18/08/2026
🙏පාසලෙහි අධ්‍යාපන සංවර්ධනය හා ගුණාත්මක සංවර්ධනය කෙරෙහි උනන්දු වන ආදරණීය ගුරු බවතුන්ට වගේම විදුහල්පති වරුන්ටත් අතිශයින්ම ප්‍රයෝජනවත් මග පෙන්වීමක්.
පාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහනක් ලෙස ක්‍රියාවට නංවන මෙම වැඩසටහන වැඩි පිරිසකට ප්‍රයෝජන ගන්න හැකි වන ආකාරයට ලිපියක් විදියට සකස් කරල ඉදිරිපත් කරන්න තීරණය කළා.අවුරුදු ගණනාවක් කලාප,කොට්ඨාස අධීක්ෂණ ක්‍රියාවලිය තුළ ශිෂ්‍ය සාධනය ක්ෂේත්‍රය හා සම්බන්ධව කටයුතු කිරීමෙන් ලබාගත් අත්දැකීම් තමයි මේ තියෙන්නෙ.
ඒ නිසා සැක සංකා ඇති කරගන්න අවශ්‍ය වෙන්නෙ නැහැ.ලිපිය නම් ටිකක් දිගයි.නමුත් ප්‍රතිලාභ බොහොමයි.
පාසල් අධ්‍යාපනයට සම්බන්ධ හැමෝම වගේ වැඩි වශයෙන් කතාවෙන්නෙ පාසලේ සා.පෙළ,උ.පෙළ වගේම ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල වැඩි කර ගැනීම ගැන.කතා කලාට මොකද මේ ජාතික විභාග ප්‍රතිඵල එහෙම ආවට ගියාට හදිසියෙන් වැඩි කරන්න පුළුවන් එකක් නම් නෙමෙයි.ප්‍රාථමික අධ්‍යාපනයේ සිට විධිමත්ව පාසලේ අධ්‍යාපන ක්‍රියාවලිය ඉදිරියට ගලා යාමේදී ලැබෙන විශිෂ්ට ජයග්‍රහණ තමයි මේ ජාතික විභාග ප්‍රතිඵල කියන්නෙ.පාසලක ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ මෙම විධිමත් ගලායාම මැන බැලෙන මිනුම් දණ්ඩ තමයි පාසලක ක්‍රියාත්මක වන ශිෂ්‍ය සාධනය ක්ෂේත්‍රය.මේ ජාතික විභාග ප්‍රතිඵල සහ ශිෂ්‍ය සාධනය ක්ෂේත්‍රය අතර පවතින්නේ බොහෝම සමීප අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක්.ශිෂ්‍ය සාධනය ක්ෂේත්‍රයට ලකුණු වැඩි කර ගන්න කටයුතු කළාම ජාතික විභාග ප්‍රතිඵල වැඩි වෙනව.ඒ වගේම ජාතික විභාග ප්‍රතිඵල වැඩි වෙනකොට ශිෂ්‍ය සාධනය ක්ෂේත්‍රයේ ලකුණු වැඩිවෙනව.හරි අපි එහෙමනම් බලමු ශිෂ්‍ය සාධනය ක්ෂේත්‍රය කියන්නෙ මොකක්ද,ශිෂ්‍ය සාධනය ක්ෂේත්‍රයට ලකුණු වැඩි කර ගන්න කටයුතු කළාම කොහොමද ජාතික විභාග ප්‍රතිඵල වැඩි වෙන්නෙ,ඒ වගේම ශිෂ්‍ය සාධනය ක්ෂේත්‍රයට ලකුණු වැඩි කර ගන්න පාසල තුළ එදිනෙදා කළ යුතු කාර්යයන් මොනවද කියල.
පාසලක ගුණාත්මක සංවර්ධනය මැන බැලෙන ක්ෂේත්‍ර අටෙන් ප්‍රධානතම ක්ෂේත්‍රයක් තමයි ශිෂ්‍ය සාධනය කියල කියන්නෙ.මේ ක්ෂේත්‍රය සෘජුව හෝ වක්‍රව අනෙක් ක්ෂේත්‍ර සියල්ලමත් සමඟ සම්බන්ධ වෙනව.උදාහරණයක් විදියට ඉගෙනුම ඉගැන්වීම හා ඇගයීම ක්ෂේත්‍රය සමග වගේම නායකත්වය හා කළමනාකරණය ක්ෂේත්‍රය සමග සෘජුවම සම්බන්ධ වෙනව.ඒ කියන්නෙ පාසලක ශිෂ්‍ය සාධනය ක්ෂේත්‍රයට ඉහල ලකුණක් ලැබෙනවා කියන්නෙම අනෙක් ක්ෂේත්‍රවලත් ලකුණු වැඩි වෙනවා කියන එක.ඒ කියන්නේ පාසලේ ගුණාත්මක දර්ශකය ඉහළ අගයක් ගන්නවා කියන එක.ඒ නිසා ශිෂ්‍ය සාධනය ක්ෂේත්‍රයට ලකුණු වැඩි කරගන්න කටයුතු කිරීම ක්ෂේත්‍රය භාර ගුරුවරයාගේ පමණක් නොව පාසලේ ඉන්න හැම කෙනෙකුගේම යුතුකමක් සහ වගකීමක් වෙනව.
මේ ක්ෂේත්‍රය නිර්නායක 5 කින් සහ දර්ශක 35 කින් සමන්විත වෙනව.එක නිර්ණායකයක් ප්‍රාථමික අංශයටත් නිර්ණායක හතරක් ද්වීතීක අංශයටත් වෙන්වෙනව.ඒ වගේම දර්ශක 35 න් 4 ක් ප්‍රාථමික අංශයටත් 31 ක් ද්වීතියික අංශයටත් වෙන් වෙනව.ද්වීතියිකයට වෙන්වන දර්ශක 31 න් 6-11 ශ්‍රේණි සඳහා දර්ශක 18 වෙන්වෙන අතර ඉතිරි දර්ශක 13 න් පාසලට අදාළ වන දර්ශක සංඛ්‍යාව පාසලේ පවතින උසස් පෙළ විෂය ධාරාවන් අනුව වෙනස් වෙනව.1 ශ්‍රේණිය සිට සා.පෙළ තෙක් පන්ති පවතින හැම පාසලකටම පළමු දර්ශක 22 අයත් වෙනව.මේ දර්ශක 22 පිලිබඳව තමයි අපි විශේෂ අවධානය යොමුකරන්න ඕනෙ.
ශිෂ්‍ය සාධනය ක්ෂේත්‍රයේ පළමු නිර්ණායකය වෙන්නේ ප්‍රාථමික අංශය වෙනුවෙන්.පන්ති කාමර ටික අවධි වලට වෙන්කර ඉගැන්වීම අත්‍යවශ්‍ය දෙයක් වන අතර එක් එක් අවධියට නියමිත අත්‍යවශ්‍ය ඉගෙනුම් නිපුණතා සියල්ලම සෑම දරුවෙකුටම සම්පූර්ණ කර ගන්න හැකිනම් ශිෂ්‍යත්ව විභාගයේදී හැම දරුවෙකුටම ලකුණු 70 ට වැඩියෙන් ලබා ගන්න පුළුවන් නම් ශිෂ්‍ය සාධනය ක්ෂේත්‍රයේ ප්‍රාථමික අංශයට වෙන්වන ලකුණු 24 න් 24 ම උපය ගන්න පුළුවන්කම තියෙනව.සැලසුම් සහගතව ප්‍රාථමික අංශයේ අධ්‍යාපන ක්‍රියාවලිය දියත්වෙනව නම් මේ ඉලක්කය ජය ගැනීම අමාරු දෙයක් නෙවෙයි.විශේෂයෙන්ම එක් එක් අවධියට අදාල අත්‍යවශ්‍ය ඉගෙනුම් නිපුණතා සෑම දරුවෙකුම සම්පූර්ණ කර ගැනීම ශිෂ්‍යත්ව විභාගයේ ජයග්‍රහණයට වගේම ද්වීතියික අංශයේ සාර්ථකත්වයටත් ඍජුවම බලපානව.
ශිෂ්‍ය සාධනය ක්ෂේත්‍රයේ දෙවන නිර්ණායකය වෙන් වෙලා තියෙන්නෙ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ව්භාග ප්‍රතිඵල වෙනුවෙන්.ශිෂ්‍ය සාධනය ක්ෂේත්‍රයේ ඉතිරි නිර්ණායක 4 ට අදාල කාර්යයන් පාසල තුළ හොඳ විදියට ක්‍රියාත්මක වෙනවනම් විභාගය ඉලක්ක කරගෙන ප්‍රතිඵල සංවර්ධන වැඩසටහන් හොඳින් ක්‍රියාත්මක වෙනවනම් මේ නිර්ණායකයට අදාළව හොඳ ලකුණු ප්‍රමාණයක් ශිෂ්‍ය සාධනය ක්ෂේත්‍රයට එකතු කරගන්න පුළුවන්.පාසලක සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සඳහා විශිෂ්ට ප්‍රතිඵල ලැබෙනව නම් ඒක පාසලේ ගෞරවය වැඩි වෙන්න වගේම ශිෂ්‍ය සාධනය ක්ෂේත්‍රයේ ලකුණු වැඩි වෙන්නත් ප්‍රබල හේතුවක් වෙනව.
ශිෂ්‍ය සාධනය ක්ෂේත්‍රයේ තුන්වන නිර්ණායකය වෙන් වෙන්නේ ද්වීතියික අංශයේ වාර විභාග ලකුණු වෙනුවෙන්.සිසුන්ගේ වාර විභාග ලකුණු ඉහළ අගයක පවත්වගන්න පුළුවන්නම් ඒක ශිෂ්‍ය සාධනය ක්ෂේත්‍රයට විශාල ලකුණු ප්‍රමාණයක් එකතු කරගන්න වගේම සා.පෙළ,උ.පෙළ සඳහා විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගන්නත් ප්‍රබල ලෙස හේතු වෙනව. ඉතින් ශිෂ්‍ය සාධනය ක්ෂේත්‍රයට ඉහල ලකුණක් ගන්න වගේම සා.පෙළ,උ.පෙළ ප්‍රතිඵල ඉහළ නංවන්න අපි බලාපොරොත්තු වෙනව නම් අපි අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් තමයි සිසුන්ට වාර විභාග වලදී ඉහල ලකුණු ප්‍රමාණයක් ලබාගන්න හැකි වන ආකාරයට කටයුතු කිරීම.මේ වෙනුවෙන් නම් අපේ ගුරු බවතුන්ට ගොඩක් දේවල් කරන්න වෙනව.පන්ති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීම,පන්ති කාමරය ළමයින්ට ප්‍රිය ජනක තැනක් බවට පත් කිරීම,ගුරුවරයා සූදානමකින් පන්තියට යාම,ක්‍රියාකාරකම් පාදකව ශිෂ්‍ය කේන්ද්‍රීයව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදු කිරීම,දරුවන් තුළ ඉගෙනුම් අපේක්ෂාවන් ඇතිකිරීම, වාරය තුළ විෂය නිර්දේශය ආවරණය කිරීම, විභාගයට ආසන්න කාලය තුළ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයීම මගින් දරුවන්ට විභාග අත්දැකීම් ලබාදීම,දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය සාර්ථක කර ගන්න දෙමව්පියන්ගේ සහය උපරිම ලෙස ලබාගැනීම වගේ දේවල් කරන්න වෙනව.මේ වෙනුවෙන් අපේ විදුහල්පති තුමන්ලාටත් ලොකු දෙයක් කරන්න පුළුවන්.අපේ ගුරු බවතුන් දැනගත යුතු විශේෂම දෙයක් තියෙනව.පන්තියේ ඉන්න හැම දරුවෙකුටම හැම විෂයකටම ලකුණු 40 ට වැඩියෙන් ගන්න පුළුවන් නම් වාර විභාග ලකුණු සඳහා නියමිත උපරිම ලකුණු ප්‍රමාණයම ලබා ගන්න පුළුවන්. විධිමත් ආකාරයෙන් ඉගෙනුම් ක්‍රියාවලියේ යෙදෙන දරුවෙකුට 40 ට වැඩි ලකුණක් ගන්නවා කියන එක අමාරු දෙයක් නම් නෙමෙයි.අපේ ගුරු බවතුන් පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ දී 40 ට අඩු එහෙත් ඊට ඉතා ආසන්න ලකුණු ලැබෙන දරුවන්ගේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ දී සැලකිලිමත් වෙනව නම් ලකුණු දෙක තුනක් දෙන්න හැකි අවස්ථා ඕන තරම් හොයාගන්න පුළුවන්.මේ ගැන සැලකිලිමත් වෙනව නම් ලකුණු පොත් වල 38,39 වගේ ලකුණු තියෙන්න විදිහක් නැහැ.ශිෂ්‍ය සාධනය ක්ෂේත්‍රයට ලකුණු වැඩි කර ගන්න ලැබෙන ඉතා හොඳ අවස්ථාවක් මේක.
හතරවන නිර්ණායකය වෙන් වෙන්නේ පාසල් පාදක ඇගයීම් වෙනුවෙන් (SBA -school base assesment).ශිෂ්‍ය සාධනය ක්ෂේත්‍රයට පහසුවෙන්ම ලකුණු උපයා ගන්න පුළුවන් නිර්ණායකය මේක. හැබැයි මේකේ වැඩි බර පැවරෙන්නෙ අපේ ගුරුවරුන්ට.තමන් උගන්වන විෂය අනුව එක පන්තියක එක වාරයකට එක බැගින් පාසල් පාදක ඇගයීම් කරන්න ඕනෙ.ළමයින් නම් මේ වැඩේට හරිම කැමතියි.විශේෂයෙන්ම පොත පතේ වැඩවලට එතරම් දක්ෂතා නොදක්වන වාර විභාගවලින් අඩු ලකුණු ගන්න දරුවන්ට තමන්ගේ දක්ෂතා එළි දක්වන්න වටිනාකම් එකතු කරගන්න ඔවුන් තුළ පවතින බහුවිධ බුද්ධි කුසලතාවයන් මතු කර ගන්න එයාලට ලැබෙන හොඳම අවස්ථාවක් මේක.දැනුමට එහා ගිය කුසලතාවයන් වගේම ආකල්ප මතුකර ගන්නත් ලැබෙන ස්වර්ණමය අවස්ථාවක්. මුළුමනින්ම ක්‍රියාකාරකම් පාදකව සිදුවන SBA හරි විදියට ක්‍රියාත්මක වෙනවා නම් ඒ පාසලේ බිත්ති පුවත්පත,පන්ති කාමර,ගණිතාගාර,විද්‍යාගාර සිසු නිර්මාණවලින් පුරවන්න පුළුවන්.ගණිත ප්‍රදර්ශන විද්‍යා ප්‍රදර්ශන වලට අවශ්‍ය කරන බොහෝ නිර්මාණ මේ SBA හරහාම නිර්මාණය කරගන්නත් පුළුවන්. පාසලක SBA හරියට ක්‍රියාත්මක වෙනවා නම් ඒක හතර වන නිර්ණායකය යටතේ ශිෂ්‍ය සාධනය ක්ෂේත්‍රයට ඉහල ලකුණක් ලබා ගන්න හේතු වෙනවා වගේම පන්ති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ශක්තිමත් වීම තුළින් වාර විභාගයේ ලකුණු වැඩි කර ගන්නත් පුළුවන්.ඒ කියන්නේ තුන්වන නිර්ණායකට අදාල ලකුණු වැඩි කර ගන්නත් හේතු වෙනව.වාර විභාග ලකුණු ඉහළ යනවා කියන්නේ ඒක ඍජුවම සා.පෙළ, උ.පෙළ ප්‍රතිඵල ඉහළ යන්න හේතු වෙනවා. ඒ අනුව දෙවන නිර්ණායකයේ ලකුණු වැඩි කර ගන්නත් SBA හේතුවෙනව.ඒ අනුව අපට පැහැදිලි වෙනවා පාසලක SBA හොඳින් ක්‍රියාත්මක වීම මොනතරම් වටිනවද කියල.මේ වෙනුවෙන් ගුරු බවතුන්ට පොඩි දෙයයි කරන්න තියෙන්නෙ.වාරයට උගන්වන පාඩම් අතරින් ක්‍රියාකාරකමකට යොමු කරගන්න වඩාත් සුදුසු පාඩමක් තෝරගෙන ඇගයීම් සැලසුම නිවැරදි ආකෘතියට අනුව ලියාගන්න ඕනෙ.ඒ වගේම එහි පිටපතක් කාර්යාලයේ ඇති ඇගයීම් සැලසුම් ගොනුවට ඇතුළත් කරන්නත් අමතක කරන්න එපා.ඊළඟට කරන්න තියෙන්නේ පූර්ව සූදානමක් සහිතව අවශ්‍ය සම්පත් සපයාගෙන කණ්ඩායම් හෝ කේවල විදියට අදාල ක්‍රියාකාරකමේ දරුවන්ව නිරත කරවන එක.පහසු සුදුසු ක්‍රමයකට නිර්ණායක පිහිටුවාගෙන දරුවන්ට ලකුණු පිරිනැමීමත් කරන්න ඕනෙ.දරුවන්ගේ අවසන් නිමැවුම් සුදුසු පරිදි ඉදිරි ප්‍රයෝජනයට යොදා ගන්න අතරම ක්‍රියාකාරකම සඳහා දරුවන්ට ලබා දුන් ලකුණු විධිමත්ව ලේඛනගත කරල කාර්යාලයේ ඇති SBA ලකුණු පොතට ඇතුළු කරන්නත් ඕනෙ.අපේ ගුරුවරු මේ වැඩ ටික හරියට කරනව නම් ඒක ශිෂ්‍ය සාධනය ක්ෂේත්‍රයට විශාල ලකුණු ප්‍රමාණයක් එකතු කරගන්න ලොකු උදව්වක් වෙනව.වාර විභාග ලකුණු වගේම සා.පෙළ,උ.පෙළ ප්‍රතිඵල ඉහළ යන්නත් එය හේතුවෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ.ඊටත් අමතරව දරුවන් තුළ විසි එක්වන සියවසේ කුසලතා සියල්ලම වගේ ගොඩනගන්නත් SBA හේතුවෙනව.
හරි දැන් අපිට තියෙන්නෙ අවසන් නිර්ණායකය. ඒ කියන්නේ පස්වන නිර්ණායකය.සාරාංශකරණය. අනෙකුත් ක්ෂේත්‍ර හතරටම අදාල ලිපි ලේඛන හා ලිපිගොනු වගේම ප්‍රතිඵල සංවර්ධන වැඩසටහන් සහ ප්‍රතිපෝෂණ වැඩසටහන් වලට අදාල ලිපිගොනු නිවැරදිව නඩත්තු කිරීම තමයි මේ නිර්ණායකය යටතේ කරන්න තියෙන්නෙ.ගුරු බවතුන් තමන්ගේ යුතුකම් වගකීම් ටික නොපිරිහෙලා ඉටුකරනව නම් ශිෂ්‍ය සාධනය ක්ෂේත්‍රය භාර ගුරුබවතුන් තමන්ගේ කාර්යභාරය ගැන සැලකිලිමත් නම් විදුහල්පතිතුමන්ගේ සහයෝගය සහ මැදිහත්වීම ලැබෙනව නම් මේ නිර්ණායකයට නියමිත ලකුණු ප්‍රමාණය බොහොම පහසුවෙන් උපයගන්න පුළුවන්.ශිෂ්‍ය සාධනය ක්ෂේත්‍රයට අදාලව නඩත්තු කළ යුතු ලිපි ලේඛන හා ලිපිගොනු මොනවද?වාර විභාග ලකුණ පොත් ටික විධිමත්ව පවත්වා ගෙන යන්න ඕනෙ.ඒ වගේම වාර විභාග ලකුණු විශ්ලේෂණ ගොනු(tool එකට ලකුණු ඇතුළත් කර ලබාගත් මුද්‍රිත පිටපත්) ටිකත් විධිමත්ව පවත්වා ගන්න ඕනෙ.ඒ වගේම තමයි ජාතික විභාග ප්‍රතිඵල විශ්ලේෂණ ගොනු ටිකත් වෙන් වෙන් වශයෙන් විධිමත්ව ගොනුගත කරන්න ඕනෙ.ඒත් එක්කම ඇගයීම් සැලසුම් ගොනු සහ SBA ලකුණු පොත් ටිකත් විධිමත්ව පවත්වා ගන්න ඕනෙ.ඒ වගේම ප්‍රාථමික අංශයේ එක් එක් අවධියට අදාලව අත්‍යවශ්‍ය ඉගෙනුම් නිපුණතා සම්පූර්ණ කළ ගොනු ටිකත් ගොනු කරල තියාගන්නම ඕනෙ.සාධන මට්ටම් විශ්ලේෂණ මත පාසලේ ක්‍රියාත්මක ප්‍රතිඵල සංවර්ධන වැඩසටහන් සහ ප්‍රතිපෝෂණ වැඩසටහන් පිළිබඳ ගොනු පවත්වා ගන්නත් ඕනෙ.විශේෂයෙන්ම සා.පෙළ විභාගයට ඉදිරිපත් වන දරුවන්ගේ වාර විභාග ලකුණු අනුව සා.පෙළ සමත් ඉලක්ක,ගුරු බවතුන් හට ලබාදුන් විෂය සමත් ඉලක්ක ඇතුලත් ලේඛන ටිකත් ඉතා හොඳින් නඩත්තු කළ යුතු වෙනව.මේ ලිපිගොනු ටික හොඳින් නඩත්තු නොවුනොත් නම් ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද අධීක්ෂණවලදී අනෙක් නිර්ණායක වලට ලකුණු දෙන්න අවශ්‍ය කරන සියලු සාක්ෂි තියෙන්නෙ මේ ලිපිගොනු ටික ඇතුලෙ නිසා.ඉතින් පාසලේ ඉතිරි නිර්ණායක හතර මොනතරම් හොඳින් ක්‍රියාත්මක වුණත් හොඳ ලකුණක් උපයගන්න බැරිවෙනවා මේ නිර්නායකය හොඳින් ක්‍රියාත්මක නොවුනොත්.මේ ඔක්කොම හරියට තිබුණත් වැඩක් නෑ අධීක්ෂණයක් දවසට අවශ්‍යම දේ නැතිව.එක් එක් වාරය අවසානයේ එක් එක් නිර්ණායකයට ලකුණු ලබා දෙමින් ශිෂ්‍ය සාධනය ක්ෂේත්‍රයට අදාල අභ්‍යන්තර ඇගයීම් වාර්තාව විධිමත්ව සම්පූර්ණ කර තිබීම අත්‍යවශ්‍යම වෙනව.
ඩබ්.එම්.එස්.වීරසේකර
ගුරු උපදේශක(ගණිතය)
ක.අ.කා.
කළුතර.
2026.08.14