21/03/2026
ලෝක ඉතිහාසයේ වැඩිම මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමි වූ යුද්ධ කිහිපයක් තමයි මේ තියෙන්නෙ. මේ ලැයිස්තුවේ යුද්ධ අතරින් අඩුම මරණ සංඛ්‍යාවක් සහිත යුද්ධයේදි මිලියන 20ක් දෙනා මියැදිලා තියෙනවා. ලංකාවෙ මුලු ජනගහනය මිලියන 21 යි. ඉතින් මරණ සංඛ්‍යාව ගැන හිතාගන්න පුලුවන් නේද?
1-දෙවැනි ලෝක යුද්ධය
මේක සිද්ධ උනේ 1939 ත් 1945 අතර කාල සීමාවේදි. මිලියන 85කට ආසන්න (85,000,000) ප්‍රමාණයක් මිය ගියා. මරණවලින් හතරෙන් පංගුවක් ම විවිධ රටවල හමුදා සාමාජිකයින්. හතරෙන් තුනක්ම නිරායුධ සිවිල් මිනිස්සු. ගණන් මිණුම් අනුව එදා හිටපු සමස්ථ ලෝක ජනගහණයෙන් 3%ක් මේ වෙලාවෙදි මියැදුනා.
2-මොංගල් අධිරාජ්‍යයේ ආක්‍රමණ මාලාව
මේක සිද්ධ උනේ ක්‍රිස්තු වර්ෂ 1206 ත් 1368 ත් අතර දීර්ඝ කාල රාමුවක. මේ ආක්‍රමණ මාලාවෙදි මිනිස්සු මිලියන 40කට ආසන්න ප්‍රමාණයක් මිය ගියා. මොංගල් අධිරාජ්‍යය වර්ධනය කරගන්න කරපු මේ ආක්‍රමණවලින් ලොකුම හානියක් උනේ පුරාණ පර්සියාවට. (ඒ කියන්නෙ අද ඉරානය ඇතුලු අවට කලාපය). ඊට අමතරව චීනය, රුසියාව ආදී කලාපවලත් මිලියන ගානක මිනිස් ජීවිත අහිමි උනා. මේ අධිරාජ්‍යය වර්ධනය උනේ මොංගෝලියාව සහ නැගෙනහිර ආසියාව මුල් කරගෙන. මේකෙ මූලිකයා තමයි ‘ගෙන්ගීස් ඛාන්‘.
3-චීනයේ Qing රාජ වංශය විසින් Ming පාලන තන්ත්‍රය ආක්‍රමණය කිරීම
මේක සිද්ධ උනේ ක්‍රිස්තු වර්ෂ 1618 ඉඳන් 1680 වෙනකන් කාලයේදි. මිලියන 25ක් මේ යුද්ධ මාලාවෙන් මියැදුනා. මේකෙදි උනේ චීනයේ එවක තිබුණු පාලන වංශයකින් තවත් වංශයක් වෙත බලය හුවමාරු වීම. මේ වෙලාවෙදි අභ්‍යන්තර කැරලි, කල කෝලාහල, කුමන්ත්‍රණ විශාල සංඛ්‍යාවක් උනා.
4-තායිපින් කැරැල්ල
මේක ඇති උනේ ක්‍රිස්තු වර්ෂ 1850 ඉඳන් 1864 වෙනකන් අවුරුදු 15 ක කාලයේදි. මේ වෙලාවෙදි අවම වශයෙන් මිනිස්සු මිලියන 25ක් මියැදුනා. මේ ප්‍රමාණය එවක චීනයේ මුලු ජනගහණයෙන් 8%ක්. මේකත් සමූල ඝාතන, කැරලි, යුද්ධ ගණනාවක එකතුවක්. සංකීර්ණ සටනක්. චීන පාලනයත් තායිපින් රාජධානියත් අතර සිද්ධ වෙච්ච බල අරගලයක්.
5-පළමුවැනි ලෝක යුද්ධය
මේක ඇති වුනේ ක්‍රිස්තු වර්ෂ 1914 ඉඳන් 1918 වෙනකන් වසර 4 තුළ. මිලියන 20කට ආසන්න පිරිසක් මේ කාලයේදි මියැදුනා. ඒ අතරින් හරි අඩක් හමුදා සාමාජිකයින්. හරි අඩක් නිරායුධ සිවිල් වැසියන්.
6-චීනයේ ඇන් ලූෂන් කැරැල්ල
මේක ඇති වුනේ ක්‍රිස්තු වර්ෂ 755 ත් 763 ත් අතර. මේ යුද්ධ මාලාවෙදි මියගිය ගණන ගැන නිවැරදි තක්සේරුවක් නෑ. අවම වශයෙන් මිලියන 20ක පමණ පිරිසක් මිය ගිය බව තමයි පිළිගැනීම. උතුරු චීනයේ හටගත් මේ යුද්ධ මාලාව අවසානයේදි, මේ ප්‍රදේශයේ තිබුණු මිලියන 53ක් නිවාස අතරින් නිවාස මිලියන 17ක් විතරයි ඉතිරි උනේ කියලා වාර්ථාවල සඳහන්. මේක චීනයේ ඇන් ලූෂන් නම් ජනරාල්වරයා විසින් ඇතිකළ කැරැල්ලක් නිසා හටගත්තු සිවිල් යුද්ධයක්.
••
ලැයිස්තුව තව දිගයි.
මේ හැම යුද්ධයකදිම, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ලෙසින් නීතියේදි හඳුන්වන, වර්ග සංහාර සිද්ධ උනා. ඒ කියන්නෙ යම් ජන වර්ග මුලිනුපුටා දැම්මා. සමූල ඝාතන සිද්ධ උනා. ඒ කියන්නෙ යම් ජන කොටසක දස දහස් ගානක් එකවර මරා දැම්මා. තවත් යුද්ධ නිසා දශක ගණනාවක් පැවති සාගත, වසංගත සහ ජාන විකෘතීන් ඇති උනා. හමු වූ මළ සිරුරු හැර, ඒ තරම්ම සංඛ්‍යාවක් අතුරුදන් ලැයිස්තුවලට වැටුණා.
මේ යුද්ධ හැම එකකදී ම, ජීවිත බේරාගත් අයගෙන් අති විශාල පිරිසක් සදාකාලික සරණාගතයින් බවට පත් උනා.
ඒ වගේම මේ ලැයිස්තුවට ඇතුළත් නොවන, වෙන් වෙන් යුද්ධ මාලාවන් සමූහ වශයෙන් ලෝක ඉතිහාසයේදි සිද්ධ වෙලා තියෙනවා.
තව විශේෂ කාරණයක් තමයි, මේ යුද්ධවලදි මිය ගිය අය අතරින් අතිශය බහුතරයක් දෙනා ආයුධයක් දැකලාවත් නැති සිවිල් මිනිස්සු. යුද්ධයට බළපෑ දේශපාලන තීන්දු තීරණවල අහලකවත් නොහිටපු මිනිස්සු.
දෙවැනි ලෝක යුද්ධයේ, නාගසාකි-හිරෝෂිමා නගරවලට අමෙරිකාව විසින් පරමාණු බෝම්බ හෙලීම ඔබට මතක ඇති. මෑතක් වනතුරුත් එහි බළපෑමෙන් ළමුන් මියැදුනා. ඒ මරණ මේ ගණන් මිණුම්වලට ඇතුළත් කරලා නෑ.
මේ බොහෝ යුද්ධවල මියගිය සංඛ්‍යාව ගණන් බලලා තියෙන්නෙ අදාල යුද්ධය පැවති ප්‍රදේශයේ ඉතිහාස රචකයින්, ගම්පතීන්, රජුගේ නියෝජිතයින්, බදු එකතු කරන්නන් ආදීන්ගෙ සටහන් අනුව. සමහර සටහන් ගම් පිටින්ම විනාශ උනා නම් ඒ ගණන් මිණුම් මේවාට එකතු වෙලා නෑ.
වියට්නාම යුද්ධය, කොරියානු යුද්ධය වගේ දේවල්වලට පසුව දැවැන්ත සාගත ඇති උනා. ඈත අතීතයේදි මේ තත්ත්වය සුලබ යි. සාගත හරහා ජන වර්ගවල ජානමය යහපැවැත්මට කරපු හානිය, යුද්ධවලින් ලෝකයේ තාක්ෂණය දියුණු වූ තරමටම සමපාත යි.
1950 දශකයෙන් පස්සෙ, ඒ කියන්නෙ මෑත කාලීනව ඇති වූ යුද්ධවලින් විශාලම මරණ සංඛ්‍යාවක් වාර්ථා උනේ කොරියානු යුද්ධයේදි. ඒ මිලියන 3කට ආසන්න ප්‍රමාණයක්. ඒ අතරින් තුනෙන් දෙකක් පමණ සාමාන්‍ය සිවිල් වැසියන්. වියට්නාම යුද්ධයේදීත් මිලියන 3ක පමණ මරණ වාර්ථා වෙලා තියෙනවා. හැබැයි වක්‍ර මරණ සංඛ්‍යාව අදටත් ගණන් බලලා නෑ.
1988 ඉරාන-ඉරාක යුද්ධයේදි මිලියනයක් පමණ මියැදුනා.
මේ ගණන් මිණුම් ඉතිහාසයේ ජනගහනය එක්ක සසඳලා බැලුවහම නම්, යුද්ධවල පිලිවෙල වෙනස් වෙනවා.
යුද්ධය පැවති කාලයේ ලෝක ජනගහනයෙන් වැඩිම ප්‍රමාණයක් මිය ගිහින් තියෙන්නෙ මොංගල් ආක්‍රමණවලින්. එදා ලෝක ජනගහනයෙන් 11% ක් මේ ආක්‍රමණ මාලාවෙදි මිය ගිහින්. දෙවැනි ලෝක යුද්ධයේදි එදා ලෝක ජනගහණයෙන් 3% ක් මියගියා.
ලංකාවෙ තිස් අවුරුදු යුද්ධයේදි මියගිය ගණන 40,000 කට ආසන්නයි. එය පවා අපට දරාගත හැකි දෙයක් නෙවෙයි. ඉතින් මේ ලැයිස්තුවේ වගේ සුවිසල් යුද්ධවල වින්දිතයෙක් බවට පත්වෙන්න සිද්ධ උනොත්, ඒ කෲරත්වය අපිට උපකල්පනය හැකි මට්ටමක නෑ.
අපි කැමති පාර්ශ්වය කුමක් උනත්, යුද්ධයක පැවැත්ම ප්‍රාර්ථනා කරන්න මනුෂ්‍යයෙක්ට බෑ.
•
උපුටා ගැනීම: ©️Nuwan Ishara Mahagamage | නුවන් ඉෂාර මහගමගේ