Sri Dhammarathanodaya Daham Pasala - Kaduruwela

Sri Dhammarathanodaya Daham Pasala - Kaduruwela දැහැමි සමාජයක පෙරගමන්කරු ❤️
🙏දහම් පාසල🙏

ශ්‍රී ධම්මරතනෝදය දහම්පාසල් ප්‍රධානාචාර්‍යකඳුරුවෙල ජයන්ති විහාරස්ථ විහාරාධිපති පූජ්‍ය ධම්මපාල ස්වාමීන් වහන්සේගේ 61 වෙනි ජ...
13/08/2023

ශ්‍රී ධම්මරතනෝදය දහම්පාසල් ප්‍රධානාචාර්‍ය
කඳුරුවෙල ජයන්ති විහාරස්ථ විහාරාධිපති පූජ්‍ය ධම්මපාල ස්වාමීන් වහන්සේගේ 61 වෙනි ජන්ම දිනය අදයි.

ඔබවහන්සේට තවත් චිරාත් කාලයක් මෙහි වැඩ සිටිමින් අනේක ජනයාගේ සිත් සතන් පුබුදුවාලමින්, අපසැම නිවැරදි දිශානතියක් කරා යොමු කරවීමට ධෛර්ය , ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.🙏
ඔබ වහන්සේට සුබම සුබ ජන්ම දිනයක් වේවා❤️🙏

☸️..ඇසළ පුන් පෝදා සිදු වූ අසිරිමත් සිදුවීම්..🌸🌸 වෙසතුරු අත් බැවින් පසු තුසිත දෙව්ලොව ඉපදුණු බෝසතාණන් වහන්සේ දෙව්බඹුන්ගේ ...
01/08/2023

☸️..ඇසළ පුන් පෝදා සිදු වූ අසිරිමත් සිදුවීම්..

🌸🌸 වෙසතුරු අත් බැවින් පසු තුසිත දෙව්ලොව ඉපදුණු බෝසතාණන් වහන්සේ දෙව්බඹුන්ගේ ආරාධනා පිළිගෙන පස්මහ බැලුම් බලා දඹදිව මධ්‍යදේශයෙහි කපිලවස්තු පුරයෙහි සුද්ධෝදන ශාක්‍ය රජතුමා ගේ අග මෙහෙසිය වන මහාමායා දේවිය කුස පිළිසිඳ ගත්තේත් ඇසළ පුනු පොහෝ දිනයක ය.

🌸🌸 එකුන් තිස් වියේදී ලෙඩෙකු, මහල්ලෙකු මළ මිනියක් මහණ රුවක් යන සිවු පෙර නිමිති දැක ගිහිගෙය කළකිරී අභිනිෂ්ක්‍රමණය කරන ලද්දේත් ඇසළ පුනු පොහෝ දිනයක ය.

🌸🌸 බුදුරදුන් ඇතුළු පස්වග මහණුන් ගේ ප්‍රථම වස්සූපගමනය බරණැස මිගදාය නම් වූ ඉසිපතනයේ සිදුවූයේත් ඇසළ පුනු පොහෝ දිනයක ය.

🌸🌸 රාහුල කුමරුන්ගේ උපත සිදුවූයේත් ඇසළ පුනු පොහෝ දිනයක ය. බුදුරදුන් ගණ්ඩම්බ රුක්මල්හි දී තිර්ථකයන් ගේ මානය මර්දනය කරනු පිණිස යමාමහ පෙළහර දැක්වූයේත් ඇසළ පුනු පොහෝ දිනයක ය.

🌸🌸 එසේ ප්‍රාතිහාර්ය දක්වා සත් වැනි වස ගත කිරීමට තව්තිසා දෙව් ලොවට වැඩම කොට වස් එළඹ මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙවියනට විජම් බණ වදාළේත් ඇසළ පුනු පොහෝ දිනයක දී ය.

🌸🌸 සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකින් තෘතිය ශ්‍රාවක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහරහතන් වහන්සේලා විසින් අජාසත් රජුගේ දායකත්වය හා ආරක්ෂා සංවිධානත්වය ඇති ව රජගහ නුවර වේහාර පර්වතයෙහි ධර්ම මණ්ඩපයෙහි දී ප්‍රථම ධර්ම සංගීතිය පැවැත්වීම සඳහා රජගහ නුවරට වැඩම කොට වස් එළැඹ මූලික කටයුතු ආරම්භ කරන ලද්දේත් ඇසළ පුනු පොහෝ දිනයක ය.

🌸🌸 බු.ව. 236 වැන්නෙහි උපබුදු මිහිඳු මහරහත් මාහිමියන් ප්‍රධාන සංඝයා විසින් සම්මත කළ සීමාව තුළ ප්‍රථම ඛණ්ඩ සීමාව සම්මත කරන ලද්දේත් ඇසළ පුනු පොහෝ දිනයක ය.

🌸🌸 බු.ව. 236 වැන්නෙහි අරිෂ්ඨ කුමරුන් ප්‍රධාන සිංහලයන් පනස් දෙනා ගේ මහණ උපසම්පදාව තුම්බුරු සීමා මාලකයෙහි දී සිදුවූයේත් ඇසළ පුනු පොහෝ දිනයක ය.

🌸🌸 බු.ව. 236 වැන්නෙහි දෙවන පෑතිස් නිරිඳුන් විසින් කණ්ටක චෙතිය වටා කර වූ අට සැට ලෙන් පූජාව හා දෙසැටක් රහතන් වහන්සේලා ගේ ලංකාවෙහි ප්‍රථම වස්සූප ගමනය (පළමු වස් එළඹීම) සිදුවූයේත් ඇසළ පුනු පොහෝ දිනයක ය.

🌸🌸 බු.ව. 382 දී දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලි සෑ රදුන් තනන්නට මඟුල් ගල් තැබීම උත්සවශ්‍රීයෙන් සිදු කරන ලද්දේත් ඇසළ පුනු පොහෝ දිනයක ය.

🌸🌸 එසේම උතුරුසළ නැකතින් මහ සෑයෙහි ධාතු නිදානය අනේකප්‍රකාර ප්‍රාතිහාර්‍ය්‍ය මැද සිදුවූයේ ඇසළ පුනු පොහෝ දිනයක ය.

🌸🌸 බු.ව. 847 දී කිත්සිරි මෙවන් රජු දවස කළිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් විසින් ගෙනෙන ලද දළදා ස්වාමීන් වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා සිදු කරගෙනඑනු ලබන දළදා පෙ‍රහැරේ ආරම්භය සිදුවූයේත් ඇසළ පුනු පොහෝ දිනයක ය.

විශේෂයෙන් ලාංකික ජනයාගෙන් වැඳුම් පිදුම් ලබන නාථ - ස්කන්ධ - කුමාර - පත්තිනි ආදී දෙවියන් උදෙසා පුද පූජා පවත්වා දේව වරප්‍රසාද ලබාගෙන ශ්‍රී සමෘද්ධිය අයත් කර ගනු පිණිස ඈත අතීතයේ සිට ම මහනුවර - ශ්‍රී ජයවර්ධන පුර - අලුත් නුවර - නවගමුව - දෙවුන්දර - රත්නපුරය - කතරගම ආදී නගර ග්‍රාමයන් හි පිහිටි දේවස්ථානයන් හි වාර්ෂික වශයෙන් පැවැත්වෙන දේව පූජා පෙරහර සිදු කරන දිනය නිසාත් ආගමික වශයෙන් මෙන් ම ඓතිහාසික අංශයෙන් ද ශ්‍රෙෂ්ඨ දිනයක් වශයෙන් මෙ දවස සැලකිය හැකි ය.

හැමදෙනාටම ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන පින්බර පොහොය දිනයක් වේවා!🙏🙏🙏

01/08/2023
ධර්ම රත්නයේ ගුණ ශෝභාවන් මැනැවින් කිව හැක්කේ ඒ ධර්මයෙන්ම උපන් සිත් ඇති 🌸🌿 නිකෙලෙස් උත්තමයන්ට යි. මිළිඳු රාජ ප්‍රශ්නයේ දී ...
27/07/2023

ධර්ම රත්නයේ ගුණ ශෝභාවන් මැනැවින් කිව හැක්කේ ඒ ධර්මයෙන්ම උපන් සිත් ඇති 🌸🌿 නිකෙලෙස් උත්තමයන්ට යි.

මිළිඳු රාජ ප්‍රශ්නයේ දී එසේ ශ්‍රී සද්ධර්මයේ ගුණ නොයෙක් අයුරින් ඉස්මතු කෙරෙනවා. 🌸🌿

♀️️️“ස්වාමීනී නාගසේනයන් වහන්ස.. 🌼🌿 තථාගතයන් වහන්සේගේ මේ බුදු සසුන ඉතා මහත් ය.. ඉතා සාරවත් ය.. ඉතා ශ්‍රේෂ්ඨ ය.. ප්‍රවර ය.. අනුපම ය.. පිරිසිදු ය.. නිර්මල ය.. ඉතා සුදු පැහැ ගත්තේ ය.. වරදින් තොර වූයේ ය...”

✳️️“මහරජාණෙනි... 🌺🌿
"තථාගතයන් වහන්සේ විසින් උත්තම වූ විමුක්තිය නම් වූ පවිත්‍ර දිය දහරින් පිරිපුන් ශ්‍රී සද්ධර්ම ජලාශයක් මවන ලද්දේ ය. ඒ, ‘ක්ලේශ මලකඩින් කිලිටි වී ගිය චේතනා සහිත බුද්ධිමත් සත්වයෝ සිටිත් ද ඔවුහු සද්ධර්ම ජලාශයෙහි ස්නානය කොට සකල ක්ලේශයන් පහ කොට දමන්නාහු ය..’ කියා ය.."

✳️️"මහරජාණෙනි... 🌺🌿
"තථාගතයන් වහන්සේ බුදු සසුන නමැති රන් බඳුනෙහි අමෘතය නම් මහානීය ඖෂධ රත්නයක් බහාලූ සේක.. එය සියලු කෙලෙස් රෝග සන්සිඳවීමෙහි ලා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. කෙලෙස් රෝගයෙන් පීඩිත ව සිට ප්‍රතිකාර සොය සොයා සිටි බුද්ධිමත් ජන කෙනෙක් සිටිත් ද ඔවුහු ඒ අමා ඔසු පානය කොට සකල ක්ලේශ රෝගාබාධයන් සන්සිඳුවාගෙන සුවපත් වන්නාහුය.."

✳️️"මහරජාණෙනි... 🌺🌿
"තථාගතයන් වහන්සේ බුදු සසුන නමැති රන් බඳුනෙහි පරම උත්තම වූ.. ප්‍රවර වූ.. ශාන්ත වූ.. සුන්දර වූ.. ප්‍රණීත වූ.. අමා වූ.. ප්‍රවර මධුරත්වයෙන් පිරී ගිය කායගතාසති භාවනාව නම් වූ අමා බොජුන් තබා වදාළ සේක.."

✳️"කෙලෙස් බඩගින්නෙන් පීඩිත ඇතුළාන්ත-යක් ඇති. තණ්හාවෙන් පරිපීඩිත සිත් ඇති.. එයින් බේරීමට සිතුවිලි සිත සිතා සිටි බුද්ධිමත් ජන කෙනෙක් වෙත් ද, ඔවුහු මේ මධුර භෝජනය වළඳා කාම, රූප, අරූප යන භවත්‍රය කෙරෙහි ම ඇති සියලු තණ්හා පහ කරන්නාහු යැයි කියා ය එය තමා වදාරණ ලද්දේ..” 🌺🌿

සාදු ! සාදු ! සාදු ! 🙏🌼🌿
අප සරණ ගියේ එවන් අසහාය ධර්මයක්..

මේ ධර්මය ම යි අප ව දමනය කරන්නේ..
මේ ධර්මය ම යි අප ව හික්මවන්නේ.. 🌸🌿
ඒ ධර්මයේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ තමයි අපගේ ශාස්තෘන් වහන්සේ.. 🌸🌿
ඒ ධර්මයේ පිළිසරණ ලැබූ සංඝයා වහන්සේලා තමයි අපගේ අනුත්තර වූ පින්කෙත.. 🌸🌿

මේ මිහිරි ශ්‍රී සද්ධර්මය ලොවට දායාද කළ ධර්ම ස්වාමී වූ සමාහිත සිත් ඇති මහා ශාක්‍ය මුනීන්ද්‍රයාණන් වහන්ස.. 🙏🌺🌿

ඔබ වහන්සේ අවබෝධ කොට වදහළ..
ඒ සියලු දුක් ක්ෂය කරලන..
විරාගය ඇති කරලන..
ප්‍රණීතතර අමාව වූ..
ඒ උත්තම ශ්‍රී සද්ධර්ම රත්නයට අපගේ ජීවිත පූජා කරමු.. පූජා වේවා ! 🙏🌺🌿

•••═══════•••✨️✨️✨•••️═══════•••
🙏🙏🙏🙏🙏🙏🙏🌷🤲🌷🙏🙏🙏🙏🙏🙏🙏

තෙරුවන් පිදීමේ අනුසස්...එක් සමයෙක් හි අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයෙන් නික්ම දනව් සැරිසරා බරණැස...
26/07/2023

තෙරුවන් පිදීමේ අනුසස්...

එක් සමයෙක් හි අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයෙන් නික්ම දනව් සැරිසරා බරණැස් නුවර බලා වඩනාහු අතර මඟ තෝදෙය්‍ය නම් ගම සමීපයේ පිහිටි දේවාලයක් සමීපයට පැමිණ එහි වැඩ හිඳ ආනන්ද ස්ථවිරයන් වහන්සේ යවා ඒ සමීපයෙහි ගොවිකම් කරමින් සිටි බමුණකු කැඳවූහ. ඒ බමුණු තෙමේ තථාගතයන් වහන්සේ වෙත පැමිණ උන්වහන්සේට නො වැඳ සමීපයෙහි වූ දෙවොලට වැඳ සිටියේය. “බ්‍රාහ්මණය, මේ ප්‍රදේශය නුඹ කුමකැයි සිතන්නෙහිදැ” යි තථාගතයන් වහන්සේ ඔහුගෙන් විචාළහ. බමුණු තෙමේ “පින්වත් ගෞතමයෙනි, මෙය අප පරම්පරාවෙහි අය වැඳුම් පිදුම් කරගෙන ආ චෛත්‍යස්ථානයෙකැයි සලකා වඳිමි” යි කීය. “බ්‍රාහ්මණය, මේ ස්ථානයට වැඳීමෙන් නුඹ කරන්නේ යහපත් ක්‍රියාවෙකැ” යි තථාගතයන් වහන්සේ ඔහුට පැවසූහ. එය ඇසූ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේ මේ ස්ථානයට වැඳීම ගැන පසසන්නේ කිණම් කරුණකින් දැයි කල්පනා කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන්ට දැන ගැනීම පිණිස ඝටීකාර සූත්‍රය දේශනා කොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගේ යොදුනක් උස ස්වර්ණ චෛත්‍යය හා තවත් චෛත්‍යය ද තමන් වහන්සේ ගේ සෘද්ධි බලයෙන් අහස්හි මවා පා “බ්‍රාහ්මණය, පූජාහර්හ වූ මෙබඳු චෛත්‍යයනට පිදීම සුදුසු යයි වදාරා මහ පිරිනිවන් සුතුරෙහි වදාරා ඇති පරිදි චෛත්‍යයන් කිරීමට සුදුසු පුද්ගලයන් සතර දෙනා දක්වා ශරීර චේතිය, උද්දිස්ස චේතිය, පරිභෝග චේතිය යන චෛත්‍යයන් ගැන විශේෂ විස්තරයක් ද වදාරා අවසානයෙහි මේ ගාථාවන් වදාළ සේක.

“පූජාරහෙ පූජයෙතො බුද්ධෙ යදි ච සාවකෙ.

පපඤ්චමසතික්කන්තෙ තිණ්ණසොතපරිද්දවෙ

-

තෙ තාදිසෙ පූජයතො නිබ්බුතෙ අකුතො භයෙ,

න සක්කා පුඤ්ඤං සංඛාතුං ඉමෙත්තම්පි කෙනවි”

තේරුම :-

සසර දික් කරන තෘෂ්ණා මාන දෘෂ්ටි සංඛ්‍යාත ප්‍රපඤ්චයන් ඉක්ම වූ ශෝක පරිදේවයන් අවසන් කළා වූ එහෙයින්ම අභිවාදනාදියෙන් හා සිවුපසයෙන් පිදීමට සුදුසු වූ පිරිනිවියා වූ ද ජීවමාන වූ ද ලොව්තුරා බුදුවරුන්ට හා පසේ බුදුවරුන්ට ද බුද්ධශ්‍රාවකයන්ට ද අභිවාදනාදියෙන් හා චීවරාදී ප්‍රත්‍යයෙන් පුදන්නහුට රාගාදී ක්ලේශයන් ප්‍රහීන බැවින් නිවුණා වූ කිසිවකින් භයක් නැත්තා වූ එබඳු ගුණයෙන් යුක්ත වන බුද්ධාදී උත්තමයන් හට පූජා සත්කාර කරන්නහුට ලැබෙන්නා වූ පින් මෙතෙකැයි කිසිවකු විසින් ප්‍රමාණ කළ නො හැකිය.

පූජාර්හ වූ උත්තම පුද්ගලයෙකුට වැඳුම් පිදුම් කිරීමෙන් ලැබෙන පින මෙපමණය කියා කිසි පුද්ගලයකු විසින් කිනම් ආකාරයකින් වත් ප්‍රමාණ නො කළ හැකි බව ඉහත ගාථාවලින් දැක්වේ. පින ප්‍රමාණ නො කළ හැකිවන කල්හි එයින් ලැබෙන විපාකයත් මෙතෙකැයි ප්‍රමාණ නො කළ හැකිය. පිරිනිවියා වූ හෝ ජීවමාන වූ හෝ පූජාර්හ උත්තමයකුට වරක් පිදීමේ වටිනාකම ගැන සුධාරපිණ්ඩියත්ථෙරාපදානයේ මෙසේ වදාරා ඇත්තේ ය.

“චතුන්නම්පි දීපානං ඉස්සරං යොධ කාරයෙ,

එකිස්සා පූජනායෙතං කලං නාග්ඝති සොළසිං”

“යමෙක් දෙදහසක් කොදෙව් පිරිවර කොට ඇති සතර මහද්වීපයට ම රජ කෙරේ ද ඒ රජකම එක් පූජාවක සොළොස්වන කලාවෙන් කලාවක් පමණ ද නො අගීය” යනු එහි තේරුම යි.

මෙහි “සොළසිං කලං” සොළොස්වන කලාවෙන් කලාවය යි කියනුයේ පූජාවකින් වන කුශලය සොළොසට බෙදා ඉන් කොටසක් නැවත සොළොසට බෙදා මෙසේ දහසයෙන් එකක් නැවත දහසය වරක් බෙදීමෙන් ලැබෙන කොටසය. මිනිස් ලොව මිනිසෙකුට ලැබිය හැකි උසස්ම සම්පත්තිය සතර මහද්වීපයට අධිපති චක්‍රවර්තී රාජ්‍ය සම්පත්තිය ය. එය එක් පූජාවකින් සොළොස්වන කලාවෙන් කලාව තරම්වත් නො අගී යයි කියනුයේ දිව්‍ය ලෝකයේ දේව සම්පත්තිය හා සසඳන කල්හි චක්‍රවර්තී රාජ්‍ය සම්පත්තිය ඉතා සුළු වන බැවිනි. තුනුරුවන් කෙරෙහි සැදැහැයෙන් වරක් පූජා කරන්නහුට එය හේතු කොට අනේක වාරයෙහි දෙව් ලොව ඉපිද දෙව් සැප වළඳන්නට ලැබෙන්නේ ය.

මනුෂ්‍ය සම්පත්තිය දිව්‍යසම්පත්තිය යන මේ දෙක අතර ඇත්තේ මහා පරතරයකි. මිනිසා පරම සම්බාධ පරමප්‍රතිකූල මාතෘගර්භයෙහි ආලෝකය නො දකිමින් මහා අන්ධකාරයේ අතක් පයක් මුත් නො සෙල්විය හැකි පරිදි කලක් සිරවී සිට ඉතා දුක සේ මව්කුසයෙන් බිහිව මෙලොව එළිය දකින්නේ ය. ඔහු ඉපිද පළමුවෙන්ම කරන්නේ හැඬීම ය. හැරෙන්න පෙරළෙන්න වාඩිවෙන්න නැගිටින්න බැරිව උන් තැනම මල මුත්‍රා කරගනිමින් කලක් දුක සේ ගත කොට ඔහු නැගී එන්නේ ය.

දෙවියා කැඩපතක රූ සටහනක් පහළ වන්නාක් මෙන් සර්වාංග සම්පූර්ණයෙන් සර්වාභරණයෙන් සැරසී පහළවීම් වශයෙන් උපදී. ඒ උත්පත්තියට ඕපපාතික උත්පත්තියයි කියනු ලැබේ. මිනිසාට මෙන් ඉපදී කටයුතු කරගත හැකි වීමට කලක් බලා සිටීමට ඔහුට සිදු නො වේ. උපන් කෙණෙහි සිටම ඔහුට සියල්ල කළ හැකි ය. මිනිසා මෙන් ඉපිද මලමුත්‍රා ගොඩේ හඬහඬා නො සිට ඔහු උපන් දින පටන් මහත් යස ඉසුරෙන් ප්‍රීති වන්නේ ය. මිනිසා ඉපිද ජීවත් වන්නේ සුලු කලෙකි. දෙවියෝ බොහෝ කල් ජීවත් වෙති. ඉතාම අඩු ආයුෂ ඇති චාතුර්මහාරාජිකයේ දෙවියෝ වර්ෂ අනුලක්ෂයක් ජීවත් වෙති. පරනිර්මිත වශවර්තියේ දෙවියෝ අවුරුදුතුන් කෝටි සැට ලක්ෂයක් ජීවත් වෙති. පරණ වත් වත්ම මිනිස් සිරුර දිර දිරා නරක් වේ. පරණ වීමෙන් මිනිස් සිරුරේ ලේ අඩු වී මස් දිය වී ඇට මතු වේ. සම රැළි වැටේ. තැනින් තැන ලප ඇති වේ. කල් යාමෙන් හිසකේ රැවුල් පැසී දත් සැලී මිනිස් සිරුර විරූප වේ. මිනිසාගේ ඉන්ද්‍රියෝ ද පරණ වීමෙන් දුබල වෙති. කොතෙක් කල් ජීවත් වුව ද දෙවියන්ට ඒ ජරාව නැත. දෙවියාගේ ශරීරය මරණය තෙක් උපන් සැටියටම වෙනසක් නොවී පවතී. මිනිස් සිරුරෙන් දහඩිය ආදී අපවිත්‍ර දෑ ගලන්නේ ය. එබැවින් මිනිසාගේ වස්ත්‍රය කිළිටි වේ. ඔහුට නිතර ඇඳුම් මාරු කරන්නට ඇඳුම් පවිත්‍ර කරන්නට සිදු වේ. දෙවියන්ට එබන්දක් නැත. ඔවුන්ට උත්පත්තියෙන් ලද ඇඳුම් අපවිත්‍ර හෝ දිරා ඉරී හෝ වෙනස් කරන්නට සිදු නොවේ. ඔවුනට උත්පත්තියෙන් ලත් ඇඳුම් කිසිඳු වෙනසක් නොවී මරණය තෙක් පවතී. මනුෂ්‍යාගේ ගෙවල් හා ඇඳ පුටු ආදී භාණ්ඩ ද දිරා යන බැවින් ඔහුට ඒවාද නැවත නැවත අළුත් කරන්නට සපයන්නට සිදුවේ. දෙවියන්ගේ විමානාදිය වෙනසක් නොවී ජීවිතාන්තය දක්වා පවතී. මේ කරුණු අනුව බලන කල්හි කිය යුත්තේ මිනිස් ලොව චක්‍රවර්තී රජුගේ සම්පත්තිය ද දිව්‍ය සම්පත්තියට වඩා බොහෝ පහත් බවය. එබැවින් තථාගතයන් වහන්සේ “කපණං විස්සකෙ මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය” යනුවෙන් දිව්‍ය සුඛයේ හැටියට මිනිස් ලොව රාජ්‍යය දිළිඳු එකකැයි විශාඛා උපාසිකාවට වදාළ සේක. මෙතරම් උසස් දිව්‍ය සම්පත්තියක් ලබා දෙන්නා වූ ද ලෝකෝත්තර නිර්වාණ සම්පත්තිය ලබා දෙන්නා වූ ද පූජාමය කුශලයේ වටිනාකම පමණ නො කළ හැකිය.

** පුණ්‍යෝපදේශය **
අතිපූජනීය
රේරුකානේ චන්දවිමල
මහා ස්ථවිරයන් වහන්සේ.

බුදුපියාණන් සියල්ල දන්නේ නම් සමහර දේවල් ටික වේලාවක් මෙනෙහි කර පවසන්නේ ඇයි?***********************************මිලිඳු රජු ...
19/07/2023

බුදුපියාණන් සියල්ල දන්නේ නම් සමහර දේවල් ටික වේලාවක් මෙනෙහි කර පවසන්නේ ඇයි?

***********************************

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණන් සියල්ල දන්නේ නම් සමහර දේවල් ටික වේලාවක් මෙනෙහි කර පවසන්නේ ඇයි?

නාගසේන තෙරණුවෝ -

මහරජ, බුදුවරු දත යුතු සියල්ල දනිති. බුදුවරුන්ගේ සිත අතිපිරිසිදු නිසා, වේගවත් නිසා ඕනෑම දෙයක් වහා සිහි කළ හැකිය. යමා මහ පෙළහර පෑමේදී ශරීරයෙන් ගින්දර සහ ජලය එකවර නිකුත් වන්නා සේ පෙනෙන්නේ සිතේ ඇති වේගවත් බව නිසාය. එහෙත් සැබැවින්ම සිදු වන්නේ එක සිතකින් ගින්දරත් අනෙක් සිතකින් ජලයත් පිටකිරීමයි.

මහරජ, බුදුවරු සමහර දේවල් ටික වේලාවක් මෙනෙහි කර දැන ගන්නා බව සත්‍යය. සියල්ල වහා නොදකින බව සත්‍යය. පිහිට විය යුත්තන් සොයා යන්නේද දිනපතා අලුයම මහා කරුණා සමාපත්තියට සමවැදීමෙනි. මෙසේ මෙනෙහි කිරීම සඳහා බුදුපියාණන්ට ගත වන්නේ ඉතා සුළු කාලයකි. හකුළුවන ලද අතක් දික් කිරීමට ගතවනවාටත් වඩා සුළු කාලයකි. දික් කරන ලද අතක් හකුළුවන්නට ගතවනවාටත් වඩා අඩු කාලයකි. එක් අතක ඇති දෙයක් අනෙක් අතට ගැනීමට ගතවන කාලයටත් වඩා සුළු කාලයකි. ඇසි පිය හැරීමට ගතවනවාටත් වඩා සුළු කාලයකි. එසේ සුළු කාලයක් මෙනෙහි කර අතීතය, අනාගතය, වර්තමානය සම්බන්ධ ඕනෑම දෙයක් වදාරණ සේක.

බුදුවරුන්ට මෙසේ මෙනෙහි කළ හැක්කේ බුදුවරයකුගේ සිත රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කිලිටි වී නැති බැවිනි. පෘථග්ජන මිනිසුන්ට මෙසේ මෙනෙහි කළ නොහැක්කේ ඔවුන්ගේ සිත් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් වසා ගෙන ඇති බැවිනි.

( ආවර්ජනා ප්‍රතිබද්ධ ප්‍රශ්නය -
මිලින්ද ප්‍රශ්නය )

🌸..ඇසළ පෝය වැදගත්කම..🌸ඇසළ සඳ අහසේ උදාවෙන විට සත්‍යගවේෂී විමුක්තිකාමී ලෝකයාට නිදහස උදාවුණු තෙරුවන් ලොව පහළවුණු දිනය වශයෙන...
03/07/2023

🌸..ඇසළ පෝය වැදගත්කම..🌸

ඇසළ සඳ අහසේ උදාවෙන විට සත්‍යගවේෂී විමුක්තිකාමී ලෝකයාට නිදහස උදාවුණු තෙරුවන් ලොව පහළවුණු දිනය වශයෙන් අප‍ ගේ සිතට සිහිපත් වෙයි. බුදු දහම නමැති මිණි පහන දැල්වී එයින් ලෝකය ආලෝක වූ සැටි, බුද්ධ ශාසන රත්නාකාරය මතු වී සසුන් ගුණ රුවනින් තුන් ලොව සැනසී ගිය හැටි, බුදුහිමි මුව ගැබින් වැගිර ගලා ගිය දහම් අමා වහරින් මුළු ලොව තෙමී දුක් ගිනි නිවී සැනහී ගිය සැටි, උතුරු මිනිස් දම් පෙළහරින් තුන් ලොව ශාන්ත වී ගිය සැටි, මිනිස්, දෙව්, බඹුන්ගේ සාධු නාදයෙන් මුළු මහත් මිගදාය උතුරා ගලා ගිය සැටි, බුදුරැස් දහරින් බරණැස ඉසිපතනය නැහැවී ගිය සැටි, කාෂාය වස්ත්‍රයෙන් මිගදාය නම් අපරාජිත ශුද්ධ භූමිය බැබළී ගිය සැටි, ආසියා ලෝකයේ කැලුම් දහරා විහිදී පැතිරී ගිය සැටි අපහට සිහිපත් කරවයි.

🌼..ඇසළ පුන් පෝදා සිදු වූ අසිරිමත් සිදුවීම්..🌼

🌸🌸 වෙසතුරු අත් බැවින් පසු තුසිත දෙව්ලොව ඉපදුණු බෝසතාණන් වහන්සේ දෙව්බඹුන්ගේ ආරාධනා පිළිගෙන පස්මහ බැලුම් බලා දඹදිව මධ්‍යදේශයෙහි කපිලවස්තු පුරයෙහි සුද්ධෝදන ශාක්‍ය රජතුමා ගේ අග මෙහෙසිය වන මහාමායා දේවිය කුස පිළිසිඳ ගත්තේත් ඇසළ පුනු පොහෝ දිනයක ය.

🌸🌸 එකුන් තිස් වියේදී ලෙඩෙකු, මහල්ලෙකු මළ මිනියක් මහණ රුවක් යන සිවු පෙර නිමිති දැක ගිහිගෙය කළකිරී අභිනිෂ්ක්‍රමණය කරන ලද්දේත් ඇසළ පුනු පොහෝ දිනයක ය.

🌸🌸 බුදුරදුන් ඇතුළු පස්වග මහණුන් ගේ ප්‍රථම වස්සූපගමනය බරණැස මිගදාය නම් වූ ඉසිපතනයේ සිදුවූයේත් ඇසළ පුනු පොහෝ දිනයක ය.

🌸🌸 රාහුල කුමරුන්ගේ උපත සිදුවූයේත් ඇසළ පුනු පොහෝ දිනයක ය. බුදුරදුන් ගණ්ඩම්බ රුක්මල්හි දී තිර්ථකයන් ගේ මානය මර්දනය කරනු පිණිස යමාමහ පෙළහර දැක්වූයේත් ඇසළ පුනු පොහෝ දිනයක ය.

🌸🌸 එසේ ප්‍රාතිහාර්ය දක්වා සත් වැනි වස ගත කිරීමට තව්තිසා දෙව් ලොවට වැඩම කොට වස් එළඹ මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙවියනට විජම් බණ වදාළේත් ඇසළ පුනු පොහෝ දිනයක දී ය.

🌸🌸 සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකින් තෘතිය ශ්‍රාවක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහරහතන් වහන්සේලා විසින් අජාසත් රජුගේ දායකත්වය හා ආරක්ෂා සංවිධානත්වය ඇති ව රජගහ නුවර වේහාර පර්වතයෙහි ධර්ම මණ්ඩපයෙහි දී ප්‍රථම ධර්ම සංගීතිය පැවැත්වීම සඳහා රජගහ නුවරට වැඩම කොට වස් එළැඹ මූලික කටයුතු ආරම්භ කරන ලද්දේත් ඇසළ පුනු පොහෝ දිනයක ය.

🌸🌸 බු.ව. 236 වැන්නෙහි උපබුදු මිහිඳු මහරහත් මාහිමියන් ප්‍රධාන සංඝයා විසින් සම්මත කළ සීමාව තුළ ප්‍රථම ඛණ්ඩ සීමාව සම්මත කරන ලද්දේත් ඇසළ පුනු පොහෝ දිනයක ය.

🌸🌸 බු.ව. 236 වැන්නෙහි අරිෂ්ඨ කුමරුන් ප්‍රධාන සිංහලයන් පනස් දෙනා ගේ මහණ උපසම්පදාව තුම්බුරු සීමා මාලකයෙහි දී සිදුවූයේත් ඇසළ පුනු පොහෝ දිනයක ය.

🌸🌸 බු.ව. 236 වැන්නෙහි දෙවන පෑතිස් නිරිඳුන් විසින් කණ්ටක චෙතිය වටා කර වූ අට සැට ලෙන් පූජාව හා දෙසැටක් රහතන් වහන්සේලා ගේ ලංකාවෙහි ප්‍රථම වස්සූප ගමනය (පළමු වස් එළඹීම) සිදුවූයේත් ඇසළ පුනු පොහෝ දිනයක ය.

🌸🌸 බු.ව. 382 දී දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලි සෑ රදුන් තනන්නට මඟුල් ගල් තැබීම උත්සවශ්‍රීයෙන් සිදු කරන ලද්දේත් ඇසළ පුනු පොහෝ දිනයක ය.

🌸🌸 එසේම උතුරුසළ නැකතින් මහ සෑයෙහි ධාතු නිදානය අනේකප්‍රකාර ප්‍රාතිහාර්‍ය්‍ය මැද සිදුවූයේ ඇසළ පුනු පොහෝ දිනයක ය.

🌸🌸 බු.ව. 847 දී කිත්සිරි මෙවන් රජු දවස කළිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් විසින් ගෙනෙන ලද දළදා ස්වාමීන් වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා සිදු කරගෙනඑනු ලබන දළදා පෙ‍රහැරේ ආරම්භය සිදුවූයේත් ඇසළ පුනු පොහෝ දිනයක ය.

විශේෂයෙන් ලාංකික ජනයාගෙන් වැඳුම් පිදුම් ලබන නාථ - ස්කන්ධ - කුමාර - පත්තිනි ආදී දෙවියන් උදෙසා පුද පූජා පවත්වා දේව වරප්‍රසාද ලබාගෙන ශ්‍රී සමෘද්ධිය අයත් කර ගනු පිණිස ඈත අතීතයේ සිට ම මහනුවර - ශ්‍රී ජයවර්ධන පුර - අලුත් නුවර - නවගමුව - දෙවුන්දර - රත්නපුරය - කතරගම ආදී නගර ග්‍රාමයන් හි පිහිටි දේවස්ථානයන් හි වාර්ෂික වශයෙන් පැවැත්වෙන දේව පූජා පෙරහර සිදු කරන දිනය නිසාත් ආගමික වශයෙන් මෙන් ම ඓතිහාසික අංශයෙන් ද ශ්‍රෙෂ්ඨ දිනයක් වශයෙන් මෙ දවස සැලකිය හැකි ය.

හැමදෙනාටම ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන පින්බර පොහොය දිනයක් වේවා!🙏🙏🙏

“ පරමත්ථ යන වචනය ”....පරම + අත්ථ යන වචන දෙක එක් වූ කල්හි පරමත්ථ කියා වේ. පරම යනු උත්තමය යන අර්ථය දක්වන වචනයකි. ලෝකයෙහි උ...
21/06/2023

“ පරමත්ථ යන වචනය ”....

පරම + අත්ථ යන වචන දෙක එක් වූ කල්හි පරමත්ථ කියා වේ. පරම යනු උත්තමය යන අර්ථය දක්වන වචනයකි. ලෝකයෙහි උත්තමය, උසස් ය යන වචන භාවිත කරනුයේ හොඳ වස්තූන්ට හා හොඳ පුද්ගලයන්ට ය. එහෙත් පරම යන වචනයෙන් අදහස් කරන උත්තම බව නම් හොඳ බව හෝ නරක බව හෝ නොව හොඳ බැව්හි හෝ නරක බැව්හි වැඩි බව ය. එබැවින් ඉතා ම හොඳ කුශලයට පරම කුශල යයි ද, ඉතා ම නරක පාපයට පරම පාපය යි ද, ඉතා ම හොඳ සැපයට පරම සුඛය යි ද, ඉතා ම නරක දුකට පරම දුක්ඛය යි ද කියනු ලැබේ. තව ද ඉතා ම හොඳ මිතුරාට පරම මිත්‍ර‍යා යයි ද, ඉතා ම නරක සතුරාට පරම සතුරාය යි ද, ඉතා උසස් ලාභයට පරම ලාභය යි ද, ඉතා උසස් ධනයට පරම ධනය යි ද කියනු ලැබේ. මේ සෑම තැන ම පරම යන වචනයෙන් ගැනෙනුයේ ඒ ඒ ස්වභාවයා ගේ වැඩි බව ය. මෙහි උත්තම බව යයි කියනුයේ ඒ වැඩි බවට ය. හීනාර්ථය යි කී සත්‍ය වශයෙන් නො ලැබෙන අර්ථය ද සත්‍ය වශයෙන් නැතත් එක්තරා ආකාරයකින් ලෝකයා ගේ පිළිගැනීමේ සැටියට ඇති අර්ථයකි. ඒවායේ ඇති බවට වඩා මහත් වූ ඇති බවක් සත්‍ය වශයෙන් ලැබෙන අර්ථයෙහි ඇත. එබැවින් එය සත්‍ය වශයෙන් නො ලැබෙන අර්ථයට වඩා ඇතිකමින් හෙවත් විද්‍යමානත්වයෙන් උසස් ය. ඒ උසස් බව සලකා සත්‍ය වශයෙන් ලැබෙන ධර්මයන්ට පරමාර්ථය යි කියනු ලැබේ. හොඳ නරක දෙක කියා කියන උතුම් බව හා හීන බව අනෙකකි. ඒ ක්‍ර‍මයේ සැටියට කියන කල්හි කුශල පක්ෂයට ගැනෙන පරමාර්ථයෝ උත්තම ධර්මයෝ ය. අකුශල පක්ෂයට ගැනෙන පරමාර්ථයෝ හීනයෝ ය. මේ ක්‍ර‍ම දෙක අවුල් නො කර ගත යුතු ය.

නො පෙරළීම ය, නො වෙනස්වීම යන අර්ථ දැක්වීම සඳහා පරම යන පදය යෙදුණු තැනක් දක්නට නැත. ඇතැමුන් නො පෙරළීමක් නො වෙනස් වීමක් ගැන හා පහන් පඩික්කම් උපමා වගයකුත් පරමාර්ථය විස්තර කිරීමෙහි ලා කියතත් ඒවා මෙහි අනුචිත ය. ඒවායින් වනුයේ පරමාර්ථය තව දුරටත් අවුල් වී යෑමය. වැසී යෑම ය. ඒ නො පෙරළීම් කථාව නිසා ඇතැම්හු නො පෙරළෙන නො වෙනස් වන දෙය නම් නිවන පමණ ය, පරමාර්ථය වනුයේ ඒ නිවන පමණක් ම යයි වරදවා ගත්හ. පෙරළීමේ කථාව අත් හැර දැමුව හොත් එබඳු අවුල් නො වනු ඇත. ආභිධර්මිකයන් අතරට හා ඇතැම් අභිධර්ම පොත්වලට ද මේ නො පෙරළීමේ කථාව වැදී තිබෙන්නේ “පරමො උත්තමො අවිපරීතො අත්ථො පරමත්ථො” යන ටීකා පාඨයෙහි අවිපරීතො යන පදය වරදවා තේරුම් ගැනීමෙනැ යි සිතමු. නො පෙරළීමය යන අර්ථය දැක්වීම සඳහා අවිපරීත ශබ්දය ත්‍රිපිටක පාළියෙහි යෙදුණු තැනක් දක්නට නැත. ත්‍රිපිටක පාලියෙහි ඒ ශබ්දය යෙදී තිබෙනු දක්නට ලැබෙන්නේ සත්‍යය යන අර්ථය දැක්වීම පිණිස ය. විභාවිනී ටීකාකාරයන් වහන්සේ එය යොදා තිබෙන්නේ ද සත්‍යය යන අර්ථය දීම සඳහා ම ය. ටීකාචාර්‍ය්‍යයන් වහන්සේ පරම යන වචනයේ අර්ථය උත්තම යන වචනයෙන් කියා ඒ උත්ත බව කුශලාදි වශයෙන් නන් අයුරින් කිය හැකි බැවින් එහි අදහස් කරන උත්තම භාවය නම් සත්‍ය වශයෙන් ඇති බවය යන වග දක්වනු පිණිස සත්‍යාර්ථවාචී අවිපරීත ශබ්දය යොදා තිබේ. “පරමො උත්තමො අවිපරීතො අත්ථො පරමත්ථො” යන්නෙහි තේරුම උත්තම වූ සත්‍ය වූ අර්ථය පරමාර්ථය ය යනුයි. ව්‍යාකරණ පොත්වල පෙරළිය දැක්වීම පිණිස විපරීත යන වචනය යොදා තිබේ. මේ අවුල සිදුවී තිබෙන්නේ “අවිපරීතො” යන ටීකා වචනයෙහි අර්ථය, වියරණ පොත්වල ආ විපරීත යන්නට අනුව වරදවා ගැනීමෙනැයි සිතිය හැකිය.

අර්ථය වනාහි මූලාර්ථය විකෘත්‍යාර්ථය යි දෙවැදෑරුම් වේ. මුලින් ම තුබූ දෙය මූලාර්ථය යි. මූලාර්ථයක් වෙනස් කොට තනන ලද වස්තූන් විකෘත්‍යාර්ථයෝ ය. මැට්ට මූලාර්ථයෙකි. එයින් තැනූ සැළි ආදීහු විකෘත්‍යාර්ථයෝ ය. ලෝභය මූලාර්ථයෙකි. එයින් තැනූ ආයුධ භාජනාදීහු විකෘත්‍යාර්ථයෝ ය. ලීය මූලාර්ථයෙකි. එයින් කළ පුටු මේස ආදීහු විකෘත්‍යාර්ථයෝ ය. මූලාර්ථය සැබෑවට ම ඇතියකි. විකෘත්‍යාර්ථය නම් සැබෑවට ම නැති පෙනෙන්නට පමණක් ඇති හරයෙන් හිස් දෙකකි. මැටි, ලෝහ, ලී යන මේවා මූලාර්ථයයයි කීයේ ඒවා සැබෑවට ම මූලාර්ථ නිසා නොව මූලාර්ථ විකෘත්‍යාර්ථ දෙක හඳුන්වා දීමට උපමාවක් වශයෙනි. සජීව අජීව වස්තු සම්භාරයක් වූ ලෝකය තුළට තමන් වහන්සේගේ ඉතා තියුණු නුවණ බස්වා ලෝකයේ එක් තැනකුදු නොහැර ඉතා ගැඹුරු තැන ඉතා සියුම් තැන දක්වා ඥාන නමැති හස්තය යවා එයින් සියුම් ලෙස පිරිමදිමින් ලෝක තත්ත්වය ඉතා සියුම් ලෙස විමසූ බුදුන් වහන්සේ විසින් දක්නා ලද සියුම් වූ මූලාර්ථ කොටසක් ඇත්තේය. පරමාර්ථයයි කියනුයේ ඒවාට ය. ඒවාට පරමාර්ථය යි කියනුයේ සැබෑවට ම ඇති නිසාය. සජීවාජීව සකල වස්තූන් ම ඇතිවී තිබෙනුයේ ඒවායිනි. එබැවින් ඔවුහු මූලාර්ථ නමුදු වෙති. ලෝ තතු විමසන්නකුට එහි සාරය වශයෙන් ලැබෙන්නේ ද ඒවාය. එබැවින් ඒවාට සාරාර්ථයයි කියන්නට ද වටනේය. තථාගතයන් වහන්සේ විසින් කළ පරීක්‍ෂණය යි කීයේ මහ බෝ මැඩදී ලොව්තුරා බුදු වීම සඳහා උන්වහන්සේ විසින් කළ විදර්ශනාවට ය. එතැන දී උන්වහන්සේ නුදුටු උන්වහන්සේ ගේ නුවණට හසු නොවූ කිසිදු අර්ථයක් නැත. උන් වහන්සේ දුටු පරමාර්ථ ධර්ම කොතෙක් ද යන බව උන් වහන්සේ ම මිස අනෙකෙක් නො දනිති. එහෙත් පරමාර්ථ ධර්ම ඉතා බොහෝ ගණනක් නම් නැති බව කිය යුතුය. අභිධර්ම පොත්වල දක්නා ලැබෙන ප්‍ර‍මාණයෙන් නම් ඇත්තේ පරමාර්ථ ධර්ම දෙ අසූවකි. ඒ දෙ අසූව කොටින් කියන කල්හි චිත්තය, චෛතසිකය, රූපය, නිර්වාණය යි කියා සතරෙක් වේ.

පරමාර්ථ ධර්මයෝ වනාහි ගස් ගල් සේ මහත් ව ඇසට පෙනෙන්නට ඇත්තාහු නො වෙති. පරමාර්ථ සියල්ල ම ක්‍රියාවෝ ය. අද්‍ර‍ව්‍යයෝ ය. ක්‍රියා තත්ත්වය මැනවින් නො වටහා ගත් තැනැත්තාට පරමාර්ථයන්ගේ තත්ත්වය වටහා ගැනීම අපහසු ය. පරමාර්ථ ධර්ම තත්ත්වය දැන ගනු රිසි තැනැත්තා විසින් පළමුවෙන් ක්‍රියා තත්ත්වය පිළිබඳ කුඩා විවරණයක් කරනු ලැබේ.

ද්‍ර‍ව්‍ය ගුණ ක්‍රියා වශයෙන් ලොව ඇති සියල්ල තුනට බෙදිය හැකිය. එයින් වට බව, සතරැස් බව, දික් බව, කොට බව, පළල බව, පටු බව ආදි ගුණයන්ට ආධාර ස්ථාන වන සත්ත්ව වූ ද අසත්ත්ව වූ ද සියල්ල ද්‍ර‍ව්‍යයෝ ය. ද්‍ර‍ව්‍යයන් ගේ සෙලවීමය, ඇතිවීමය, නැතිවීමය, පැවතීමය යන මේවා ක්‍රියා ය. කෑම පීම යෑම ඒම කැපීම තැළීම පිසීම යන ආදිය ද්‍ර‍ව්‍යයන් ගේ සෙලවීම ය. ලෝකයෙහි ක්‍රියා වශයෙන් සලකන දෙයින් වැඩියක් ම ද්‍ර‍ව්‍ය චලනයෝ ම ය. ද්‍ර‍ව්‍යය ඇසට පෙනෙන්නකි. ක්‍රියාව එසේ ඇසට පෙනෙන්නක් නො වේ. එය ද්‍ර‍ව්‍ය බලා එය අනුව සිතින් දත යුත්තකි. අනුමානයෙන් සලකා ගත යුත්තකි. ක්‍රියා පෙනෙතැයි සිතනුයේ ක්‍රියා තත්ත්වය නො දැනීම නිසා ය. මාර්ගයේ රථයක් යන කල්හි පෙනෙන්නේ රථය පමණෙකි. යෑම නො පෙනේ. එය ඇසට අවිෂය ය. යන රථය එක තැනකදී ඇසට පෙනී සැණෙකින් එතැන නො පෙනී එයින් ඔබ පෙනෙයි. එතැන ද නොපෙනී එයින් ඔබ පෙනෙයි. මෙසේ මාර්ගයේ තැනින් තැන රථය පෙනීමෙන් රථයේ යෑම අනුමානයෙන් මනසට පෙනේ. මිනිසකු යන කල්හි මිනිස් සිරුර එක තැනක පෙනී එය ළඟ තැන ද එතැන පෙනී එය ළඟ තැන ද පෙනෙන්නට වන්නේ ය. එසේ මිනිස් සිරුර තැනින් තැන පෙනීමෙන් මිනිසාගේ ගමන ක්‍රියාව මනසට අනුමානයෙන් දැනේ. අතක් ඔසවන කල්හි ඔසවන අත එක් තැනෙක පෙනී දෙවනුව ඊටත් උඩින් තිබෙනු පෙනේ. තුන්වෙනුව ඊටත් උඩින් තිබෙනු පෙනේ. සතරවෙනුව ඊටත් උඩින් පෙනේ. පස් වෙනුව ඊටත් උඩින් පෙනේ. මෙසේ අත පළමු තුබූ තැන්වල නො පෙනී උස් උස් ව පෙනීමෙන් “අත ඔසවන බව” සිතට දැනෙන්නේ ය. ඇසට පෙනෙන්නේ අත ම ය. “අත ඔසවනු පෙනේය” යි කීම ලෝකයාගේ පිළිගැනීම් මාත්‍රයෙන් සත්‍යයක් වතුදු පරම සත්‍යයක් නො වේ. එසවීම් ක්‍රියාවය යනු අත නිසා ඇති වන්නා වූ එක්තරා වේගයකි. මිනිසාගේ ගමනය යි කියනුයේ ද මිනිස් සිරුර නිසා ඇති වූ වේගයකි. රථයේ ගමන යනු ද රථය නිසා ඇති වූ එක්තරා වේගයකි.

ක්‍රියාවල දීර්ඝ කාලයක් පවත්නා ස්වභාවයක් නැත. කර අවසන් කරනු සමඟ ම අභාවප්‍රාප්ත වීම සෑම ක්‍රියාවක ම සැටිය ය. යන තෙක් ගමන ක්‍රියාව පවතී. යෑම නවත්වනු සමග ම අවසන් කරනු සමග ම ගමන ක්‍රියාව අභාවප්‍රාප්ත වේ. ඉදිරියට එයින් ඉතිරි වන කිසිවක් නැත. අත එසවීම් ක්‍රියාව පවත්නේ අත ඔසවමින් සිටින තෙක් පමණකි. එසවීම අන්තිම තැනට අත පැමිණෙනු සමග ම එසවීමේ ක්‍රියාව අභාවප්‍රාප්ත වේ. මෙසේ සෑම ක්‍රියාවක් ම අභාවප්‍රාප්ත වන බව දත යුතු ය. පැය ගණන් දින ගණන් මාස ගණන් වර්ෂ ගණන් පවත්නා ක්‍රියා ඇති සැටියට ලෝකයා සලකනුයේ එක මෙන් පෙනෙන සේ බැඳී පවත්නා වූ ක්‍රියා වැල් ක්‍රියා පරම්පරාවල් එක් කොට එක් ක්‍රියාවක් සැටියට සිතා ගැනීමෙනි. ඇත්ත වශයෙන් කියන කල්හි පැයක් නො ව විනාඩියක් තත්පරයක් පමණ කල් පවතින ක්‍රියාවකුදු ඇති බව නොකිය හැකි ය. මතු දැක්වෙන කරුණු නුවණින් සලකා ඒ බව තේරුම් ගත යුතු ය.

යෑම එක් ක්‍රියාවෙකි. සිටීම එයට විරුද්ධ වූ අනෙක් ක්‍රියාවෙකි. යමෙක් යේ නම් එකල්හි හේ නො සිටී. යමෙක් සිටී නම් එකල්හි හේ නො යයි. එක් අයකුට අන්‍යොන්‍ය විරුද්ධ වූ ඒ වැඩ දෙක එක වර සිදු නො කළ හැකිය. මිනිසකු සැතැප්මකින් ඔබ පිහිටි ගමනකට පැයකින් ගිය හොත් එය පැයක් පැවති සැතැප්මක් දිග ගමන ක්‍රියාවක් සැටියට සාමාන්‍යයෙන් සලකනු ලැබේ. ඇත්ත වශයෙන් කියත හොත් එය එක් ක්‍රියාවක් නොව ගමන ක්‍රියා වැලකි. එය ක්‍රියා වැලක් බව මෙසේ තේරුම් ගත යුතුය. සැතපුමක් දිග මාර්ගයේ යන තැනැත්තා එහි නො සිටි තැනක් නැත. සිටිය දී ඔහු නො ගියේ ය. යද්දී නො සිටියේය. එසේ කියනුයේ ඒ දෙක එක් අයකුට එක වර සිදු කළ නො හෙන බැවිනි. පය ඔසවා ඉදිරියට ගෙන යෑම යෑම ය. පය බිම තැබීම සිටීම ය. යන තැනැත්තා නිතර ම එක් පයක් ඔසයා ඉදිරියට ගෙන එයි. එය ඔහුගේ යෑම ය. අනෙක් පය ඔසවනු පිණිස හේ ඒ පය බිම තබයි. එය ඔහුගේ සිටීමය. ගමන සිටීමෙන් අවසන් වෙයි. සිටීම ගමනින් අවසන් වෙයි. යන්නහු යනුයේ පියවරක් පාසා ම සිටීමෙනි. සැතපුමක් යන තැනැත්තා විසින් පියවරයක් පාසා කළ සිටීම් සියල්ල ම ගණනට නො ගෙන ඒ සිටීම අතර සිදු කළ වෙන් වෙන් වූ යෑම් රාශිය එක් කොට එකක් වශයෙන් සලකන කල්හි සැතපුමක් දිග ගමනක්, පැයක් පැවැති ගමනක් පෙනේ. එහි සත්‍යය නම් සැතැප්මක් දිග මාර්ගයෙහි පැවති සිටීම් ක්‍රියා වැලක් හා යෑම් ක්‍රියා වැලක් බව ය. සැතපුමක් යෑමට දහස් වරක් පය ඉදිරියට තබන්නට වේ නම් ඒ ක්‍රියා වැලට සිටීම් දහසක් හා යෑම් දහසක් ඇති බව කිය යුතු ය. එසේ ගත් කල්හි එක් සිටීමක එක් යෑමක කාලය ඉතා ලුහුඬු බව වැටහෙනු ඇත. ඒ එක් එක් ක්‍රියාවක ආයුෂය පැයෙන් දෙදහසෙන් පංගුවක් බව කිය යුතු ය. මෙය ද ක්‍රියාව ඇති සැටියට බෙදා දැක්වීමක් නොව එහි සැටි තේරුම් ගැනීමට පමණක් කියන ලද්දකි. සත්‍යය නම් පැයකින් දෙදහසින් පංගුවක් නොව ලක්ෂයෙන් පංගුවක් වත් පවත්නා ක්‍රියාවක් නැති බව ය. ක්‍රියා තත්ත්වය තවත් මඳක් දුරට වටහා ගැනීමට තවත් කාරණයක් කියනු ලැබේ.

පොළොවේ පෙරළී යන රෝදයක ගමන ගැන කල්පනා කරනු. නො පෙරළී තිබෙන කල්හි රෝදය බිමට බර වී තිබෙන්නාක් මෙන් ම යන කල්හි ද එය බිමට බර වී සිටීමෙන් ම යන්නේ ය. රෝදයක් පෙරළී ගිය බිමෙහි එය නො සිටි තැනක් නැත. රෝදයේ පෙරළීම එක් ක්‍රියාවකි. බිමට බරවී සිටීම එයට විරුද්ධ වූ අනෙක් ක්‍රියාවකි. කොතෙක් වේගයෙන් පෙරළීයන රෝදයක් වුව ද පෙරළෙන වරක් පාසා ම බිම සිටින්නේ ය. සිටින කල්හි නො පෙරළෙන්නේ ය. එක් වස්තුවකට ඒ ක්‍රියා දෙක එක වර සිදු නො කළ හැකි බැවින් රෝදයේ ගමනය යි කියනුයේ පෙරළීමක් ළඟට සිටීමක් ද, සිටීමක් ළඟට පෙරළීමක් ද ඇත්තා වූ ක්‍රියා වැලකට ය. සාමාන්‍ය ලෝකයා විසින් ඒ ක්‍රියා වැල, එයට අයත් සිටීම් සියල්ල ම ගණනකට නො ගෙන හැර දමා පෙරළීම් රාශිය එක් කොට ගෙන එක් ක්‍රියාවක් ලෙස සලකනු ලැබේ. කාරණය ඇති සැටියට කියත හොත් රෝදයක අඟලක් දුර පෙළීමේ දී ම එකින් එකට පෙර පසු වී සිදුවන පෙරළීම් හා සිටීම් ක්‍රියා බොහෝ ගණනක් සිදුවන බව කිය යුතු ය. එහි නිශ්චිත සංඛ්‍යා ප්‍ර‍මාණයක් නො දැක්විය හැකිය. අඟල යම් පමණ කොටස්වලට බෙදිය හැකි වේ නම් ඒ ප්‍ර‍මාණයෙන් ක්‍රියා සංඛ්‍යාව කිව යුතුය. රෝදය අඟලේ කොටස්වලින් එක් කොටසක සිට එය ළඟ කොටසකට පෙරළෙයි. එහි සිට එය ළඟ කොටසට පෙරළෙයි. එහි සිට එය ඊලඟ කොටසට පෙරළෙයි. මෙසේ පෙරළී යන බැවින් අඟලේ සෑම කොටසක දී ම පෙරළීම් සිටීම් වශයෙන් රෝදය පිළිබඳ ක්‍රියා දෙකක් සිදු වෙයි. අඟල නොයෙක් ක්‍ර‍මවලට කොටස් කළ හැකිය. තුනී කරදාසි දෙසියයක් එක් කළ කල්හි අඟලක් පමණ ඝන වේ. එබැවින් තුනී කරදාසිවල ඝන ප්‍ර‍මාණයෙන් අඟල කොටස් කළ හොත් එය කොටස් දෙසියයකට බෙදේ. අඟලක් වූ බිම එක කරදාසියක ඝන ප්‍ර‍මාණයේ සිට එය ළඟ කොටසට පෙරළීම එක් ක්‍රියාවෙකි. රෝදය එයට බර වී සිටීමෙන් ඒ ක්‍රියාව අවසන් වේ. නැවත එය ළඟ කොටසට පෙරලෙයි. එකල්හි සිටීම් ක්‍රියාව අවසන් වෙයි. මෙසේ සෑම කොටසක දී ම පෙරළීම් සිටීම් වශයෙන් ක්‍රියා දෙකක් සිදුවන බැවින් කරදාසිවල ඝන ප්‍ර‍මාණයෙන් අඟල බෙදා කියන කල්හි රෝදය අඟලක් පසු කිරීමේ දී එකකට එකක් පෙර පසු වී සිදුවන පෙරළීම් දෙසියයක් හා සිටීම් දෙසියයක් දැයි ක්‍රියා සාරසියයක් සිදුවන බව කිය යුතුය. වේගයෙන් ගමන් කරන රියක රෝදයකට අඟලක් දුර යෑමට ගත වන කාලය තත්පරයකුත් නො වන්නේ ය. ඒ ගණනින් බලන කල්හි තත්පරයක් තුළදී එකකට එකක් පෙර පසු වී සිදුවන රෝදය පිළිබඳ ක්‍රියා සාරසියයක් සිදුවන බව කිය යුතුය. එසේ ගන්නා කල්හි එක් ක්‍රියාවක ආයුෂය තත්පරයෙන් සාරසීයෙන් පංගුවක් බව කිය යුතුය. මෙය ද උපමා කථාවකි. සත්‍ය නම් තත්පරයෙන් ලක්‍ෂයෙන් පංගුවක් පමණ වත් ක්‍රියාවක් නො පවත්නා බව ය. පරමාර්ථ ධර්මයෝ යි කියනු ලබන චිත්ත චෛතසික රූපයෝ තත්පරයෙන් ලක්‍ෂයෙන් පංගුවක් පමණට වත් ආයු නැත්තා වූ ක්‍රියාවෝ ය. ලෝකයෙහි දික් ක්‍රියා සැටියට, කල් පවත්නා ක්‍රියා සැටියට සලකන සියල්ල ම එක් එක් ක්‍රියාවක් නොව ක්‍රියා වැල්, ක්‍රියා පරම්පරාවල් බව දත යුතුය.

අතිපූජනීය
රේරුකානේ චන්දවිමල
මහා ස්ථවිරයන් වහන්සේ
- අභිධර්මයේ මූලික කරුණු -

පරමාර්ථය සොයාගත යුතු ආකාරය...ඇසුණු වචනානුසාරයෙන් දැනුණා වූ ද ඇසින් දැක දැනුණා වූ ද අර්ථයක්, පරමාර්ථයක් ද නැතහොත් හීනාර්ථ...
20/06/2023

පරමාර්ථය සොයාගත යුතු ආකාරය...

ඇසුණු වචනානුසාරයෙන් දැනුණා වූ ද ඇසින් දැක දැනුණා වූ ද අර්ථයක්, පරමාර්ථයක් ද නැතහොත් හීනාර්ථයක් ද යන බව දැනගැනීම පිණිස විමසිය යුත්තේ ඒ දෙය බෙදා බැලීමෙනි. බෙදන කල්හි ද මතු දැක්වෙන නීති දෙක සිත්හි තබා ගෙන එය කළ යුතු ය.

එක එකමය, කිසි කලෙක එක දෙකක් නොවේ.
දෙක දෙකමය, කිසි කලෙක දෙක එකක් නොවේ.
යම්කිසි දෙයක් දෙකට කැඩිය හැකි වේ නම් එසේ කළ හැකි වනුයේ එය පළමුවෙන් ම දෙකක් ව තිබූ බැවිනි. එක් දෙයක් හැටියට සලකන දෙයක් හත අටකට විස්සකට තිහකට කැඩිය හැකි වෙතොත් එසේ කළ හැකි වනුයේ එය පළමුවෙන් ම හත අටක් විස්සක් තිහක් වූ බැවිනි. වස්තු දෙකක් ළංවී ඇලී එකක් මෙන් තිබිය හැකිය. එහෙත් ඇලීමෙන් දෙක එකක් නො වේ. එය ඇලී තිබෙන දෙකකි. නැවත වෙන් කළ හැකි වන්නේ ඇලී වුව ද දෙක වෙන් වෙන් ව ම පැවති බැවිනි. එක නම් සැම කල්හි ම එක ම ය. කිසිම ආකාරයකින් ඒ එක දෙක්ක නො කළ හැකි ය. මුලින් එකක් ලෙස පෙනුණු දෙයක් දෙකට කැඩිය හැකි නම් දෙකට පැළිය හැකි නම් මුලින් පෙනුණු දෙය සත්‍ය වශයෙන් ඇති අර්ථයක් නොව හීනාර්ථයක් බව දත යුතු ය. එකක් වශයෙන් සිතට පෙනුණු දෙයක් බෙද බෙදා බලන කල්හි අන්තිමට නො බෙදිය හැකි දෙයක් ලැබෙන තුරු බෙදනු. අන්තිමට ලැබෙන්නා වූ නො බෙදිය හැකි ඒ දෙය සත්‍ය වශයෙන් ඇති දෙය බැවින් එය පරමාර්ථයයි දත යුතු. යම්කිසි වචනයක් ඇසුණු කල්හි එයින් සිතට දැනුණු දෙය කවරාකාරයකින් වත් නො බෙදිය හැකි දෙයක් නම් එය පරමාර්ථය කැයි දත යුතුයි. චිත්ත, ඵස්ස, වේදනා, පඨවි, ආපෝ, තේජෝ ආදි වචන ඇසුණු කල්හි දැනෙන අර්ථ නො බෙදිය හැකි ඒවාය. එබැවින් ඒවා සත්‍ය වශයෙන් ඇත්තා වූ පරමාර්ථයෝ ය. මේසය, පුටුව, ඇඳ, පිඟාන, කෝප්පය, රෙද්ද, ගස, ගල, ගොනා, මිනිසා, දෙවියා යනාදි වචනානුසාරයෙන් දැනෙන අර්ථයෝ බෙදිය හැකි ඒවා ය. එබැවින් ඒවා සත්‍ය වශයෙන් නැත්තා වූ හීනාර්ථයෝ ය. සම්මුතිය පඤ්ඤත්තිය යන වචන දෙක ද හීනාර්ථය ප්‍ර‍කාශ කිරීම සඳහා භාවිත කරන වචන දෙකකි.

අතිපූජනීය
රේරුකානේ චන්දවිමල
මහා ස්ථවිරයන් වහන්සේ. -
අභිධර්මයේ මූලික කරුණු.

Address

Muslim Colony Road
Kaduruwela

Telephone

+94779550659

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Dhammarathanodaya Daham Pasala - Kaduruwela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category