10/04/2026
හෙලෝ කට්ටිය. අද අපි කතා කරන්න හදන මාතෘකාවට අපිට පොඩ්ඩක් අතීතයට යන්න වෙනවා. ඔව් අද අපි මේ කතාව මොකද්ද කියල දැනගන්න යමු ඉතාලියට. අද අපේ කතාවෙ කතා නායකයා ජීවත් වුණේ මේ ඉතාලියේ පුනරුද සමයේ. අපේ මේ කතා නායකයා ඒ කාලෙදි ලෝකෙට පහළ වෙලා මුළු ලෝකෙම ප්‍රසිද්ධ වෙච්ච කෙනෙක්. සරලවම කිව්වොත් මෙයා ජීවත් වෙලා හිටපු කාලෙටත් වඩා අවුරුදු සිය ගණනක් ඉදිරියට අනාගතේ දැකපු විශිෂ්ට මනුස්සයෙක්. ලෝකෙම මෙයාව අඳුරගන්නෙ කලාකරුවෙක් විදිහට වුණාට මෙයාව එක වෘත්තීයක් ඇතුළට ලඝු කරන්න බැරි තරම් මොකද මොහු Polymath කෙනෙක්. ඒ කියන්නෙ මොහුගේ දක්ෂතාවය එක තැනකට සීමා නොවී පැති ගණනාවකට විහිදිලා ගියපු එකක්.
ඉතින් ඔයාලා දැනටමත් දකින්න ඇති අපි කවුරු ගැනද මේ කතා කරන්නෙ කියලා. ඔව් මේ ලියනාඩෝ ඩාවින්චි. අපි හැමෝම ලියනාඩෝ ඩාවින්චිව අඳුර ගන්නෙ ලෝක ප්‍රසිද්ධ මොනාලිසා චිත්‍රයෙන් වුණාට ඔහුගේ අරුම පුදුම ජීවිතේ ඇතුළෙන් හිතාගන්නවත් බැරි තරමේ දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට මේ පෝස්ට් එකෙන් දැනගන්න පුළුවන් ඔහු මොනවගේ දක්ෂයෙක්ද සහ ඔහුව කලාකරුවෙක්ටම සීමා කරන්න බැරි ඇයි කියලත්.
ලියනාඩෝ ඩාවින්චි උපත ලබන්නෙ 1452 අප්‍රියෙල් මාසෙ 15 වෙනිදා වර්තමාන ඉතාලියේ වින්චි (Vinci) කියන ගම්මානයේ. ඉතින් ඩාවින්චිගෙ මුළු අනාගතයම තීරණය වෙන්න ඔහුගේ පවුලේ පසුබිම තදින්ම බලපෑවා. ඔහුගේ මව සහ පියා වුණේ ශ්‍රීමත් පියරෝ (Ser Piero) කියන ප්‍රසිද්ධ නීතිඥවරයා සහ කැටරිනා (Caterina) කියන සාමාන්‍ය ගැමි කාන්තාවක්. හැබැයි ඩාවින්චි ඉපදෙනකොට මොවුන් දෙදෙනම අවිවාහකයි කියල තමයි විස්තර පවතින්නෙ.
ඉතින් මේ හේතුව නිසා ඩාවින්චිගෙ අධ්‍යාපනයට බලපාල තියෙනවා. මෙතනදි ඔහුට විශ්වවිද්‍යාලයට පිවිසෙන්න තිබුණ අවස්ථාව වගේම ඔහුගේ පියාගේ රැකියාව වෙච්ච නීතිඥ වෘත්තියට පිවිසෙන එකටත් මෙතනදි බාධා එල්ල වෙලා තියෙනවා. ඉතින් මේ කියපු හේතුව නිසා ඩාවින්චිගෙ මුළු අනාගතේම වෙනස් වෙන්න බලපෑවා කියලා කියන්න පුළුවන්. මොකද ඔහුට මේ උසස් අධ්‍යාපනයට ලැබිච්ච අවස්ථාව ගිලිහී යෑමත් එක්ක ඔහු තනිවම ස්වභාව ධර්මය ගවේෂණය කරන්න පටන්ගන්නවා.
ඉතින් මේ ඩාවින්චි තමන්ව හඳුන්වා ගත්තෙ "Uomo sanza lettere" හෙවත් අකුරු නොදන්න විධිමත් මිනිසා කියන නමින්. ඇත්තටම ඔහු හොඳ නිරීක්ෂකයෙක්. ඒකට හේතුව තමා ඔහු ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ තමන්ගෙ අවට තියෙන පරිසරයේ වෙන සංසිද්ධීන් ඉතා හොඳින් නිරීක්ෂණයට ලක් කරලා. ඇත්තටම ඔහු ගොඩක් දේවල් ඉගෙනගත්තෙ පොත පතින් නෙමේ.
ඉතින් අපි කලින් කිව්වනෙ ලියනාඩෝ ඩාවින්චි කියන්නෙ එක තැනකට ලඝු කරන්න පුළුවන් මනුස්සයෙක් නෙමෙයි කියලා. ඒ ඇයි කියලා අපි දැන් බලමු.
කලාව 🎨🎭
කලාව පැත්තෙන් ගත්තොත් තමයි ඔහු ලෝක ප්‍රසිද්ධ චරිතයක් වුණේ. ඉතින් ඔහුගේ සුප්‍රසිද්ධ කලා නිර්මාණ මොනවද කියල බැලුවොත්. සුප්‍රසිද්ධ මොනාලිසා චිත්‍රය, ජේසුස් වහන්සේගේ අන්තිම භෝජන සංග්‍රහය, (Salvator Mundi) නමින් හැඳින්වෙන ලෝකයේ ගැලවුම්කරු ලෙස දැක්වෙන ජේසුස් වහන්සේගේ මිල අධිකම සිතුවම වගේම (Lady with Ermine) කියන සතෙකු අතැතිව සිටින කාන්තා ඡායාරූපය වගේ සුප්‍රසිද්ධ සිතුවම් අපිට හඳුනාගන්න පුළුවන්.
ඒ විතරක් නෙමෙයි මොහු දක්ෂ මූර්ති ශිල්පියෙක් විදියටත් අපිට හඳුනාගන්න පුළුවන්. ඒ කාලයේ ප්‍රංශයේ හිටපු ධනවත් ආදිපාදවරයා වෙච්ච ලුඩොවිකෝ ස්ෆෝර්සා ගේ මන්දිරයේත් ඔහු කාලයක් සැරසිලි නිර්මාණ කටයුතු සිදු කරල තියෙනවා.
ඉතින් මේ ඩාවින්චි කරපු මේ කලා නිර්මාණ බොහොමයක් බැලූ බැල්මට අදහාගන්න බැරි තරම් සියුම්ව කරපු තාත්වික නිර්මාණ විදියට අපිට හඳුනාගන්න පුළුවන්.
විද්‍යාව 🔭🔬
මේක තමයි ලියනාඩෝ ඩාවින්චිගෙ ගොඩක් අය නොදන්න පැත්ත. විද්‍යාව හා තාක්ෂණය පැත්තෙන් ගත්තොත් එහෙම හිතාගන්න බැරි තරම් නිර්මාණ ගොඩක් කරපු කෙනෙක් තමයි මේ ඩාවින්චි කියන්නෙ.
ඉතින් මොහුගේ විද්‍යාත්මක නිර්මාණ ගත්තොත් මිනිස් සිරුරේ ජ්‍යාමිතික මිනුම් සහිතව ඇඳපු චිත්‍රය, මිය ගිය මළසිරුරු යොදාගෙන ඔහු ඇඳපු ගර්භණී මව් කුසේ කළල චිත්‍ර අදටත් විද්‍යාවට අනුව 100%ක් නිවැරදීයී කියලා පිළිගන්න පුළුවන්.
ඒ වගේම ඩාවින්ගෙ ඉංජිනේරු සැලසුම් පවා බලද්දි ඒවා වර්තාමනයෙදි පවා පිළිගන්න පුළුවන් ඉතා සාර්ථක සැළසුම්. උදාහරණ විදියට පෙන්නුවොත් යුද්ධයකදි සතුරන් මැදින් ආරක්ෂාකාරීව ගමන් කරන්න පුළුවන් කාලතුවක්කු සවිකරපු යුද්ධ ටැංකියක ආකෘතිය, මිනිසෙක්ට අහසෙ ඉඳලා පොළවට පතිත වෙන්න පුළුවන් පිරමීඩාකාරයේ පැරෂුට් සැලසුම, ගුවනේ පියාසර කළ හැකි ගුවන් යානා ආකෘතිය (Aerial Screw) එන්ජිමක් රහිත මෝටර් රථයකට සමාන කරත්තය. වගේ ඒ කාලෙට අනුව හිතාගන්නවත් බැරි තරම් දියුණු තාක්ෂණයක සැලසුම් ඔහු නිර්මාණය කළා.
ඉතින් මේ තරම් දියුණු බුද්ධියක් තිබුණ මනුස්සයෙක්ව කලාකරුවෙක් කියලා එක රාමුවකට සීමා කරන්න බැරි ඇයි කියලා දැන් ඔයාලට දැන් පැහැදිලි ඇති.
ඉතින් මේ ලියනාඩෝ ඩාවින්චි යුධ ඉංජිනේරුවරයෙක් විදියටත් සහ සිතියම් නිර්මාණය කරන්නෙක් විදියටත් ඔහුගේ රැකියාව පවත්වාගෙන ගිහින් තියෙනවා. යුද්ධයකට අවශ්‍ය කරන සැළසුම් හැම දෙයක්ම වගේ ඩාවින්චි සාර්ථකව සැළසුම් කරල තියෙනවා. ඉතින් ඩාවින්චිගෙ අවසාන කාලයේ ඔහු ජීවත් වුණේ ප්‍රංශයේ ඒ පළමු වන ප්‍රැන්සිස් රජුගේ ආරාධනාවකට. ඉතින් ප්‍රැන්සිස් රජතුමා තමන්ගෙම පියාට වගේ ඩාවින්චිට සැළකුවා කියලා තමා වාර්තා වෙන්නෙ.
ඉතින් ලෝක ප්‍රසිද්ධ මේ මහා බුද්ධිමතා ක්‍රි.ව 1519 මැයි මස 02 වෙනිදා මිය යනවා. මිය යනකොට ඔහුට වයස අවුරුදු 67ක් පමණ වුණා කියලා සඳහන් වෙනවා. මොහු මියගියේ ප්‍රංශයේ ඇම්බෝයිස් (Amboise) නුවර ක්ලෝස් ලුසී (Close Luce) කියන මාළිගාවෙදි. වාර්තාවෙන අන්දමට මොහුගේ මරණයට හේතුව වෙලා තියෙන්නෙ අංශභාග රෝග තත්වය කියලා තමා දැක්වෙන්නෙ. ජනප්‍රවාද වල හැටියට ඔහු පළමු වන ප්‍රැන්සිස් රජුගේ දෑත මතම මියගියා කියලා මත පවතිනවා.
ඉතින් ඔයාලට හිතාගන්න පුළුවන් නේද ලියනාඩෝ ඩාවින්චිගෙ කියන්නෙ කොහොම බුද්ධිමතෙක්ද කියලා. මෙතනදි තියෙන විශේෂත්වය තමා ඔහු මේ දැනුම මුවහත් කරගත්තෙ පරිසරය නිරීක්ෂණය කරලමයි. උදාහරණයක් විදියට කිව්වොත් අර ගුවන් යානා සැළසුම් ඔහු කුරුල්ලන්ගෙ ස්වාභාවය ඉතා හොඳින් නිරීක්ෂණය කරලා කරපු සැළසුමක්. මේ වගේ ඔහුගේ නිර්මාණ සඳහා දායක කරගත්තෙ පරිසරයේම සංසිද්ධීන් කියලා දැන් ඔයාලට පැහැදිලි ඇති. ඒ වගේම තවත් ඩාවින්චි ගැන තවත් පොඩි රහසක් ඔයාලට කියන්න තියෙනවා 😉 ඩාවින්චි ගොඩක් වෙලාවට එක වැඩක් අවසාන වෙනකම්ම කරන්නෑ. ගොඩක් වෙලාවට ඒකට හේතුව වෙන්න ඇත්තෙ ඔහු එක තැනකට සීමා වෙලා ඉන්න කැමති නැති නිසාම වෙන්න ඇති.
ඒ වගේම තව දෙයක් ඩාවින්චි ඉපදුනේ ඉතාලියේ පුනරුධ සමයේ ස්වර්ණමය කාලපරිච්ඡේදයේ. විද්‍යාවේ, කලාවේ හා සාහිත්‍යයේ නව ප්‍රබෝධයක් ඇති වුණ කාලයක්. මේ නිසා ඔහුව ගොඩ දෙනෙක් හඳුන්වන්නෙ "The Renaissance man" හෙවත් පුනරුධ මිනිසා කියන නමින්.
දැන් ඔයාලට සම්පූර්ණයෙන් පැහැදිලි ඇති ඩාවින්චි ඒ කාලෙට සාපෙක්ෂව කොයිතරම් ඉදිරියෙන් හිටපු කෙනෙක්ද කියලා.
ඉතින් පෝස්ට් එක අවසානය වෙනකම් කියෙව්වට බොහොම ස්තූතියී. අපි නැවත හමුවෙමු.
මතක ඇතුව අපිවත් Follow කරන් යන්න ✔️
And don't forget to share❤️