22/01/2021
පොත් රසය සොයන දරුවෙක් ගොඩනගමු....
=========================
ගම නගරය කියලා වෙනසක් නැතිව තාක්ෂණික මෙවලම් හැම ගෙදරකම පිරිලා තියනවා... එහි හොද එහෙමත් නැත්නම් ධනාත්මක කරුණු ගොඩක් තිබුනත් එහි නරකම බලපෑම ඇතිවෙලා තියෙන්නේ අපේ දරු පරපුරට... දරුවෝ මේ මෙවලම් වලට කොයි තරම් ආකර්ෂණය වෙලාද කියනවා නම් ඔවුන් පොත පතෙන් විතරක් නෙවෙයි සෙල්ලමෙනුත් ඈත් වෙලා.... අම්මලා ගේ හිත් ඒ නිසාම කරදරෙන් පිරිලා... මමත් අම්මෙක්... දරුවෝ වෙනුවෙන් අම්මෙක් කොයිතරම් හිතින් වද වෙනවාද කියන එක මමත් අත්දැකීමෙන් දන්නවා. ඒ නිසාමයි කවදාවත්, මොන වැඩේ තිබ්බත් අම්මෙක් දරුවෙක්ගේ ඉගනගන්න දෙයකට උදව්වක් ඉල්ලුවාම මම අනික් හැමදේම නවත්තලා හරි එකට උදව් කරන්නේ.... ඇත්තෙන්ම Devsi the Book Talker පිටුවේ අරමුණ උනෙත් කියවීමෙන් ඈත් වෙන්න හදන ළමා පරපුර කියවිම වෙත යොමු කිරීම.
ඉතින් මට මේ ලිපිය ලියන්න හිතුනෙත් අම්මලා වැඩිදෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් නිසා ....
"පොත් කියවන්න ආසා දරුවෙක් ගොඩ නගා ගන්නේ කොහොමද? "
ඉතින්, මගේ ජිවිතේන් මා ඔබට කියන්නේ අත්දැකීමෙන් යතාර්ථයක් කරගත් ඒ සත්‍යයයි.
දරුවෙක් කියන්නේ මැටි ගුලියක්... ඒ මැටි ගුලියෙන් කොයි වගේ හැඩයක් ගොඩනගනවාද කියන එක තියෙන්නේ "අම්මා" අතේ. ඒ වගේම දරුවා හැම දෙයම ඉගන ගන්නේ එයාගේ වට පිට පරිසරයෙන්... ඒ නිසාම අම්මා නැණවත් වෙන්න ඕනේ දරුවාට හිතකර ඒ පරිසරය නිර්මාණය කරන්න.
ඉතින් අපි දැන් අරබමු පොත් කියවනා දරුවකු හදන්න.....
🌸ඔබ කවුරුත් දන්නවා ඉපදෙන්න ඉන්න දරුවට අම්මාව දැනෙනවා කියන එක.... ඒ කාලෙම මේ පොත් රස දරුවාට දැනෙන්න දෙන්න... ලස්සන පොත් අම්මා කියවන්න.... ලස්සන සින්දු අහන්න... බබාට ඇහෙන්න කතා කරන්න...
🌸දරුවා ඉපදුනාට පස්සේ අවුරුද්දක් විතර යනකන් ඔයාලට වැඩ වැඩි කාලයක්... ඒ කාලේ පුළුවන් තරම් දරුවා එක්ක කතා කරන්න... සින්දු කියන්න... නැළවිලි ගී කියන්න.... (සවන්දීම හා කථනය තමා ඉස්සෙල්ලම හදාගන්න ඕනේ) සවන්දීම තමා පොත් කියවන්න අඩිතාලම දාන්නේ...
ඒ වගේම ඔඩොක්කුවේ තනිව කෙලින් වාඩි කරවගන්න පුළුවන් වයසේදී එයාලව ඔඩොක්කුවේ තියන් ලස්සන පාට පිරුන කතන්දර පොත් වල රූප පෙන්න පෙන්න කතා කියන්න.... ඔයාගේ බාසාවෙන්. ඒ කියන්නේ පොතේ ලියලා තියන එක නෙවෙයි... ඒ කතාව ඔයාට කැමති වචන වලින් සරලව. එතැනදී කටහඩ හරිම වැදගත්.... කටහඩ වෙනස් කරමින් හඩ උස්පහත් කරමින් කතාව කියන්න. ඒ තමා දරුවන් පොත් කියවන්න කරන මුල්ම පෙලබවිම...
📗 මාස 12 සිට මාස 24 තෙක් දරුවන් සදහා ....
-------------------------------------
• දරුවන්ට පොත් පරිහරණය සදහා යොමු කලයුත්තේ මෙම වයසේදී ... මෙතැනදී දෙමව්පියන්ට මුහුණ දෙන්න සිදුවන ගැටලුව පොත් ඉරා දැමීම හා ඒ කොළ කැබලි දරුවා මුව තුලට ඔබා ගැනීම.
එයට අනගි පිළිතුරක් ලෙස බෝර්ඩ් බුක්ස් හදුන්වා දෙන්න පුළුවන්..ඝණකම බෝර්ඩ් වැනි පිටු සහිතව ලාබාල දරුවන් වෙනුවෙන්ම නිපදවන මෙම පොත් අලංකාර වර්ණ සහිත ව සකස් කර තිබෙනවා... කලකට ඉහත ආනයනික පොත් වලට පමණක් සිමාවුන මෙය පසුගිය වර්ෂ තුල ලංකාවේද නිෂ්පාදනය වනු දක්නට ලැබුනා... එම නිසා ඔබට වඩා පහසුවෙන් ඒවා සොයා ගත හැකි වේවි...
එම වර්ගයට අයත් පුංචි කතන්දර පොත් වගේම රුප පොත් ( වාහන, සතුන්, මල් වැනි රුප හදුන්වා දෙන පොත් ) ඔබේ දරුවා වෙනුවෙන් තෝරා ගන්න.
එම පොත් තරමක් මිලෙන් වැඩි නිසා එවැනි පොත් මිලදී ගන්න අපහසු දෙමවුපියන්ට පුළුවන් එතරම් මිලක් නැති, ඉරා දැමුවත් ගැටළුවක් නොමැති වර්ණවත් කුඩා කතා පොත් දරුවාට ලබාදෙන්න.
• සැමවිටම ප්‍රමාණයෙන් මදක් කුඩා දරුවාට හැසිරවීමට පහසු පොතක් ඔහු අතට පත් කරන්න වගබලා ගන්න... ඔහු ගේ ඇස සංවේදී වන වර්ණවත් රුප සහිත පොත් තෝරා දෙන්න... කතා සාරය එතරම් වැදගත් නොවන්නේ ඔහු අකුරු නොකියාවන බැවිනි.
• එමෙන්ම එම වයසේ දරුවන් හට ඔබ විසින් පොත් කියවනවිටත් පොතේ ලියා තිබෙන ලෙසම කියවන්න එපා... ඔහු තවමත් වචන අහුලාගන්න උත්සහ කරන නිසා සරල වාක්‍ය සහිතව රුපයට ගැලපෙන කතාවක් ඔබේ වචනයෙන් ඉදිරිපත් කරන්න....
• එසේම බව්වා.. කුක්කු වැනි වචන පාවිච්චි කරන්නත් එපා. නිවැරදි වචනය දරුවාට ඇහෙන්න සලස්සවන්න...
• මුල් අවදියේදී දරුවෙක්ගේ වාග් මාලාව පෝෂණය වන්නේ ගෙදර පරිසරය තුලින් ඔහුට ඇසෙන වචන වලින් බව ඔබ තරයේ මතක තබා ගන්න.
❌❌එපා ❌❌
• ඔබේ වැඩ කටයුතු කරගෙන එන තුරු රුපවාහිනිය ඉදිරියේ දරුවා තබා යන්න එපා. (රුපවාහිනිය නැරබීමට නොතේරෙන වයසේ සිටම නිශ්චිත වෙලාවක් ලබා දෙන්න. උදා- හවස 4-5 ..... ඒ වෙලාවටත් කුඩා දරුවන්ට සුදුසු චැනල් එකක් හෝ nursery rhymes වැනි දෙයක් පමණක් බලන්න ඉඩ හරින්න.)
• අඩන කිසි විටක නලවන්න මොබයිල් ෆෝන් එක දෙන්න එපා.
• ස්මාර්ට් ෆෝන් එකෙන් වීඩියෝ කාටුන් දරුවට දාලා දෙන්න එපා... ඒ විකිරණ දරුවන්ට ඉතා අහිතකරයි.
📗 මාස 24-මාස 36 වන දරුවාන් සදහා...
-------------------------------------
• රූප කතන්දර පොතක් එනම් රූප රාමු කීපයක් තුලින් දරුවාට කතන්දර යක් ගොතා කිවහැකි පොත්... ( පින්තුර කතා- එන්. රැඩ්ලොව් (රුසියන් පොත් අලෙවිහල් වල ඇත.)) ඒ පොතේ ඇති රුප රාමු හරහා කතන්දර ගොඩනගන්න දරුවාට ඉඩ දෙන්න... ඔබගේ අදහස් එකතු කරමින් සිතුවිලි පරාසය තව තවත් පුළුල් කරන්න.
• දහවල් අහාරයෙන් පසු ගෙවෙන කෙටි විවෙකයේදීත්, රාත්‍රී නින්දට යාමට පෙරත් දරුවාට ඇහෙන්න පොතක් කියාදීම ආරම්භ කිරීමට සුදුසුම වයස මෙයයි. පසු කාලයකදිත් දරුවන් පොත් කියවන්න තෝරා ගන්නේ මෙම කාලවේලාවන් නිසා නොතේරෙන වයසේදීම ඔබ විසින් ඔහුව එයට හුරු කරවන්න.
• ඉන්ග්‍රිසි භාශාවෙන් මේ සදහා විශේශයෙන්ම bedtime story books ඇති මුත් සිංහල භාශාවෙන් එසේ නොමැති නිසා බය දුක සිතිවිලි ඇති නොවන දරුවාගේ හිතට සතුට ගෙනෙන කතා සහිත පොත් මේ සදහා තෝරා ගන්න.
•මේ වචන අහුලන... වාග්මාලාව පුළුල් කරගන්න උත්සහ දරන වයස නිසා වචන හදුන්වා දිය හැකි රූප පොත් වැඩිපුර ලන් කරන්න...
• මුල්අකුරු කියවන වයස නිසා ඉන් පසුව සිංහල හා ඉන්ග්‍රිසි හෝඩිපොත් ලබාදෙන්න. එය තෝරා ගැනීමේදීත් රූප ගැන වඩා සැලකිලිමත් වෙන්න.
❌❌එපා ❌❌
• දරුවා ඉල්ලීම් දිනාගන්න සටන් කරන වයස... ඉතින් රුපවාහිනිය,,,, ස්මාර්ට් ෆෝන් එක ඉල්ලා හඩා වැටේවි... කිසි විටකත් තීරණය කල වේලාවෙන් පිටත ඔහු නලවා ගැනීමේ අරමුණින් ඒ දේවල් දෙන්න එපා.
සුපුරුදු වේලාවෙන් පිටත යම් අවස්ථාවකදී රුපවාහිනිය නැරබීමට දෙනවානම්.... ඔහුට ඊට හේතුව කියන්න. හැමවිටම එසේ නොකරන බව ඔහුට අවබෝද කරවන්න.( දරුවගේ හැඩිමට ඔබ බය බව කිසි විටක දැනෙන්න තියන්න එපා... ඇඩුවට කමක් නෑ... ඔබ කේන්ති නොගෙන සැර නොකර ඉවසීමෙන් නැ පුතේ ඒක කරන්න දෙන්න බෑ කියලා කියන්න.)
📙අවුරුදු 3 සම්පුර්ණ වූ දරුවන්ට
-------------------------------------
• දරුවන් තනිව කියවන්න හුරු කළහැකි වයසයි... ලංකාවේ අද්යාපන ක්‍රමය අනුව පාසලේ 1 වසර වනතෙක් දරුවන්ට කියවීම හා ලිවීම සුදුසු නැහැ... ඒ නිසා බොහෝ පෙර පාසල් වල අවසාන වසරේදී අකුරු හදුන්වාදුන්නත් කියවන්න ලියන්න උගන්වන්නේ නැහැ....
නමුත්, විදෙස් රටක අද්යාපන ක්‍රමයට අනුගත බොහෝ පෙර පාසල් වල අවුරුදු 3 සිට ඉංග්‍රීසි අකුරු හා එයට අදාළ ශබ්ද උගන්වමින් කියවීමට අනුබල ලබා දෙනවා සේම අවුරුදු 4 පිරෙන විට එම දරුවන් හොදින් ඉංග්‍රීසි භාෂාවෙන් පොත් කියවනවා.
මෙම ඉන්ග්ර්සි අකුරේ ශබ්දය හෙවත් හඩ අනුව කියවීම හුරු කරවන ක්‍රමය phonic method නම් වේ. එය දරුවන් ඉතා පහසුවෙන් ග්‍රහණය කරගන්නා නිසා ඉක්මනින් කියවීමට හුරුවෙනවා...
එසේ හුරු වූ දරුවන්ට කියවීමට දිරි දෙන පොත් කට්ටල දෙකක් නම් Pelangi-mac the rat පොත් පෙල හා lady bird- read it your self- level 0 යි. මෙය ඔබට පහසුවෙන් සොයා ගතහැකි පොත් කට්ටල දෙකකි. මෙයට අමතරව reading ladder, oxford reading tree, start reading වැනි ලොව පිළිගත් බොහෝ පොත් කට්ටලවල පළමු අදියරේ පොත් ඔබට දරුවා වෙනුවෙන් ලබා දිය හැකිය.
මෙම පොත් වල ඇත්තේ ලස්සන කතන්දර දරුවාගේ කියවන හැකියාව මත වර්ගීකරණය කර සරල පොතේ සිට ටිකෙන් ටික වැඩි වන ආකාරයටයි.
ඒ නිසා දරුවාගේ කියවීමේ හැකියාව වැඩි වන විට ඊලග අදියරේ පොත් තෝරා ගන්න ඔබට පුළුවන්.
• ඉංග්‍රීසි භාෂාව නිවැරදිව කියවන්න උගන්වන්න සුදුසුම පොත් කට්ටලය වන්නේ The Radiant Way-Primer, The Radiant Way-First Step, The Radiant Way-Second Step, යන පොත් තුනයි. බොහෝ පෙර පාසැල වල මෙය තුලින් කියවන්න උගන්වන අතර ඔබ එය තනිව පරිහරණය කරනවානම් එහි ඇති උපදෙස් හොදින් කියවා බලා ඒ අනුව දරුවාට කියවීමට උගන්වන්න. මෙයද ආරම්භ කල හැකිවන්නේ අවුරුදු 3 පිරුණු පසුවයි. .
• සිංහල පොත් තොරන විට අකුරු ලොකු කෙටි වාක්‍ය සහිත කතන්දර පොත් තොරාගන්න.
සිබිල් වෙත්තසින්හ මහත්මියගේ සහ ජානකී සුරියආරච්චි මෙනවියගේ පොත් අතරින් එවැනි පොත් සොයාගත හැකියි. නමින් නොදත් බොහෝ කතුවරුන් ගේ පොත් ද මම පොත් හලවල් තුලදී දකිනවා. ඉතින් ඒවා අතරින්ද මේ කාණ්ඩයට අයත් පොත් තෝරා ගන්න ඔබට පුළුවන්.
( සිංහල පොත් කියවන අය පොත මිලදී ගන්න පෙර හොදින් පොතේ කතාව කියවන්න අමතක කරන්න එපා.. මොකද රුප වලට මුලාවී ඔබ නිසරු පොතක් තෝරා ගන්න ඉඩ ඇති බැවින් )
• එසේම ඔබේ දරුවා වෙනුවෙන් කතන්දරයක් කියා දෙන වෙලාව අමතක නොකර දිනපතාම සිදු කරන්න... එහිදී යහපත් ගුනදර්ම නිසා ජයගත් පුංචි සත්තුන්ගේ චරිත, ගෙදර වැඩට උදව් කරන පුංචි චරිත වැනි උපදේශාත්මක සුරතල් කතන්දර තෝරා ගන්න...
❌❌එපා ❌❌
•ශ්‍රී ලංකාවේ නාලිකා තුල විකාශනය වන සිංහල හඩ කැවූ කාටුන් හා ළමා චිත්‍ර පට නැරබීමට දෙන්න පෙර දෙවරක් නොවෙයි දහස් වරක් හිතන්න.
එහි භාෂාව එතරම් හොද නැත්නම් හෝ....ඒ සිදුවීම් දරුවාගේ මනසට අහිතකර බලපෑම් ගෙනෙයි කියලා හිතනවා නම් කිසි විටකවත් බලන්න දෙන්න එපා.
•දරුවාට බලන්න නොදී දරුවාට පෙනෙන්න ඔබ මෙගා නාට්‍ය බලන්නත් එපා. ඔබ ආදර්ශයක් වෙන්න ඔබේ දරුවාට.
• ස්මාර්ට් ෆෝන් එකෙන් හෝ ලැප් ටොප් එකෙන් දරුවාට පෙනෙන ලෙස කිසි විටකත් ගේම්ස් ප්ලේ කරන්න එපා . ඔබගේ නෑදෑයෙක් හෝ මිතුරෙක් එය කරනු දැක ඔබෙන් දරුවා ප්‍රශ්න කලොත් ඔහුට වටහා දෙන්න එම උපකරණය තිබෙන්නේ එයට නොවන බවත්... ක්‍රීඩාව කල යුත්තේ සිරුරෙන් බවත්....
එසේම සැමවිටම ඔහුට කියන්න, ඔහු හෝ ඇය ඔබේ වටිනාම දේ නිසා විකිරණ වලින් ඔබ දරුවා රැකගන්න යි මේ දේවලින් හැකිතාක් ඈත් කරන්නේ කියා ...
📙අවුරුදු 5 සම්පුර්ණ වූ දරුවන්ට
-------------------------------------
• හැකි සැම විටම තනිව කියවන්න අනුබල දෙන්න... කුඩා කල පුරුදු කල පරිදි දහවල් විවේකයේදී දරුවා සමග පොතක් කියවන්න...ඔබගේ උකුලේ ඉදන් පොත කියවන්න ඔවුන් වඩා කැමතියි.
• සිංහල පොත් අකුරු ලොකු, සරල වාක්‍ය සහිත ලස්සන රුප සහිතව තෝරා දෙන්න.
• ඉංග්‍රීසි පොත් ඔහු කියවන මට්ටම අනුව සුප්‍රසිද්ධ කාටුන් චරිත හා සුරංගනා කතා වලින් සොයා දෙන්න....
• කතන්දර කියාදෙන වෙලාවට අපේ ජනකතා... ජාතක කතා වැනි දේවල් ද රසවත් ව කියාදෙන පොත් තෝරා ගන්න.
❌❌එපා ❌❌
බෙන් ටෙන්.... සුපර් මැන් වගේ සුපිරි වීරයන්ගේ පොත් කොයි තරම් ආසා උනත් දැන්ම දෙන්න එපා... ඉස්සෙල්ලා හදවතට සුන්දරත්වය විදගන්න ඉඩ දෙන්න
📘 6,7 වයසේ දරුවන්ට
-------------------------------------
• පාසල් යන දරුවා වෙනුවෙන් පොත් තෝරා ගන්න ඔබ ඔවුන්ගේ දැනුම වඩවන, විෂය ධාරාවෙන් එපිට අමතර දැනුම ලබාදෙන පොත් තෝරා ගන්න. පරිසරය ගැන, තාක්ෂනය ගැන, ලෝකය ගැන.. ඒ වයසේ දරුවන් වෙනුවෙන්ම සැකසුන බොහෝ සිංහල හා ඉංග්‍රීසි පොත් අද දකින්න තියෙනවා.. එ වැනි පොතක් දුටු විට දෙවරක් නොසිතා එය මිලදී ගන්න.
• කියවීම සදහා කතන්දර පොත් තෝරා ගන්නා විට ඔවුන්ට තනිව කියවා රසවිදිය හැකි ආකාරයේ අකුරු මදක් ලොකු, කෙටි වාක්‍ය සහිත පොත් තෝරා ගන්න.
• එසේම පිටු ගොඩක් ඇති පොත් තෝරා දෙන්න එපා. කොයවිම වෙහෙසකර ඇත දැකීමක් යයි සිතා ඔවුන් එය අත්හැර දමාවි.
• හැම විටම නිවැරදි අක්ෂරවින්‍යාසයක් සහිත පොත් තෝරා දෙන්න.. ජේ. බී දිසානායක මහතා, සිබිල් වෙත්තසිංහ මහත්මිය වැනි අයගේ පොත් වල ව්‍යාකරණ හා අකුරු ඉතා නිවැරදි නිසා එවැනි පොත් හා තවත් එවැනි වෙනත් කතුවරුන්ගේ නිවැරදි අකුරු සහිත පොත් තෝරාගන්න වගබලා ගන්න.
• ලෝක සාහිත්‍ය රස විදින්න ඕනේ දරුවාව හුරු කරවන්න මේ වයස ඉතා සුදුසුයි... ඉතින් සිහල කියවනා දරුවන්ටත් රුසියන්... චීන ළමා කතන්දර පොත් ලබා දෙන්න. ඒ වගේම මෑත කාලයේ ආරම්භ වුනු විදර්ශන ප්‍රකාශකයන්ගේ PROGRESS ප්‍රකාෂණ තුලින්ද උසස් රසවින්දනයක් ළමා මනසට ගෙනෙන පොත් තෝරා ගත හැකි වේ.
• මෙම වයසේ දරුවන්ට කියවීම හුරු කරවීමේ අරමුණින්ම සැකසුනු English පොත් බොහොමයක් විදෙස් පොත් අලෙවි කරන පොත් හලවල් වල තිබෙනවා.... ඔබට ඒ පිළිබද අවබෝදයක් නැත්නම් වෙළද සහයකයින්ගේ උදව් ලබාගන්න...
• ඔබේ දරුවා පොත් කියෙව්වත් තවමත් bedtime story වෙලාව අත්හැර දමන්න එපා... අපේ ඉතිහාස කතා... සුන්දර සුරංගනා කතා... ජනප්‍රවාද... අන්දරේ.... හත්පණ.... මහදනමුතා වගේ කතන්දර වලින් නිදියාගෙන විවේක ගන්න සුදානම් වෙන මනස සනසවන්න.... හැමවෙලාවෙම දරුවාගේ හිත තුල නිර්මාණශිලිත්වය ඇති කළහැකි සුන්දර කතන්දර පවසන්න.
📒 8 වයසේ දරුවන්ට
-------------------------------------
• දැන් ඔබට ඉන්නේ දුවෙක් උනත් පුතෙක් උනත් වීරත්වයට ඇලුම් කරන වයසයි... සිංහල උනත් ඉංග්‍රීසි උනත් පාලු දුපත, Treasure island වගේ පොත් කියවන්න දෙන්න. මඩොල් දුව... අබයහලුවෝ වගේ හරවත් පොත් දරුවාට ඇසුරු කරන්න දෙන්න.
• ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුනු comic books කියවන්නත් මේ වයසේ දරුවන් කැමතියි.
• ඉංග්‍රීසි භාෂාව කියවිය හැකි දරුවන් වෙනුවෙන් ළමා විශ්ව කෝෂ (children's encyclopedia) ඔවුන් කැමති මාතෘකා වලින් ලබා දෙන්න. අලංකාර රූප සහිත කෙටි විස්තර ඇති එම පොත් වලින් ඔබේ දරුවා ලබන දැනුම කියා නිමකළ නොහැකියි.
නමුත් කණගාටුවට කරුණ වන්නේ එහි සිංහල පොත් නොමැතිවීමයි.
• bedtime story වෙලාව ආකල්ප සංවර්ධනය සදහා යොදා ගන්න... ඔබ හිතෙන් ගෙතු කතා උනත් දරුවාට දැනෙන සේ කියන්න... ප්‍රස්තා පිරුළු වලට අදාළ කතා... ආප්තෝපදේශයේ කතා.... ජාතක කතා වලින් ඔබේ දරුවාගේ මනස පෝෂණය කරන්න
❌❌එපා ❌❌
• ඒ වයසට පෙර වයසට වඩා වැඩිහිටි පොත් කියවන්න ඉඩ දෙන්න එපා... උදාහරණයක් විදිහට හැරී පොටර් වගේ පොත් වයස 10 ට පෙර දෙන්න එපා...
• එකම වර්ගයේ පොත් ඒ කියන්නේ කතන්දර පොත් විතරක්ම කියවන්න දෙන්න එපා විෂය සමගාමී දැනුම ලබන, ලෝකයේ තොරතුරු ගෙනෙන පොත් කියවන්න දෙන්න
-------------------------------------
-------------------------------------
👉👉පොත් වලින් ඈතට දුවන හිත පොත් වලට ලං කරන්නේ කොහොමද ?
• පළමුව ඔබ ඔබේ විවේක වෙලාව ස්මාර්ට් ෆෝන් එකට රුපවාහිනියට යට කර ඇත්නම් එයින් වැළකෙන්න. දරුවන් ඔබෙන් ආදර්ශය ගන්න බැවින් ඔබ ආදර්ශවත් වන්න.
• දරුවාට ලස්සන කතන්දර මුල්ලක් එසේ නැත්නම් පොත් මුල්ලක් සාදා දෙන්න. අන්තර්ජාලයෙන් ඒ සදහා ආදර්ශ රූප සොයා ගන්න පුළුවන්....
තියන කතන්දර පොත් ටික හරි ලස්සනට එතන තියන්න... ඔබටත් නොදනිම කාලයත් එක්ක කරතන්දර මුල්ල පුංචි පුස්තකාලයක් වේවි
• දවල් කම වේලාවෙන් පසු හා නිදාගන්න පෙර ඔබත් පොතක් ගන්න...දරුවටත් පොතක් තෝරා ගන්න ලෙස කියන්න... දෙන්නාම එක්ක මද වෙලාවක් පොත් කියවන්න. තනිව කියවීමට නොහැකි දරුවෙක් නම් ඔබ දරුවා එක්ක පොත කියවන්න.
• පොත් කියවීමට අනුබල දෙන පුංචි ක්‍රියා කාරකම් කරන්න.
• ලස්සනට පොත් අසුරා ඇති පොත් හලකට මසකට වරක් වත් එක්ක යන්න... පොත් අතරේ ගැවසෙන්න ඉඩ දෙන්න... ඔබේ අනු දැනුම යටතේ පොතක් තෝරා ගන්න ඉඩ දෙන්න.
❌❌එපා ❌❌
• බලහත්කාරයෙන් පොත් වලට ලං කරන්න එපා...
• අන් අය සමග ඔබේ දරුවා පොත් කියවන්නේ නැතැයි දරුවා ඉදිරිපිට දොස් කියන්න එපා
• අර බලන්න අර ළමය කියෝනවා... මොකද ඔයාට බැරි... ලෙස කියන්න එපා
ඒ වෙනුවට බලන්න පුතේ එයා පොත් කියෝන නිසා කොයි තරම් දේවල් දන්නවද කියලා... ඒ අම්මට කොච්චර සතුටු ඇත්ද... මගේ පුතාටත් ඊට වඩා පුළුවන් කියලා මට හිතෙනවා... අපිත් කියෝමුද? වගේ දරුවාගේ හිතට දැනෙන විදිහකට එය කියන්න.
• දරුවා එක්ක පුස්තකාලයක සාමාජිකත්වය ලබා ගෙන එහි යන්න. එම ගමන ඔබ දෙදෙනා ටම සතුට ගෙනෙන ලෙස කතා කරමින්... විහිළු කරමින් සතුටෙන් යන්න. එවිට දරුවා කැමැත්තෙන් යන ගමන් අතරට එම ගමනත් එක වේවි
-------------------------------------
-------------------------------------
👉👉පොත් ටික කියවන්න පෙලබවිය හැකි ක්‍රියාකාරකම්
1. උපක්‍රමය
දරුවාගේ පොත් කියවීමට පහසු එකේ සිට පිළිවලින් අංක කර ලැයිස්තු ගත කරන්න... එහි පහත පොත්එඅංක වලට යටින් ඉරි අදින්න...
5,12,20,30,45,60 ... ඒ ඒ ඉරි වලට තෑග්ගක නම ලියන්න... ( දරුවා ලබා ගැනීමට කැමති දේවල් මිලෙන් මදක් අඩු එකේ සිට පොත් ගැන වැඩි වන විට වටිනාකම වැඩි වන සේ .... පොත් වලට අකමැති දරුවන්ට පොත් තෑගි ලියන්න එපා.... රස කෑම ක්, සෙල්ලම් බඩුවක්, යන්න කැමති තැනක් වගේ දේවල් .. මෙය සාලයේ සැමට පෙනෙන තැනක තබන්න.
හැමවිටම ඒ දෙස බලමින් අගයන්න... නිවසට එන අමුතන්ටත් එය පෙන්වා ඔබ දරුවාගේ කියවීම ගැන ආඩම්බර වෙන බව පවසමින් ඔහුව අගයන්න.
2 . උපක්‍රමය
සතියට කියවීමට පොත්ක10, 5 වගේ ගණනක් ඔබ නම් කරන්න. එය සදහන් කර දරුවාගේ අධ්‍යාපන වැඩ මේසයට ඉහලින් බිත්තියේ අලවන්න. කතන්දර වලට අදාලව එහි දේවල අසනා ප්‍රශ්න තරගයක් ඉරිදා වැනි නිවාඩු දිනකට යොදා ගන්න... පුංචි පුංචි රසකැවිලි තෑගි දිනාගන්නා ප්‍රශ්න වටයක් ඒ සතියට අදාලව කියවූ පොත් අතරින් අහන්න... පවුලේ හැමදෙනාම මේ වෙලාවට එකතු වෙනවානම් හොදයි...ඔහුව අගයන එකයි වැදගත්ම දේ
තවත් උපක්‍රම කිහිපයක් අපගේ පෙර ලිපි හා වීඩියෝ වල සදහන් කර ඇත ඒවාද අත්හද බලන්න.
----------------------------------------------------------------------
⭐️ කුඩා කල සිටම කාලසටහනකට අනුව වෙන්කරගත් වෙලාවක් පමණක් රුපවාහිනිය නරබන්න දෙන්න
⭐️ පරිගණක දැනුම දරුවන්ට අත්යාවශ්යි. නමුත් සතියට එක දිනක් පමණක් නිශ්චිත වෙලාවක් එය පරිහරණය කරන්න ඉඩ දෙන්න. හැබැයි ගේම්ස් නම් එපා... තමන්ට ලබා දෙන ඒ පැය කිහිපය ළමා කතන්දරයක් ළමා කාටුන් එකක් බලන්න යොදාගන්න කියන්න.
ඒ අතරට සතියේ වෙනත් දවසක ඔබත් සමග එක්වී දැනුම ලබන දේවල් පරිගණකය තුලින් බලන්න පුරුදු කරන්න....
අවුරුදු 8 වුනු පසුව හිමින් documents හදන්න presentation හදන්න පුරුදු කරන්න පටන් ගන්න
--------------------------------------------------------------------------
කවරයේ කියුව පරිදි අප දෙදෙනාම පරිගණක ක්ෂේත්‍රයේ නියැලුණු අය... නමුත් අපේ දරුවන් දෙදෙනාට ක්ෂණික ලෝකයේ අතරමන් වෙන්න අපි ඉඩ තිබ්බේ නෑ.... ඒ වගේම අපේ නිවසේ ඉන්නේ අපි 4 දෙනා විතරයි. ඒ නිසා මවක් ලෙස මට පැවරුණු වැඩ මහා ගොඩයි ... හැබැයි මම තදින්ම කාල කළමනාකරණය කරන කෙනෙක් නිසා දරුවෝ එක්ක ගත කරන්න ... දරුවන්ගේ කටයුතු හොයා බලන්න ඉඩ වෙන් කරගත්තා.... මගේ ලෝකයේ අංක 1 දරුවෝ... අපි දරුවන් නිදන තුරුම රුපවාහිනි බලන එක ඇත හැරියා... මොකද ඒ කාලයත් අපිට දරුවන් දෙදෙනා වෙනුවෙන් වෙන්කරන්න උන නිසා ... ඒ වගේම අපේ නිවසේ අධිවේගී අන්තර්ජාල පහසුකම් සහිතයි... එත් දරුවෝ දන්නවා එය අවශ්‍යතාවන්ට පමණක් පාවිච්චි කලයුතු බව... සරු දේ නිසරු දේ ඔවුන්ගේ හිත් වලට කාවැද්දු වේ නිරන්තරයෙන් ඔවුන් හා අපි කරන කතා හා කතන්දර තුලින්...
සැමවිටම ඔබ ආදර්ශමත් වෙන්න... ඔබේ මුළු ලොවම දරුවා බව ඔවුන්එ හැගෙන්ට දෙන්නන.. හදවතින්ම ඔවුන්ට දැනෙන්න ආදරය කරන්න... අගයන්න.. දිරි දෙන්න... .එයයි අපේ රහස.
ඉතින් මගේ දරුවන් සමග මම ගෙවන ජීවිතෙනුත් මම උගත් ළමා හා අද්යාපන මනෝවිද්‍යා කරුණු තුලිනුත් මා විසින්ම සකස් කරගත් සැලසුමකට පාරක් කපාගෙන දුර ගමනක් දරුවෝ එක්ක යනවා.... මග සොයනා ඔබ වෙනුවෙනුයි මේ කරුණු අරන් ආවේ.. ඉතින් ඉන් යමක් ඔබ ලබා ගත්තොත් මට සතුටක්...
මේ සම්බන්දව ඔබේ ගැටළු ඇතොත් විමසන්න... සහය වෙන්න හැකිනම් ඔබේ දරුවා වෙනුවෙන්, එය මට සතුටක්.
පොත් හොරුන්ට අත්බෙහෙතක්:
https://www.youtube.com/watch?v=rYu1ihww4ec
#ළමාකතන්දර #පොත්කථකයා #අත්බෙහෙතක් #පොත්හොරු