංග්‍රීසි සමඟ මිශ්‍ර වී මධ්‍යතන ඉංග්‍රීසි භාෂාව බිහි විය.
16 වන සියවසේ දී මුද්‍රණ කටයුතු ආරම්භ වීමත් සමඟ ඉංග්‍රීසි ස්ථාවර භාෂාවක් බවට පත් වන්නට විය.
තවත් වචන භාෂාවට එක් වීමට කාර්මික විප්ලවය ද එක් හේතුවක් විය. මේ අතර, බ්‍රිතාන්‍ය යටත් විජිතකරණයත් සමග බොහෝ විදේශීය වචන ඉංග්‍රීසි භාෂාවට එකතු විය. මෙම සාධක අද අප දන්නා 'නූතන ඉංග්‍රීසි භාෂාව' නිර්මාණය කිරීමට මුල් විය.
Chalk - The School of English