05/06/2026
බොදුනු සිත් පහන් කළ සාර්ලිස් මාස්ටර්
මෙරට බොදුනු චිත්‍ර කලාවට මහත් සේවයක් කළ කලාකරුවන් බොහෝ දෙනෙක් සිටිති. ඒ අතරින් සොයිලියස් මැන්දිස්ට හා එම්. සාර්ලිස්ට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. සොයිලියස් මැන්දිස් හා කැලණි විහාරය අතර බැඳීම යම් සේ ද සාර්ලිස් මාස්ටර් හා එදා පැරණි නිවෙස් සැරසූ සීවලී මහා රහතන් වහන්සේ, දේවාරාධනය, මහාභිනිෂ්ක්‍රමණය, කේශ ධාතු කැපීම, සිද්ධාර්ථ කුමරෝත්පත්තිය, සූවිසි විවරණය ආදී බෞද්ධ සිතුවම් හා කොළඹ මාළිගාකන්ද විහාරය ඉසිපතනාරාමය අශෝකාරාමය වේළුවනාරාමය යන විහාර සිතුවම්වලට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි.
1880 ජුනි මස 25 දින අම්බලන්ගොඩ ආඳාදොළ ගමේ උපන් මාලිගාවගේ සාර්ලිස් මහතාගේ පියා වූයේ මාලිගාවගේ නන්දෝරිස්ය. ඔහු දෛවඥයෙකි. ගමේ පන්සලේ වලිතර සරණංකර හිමිගෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා මාලිගාකන්ද පිරිවෙනට ඇතුළු විය. ළමා වියේ සිට චිත්‍ර කලාව පිළිබඳ ලැදියාවක් දැක්වීය. සාර්ලිස් මාස්ටර්ගේතෙළිතුඩින් ජීවය ලද බෞද්ධ විහාර ගණනාවකි. කොළඹ මාළිගාකන්ද විහාරය ඉසිපතනාරාමය අශෝකාරාමය වේළුවනාරාමය ඉන් කිහිපයකි. සාර්ලිස් මහතා විසින් එදා නිර්මාණය කරන ලද බෞද්ධ චිත්‍ර බෞද්ධයෝ මහත්සේ අගය කලහ. එකල බුදුනුවන්ගේ නිවාස අලංකාර වූයේ එම චිත්‍රවලිනි. සිඬාර්ථ කුමාරෝත්පත්තිය, මහමායා සිහිනය, දේවාරාධනාව, සිදුහත් කුමරු ගිහිගෙය හැරයාම වැනි සිතුවම් එකල සෑම බෞද්ධ නිවෙසකම දකින්නට තිබිණි.. ඇම්.සාර්ලිස් මහතා යුරෝපීය චිත්‍ර කලාවේ ආභාෂය ලැබූ කෙනෙකි. දීප්තිමත් වර්ණ භාවිතය, එළිය අදුර දැක්වීම, පර්යාවලෝකනය හා තාත්වික නිරූපනය ඔහුගේ චිත්‍රවල දක්නට ලැබේ.
සාර්ලිස් මාස්ටර් එවක කොළඹ මරදානේ ටවර්හෝල් රඟහලේ චිත්‍ර නිර්මාණය කළ චිත්‍රකලා විශාරදයෙක් වූ රිචඩ් හෙන්රිකස් මහතාගෙන් චිත්‍ර කලාව වැඩිදුරටත් හදාරා ඇති අතර එම ආභාෂය සාර්ලිස් මාස්ටර්ගේ චිත්‍රවලින් කැපී පෙනේ.
නවනාරි කුංජරය, පංචනාරි ඝටය, සප්ත නාරි පල්ලැක්කිය, වැනි අපූරු චිත්‍ර නිර්මාණ එතුමා අතින් නිර්මාණය විය.. එතුමා දක්ෂතම චිත්‍ර ශිල්පීන් රැසක්ම බිහි කළ අතර ජී.ඇස්. ප්‍රනාන්දු කාටුන් ශිල්පි ජී.ඇල් ගෞතමදාස ඇම්. නෝබට්, ලව්නේරිස් සහ ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් අමුණුගොඩ චිත්‍ර ශිල්පි ඩී.ඇස්. ජයවර්ධනයන්ද වේ.
බුදු පිළිම සහ ප්‍රතිමා නෙළීම සඳහා සාර්ලිස් තරුණයාට උපදෙස් ලැබී ඇත්තේ දොස්තර ගේබ්‍රියල් ගුණවර්ධන මහතාගෙනි. එවකට ජීවත් වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාල, දොස්තර සී.ඒ. හේවාවිතාරණද, සජීවීව නුදුටු කර්නල් ඕල්කට්තුමා, මියුසිස් හිඟින්ස්, ජෝන් ඇන්ඩර්සන් ආණ්ඩුකාරතුමාගේ ප්‍රතිමාද මාස්ටර් අතින් නිර්මාණය වී තිබේ.
1911 දී මාලිගාකන්ද විහාරයේ සිතුවම් කටයුතු කළ සාර්ලිස් මාස්ටර් ස්‍වදේශ මිත්‍රයා පත්‍රයේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා වශයෙන්ද කටයුතු කළේය.උම්මග්ග ජාතක පොතේ පිටකවරය මෙන්ම ඇතුළු පිටුවල චිත්‍ර නිර්මාණය කළ සාර්ලිස් මාස්ටර් ලංකාවේ ප්‍රථම චිත්‍රපටය වූ 1925 නිපදවන ලද මෙරට තිරගත නොවූ ‘රාජකීය වික්‍රමය හෙවත් ශාන්තා’ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයාද විය. ඒ අනුව ලංකාවේ ප්‍රථම චිත්‍රපට කලා අධ්‍යක්ෂවරයා වීමේ ගෞරවය හිමිවන්නේ සාර්ලිස් මාස්ටර්ටය. රජ කතාවක් පසුබිම් කොට තැනූ මේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූ රාජකුමාරයා ලෙස රඟපෑවේ කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුවකුව සිටි පසුව දේශපාලනඥයකු වූ ඇන්.ඇම්. පෙරේරා මහතාය. මේ චිත්‍රපටයට බම්බලපිටියේ වෙළඳපොළ සහ රේස් පිට්ටනිය අතර විශාල වත්තක් සහිත ගොඩනැගිල්ලක් තුළ සාර්ලිස් මාස්ටර් විසින් වීදි, කැලෑ, ගෙවල්, රාජ මාලිගා ආදිය සහිත පසුතල නිර්මාණ කර කර තිබිණි..
මෙතුමා අතින් සිතුවම් නිමවූ විහාර අතර අශෝකාරාමය ඉසිපතනාරාමය, වේළුවනාරාමය, පූජාරාමය, සුදර්ශනාරාමය, පාන්ති විහාරය, වරාගොඩ විහාරය, බෝධිමළු විහාරය, ඉඳුරුවේ විහාරය හා බෙම්මුල්ලේ ශ්‍රීවර්ධන මහ පොත්ගුල් විහාරයත් වේ. ඔහු එවකට තැපැල් මාර්ගික චිත්‍ර පාඨමාලා ඉගැන්වීමේ පාසලක්ද අරඹා තිබිණ.
සාර්ලිස් මාස්ටර් සිත්තරකු පමණක් නොව මූර්ති ශිල්පියකු, කවියකු, ගීත රචකයකු මෙන්ම හිටිවන කවි කීමේ සමතකු ලෙසද ප්‍රකට බව සෝමවීර චන්ද්‍රසිරි කවියා කියා තිබිණි. තුට්ටු දෙකක මූඩි කැවුමක් තරම් වූ මඳක් උඩුකුරු කොට බැඳුණු කුඩා කොණ්ඩය හා ඔහු හැඳ සිටි සුදු රෙද්දත්, ටුවිඩ් කෝට් එකත් දුටුවන්ට මතක බවද ඔහු සඳහන් කර තිබූ බව අප හිතවත් ඒ. ඩී. රන්ජිත් කුමාර වරක් සඳහන් කළේය.
සාර්ලිස් මාස්ටර් හාස්‍යයට, විනෝදයට කැමති චරිතයක් බව කියා ඇති සෝමවීර චන්ද්‍රසිරි කවියා 1960 නොවැම්බර් 20 සිළුමිණ පුවත් පතේ එයට නිදසුනක් සපයා ඇත.
සාර්ලිස් මාස්ටර්ගේ සීවලී පින්තූරය සමච්චලයට ලක් කළ එක හාමුදුරුනමක් ඔහු විහාරයේ චිත්‍ර අඳිමින් සිටියදී මෙසේ ඇසූහ.
මොකද මාස්ටර් තමුසෙගෙ සීවලී පින්තුරේ සීවලී හාමුදුරුවෝ නිතරම පාත්‍රයට අත දමාගෙන ඉන්නේ? ඒක මහා කෑදරකමක් නේද? විහිළුවට මෙන් ප්‍රශ්න කළහ.
ඒක නොවෙන්නම් හාමුදුරුවනේ, ඔබවහන්සේ වැඩවසන මේ විහාරෙ සැතපෙන බුදු හාමුදුරුවොත් කොච්චරවත් සැතපිලා ඉන්නේ නිදිමතේ වෙන්න ඇති. මාස්ටර් අහක බලාගෙනම පිළිතුරු දුන්නේය.
සාර්ලිස් මාස්ටර් කොතරම් මහා චිත්‍ර ශාස්ත්‍රඥයෙක් වූවද තම එකම පුතා වූ පසුව ‘ලංකාදීප’ පත්‍රයේ චිත්‍රකතා චිත්‍ර ශිල්පියකු ලෙස රටක් දිනූ චිත්‍ර ශිල්පී සුසිල් ප්‍රේමරත්නට චිත්‍ර ශිල්පය උගන්වා නැත. පුතා ගායකයකු වීමට දක්වන උනන්දුව දැක චිත්‍ර ශිල්පියකුට වඩා උඹ සිංදුකාරයෙක් වෙයන් යැයි පවසා ඇත. සාර්ලිස් මාස්ටර්ගේ ප්‍රධාන ගෝලයා වූයේ ජී.එස්. ප්‍රනාන්දු ය. සාර්ලිස් මාස්ටර් තම පුත්‍රයාට චිත්‍ර ශිල්පය ඉගැන්වූයේ නැති වුවද තම ගෝලයා වූ ජී. ඇස් ප්‍රනාන්දුගෙන් චිත්‍ර ඉගෙන ගන්නවාට විරෝධයක් දැක්වූයේ නැත මාස්ටර්ට අවශ්‍ය වූයේ තම පුත්‍රයා ගායකයකු කිරීමටය. සුසිල් විසින් එකල ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ සයිගාල් නම් භාරතීය ගායකයාගේ ගීතයක් මුමුනමින් චිත්‍ර අඳිනු පියා දැක්කේය. පුතා විසින් ගැයූ ඒ ගීයට පියාගේ සිත යොමු විය.
පුතා.... ඒ ගීතයට ආසද? මාස්ටර් ඇසීය. සුසිල් හිස සැලීය.
මම ඒ සින්දුවට සිංහල වචන දාල දෙන්නම් පියා කීවේය.
තම පුතා මිමිනූ කේ.සයිගාල්ගේ දෝ නෙයිනා මතවාරේ ගීතයට ශ්‍රී රදනා මනහාරී ධාරී සුන්දර පෝය දිනේ යන සිංහල වචන යොදා මොහොමඩ් ගවුස් මාස්ටර් ලවා සංගීතවත් කොට තැටිගත කිරීමට පියා කටයුතු කළේය. ඒ සුසිල්ගේ ගායන දිවියේ ආරම්භය විය. තම පුතා විසින් ගයන ගුවන් විදුලි ගීත ඇසූ මාස්ටර් වඩාත් සතුටට පත්ව ඇත්තේ සුසිල්, රුක්මණී දේවිය සමඟ සැඟවුණු පිළිතුර චිත්‍රපටයට ගැයූ ගීත ඇසීමෙන් යැයි ඒ. ඩී රන්ජිත් කුමාරයන් සඳහන් කර තිබේ.
පැරණි ග්‍රැමෆෝන් ගීත පිළිබඳ මනා දැනුමක් ඇති විද්වතකු වන අප හිතවත් ඉසුරු උදයංග කාරියවසම් මහතා මාහට සඳහන් කල පරිදි , එතුමාගේ පුතා වූ සුසිල් ප්‍රේමරත්න මහතා ග්‍රැමොෆෝන් තැටියකට මුලින්ම තැටිගත කළ ගීත තැටියේ එක පැත්තක ඇතුලත් වූ කේවල ගීතය “ ශ්‍රී රඳනා මනහාරි “ ගීතය ( එවකට අතිශය ජනප්‍රිය වූ සහ සුසිල් ගේ ප්‍රියතම ගායකයා වූ කුන්දන්ලාල් සෛගාල් විසින් 1944 දී “මයි සිස්ටර්” චිත්‍රපටයට ගැයූ “දෝ නෛනා මතවාලේ” ගීතයේ තනුවට ) ලියුවේ සාර්ලිස් මාස්ටර්, ඒ ඔහු ග්‍රැමෆෝන් තැටියකට රචනා කළ පළමු සහ අවසන් ගීතයයි.( තැටියේ අනෙක් පස සුසිල් සහ ලීලාවතී ගැයූ “ වීනා ශිල්පාචාරී බෝසත” ගීතයි) ගීතය තැටිගත කලේ 1946 දී පමණ, තැටිය වෙළෙඳපොළට ආවේ 1947 අග භාගයේ දී පමණ HMV තැටි අංක WN 44. යැයි සඳහන් කරයි.
තම ජීවිත කාලයම බෞද්ධ සිතුවම් කලාව වෙනුවෙන් කැප කළ ඇම්. සාර්ලිස් මාස්ටර් 1955 නොවැම්බර් 21 දින අභාවප්‍රාප්ත විය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා