27/07/2022
ජපානයට යන්න කලින් අපි ජපානය ගැන ටිකක් දැනගමු
හිරු නැගෙන දේශය නමින් විරුදාවලී ගත් ජපානය, ජපන් ජාතිකයන් විසින් හදුන්වනු ලබන්නේ "නිප්පොන්/නිහොන්" යනුවෙනි. එය "නි" ඉර සහ "හොන්" මූලය යන වචන ද්විත්වයේ එකතුවෙන් සෑදුනකි. පැසිපික් සාගරයෙන් ද බටහිරින් ජපන් මුහුදු තීරයෙන් ද මායිම්ව මෙම සුන්දර දේශය නැගෙනහිර ආසියා මහද්වීපයේ දුන්නක හැඩයෙන් පිහිටා ඇත. ජපානය සතු මුළු බිම් ප්‍රමාණය වර්ග කි. මී. 377,835 කි.
ජපන් ඉතිහාසය දෙස විමසීමේදී ඒ පිලිබඳව සඳහන් වන කෘති 2 ක් හමුවේ. එනම් යසුමරෝ විසින් ලියන ලද "කොජිකි" සහ ජොකෝ- නෝ- ෂෝජි විසින් හා ඉනිපසි - නෝ- ගෝතෝ විසින් ලියන ලද "නිහොන්ෂෝකි" වංශ කථාය. මෙම මූලාශ්‍ර වලට අනුව ජපානය දේව නිර්මිතයකි. ජපන් ජනාවාස අවුරුදු 10,000 ට වඩා පැරණි බව පුරා විද්‍යාත්මකව තහවුරු කර ඇත.
ක්‍රි. ව. 4 වන සියවසේදී ජපානය යමතෝ ගෝත්‍රය යටතේ ප්‍රථම වරට ජාතියක් වශයෙන් ඒකාබද්ධ වී ඇත. යපතෝ ගෝත්‍රයට අයත් ජිම්මු අධිරාජ්‍යයා යටතේ නව රාජධානියක් බිහි විය. ඒ තෝමෝ වැඩවසම් පරපුරකි. 7 වන සියවසේ දී නරා යුගයේදී කෝතොකු අධිරාජ්‍යයා යටතේ රදළ ක්‍රමය අහෝසි කර රාජ්‍යයට හා ආණ්ඩුවට වග කියන ආණ්ඩුකාරවරුන් පත් කෙරිණි. 8 වන ශත වර්ෂය වන විට රාජ්‍ය මූලික සංකල්පය බිදී ගොස් රදළ බලය ඉස්මතු විය. (1193 - 1333) කුමකුරා යුගය, (1333 - 1392) නන් බොකුචෝ යුගය, (1392 - 1973) මුරෝමචි යුගය , (1467 - 1568) සෙන් ගොකු යුගය, (1573 -1603) අසුචි මොමායා යුගය සහ (1603 - 1867) එදෝ යන යුගයන් 6 ක් පුරා රදළයන් බලය පවත්වාගෙන ගොස් ඇත. තොකුගවා පාලන සමය වැදගත් වන්නේ බටහිර ලෝකයට පාර වසා දැමූ කාලයක් ලෙසිනි. ජපානයේ නූතන යුගය ලෙස (1868 -1912) මෙයිජි යුගයෙන් ආරම්භ වෙයි. රදළ බලය බිඳ හැර නැවත අධිරාජ්‍ය බලය ස්ථාපිත වූ මෙය ජපානයේ නව ශිෂ්ටාචාරයක් ආරම්භ කළේය. එනම් දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික සහ අධ්‍යාපනික යන අංශ වලින් ජපානය ලෝකයට විවෘත කිරීමෙනි. ජපන් මෙයිජි යුගය තුළ දැමූ අඩිතාලම ඔස්සේ "තයිසෝ" ((1912-1926) සහ "ෂෝවා" (1912-1989) යුගයන්වලින් ජපානය ඉදිරියට ගමන් කරද්දී 02 වන ලෝක සංග්‍රාමයට මුහුණ දුන් ජපානය ලැබූ පරාජය තුළින් ම ජයග්‍රහණය සොයා ගොස් අද පෙරදිග ලෝකයේ දියුණු රටක් බවට පත්ව සිටියි.
ස්වභාව ධර්මය පදනම් කොට ගෙන බිහිවුණු "ෂින්තො" ධර්මය ජපන් ජනතාවගේ මුල් ම ආගමයි. දේව විශ්වාසය මත පදනම් වූ මෙයට ක්‍රි. ව. 593-572 දී කොරියාවේ සිට පැමිණි බුදු දහම මිත්‍රශීලී වීමෙන් පොදු ජන ඇදහිල්ලක් ලෙස, බුදු දහම ස්ථාපිත විය. නිකාය කීපයකින් සමන්විත වූ බුදු දහමත්, ක්‍රිස්තියානි ආගමත්, සීමිත ඉස්ලාම් භක්තිකයන් ප්‍රමාණයකුත් ජපානයේ දක්නට ලැබේ.