29/10/2018
ගිය නොගිය හැම දරුවෙක්ම කියවන්න.......
වැදගත්.....
NCC වාර්ෂික චාරිකාවේ වැදගත් සාරාංශයක්
====================================
-ගාලු කොටුව-
ගාලු කොටුව යනු ගාල්ලේ පිහිටි
පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවකි.
පසුව එය 17 වන සියවසේදී
ලන්දේසීන් විසින් නවීකරණය කරන ලද අතර මේ වන විට එය අවුරුදු 400 ක අතීතයකට හිමිකම් කියයි.
වර්තමානයේ කොටුවට පිවිසීම සඳහා දොරටු දෙකක් භාවිතා කෙරේ.
රජයේ කාර්යාල ගොඩනැගිලි රැසක්ම කොටු පවුර ආශ්‍රිතව වර්තමානය දක්වා ම පවත්වගෙන යන ලදි. නමුදු, මේ වන විට ඒවා ටිකින් ටික විතැන් කරමින් පවතී.
ලෝක උරුමයක් ලෙස නම් කරන ලද ගාලු කොටුව සුන්දර මෙන්ම ඉපැරණි වස්තුවකි.
ගාලු කොටුව පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ගිනිකොණ මුහුදු තීරයේ ය .
එය 1588 දී පෘතුගීසින් විසින් නිමවූවකි.
පසුව ලන්දේසීන් විසින් එය 17 වන ශත වර්ෂයේදී පුළුල් ලෙස නවීකරණය කරන ලදී.
එය පෘතුගීසින් විසින් ලොවට දායාද කල ආශ්චර්යමත් නිමැවුමකි.
ගාලු කොටුව පෞරාණික වටිනාකමකින් යුක්ත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇත.
එය ලන්දේසි කොටුව හෝ ගාල්ලේ පවුර ලෙස හදුන්වයි.
ලන්දේසි කොටුව ප්‍රතිසංස්කරණය කරන ලද්දකි.
ගාලු කොටුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ශනයකට හිමිකම් කියන ප්‍රදේශයකි.
එය ශ්‍රී ලංකාවට ඇති වාස්තුවිද්‍යාත්මක සහ පුරාවිද්‍යාත්මක දායාදයකි.
-කඩුවෙල මහමෙවුනා අසපුව-
අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ කාරුණික මගපෙන්වීම යටතේ 2005 මාර්තු 25 වැනි දින ආරම්භ කරන ලද කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුව, නාගරික කාර්ය බහුලත්වය මැද දිවි ගෙවන සැදැහැවත් පුණ්‍යවන්තයන් හට තම ජීවිත පිනෙන් පුරවාගනු පිණිසත්, ජීවිතාවබෝධය පිණිස වන ආධ්‍යාත්මික මගපෙන්වීම ලබාගනු පිණිසත් සොදුරු තෝතැන්නකි.
කොළඹ – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයට (ලෝ ලෙවල් මාර්ගය) මුහුණලා ඇත් රූපයෙන් විසිතුරුව ඉදි වූ ඉතා මනරම් සිරි ගෞතම ද්වාර මණ්ඩපයෙන් මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපු පරිශ්‍රයට පිවිසෙන සැදැහැවතුන්ගේ සිත සනසන්නේ පරිවාර බෝධි රාජයාණන් වහන්සේලා පිරිවරාගෙන වැඩහිඳින අසිරිමත් සිරි ගෞතම බෝධීන් වහන්සේය.
දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ වන්දනාමානයන්ගෙන් නිරතුරුවම පිදුම් ලබන සිරි ගෞතම බෝධිරාජයාණන් වහන්සේ මුලු මහත් ප්‍රදේශයටම මහත් ආශීර්වාදයකි.
ගාන්ධාර දේශයේ (වර්තමාන පකිස්ථානයේ) පේෂාවර් නිම්නයේ නටබුන් වී හුදෙකලාව වැඩහුන් ධර්මාශෝක මහාධිරාජයා විසින් කරවූ ධම්මරාජික ස්ථූපයේ සිදුකළ කැණීම් වලින් හමු වූ සර්වඥ ධාතූන් වහන්සේ ඇතුලු සර්වඥ ධාතූන් වහන්සේලා සහ අරහන්ත ධාතූන් වහන්සේලා තැන්පත් කරමින් ඉදිකරන ලද ශ්වේත වර්ණයෙන් බබළන සිරි ගෞතම ධම්මරාජික මහා සෑ රජුන් නිසා බෝධිඤාණ අසපුවම මහත් පූජනීයත්වයට පත්වී තිබේ.
පිනැතියනට ලොව්තුරු සැප සලසමින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ශ්‍රී සද්ධර්මය ලොවට දායාද කරන
ශ්‍රදාධා රූපවාහිනියත් ශ්‍රද්ධා ගුවන් විදුලියත් පිහිටා ඇත්තේ මෙම පින්බිමේය.
2012 වර්ෂයේ බිනර පුන් පොහෝ දා ශ්‍රද්ධා රූපවාහිනිය සිය විකාශන කටයුතු ආරම්භ කළ අතර, ශ්‍රද්ධා ගුවන් විදුලිය 2013 වර්ෂයේ දුරුතු පුන් පොහෝ දා ආරම්භ කරන ලදී.
එමෙන්ම මහරගම පිළිකා රෝහල, ජයවර්ධනපුර මහ රෝහල, ජාතික අක්ෂි රෝහල, නාවික හමුදා මූලස්ථානය, මහර බන්ධනාගාරය ආදී ප්‍රධාන රාජ්‍යය ආයතනයන් හී මාසිකව සදහම් වැඩසටහන් පවත්වමින් සත්පුරුෂ සමාජයක් ගොඩනැඟීම උදෙසා මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවෙන් සිදු කෙරෙන සේවාව අති මහත්ය. මෙවන් උතුම් වූ ශාසනික හා සමාජීය සත්කාරයන් සමුදායක්ම සිදු කරන කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුව තුළ පින්වත් ස්වාමීන් වහන්සේලා 25 නමක් පමණ නේවාසිකව වැඩ සිටිති.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් දෙව් මිනිසුන්ගේ ජීවිත සදා සුවපත් වේවා…! යන්න මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ උදාරතර ප්‍රාර්ථනයයි.
-රූමස්සල-
ආතර් සී ක්ලාක් ඇතුළු විද්‍යාඥයන් කීවේ රෑමස්සල කියන්නේ උල්කාෂ්මයක් කඩා වැටීමෙන් නිර්මාණය වුණු භූමියක් කියලා...
මහා ගුප්ත සුන්දරත්වයකින් අනූන මේ නිහඬ බිම ගැන ජනකතා රාශියක් තියෙනවා.
රෑමස්සල කියන්නේ පුලතිසි කියන සෘෂිවරයාගේ ඔසු උයන කියලත් කියනවා.
කොහොම නමුත් අදටත් මෙහි සුදු හඳුන්, දුම්මැල්ල, ඇත් දෙමට, යක් කපු, කළු බෝවිටිය ආදී ඔසු වර්ග 150කට අධික සංඛ්යාවක් තියෙන බව තමා කියන්නේ.
රෑමස්සල කන්ද පසුබිම් කරගෙන තියෙන අනිත් ජනකතාව තමා රාම රාවණ යුද කතාව. රාම රාවණ යුද්ධයේදී රාම කුමාරයාගේ සහෝදරයා වෙච්ච ලක්ෂ්මන් කුමාරයාට හීසර පහරක් වැදී තුවාල වුණාලු.
ඔහු සුවපත් කරන්නනම් ඉන්දියාවේ හිමාලය වනයේ පමණක් ඇති ඔසුවක් අවශ්‍යය බව කීවලු. මේ ඔසුව රුගෙන ඒමේ වගකීම බාරගත්තේ හනුමලු.
හනුමා එයාගේ ශක්තියෙන් හිමාල වනයේ කොටසක් කරපින්නාගෙන ආවලු.
ඒ කරපින්නාගෙන ආව කොටස නැවත රුගෙන යාමේදී ඉතුරැවුණු කොටසක් රෑමස්සල ඔසු උයනක් බවට පත් කළ බවත් කියනවා.
ඒ වගේම හනුමා ඉතුරැ වූ කොටස රුගෙන යාමේදී එයාගේ ඇඟිලි අතරින් හිමාලයේ වන කොටසින් කෑල්ලක් කඩාවැටුණු බවත් එය උණා වැටුණා වී පසුව උණවටුන බවට පත්වූ බවත් කියවෙනවා. තවත් ජන කතාවක් කියන්නේ රාවණ රජු සීතාව රෑමස්සල ගල් ගුහාවක සඟවා තබා එහි දොරටුව විශාල ගල් පතුරකින් වසා තැබුවාලු.
රාමා යුද ජයග්‍රහණයෙන් පසු සීතාව බේරාගනිද්දී ඒ ගල් පියන උස්සා විසිකර දැමුවාලු...
රාමා ඉස්සූ ගල පසුව රෑමස්සල වුණාලු.
ඔන්න ඔහොම තමා රෑමස්සල ලස්සන නිල් කන්ද ගැන ජනකතා ගෙතී තියෙන්නේ.
මීටර් 120ක් උස රෑමස්සල කන්ද හෙක්ටයාර් 170ක පමණ භූමි ප්‍රමාණයක විහිදී පැතිරී තියෙනවා. 2003දී රෑමස්සල අභයභූමියක් බවට පත්කළා.
මේ නිදහස් වන අරණේ සමනල විශේෂ 84ක් කුරැලු විශේෂ 70ක් පමණ ඉන්න බව තමයි පරිසරවේදීන් කියන්නේ.
ඒ වගේම විවිධ පරිසර පද්ධති රැසක සංයෝජනයක් ලෙස හඳුන්වන්න පුළුවන් රෑමස්සල.
තෙත් කලාපය ,වියලි කලාපය සහ ශුෂ්ක කලාපය කියන කලාප තුනටම අයත් ශාක විශේෂයන්ගෙන් සැදුම් ලද්දක්.
රෑමස්සල යන අතරේ යන්න පුළුවන් තවත් දෙස් විදෙස් ආකර්ෂණයට ලක් වූ ඉසව්වක් තමා JUNGLE BEACH කියන්නේ. ලෝකයේ හොඳම මුහුදු තීර 12න් එකක් වන මෙහි සීයට හැත්තෑවක් පමණ සජීවී කොරල්පර තියෙනවා.
ඒ නිසාම මේ ඉසව්ව සමුද්‍ර ජීව විද්‍යාඥයන්ගේ අවධානයට ලක්වෙච්ච ඉසව්වක්.
ඇති තරම් නාන්නත් JUNGLE BEACH කියාපුම තැනක්.
කැලේ මැද්දෙන් වැටී ඇති පාරක් දිගේ බැහැගෙන බැහැගෙන යද්දි JUNGLE BEACH නමින් හඳුන්වන මේ ලස්සන මුහුදු තීරය හමුවෙනවා.
-ජපන් සාම වෛත්‍යය-
ජපානයේ නිප්පොන්සන් ම්යෝහෝජි මහ නිකායේ ආධාර සහිතව, උණවටුන සාම චෛත්‍යයය 2004 වසරේ පෙබරවාරි 23 වන දින සාදා නිම කොට තිබේ.
කොළඹ සිට කතරගම දක්වා වූ ගමන් මගෙහි
ගාල්ල නගරය පසුකොට මිනිත්තු 10 ක පමණ දුරින් විහාරය පිහිටා තිබෙයි.
විහාර චෛත්‍යයෙහි පිටත පරිවාරව සිව් දිශාමුඛව බුද්ධ ප්‍රථිමා සතරක් තැම්පත් කොට තිබෙන අතර, ඉන් බෝධිසත්වයින්ගේ උප්පත්තියත්, බුද්ධත්වයත් හා බුදුන් වහන්සේගේ පරිණිර්වාණයත් නිරූපණය කොට තිබෙයි.