28/04/2022
අදින් වසර 137 කට පෙර ලෝකවාසි බෞද්ධයන්ට උදෙසා නිර්මාණය වූ බෞද්ධ කොඩියේ කතාව..!
1885 අප්‍රේල් 28 වැනිදාට යෙදුණු අධි වෙසක් පෝය දිනය ලෝකවාසී බෞද්ධ ජනතාවටම ඓතිහාසික දිනයක් විය. ඒ එදින ප්‍රථම වරට ෂඩ් වර්ණයෙන් යුතු බෞද්ධ කොඩියක් කොළඹදී එසැවූ නිසාය. ඒ වන විට ඉංග්‍රීසි පාලනයට මෙරට නතුව තිබූ නිසාම එතෙක් පැවති වෙසක් පෝය නිවාඩුව ද 1770 වසරේ සිටම අවලංගු කර තිබිණි.
යළිත් මෙරට බෞද්ධ ප්‍රබෝධයකට අවකාශ සැලසෙන්නේ 1873 දී මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමිපාණන්ගේ මූලිකත්වයෙන් පැවති පාණදුරාවාදයෙන් පසුවය. වාදීභසිංහ ගුණානන්ද හිමිපාණෝ එහිදී කළ බුද්ධාගමේ නිවැරදි සංකල්ප හා සංඝරත්නය සතු තර්කයේ විචක්ෂණභාවය ප්‍රකට කිරීමේ හේතුවෙන් ඒ වෙත සිත් ඇදී ගිය කර්නල් හෙන්රි සිටීල් ඕල්කොට්තුමන්ගේ මෙරටට පැමිණීම සිදුවිය. හෙන්රි සිටීල් ඕල්කොට්තුමන්ගේ පැමිණීමත් සමඟ 1885 මාර්තු 27 වැනිදා ගැසට් නිවේදනයක් මඟින් මෙරට වෙසක් පෝය දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් විය.
එබැවින් ඊළඟට එළැඹෙන වෙසක් පෝය මහත් උත්කර්ෂවත් අයුරින් පැවැත්විය යුතු බවට භික්ෂූන් වහන්සේ ඇතුළු බෞද්ධ නායකයෝ තීරණයකට එළැඹුනහ.
ඒ අනුව හික්කඩුවේ ශ්‍රී සුමංගල සහ මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද හිමිවරුන්ගේ මූලිකත්වයෙන් ඒ.පී. ධර්ම ගුණවර්ධන, දොන් කරෝලිස් හේවාවිතාරණ, කරෝලිස් පූජිත ගුණවර්ධන, එච්.ඒ. ප්‍රනාන්දු, විලියම් ද ආබෲ, චාල්ස් ඒ. ද සිල්වා, එන්.එස්. ප්‍රනාන්දු, පීටර් ද ආබෲ සහ විලියම් ප්‍රනාන්දු වැනි විද්වත්හු වෙසක් කමිටුව ලෙස එක්රැස්ව ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කළහ.
මේ වෙසක් කමිටුව යෝජනා තුනක් සම්මත කර ගත්හ. මුහන්දිරම් ඒ.පී. ධර්ම ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් 1885 අප්‍රේල් 27 වැනිදා (පෝයදාට පෙර දින) කොළඹ පිටකොටුවේ දොන් කරෝලිස් සාප්පුව අසල සිට මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට පෙරහරක් සංවිධානය කිරීම පළමු යෝජනාවයි. දෙවැන්න අප්‍රේල් 28 දා වෙසක් පෝය දා උදේ කොටහේන දිපදුත්තමාරාම විහාරයේදී බෞද්ධ කොඩියක් උත්සවාකාරයෙන් එසවීමයි. තුන්වැන්න කැලණිය රාජ මහා විහාරයේදී මොහොට්ටි වත්තේ ගුණානන්ද හිමියන් විසින් විශේෂ දේශනයක් පැවැත්වීමයි.
මෙහිදී විශේෂ අවධානයක් යොමු වූයේ එළැඹෙන වෙසක් පෝයට ඇත්තේ කෙටි කාලයක් බැවින් ඉක්මනින් බෞද්ධ කොඩියක් නිර්මාණය කර ගැනීමේ කර්තව්‍යයයි.
එහිදී කමිටුව විසින් බෞද්ධ කොඩියට කුමක් ඇතුළත් කළ යුතු ද යන්න පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් යම් යම් අවස්ථාවල භාවිත කරන තුන්හුලස් දිගැටි හැඩයේ බුද්ධ රශ්මිය පිළිබිඹු කරන කොඩිය පිළිබඳව ද යෝජනා කෙරිණි. උන් වහන්සේ බණ දෙසුම් පවත්වන ස්ථානවලට ද එය රැගෙන වැඩි අතර පාණදුරාවාදය පැවති ස්ථානයේ ද එය අන් සැරසිලි අබිබවා ලෙල දෙන්නට වූ බව පැවසේ. බෞද්ධ කොඩිය නිර්මාණයේදී එය පූර්වාදර්ශයක් වූ බව සඳහන් වේ.
එහෙත් එම කොඩිය කාගේ අදහසක් ද නැතහොත් කාගේ නිර්මාණයක් ද හෝ කවරෙකු විසින් එය මුල් වරට චිත්‍රණය කරන ලද්දේ ද යන්න පිළිබඳව කිසිදු සඳහනක් එහි නැත.
එහෙත් මෑත කාලීන යම් යම ලේඛනවල ෂඩ් වර්ණයෙන් නිරූපිත බෞද්ධ කොඩියේ නිර්මාතෘවරයා ඕල්කොට්තුමා බව සඳහන් කරයි. තවත් සමහරු පවසන්නේ වෙසක් උත්සව කමිටුවේ ලේකම්වරයා වූ කරෝලිස් පූජිත ගුණවර්ධන මහතා එය නිර්මාණය කළ බවයි.
හෑගොඩ ඛේමානන්ද හිමියන් 1985 දී දිනමිණ පුවත්පතට ලියා ඇත්තේ "වෙසක් කමිටුවේ සෑම කෙනෙකුන්ම කොඩියේ සැලැස්ම පිළිබඳව බොහෝ අදහස් ඉදිරිපත් කර ඇති අතර සමිති සමාගම්වල චිරාගත සම්ප්‍රදාය අනුව ඒවා ලේකම්වරයාට භාර කොට සුදුසු ලෙස කොඩියේ සැලැස්ම සකස් කරන ලෙස නියම වී ඇත. ඒ අනුව ලේකම්වරයා විසින් ෂඩ් වර්ණයෙන් යුත් බෞද්ධ කොඩිය සකස් කරන ලදුව කොමිටිය විසින් එය මැනවයි පිළිගෙන ප්‍රකාශයට පත් කර ඇත." යනුවෙන් සඳහන් කරයි.
ඒ අනුව උන්වහන්සේගේ අදහස පැහැදිලිය. එනම් වෙසක් උත්සව කමිටුවේ සියලු සාමාජිකයන්ගේ අදහස් හා සැලසුම්වල සමෝධානයකින් ෂඩ් වර්ණ බෞද්ධ කොඩිය නිර්මාණය වී සම්මත වූ බවය. ඒ අනුව උත්සව කමිටුවටම එහි නිර්මාතෘත්වය හිමි විය යුතු යැයි උන්වහන්සේගේ නිගමනය යුක්ති යුක්තය.
කොළඹ පරමවිඥානාර්ථ බෞද්ධ සමාගම සිය ශත සංවත්සර කලාපය සඳහන් කරන්නේ බෞද්ධ කොඩිය නිර්මාණය කළ පුද්ගලයා ලෙස බෞද්ධ උත්සව කමිටුවේ සේවය කළ සී.පී.ගුණවර්ධන (1854 - 1926) මහතාට ගෞරවය පුද කළ බවය. එය ද 1928 සුදනමිණ සඟරාව ඊට පාදක කර ගනී.
බෞද්ධ කොඩිය නිර්මාතෘවරයා ඕල්කොට්තුමා බව සඳහන් ලේඛන සියල්ල සාවද්‍යය. ඒ බව ඕල්කොට්තුමාම ප්‍රතික්ෂේප කර තිබේ. කොඩිය නිර්මාණය වන විට ඕල්කොට්තුමා මෙරට සිටියේ නැත. ඔහු යළි ලංකාවට ආවේ 1886 ජනවාරි 28 වැනිදාය. 1892 ඩාජලින් නුවර පැවති බෞද්ධ සම්මේලනයට අනගාරික ධර්මපාලතුමා සහභාගි විය. ඒ වෙනුවෙන් සැකසූ "තියෝසොෆිස්ට්" නම් සඟරාවට හෙන්රිටා මුලර් මෙණෙවිය ලිපියක් ලියමින් බෞද්ධ කොඩියේ නිර්මාතෘ කර්නල් ඕල්කොට් බව සඳහන් කර තිබිණි. ඕල්කොට්තුමා එය තම දින පොතක නිවැරදි කර ඇත්තේ මෙසේය. " මා බෞද්ධ කොඩිය සැලසුම් කළ බව කියන මුලර්ගේ වාර්තාව වැරදියි. එහි ගෞරවය හිමි විය යුත්තේ කොළඹ පරම විඥානාර්ථ සමාගමේ සාමාජිකයන්ටයි. මා කළ එකම දෙය නම් හැඩය වෙනස් කිරීමට යෝජනා කිරීම පමණයි."
ඕල්කොට්තුමා කර ඇත්තේ එදා මුල් වරට එසැවූ බෞද්ධ කොඩිය පළලින් අඩු දිගින් වැඩි වූ එකක් නිසා එය පරිහරණයේ පහසුව පිණිස යම් සම්මත ප්‍රමාණයකට සකස් කිරීමට උපදෙස් දීමය. එකී සංශෝධනයට අනුව අද දක්නා බෞද්ධ කොඩිය නිර්මාණය වූයේ 1886 දීය. 1885 අප්‍රේල් 28 වැනිදා පෙරවරුවේ කොටහේනේ දිපදුත්තමාරාමයේදී උත්සවාකාරයෙන් මුල් වරට බෞද්ධ කොඩිය එසැවිණි.
අනතුරුව 1889 දී අනගාරික ධර්මපාලතුමා බෞද්ධ කොඩිය ජපන් අධිරාජයාටත් ඉන් පසුව බුරුමය, කාම්බෝජය, වියට්නාමය, ලාඕස් සහ තායිලන්ත රජයටත් හඳුන්වා දුන්නේය. 1950 මැයි 25දා රටවල් 29ක සහභාගිත්වයෙන් පැවති ලෝක බෞද්ධ සම්මේලනයට එහි ආරම්භක සභාපති මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා විසින් එය හඳුන්වා දුන්නේය. එහි නියෝජිතයන් 148 දෙනාම එය ලොවම පිළිගන්නා ජගත් බෞද්ධ කොඩිය ලෙසට එහිදී සම්මත කළහ.
බෞද්ධ කොඩියේ අන්තර්ගතය
බෞද්ධ කොඩිය නිර්මාණය කර ඇත්තේ නීල (නිල්) , පීත (කහ), ලෝහිත (රතු), ඕදාත (සුදු) , මංජෙෂ්ට (මදටිය) සහ ප්‍රභාෂ්වර (එම පාට පහේ එකතුව) යන වර්ණ තීරු 6කිනි.
බුදුන් වහන්සේට ඇති වන අතිමාත්‍ර ප්‍රසාද අවස්ථාවල බුදු සිරුරින් සවනක් රැස් විහිදිණි. එම රැස් පදනම් කොට බෞද්ධ කොඩිය නිර්මිතය.අභිධර්ම පිටකයට අයත් (ධම්මසංඝණීප්පකරණ ග්‍රන්ථයේ අටුවාව වන) අත්ථසාලිනී ධම්මසංඝණීප්පකරට්ඨකතාව බුද්ධ රශ්මිය පිළිබඳ ඉපැරැණිම මූලාශ්‍රයයි. මේ පිළිබඳව විස්තර එහි සඳහන් වේ.
-----------------------------------------------------------------------
මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට බෞද්ධාගමේ සදහම් පණිවිඩය රැගෙන ආ සමයේ සිට රජයේ නිවාඩු දිනයක් වූ වෙසක් පුන් පොහෝදින නිවාඩුව බෞද්ධයාට අහිමි වන්නේ වසර 1770 දී ඕලන්ද ජාතික පෝක් නම් ආණ්ඩු කාර වරයාගේ කුරිරු නියෝගයක බල මහිමයෙනි.
ඔහු පොහොය දින නිවාඩුව අවලංගු කර ඒ වෙනුවට ඉරිදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි.
ඉන්පසු එළඹෙන ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයට මව්බිම යටත් වන අඳුරු යුගයේ 1817 අංක 5 දරන ආඥා පනත යටතේ පාස්කු ඉරිදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්වෙයි.
මෙසේ තම උතුම් ආගමික උරුමයේ වරප්‍රසාදය අහිමි වන බොදුනුවන් අසරණව කල්ගෙවූ යුගය හමාරවීමේ සදහම් එළිය මතුවන හෝරාව ඇරැඹෙන්නේ වසර 1883 මාර්තු 25 වැනිදා අඳුරු රාත්‍රියේදී ය. එදින බොරැල්ල මහ පන්සලේ සිට කොටහේන දීපදුත්තමාරාමය වෙත, බෞද්ධ සංස්කෘතික අංග රැගත් පෙරහරක් ගමන් ආරම්භ කරයි. මෙම පෙරහර සංවිධානය කරන්නේ දීපදුත්තමාරාම විහාරාධිපති වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද මා හිමිපාණන් වහන්සේගේ ප්‍රමුඛත්වයෙනි.
රාත්‍රි කාලයේ වීදි සංචාරය කරන පෙරහරට අතරමගදී දැඩි ප්‍රහාරයක් එල්ල වෙයි. මෙහිදී පෙරහරෙහි ගමන්ගත් අයකුගේ ජීවිතය පවා අහිමි වන අතර එම අඳුරු ප්‍රවෘත්තිය ‘කොටහේනේ කැරැල්ල’ ලෙස විදේශයන් හි පවා ප්‍රසිද්ධියට පත්වෙයි.
අයුක්තිය අසාධාරණය ඉදිරියේ පරගැති නොවූ අතීත, අභීත භික්‍ෂූන් වහන්සේ ගිය ගමන් මඟ අත් නොහරිමින් මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමියෝ, අහිංසාවාදී පිළිවෙතින් මේ පීඩනයට මුහුණ දීමට ඉදිරි සැලසුම් සකස් කරති. එහි ප්‍රතිඵලයක් ලෙස වස්කඩුවේ ශ්‍රී සුභූති හා හික්කඩුවේ ශ්‍රී සුමංගල යන මහා යතිවරුන් වහන්සේ ගේ මග පෙන් වීමෙන් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාද ඇතුලුව ‘බෞද්ධාරක්‍ෂක කමිටුව‘ නමින් සංවිධානයක් බිහිවෙයි. එම කමිටුවේ යෝජනා රැගෙන එංගලන්තයට යන ඕල්කට්තුමා ඉදිරිපත් කළ සංදේශය සැළකිල්ලට ගනිමින් එංගලන්තයේ මහ රැජිනගේ නියෝගයක් මත 1885 මාර්තු 27 දින ප්‍රකාශිත ගැසට් නිවේදනයක් මගින් වෙසක් පුර පසළොස්වක දිනය රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්වෙයි.
ලද ජයග්‍රහණයෙන් උද්දාමයට පත්වන බෞද්ධාරක්‍ෂක සභාව, එළඹෙන වෙසක් පුන් පෝදින නිවාඩුව අති උත්කර්ෂවත් ලෙස සැමරීමට තීරණය කරයි.
එහි සංවිධාන කටයුතු වෙනුවෙන්ද දස දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්වන අතර එහි හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි සහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද මා හිමියන්ද ප්‍රමුඛව කටයුතු කරති.
එළඹෙන වෙසක් උත්සවය සැමරීම සඳහා බෞද්ධ කොඩියක් නිර්මාණය කරගත යුතු යයි කමිටුව තීරණය කරන අතර ඔවුන් සැමදෙනාගේම අදහස් යෝජනාවන්හි අවසන් ප්‍රතිඵලය ලෙස ෂඩ් වර්ණයෙන් සමන්විත බෞද්ධ කොඩිය 1885 පෙබරවාරි මස 14 වෙනි දින දී නිර්මාණය වේ.
එසේ නිර්මාණය වන බෞද්ධ කොඩිය 1885 අප්‍රේල් මස 28 වනදා අධි වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේදී කැලණිය රජ මහා විහාරය, පරම විඥානාර්ථ මූලස්ථාන ගොඩනැගිල්ල හුනුපිටිය ගංගාරාමය මාළිගා කන්ද විද්‍යෝදය පිරිවෙන සහ කොටහේන දීපදුත්තාරාමය යන ස්ථානයන්හි එසවෙන්නේ මේ ලක් දෙරණ වසාගත් අහස් කුස බුදුරැස් විහිදෙන ෂඩ් වර්ණයෙන් නැහැවෙමින්, එම සුවිශේෂී ඓතිහාසික අවස්ථාව සදානුස්මරණීය ලෙස සැමරීමට අවශ්‍ය පසුබිම සකස් කරමිනි. එය 1956 වසරේදී ලෝක බෞද්ධ ප්‍රජාවගේම බෞද්ධ කොඩිය බවට ද පත්වෙයි.
වෙසක් දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්වීමත්, එහි මහා ඵලයක් ලෙස බෞද්ධ කොඩිය නිර්මාණය වීමේත් මූල බීජය වැපිරෙන්නට ‘කොටහේනේ කැරැල්ල’ පාදක වේ.
එසේ නම් බෞද්ධ කොඩිය ප්‍රථම වරට ළෙලදුන් එක් පුණ්‍ය භූමියක් වූ කොටහේන දීපදුත්තමාරාමය සහ එම විහාරයේ විහාරාධිපතිත්වය උසුලමින් මේ කාර්යයේ පෙරටුගාමී මහා චරිතයක් වූ මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමියන්ද බෞද්ධ කොඩිය පුරාවෘත්තයේ සදාතනික සිහිවටනයන් ලෙස බෞද්ධ මහා වංශ කතාව වර්ණවත් කරලනු ඇත.
උපුටා ගැනිම :- Umanga Bandara