Maduwanwela Sri sarananda daham pasala

Maduwanwela Sri sarananda daham pasala maduwanwela Sri sarananda daham pasala

10/03/2026

⭕ සිදුහත් කුමරු උපදින වෙලාවේ පිරිනිවන් පෑ මාතාංග පසේ බුදුන්ගේ කථාව ...🌹🌹🌹

━━━━━━ ✺ •⊰🛞⊱• ✺ ━━━━━━

සියලු පසේ බුදුවරුන් අතර ඉතා ප්‍රකට උත්තමයෙකු වූ මාතංග පසේ බුදුන් වහන්සේ, එකල රජගහ නුවර නිසංසල ප්‍රදේශයක් ඇසුරු කරමින් වැඩ විසූහ. උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදී මහත් වූ ආධ්‍යාත්මික සුවයෙන් කාලය ගත කළ සේක.

අපගේ මහා බෝසතාණන් වහන්සේ (සිද්ධාර්ථ කුමාරයා ලෙස) මෙලොව උපත ලැබූ අවස්ථාවේදී, දෙවියන් මහත් ප්‍රීතියට පත්ව බෝසතුන්ට පුද පූජා පැවැත්වීමට පැමිණියහ. එම ගමනේදී මාතංග පසේ බුදුන් වහන්සේ දුටු දෙවිවරු, උන්වහන්සේ අසලට පැමිණ මෙසේ සැළ කළහ:

"නිදුකාණන් වහන්ස, ලෝකයට ආලෝකයක් වෙමින් උතුම් බුදුවරයෙකු මෙලොව පහළ වී ඇත."

නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි මාතංග පසේ බුදුන් වහන්සේට දෙවියන්ගේ ඒ හඬ ඇසුණි. ලොවට සම්මා සම්බුදුවරයෙකු පහළ වූ විට පසේ බුදුවරුන් ලොව වැඩ නොසිටිනා බැවින්, උන්වහන්සේ තමාගේ ජීවිත කාලය (ආයු සංස්කාරය) දෙස නුවණින් විමසා බැලූහ. එහිදී තමාගේ ආයු කාලය අවසන් වී ඇති බවත්, පිරිනිවන් පෑමට කාලය එළඹ ඇති බවත් උන්වහන්සේ වටහා ගත්හ.

පසේ බුදුවරුන් සාමාන්‍යයෙන් පිරිනිවන් පානු ලබන්නේ හිමාලය වනයේ පිහිටි 'මහා බෑවුම' නම් පර්වතය අසලදීය. මාතංග පසේ බුදුන් වහන්සේද තමා වැඩසිටි තැනින් අහසට පැන නැගී සෘද්ධි බලයෙන් හිමාලයේ එම පව්ව වෙත වැඩම කළහ.

එහිදී උන්වහන්සේ දුටුවේ පෙර පිරිනිවන් පෑ පසේ බුදුවරුන්ගේ ශාරීරික අවශේෂ (ඇටසැකිලි) එම ගල්තලාව මත ඇති බවයි. උන්වහන්සේ ඉතා ගෞරවයෙන් එම අවශේෂ පහළට දමා, ගල්තලාව පිරිසිදු කර එහි සන්සුන්ව වැඩ හිඳ ගත්හ.

තම ජීවිතයේ අවසාන මොහොතේදී, තමා ලැබූ ඒ උත්තරීතර විමුක්තිය සහ කෙලෙසුන් කෙරෙහි ඇති කළ ජයග්‍රහණය සිහිපත් කරමින් අසිරිමත් උදාන ගාථාවක් වදාරා, මාතංග පසේ බුදුන් වහන්සේ අනුපදිශේෂ නිබ්බාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළහ.

රාගඤ‍්ච දොසඤ‍්ච පහාය මොහං
සන්‍දාළයිත්‍වා සංයොජනානි,
අසන‍්තසං ජීවිතසඞ‍්ඛයම‍්හි
එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

රාගය ද ද්වේෂය ද මෝහය ද ප්‍රහීණ කොට දශසංයෝජනයන් ප්‍රදාලනය කොට (ච්‍යුතිචිත්තපරිභේද සඞ්ඛ්‍යාත) ජීවිතක්‍ෂයෙහි ත්‍රස්ත නො වනුයේ කගවෙහෙණ හඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.

🙏💜️🙏🧡🙏💛🙏💚🙏💙🙏💜️🙏🧡🙏💛🙏💚🙏💙
📔 ඛග‍්ගවිසාණ සුත්‍ර අටුවා විස්තරය.
▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
----------------------------------------------------------
#සිංහල #පසේබුදු

10/03/2026

මෛත්රී භාවනාවේ අනුසස්.

අංගුත්තරනිකායේ ඒකාදසක නිපාතයේ අනුස්සති වග්ගයේ සූත්රයක මෙත්තා චේතෝ විමුත්තියේ අනුසස් එකොළොසක් වදාරා ඇත්තේ ය. ඒ අනුසස් එකොළොස මෙසේ ය.

ගෙරවීම් දත් සැපීම් කෙඳිරීම් නන් දෙඩීම් ඒ මේ අත පෙරළීම්වලින් තොරව සුවසේ නින්දයාම
කෙඳිරීම් ඈනුම් ඇරීම් ඇඟමැලි කැඩීම් ආදියෙන් තොරව පද්මයක් පුබුදුවන්නාක් මෙන් සැපසේ නින්දෙන් අවදිවීම.
සර්පයන්ට සොරුන්ට ඇතුන්ට සතුරන්ට හසුවීම් ආදී භයානක සිහින නො පෙනීම.
දකින දකින සැමට ම ප්රියවීම,
මිනිසුන්ට පමණක් නොව දෙවියන්ට ද ප්රියවීම,
දෙවියන් විසින් ආදරයෙන් ආරක්ෂා කරනු ලැබීම,
ගින්නෙන් විෂෙන් හා ආයුධවලින් ද අනතුරු නො වීම,
වහා සිත සමාධි වීම,
මුහුණ පැහැපත් වී බැබලීම,
නොමුළාව කාලක්රියා කරන්නට ලැබීම,
ඒ ජාතියේ ම රහත් නූවහොත් බ්රහ්මලෝකයේ ඉපදීම.
මෙත්තා චේතෝ විමුක්තිය යනු මෛත්රීධ්යානය ය.

ඉහත කී අනුසස් ලැබෙන්නේ මෛත්රී භාවනාවෙන් ධ්යාන ලබා ගත් අයට ය. සාමාන්ය මෛත්රියෙන් ඒ අනුසස් ලැබෙන්නේ ස්වල්ප වශයෙනි. මඳ වේලාවක් මෛත්රී භාවනාව කොට ඉහත කී අනුසස් නොලැබෙන කල්හි කියන අනුසස් මෛත්රියෙන් නො ලැබේ යයි වරදවා නොසිතා ගත යුතු ය.

“ඒකම්පි චේ පාණමදුට්ඨ චිත්තෝ
මෙත්තායති කුසලෝ තේන හෝති,
සබ්බේව පාණේ මනසානුකම්පං
පහූතමරියෝ පකරෝති පුඤ්ඤං”
(ඉතිවුත්තක)
තේරුම:-

ඉදින් අදුෂ්ට වූ සිතින් එක් සත්ත්වයකුට වුව ද මෙත් වඩා ද එයින් බොහෝ කුසල් ඇත්තේ වේ. සකල සත්ත්වයින්ට ම මෛත්රිය වඩන්නා වූ ආර්ය්ය පුද්ගල තෙමේ ඉතා මහත් පිනක් කරයි.

රේරුකානේ චන්දවිමල ස්වාමීන්වහන්සේ විසින් රචිත “පොහොය දිනය ” ග්රන්ථය ඇසුරින්

ලිපිය කියවන්න : https://pitaka.lk/books/pohoya-dinaya/19-2.html

10/03/2026

ප්‍රාණාතිපාත අකුශලය

සත්ත්වයකුගේ ජීවිතය පැවතිය යුතු තරම් කල් පවත්නට නො දී යම්කිසි උපක්‍ර‍මයකින් අතරක දී විනාශ කිරීම ප්‍රාණාතිපාත නම් වේ. ප්‍රාණඝාතය යනු එයට ම නමෙකි. ප්‍රාණාතිපාත කර්මය අංග පසක් ඇත්තේ ය.

“පාණෝ හවෙ පාණසඤ්ඤි - වධකචිත්ත මුපක්කමෝ
තේන ජීවිතනාසෝ ච - අංගා පඤ්ච වධස්සිමේ”

(1) පණ ඇති සතකු වීම ය.
(2) පණ ඇති සතකු බව දැනීම ය
(3) මරණු කැමති සිත ය
(4) මරන්නට උපක්‍ර‍ම කිරීම ය
(5) ඒ උපක්‍ර‍මය නිසා මරණය සිදු වීමය යන මොහු ප්‍රාණඝාත කර්මයාගේ අංගයෝ ය. මේ පඤ්චාංගය සම්පූර්ණ නො වී, කෙනකු නිසා සත්ත්වයකුගේ මරණය සිදු වුව ද ඔහුට ප්‍රාණාතිපාත කර්මය සිදු නො වේ. යන එන කල්හි පයට පෑගී කුඩා සත්තු මැරෙති. ගොවිකම් කරන කල්හි ද බොහෝ සත්තු මැරෙති. මරනු කැමැත්තක් නැති නිසා ඒ මරණවලින් යාම් ඊම් කරන්නන්ට හා ගොවියන්ට ප්‍රාණාතිපාත අකුශලය නො වේ. සත්ත්වයෝ මැරෙත්වා යි සිතා පොළොව කෙටීම ගිනි තැබීම ආදිය කළ හොත් එසේ කළ තැනැත්තාට මල සතුන්ගේ ගණනින් ප්‍රාණාතිපාත කර්ම සිදු වේ.

යම්කිසි සත්ත්වයකු මරන අදහසින් වෙඩි තැබූ කල්හි ඒ සතාට නො වැදී බලාපොරොත්තු නො වූ අන් සතකුට වැදී මළේ ද, එයින් වෙඩි තැබූ තැනැත්තාට ප්‍රාණඝාත කර්මය නො වේ. ඒ සත්ත්වයා මරනු කැමැත්තක් නැති බැවිනි. මරනු පිණිස තැබූ වෙඩිල්ල වැදී සත්ත්වයා නො මළේ නම්, එයින් ද ප්‍රාණඝාත කර්මය සිදු නොවේ. වෙඩි වැදුණු සත්ත්වයා අවුරුදු ගණනකින් වුව ද, ඒ වෙඩි පහර නිසා ඒකාන්තයෙන් මැරෙන්නේ නම්, වෙඩි තැබූ තැනැත්තාට වෙඩි තැබූ කෙණෙහි ම, සත්ත්වයා මැරෙන්නට කලින් ම ප්‍රාණඝාත කර්මය සිදු වේ. මැරීමේ අදහසක් නැතිව රිදවනු පිණිස ගසන ලද පහරකින් සත්ත්වයකු එකෙණෙහි ම මිය ගියේ ද, පහර ගැසූවහුට ප්‍රාණඝාත කර්මය නො වේ. මරණ අදහස නැති බැවිනි. සුවපත් කරන අදහසින් කරන ශල්‍යකර්මාදි ක්‍රියාවකින් මිය ගියේ ද ප්‍රාණඝාත කර්මය නො වේ.

ප්‍රාණඝාතයේ ප්‍රයෝගයෝ

“සාහත්ථිකො ආණත්තිකෝ - නිස්සග්ගියො ච ථාවරො
විජ්ජාමයො ඉද්ධිමයො - පයොගා ඡබ්බිධා මතා”

1. ස්වාහස්තික ප්‍රයෝගය
2. ආඥා ප්‍රයෝගය
3. නිස්සර්ගික ප්‍රයෝගය
4. ස්ථාවර ප්‍රයෝගය
5. විද්‍යාමය ප්‍රයෝගය
6. සෘද්ධිමය ප්‍රයෝගය

යි ප්‍රාණාතිපාතය පිළිබඳ ප්‍රයෝග සයෙකි. ප්‍රයෝගය යනු සිදු කිරීමට කරන උත්සාහය ය.

1. මරනු සඳහා ගැසීම්, කැපීම්, ඇනීම් ආදි සියතින් ම කරන්නා වූ ව්‍යායාම ස්වාහස්තික ප්‍රයෝග නම් වේ.

2. සියතින් නො මරා අනෙකකු ලවා කරවීම ආඥා ප්‍රයෝග නම් වේ.

3. ගල් ගැසීම, පොලු දමා ගැසීම, ආයුධ දමා ගැසීම, වෙඩි තැබීම යනාදි වශයෙන් යම් කිසිවක් තමා ගේ අතින් මුදා සත්ත්වයකුගේ ශරීරයට යැවීම් වශයන් කරන්නා වූ උත්සාහය නිස්සර්ගික ප්‍රයෝග නම් වේ.

4. උගුල් ඇටවීම, හුල් සිටවා තැබීම, තුවක්කු බැඳ තැබීම, වලවල් සාරා තැබීම යනාදිය ස්ථාවර ප්‍රයෝග නම් වේ.

5. අංගම් පිඹීම, සූනියම් කිරීම, පිල්ලි යැවීම ආදි වූ විද්‍යාවකින් කරන්නා වූ උත්සාහය විද්‍යාමය ප්‍රයෝග නම් වේ.

ඇතැම් සත්ත්වයනට අනුන් නැසිය හැකි සෘද්ධි උත්පත්තියෙන් ම පිහිටා තිබේ. බොහෝ සෙයින් එබඳු සෘද්ධි ඇත්තෝ අමනුෂ්‍යයෝ ය. ඔවුනට තමාගේ ශරීරය දැක්වීමෙන් ද, බිය ගෙන දෙන වෙස් මවා දැක්වීමෙන් ද, බිය ගන්වා මනුෂ්‍යාදි සත්ත්වයන් මැරිය හැකිය. ඒ ඔවුන්ගේ සෘද්ධිය ය. එ බඳු සෘද්ධියකින් කරන්නා වූ උත්සාහය සෘද්ධිමය ප්‍රයෝග නම් වේ. මේ සයක් වූ ප්‍රයෝගයන් අතුරෙන් කවර ප්‍රයෝගයකින් වුව ද මැරුවහොත් ප්‍රාණඝාත පාපය සිදු වේ.

ආඥා ප්‍රයෝග ගැන දත යුතු කරුණු

“වත්ථු කාලො ච ඔකාසො - ආයුධං ඉරියාපථං
කිරියා විසෙසොතිමෙ - ඡ ආණත්ති නියාමකො”

වස්තුව ය, කාලය ය, අවකාශය ය, ආයුධය ය, ඉරියව්ව ය, ක්‍රියා විශේෂය ය යන මේ කරුණු සය ඇණවීම සම්බන්ධයෙන් දත යුතු ය.

වස්තුව යනු මරනු ලබන තැනැත්තා ය. මරන්නට අණ කරන්නා වූ තැනැත්තා යම් සත්ත්වයෙක් මරන්නට නියම කරන ලද්දේ නම්, අණ ලැබූ තැනැත්තා විසින් නො වරදවා ඒ සත්ත්වයා ම මැරුව හොත් අණ කළා වූ ද මැරුවා වූ ද දෙදෙනාට ම ප්‍රාණඝාත කර්මය වේ. නියමය ලැබූ තැනැත්තා වරදවා අන්‍ය සත්ත්වයකු මැරුවහොත් මැරූ තැනැත්තාට පමණක් ප්‍රාණඝාත කර්මය සිදු වේ. අණ කළ තැනැත්තා නිදහස් වේ.

කාලය යනු රාත්‍රී කාල දිවා කාලාදිය ය. අණ කරන තැනැත්තා රාත්‍රී කාලයේ දී මරන්නට අණ කල කල්හි මරණ තැනැත්තා කාලය වරදවා දවාලෙහි මැරුව හොත් කර්මය මැරූ තැනැත්තාට ම වේ. අණ කළ තැනැත්තා මිදේ. නියම කළ වේලාවේ ම මැරුව හොත් දෙදෙනාට ම පාපය වේ.

අවකාශය යනු මැරීම කරන තැනය. යම් තැනක සිටින සත්ත්වයකු මරන්නට අණ කළ කල්හි, අණ ලැබූ තැනැත්තා විසින් ඒ නියම කළ තැන ම සිටින සත්ත්වයා මැරුව හොත් දෙදෙනාට ම ප්‍රාණඝාත කර්මය වේ. වරදවා අන් තැනක සිටින සත්ත්වයකු මැරුව හොත් මැරූ තැනැත්තාට ම කර්මය හිමි වේ.

ආයුධය යනු මැරීම සඳහා පාවිච්චි කරන ආයුධය ය. අණ කරන්නා පිහියකින් ඇණ මරන්නට නියම කළ කල්හි, අණ ලැබූ තැනැත්තා එසේම කළ හොත් දෙදෙනාට ම කර්මය හිමි වේ. අන් ක්‍ර‍මයකින් මැරුවහොත් අණ කළ තැනැත්තා මිදේ.

ඉරියවුව යනු මරනු ලබන සත්ත්වයා සිටින ඉරියවුව ය. නිදා සිටිය දී මරන්නට නියම කරනු ලැබූ තැනැත්තා විසින් සත්ත්වයා ගමන් කරද්දී මැරුව හොත් අණ කළ තැනැත්තා මිදේ. නිදා සිටියදී ම මැරුව හොත් මරවන මරන දෙදෙනාට ම කර්මය හිමි වේ.

ක්‍රියා විශේෂය යනු මරනු සඳහා කරන උපක්‍ර‍මය යි. වෙඩි තබා මරන්නට අණ කළ කල්හි අණ ලැබූ තැනැත්තා එසේ ම කළ හොත් මරවන මරන දෙදෙනාට ම ප්‍රාණඝාත කර්මය වේ. අන් ක්‍ර‍මයකින් මැරුව හොත් මැරූ තැනැත්තා පමණක් කර්මයට හිමි වේ.

බෞද්ධයාගේ අත්පොත
අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් වහන්සේ

ධර්මදානය පිණිස බෙදාහරින්න🙏
නිවැරදිව ධර්මය දැනගන්න follow Us ධම්මපදය Dhammapadaya page

#බෞද්ධයාගේ_අත්පොත

මඩුවන්වෙල ශ්‍රී සාරානන්ද දහම් පාසලේ 2026 වර්ෂය සදහා නව ශිෂ්‍යනායක පත්වීම් සහ 2025 වර්ෂයේ ජයග්‍රාහකයින් හට ත්‍යාග ප්‍රධාන...
08/03/2026

මඩුවන්වෙල ශ්‍රී සාරානන්ද දහම් පාසලේ 2026 වර්ෂය සදහා නව ශිෂ්‍යනායක පත්වීම් සහ 2025 වර්ෂයේ ජයග්‍රාහකයින් හට ත්‍යාග ප්‍රධානෝත්සවය. විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රදේශයෙ සම්භාවනීය අමුත්තන්ගෙ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් අද දින පැවැත්විණි.සහාය දුන් සැමටත්, සියලු ගුරුබවතුන්ටත්,නව නායකයින්ටත් උතුම් තෙරුවන් සරණයි.❤️❤️❤️

16/01/2026
මඩුවන්වෙල තරුණ ඔබ සැමට කෙරෙන ගෞරවනීය ආරාධනයයි.
13/01/2026

මඩුවන්වෙල තරුණ ඔබ සැමට කෙරෙන ගෞරවනීය ආරාධනයයි.

27/12/2025

ගුණ ලැබෙන ලෙස පිරිත් කියයුතු අන්දම

පිරිතෙන් හොඳින් ම ගුණ ලැබෙන්නට නම් නොවරදවා හොඳින් පාඩම් කරගෙන පිරිත්වල අර්ථ (අදහස්) ද දැන ගෙන කිය යුතු ය. දැනට පිරිත් කියන අය අතර ඒවායේ තේරුම් දැන ගෙන කියන අය ගිහියන් අතර තබා පැවිද්දන් අතර ද ඉතා හිඟය. තේරුමක් නැති ව කියන පිරිතේ බලය අඩු ය. එහෙත් ගුණයක් නො ලැබෙන්නේ ද නොවේ. පිරිත නො වරදවා පාඩම් කරගෙන හරියට කියතහොත් එයින් ද තරමකට ගුණ ලැබේ. එසේ ගුණ ලැබෙන්නේ වචනවල හෙවත් ශබ්දවල යම්කිසි බලයක් ඇති නිසාය. වචනවල ඇති බලය එතරම් මහත් එකක් නොව සුළු බලයෙකි. වාර බොහෝ ගණනක් කීමෙන් ඒ බලය වැඩි වේ.

පිරිත්, සෙත් කවි, මන්ත්ර වාර බොහෝ ගණනක් කිය යුත්තේ ඒ නිසා ය. කියන වාර වැඩි වූ තරමට ගුණය වැඩි වේ. පිරිත් හඬෙහි බිය ගන්වනබලය, බිය දුරු කරන බලය, වශීකරන බලය හෙවත් අන්යයන්ගේ සිත් සතුටු කරන සිත් ඇදගන්නා බලය, ශරීරයේ වා පිත් සෙම් යන තුන්දොස් සමනය කිරීමේ බලය, ශරීරයේ සප්ත ධාතූන් වර්ධනය කිරීමේ බලය, නොයෙක් වේදනා නොයෙක් රෝග දුරු කිරීමේ බලය, සැප සම්පත් ලබාදීමේ බලය, අමනුෂ්යයන්ගෙන් සොරුන්ගෙන් සතුරන්නේ සර්පයන්ගෙන් ආරක්ෂා කිරීමේ බලය, ග්රහ අපල ඇස්වහ කටවහ ආදි දෝෂ දුරු වීමේ බලය යනාදි නොයෙක් බල ඇත්තේ ය.

මන්ත්රවලට ගෙන ඇති වචනවලට හොඳ නරක දෙක ම සිදු කිරීමේ බල ඇත්තේ ය. රෝග සුව කිරීමේ බල, රෝග ඇති කිරීමේ බල, සිත් සන්සුන් කිරීමේ බල, සිත් වික්ෂිප්ත කොට උමතු කිරීමේ බල, අමනුෂ්යයන් දුරු කිරීමේ බල, ඔවුන් ගෙන්වීමේ බල, සමගි වූවන් භේද කිරීමේ බල, භේද වූවන් සමගි කිරීමේ බල, ඉන්නා තැනින් පන්නා දැමීමේ බල, අන්ය්යන්ගේ සිත් ඇද ගන්න බල යනාදි අනේක ප්රකාර බල මන්ත්රවල, කවිවල ඇත්තේ ය.

පිරිත් අතුරෙන් කරණීය මෙත්ත සූත්රය බෙහෙවින් වශීකරණ බලය ඇති සූත්රයෙකි. එය බොහෝ කොට භාවිත කිරීමෙන් ජනප්රිය පුද්ගලයකු විය හැකි ය.

අන් සෑම පිරිත් සූත්රයකට වඩා ලස්සනට මිහිරියට කිය හැකි සූත්රය කරණීය මෙත්ත සූත්රය ය. එහි වඩාත් වශීකරණබලය ඇත්තේ ඒ නිසා ය. දික් අකුරු කෙටි අකුරු අල්ප අකුරු මහප්රාණ අකුරු වරදවන්නේ නැතිව වචන මැදින් බිඳින්නේ නැතිව එක් වචනයක් අග හෝ මුල් අකුරක් අන්වචනයකට එකතු නො කර වෘත්තය නොබිඳ නියම තාලයට මේ සූත්රය කියන්නට පුරුදු කරගත යුතු ය. මේ ගාථා, ගාථා තාලයට මිස මන්ත්ර කියන තාලයට වේගයෙන් නො කිය යුතු ය. එසේ නියම තාලයට නො වරදවා මේ සූත්රය කියතහොත් එහි අර්ථ නො තේරෙතත් ගුණ ලැබෙනු ඇත. සමහරවිට වරදවා කියන පිරිත්වලින් මන්ත්රවලින් දොස් ඇති වන්නට ද බැරි නැත. තේරුම් නො දැන වුවද පිරිත හරියට කියත හොත් ශබ්දයෙන් ලැබෙන ගුණය ලැබෙන්නේ ය.

රේරුකානේ චන්දවිමල ස්වාමීන්වහන්සේ විසින් රචිත “පොහොය දිනය ” ග්රන්ථය ඇසුරින්

ලිපිය කියවන්න : https://pitaka.lk/books/pohoya-dinaya/40.html

22/11/2025
22/11/2025

සම්මා සම්බුද්ධ බුදු ගුණය

"ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ පරෝපදේශ රහිතවම, ස්වයංභූ ඥානයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කළ හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක!". අප සැවොම දන්නා සම්මා සම්බුද්ධ බුදු ගුණය කැටි කර දක්වන පාඨය එයයි. එය ඉතා සරලව එසේ දැක්වුවත් විස්තර වශයෙන් විමසා බලන කළ එය ඉතා ගම්භීරය.

චතුරාර්ය සත්‍ය අතරින් පළමු වැන්න දුක්ඛ ආර්ය සත්‍යයයි. සියලුම ලෝක සත්වයා දුක්ඛ ආර්ය සත්‍යයට යටත්ය. අප සියලු දෙනාම මේ ජීවිතය තුළ නොයෙකුත් දුක් විඳ ඇත්තෙමු. එහෙත් අප තුළ පවතින දුක්ඛ සත්‍යය පිලිබද දැනුම ඉතා අල්පය. පෙර සංසාරයේ පටන් අප විදි දුක් අපට අමතක වී ඇති බැවින් අප දන්නා දුක්ඛ සත්‍යය මෙම ජීවිතය තුළ අප අත් දකින ලද දුක අනුව සීමා වේ. එහෙත් බුදු රජාණන් වහන්සේ අවබෝධ කර ගත් දුක්ඛ සත්‍යය සියලු සීමාවන් ඉක්මවා යයි. බුදු රජාණන් වහන්සේ පෙර සංසාරයේ තමා විදි දුක් පමණක් නොව සියලුම ලෝක සත්වයන් විදි දුක් ද, වර්තමානයේ ඔවුන් විදින්නා වූ දුක්ද අනාගතයේ ලෝක සත්වයාට විදින්නට සිදුවන දුක් ද, විවිධ වූ ලෝක වල උත්පත්තිය ලැබූ විට විදින්නට සිදු වන දුක් ද යනා දී වශයෙන් තුන් කල්හිම පවත්නා දුක්ඛ සත්‍යය අතැඹුලක් සේ පිරිසිද දත් සේක. ඕනෑම සත්වයෙකුගේ පූර්ව ආත්ම භාවයන් සහ ඉදිරි ආත්ම භාවයන් අවශ්‍ය තරමක් පිටුපසට හෝ ඉදිරියට බැලීමට බුදු රජාණන් වහන්සේට හැකිය. උන් වහන්සේ දේශනා කරන පරිදිම එක් සත්වයෙකු අතීත සංසාර ගමනේ හරකෙකු වශයෙන් පමණක් ඉපිද බෙල්ල කපා මරා දැමීමේදී පිටවී ගිය ලේ එකතු කලහොත් එය මහා සාගරයේ ජලයට වඩා වැඩිය. මේ අයුරින්ම කුකුලකු වී, එලුවෙකු වී හෝ ඌරෙකු වී බෙල්ල කපා මිය යාමේදී ගලා ගිය ලේ එකතු කල හොත් එය ද මහා සාගරයේ ජලයට වඩා වැඩිය. අතීත සංසාරයේදී එකම අම්මා කෙනෙකු මිය යාමේදී ඒ වෙනුවෙන් හැඩූ කදුලු එකතු කලහොත් එයද මහා සාගරයේ ජලය පරදයි. එක් කල්පයක් තුළ පමණක් එක් සත්වයෙකු ඉපදී ඇති ආත්ම භාවයන්හි ඇට සැකිලි එකට එකතු කර ගොඩ ගැසුවහොත් එය වේපුල්ල පර්වතයට වඩා විශාල වනු ඇත. තිරිසන් ලෝක, ප්‍රේත ලෝක සහ නිරයන්හි සත්වයන් විදින දුක් අති මහත්ය. මේ සියල්ලම බුදු රජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ප්‍රත්‍යක්ෂ අවබෝධයෙනි. බුදු රජාණන් වහන්සේගේ සර්වඥ්‍යතා ඥානයට මේ සියලු දේ විනිවිද දැකිය හැකිය. දුක්ඛ සත්‍යය සම්බන්ධයෙන් බුදු රජාණන් ගේ අවබෝධය අන් කිසිවෙක් හා සම නොවේ. තවත් බුදු කෙනෙකුන් සමග පමණක්ම සම වේ. එය විවිධ වූ ලෝකයන්හි පවතින දුක් විවිධ වූ පැතිකඩ ඔස්සේ දකින, සත්වයන්ගේ දුක් විනිවිද දකින, එක් එක් ආකාරයේ දුක් තව තවත් අතු පතර බෙදෙමින් තව තවත් පුලුල්ව දකින සියලු සීමාවන් ඉක්මවා යන ආකාරයේ අවබෝධයකි. දුක්ඛ සත්‍යය පිළිබද අපගේ අවබෝධය ඉදිකටු තුඩක් තරම් නම් බුදු රජාණන් වහන්සේගේ අවබෝධය මේ මහා විශ්වයටත් වඩා වැඩිය. එක් එක් පුද්ගලයාගේ ප්‍රඥ්‍යාව අනුව දුක්ඛ සත්‍යය වැටහෙන ප්‍රමාණය වෙනස් වේ. දුක්ඛ සත්‍යය වැටහීම යනු වචන වලට පමණක් සීමා නොවන හදවතින්ම ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කර ගන්නා දෙයකි. බුදු රජාණන් වහන්සේ දුක්ඛ ආර්ය සත්‍යය කිසිවෙකුගේ ගුරු උපදේශ රහිතවම ස්වකීය ඥානයෙන්ම අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක!

චතුරාර්ය සත්‍ය ධර්ම අතරින් දෙවැනි ආර්ය සත්‍යය වන දුක්ඛ සමුදය ආර්ය සත්‍යය එනම් දුක් ඇති වීමට හේතුව, බුදු රජාණන් වහන්සේ තමා විසින්ම අවබෝධ කර ගත් සේක. සියලුම බුදු රජාණන් වහන්සේලා සම්මා සම්බුද්ධත්වයට පත් වීමේදී පටිච්ච සමුප්පාද ධර්මයන් අනුලෝම, ප්‍රතිලෝම වශයෙන් අවබෝධ කර ගන්නා සේක. අවිජ්ජා පච්චයා සංකාරා, සංකාර පච්චයා විඤ්ඤාණං ආදී වශයෙන් ලෝක සත්වයාගේ නොනවතින සංසාර ගමන පෝෂණය කරන දොළොස් ආකාර පටිච්ච සමුප්පාද ධර්මය බුදු රජාණන් වහන්සේ අවබෝධ කර, අවිද්‍යාව මුලිනුපුටා දමා දුක්ඛ සමුදය ප්‍රහීන කල සේක. අවිද්‍යාවෙන් වැසුනු තණ්හාවෙන් බැදුනු ලෝක සත්වයා තුළ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ක්‍රියාත්මක වන ආකාරය බුදු රජාණන් වහන්සේට විෂය වන්නේය.

අනන්ත අප්‍රමාණ වූ ලෝක සත්වයා දෙස බලන බුදු රජාණන් වහන්සේට ඔවුන්ගේ චිත්ත සන්තානයන් තුළ කාම තණ්හා ඇති වන ආකාරයද, ඔවුන් තමාගේ පංචස්කන්ධ ධර්මයන් උපාදාන කර ගනිමින් භවය සකස් කර ගන්නා ආකාරයද ඇතැමෙක් රූපය උපාදානය කරන අයුරුද, තවත් අයෙක් වේදනාව උපාදානය කරන අයුරුද, තවත් අයෙක් විඤ්ඤාණය උපාදානය කරමින් ආත්ම දෘෂ්ඨියට යට වන අයුරුද මේ ආදී වශයෙන් විස්තරාත්මකව දුක්ඛ සමුදය ක්‍රියාත්මක වන ආකාරය දැකිය හැකිය. බුදු රජාණන් වහන්සේ දුක්ඛ සමුදය සම්පූර්ණයෙන්ම ප්‍රහානය කිරීමේදී සංයෝජන ධර්ම දුරු වූ ආකාරය, ක්ලේශ ධර්මයන් ක්ෂය වූ ආකාරය, රාග, ද්වේෂ, මෝහ දුරු වී නික්ලේශී, අති පාරිශුද්ධ වූ තත්වයට පත් වූ ආකාරය ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කර ගන්නා සේක. අනෙක් සත්වයන් එක් එක් මාර්ග ඵලයන්ට පත් වීමේදී එක් එක් සංයෝජන ධර්මයන් ක්ෂය වන ආකාරය බුදු රජාණන් වහන්සේට දැකිය හැකිය. මේ අයුරින් දුක්ඛ සමුදය ආර්ය සත්‍යය තමා විසින්ම අවබෝධ කළ ගත් බැවින් ද බුදු රජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වන සේක!

බුදු රජාණන් වහන්සේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය එනම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කල බැවින්ද සම්මා සම්බුද්ධ වන සේක. නිර්වාණ ධාතුව ප්‍රභේද වශයෙන් එනම් සෝවාන්, සකෘදාගමී, අනාගාමී, අරහත් ආදී වශයෙන්ද අනුපාදිසේස නිර්වාණය, සෝපාදිසේස නිර්වාණය ආදී වශයෙන්ද, අනෙක් පුද්ගලයන් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන මාර්ග ඵල සාක්ෂාත් කිරීමේදී එක් එක් පුද්ගලයා අත් දකින නිර්වාණ ධාතුව විස්තරාත්මක වශයෙන්ද බුදු රජාණන් වහන්සේට දැකිය හැකිය. මාර්ග ඵල ලාභීන් ඵල සමවත් වලට සමවැදීමේදී අත් දකින ශාන්ත, සිසිල්, නිවී ගිය ස්වභාවය වෙන් වෙන් ආකාරයෙන් විස්තරාත්මකව දැකීමට බුදු රජාණන් වහ්න්සේට හැකිය. මේ ආකාරයෙන් බුදු රජාණන් වහන්සේ සතු දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය පිලිබද දැනීම ඉතා පුලුල්ය. නිවන් අවබෝධ කල ඕනෑම පුද්ගලයෙක් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය සාක්ෂාත් කරන නමුත් එය කිසි සේත්ම බුදු රජාණන් වහන්සේ සතු දුක්ඛ ආර්ය සත්‍යය පිලිබද දැනුම හා සැසදීමටවත් තරම් නොවේ.

බුදු රජාණන් වහන්සේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය අවබෝධ කල බැවින්ද සම්මා සම්බුද්ධ වන සේක. සරලව කිවහොත් එය අප සැවොම දන්නා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. නිර්වාණය සාක්ෂාත් කිරීම සදහා සත්වයකු විසින් වැඩිය යුතු මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය බව බුදු රජාණන් වහන්සේ ස්වයංභූ ඥානයෙන් අවබෝධ කල සේක. එක් එක් සත්වයා තුල ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥ්ඥා යන ඉන්ද්‍රිය ධර්මයන් වැඩී ඇති ප්‍රමාණය එක් ක්ෂනයකින් දැක එක් එක් සත්වයා විසින් නිවන් අවබෝධය සදහා වැඩිය යුතු කමටහන වෙන් වෙන්ව විස්තරාත්මකව පැවසීමට බුදු රජාණන් වහන්සේට හැකිය. බුදු රජාණන් වහන්සේ මහා සමය සූත්‍රය දේශනා කරන අවස්ථාවේදී දස දහසක් සක්වලින් පැමිනි දිව්‍ය, බ්‍රහ්ම සමූහයා ඉතා සියුම් සිරුරු මවා ගනිමින් මුලු අහස් කුස අතුරු සිදුරු නොමැතිව පිරී සිටියේය. බුදු රජාණන් වහන්සේ එක ක්ෂනයකින් ඒ අසංඛ්‍ය ගණනින් වූ සත්ව සමූහයා ඔවුන්ගේ සිත් වල ස්වභාවය අනුව ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥ්ඥා ආදී වශයේන් වෙන් කර නිර්මිත බුදු වරුන් මවා එක් එක් සත්ව කොට්ඨාශයට ගැලපෙන ආකාරයෙන් දහම් දෙසා අසංඛ්‍ය ගණනක් සත්වයන් මාර්ග ඵල වල පිහිටවූ සේක. එය එසේ කල හැකි වූයේ බුදු රජාණන් වහන්සේ සතු විශ්මිත වූ දුක්ඛ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය ඥානය හේතුවෙනි.

සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා සමතිස් පෙරුම් දම් පුරා බුදු රජාණන් වහන්සේ අවබෝධ කර ගත් චතුරාර්ය සත්‍යය පිලිබද දැනුම අන් කිසිවෙක් හා සම නොවේ. තවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් හා පමණක්ම සම වේ. අපට කල හැක්කේ ඒ අප්‍රමාණ වූ සම්බුදු ගුණස්කන්ධය විස්තර වශයෙන් මෙනෙහි කරමින් බුදු රජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගැනීමය. ඔබ බුද්ධ රත්නය කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් උපදවා ගත්තද එය බොහෝ සැප පිනිස වන්නේය. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අපරිමිත වූ සම්මා සම්බුද්ධ බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා!!!
🙏🙏🙏

Address

Maduwanwela

Alerts

Be the first to know and let us send you an email when Maduwanwela Sri sarananda daham pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category