08/10/2024
පාස්පෝට් පෝළිමේ අමිහිරි මතක...
ගරු ජනාධිපතිතුමා හෝ ගරු අගමැතිතුමිය හෝ වගකිවයුතු කිසියම් නිළධාරියෙකුගේ අවධානයට...
මම කවදාවත් සමාජ මාධ්‍ය වල කිසිම දෙයක් මේ විදියට ලියලා නෑ... ඒත් මේක ලියන්නම හිතුණා...
බ්‍රසීල රජයේ විශ්ව විද්‍යාලයකින් හිමිවුණ පූර්ණ ශිෂ්‍යත්වයක් මත පුහුණු වැඩමුලුවකට බ්‍රසීලයට යන්න මට අවස්ථාවක් හම්බවෙලා තියෙන නිසා 04/10/2024 දින සුහුරුපාය බත්තරමුල්ල පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ගියේ මගේ පාස්පෝට් එක අලුත් කරගන්න. ඒත් ගියේ රටේ තියෙන පාස්පෝට් අර්බුධය ගැන නොදැනගෙනම නෙවෙයි. වීසා එක ගන්න මාස හයක් පාස්පෝට් එක වලංගු වෙන්න ඕනනේ. ඒත් මගේ පාස්පෝට් එකේ වලංගු කාලය තිබුණේ මාස 5 ක් වගේ. පුහුණු වැඩමුලු, සම්මන්ත්‍රණ ආදියට රජයෙන් කියලා රුපියලක්වත් නොදෙන කාලයක ලෝකය පුරාම රටවල් වලින් 30 දෙනෙක් පමණක් තොරගෙන, යන්න එන්න ගුවන් ටිකට්පත්, කෑම, නවාතැන් හැමදේම දීලා ලෝකය පුරා ප්‍රසිද්ධ පර්යේෂකයන්ගෙන් දැනුම ගන්න ලැබෙන මේ පුහුණු වැඩමුලුව කොහොම අතාරින්නද? එහෙම හිතලා තමයි වැඩේට අතගැහුවේ.
ඉතින් 24 වෙනිදා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට යද්දි උදේ 7.25 යි. පෝළිමේ සෙනග 1000 ට වැඩියි. එක්දින සේවයට එන්න එදා දින දෙන්නේ 25/10/2024 කියලා කීපදෙනෙක්ගෙන් විස්තර අහලා දැනගත්තා.මට යන්න තියෙන්නෙ 26 වෙනිදා. ඉතින් පෝළිමේ ගිහින් වැඩක් නෑ කියලා හිතුන නිසාම ඉහළම නිළධාරීන් කිහිපදෙනෙක් සම්බන්ධ කරගෙන මගේ අවශ්‍යතාවය කියන්න බැලුවා. කියන්න සන්තෝෂයි. එයාලට ඒවා අදාළම නෑ. “පෝළිමේ ඉන්න ඕන…කඩුවෙල පොලිසියෙන් ගහන සීල් එක ඕන… අංකයක් ගන්න ඕන. එහෙම නැතුව කිසිම දෙයක් කරන්නෙ නෑ… කාටවත් කතාකරන්නත් බෑ…” කියලා තමයි හැමතැනින්ම කිව්වේ. වැඩ රාජකාරි ඉහටත් උඩින් තියෙන අතරේ නිවාඩු අරගෙන ගියපු පළවෙනි දවස ඉවර උනේ ඔහොමයි. හිත හදාගෙන ආපහු හැරිලා මාතරට ආවා.
දැන් තමයි හොදම ටික...
මොන රාජකාරි තිබුණත් කලින් කියපු ඉලක්ක තුනට යන්නම වෙනවනේ කියලා 06/10/2024 ඉරිදා සවස 03.40 වෙනකොට ආපහු ගියා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට. 07/10/2024 සදුදා පෝළිමට ඒ වෙනකොටත් 23ක් ඇවිත්. මම 24 වෙනියා. අංකයක් ගන්න තව පෝළිමේ ඉන්න තියෙන කාලය ආසන්නව පැය 15ක්... පිච්චෙන්න ගිනි අව්ව ඒ වෙලාවෙ. මොනවා කරන්නද...ඉවසීම ප්‍රගුණ කලා උපරිමේටම...යන්න තියෙන පුහුණුවෙන් ලැබෙන අත්දැකීම් එක්ක අපේ විශ්ව විද්‍යාලයේ ළමයින්ට රට වෙනුවෙන් අලුත් දෙයක් උගන්නන්න ලැබෙයි, ලොකෙ පුරා ඉන්න පර්යේෂකයන් එක්ක අලුත් සබධතා ඇතිකරගන්න පුලුවන් වෙයි කියන හැගීමෙන් හිත හදාගන්න උත්සහ කලා කරන්න දෙයක් නැතිම තැන.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පරිශ්‍රයේ හට් සහ පුටු කොපමණ තිබුණත් පෝළිම හදන්නේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සිට 200m පමණ දුරින් ඉදලා. ඒකත් කුණු ඇලක් ගලාගෙන යන ලයිට් එකක් වත් නැති පාරක පදික වේදිකාව මත ..රෑ වෙනකොට මදුරුවන්ගෙනුත් අඩුවක් නෑ ඒ නිසාම..රු.20,000 ක් ගෙවලා පාස්පෝට් ගන්න ආව මිනිස්සුන්ට නිකන් පාස්පෝට් ගන්න ආවා වගේ තමයි සලකන්නෙ නම්.. ඉටි රෙදි කෑල්ලක් අරන් ඒකත් එලාගෙන හැමෝම ගැන හිතලා මදුරු කොයිල් පෙට්ටියකුත් ගෙනත් දීලා ඒවත් තැනින් තැන පත්තු කරගෙන කලුවරේම රෑ 12.20 වෙනකල් කාලෙ කෑවා ඉදලා හිටලා මදුරුවොත් තල තල.. විශ්ව විද්‍යාලයේ කරන්න තිබුණ වැඩ මතක් වෙනකොට නම් පුදුම දුකක් ආවේ ඒ නිකන්ම යන කාලෙ ගැන.අවාසනාවට 12.20 ට පටන්ගත්තා මහ වැස්සක්… ඒක පායනකොට උදේ 8.30 ත් පහුවෙලා. ඉතින් එළි වෙනකල් තත්පරයක් වත් නිදි නැතුව පුදුම සැපක් ලබාගත්තා. කුඩ වලින් බේරෙන්න පුලුවන් වැස්සක් නෙවෙයි වැස්සෙ නම්... මේ අව්වට කරවෙන්නෙ වැස්සට තෙමෙන්නෙ රු. 20,000 ක් ගෙවලා පාස්පෝට් ගන්න ආව මිනිස්සු. ඒ මිනිස්සු පාරවල් වල මෙහෙම දුක් විදින්න ඕනද?... මිනිස්සු පුදුම දුකකින් කළකිරීමකින් කතාකලේ රට ගැන. ඇත්තටම දරාගන්න අමාරුයි තමයි කාට වුණත්…
ඉතින් වැස්සට තෙමිලා තෙමිලා උදේ 6.00 ට මහ වැස්සෙම සීල් එකයි දිනෙයි දාගත්තා. පෝළිමේ සෙනග 1500 ට වැඩියි එදාත්. 28/10/2024 තමයි පැය 15 ටත් වඩා පෝළිමේ ඉදලා මට හම්බ වුණේ. ඒ කියන්නෙ තව දවස් 22 කින්. මේ දවස් වල එක්දින සේවය යන්නෙ ඔන්න ඔහොමයි. එදාට අවොත් වැඩේ කරගන්න පුලුවන් කියලා තමයි කිව්වේ. මට යන්න තියෙන්නෙම 26 වෙනිදා නිසා එදාම වැඩේ කරගන්න ඕන කියලා අරන් ගියපු දේවල් ඔක්කොම පෙන්නලා පොලීසියේ උසස් නිළධාරී මහතෙකුගේ අනුමැතියෙන් යන්තම් පාස්පෝට් වැඩේ කරගත්තා මම නම්. ඒකත් වැස්සේ තෙමිච්ච තෙත ඇදුම් එක්ක පැය එක හමාරක් වගේ තවත් පෝළිමක ගිහින් අවසර අරගෙන දවල් දෙක විතර වෙනකොට. එතකොට මම නොනිදා ගතකරපු කාලය පැය 22 ක් වගේ. සිද්ධවුණ සමහර දේවල් කියන්නත් අමාරුයි.
ඉතුරු ටික ලියන්නෙ රටේ හැමෝම වෙනුවෙන්...
• මේ පාස්පෝට් පෝළිම නම් වහාම අවසන් කළ යුතුමයි. ඒක මිනිස්සුන්ව ගොඩාක් අපහසුතාවයට පත් කරනවා. මිනිස්සුන්ගේ කාලය අපතේ යවනවා.මිනිස්සු ගොඩාක් දුක් විදිනවා දැන් තියෙන ක්‍රමය නිසා. යන විදියට ඩෙංගු වගේ නැති ලෙඩත් හැදිලා නවතින්නෙ.
• පරිගණක දැනුම සහිත පිරිස් බහුල රටක අංකයක් ගන්න අව්වට පිච්චි පිච්චි වැස්සට තෙමි තෙමි කලුවරේ ලයිට් එකක් වත් නැති පාරක පදික වේදිකාව මත පැය 15-20ක් පෝළිමේ ඉන්න ඕනද? ඒකත් නමට විතරක් “එක් දින” වෙච්ච සති 3-4 කින් එන්න ඕන අංකයක් ගන්නද?
• අවශ්‍ය තොරතුරු පෙන්නලා එන පිළිවෙලකට අංකයක් දෙන්න දවසේ ඕන වෙලාවක ඇවිත් අංකයක් ගන්න ක්‍රමවේදයක් හදලා දවසට දෙන්න පුලුවන් ගාන අංක දීලා ඊළගට එන අයට ඊළග දවසට දින දුන්න නම් නිදි මරාගෙන කාලෙ කාගෙන මිනිස්සු දුක් විදින්න ඕන නෑ නේද?
• පාස්පෝට් වලට රු.10,000-20,000 අය කරන තැනක පෝළිම් වල ඉන්න මිනිස්සුන්ගෙ ආරක්ෂාව, සෞඛ්‍ය, සුව පහසුව ගැන මීට වඩා හිතන්න ඕන නේද?
• මේ තැන් වල සිද්ධවෙන දේවලුත් මිනිස්සුන්ට මේ රට එපා කරවනවා කියලා අමතක නොකළ යුතුයි නේද?
ආචාර්ය දිලාන් චතුරංග
රුහුණ විශ්ව විද්‍යාලය
(08/10/2024: 11.30 p.m.)
11/05/2024
මෙම සමූහයට සම්බන්ධ වූ ඔබසැම ඉතාම ආදරයෙන් පිළිගන්නා අතර මෙම සමූහය නිර්මාණය කිරීමේ අරමුණ ඔබ සැමට පැහැදිලි ඇති බව විශ්වාස කරමි.
ඔබ ශ්‍රී ලංකාවේ පර්යේෂණ කටයුතු කරන්නේ නම් සහ ඔබ මේ වන විට පර්යේෂණ පළ කර ඇත්නම් ඒ පිළිබඳව සරල සංක්ෂිප්ත විස්තරයක් ලියා මෙහි පළකරමු. වචන 300-500 අතර වීම වඩා සුදුසුයි. සරල සිංහල භාෂාවෙන් ලිවීමට උත්සාහ කරන්න. පළ වුණු පර්යේෂණ පත්‍රිකාවේ සබැදිය ද යොමු කරන්න. පර්යේෂණ තොරතුරු දැනගැනීම සදහාද මෙම පිටුව භාවිතා කළහැකි බැවින් හැකිනම් පහත පරිදි ඔබේ මිතුරන් සහ හිතවතුන්ටත් මෙම පිටුව හදුන්වාදෙන්න.
ස්තූතියි!!
10/05/2024
1867 වර්ෂයේදී ස්කොට්ලන්ත ජාතික ජේම්ස් ටේලර් මහතා විසින් මධ්‍යම කදුකරයේ ලූල්කදුර වතුයායේදී ලංකාවේ මුල්ම තේ වගාව ආරම්භ කළා කියලා ඔයාලා අහලා ඇතිනේ.
අද කියන පර්යේෂණය කරලා තියෙන්නෙත් ඒ ලූල්කදුර වතුයාය පදනම් කරගෙන. මේ වතුයාය පුරා තේ වතු පිරිලා තිබුණත් වතුයාය වටේටම තියෙන්නෙ මධ්‍යම කදුකරයටම සුවිශේෂී වූ වළාකුළු වනාන්තර. මේවා ලංකාවේ ඉන්න සත්‍ත්ව විශේෂ ගණනාවකට අවශ්‍ය වාසස්ථාන සපයනවා. විශේෂයෙන් ලංකාවට ආවේණික කුරුල්ලන්ට. අද කියන පර්යේෂණ පත්‍රය මගින් මේ වතුයායේ ඉන්න ලංකාවට ආවේණික කුරුල්ලන්ට වඩා වැදගත් වෙන්නෙ තේ වතුද නැත්නම් වළාකුළු වනාන්තරද කියලා හොයලා බලලා තියෙනවා. ඒ අනුව මේ වතුයායෙන් ලංකාවට ආවේණික කුරුලු විශේෂ 34 න් 17 ක් ම අදුරගෙන තියෙනවා. ඒ අතරිනුත් අන්තරායට ලක් වූ විශේෂයක් ඇතුලු විශේෂ 10ක් ම වළාකුළු වනාන්තර ආශ්‍රිතව තමයි අදුරගෙන තියෙන්නෙ. ඒකෙන්ම පේනවනෙ මේ වළාකුළු වනාන්තර වල වැදගත්කම. ශ්‍රී ලංකා සිතැසියා (Sri Lanka White-eye) තමයි වැඩිපුරම හම්බවෙලා තියෙන ආවේණික කුරුලු විශේෂය.
Write up - Dr. W.G.D. Chathuranga
වැඩි විස්තර දැනගන්න කියවලා බලන්න.
https://www.researchgate.net/publication/325264493_Significance_of_Cloud_Forests_in_Loolkandura_Estate_Deltota_for_conservation_of_endemic_bird_Species_in_Sri_Lanka
27/04/2024
අද කියන පර්යේෂණ පත්‍රිකාව ලංකාවේ පළනොවුණ පර්යේෂණ පත්‍රිකාවක් වුණත්, පාසල් යන දුවලා පුතාලට වගේම ලොකු කුඩා හැමෝටම වැදගත් නොබෙල් ත්‍යාගයකටම මුල් වුණ සොයාගැනීමක් ගැන තමයි කියන්නේ...
අද වෙනකොට ඩීඑන්ඒ (DNA) කියන්නේ හැමෝටම වගේ බොහොම හුරු පුරුදු වචනයක්නේ. අද පර්යේෂණ පත්‍රිකාව DNA අණුවේ ආකෘතිය සොයාගැනීම ගැන.
1953 අවුරුද්දේ අප්‍රේල් 25 වෙනිදා ජේම්ස් D. වොට්සන් සහ ෆ්‍රැන්සිස් H.C. ක්‍රික් කියන විද්‍යාඥයන් දෙදෙනා ඒ වනවිට ඉදිරිපත්ව තිබූ DNA අණුවේ විවිධ ආකෘති වල අඩුපාඩු පෙන්වා දෙමින් ලෝකෙටම වැදගත් සොයාගැනීමක් වුණ ඔවුන් විසින් සොයාගත් නව DNA අණුවේ ආකෘතිය දැනට ගුණාත්මක බවින් ඉතාම ඉහළම පර්යේෂණ පත්‍රිකා පමණක් පළකරන නේචර් (Nature) සඟරාවේ පළකිරීමට සමත් වෙනවා.
ඔවුන් මෙම DNA වල ආකෘතිය DNA ද්විත්ව හේලික්සීය ආකෘතිය කියලා තමයි නම් කළේ. සමහර අයට ටිකක් නොතේරෙන්න පුලුවන් ඊළගට කියන තොරතුරු කිහිපය. ඒත් කියවගෙන යන්නකො බලන්න.
DNA අණුව ඩිඔක්සිරයිබෝ පොලිනියුක්ලියෝටයිඩ දාම දෙකකින් සෑදුනු ද්විත්ව හේලික්සීය ආකෘතියක්, සරලව කිවහොත් විශාල දාම දෙකක එකතුවක් බවත්, මෙහිදී දාම දෙක එකතුවන්නෙ එකක් උඩුකුරු අතට හා අනෙක යටිකුරුව (ප්‍රතිසමාන්තරව) බවත්, මෙම එක් එක් දාමයක් තැනෙන්නේ නියුක්ලියෝටයිඩය නැමැති ඒකක වලින් බවත්, මෙම දාම දෙකහි නයිට්‍රජනීය භෂ්ම එකිනෙක සම්බන්ධ වී ඇති බව එනම් එක් දාමයක් අනෙක් දාමය සමග සම්බන්ධ වී ඇත්තේ එකක නයිට්‍රජනීය භෂ්ම අනෙකේ භෂ්මත් සමග සම්බන්ධ වීමෙන් ඇති බවත්, නයිට්‍රජනීය භෂ්ම හයිඩ්‍රජන් බන්ධන වලින් එකිනෙක සම්බන්ධ වන බවත් (පහළ රූපයේ වගේ) හරි අපූරුවට පැහැදිලි කරනවා.
තව විස්තර කියනවා නම් එහිදී භෂ්ම සම්බන්ධ වන්නේ අනුපූරක භෂ්ම යුගලන නීතියට අනුව, එනම් පියුරීන් භෂ්මයක් විශේෂිත පිරිමිඩීන් භෂ්මයක් සමග සම්බන්ධ වන බව එනම් ඇඩිනීන් භෂ්මය (A) තයිමීන් භෂ්මය (T) සමග ද (හයිඩ්‍රජන් බන්ධන 2කින්), ගුවැනීන් භෂ්මය (G) සයිටොසීන් භෂ්මය (C) සමග ද සම්බන්ධ වන බවත් (හයිඩ්‍රජන් බන්ධන 3කින්), මෙම දාම දෙක එකතුවී ඇබරී සර්පිලාකාරව සැකසී DNA අණුවේ ද්විත්ව හෙළික්සීය ආකෘතිය (පහළ රූපයේ වගේ) නිර්මාණය කරන බවත් විස්තර කරනවා.
මේ සොයාගැනීම 1962 අවුරුද්දේ කායික හා වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගය දිනාගැනීම සදහාත් හේතුවක් බවට පත්වෙනවා. හැම අවුරුද්දකම ඇමෙරිකාව මෙම සොයාගැනීම ප්‍රකාශයට පත්කළ අප්‍රේල් 25 ජාතික DNA දිනය (National DNA day) නිවාඩු දිනයක් ලෙසම නම් කරලා සමරනු ලබනවා. මානව ගෙනෝම ව්‍යාපෘතිය(Genome Project)අවසන් කළ දිනයත් මෙදිනටම තමයි සමරනු ලබන්නේ. මේ අවුරුද්දෙත් මේ දිනය (25/04/2024) අනිවාර්යෙන් සමරන්න ඇති.
ඉතින් ලංකාවේ පර්යේෂකයන්ටත් මේ වගේ ලෝකෙටම වැදගත් සොයාගැනීම් කරන්න ලැබේවා කියලා තමයි Research Publications of Sri Lanka මේ පිටුවේ ප්‍රාර්ථනාව..
පර්යේෂණ පත්‍රිකාව පහළ සබැදියෙන් ගන්න පුලුවන්. කියවලාම බලන්නකො මේ එතිහාසික පර්යේෂණ පත්‍රිකාව...
https://dosequis.colorado.edu/Courses/MethodsLogic/papers/WatsonCrick1953.pdf
Write up: W.G.D. Chathuranga
කාටහරි වැදගත් වෙයි හිතනවා SHARE නම් කරමු.
22/04/2024
අද කියන්න යන්නේ ටිකක් වෙනස්ම කතාවක් ගැන. ටිකක් අහඹු සොයාගැනීමක් කියන්නත් පුලුවන්. සිංහලෙන් සුලබ පහිඹු ගස් මැඩියා (විද්‍යාත්මක නම: Polypedates cruciger) කියලා හදුන්වන ලංකාවට ආවේණික ගෙබි විශේෂයක් ඉන්නවා. මෙයාලා බිත්තර දාන්නේ පහළ රූපයේ පෙනෙන පෙන බෝලයක් වගේ ඉංග්‍රීසියෙන් ෆෝම් නෙස්ට් (Foam Nest) කියලා කියන විශේෂිත ව්‍යූහයක් හදලා (b). සාමාන්‍යයෙන් මේ වගේ ව්‍යූහයකින් ඉස්ගෙඩියෝ 350 ක් විතර එළියට එනවා (c). ඒත් මේ ව්‍යූහ වල තියන කළල ඔක්කොම විනාශ කරලා දාන්න පුලුවන් Caiusa testacea කියලා හදුන්වන මැස්සෝ විශේෂයක් 2020 වර්ෂයේදි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හොයාගන්නවා (h).
මේ ගෙම්බෝ බිත්තර දාලා ටික වෙලාවක් යනකොටම අර මැස්සෝ ඇවිත් ෆෝම් නෙස්ට් ඇතුළට බිත්තර දානවා. ඒ බිත්තර වලින් එන මැසි පණුවෝ (maggots) (f) ගෙම්බන්ගේ බිත්තර සහ කළල කාලා තමයි ජීවත් වෙන්නේ. හොදම කතාව අර එළියට ආව එක ඉස්ගෙඩියෙක්වත් එතකොට එළියට එන්නෙ නෑ. පහළ රූපේ වගේ පෙණ බෝල (foam nests) විනාශම වෙලා යනවා (d). හැබැයි ගෙම්බෝ බිත්තර දාලා ටික වෙලාවක් යනකොට ආයේ මැස්සන්ට බිත්තර දාන්න බැරි වෙන්නම අර කලින් කියපු පෙණ බෝලයේ වටේට හොදටම සවිමත් වෙනවා. ඉතින් බිත්තර දානවානම් මැස්සෝ ඊට කලින් බිත්තර ටික දාන්නම ඕන. කොහොමද ඒ වැඩේ???
සුලබ පහිඹු ගස් මැඩියා ලංකාවට ආවේණික ගෙබි විශේෂයක් නිසා ගෙම්බාගෙ පැත්තෙන් හිතනකොට නම් මේක ලොකු තර්ජනයක්. වැඩි විස්තර පහළ සබැදියෙන් බලාගන්න පුලුවන්. තව කෙනෙක්ටත් මේ දැනුම ගන්න share කරමු නේද?
https://www.researchgate.net/publication/347914824_Larvae_of_the_blow_fly_Caiusa_testacea_Diptera_Calliphoridae_as_egg_predators_of_Polypedates_cruciger_Blyth_1852_Amphibia_Anura_Rhacophoridae
10.11609/jott.5740.12.17.17374-17379
14/04/2024
මෙම සමූහයට සම්බන්ධ වූ ඔබසැම ඉතාම ආදරයෙන් පිළිගන්නා අතර මෙම සමූහය නිර්මාණය කිරීමේ අරමුණ ඔබ සැමට පැහැදිලි ඇති බව විශ්වාස කරමි.
ඔබ ශ්‍රී ලංකාවේ පර්යේෂණ කටයුතු කරන්නේ නම් සහ ඔබ මේ වන විට පර්යේෂණ පළ කර ඇත්නම් ඒ පිළිබඳව සරල සංක්ෂිප්ත විස්තරයක් ලියා මෙහි පළකරමු. වචන 300-500 අතර වීම වඩා සුදුසුයි. සරල සිංහල භාෂාවෙන් ලිවීමට උත්සාහ කරන්න. පළ වුණු පර්යේෂණ පත්‍රිකාවේ සබැදිය ද යොමු කරන්න. පර්යේෂණ තොරතුරු දැනගැනීම සදහාද මෙම පිටුව භාවිතා කළහැකි බැවින් ඔබේ මිතුරන් සහ හිතවතුන්ටත් මෙම පිටුව හදුන්වාදෙන්න.
ස්තූතියි!!
14/04/2024
සමුද්‍ර ඇල්ගී (Marine Algae) කියන්නේ ඇමයිනෝ අම්ල සංයුතියෙන් අනූන (rich in amino acid composition), ප්‍රතිශක්තිකරන උත්තේජක ගුණ (immuno-stimulant properties), ප්‍රතිඔක්සිකාරක ගුණ (anti-oxidant properties) සහිත ලාභදායි ප්‍රෝටීන ප්‍රභවයක් (cost- effective protein source) බව ඔබ අසා ඇති. ඒවගේම සුපිරි ආහාරයක් (super food) විදියටත් මෙහි විභවය හඳුනාගෙන තියෙනවා.
ඉතින්, මීට අවුරුදු කිහිපයකට කලින් රුහුණ විශ්ව විද්‍යාලයේ, සත්ව විද්‍යා අධ්‍යනාංශයේ පර්යේෂණ කණ්ඩායමක් මගින් සිදු කරන ලද පර්යේෂණයකින් හරිත ඇල්ගී (Green algae) විශේෂයක් වන 𝑈𝑙𝑣𝑎 𝑙𝑎𝑐𝑡𝑢𝑐𝑎 සහ දුඹුරු ඇල්ගී (Brown algae) විශේෂයක් වන 𝑆𝑎𝑟𝑔𝑎𝑠𝑠𝑢𝑚 𝑐𝑖𝑛𝑒𝑟𝑒𝑢𝑚 යන ඇල්ගී වර්ග අතිරේකයක් ලෙස භාවිතා කළ මත්ස්‍ය ආහාර (Algae supplemented diets) මගින් Koi carp මත්ස්‍යයින්ගේ (𝐶𝑦𝑝𝑟𝑖𝑛𝑢𝑠 𝑐𝑎𝑟𝑝𝑖𝑜 L.) රුධිර පරාමිතීන් (heamatological parameters) සහ ප්‍රවර්තන අනුපාතය (survival rate) කෙරෙහි වන බලපෑම අධ්‍යයනය කරා.
මෙහිදී Koi carp මසුන් ව්‍යාධිජනක 𝐴𝑒𝑟𝑜𝑚𝑜𝑛𝑎𝑠 sp. බැක්ටීරියාවට එරෙහිව අභියෝගාත්මක පර්යේෂණයකට ද (Challenging-test) ලක් කර 'Kaplan -Meier' ප්‍රවර්තන විශ්ලේෂණයකින් (Kaplan Meier Survival Analysis) ප්‍රවර්තන අනුපාතය (survival rate) සොයා බැලුවා.
එම හරිත ඇල්ගී සහ දුඹුරු ඇල්ගී විශේෂ, Koi carp මත්ස්‍යයින්ගේ රුධිර පරාමිතීන් කෙරෙහි වෙසෙසි ලෙස බලපාන බවත් (significantly affect), එමගින් එම මසුන්ගේ ප්‍රවර්තන අනුපාතය (survival rate) සහ ප්‍රතිශක්තිය (immunity) වැඩිදියුණු වන බවත් මෙම පර්යේෂණයෙන් අනාවරණය කරගනු ලැබුවා.
පර්යේෂණ කණ්ඩායම:
K.G.A. සුධාරක
මහාචාර්ය D.H.N. මුණසිංහ
ආචාර්ය W.A.H.P. ගුරුගේ
W.P.R. චන්ද්‍රරත්න මහතා
- ප්‍රකාශිත දිනය: 2021.06.14
(Write up: K.G.A. සුධාරක)
- වැඩි විස්තර දැනගැනීම සඳහා පර්යේෂණ පත්‍රිකාව වෙත පහත සබැඳියෙන් පිවිසෙන්න පුළුවන්.
https://www.researchgate.net/publication/352383055_Effects_of_Ulva_lactuca_and_Sargassum_cinereum_supplemented_diets_on_haematological_parameters_and_survival_of_Koi_carp_Cyprinus_carpio_L_against_bacterial_pathogen_Aeromonas_species?fbclid=IwAR2YJ6SlhDmCROknjOzC42J8oNh3igfQWAsdvw8tYu2aQxGL5QxclX9fC5Y_aem_AYHxiOJqndQkv5Bq-m46ylQ925mcyAaZOISVce-Sp3T3d1hNBhn4uyn8G_dstNb3dhA7yQD1Eiii71je11fT1jsr
14/04/2024
"පරව්/Trevally" මාළුන් ශ්‍රී ලංකා මත්ස්‍ය වෙළඳපොලේ ඔවුන්ගේ ආවේණික ප්‍රණීත රසය නිසා ඉහල ඉල්ලුමක් පවතී. එපමණක් නොව මිලයෙන්ද ඔවුන් ඉහල අගයක් ගනී. ඔවුන් අයත්වන Family Carangidae තුළ මේ වන විට විශේෂ 153 ක් පමණ වාර්තා වී ඇත. මෙය පසුබිම් කරගනිමින් පහත සදහන් රැහුණ විශ්ව විද්‍ය්යාලයේ සත්ව විද්‍යාව පිලිබද පර්‍යේශන කණ්ඩායම විවිධ ක්ශේත්‍රයන් කෙරෙහි අවදානය යොමුකරමින් පවතී. මෙහි සදහන්ව ඇත්තේ එවන් එක් අද්‍යනයකි.
මේ මත්ස්‍ය කණ්ඩායම වසරේ එක් කාර්තුවකදී ඉහල සුලබත්වයක් පෙන්වයි, ඒ ඔවුන්ගේ අභිජනන සමයයි. සමහර මත්ස්‍ය විශේෂ අභිජනනය සදහා මුහුදේ සිට වගුරැ (Estuaries) බිම් වෙත පැමිණෙයි. එනම් ඔවුන්ට පුලුල් ලවණ පරාසයක (Salinity) ජීවත් විය හැකිය. ඔබ දන්නවාද ඉහත මත්ස්‍යයන් පිලිබදව ඇති අල්පවූ දැනුම් එකතුව නිසා ඒවායින් කොපමණ විශේෂ ප්‍රමාණයක් එකට මිශ්‍ර කර නොදැනුවත්වම "පරව්" කියා දේශීය මාළු වෙළඳපොලේ විකුණනවාද කියා?
මෙම ප්‍රශ්නය පැන නගින්නේ ඇයි?, එය "ගුප්ත විශේෂණය/Cryptic speciation" ලෙස විද්‍යාවේදී හැඳින්වේ, සරලව එය රෑපයෙන් එකසමාන වූ විවිධ වර්ගයේ විශේෂයන් ලෙස අර්ථ දැක්විය හැක. මේ සඳහා පාරිසරික හා ජානමය සාධක ඇතුළු බොහෝ සාධක හේතු වේ. අපගේ පර්යේෂක කණ්ඩායමට අවශ්‍ය වූයේ රෑපමය වශයෙන් සමානකම් නිසා පැටලුම් සහිත ඉහත මත්ස්‍ය විශේෂ කිහිපයක් සදහා අණුක සලකුණක් (molecular marker) හදුන්වාදීමයි. මේ සඳහා අපි පරිණාමීයව වැදගත් මයිටොකොන්ඩ්‍රීය ජානයක් වන Cytochrome Oxidase I (COI) භාවිතා කළෙමු. අපගේ පර්යේෂණ ගැටලුව මඟහරවා ගැනීම සඳහා මෙම සලකුණ භාවිතා කිරීමේ ඉහළ සම්භාවිතාවයක් සහා ප්‍රායෝගිකත්වයක් අපි නිරීක්ෂණය කළෙමු. මෙම යෙදවුමේ වැදගත්කම නම් අපට සත්වයා කිනම් අවදියේ සිටීද (developmental stage: eggs, larvae etc.), මත්ස්‍ය ආහාරයක් ලෙස සැකසුම් කර පවතීද (Processed food: කරවල, ටින්මාළු ආදීය) යන්න ගැටලුවක් නොවීමයි. එනම් මෙය Carangid මත්ස්‍ය සංරක්ෂණය සහ කලමණාකාරණය, වෙළෙඳපොළ වංචා (Commercial frouds) වලක්වා ගැනීමේ සරල පිලියමකි. තවද මෙම සලකුණ අණුක තාක්‍ෂණයක් පමණක් නොව ලෝකයේ "පරව්" මත්ස්‍යයාගේ සම්භවය, කලාපීය වශයෙන් පරිණාමය (regional evolution) හඳුනා ගැනීම සඳහා ද තොරතුරු රැසක් සපයයි.
පර්‍යේශන කණ්ඩායම:
1. Gamage L.M.P.
2. Rupasinghe M.A.M.
3. Prof. Munasinghe D.H.N.
(Write up: Gamage L.M.P.)
සබැදිය: https://www.researchgate.net/publication/379247920_Exploring_the_Potential_in_Combining_the_Two_Molecular_Approaches_COI_Barcoding_and_PCR-RFLP_COIBar-RFLP_in_Identification_of_Selected_Species_of_the_Family_Carangidae?fbclid=IwAR3ym7lyzkh8tZUFe_491A0CTK0vUOLeXlQ2f0E4NWPpEsP-HoaWXZ0aPW0_aem_AYHB7PVrCW8kCqRCx666Zmw3YuSgaI8dO-k4TtxMYVKtkjLbdm7cwt7poExNdooC8ED5REBSzOZGWdrhAKjUguZp
14/04/2024
හම්බන්තොට දිස්ත්‍රික්කයේ බටහිර සීමාවේ පිහිටි රම්මල කන්ද , තෙත් කලාපයට මායිම්ව පවතින විශාල ජීවී විශේෂ සංඛ්‍යාවකට වාසස්ථාන සපයන අධික ජෛව විවිධත්වයකින් යුක්ත රක්ෂිත ප්‍රදේශයකි.
රුහුණ විශ්ව විද්‍යාලයේ , සත්ව විද්‍යා අධ්‍යනාංශයේ ඩිල්ෂාන් රුවන්සිරි ද සිල්වා, කථිකාචාර්ය චන්දන ධම්මික විජේකෝන්, මහාචාර්ය හේමන්ත එදිරිසිංහ වේගිරිය,ආචාර්ය සඳුන් නාලක බණ්ඩාර, සහ තිසර ඉෂාන් මදුශංක යන පර්යේෂණ කණ්ඩායම මගින් සිදු කරන ලද පර්යේෂණයෙන් 𝑳𝒖𝒄𝒊𝒐𝒍𝒂 𝒏𝒊𝒄𝒐𝒍𝒍𝒊𝒆𝒓𝒊 කණාමැදිරියන් විශේෂය වසර 100 කට පසු ලංකාවෙන් නැවත විස්තර කිරීමට හැකි විය.
𝑳𝒖𝒄𝒊𝒐𝒍𝒂 𝒏𝒊𝒄𝒐𝒍𝒍𝒊𝒆𝒓𝒊 Bugnion 1922 ශ්‍රී ලංකාවෙන් පළමුවෙන්ම විස්තර කරන ලද Luciolinae උපකුලයට අයත් විශේෂ දහසයෙන් එකකි.පළමු විස්තර කිරීමෙන් වසර 100 කට පමණ පසු 2022 දී 𝑳𝒖𝒄𝒊𝒐𝒍𝒂 𝒏𝒊𝒄𝒐𝒍𝒍𝒊𝒆𝒓𝒊 විශේෂයේ සජීව නිදර්ශක අප කණ්ඩායමට නැවත සොයාගත හැකි වූ අතර මෙම විශේෂයේ අනන්‍යතාවය ද තහවුරු කර ඇත.
තවද මෙම පර්යේෂණයේ දී අප කණ්ඩායමට 𝑳𝒖𝒄𝒊𝒐𝒍𝒂 𝒏𝒊𝒄𝒐𝒍𝒍𝒊𝒆𝒓𝒊 කණාමැදිරි විශේෂයේ ගැහැණු සතුන් පළමුවරට සොයාගත හැකි විය.එම ගැහැණු සතුන් අර්ධ ලෙස වර්ධනය වූ පියාපත් සහිත නමුත් පියාඹීමට නොහැකි ගැහැණු කණාමැදිරියන් වේ.
මෙම කණාමැදිරියන්ගේ විශේෂත්වය වන්නේ මෙරටින් වාර්තා වූ ප්‍රථම කළු පැහැති ඉදිරිපස පියාපත් සහිත කණාමැදිරියන් වීමත් Luciolinae උප කුලයට අයත් මෙරට කණාමැදිරියන් අතුරින් පියාඹීමට නොහැකි ගැහැණු සතුන් වාර්තා වූ ප්‍රථම අවස්ථාවත් වීම වේ.
Published: 20 February 2023
Write up: ඩිල්ෂාන් රුවන්සිරි ද සිල්වා
පර්යේෂණ පත්‍රිකාව වෙත පිවිසෙන්න: https://www.researchgate.net/publication/368659953_Re-description_of_Luciola_nicollieri_Bugnion_1922_Lampyridae_Luciolinae_in_Sri_Lanka?fbclid=IwAR3tW-aUM9H6tuvGDfXvhiWytTmBg-i4PtCZhY3Mx_735rc_exoCXLSA7Ig_aem_AYFm4umXY0NT7qkZGiAhKOprfAyWzBm-KZ8dORkf9HyOQzD62WPsvlvEZefzoWAHohvQeP-dyYEBY1iup8dkooZF
14/04/2024
හන්තාන කිව්ව ගමන් අපේ මතකයට එන්නේ හන්තානේ අසිරිය ගැන ලියැවුණු ගීත, ප්‍රේම කතා, පේරදෙණිය සරසවිය, හන්තාන කදු තරණය කිරීම් වගේ දේවල්නේ.
ඒත් අද කියන්න යන්නේ පේරාදෙණිය සරසවියේ සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුව හන්තානේ කළ අපූරු පර්යේෂණයක් ගැන. ගොඩාක් අය දකින්නවත් අකැමැති වුණත් වැඩේට තෝරගෙන තිබුණෙ මකුළුවන්ව.
හන්තානෙ තියෙනවා ස්වභාවික වනාන්තර සහිත ප්‍රදේශ, පයිනස් කැළෑ, සහ තණබිම්. ඉතින් මේ පර්යේෂණයේදී මේ වාසභූමි ආකාර තුනේම ඉන්න මකුළුවෝ ගැන සංසන්දනාත්මකව අධයනය වෙලා තිබුණා. එහිදී හන්තාන ප්‍රදේශයෙන් මකුලු විශේෂ 84 ක් හදුනාගන්න පර්යේෂකයන් සමත්වෙලා තිබුණා. Araneidae කුලයේ මකුළු විශේෂ තමයි ගොඩක්ම හමුවෙලා තිබුණේ.වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් මකුළුවෝ නම් ඒ අතර ඉදලා නෑ.
පර්යේෂණයේදී ස්වභාවික වනාන්තර සහිත ප්‍රදේශ වලින් තමයි වැඩිපුරම මකුළු විශේෂ වාර්තාකරලා තිබුණේ.
මකුළුවෝ කියන්නේ මිනිස්සු ටිකක් අකමැති දැක්කත් භයවන ලංකාවේ ටිකක් අඩුවෙන් පර්යේෂණ කරලා තියෙන සත්ව කොට්ඨාසයක් නිසාත්, හන්තාන හොද සංචාරක පාරාදීසයක් නිසාත් මේ වගේ පර්යේෂණ වලටත් ලොකු වටිනාකමක් තියෙනවා.
(Write up: W.G.D. Chathuranga)
වැඩි විස්තර දැනගන්න පිවිසෙන්න:
https://www.researchgate.net/publication/323028524_Spider_Fauna_Arachnida_Araneae_Of_Upper_Hanthana_Mountain_Area_Central_Sri_Lanka?fbclid=IwAR1bhoragCv_INhoyx7ryj2AxfezO99pS_wY2F3Rj7gcfxaOCdtV6-_kGeI_aem_AYF3UNFw-cOVwuLPiMWV-eN3WpxRyMf0Bnig5e29-ouwuw7LJGhRReZfHRojakUh4vBTrlyys3e2dYlprsaiG4CP