Sri Pannawasa Daham Pasala

Sri Pannawasa Daham Pasala ☸️☸️☸️

11/10/2024
17/12/2023

3.දේවදත්ත ප්‍රවුජ්‍යා ප්‍රශ්නය.

මිලිඳු රජු -
ස්වාමීනි, දේවදත්ත පැවිදිව සංඝ භේදය කර කල්පයක් මුළුල්ලෙහි අවීචි මහා නරකයෙහි පැසෙන බව දැන දැනත් ඔහු පැවිදි කළේ ඇයි?

නාගසේන තෙරණුවෝ -
මහරජ, දේවදත්ත පැවිදි නොවී ගිහිව සිටියේ නම් බොහෝ අකුසල් කර කල්ප කෝටි ගණන් නරකයෙන් නරකයට වැටෙමින් අප්‍රමාණ දුක් විඳින බව දිවැසින් දැක තමාගේ සසුනෙහි පැවිදි වූ අයට දුක් කෙළවර වන නිසා කරුණාවෙන් ඔහු පැවිදි කළ සේක. බලවත් පුරුෂයෙක් තමාගේ නෑයෙකුට හෝ මිතුරෙකුට රජ කෙනෙකුගෙන් දැඩි දඬුවමක් ලැබුණු විට කරුණු කියා දඬුවම සැහැල්ලු කර දෙන්නාක් මෙන් ඔහුට උරුම වීමට තිබූ බලවත් දුක් සැහැල්ලු කළ සේක. දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් මහත්වූ රෝගයක් ඖෂධ බලයෙන් අඩුකර දෙන්නාක් මෙන් ඔහුට විඳීමට තිබූ බලවත් දුක් අඩුකර දුන් සේක.
ඒ දෙව්දත් තෙරද පෙර වෛරය නිසා බුදුපියාණන් මැරීමට නොයෙක් උත්සාහ ගෙන ඒ නොහැකිවූ තැන සංඝ භේදයද කර මියයන මොහොතෙහි බුදුගුණ සිහි කළේය. “ස්වාමීනි, මාගේ ලොව්තුරා බුදුපියාණෙනි, ඔබවහන්සේට අපරාධ කර මා කෙරෙහිද අංගුලිමාල කෙරෙහි දැක්වූ, නාලාගිරි ඇත්‍ රජ කෙරෙහි දැක්වූ, රාහුල කුමරු කෙරෙහි දැක්වූ කරුණාව දක්වනු මැනවි. මම සුදොවුන් මහ රජුට බෑණනුවන් වීමි. යශෝධරාවන්ට සහෝදරයා විමි. රාහුල කුමරුවන්ට මාමා වීමි. මේ නිසා මස් නරක (නිරා) දුකින් ගලවා ගත මැනව” යයි කියා බුදුන් සරණ ගියේය. මේ නිසා ඔහු මතු දිනක අවීචියෙන් මිදී සට්ඨිස්සර නම් පසේ බුදු කෙනෙක් වෙයි.
මහරජ, මෙසේ බුදුපියාණෝ ජල පහරට අසුව පහළ බලා යන දෙව්දත් උඩු ගඟ බලා හැරවූ සේක. අමාර්ගයට පැමිණි දෙව්දතුන් මාර්ගයට පැමිණ වූ සේක. ප්‍රපාතයක වැටී සිටි දෙව්දතුන්ට පිහිට වූ සේක.

( මිලින්ද ප්‍රශ්නය ග්‍රන්ථයෙන් )

04/12/2023
04/12/2023
04/12/2023

කැඳ පූජා කිරීමේ ආනිසංස...

කැඳ පූජා කිරීම යනු බොහොම අගනා දෙයක්. පාන්දරට අවශ්‍ය කරන ආහාරයක් වශයෙන් කැඳ දානය සඳහන් කළ හැකි යි. තම ජීවිතය වාසනාවන්ත කර ගැනීම සඳහා උපනිශ්‍රය වන දෙයක් වන්නේ බෙහෙත් ඖෂධ හෙවත් කැඳ යි.

කෙනෙකුට කැඳ වීදුරුවක් දීම ලොකු පිනක්. එහි අගුණ දෙයක් නැහැ. ලුණු කැඳ, කොළ කැඳ , බෙහෙත් කැඳ ආදිය බොහොම වටිනා දෙයක්. ඒ නිසා කවුුරුත් උදෑසන දානයට පෙර බෙහෙත් කැඳක් , ලුණු කැඳක් පූජා කිරීම වටිනවා.

බුදුරජාණන් වහන්සේ කැඳ පූජා කිරීමේ ආනිසංස දහයක් දේශනා කර වදාළා. ආයුෂය, වර්ණය, සැපය , බලය, ඥානය, ආදී ප්‍රධාන අනුසස් පහක් මෙලෙස ලැබෙන අතර, සාගින්න , පිපාසය ආදිය සංසිඳෙයි, වාතය අනුලෝම ව හසුරුවයි. ආමාශය පිරිසුදු වන අතර, නොපැසුණු ආහාර පැසී යෑම සිදු වේ. මෙලෙස කැඳ පානයෙන් තමන්ට අනුසස් ලැබෙන අතර, වෙනත් කෙනෙකුට කැඳ පූජා කිරීමෙන් ද අනුසස් ලැබෙයි. කැඳ පූජාව එතරම් ම ප්‍රභල පූජාවක් ලෙස තථාගත ධර්මයේ පෙන්වා දෙනු ලබනවා.

යාගුදායක’ නම් රහතන් වහන්සේ නමක් විසුවා. උන්වහන්සේ මෙයට කල්ප තිස්දාහකට එහා එනම්, සුමේධ බුද්ධ ශාසන කාලයේ එක් මනුස්සයෙක් මාර්ගෝපකරණ රැගෙන ගමනක් පිටත් ව ගියා. ගං වතුර ගලා තිබුණු නිසා මග ඇහිරී තිබුණු බැවින් එදා විහාරස්ථානයක නැවතී වාසය කළා. ඒ විහාරස්ථානයේ වෙසෙන භික්ෂූන් වහන්සේලාට ද ගං වතුර නිසා පිණ්ඩපාතයට යාමට නොහැකි වුණා. එදා මේ මනුස්සයා පහන් සිතින් ම සහල්වලින් කැඳක් පිස භික්ෂූන් වහන්සේලාට පිළිගැන්වූවා. මේ පිනෙන් මේ තැනැත්තා මිනිස් සම්පත්, දේව සම්පත් ලැබුවා. ලබන්න තිබුණු සියලුම සම්පත් ලැබුවා. උසස් කුලයකමයි උපන්නේ. සියලුම දිව්‍ය සම්පත් වින්දනය කර , මනුලොව රාජ සම්පත් විඳ සසරේ අවසන් ආත්ම භාවයේ ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි වුණා. හිස කෙස් කපන විටම රහත් බවට පත් වුණා. එය විශේෂ අවස්ථාවක් බව මතක තබා ගන්න. හිස කෙස් කපන විට ම කමටහනක් දෙනවා. භාවනාවක් දෙනවා. කේශා යනුවෙන් මෙනෙහි කළ යුතු යි. එහිදී සිත සමාධි ගත වී අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වැටහී සසර පින මතුවී රහත් භාවය ලැබුවා.

බලන්න, කෙතරම් පිනක් ද? සිවුරු පොරෝගත්තේ නැහැ, භාවනා කළේ නැහැ. ප්‍රතිපත්ති පිරුවේ නැහැ. හිසකෙස් බා අවසන් වෙද්දී ම රහත් බව ලැබුවා. ඒ රහතන් වහන්සේ යාගුදායක වෙයි. එසේනම්, මේ ගැන සිතා කල්පනාවෙන් තුනුරුවන්ට කරන පූජාවේ අනුසස් හොඳින් කල්පනා කර ගන්න. නිරෝගී බව, රූප ස්වභාවය, වහා ධර්මය තේරුම් ගැනීමට සමත් බව, අඩුවක් නැතිව ආහාර පාන ලැබීම, දීර්ඝායුෂ ලැබීම ආදී ආනිශංස පහ කැඳ දානයේ ආනිසංස යි. කල්ප තිස්දාහකට පෙර කළ කැඳ පූජා දානමය කුසල කර්මයෙන් ගෞතම බුද්ධ ශාසනය දක්වා සතර අපා දුකක්, සා පිපාසා දී දුකකට පත් වුණේ නැහැ. මෙයයි කැඳ දානයේ අනුසස් යනුවෙන් වදාළා.

සැවොම තුනුරුවන්ට යමක් පූජා කරනවා නම්, එය නිවන් දකිනා තුරුම සැප විපාක ලැබෙනවා. කිසිදාක කරදර කම්කටොළු බාධක නැහැ. යහපත් විසිතුරු ජීවිත පෙළක් ලබා, බිහිසුණු සසරෙන් නිදහස් විය හැකි යි. මේ ගැන සිතා කවුරුත් බුද්ධ, ධම්ම, සංඝ රත්නත්‍රය වැඩ සිටින කාලයේ යමක් පූජා කර ගන්න. එයටත් ඇතැමෙකුට පින මදි. මහා පූජා පින්කම් කෙතරම් තිබුණත් ඇතැමෙක් ඒ අසලටවත් එන්නේ නැහැ. ඒ පවේ ස්වභාවය යි. ඇතැමෙක් කුමන තැනක තිබුණත් පිනකට අතගසනවා, එයට සම්බන්ධ වෙනවා. එය විශාල පිනක්. ඒ නිසා කොයි කවුරුත් කාර්ය බහුල ජීවිත ගත කළ ද, සුළු මොහොතක් හෝ නිදහස් කරගෙන පරලොව වෙනුවෙන් තුනුරුවන්ට යමක් පූජා කරන්න. නැතිනම්, සතර අපායට වැටී අපමණ දුක් විඳින්න සිදු වෙයි.

කැඳ දානයේ ආනිශංසයෙන් කවදාකවත් සතර අපායකට පත් වුණේ නැතැ’යි රහතන් වහන්සේ ම වදාළා. මෙලෙස තමන්ගේ මහා පින් වැඩි කරගනු ලැබුවොත් වටිනවා. කැඳ පූජාව සාමාන්‍ය පූජාවක් වශයෙන් සලකන්නට එපා. බුද්ධ, ධම්ම, සංඝ රත්නත්‍රයට මෙම පූජාව සිදු කිරීම විශාල පිනක් .

එසේනම් කවුරුත් දාන , ශීල, භාවනා පින්කම් මඟින් තමාගේ පින වැඩි කරගන්න. නැවත කවදා මනුස්සයෙක් වෙයි’දැයි කියන්නට බැහැ. පින් දහම් කළ හැකි දැ’යි දන්නේ නැහැ. ඒ නිසා අවසන් හුස්ම පොද දක්වා ම තමන්ගේ සියලු කටයුතු කරගන්නා තුරා දාන , ශීල, භාවනා, පින්කම් වැඩි කරගත යුතු යි. මග තොට යද්දී ද ඉතිපි සෝ ගාථාව මෙනෙහි කරන්න. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා යනුවෙන් මෙත් ගුණ පතුරන්න. එවිට කිසිවකින් අග හිඟකමක් වෙන්නේ නැහැ. සෑම දෙයකින් ම පිරිපුන් ජීවිතයක් ලබාගෙන භයානක සංසාර දුකෙන් නිදහස් ව නිවනට පත් වෙන්න පුළුවන්. නිවන් දකිනා ජාති දක්වා ම සුගතියක වාසය කළ හැකි යි. සුගති සම්පත් ලබා ගැනීමට අවශ්‍යකරන පින ඔබ අප ළඟ තිබෙනවා. බුද්ධ ශාසනය නිසා කෙතරම් පින් රැස් කර ගන්නවා ද? බණ අසනවා, භාවනා කරනවා, දාන මාන පින්කම් කරනවා. මේ සෑම දෙයකින් ම ලැබෙන්නේ අපායෙන් නිදහස් වීම යි. නිවනට සමීප වීම යි. ප්‍රාර්ථනා කරන සම්පත් නොලැබිය හැකි අතර පිනක් සිදු කළ විට සම්පත් ලැබෙයි. පිනක් කර ප්‍රාර්ථනා කළොත් සම්පත් ලැබෙනවා. ඒ නිසා ලෞකික දෙයට වඩා ලෝකෝත්තර නිවන වටිනවා. සෝවාන් , සකෘදාගාමී, අනාගාමී, අර්හත් මාර්ග ඵල සහ නිවන යන නව ලොවුතුරා ධර්මය අවබෝධ කර ගැනීමට මේ පින හේතු වේවා යනුවෙන් සිතාගෙන ම පින්කර ගන්න. නිවන් සම්පත් ලැබේවා යන සිත තුළ තණ්හාව, තරහව, වෛර, ඊර්ෂ්‍යා , මාන කිසිවක් නැහැ. පිරිසුදු සිතකින් කරන පැතුම එය හොඳින් ඉෂ්ඨ වනවා. කැඳ දානය මෙසේ නම්, එක් දන් වේලක් පූජා කළොත් කෙතරම් ප්‍රභල ද? ලොවුතුරා බුදු කෙනෙකුට එක් දන් වේලක් පූජා කළොත් කෙතරම් වටිනවා ද?

එක්තරා දවසක රුවන්මැලි මහා සෑයට කිරි ආහාර පාත්‍ර අසූ හාර දහසක් පූජා කළා. එය කෙතරම් පිනක් ද? කැවිලි, පෙවිලි , කිරි පැණි , අතුරුපස සහිත ව ව්‍යංජන දාහක් පූජා කළා. බලන්න, මේ පින්කම දැක සතුටු වුණා නම්, එය කෙතරම් පිනක් ද? එය සංවිධානය කළ අයට කෙතරම් පිනක් ද? මෙයට වදනකින් හෝ විරුද්ධ වුණා නම්, සංසාරයේ ම සා පිපාසා දී දුකෙන් පෙළෙනවා. ඒ නිසා පූජාවන්වලට අගෞරව කරන්න එපා. නිග්‍රහ කරන්න එපා. සිත සතුටු වෙන්න, පින අනුමෝදන් වෙන්න .

බුදු සසුන ශ්‍රේෂ්ඨ බලවත් තැනක්. උන් වහන්සේ නො කළ පින්කමක් ලොවේ නැහැ. සෑම පින්කමක ම පැතුවේ බුද්ධත්වය යි. එය ප්‍රාර්ථනා කළ නිසා උන්වහන්සේට බුදු බව ලබන්නට පුළුවන් වුණා.

අතිපූජනීය කහගොල්ලේ සෝමවංශ ස්වාමින් වහන්සේ.

Address

Sri Jayasumanaramaya, Kudahakapola/South
Ja-Ela
12345678

Telephone

+94770645837

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Pannawasa Daham Pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Pannawasa Daham Pasala:

Shortcuts

Share

Category