09/04/2026
ආයුබෝවන් හැමෝටම!
ඔබත් රටට සේවය කරමින්, අනුන්ට උපකාර කරමින්, ගෞරවනීය වෘත්තියක නිරත වීමට සිහින දකිනවා නම් හෙද වෘත්තිය ඔබට කදිම අවස්ථාවක්. මම ශ්‍රී ලංකා රජයේ හෙදියක් විදිහට, මේ වෘත්තියට සම්බන්ධ වෙන්න කැමති අයට අවශ්‍ය මූලික තොරතුරු ටිකක් දෙන්නයි මේ ලිපිය ලියන්නේ.
මූලික සුදුසුකම්:
රජයේ හෙද පුහුණු පාසල් වලට ඇතුළත් වෙන්න නම් මූලික සුදුසුකම් කිහිපයක් සපුරාගන්න ඕනේ.
අ.පො.ස. සාමාන්‍ය පෙළ (G.C.E. O/L): එකවර හෝ උපරිම විභාග වාර දෙකකදී සිංහල, ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයයන්ට සාමාර්ථයක් සහිතව විභාගය සමත් විය යුතුයි.
අ.පො.ස. උසස් පෙළ (G.C.E. A/L): (ජීව විද්‍යා/සංයුක්ත ගණිතය/කෘෂි විද්‍යාව) ඕනෑම විෂය ධාරාවකින් අවම වශයෙන් විෂයයන් තුනක් සඳහා සාමාර්ථ ලබා තිබිය යුතුයි. විද්‍යා විෂය ධාරාව (ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව) හැදෑරූ අයට වැඩි අවස්ථාවක් ලැබෙනවා.
වයස: අයදුම්පත් කැඳවන දිනට අවම වශයෙන් වයස අවුරුදු 18 සම්පූර්ණ වී තිබිය යුතු අතර, අවුරුදු 28ට අඩු විය යුතුයි.
උස: අඩි 4 අඟල් 10ක් හෝ ඊට වැඩි විය යුතුයි.
අවිවාහක විය යුතුයි.
පුහුණුවට ඇතුළත් වන ආකාරය:
රජයේ හෙද පුහුණු පාසල් සඳහා ශිෂ්‍ය හෙදියන් බඳවාගන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින්. මේ සඳහා නිවේදන රජයේ ගැසට් පත්‍රයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළ කරනවා. ඔබට පුහුණුව සඳහා අයදුම්පතක් ඉදිරිපත් කිරීමට මේ නිවේදන ගැන අවධානයෙන් සිටිය යුතුයි.
තෝරාගත් අයදුම්කරුවන්ට සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවීම් ලැබෙනවා.
පුහුණු කාලය සහ වෘත්තිය:
මෙය සාමාන්‍යයෙන් අවුරුදු 3ක පුහුණු පාඨමාලාවක්. මේ කාලය තුළ ඔබට හෙද සේවය සඳහා අවශ්‍ය න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබා දෙනවා. පුහුණුව සාර්ථකව අවසන් කළ පසු, ඔබ ශ්‍රී ලංකා හෙද සභාවේ ලියාපදිංචි වී, රජයේ හෙද නිලධාරියෙකු ලෙස පත්වීම් ලබනවා.
හෙද වෘත්තිය කියන්නේ හුදෙක් රැකියාවක් නෙවෙයි, එය කැපවීම සහ කරුණාව අවශ්‍ය වන සේවයක්. මේ ගමනට එකතු වීමට බලාපොරොත්තු වන ඔබ සියලු දෙනාටම සුබ පතනවා!
-ස්තූතියි.-