Sampath Niroshan

Sampath Niroshan

Share

Education is not a ticket to gain liberation from sweaty,dirty hands.It is a practice to make suffer

07/11/2022

"පුතා..පුතා උඹලට අද තේරෙන්නෙ නෑ අපි සැර කරන්නේ ඇයි කියලා...අද දෙකක් කෑවම අපි හතුරො වගේ පෙනේවි..පුලුවන් නම් අපිට බැන බැනත් යයි.කවදාම හරි දවසක අපි මේ කරන දේ වටින කාලෙක ආයෙත් අපිව හොයාන එද්දි, අපි නැති වෙන්නත් පුලුවන් පුතා...එදාට මේ උගන්වන පාඩම උඹලගෙ ඉස්සරහ අයටත් උගන්වපල්ලා..ඒ ගරුත්වය අපිට ලැබුණාම හොඳටම ඇති..."

ආදරණීය ගාමිණී සර්,
සර්ගෙ වචන දරුවොන්ට උගන්වන හැම වෙලාවකම ඝණ්ටා නාදයක් වගේ ඇහෙනවා.සර් දරුවො හික්මවපු විදිය අදටත් ඇස් අස්සෙ හිර වෙලා තියෙනවා.සර්ගෙ ගුටියෙ තද අදටත් අතට දැනෙනවා.ඒ ගුටිය දීලා ඒ ගැන සිය වතාවක් අපේ සර්ලා එක්ක කිය කිය දුක් වෙනවා අපි හොරෙන් අහලා තියෙනවා සර්.සර්ගෙ පාරකට අපි සර් එක්ක තරහා වෙලා නෑ.ඊගාව PT පීරියඩ් එකටත් කාපු ගුටිය අත ගගා ඇවිත් ෆුට් බෝලේ ඉල්ලනවා.සර්ගෙ හඬ සහිරාවෙ එක ගල් කැටයක් වත් නොදන්නා එකක් නෙවෙයි.සර්ට හිතකින් යන්න දෙන්න සහිරාවන් වන අපට බැහැ.සර් සහිරාවට සමු දුන් දා කී වදනකින් ඒ දුක අපි දරාගන්නම්,

"අපි හමුවෙනවා,වෙන් වෙනවා. මේක ලෝක ස්වභාවය පුතා. මතකයන්ගේ අපි හැමදාමත් ජීවත් වෙනවා. මට සතුටුයි. හොඳ මතක ගොන්නක් ඔයාලාට දීලා යන්න හැකි වුණාට"

සර්ට චතුරාර්‍ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව ලැබේවා සර්.අපේ ජීවිත සකස් කලාට සර්ට අනේක වාරයක් පිං.

Photos 25/07/2022

සහිරාවට ලඟදී මම ගියේ වාර්ෂික ආදි ශිෂ්‍ය හමුවට. ගේට්ටුවෙන් යද්දි පරණ පුරුදු ගැම්මට කලිසම එහෙම ඉණට කරල ෂර්ට් එක එහෙම හද හද පල්ලෙහාට ගියත්, පුරුදු ශිෂ්‍ය මානසිකත්වයෙන් වර්තමානයට ආවෙ පරණ පුරුද්දට මහමුද් ශාලාවේ(මගේ සහිරාවෙ ප්‍රධාන ශාලාව) පාට ගැන්වූ වීදුරුවෙන් ස්ටයිල් එකට කොණ්ඩේ හදාගන්න ගිය වෙලාවෙ.අනිත්‍යයක තරම කියන්නේ මොකක්ද කියලා ප්‍රත්‍යක්ෂ වෙලා අතීත හීනයෙන් වර්තමාන ලෝකයට සුසුමක් මැදින් ක්ෂණයකින් ප්‍රාදුර්භූත වුණා කීවොත් වඩා නිවැරදි.(දැන් අහන්න එපා ඒ කීවෙ මොකක්ද කියලා,නොතේරෙන්න කීවෙ නාකි වෙලා කියල😀). රටේ සිදුවෙන නොයෙක් දේ ගැන අවුරුදු ගණනකින් හමුවුණු සහිරාවන් එක්ක කතා කරද්දි දීර්ඝ කල්පනාවක නිමග්න වෙලා අතීතාවර්ජනයක යෙදුනේ ඉබේමයි.
සමරසුන්දර සර් තේ බොන්න එන්නේ බයෝ සෙක්ෂන් එක පැත්තේ ඇන්ටිගේ කැන්ටිමට ගොඩක් වෙලාවට.අම්මෙක් වගේ තමා.අපිට පෝටෙලෝ,රෝල්ස් වරද්දන්නේ නැති ඇය, ගුරුමණ්ඩලේ හැමෝටම සංග්‍රහ කරන්නත් සැදී පැහැදී හිටියා.
සර්ට කතා කරන්න නම් බයක් තියනව.ඒත් කතා කරන වෙලාවට දවස් ගානක් නිදිවරමින් කල්පනා කරන්න දෙයක් සර් කියලත් යනව.එදා කතාවේ මාතෘකාව ගුරුභූමිකාව ගැන.අන්තිම හරියේ සර් කීවේ සියලු රැකියාව වලට අකාලික ධර්මතාවයක්.
"ඔයාලාත් දවසක අපෙ වයසට එනව.රජයේ හරි පුද්ගලික හරි රැකියාවක් කරන අය.ඔයාලගෙ වගකීම දෙන වැඩේ කරලා පඩිය අරං ගෙදර ආවම ඉවර වෙන්නේ නෑ.මම ගුරුවරයෙක්.මම යන දවසට මම කරපු දේ මට වඩා හොඳට කරන අනුප්‍රාප්තිකයා මම හදලා යන්න ඕන.හොඳට කෙසේ වෙතත් මේකම වත් අඩුපාඩු නැතුව කරන කෙනෙක්.ඔයාලට උගන්වලා විභාගෙන් එහාට දාන තැනින් මගේ වැඩ ඉවර නෑ.වෘත්තිකයෙක් විදියට මොනම හෝ දෙයක් හරියටම කරල,මගෙන් හිස් වෙන තැනට තව ඒ වගේම හොඳ කෙනෙක් හදලා ගියොත් විතරයි මට ආඩම්බරකාර ගුරුවරයෙක් විදියට යන්න පුලුවන්.ඒ නැත්තන් මම කාපුවටත් ණය වෙනවා.ඒක මතකෙ තියාගන්න.දවසක තේරෙයි."
අද කාලේ තියෙන ප්‍රශ්ණයට හේතුව ඒ ටික තේරෙන්න අපි කල් වැඩියෙන් ගත්ත එකදෝ කියලා රැස්වීමේ ඉන්න ගමන් මට හිතුණා.සහිරාවට ආදි සිසුන් ඕන. අපේ ගුරුවරුන් අපට දායාද කල සහිරා සංස්කෘතිය ඊගාව පරපුරේ අපේ පැටවු ටික දැනගන්න ඕන. මගේ සහිරාව මාව නොවැදූ මෑණියන්.ඇය මූර්තිමත් වුණේ අපේ ගුරුකුලය හරහායි.අපි, ඒ ගුරුකුලයේ ජීවමාන බීජ වලින් පැලවුණු ගස්.සහිරාවන් ලොව පුරා කොහේට අතු විහිදී ගියත්, ඔවුන්ගේ ගස් වල මුල ඇත්තේ සහිරාවේයි.ඔබ තුල ඇති ඒ සහිරාව නම් බීජය,වර්තමාන සහිරා පරපුර නම් වූ භූමියේ වපුරන්න සුදුම කාලය ඇවිත් බව මම ඔබට යෝජනා කරනවා.
#මගේසහිරාව

05/10/2021

" පුතා...ඉස්සරහට කවුරු වෙන්නද හිතාන ඉන්නේ?
තාම එහෙම හිතලා නෑ සර්,පොලිසියට යන්න අදහසක් තියෙනව
ගුරුවරයෙක් වෙන්න ආස නෑ?
තාම එහෙම හිතිලා නම් නෑ සර්...
හිතලා බලනවකො ඉස්සරහට එහෙනම්,ගැලපීමක් නැත්තෙම නෑ..."
ගුරුවරයෙක් වෙන්න වසර දාහතරකට කලින් දවසක පලමු විවරණය මගෙ සහිරාවෙ නියෝජ්‍ය විදුහල්පති සමරසුන්දර සර්ගෙන් මම ලබන්නෙ,ඒ විදියට.අදටත් තේරෙන්නේ නෑ මං වටේ උන්න ලෝකයම මම වෙයි කියලා බලාන උන්නු පුද්ගලයාට හාත්පසින්ම වෙනස් ගුරුභූමිකාවට මම ඒවි කියලා ටක්කෙටම කියන්න මගේ ගුරුකුලය මං තුල මොනවා දැක්කාද? කියන එක. ඒ දඟ,කටකාර, ටිකක් හිතුවක්කාර,සීමාවට එහා අවංකවම ජේත්තුකාර හැඟීම් වලින් ඔඳ වැඩුණු කොල්ලෙක් අස්සෙ ගුරුවරයෙක් හැදෙනවා දකින්න නම්,මගේ ගුරුකුලය කෙතරම් දරුවන් සම්බන්ධව විශේෂඥ ඥාණයක් තිබූ උත්තමයන්ද? කියන දේ හිතන වාරයක් ගානෙ ඒ ගුරුකුලය ඉදිරියේ දණහිස් සන්ධි ඉබේ නැවෙනවා.
ලෝක ගුරුදිනය දා,මගේ ගුරුකුලයේ සියළු ගුරුමණ්ඩලය ඇතුළු සමස්ථ ගුරු ප්‍රජාවට,
ශිෂ්‍යයෙක්,ගුරුවරයෙක් සහ ගුරුන්නේ ගත තෙත් කල දහදිය මතින්, ලේ රසට නුහුරු නොවූ හඬ මතින්, ලොවක් අවදි කරනා හිරු රැසින්ම පිළිස්සී අව පැහැයට හැරුණු ගුරුන්නේ මුහුණේ උපන් අව්‍යාජ සිනහව මතින්, හැඟීමෙන් දුන් වේවැල් පහරටත් ලොවක් නිදන කල නිදිවරමින් සිහිකොට දුක් වූ ගුරුන්නේ සියුමැලි හදවත මතින් මිනිසත්භාවයේ පැතිකඩයන් දකින්නෙක් ලෙස,
නිදුක්,නිරෝගී, දීර්ඝායුෂ පිරි ලෝක ගුරු දිනයක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා.

22/06/2021

සිප්පා පිණිස රුප්පා තුර සෙවිලි මත
අත්පා රිදුම කප්පා වැර යොදත් පුත
සප්පා නොමැත තප්පා බඩ පණු කැලත
අප්පා නොදති තුන්පා බොන සුරා විත

මප්පා වියත් හප්පා යැයි කියන්නට
නෙක්පා හීන සතපා නිදි පුතුන් හට
දැක්පා නොකොට කණපා දී මවුන්නට
ගොංපා සටනෙ අංපා පොර සුරාවට

ගෙයිපා මත්තෙ නයිපා වන තරමකට
අගුපා හිස් ය මෝපා කඳුලය බරට
දඟපා දිවුව දරුපා යුග බමන්නට
නැතිපා තරම් කුසපා ගිනි වෙත් එමට

ධම්පා සුරිඳු නඳපා වේදිකා වට
සම්පා කරව පිංපා යනෙනා තැනට
සුන්පා කරවු හම්පා බේබදු කපට
කියුපා කටම කම්පා යුරු කරයි රට

හිත්පා නොමැති කුප්පා බේබදු කමට
රන්පා මිණි දෙව්පා නොම ඇරෙයි තට
සිප්පා වෙතට අත්පා වෙහෙසා පුතුට
රක්පා දියවු රැක්පා බිඳ සුරා පට

09/05/2021

ඉර පායා ඉර මුදුනට එන්න එපා
සඳ පායා සඳ මුදුනට එන්න එපා
පෑදි දියට බොරදිය එක් වෙන්න එපා
අම්මා නැති අපට බඩගිනි එන්න එපා
ලෝකයේ අම්මලා ගැන කතා වෙන අද වගේ දවසක ඇඟේ හිරිගඩු පුප්පවන්න සමත් වුණු පැල් කවියක් තමයි ඒ.ඉර එළිය ගොඩක් ලස්සනයි.ඉර පායද්දි ලෝකෙම ක්‍රියාශීලී වෙනව.හැබැයි ඉර මුදුන් වුණාම ලස්සනට ඔබ්බෙන් දැනෙන විඩාව,දැඩි දරාගන්න බැරි රශ්මියට අපි අකමැති.හවසට හඳ පායද්දි "අන්න බලන් සඳ රන් තැටියෙන් සුදු සීත ගඟුල් ගලනා..."කීවත් සඳ මුදුන් වුණාම හිතට එන බය දන්නෙ හුදෙක් පැලේ ඉන්න අය,මුහුදු යන අය.හොඳ ලස්සනට ඔලුව ඔබාගෙන බොන්න හිතෙන පෑදි දියට මඩ වෙලා ගලන බොර වතුර එක් වෙන එකේ නරක අපි දන්නවා.අම්මා නැති දරුවාගෙ බඩගින්නත් ඒ වගෙයි.
තමන් බඩගින්නෙ ඉඳලා අම්ම අපිට කන්න දෙනව.අපි ආස දේ ඉල්ලද්දි සමහර විට ඒක දෙන්න කීයක් වත් එවෙලෙ එයාගෙ අතේ නොතිබේවි.එදාට එයා කඳුලු හලන්නෙ හොරෙන්.හූල්ලන්නෙ නිශ්ශබ්දව.හැබැයි මොන ලොකු වැඩකට ඊගාවට වියදම් කරන්න තිබ්බත් ඒ ඔක්කොම පස්සට දාලා පුලුවන් වුණු වහාම ඒ දේ අපිට දෙන එකයි එයාගෙ ඉලක්කය වුණේ.කටක් ඇරලා බඩගිනී කියන්න කලින් අම්මා ඒවා මහන්සියෙන්,ආදරෙයි දහදියයි දියකරලා හදලා තියෙනවා.දෙමළ කතාවක් තියෙනවා,
"අප්පා සෙත්තා සොත්තු පෝච්චි
අම්මා සෙත්තා රුසි පෝච්චි" කියලා.
ජීවිතේම රහ තියෙන්නේ අම්මා අතේ.ඒ රසය නැති දරුවො කොච්චරක් නම් අද දවසෙ විතරක් නෙවෙයි,හැමදාම ජීවිතේ රස මඟහැරිලා විඳවනවා ඇතිද? කියලා හිතුණා.අම්මාට තියෙන ආදරේ දවසකට සීමා කරන්න එපා.ජීවිතේ රසය අම්මා බව මතක තියාගන්න.ඒ රසය කෑම ටිකට වඩා ගොඩාක් දුර රසයක් බව තේරුම් ගන්න.ඔබට පුලුවන් හැමවෙලේම අම්මා වෙනුවෙන් කාලය වෙන් කරන්න.
ජීවිත චක්කරේ ඇතුලෙ තියෙන අනේකවිධ වැඩ අස්සෙ අම්මගෙ තොරතෝංචියක් නැති හොය බැලිල්ල වදයක් වෙන අය ඇති.අම්මගෙ සීමා කරදරයක් වුණු අය ඇති.අම්මගෙ ගුටියක් තරහක් වුණු අය ඇති.අම්මගෙ හැඟීම් නිසාම ආව වචනයක් ජන්මාන්තර වෛරයක් වුණු අය ඇති.හැබැයි දවසක ඒ අම්මා නැති තැන අපි පසුතැවෙනවා ඒ මෝඩකම් සියල්ලටම.ඒ දේට ඉඩ නොතියා ජීවිතේ අංක එකේ ප්‍රමුඛත්වය අම්මාව සතුටෙන් තියන්න වෙන් කරලා බලන්න.දෙවියන්ගෙ අංක එකේ ප්‍රමුඛත්වය ඔබව සතුටු කරන එක වෙයි ඉන් ඉදිරියට.
"පුතු වැදු මවුගෙ ලේ කිරි වන ඇසිල්ලට
නොදරුන් මුවෙත් වට කොට එන සිනා කට
කෙල කෝටියක් මසුරන් දීලත් නුඹට
දැකගත නොහැක ඒ ගනු හොඳ හැටි සිතට"

16/04/2021

"ඔවු අද අන්තර් පාඨශාලීය පාපන්දු ශූරතාවයේ අවසාන මහා තරඟය,සිහිල් සුලං රැල්ලක් එක්ක ක්‍රීඩාවටම කියාපු පොද වැස්සකින් තරඟය ආරම්භ කරන්නට ගම්පොල සහිරා තණ නිල්ල කවදටත් වඩා සූදානමින් ඉන්න වෙලාවක ...නේද සමරසුන්දර සර්?"
කාටත් අමතක නොවන ගූස්බම්ප් දම්මවන ඒ ෆුට්බෝල් හඬ,අපේ ගාමිණි සර්ගෙ 62වැනි උපන්දිනය අද.එතුමන්ගෙන් සිප්සතර හදාරපු,ජීවිතයක් හදාගත්තු හැමෝටම ලැබුවා වූ අළුත් අවුරුද්දෙ එතුමන්ට වචනයක් කතා කරන්න අද හොඳම දවස.

මුහුණු පොතේ ලින්ක් එක
https://www.facebook.com/gamini.amarathunga.336

දුරකථන
+94718944666

සුභ උපන්දිනයක් වේවා ඇදුරුතුමනි.ආයු වර්ණ සැප බල නොඅඩුව වැඩෙන නිදුක් නිරෝගී සෞභාග්‍යමත් සුභ අලුත් අවුරුද්දක් සමඟ ඔබතුමන්ට සුභම සුභ උපන්දිනයක්ම වේවා...

13/04/2021

ගතවූ අවුරුද්දේ අපි නොයෙක් දේ උපයා ගන්න ඇති.නොයෙක් ආකාරයෙන් සාර්ථක වෙන්න ඇති.නොයෙක් තැන් වල වරද්දා ගන්න ඇති.නොයෙක් තැන් වල අසාර්ථක වෙන්න ඇති.ජය, පරාජය මේ සියල්ලේ අපි වටා ගොඩාක් අය ඉන්න ඇති.ජයකට රුකුලක් වන්න,ආශිර්වාදයක් දෙන්න,ප්‍රාර්ථනාවක් අපි වෙනුවෙන් කරන්න,අපේ යම් හොඳක් ඇත්නම් ඒ හොඳ,අපි ගැන කරන ආවර්ජනයන් හරහා අපි අදහන දහමක දෙවියන්ට හොඳ ඇසෙන්නට එයාලා සලස්වන්න ඇති.දෙවියන් ඒ තැනදි අපිව ජයග්‍රහණය කරා මෙහෙයවන්න ඇති.
අපට වැරදුණු තැන් පිටුපසද,පරාජය වුණු තැන් පිටුපසද ඒ කාරණයට හේතු වුණු කෙනෙක්,අපේ නරකක් දැකලා,ඒ නරක ආවර්ජනය කරලා අපි අදහන දහමක දෙවියන්ට ඒ නරක ඇහෙන්න සලස්වන්න ඇති.දෙවියන් ඒ තැනදි ඒ වරද තුල යමක් අපිට උගන්වන්න අපිව අසාර්ථකත්වය කරා මෙහෙයවන්න ඇති.
අළුත් අවුරුද්දේ අපි තේරුම් ගත යුතු දේ හැම හොඳකත්,හැම නරකකත් අපි එක අඩියක් දියුණු වුණා විතරක් බවයි.නරක, ඉක්මනින් සුව කරන තිත්ත බෙහෙතක් වෙද්දි හොඳ,හැමදාමත් අපිව පෝෂණය කරන ප්‍රණීත ආහාරය වුණා.මේ දෙකටම මුල් වුණු හැමෝටම කෘතවේදීත්වය හදවතින්ම පල කරන්න නව වසර අවස්ථාවක් කරගන්න.ඒ,
සිතේ දරාගත් අප්‍රකාශිත කෘතවේදීත්වය, රන් පතින් ඔතා ප්‍රදානය නොකල ත්‍යාගයක් හා සමානව නිෂ්ප්‍රයෝජ්‍ය නිසයි.අපට හොඳ කල හැමට කෘතවේදී බව ප්‍රකාශ කරන්න.තවකෙක්ට අපට වගේම සහය වෙන්න ඒක ඒ උතුම් හදවත් වලට පෙලඹවීමක් වේවි.අපට නරක පතන අයටත් කෘතවේදීත්වය ප්‍රකාශ කරන්න.අපේ හැම වරදක්ම නිවැරදි කරගෙන,නව මානයන් හොයන්න ඔවුන් අපව දිරිගන්වාවි.
මාත් එක්ක හැමදාමත් ඉන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරන ඔබ සැමට ලැබුවා වූ අළුත් අවුරුද්ද නිදුක්,නිරෝගී, සෞභාග්‍යමත්,ඉලක්ක සාර්ථකමත් වන සුභම සුභ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
#2021

Photos 27/03/2021

විද්‍යා අංශයෙ උසස්පෙළ කණ්ඩායම් ව්‍යාපෘතිය විදියට අපි කරන්නේ විද්‍යා ප්‍රදර්ශනයක්.ජීව විද්‍යාව,භෞතික විද්‍යා හා ගණිතය සහ රසායන විද්‍යාවට වෙන වෙනම විද්‍යාගාර තියන ශ්‍රවණාගාර,ගබඩා කිහිපයක්ම තියන විද්‍යාගාර සංකීර්ණයක් තියෙන පාසල් අතලොස්සෙන් මගෙ සහිරාවත් එකක්.ඒ හැම අංශයකින්ම ලේසියකට දකින්න නැති විද්‍යා පරීක්ෂණ,ඇටවුම් හදලා ඒවා ළමයි ලවාම ඉදිරිපත් කරවන්න සහිරාවෙ විද්‍යා අංශයෙ ගුරුවරු අපිට ශිල්ප පෙවුවා කීවොත් තමා හරි.මොකද ගුරුවරයෙක්ගේ හැකියාව,දක්ෂතාවයෙ තරම ගෝලයාගේ හැකියාවෙන් පෙන්වන්න ඕන කියන හැකියා මූලික අධ්‍යාපනය මගේ සහිරා ගුරු කුලය හැමදාටමත් ක්‍රියාවෙන්ම කලා.
විද්‍යා ප්‍රදර්ශනය නිකංම එකක් නෙවෙයි.මාසයෙන් මාසයට සත්‍ය දරු කළල,සත්‍ය අස්ථි පද්ධති,දුර්ලභ ජීවීන්ගෙ සාම්පල,ඉතාම දුර්ලභව පාසලක දකින්න පුලුවන් කාබනික,අකාබනික රසායන විද්‍යා පරීක්ෂණ, ගණිත සම්බන්දතා ව්‍යුත්පන්න කරන ඇටවුම්,භෞතික විද්‍යා පරීක්ෂණ වගේම නිර්මාණාත්මක ගිනිකඳු විදාරණ,ග්‍රහලෝකාගාර,පිපිරෙන පොළව වගේ අළුත් අළුත් විද්‍යාත්මක වැඩ පෙන්වලා අපට පල්ලෙහා පංතිවල නංගිලා මල්ලිලාට කියලා දීලා,අවට සහෝදර පාසල් වලටත් ආරාධනා කරලා ඒ අයටත් ඒ අත්දැකීම ලබාදෙන විදියේ ප්‍රදර්ශනයක් ඒක.
මේ වැඩේට බජට් හොයාගන්නෙ අනුග්‍රාහකයන් හරහා.පාසල,ආදිශිෂ්‍ය සංගමය,ගම්පොල වෙළෙඳ සමූහය අපට නන් අයුරින් උපකාර කලා.අපි කරපු අවුරුද්දෙ අපි කලේ නොයෙක් අභියෝග ගොඩක් මැද.සාර්ථක වීම්,අසාර්ථක වීම් ගොන්නක් එක්ක රෑ දවල් නැතුව පාසලේ නැවතිලා ගුරුවරුත් අපිත් ඒ ගැන වෙහෙසුණා,පුරුදු පුහුණු වුණා.හිටි හැටියේ ජ්‍යෙෂ්ඨ විද්‍යා සංගමයෙ සභාපති කියන භාරදූර වගකීම කල මගෙ සහෝදර නාසික් අසනීප තත්වයකට මුහුණ දීම,අපිට ලොකු අභියෝගයක්.සහිරාවෙ ඒ තනතුර ලොකු වගකීමක්.ලේකම්ව හිටි මට ඒ නිලය භාර අරං හැමෝවම සම්බන්ධීකරණය කරන්න වුණත්,මුලින් ඒ දේ කරන්න බැරි වුණේ ශිෂ්‍යභටයෙක් විදියට මම දරදඬු පාලනයක් කරන්න හුරු කෙනෙක් මිසක් මේ දේට මම හුරු නැති නිසයි.වැඩේ අවුල් ගිහින් නෙල්ලි ගහ යට ඉඳගෙන ඈත කඳු පන්තිය දිහා බලාන ඉන්න වෙලාවෙ,
"මිනිස්සුන්ට ඕන නායකයෙක් මිසක් පාලකයෙක් නෙවෙයි සම්පත්"
හැරිලා බලද්දි ඒ කාදර් අලි සර්.සර් ඉන් එහාට කිසිම වචනයක් නොකියා භෞතික විද්‍යා අංශයට ගියා.මට තවත් සර් එක්ක කතා කරන්න ඕන වුණත් සර්ගෙ විදිය,සර් කියන්නෙ එකයි,කණට නෑහෙන ගානට.ඒක ගන්නවා නම් ගන්න නැත්තන් නිකං ඉන්න.එච්චරයි.එදා තමා මම තේරුම් ගත්තෙ නායකත්වය කියන දේ අර්ථය.අපි අතිසාර්ථක විද්‍යා ප්‍රදර්ශනයක් කලා.කාදර් සර් කීවා කියල මට කියන්න ලොකු සංවාදයක් නෑ.හැබැයි සර් කීව වචන ටික අහපු හැමෝගෙම ජීවිත වෙනස් මාවතකට ගියා.එතුමාගෙ විශ්‍රාම ජීවිතය සතුටින් පිරුණු,ආදරයෙන් පිරුණු,නිදුක්,නිරෝගී,සුභ එකක් වෙන්න කියලා මම සියලු සහිරාවන් වෙනුවෙන් පතනවා.කෙටියෙන්ම කියනවා නම්, We really really miss you sir.

14/03/2021

සහිරාව තුල මට පලවෙනියට මුහුණ දෙන්න වුණු ප්‍රශ්නය තමා භාෂා ප්‍රශ්නය.වෙනත් පාසැල් වගේ නෙවෙයි,මගේ පාසලේ භාෂා ත්‍රිත්වයම පාවිච්චි කරන අය හිටියා.පාසලේ වැඩිමනක් වැඩ සිද්ධ වෙන්නේ කවදත් ඉංග්‍රීසි භාෂාවෙන්.සහිරා ඉංග්‍රීසි ගැන මම කාටවත් අලුතෙන් කියලා දෙන්න දෙයක් නෑ.පැහැදිලි උච්චාරණය එක්ක නිවැරදි ව්‍යාකරණ ඇතුව,ගොඩක් ලස්සනට වචන ගලපලා කතා කරන්න ඉංග්‍රීසි ඉගැන්වීම ගැන මගේ සහිරාවට ලොකු නමක් තියෙනවා.
ගොඩක් අය සිංහල දන්නවා.දෙමළ මාධ්‍ය අයට පවා අඩුම තේරෙනවා,කතා කරන්න පුලුවන්.කියන්න ලැජ්ජයි මගෙ බෞද්ධ නොවන සියලු සහෝදර සහෝදරියො සිංහලෙන් කොහොම හරි වැඩ කරද්දි, සිංහල ගොඩක් අයට දෙමළ ඉගෙන ගන්න උනන්දුවක් තිබ්බෙ නෑ.යාලුවො කතා කරද්දි,
"අංඩර දෙමළ නොකියා තේරෙන්න කියපල්ලා..." කියලා කීචොක් එකකින් වහගත්තට අපි ඒක සිංහලෙන් කියද්දි එයාලට තේරුණත් එයාලා ඕක දෙමළෙන් කීවා නම් මට තේරෙන්නෙ නෑ නේද? කියන ප්‍රශ්නය දැවෙන ප්‍රශ්නයක් මට.
අපිට පහේ මුල් කාලෙ හම්බුණ ගුරුතුමී ඉන්දු මැඩම්.විවෘතව කතා කරන්න ඉඩ දුන්න ගුරු චරිත වල මැඩම් පතාක යෝධයෙක්.ළමයෙක්ගෙ ඕනම ප්‍රශ්නයක් කතා කරලා දැනගන්න පුලුවන් වුණු මැඩම්ට වැරදිලා අම්මා කියලා කතා කල වාර ගාන ගොඩක් වැඩී.
"මැඩම් මෙහෙ ඔක්කොම හොඳයි,මේ උන්දැලා හිටි ගමං දෙමළෙන් කතා කරගන්නවා.ඕව තේරෙන්නෙ නැති එක තමා එපා කරපු වැඩේ..." දඟකාර,කටකාර,විසේකාර,බෙල්ලක් හොයන්න බැරි තරම් ජබ්බ මගෙන්,ඔය වගේ පණ්ඩිත කතා මැඩම්ලට අලුත්මත් නෑ.
"අපේ මවු භාෂාව මොකක්ද කියලා අදාල නෑ පුතේ,මෙතන අපි කතා කරන්නෙ විශ්වීය භාෂාවකින්.ඒ තමා සහෝදර බැම්ම.ඒක හැමෝටම දැනෙනවා.ඒකෙන් කතා කරලා බලන්න,ඕකට විසඳුමක් ලැබෙයි..."
දෙමළ වලට වඩා ඒ සිංහලෙන් කියපු එක මට තේරුණේ නෑ.ලොක් ඇන්ඩ් කී සෙල්ලමට දුවන්න ඕන මම ඒක එදා ඉන් එහාට ඇහුවෙත් නෑ.ඉන් අවුරුදු ගානකට පස්සෙ ආයම වතාවක් උසස්පෙළ පංතියෙදි මගේ පාසලේ සහෝදර ශිෂ්‍යාවක් වුණු දිව්‍යා අක්කාගෙන් මං ඒ ප්‍රශ්නෙම ඇහුවා.අක්කා දෙමළ භාෂාවට මට අත්පොත් තිබ්බේ තමන්ගෙම මල්ලිට උගන්වනවා හා සමානව.ඒ පවුලේ හැමෝමත් ගෙදර දරුවෙක්ට වගේ සතයක් නොගෙන පාඩම් කියලා දුන්නා.අක්කලා දෙමළ.මම සිංහල.එදා මට තේරුණා ප්‍රශ්නය භාෂාව නෙවෙයි,මගේ සහිරාව කියන බැම්ම එදා මගේ ඇඟේ නොතිබ්බ එක කියන එක.

Photos 03/03/2021

You guys don't have to make education a depression son,just take it as a play will you...
මුහුණ අහසටම හරවලා,දසන් දක්වන,නිර්ව්‍යාජ, සැර හිනාවක් එක්ක ගර්ල්ස් සෙක්ෂන් එකේ ලැබ් එකේදි, ඒ පැත්තේ කැන්ටිමේදි,පුස්තකාලය පැත්තෙ මේ කතාව ශෆීකා මැඩම්ගෙන් අහලා නැති කෙනෙක් ඉන්නවා නම්,ඒ අනූ ගනන් වල සහිරියන් කෙනෙක් වෙන්න නම් බෑ.මොන තරම් වැඩ තිබ්බත් ළමයෙක් ආයුබෝවන්,ගුඩ්මෝනිං වගේ විෂ් එකක් කලොත් නැවතිලා වචනයක් කතා කරලා යන්න මැඩම් දෙපාරක් හිතන්නේ නෑ.ඉතාම කාර්‍යබහුල දවස් වල හැල්මේ දුවන මැඩම්,පොඩිම ළමයෙක් හරි විෂ් එකක් කලොත් විනාඩි දෙක තුනක් නැවතිලා, අඩුම
"උදේට කාලද ඉන්නේ?කන්නෙ නැතුව ඉස්කෝලෙ ඇවිත් හරියනවද?මගේ කෑම එක ලැබ් එකේ,ගිහින් කාලා ඉන්නවා ඔක්කොටම කලින්,කෑම ගෙනත් නැත්තන්..." කියලා ආදරේ පිරුණ දෝස්මුරයක්වත් එල්ල කරන එක මැඩම්ගෙ අනන්‍යතාවයක්.
මැඩම් ලස්සනට අඳිනවා.පාට මැච් කරලා,පිලිවෙලට,හැමදාම එක එක පාටට.ඒක හැමෝගෙම නෙත ගැටුන දෙයක්,කතාබහට ලක් වුණු දෙයක්.හැබැයි දැන් අලුතෙන් මම ගුරු ක්ෂේත්‍රයේ දකින විදියේ අනවශ්‍ය මේකප් බෝල ගුරුවරු ගුරුවරියො ඒ කාලේ හිටියේ නෑ.ඒ මූණු හරි ප්‍රසන්නයි,ස්වභාවිකයි.අද කාලේ වගේ දේදුන්නේ පාට හතම මූණෙ උලාගෙන,ගුරු පෞරුෂය තඹ සතේකට මායිම් නොකර, එකොළහෙ කොල්ලො කොණ්ඩෙ හදනකන් බලා ඉන්න මන්ද මානසිකත්වයක් තියෙන ගුරුවරු එදා හිටියේ නෑ.අපි ඒ මැඩම්ලගෙ සාරි පොට ඔලුවෙ දාන් අවුවට පෝලිමේ ග්‍රවුන්ඩ් එකේ හිටියා.තමන්ගෙ දරුවන්ට වඩා ශෆීකා මැඩම් වගේ මැඩම්ලා අපිට ආදරේ කලාද? කියලා හිතෙන තරම් ඒ ගුරු හෙවණ අපිට ආදරේ කලා.සහිරාවෙ ඒ ආදරේට සීමා දාන ආගම්,ජාතිවාදයක් මම දැකලා අත්විඳලා නෑ.ඉන් එළියට ආව තැන එහෙම දෙයක් අහන්න,දකින්න වුණ එක,කොයි ආත්මෙ කරපු කරුමයක්ද කියලා මං දන්නේ නෑ. අද මගේ ළමයි මගෙන් අහනවා වගේ, එදා මම මැඩම්ගෙන් අහනවා,
"ඇයි මැඩම් පාට,පිලිවෙල ගැන ඔච්චර හිතන්නේ? තැනට ගැලපෙන ඇඳුමක් ඇන්දම ඉවරනේ..."
"ඔන්න ඕක පුතේ වැදගත් ප්‍රශ්නයක්...හැමදාම එකම දේ කරද්දි එපා වෙනවනේ.ඉස්කෝලෙ එනවා,ඉගෙන ගන්නවා,කනවා,සෙල්ලම් කරනවා,ගෙදර යනවා.අවුරුදු ගානක් ඕකමයි.හැබැයි මෙහෙම පුරුද්දක් ආවම ඉස්කෝලෙ යන්න ආස හිතෙනවනෙ.ගියාමත් ඒවා පිරිසිදුව ලස්සනට තියාගන්න උනන්දුවක් එනවා.ඒක සිහිය තියාගන්න ක්‍රමයක්.ඔයාලාගෙ විදියට භාවනාවක් වගේ.ඇඳුමක් අඳිනකොට,නෝට් එකක් ලියනකොට වගේ හැම එකකදිම ඔය වැඩේ කරලා බලන්නකො.එකම වැඩේ වුණත් කරන හැම වාරෙකදිම අලුත්වට දැනෙයි.ලස්සන මනුස්සයෙක් වෙන්න ලස්සන වෙන්නම ඕන නෑ,ලස්සන හිතිවිලි තිබ්බාම ඇති.මොකද ලස්සන සාපේක්ෂ දෙයක්."
වෙලාවකට මැඩම්ගෙ උපදෙස මම ඕනවට වඩා ගත්තද කියලත් හිතෙනවා.හැබැයි කරන හැම වැඩකටම ආසා කරන්න ඒ ක්‍රමය නම් කොල්ලෙක් වුණත් මටත් ගොඩක් උපකාරී වුණා...

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Kandy