17/08/2025
ලෝක වාර්තාවක් වෙනුවෙන් ලොව පුරා යන ගමනේදී ලංකාවට එන ලාබාල ගුවන් නියමුවා, බයිරන් වොලර්!
Aviation Voice 24: ලොව පුරා පියාසර කරන ලාබාලතම සහාය ගුවන්නියමුවා වීමේ වැඩසටහනේ කොටසක් ලෙස පහළොස් හැවිරිදි ඕස්ට්‍රේලියානු ගුවන් නියමු බයිරන් වොලර් (Byron Waller) අද, 2025 අගෝස්තු 17 වන දින පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ක්‍රෝන්ස් රෝගයෙන් (Crohn's disease) පෙළෙන 15 හැවිරිදි බයිරන්, ඒම රෝගය පිළිබඳ ගෝලීය දැනුවත්භාවය ඇති කිරීම අරමුණු කර ගනිමින් පිහිටුවන ලද ටීන් පයිලට් ඩවුන් අන්ඩර් ව්‍යාපාරය (Teen Pilot Down Under) යටතේ මෙම අපූරු ගමන ආරම්භ කර ඇත.
පසුගිය අගෝස්තු 15 වන දින, ඔහු ක්‍රිස්මස් දූපතේ සිට සිංගප්පූරුව දක්වා ඔහුගේ ජාත්‍යන්තර ගමනේ අභියෝගාත්මක පළමු අදියර නිම කර ඇත.
ඔහුගේ ඊළඟ අභියෝගය නාවික සැතපුම් 1,500 ක්, විවෘත ජලය හරහා පැය 11 ක ගුවන් ගමනකින් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණීමයි.
මෙම ගුවන් ගමන දේශීයව ප්‍රිමියර් ඒවියේෂන් (Premier Aviation Sri Lanka) ශ්‍රී ලංකාව විසින් කළමනාකරණය කරනු ලබන අතර, ඔවුන් තරුණ ගුවන් නියමුවෙකුට උණුසුම් පිළිගැනීමක් ලබා දීමට කටයුතු සූදානම් කර ඇත. බයිරන්ගේ මෙම ගුවන් ගමන, ගුවන් සේවාවේ විශේෂ සංධිස්ථානයක් පමණක් නොව ධෛර්යය සහ අධිෂ්ඨානය සඳහා කදිම නිදසුනකි.
අද දිනයේ (17) රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ IAAC ගුවන් පුහුණු පාසල එක්ව 15 හැවිරිදි බයිරන් පිළිගැනීමට වෙනුවෙන් චාම් උත්සවයක් ද සූදානම් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. (Aviation Voice 24)