10/02/2026
විශ්වයේ හමුවූ දැවැන්තම ව්‍යුහය, හර්කියුලිස්-කොරෝනා බොරියාලිස් මහා ප්‍රාකාරය.
විශ්වය කෙතරම් විශාලදැයි අප සිතන සෑම අවස්ථාවකම, එම සීමාවන් අභිබවා යන අලුත් සොයාගැනීමක් තාරකා විද්‍යාඥයන් විසින් සිදු කරනු ලබනවා. ඒ අතරින් 2013 වසරේදී සොයාගත් Hercules-Corona Borealis Great Wall යනු මුළු විශ්වයේම හමුවූ විශාලතම මන්දාකිණි සමූහයයි.
මෙම ව්‍යුහයේ දැවැන්ත බව වචනයෙන් විස්තර කිරීම පවා අපහසුයි. මෙහි දිග ආලෝක වර්ෂ බිලියන 10ක් පමණ වෙනවා. (සිතා බලන්න, මුළු නිරීක්ෂණය කළ හැකි විශ්වයේ විෂ්කම්භය ආලෝක වර්ෂ බිලියන 93ක් පමණයි. ඒ අනුව මෙය මුළු විශ්වයෙන් 1/9ක් පමණ වෙනවා).
මෙය පිහිටා ඇත්තේ හර්කියුලිස් සහ කොරෝනා බොරියාලිස් යන තාරකා මණ්ඩල දෙසට වන්නටයි. මෙය දහස් ගණනක් වූ මන්දාකිණි පොකුරු (Galaxy Clusters) එකිනෙකට බැඳී පවතින මහා ජාලයක් වැනියි.
මෙම මහා ප්‍රාකාරය සොයාගත්තේ ගගනගාමීන් සෘජුවම දුරේක්ෂයකින් බලා නොව, විශ්වයේ සිදුවන ගැමා කිරණ පිපිරුම් (Gamma-Ray Bursts - GRBs) සිතියම්ගත කිරීමෙනුයි. එක් ප්‍රදේශයක ඉතා විශාල වශයෙන් මෙවැනි පිපිරුම් සිදුවන බව නිරීක්ෂණය වූ අතර, එයින් අදහස් වූයේ එම ප්‍රදේශයේ අධික පදාර්ථ ප්‍රමාණයක් සහ මන්දාකිණි සාන්ද්‍රණයක් පවතින බවයි.
මෙම ව්‍යුහය සොයාගැනීමත් සමඟ විද්‍යාඥයන් විශාල ගැටලුවකට මුහුණ දුන්නා. "විශ්ව විද්‍යාත්මක මූලධර්මය" (Cosmological Principle) අනුව විශ්වය ඉතා විශාල පරිමාණයෙන් බලන විට සෑම තැනම එක හා සමානව (Homogeneous) පැවතිය යුතුයි. නමුත් ආලෝක වර්ෂ බිලියන 10ක් තරම් විශාල ව්‍යුහයක් පැවතීම එම මූලධර්මයට පටහැනි බව බොහෝ විද්‍යාඥයන්ගේ මතයයි.
මෙම ව්‍යුහය පවතින බව බොහෝ දෙනා පිළිගත්තද, සමහර විද්‍යාඥයන් පවසන්නේ මෙය තනි ව්‍යුහයක් නොව මන්දාකිණි පොකුරු කිහිපයක එකතුවක් විය හැකි බවයි. මීට ප්‍රධාන හේතුව වන්නේ "විශ්ව විද්‍යාත්මක මූලධර්මය" (Cosmological Principle) යි. මෙම මූලධර්මයට අනුව විශ්වයේ ඕනෑම ව්‍යුහයක් ආලෝක වර්ෂ බිලියන 1.2කට වඩා විශාල විය නොහැක. එම නිසා බිලියන 10ක් විශාල ව්‍යුහයක් පැවතීම තවමත් දැඩි විවාදයට ලක්වන කරුණක්.
ආලෝක වර්ෂ බිලියන ගණනක් විහිදෙන මෙවැනි මහා ව්‍යුහයන් පවතින විශ්වයක, අපේ පෘථිවිය යනු නොපෙනෙන තරම් කුඩා තිත්තක් පමණයි. එහෙත්, මේ මහා විශ්වයේ අබිරහස් විසඳීමට තරම් බුද්ධියක් අප සතු වීම පුදුම සහගතයි. එම බුද්ධිය අප භාවිතා කළ යුත්තේ මේ විශ්වීය ජාලය තුළ අපේ එකම නවාතැන වන පෘථිවිය රැක ගැනීමටයි.
24/01/2026
තාරකා උපතේ රහස් හෙළි කරන 'මැවුම් කුළුණු' (Pillars of Creation)
ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ අභ්‍යවකාශ දර්ශනවලින් එකක් වන ඊගල් නිහාරිකාවේ (Eagle Nebula - M16) පිහිටි 'මැවුම් කුළුණු' පිළිබඳ සංසන්දනයක් තමයි මේ.
නිහාරිකා යනු අලුතින් තරු උපදින ස්ථාන වන අතර, ඒවා ප්‍රධාන වශයෙන් දූවිලි හා සිසිල් වායු වලින් සමන්විත දැවැන්ත හැඩතල වනවා.
සංසන්දනයට ගත් පින්තූර දෙක එකම වස්තුවක් වුවත්, ඒවා මෙතරම් වෙනස් වන්නේ ඇයි? එයට හේතුව ඒවා නිරීක්ෂණය කරන ආලෝකයේ තරංග ආයාමයයි.
දකුණු පස ඡායාරූපය හබල් දුරේක්ශයෙන් ලබාගත් එකක්. මෙය දෘශ්‍ය ආලෝකය (Visible Light) භාවිතයෙන් ලබාගත් ඡායාරූපයක්. හබල් දුරේක්ශය මගින් අපට පෙන්වන්නේ කුළුණු වල පිටත පෘෂ්ඨය සහ වායුගෝලීය ස්ථර පමණි. මෙහිදී ඝන දූවිලි හා වායු වලාකුළු නිසා ඒවා පිටුපස ඇති බොහෝ තරු සහ තොරතුරු වැසී යනවා.
වම් පස ඡායාරූපය ජේම්ස් වෙබ් - JWST දුරේක්ශය ලබාගත් එකක්. මෙය ආසන්න-අධෝරක්ත ආලෝකය (Near-Infrared Light) භාවිතයෙන් ලබාගත් ඡායාරූපයක්. JWST හි ප්‍රධාන වාසිය වන්නේ අධෝරක්ත ආලෝකයට දූවිලි ස්ථර විනිවිද යෑමට හැකි වීමයි. එම නිසා, JWST මගින් කුළුණු ඇතුළත සහ පිටුපස සැඟවී ඇති අලුතින් උපදින තරු (Newly Formed Stars) සහ දැනටමත් පවතින තරු පැහැදිලිව හෙළිදරව් කරනවා. ඡායාරූපයේ ඇති රතු-තැඹිලි පැහැය අධෝරක්ත දත්ත නිරූපණය කරනවා.
සරලව කිවහොත්, හබල් මගින් අපට වලාකුළේ පිටත ආවරණය පෙන්වන අතර, ජේම්ස් වෙබ් මගින් එම වලාකුළේ ඇතුළත සැඟවී ඇති දේ (අලුතින් උපදින තරු) අපට පෙන්වනවා.
මෙම නව දත්ත මගින්, තාරකා උපත ලබන ආකාරය සහ විශ්වයේ තරු සහ ග්‍රහලෝක සෑදෙන ක්‍රියාවලිය පිළිබඳව වඩාත් නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට හැකි වී තිබෙනවා.
#විශ්වය
23/01/2026
එන්සෙලඩස් සහ ඔලිම්පස් මොන්ස්
සෞරග්‍රහ මණ්ඩලයේ අපූරු වස්තූන් දෙකක් වන සෙනසුරුගේ අයිස් චන්ද්‍රයා වන එන්සෙලඩස් (Enceladus) සහ අඟහරු මත ඇති යෝධ ගිනි කන්ද වන ඔලිම්පස් මොන්ස් (Olympus Mons) අතර ප්‍රමාණ සංසන්දනය කෙතරම් අපූරුද කියල දන්නවාද?
එන්සෙලඩස්, සෙනසුරුගේ චන්ද්‍රයාගේ එහි විෂ්කම්භය ආසන්න වශයෙන් කිලෝමීටර 504 ක් පමණ වන, සම්පූර්ණ අයිස් චන්ද්‍රයෙකි. එහි අයිස් කබොල යට දියර ජලය සහිත සාගරයක් සැඟවී ඇති බවට විශ්වාස කෙරෙනවා.
ඔලිම්පස් මොන්ස් කියන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝකයක් මත පිහිටා ඇති විශාලතම කන්ද. එහි උස පාදමේ සිට මුදුනට කිලෝමීටර 22 ක් පමණ වන අතර (එවරස්ට් කන්ද මෙන් තුන් ගුණයකට වඩා වැඩිය), එහි පාදමේ විෂ්කම්භය ආසන්න වශයෙන් කිලෝමීටර 600 ක් පමණ වනවා.
#විශ්වය
22/01/2026
විශ්වයේ "පෞරාණික" පෘථිවියට සමාන ග්‍රහලෝක සමූහය.
Kepler-444
විශ්වයේ වයස අවුරුදු බිලියන 13.8ක් පමණ වෙනවා. නමුත් අපේ පෘථිවිය නිර්මාණය වුණේ මීට වසර බිලියන 4.5කට පෙරයි. එතකොට පෘථිවිය හැදෙන්නත් කලින්, විශ්වයේ මුල් අවධියේ පෘථිවිය වැනි ග්‍රහලෝක තිබුණාද?
2015 දී සොයාගත් Kepler-444 පද්ධතිය මේ ප්‍රශ්නයට "ඔව්" පිළිතුරු ලබා දෙනවා.
පෘථිවියේ සිට ආලෝක වර්ෂ 119ක් ඈතින් පිහිටි Kepler-444 තාරකාවට වයස අවුරුදු බිලියන 11.2ක් පමණ වෙනවා. ඒ කියන්නේ, මෙම පද්ධතිය නිර්මාණය වී ඇත්තේ විශ්වය බිහි වී එහි වර්තමාන වයසෙන් 20%ක් පමණක් වූ මුල් අවධියේදීයි.
අපේ සූර්යයා සහ පෘථිවිය බිහි වීමටත් වසර බිලියන 7කට පමණ පෙර සිටම මෙම ග්‍රහලෝක පද්ධතිය පැවතී තිබෙනවා. මෙම පද්ධතිය තුළ පෘථිවියේ ප්‍රමාණයට ආසන්න (පෘථිවියට වඩා මඳක් කුඩා) ග්‍රහලෝක පහක් පවතිනවා. මේවා තම මව් තාරකාවට ඉතා සමීපව කක්ෂගත වී ඇති නිසා එහි උෂ්ණත්වය ඉතා අධිකයි. එම නිසා එහි ජීවය පැවතීමට ඇති ඉඩකඩ අඩු වුවත්, මෙයින් තහවුරු වන වැදගත්ම කරුණ වන්නේ විශ්වයේ මුල් අවධියේ පවා පෘථිවි ප්‍රමාණයේ ග්‍රහලෝක නිර්මාණය වීමට අවශ්‍ය පරිසරය තිබූ බවයි.
Kepler-444 පද්ධතිය පෙන්වා දෙන්නේ ග්‍රහලෝක පද්ධතීන්ට වසර බිලියන ගණනාවක් පුරා විනාශ නොවී ස්ථාවරව පැවතිය හැකි බවයි. මෙය විශ්වය පුරා ජීවය පැතිරී තිබීමේ හැකියාව පිළිබඳව නව බලාපොරොත්තුවක් ඇති කරනවා.
බිලියන ගණනක් වයසැති මේ වගේ පෞරාණික පද්ධති ගැන ඉගෙන ගන්නා විට අපට හැඟෙන්නේ විශ්වය කෙතරම් පැරණිද සහ අපේ කාලය කෙතරම් කෙටිද යන්නයි.
21/01/2026
අභ්‍යවකාශයේ පාවෙන "සුන්බුන් ගොඩ" - Mathilde ග්‍රහකය
ග්‍රහකයක් කිව්වම අපේ මතකයට එන්නේ ඉතාමත් තද, ඝනකම් පාෂාණයක්. නමුත් 1998 දී NEAR (Near Earth Asteroid Rendezvous) යානය මගින් ගවේෂණය කළ 253 Mathilde ග්‍රහකය මේ මතය සම්පූර්ණයෙන්ම වෙනස් කළා.
තාරකා විද්‍යාඥයන් පුදුමයට පත් කරමින් සොයාගත්තේ කිලෝමීටර් 53ක් පළලැති Mathilde ග්‍රහකයේ ඝනත්වය ඉතාමත් අඩු බවයි. එය කෙතරම් අඩුද කියනවා නම්, මෙම ග්‍රහකයේ අභ්‍යන්තරයෙන් 50%ක්ම පවතින්නේ හිස් අවකාශයයි.
මෙය තනි ඝන පාෂාණයක් නොව, කුඩා ගල් කැබලි සහ දූවිලි සමූහයක් ඉතා දුර්වල ගුරුත්වාකර්ෂණ බලයකින් එකට ඇලී පවතින "සුන්බුන් ගොඩක්" (Rubble Pile). Mathilde හි ඇති තවත් විශේෂත්වයක් වන්නේ එහි ප්‍රමාණයට සාපේක්ෂව පවතින අතිවිශාල ආවාටයි. සාමාන්‍ය ඝන පාෂාණයක් ඇති ග්‍රහකයකට මෙවැනි විශාල ගැටීමක් සිදු වූවා නම් එය කැබලි වී විනාශ වන්නට ඉඩ තිබුණා.
නමුත් එහි ඇති "සුන්බුන් ගොඩක්" වැනි ස්වභාවය නිසා, ගැටීමකින් ඇති වන කම්පනය මුළු ග්‍රහකය පුරාම පැතිරී යනවා වෙනුවට එම ස්ථානයටම සීමා වී (Damping effect) විශාල ආවාටයක් පමණක් ඉතිරි කරනවා. මෙය හරියට Styrofoam කැබැල්ලකට යමක් වැදුණා වැනි දෙයක්.
මෙම සොයාගැනීමත් සමඟ ග්‍රහක නිර්මාණය වී ඇති ආකාරය පිළිබඳව නව විද්‍යාත්මක පරිච්ඡේදයක් ආරම්භ වුණා. ග්‍රහකයක් පෘථිවියේ ගැටීමට එන අවස්ථාවක එය විනාශ කිරීමට හෝ ගමන් මග වෙනස් කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීමේදී මෙම "සුන්බුන් ගොඩක්" වැනි ස්වභාවය ඉතා වැදගත් සාධකයක් වෙනවා.
අභ්‍යවකාශයේ ඇති මෙවැනි ග්‍රහක පිළිබඳව අප අධ්‍යයනය කරන්නේ හුදෙක් කුතුහලය නිසාම නොවෙයි. අපේ පෘථිවිය අනාගතයේදී මෙවැනි ග්‍රහක ගැටීමකින් සිදුවන විනාශයකින් බේරා ගැනීමට නම් ඒවායේ ඇතුළාන්තය කෙබඳුදැයි දැන ගැනීම අතිශය වැදගත්. මෙවැනි පර්යේෂණ තුළින් අපේ පෘථිවියේ සුරක්ෂිතතාව තවදුරටත් තහවුරු වෙනවා.
20/01/2026
පෘථිවියේ සැඟවුණු සහායකයා - 2010 TK7 ට්‍රෝජන් ග්‍රහකය.
ඔබ දන්නවාද, අපේ පෘථිවිය සූර්යයා වටා ගමන් කරන විට, ඒ සමඟම එකම කක්ෂයේ ගමන් කරන "සැඟවුණු සහායකයෙක්" සිටින බව? 2011 වසරේදී තාරකා විද්‍යාඥයන් විසින් සොයාගත් 2010 TK7 නම් ග්‍රහකය තමයි පෘථිවියේ පළමු ට්‍රෝජන් (Trojan) ග්‍රහකය ලෙස හැඳින්වෙන්නේ.
ට්‍රෝජන් ග්‍රහකයක් කියන්නේ විශාල ග්‍රහලෝකයක් වටා ඇති "ලැග්‍රාන්ජ් ලක්ෂ්‍ය" (Lagrange Points) නම් ස්ථානවල සිර වී, එම ග්‍රහලෝකය සමඟම එකම කක්ෂයේ සූර්යයා වටා ගමන් කරන ග්‍රහකයක්.
විශේෂයෙන්ම L4 සහ L5 ලෙස හැඳින්වෙන මෙම ලක්ෂ්‍යවලදී ග්‍රහලෝකයේ සහ සූර්යයාගේ ගුරුත්වාකර්ෂණ බලයන් සමතුලිත වන නිසා, එහි ඇති වස්තූන්ට ස්ථාවරව පැවතිය හැකියි.
2010 TK7 ග්‍රහකය සොයාගත්තේ 2010 වසරේදී, නාසා (NASA) ආයතනයේ WISE (Wide-field Infrared Survey Explorer) දුරේක්ෂය මගින් ලබාගත් දත්ත විශ්ලේෂණය කිරීමෙනුයි. 2011 දී එය පෘථිවියේ ට්‍රෝජන් ග්‍රහකයක් බව තහවුරු වුණා. මෙය මීටර් 300ක් පමණ පළලින් යුත් ග්‍රහකයක්.
මෙය සූර්යයා වටා ගමන් කරන්නේ පෘථිවියට කිලෝමීටර් මිලියන 60ක් පමණ ඉදිරියෙන් පිහිටි L4 ලැග්‍රාන්ජ් ලක්ෂ්‍යයේ.
2010 TK7 ග්‍රහකය සූර්යයා වටා ගමන් කරන්නේ පෘථිවියට සාපේක්ෂව "මැඩියෙකුගේ හැඩැති" (Tadpole-shaped) කක්ෂයකයි. මෙයින් අදහස් වන්නේ එය L4 ලක්ෂ්‍යය වටා රවුමක් ගමන් කරමින්, පෘථිවියට සාපේක්ෂව තරමක් ඉදිරියටත් පසුපසටත් ගමන් කරනව කියලා.
බ්‍රහස්පති වැනි විශාල ග්‍රහලෝක වටා ට්‍රෝජන් ග්‍රහක දහස් ගණනක් ඇති නමුත්, පෘථිවිය වටා ට්‍රෝජන් ග්‍රහක තිබීම ඉතා දුර්ලභයි. මෙයට හේතුව පෘථිවියේ ගුරුත්වාකර්ෂණයට එවැනි ග්‍රහක ස්ථාවරව රඳවා ගැනීමට ඇති දුෂ්කරතාවයි. මෙම ග්‍රහක අපේ සෞරග්‍රහ මණ්ඩලයේ මුල් අවධියේ ඉතිරි වූ සුන්බුන් විය හැකියි. එම නිසා ඒවා අධ්‍යයනය කිරීමෙන් සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වූ ආකාරය පිළිබඳව වැදගත් තොරතුරු ලබාගත හැකියි.
19/01/2026
Zeldovich Pancakes - විශ්වය නිර්මාණය වූ 'පැන්කේක්' සිද්ධාන්තය
විශ්වය ආරම්භයේදී මන්දාකිණි සහ තරු විසිරී තිබුණේ අහඹු ලෙස නොව, ඉතා සංකීර්ණ රටාවකට අනුව බව ඔබ දන්නවාද? 1970 දී රුසියානු භෞතික විද්‍යාඥ යාකොව් සෙල්ඩොවිච් විසින් ඉදිරිපත් කළ 'සෙල්ඩොවිච් පැන්කේක්' සිද්ධාන්තය මගින් මේ පිළිබඳව අපූරු පැහැදිලි කිරීමක් ලබා දෙනවා.
මහා පිපිරුමෙන් (Big Bang) පසු මුල් විශ්වයේ වායූන් සහ අඳුරු පදාර්ථ (Dark Matter) සෑම දිශාවකටම ඒකාකාරීව ව්‍යාප්ත වී තිබුණේ නැහැ. ගුරුත්වාකර්ෂණ බලය නිසා මෙම වායු වලාකුළු එක් දිශාවකට වඩා වේගයෙන් ඇකිලෙන්නට පටන් ගත්තා.
මෙලෙස වායු වලාකුළු එක පැත්තකට තෙරපීම නිසා ඒවා පැතලි, තැටි වැනි ස්වරූපයක් ගත්තා. මේවා හරියට අපි කන "පැන්කේක්" වැනි නිසා මේවාට 'සෙල්ඩොවිච් පැන්කේක්' යන නම ලැබුණා. මෙම පැතලි ව්‍යුහයන් පසුව තවදුරටත් ඇකිලී නූල් වැනි කෙඳි (Filaments) සහ මහා බිත්ති (Cosmic Walls) බවට පත් වුණා.
අද අප දුරේක්ෂ මගින් දකින "විශ්වීය ජාලය" (Cosmic Web) නිර්මාණය වී ඇත්තේ මෙම මුල් කාලීන පැන්කේක් ව්‍යුහයන් බිඳී යාමෙන්. මෙම ජාලයේ නූල් වැනි කෙඳි හමුවන ස්ථානවල (Nodes) තමයි අද අප දකින විශාල මන්දාකිණි පොකුරු (Galaxy Clusters) නිර්මාණය වී තිබෙන්නේ.
සෙල්ඩොවිච්ගේ මෙම සිද්ධාන්තය "ඉහළ සිට පහළට" (Top-Down) විශ්වය නිර්මාණය වූ ආකාරය පැහැදිලි කරනවා. එනම් මුලින්ම දැවැන්ත ව්‍යුහයන් නිර්මාණය වී, පසුව ඒවා කුඩා මන්දාකිණි බවට පත් වූ බවයි මෙයින් කියවෙන්නේ. නවීන මන්දාකිණි සමීක්ෂණ (Galaxy Surveys) මගින් මෙම ව්‍යුහයන් සත්‍ය වශයෙන්ම පවතින බව තහවුරු කර තිබෙනවා.
18/01/2026
Hanny’s Voorwerp - පාසල් ගුරුවරියක විසින් සොයාගත් අද්භූත "වස්තුව"
තාරකා විද්‍යාඥයෙකු නොවී විශ්වයේ අලුත් දෙයක් සොයාගන්න පුළුවන්ද? ඔව්, පුළුවන්! 2007 වසරේදී හැනී වැන් අර්කෙල් (Hanny van Arkel) නමැති ඕලන්ද ජාතික පාසල් ගුරුවරියක විසින් කළ සොයාගැනීම මුළු මහත් විද්‍යා ලෝකයම පුදුමයට පත් කළා.
ලන්දේසි භාෂාවෙන් "Voorwerp" යන්නෙහි තේරුම "වස්තුව" යන්නයි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 650ක් ඈතින් පිහිටි මෙය, දීප්තිමත් කොළ පැහැයෙන් බබළන අතිවිශාල වායු වලාකුළක්.
ඇය මෙය සොයාගත්තේ සාමාන්‍ය ජනතාවට අභ්‍යවකාශ ඡායාරූප වර්ගීකරණය කිරීමට අවස්ථාව ලබා දෙන Galaxy Zoo නම් "පුරවැසි විද්‍යා" (Citizen Science) ව්‍යාපෘතිය හරහා.
මෙම වායු වලාකුළ කොළ පැහැයෙන් බබළන්නේ ඒ අසල ඇති IC 2497 නම් මන්දාකිණියේ මධ්‍යයේ පිහිටි කළු කුහරයකින් කලකට පෙර නිකුත් වූ දැවැන්ත ශක්ති ධාරාවක් (Quasar Outburst) නිසයි. විමතියට කරුණ නම්, එම මන්දාකිණියේ ක්වේසර් (Quasar) ශක්ති ධාරාව දැන් නතර වී තිබුණත්, එම ආලෝකය තවමත් මෙම වායු වලාකුළ හරහා ගමන් කරමින් එය ආලෝකවත් කිරීමයි. මෙය හරියට "අතීතයේ දෝංකාරයක්" (Light Echo) වැනිය.
මෙම සොයාගැනීම හරහා මන්දාකිණිවල ඇති කළු කුහරවල ක්‍රියාකාරිත්වය කාලයත් සමඟ වෙනස් වන ආකාරය පිළිබඳව නව දැනුමක් ලබා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වුණා. හැනී වැන් අර්කෙල්ගේ මෙම සොයාගැනීම සාමාන්‍ය ජනතාවටත් විද්‍යාවේ දියුණුවට දායක විය හැකි බවට හොඳම නිදසුනක්.
17/01/2026
Skylab බේරාගත් අභ්‍යවකාශයේ "කුඩය"
අභ්‍යවකාශ ගවේෂණයේදී හැමදේම සැලසුම් කළ විදිහටම වෙන්නේ නැහැ. 1973 දී ඇමරිකාවේ පළමු අභ්‍යවකාශ මධ්‍යස්ථානය වූ Skylab දියත් කළ මොහොතේම විශාල අනතුරකට මුහුණ දුන්නා. නමුත් විද්‍යාඥයන්ගේ ක්ෂණික තීරණ නිසා එම මෙහෙයුම ඉතිහාසගත ජයග්‍රහණයක් බවට පත් වුණා.
Skylab යානය අභ්‍යවකාශයට මුදා හැරෙන අවස්ථාවේදී එහි තිබූ තාප ආවරණයක් (Heat Shield) ගැලවී ගියා. මේ නිසා යානය තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 52 (126°F) දක්වා ඉහළ ගිය අතර, එය ඇතුළත සිටින ගගනගාමීන්ට මෙන්ම උපකරණවලටත් දරාගත නොහැකි මට්ටමක් වුණා.
මෙම ගැටලුවට විසඳුමක් ලෙස නාසා ඉංජිනේරුවන් ඉතා කෙටි කලකදී මීටර් 7ක දිගින් යුත් දිග හැරිය හැකි හිරු ආවරණයක් නිර්මාණය කළා. මෙය හරියට විශාල කුඩයක් වැනි උපකරණයක්. පළමු Skylab ගගනගාමීන් කණ්ඩායම මෙම "පැරසෝල්" ආවරණය යානයේ විද්‍යාත්මක වා කවුළුවක් (Scientific Airlock) හරහා පිටතට තල්ලු කර දිග හැරීමට සමත් වුණා.
මෙම සරල නමුත් ප්‍රබල නව නිපැයුම නිසා, යානයේ අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක 20කින් පමණ අඩු කිරීමට හැකි වුණා. මෙහෙයුම අතහැර දැමීම වෙනුවට, ගගනගාමී කණ්ඩායම් තුනකට එහි ආරක්ෂිතව ජීවත් වෙමින් පර්යේෂණ කිරීමට අවස්ථාව ලැබුණා.
16/01/2026
සූර්යයාත් අභිබවා ගිය අභ්‍යවකාශයේ රකුසා "VY Canis Majoris".
අපේ සූර්යයා කියන්නේ පෘථිවිය වගේ ග්‍රහලෝක මිලියනයක් විතර ඇතුළට දාන්න පුළුවන් තරම් විශාල තරුවක්. හැබැයි මේ විශ්වයේ සූර්යයා කියන්නේ ඉතාමත් කුඩා තරුවක් බවට පත් කරන තරම් දැවැන්ත තරු පවතිනවා. ඒ අතරින් ප්‍රමුඛයෙක් තමයි VY Canis Majoris.
මෙම තරුව සූර්යයාගේ විෂ්කම්භය මෙන් 1,400 ගුණයකට වඩා විශාලයි. අපි පොඩ්ඩකට හිතමු මේ තරුව අපේ සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා ඉන්න තැනින් තිබ්බා කියලා:
💥එය බුධ, සිකුරු, පෘථිවිය, අඟහරු සහ බ්‍රහස්පති පවා ගිලගෙන සෙනසුරු ග්‍රහයාගේ 🪐 කක්ෂය දක්වාම විහිදී යනවා. 😱
VY Canis Majoris කියන්නේ දැන් එහි අවසාන කාලය ගෙවන තරුවක්. ඒ නිසා එය ඉතා අස්ථිරයි. එය තමන්ගේ බාහිර වායු ස්ථරයන් අභ්‍යවකාශයට මුදා හරිමින් සිටින අතර, එමගින් තරුව වටා විශාල දූවිලි හා වායු වලාකුළක් (Nebula) නිර්මාණය වී තිබෙනවා.
තාරකා විද්‍යාඥයන් පවසන පරිදි තවත් වසර 100,000ක් ඇතුළත මෙම තරුව සුපර්නෝවා (Supernova) පිපිරුමකින් විනාශ වනු ඇතැයි විශ්වාස කෙරෙනවා. මෙය කෙටි කාලයක් වගේ පෙනුනට තාරකා විද්‍යාත්මකව බලන විට එය ඉතාමත් කෙටි කාලයක්.
විශ්වයේ මෙවැනි අතිදැවැන්ත විනාශයන් සහ වෙනස්කම් දෙස බලන විට, පෘථිවිය කියන්නේ කෙතරම් සන්සුන් සහ ආරක්ෂිත තැනක්ද කියලා අපට හැඟෙනවා. මේ සා විශාල තරු පවා විනාශ වී යන විශ්වයක, ජීවයට හිතකර ලෙස පවතින අපේ කුඩා පෘථිවිය රැක ගැනීම අප සැමගේ වගකීමක්.
15/01/2026
අඟහරු පසෙහි සැඟවුණු පර්ක්ලෝරේට් ලවණ සහ ජීවයේ ඉඟි.
අඟහරු ග්‍රහයා මත ජීවය පැවතිය හැකිද? මේ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට 2008 මැයි මාසයේදී අඟහරුගේ උත්තර ධ්‍රැවය අසලට ගොඩබැස්සවූ Phoenix Mars Lander යානය ඉතාමත් වැදගත් සාක්ෂියක් අපට ලබා දුන්නා.
ෆීනික්ස් යානය එහි තිබූ රොබෝ හස්තය භාවිතා කර අඟහරු පසෙහි සෙන්ටිමීටර 18ක් පමණ ගැඹුරු කුඩා අගල් හෑරීමට කටයුතු කළා. එහිදී මතුපිට පසට මඳක් යටින් සුදු පැහැති අයිස් ස්ථරයක් නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයන්ට හැකි වුණා.
මෙම පරීක්ෂණයේදී පසෙහි අඩංගු රසායනික ද්‍රව්‍ය විශ්ලේෂණය කිරීමේදී විද්‍යාඥයන් පුදුමයට පත් කරමින් පර්ක්ලෝරේට් (Perchlorate) නමැති ලවණ වර්ගය එහි පවතින බව සොයාගත්තා. මෙය ඉතා සුවිශේෂී වන්නේ කරුණු දෙකක් නිසයි:
1. පර්ක්ලෝරේට් යනු මිනිස් සිරුරට (විශේෂයෙන් තයිරොයිඩ් ග්‍රන්ථියට) අහිතකර විෂ සහිත රසායනිකයක්. අනාගතයේදී අඟහරු මතට යන ගගනගාමීන් මේ ගැන ඉතා කල්පනාකාරී විය යුතුයි.
2. පුදුමයකට මෙන්, පෘථිවියේ සිටින සමහර ක්ෂුද්‍ර ජීවීන් මෙම රසායනිකය ශක්ති ප්‍රභවයක් (Energy Source) ලෙස භාවිතා කරනවා. ඒ අනුව, අඟහරු මත අතීතයේ හෝ වර්තමානයේ ජීවත් වන ක්ෂුද්‍ර ජීවීන්ට මෙය ආහාරයක් වීමට ඉඩ තිබෙනවා!
පර්ක්ලෝරේට්වලට ජලයේ හිමාංකය (Freezing Point) පහත හෙළීමේ හැකියාව තිබෙනවා. මෙයින් අදහස් වන්නේ අඟහරුගේ අධික සීතල තත්ත්වය යටතේ පවා ද්‍රව අවස්ථාවේ ලුණු ජලය (Brine) පැවතිය හැකි බවයි. මෙය ජීවය පැවතීමට ඇති සම්භාවිතාව තවත් වැඩි කරනවා.
අඟහරු මත ඇති මෙවැනි රළු රසායනික පරිසරයන් ගැන අධ්‍යයනය කරන විට, පෘථිවියේ ඇති ජීවයට හිතකර සමබර පරිසරය කෙතරම් අගනේදැයි අපට වැටහෙනවා. අපේ මේ "නිල් මැණික - Earth" සුරක්ෂිතව තබා ගැනීම අනාගත පරපුර වෙනුවෙන් අප කරන ලොකුම ආයෝජනයයි.