23/10/2024
කුෂාන්: “ආ අවසර , කේක් එකක්”
මම: “ ෂාහ්! කොහෙන්ද?”
කුෂාන්: “සීවලී අවසර දුන්න”
මම: “ඔයා කෑවද?”
(කොළුවා, උත්තරයක් නොදී හිනාවෙනව)
මම: “ කොල්ලෝ මේ උඹට හම්ඹවෙච්ච එකද?!” ( ආදරේට “උඹ , බං , බොලං ” පොඩි අයට පාවිච්චි කෙරෙනව. පරණ පන්සල් භාවිතයක්)
කුෂාන්: “ එහෙයි.”
( ඒ අතරේ බිත්තියේ එහාපැත්තේ ඉඳල එයාගේ නිවුන් සහෝදරයත් එළියට එනව.)
මම: “ මම දානේ ගෙදරින් වැළඳුවනේ. ඔයාල කන්න. Thank you, though”
කුෂාන්: “Welcome” (භාෂාව, හුරුකරන්න ඉංග්‍රීසි භාවිතයන් ටිකක් මාත් එක්ක පමණක් භාවිතාකරන්න එයාලට කියල දීල තියෙනව)
මම: “කෝ, දෙන්නම එනව මේසෙ ඉස්සරහට ෆොටෝ එකක් ගහන්න.”
කුෂාන් - කවිශ්ක : “Cheese!”
********
⭕සටහන: ඕනෙම දරුවෙක් හරියට පුන්චිම පුන්චි පැලයක් වගේ. තමන්ගෙ පවුල , පාසල , සමවයස්කණ්ඩායම් , පන්සල , සමාජමාධය … වගේ සමාජානුයෝජකයින් ගේ බලපෑම අනුව, දරුවගේ අනාගත වර්ධනය කොහොම එකක්වෙනවද තීරණය වෙනව.
⭕මම ගිහිකාලේ නම්, වෙනත් කෙනෙකුට ගිහින් දෙනවා තියා, බුද්ධපූජාවට තියන අතුරුපස පවා විහාරගෙට හොරෙන් ගිහින් කෑවොත් මොකෝ කියල හිතෙන තරමට අතුරුපසට ආසයි. ඒ අතින් මේ පොඩි උන් කොච්චර ඉහළින්ද? ඉතින්, අපි මේවගේ එයාලගෙ විභවතා වර්ධනයට ආයතනයේ අගය කිරීම, මගපෙන්වීම හා රුකුල්දීම වැනි විවිධ ක්‍රම යොදාගන්නවා. ඒක හරියට හැදෙන පැලයකට පොහොර දානවා වගේ වැඩක්. අපි මේකට කියන්නේ “උපස්ථම්භනය”.
⭕මේ දෙන්නගෙන්ම එක්කෙනෙක් ඊයේ පන්සලේ වැඩිහිටි කෙනෙකුට අරියාදුකරල අහුවෙලා ලොකු හාමුදුරුවන් දඬුවම්කරල තිබ්බා. ඊට ඉස්සර තවත් වැඩිහිටියෙකුට නරක විදියට බැනල සමාවගන්නත් උනා. මගෙනුත් ඕනෙතරම් යම් යම් අඩුපාඩුවලට දඬුවම් ලැබිල ඇති. ඉතින්, මේක හරියට හැදෙන පැලයක අනවශ්‍ය අතු කප්පාදුවක් වගේ. අපි මේකට කියන්නේ “ නිරුන්දනය” කියල.
⭕සමහර පැල හිටවපු, පෝරදාපු, බලාගත්තු .. මනුස්සයා පවා පටලවන කටු අකුල් බවට පත්වෙන අතරේ, සමහර පැල හැමෝටම මල්, ඵල, සෙවන , අලංකාරය විතරක් නෙමෙයි මැරිලත් ලී ලබාදෙන මහා වෘක්ෂ බවට පත්වෙනව. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඒක අතිශය සාමාන්‍ය අත්දැකීමක්.
⭕ප්‍රාර්ථනය: දවසකට හරි අකුරක්හරි කියාදෙන්න මට හමුවෙන හැම පැලයක්ම, තමන්ටත් අනුන්ටත් වැඩ ඇති, මට වඩා මහා උසට වැවෙන මහා වෘක්ෂ බවට පත් වෙන්න ඕනේ, දවසක!
⭕ඇඹිලිපිටියේ මෙත්තානන්ද හිමි
⭕ 2024/10/23