18/08/2026
වේවැල්කැටිය පුවරු ලිපිය
ශිලා ලේඛන යනු ඉතිහාසය මෙන්ම පැරණි සමාජය අවබෝධ කරගැනීමට උපකාරී වන මහඟු මූලාශ්‍රයකි. ශ්‍රී ලංකාව ශිලා ලේඛන අතින් පොහොසත් රටකි. ගල්පොත සෙල්ලිපිය, තෝනිගල සෙල්ලිපිය, පෙරිමියන්කුලම ගිරිලිපිය ආදිය ලංකාවේ මෙතෙක් හමුවී ඇති ප්‍රකට ශිලා ලේඛන වේ. ටැම්ලිපි, පර්වත ලිපි, පුවරු ලිපි, ගිරි ලිපි ආදී විවිධාකාර ශිලා ලේඛන ඒ අතර වේ.
හතර වන මහින්ද රජු (ක්‍රි.ව.1026-1042) විසින් පිහිටුවන ලද වේවැල්කැටිය සෙල් ලිපිය මෙරට පැරණි නීති පද්ධතිය ක්‍රියාත්මක වූ ආකාරය සහ ලක්දිව පැරණි දඬුවම් ක්‍රම පිළිබඳ විමසන විට වේවැල්කැටිය පුවරු ලිපිය අතිශයින් වැදගත් වේ. මිනී මැරීම්, සොරකම් කිරීම් වැනි අපරාධ පමණක් නොව හරකුන්, එළුවන් වැනි සතුන් මැරූ හා සොරකම් කළ අයට පවා මෙහි දඬුවම් පණවා තිබේ. ගව ඝාතනය වැනි කරුණු තහනම්ව පැවත ඇත.
මෙම ශිලා ලේඛනය අඩි 06ක් උස අඩි 01 ½ක් පමණ පළල ශිලාමය පුවරුවක පේළි 45ක් වන සේ කොටා ඇත. සෙල් ලිපියට අනූව මනුෂ්‍ය ඝාතනය හා මීමුන්, එළුවන්, හරක් ආදී සතුන් ඝාතනය කිරීමද, පුද්ගලයෙකු මරණ දණ්‌ඩනයට ලක් කළ හැකි වරදක් බව සඳහන් කොට තිබේ. මිනී මැරීමට දඬුවම එල්ලා මැරීම බව මෙහි දක්වා ඇත. තවද අන්සතු හරක් හොරකම් කොට අසුවුවහොත් සොරාගත් සතුන් සොයා අයිතිකරුවන්ට බාර දී හරකුන්ගේ ශරීරවල තබා තිබෙන මුද්‍රාව රත් කොට සොරකම් කළ අයගේ නළලේ තැබිය යුතු බවද දක්වා ඇත.
මෙම ලිපියේ සිංහල අනුවාදය
ශ්‍රී සිරිබර ක්ෂත්‍රීය කුලයට කොතක් වූ ඔක්කාකවංශ රාජ පරම්පරාවෙන් බට ක්ෂත්‍රීය වෘෂභයන්ට (රජුන්ට) අග මෙහෙසුන් වූ ලක්දිව පොළව නැමැති යෞවනිය පරම්පරාවෙන් හිමි වූ සිරිසඟබෝ අභා මහ රජහු පුත් සිරිසඟබෝ අභය් මහ රජතුමා ස්වේතච්ඡත්‍ර නංවා නමවන අවුරුද්දෙහි උඳුවප් මස පෙර අඩ මස් හි දසවක දවස්උත්තර පාර්ශ්වයෙහි අම්ගම්කුලියෙහි නිබිනිලමෙහි දෙමළ විහාරයෙහි පමුණුගම් අතුරින් දස ගම් වලට එක එක නායකයන් ද කිබිගම සඳහා ඇපදුන් නායකයන් හා ගෘහපතියන් ද මෙහි ඇතුළත් තාක් තැන කිසිවෙකු මිනීමැරුමක් කළහොත් බරපතළ අපරාධ කොට සොරකම් කළහොත් ඒ ගැන කරුණු ස්ථීර වශයෙන් දැනගත යුතු යි. ඉන්පසු ඔවුන් රැස් වී හිඳ දසගම ඇත්තන්ගෙන් ඒ ගැන විමසිය යුතුයි. සාක්ෂි පසුව ඉදිරිපත් කළ හැකි සේ ලියා තබා මිනීමරුවන්ට මරණීය දණ්ඩනය නියම කළ යුතු යි.
බලය පා සොරකම් කළවුන් ගත් දේපළ අතුරින් (නිශ්චිතව) හඳුනාගත හැකි දේ අයිතිකරුවන්ට නැවත ලබා දී (සොරුන්) එල්ලා මැරිය යුතුයි. වැරදිකරුවන් අල්ලාගත නොහැකි උනොත් දසගම ඇත්තන් විසින් දවස් හතලිස් පහකින් සොයාගෙන වරද නියම කළ යුතු යි.
සොයා නොගතහොත් රන් කලං එක්සිය විසි පහක් රජගෙට දිය යුතුයි. මිනී නොමරා බරපතල තුවාල සිදු කළහොත් ජීවිත වන්දි වශයෙන් වරදකරුගෙන් රන් කළං පන්සීයයක් ගත යුතුයි. මීට අසමත් වුවහොත් ගෘහදණ්ඩ ගත යුතුයි. ගෘහදණ්ඩ නැතිනම් වරදකරුවන්ගේ අත් පා කපා දැමීමෙන් දඬුවම් කළ යුතුයි. දඩද කුඩා දඩද පෙර සිරිතට අනුව ගම් ලද්දන් හා පමුණු ලද්දන් විසින් බෙදාගත යුතුයි.
මී හරකුන් ගෙරිගොන් එළුවන් මැරූ අයට මරණීය දණ්ඩනය නියම කළ යුතුයි. නොමරා සොරාගෙන ගිය අය නිශ්චිත වශයෙන් දැනගෙන ඔවුන් එකිනෙකාගේ කිහිල්ලේ සංඥා ලකුණු ඔබා හැරිය යුතුයි. වරද නිශ්චිත වශයෙන් දැනගත නොහැකි නම් ඔවුන්ට තැලිය යුතුයි. බැහැරින් අරගෙන විත් විකුණන මී හරකුන් ගෙරිගොන් එළුවන් හැඳිනගෙන ඇප ගෙන මිලට ගත යුතුයි. සතුන්ගේ සන් ලකුණු මැකුව අය රත් කළ යකඩ මිරිවැඩි සඟල් මත සිටුවිය යුතු යි.
මෙම දසගම වාසීන් තම තමන්ගේ කුළයට අදාල සිරිත් විරිත් මගුල් අවමගුල් අවස්ථා වලදී පිළිපැදිය යුතුයි. මෙම දසගමට වැවස්ථා කළ තැනින් එකෙක ඇවිත් සිටි වැසියෙක් ඇත. ඔහු හැඳිනගෙන ඇප ගෙන හිඳීමට ඉඩ දිය යුතු ය. නුසුදුසු දෙයක් කර ආ කෙනෙක් ඇත්නම් ඇප ගත්තත් පළමුවෙන් ඔහු සිටි ගම ඇත්තන්ට චෝදනා කිරීමට ඉඩ හැරිය යුතුය. මේ දසගම් ඇත්තන් මෙකී තාක් දැයින් ඉක්ම ක්‍රියා කළහොත් අවුරුදු පතා රටේ නඩු විසඳීමට සංචාරකව පැමිණෙන රාජකීය නිළධාරීන් විසින්......
මහ රජතුමා නියෝග කළෙන් එක්තැන්සමියෙන් ආ රාජසභාවේ හිඳිනා ගොළුන්ගමු රන්සාඉම් කැඩෑසෙනුද මෙයිකාප්පර් (අංගාරක්ෂක) කුබුර්ගමු ලොකුහිද (ලොකොහිද) තැතිරි අග්බොහිද කුඩසලා අරයන් ඇතුළුව මෙතුවාක් ස්වාමිදරුවන් විසින් මෙම ව්‍යවස්ථා තබන ලදි.
වඩාත් ප්‍රකට පුවරු ලිපියට බටහිර දිශාවෙන් ඊට නුදුරින් තවත් පුවරු ලිපියක් දක්නට ලැබේ. එය මෙතෙක් හඳුනාගෙන නොමැත. එහි විශේෂත්වය වන්නේ ප්‍රකට පුවරු ලිපිය මෙන් එක් පැත්තක පමණක් නොව එහි සිව් දිශාවේම අක්ෂර සටහන් වී තිබීමයි. එමෙන්ම එක් පැත්තක වෘත්තාකාර සලකුණක් සහ තවත් හඳුනාගත නොහැකි සලකුණු කිහිපයක් ද එහි දක්නට ලැබේ.
මේ පිළිබදව ඔබ දන්නා වෙනත් කරුණු සහ අදහස් කමෙන්ට් කරන්න.
ඉතිහාසය දැනගන්න History - ඉතිහාසය ෆේස්බුක් පිටුව සමග එකතුවන්න.
#වේවැල්කැටියපුවරුලිපිය