14/06/2025
ශ්‍රි ලංකා කණිෂ්ඨ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ, උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව(HNDA) සඳහා 2025 අධ්‍යයන වර්ෂයට අදාල ශිෂ්‍ය ලියාපදිංචි කටයුතු සම්බන්ධව නිරවද්‍ය උපදෙස් හා සියලුම තොරතුරු SLIATE මහනුවර, ගණකාධිකරණ අධ්‍යයන අංශයේ, ශිෂ්‍ය පදනම් ඒකකය හරහා පහත සඳහන් ලෙස නිල වශයෙන් දැනුම්දෙනු ලැබේ (ගැසට් නිවේදනයට අනුව).
මෙහි සඳහන් සමස්ථයන්, HNDA මහනුවර පූර්ණ කාලීන(Full Time) පාඨමාලාව සඳහා පමණක් අදාල වේ.
HNDA මහනුවර පාඨමාලාව සඳහා අයදුම්කිරීමට අපේක්ෂිත අයදුම්කරුවන්, අ.පො.ස. උසස් පෙළ සඳහා පෙනී සිටි වසර, 2024 හෝ ඊට ආසන්න වසර දෙකක් වියයුතු අතර, පූර්ණ කාලීන(Full Time) වසර 4ක පාඨමාලාව සඳහා අපේක්ෂිත අයදුම්කරුවන් හට, වාණිජ විෂය ධාරාව යටතේ ගිණුම්කරණ විෂය ද සහිතව අ.පො.ස (උ/පෙළ) විභාගය එකවර සමත්වී තිබීම සහ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි(English Language) සහ ගණිතය ( Maths) සඳහා සාමාන්‍ය සාමාර්ථ(Ordinary Passes/S) ලබාගෙන තිබිය යුතුය.
එමෙන්ම මීට අදාලව පූර්ණ කාලීනව(Full Time) HNDA මහනුවර අයදුම් කරන අයදුම්කරුවන් වයස අවුරුදු 23ට නොවැඩි විය යුතුය.
HNDA පාඨමාලාව තුළ පළමු හා දෙවන වසරවලට අදාල සියලුම දේශන කටයුතු පවත්වනු ලබන්නේ සතියේ දිනවල අතර, තෙවන හා සිව්වන වසරවලට අදාල දේශන කටයුතු සති අන්තයේ පවත්වනු ලැබේ. එමෙන්ම පාඨමාලාව සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍යයෙකු ඇතුළත් කරගත් පසු, වෙනත් කිසිදු උසස් තාක්ෂණ ආයතනයකට(ATI) මාරුවීම සිදුකළ නොහැක. එමෙන්ම පාඨමාලාව සඳහා ලියාපදිංචි වී ඇති සිසුන් හට කිසිදු ගාස්තුවකින් තොරව අදාළ ආයතනය විසින් ලබා දී ඇති ලියාපදිංචි කිරීමේ අවසන් දිනයේ සිට දින 60 කට පෙර ලියාපදිංචිය අවලංගු කිරීමට අවසර දෙනු ලබන අතර, දින 60 කට පසු ලියාපදිංචිය අවලංගු කරන සිසුන්ගෙන් ලියාපදිංචි වූ දින සිට මසකට රු.5000ක් අය කරනු ලැබේ.
HNDA මහනුවර සඳහා අයදුම්කිරීම සඳහා අදාල Z අගය පරාසය තුළ සිටින අයදුම්කරුවන්, ගැසට් පත්‍රයේ සඳහන් පරිදි Z අගය මත පදනම් වූ කාණ්ඩය යටතේ HNDA පාඨමාලාව සඳහා අයදුම්කළ යුතුය.
අයදුම් කළයුතු ආකාරය ;
01. පළමුව, එක් අයදුම්පතකට රු.1000ක් ලෙස පහත සඳහන් බැංකු ගිණුම් විස්තර අනුව ගෙවා, බැංකු ගෙවීම් කුවිතාන්සියෙහි පැහැදිලි ඡායාරූපයක් ලබාගන්න.
(ගිණුම් අංකය - SLIATE Account
025-2-001-1-3397613
මහජන බැංකුව, හයිඩ් පාර්ක් ශාඛාව, කොළඹ 02)
02. දෙවනුව මෙම යොමුවෙන් මාර්ගගත අයදුම්පත(Online Application) වෙත පිවිසෙන්න(http://apply.sliate.ac.lk), එහි පූර්ණ කාලීන බව (Full Time), Z අගය සහ උසස් පෙළ අංශය ලෙස වාණිජ්‍යය(Commerce) ලෙස තෝරන්න.
ඉන්පසු ලැබෙන පාඨමාලාවන් අතුරෙන් HNDA පාඨමාලාව තෝරන්න(මෙහිදී පාඨමාලාව හැදෑරීම සඳහා ආයතන 3ක් තේරිය හැකිය). ඔබ මහනුවර HNDA පාඨමාලාව සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන බැවින්, පලමු තේරීම ලෙස, මහනුවර උසස් තාක්ෂණ ආයතනය තෝරන්න. මෙහිදී 1.0 හෝ ඊට ඉහළ Z අගයන් සහිත අයදුම්කරුවන් පළමු තේරීමට පමණක් මහනුවර HNDA පාඨමාලාව යෙදීම ප්‍රමාණවත් වන අතර, අප සඳහන් කළ Z අගයන් හා අදාල අනෙකුත් සුදුසුකම් මට්ටම් සඳහා අවම හෝ ආසන්න සුදුසුකම් මට්ටමක් සහිත අයදුම්කරුවන්, පළමු තේරීමේදී මහනුවර HNDA පාඨමාලාව සහ ඊට අමතරව දෙවන හා තෙවන තේරීම් ලෙස අනෙකුත් අයදුම් කළ හැකි Z අගය මත පදනම් වන පාඨමාලාවන් කිහිපයක් පිළිවෙළින් යොමු කිරීම උචිතය. මෙහිදී ඉහත සඳහන් සම්පූර්ණ සුදුසුකම් සපුරාලිය හැකි අයදුම්කරුවන් උසස් තාක්ෂණ ආයතනය තේරීමේදී, මහනුවර උසස් තාක්ෂණ ආයතනය තේරීම ප්‍රමාණවත් වන අතර, අවම හා ආසන්න සුදුසුකම් මට්ටම් වල පසුවන්නන් හට සුදුසු උසස් තාක්ෂණ ආයතන දෙකක් හෝ තුනක් යොමු කළ හැක.
ලියාපදිංචි ක්‍රියාවලිය තුළ ප්‍රධාන වශයෙන්, Z අගය සහ පවත්වන තරග විභාගයෙන් ලබාගත් ලකුණු මට්ටම් මත පදනම් වූ කාණ්ඩ දෙකක් යටතේ පාඨමාලා ප්‍රධාන වශයෙන් වර්ගීකරණය කර ඇති අතර, මෙහිදී HNDA පාඨමාලාව Z අගය පදනම් කරගත් කාණ්ඩයට අදාල වන අතර, ඔබ සුදුසුකම් සහිත අයදුම්කරුවකු නම් (අදාල Z අගය පරාසය තුළ සිටින), පළමු තේරීම ලෙස මහනුවර HNDA පාඨමාලාව පමණක් යොමු කිරීම ප්‍රමාණවත් වේ. එමෙන්ම, එක් කාණ්ඩයකට රු.1000 බැගින් ගෙවීමට සිදු වේ.
03. ඉන්පසු ඔබේ පෞද්ගලික විස්තර, සම්බන්ධ කරගැනීමේ විස්තර, අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සහ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල යොමු කළ හැක.
ඉන්පසු බැංකු ලදු පතෙහි සඳහන් මුදල් හුවමාරු අංකය (TRN අංකය) මාර්ගගත අයදුම්පතෙහි සඳහන් කර එහි ඡායාරූපයක් Upload කළ යුතුය.
ඉන්පසු, විශේෂයෙන් නිවැරැදි ලෙස ඔබගේ තොරතුරු පිරික්සීමෙන් අනතුරුව තහවුරු(Submit) කිරීම කළ හැක. මේ සමඟම ඔබ සඳහන් කළ ඔබගේ දුරකතන අංකයට සහ ඔබගේ විද්‍යුත් ලිපිනයට(E-mail) අදාල විස්තරයන් යොමු කරනු ලැබේ.
04. ඉන්පසු සඳහන් තොරතුරු අනුව, අයදුම්පත භාගත කර(Download), එහි පිටපතක් ලබාගෙන(Printout) එහි ඔබේ අත්සනින් සහතික කර තබාගන්න.
05. ඔබ මාර්ගගත අයදුම්පත යොමුකල පසු සති දෙකක් ඇතුලත පද්ධතිය හරහා තෝරාගත් උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා සදහා ලියපදිංචිය තහවුරු කරන ලෙස විද්‍යුත් තැපෑලෙන්/ කෙටි පණිවිඩ SMS මගින් දැනුම් දෙනු ලැබේ. ලබා දී ඇති කාලසීමාව තුල මාර්ගගත පද්ධතිය හරහා ලියපදිංචිය තහවුරු නිකරන්නෙ නම්, ඔහු/ ඇය කිසිදු පාඨමාලාවක් සදහා නැවත සලකා නොලබන අතර ඔවුන්ගේ අයදුම්පත අවලංගු වේ.
අයදුම් කළ හැකි අවසන් දිනය ජූලි මස 14 වන දින දක්වා දීර්ඝ කර ඇත.
ශ්‍රී ලංකා කණිෂ්ඨ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ මාර්ගගත ලියාපදිංචි (Online Registration) ක්‍රමය භාවිතා කිරීමේදී යම් අපැහැදිලි අවස්ථාවන් ඇතිවිය හැකි බැවින් ගැසට් නිවේදනය අධ්‍යයනය කිරීම හෝ HNDA මහනුවර, ශිෂ්‍ය පදනම් ඒකකයෙහි නිල ඊ-මේල් ලිපිනය([email protected]) හරහා සෘජුවම විමසීම සිදු කළ හැකිය.
ශිෂ්‍ය පදනම් ඒකකය,
ගණකාධිකරණ අධ්‍යයන අංශය,
SLIATE මහනුවර.
HNDA නුවර අපි