09/09/2025
ශාක මාංශ භක්ෂකයින් බවට පත් වුනේ කොහොමද.....
මාංශ භක්ෂක ශාක කියන්නෙ 'පෘථිවියේ වඩාත්ම දක්ෂ හරිත දඩයම්කරුවන්' කොටසටයි. ශ්‍රී ලංකාවේ ත් ප්‍රධාන වශයෙන් මාංශ භක්ෂක ශාක විශේෂ 5ක් හමුවෙනවා. ඒ, Drosera ගණයට අයත් මාංශභක්ෂක ශාක වන වටැස්ස (Drosera burmannii), කඳුලැස්ස (Drosera indica) සහ අඩහඳඇස්ස (Drosera peltata) යන ශාක විශේෂත්, මෙරටින් හමුවන Nepenthes ගණයට අයත් එකම මාංශභක්ෂක ශාකය වගේම අපේ රටට ආවේණික විශේෂයක් වන බාඳුරා (Nepenthes distillatoria) සහ Utricularia ගණයට අයත් ආවේණික නිල් මොනරැස්ස (Utricularia moniliformis) ශාකයත් යන ශාක වර්ග පහයි.
උද්භිද විද්‍යාඥයන් කියන විදියට, මුල්ම ප්‍රාග් ඓතිහාසික ශාක රාජධානියේ මාංශභක්ෂක ශාක තිබිලා නෑ. වසර මිලියන 70 කට පමණ පෙර, ඩයිනෝසෝරයන් පෘථිවියේ සැරිසැරූ අවධියේදී, ශාකවල ඇතිවුනු ජානමය විෂමතාවයක් නිසා තමයි සමහර ශාක මස් අනුභව කරන්නන් බවට පත් වෙලා තියෙන්නේ. නමුත් මේ ජාන විෂමතාවය හැම ශාකයකටම බලපාලත් නෑ. නව අධ්‍යයනයකින් හෙළි වෙලා තියෙන විදියට, සමහර ශාක වල පමණක් මේ ජාන විෂමතාවය සිද්ධ වෙලා තියෙන්නේ, මුල් සහ කොළ වැනි කොටස් වල ජාන නැවත සකස් වීම මඟින් ගොදුරු අල්ලා ගැනීමට භාවිතා කළහැකි රහසිගත උපක්‍රමයක් විදියටයි. මේ විදියට සමහර මාංශ භක්ෂක නොවන ශාක, කුසගින්නෙන් පෙළෙන මාංශ භක්ෂකයින් බවට පත්වීමට වසර මිලියන ගණනක් ගත වූ බව පර්යේෂකයෝ පවසනවා.
කොහොම නමුත් මේ "මස් කෑමේ මාරුව" මේ ශාකවලට වාසි ගණනාවක් ලබා දුන්නා. මාංශ භක්ෂක ශාක පෝෂ්‍ය පදාර්ථ බහුල සත්ව ගොදුර අල්ලාගෙන පරිභෝජනය කිරීමට හැඩ ගැසීමෙන්, පෝෂ්‍ය පදාර්ථ නොමැති පසක වුනත් වර්ධනය වීමට ඔවුන්ට හැකියාව ලැබුණා.
මාංශ භක්ෂක ශාක පරිණාමය වූ ආකාරය විමර්ශනය කිරීම සඳහා, ජර්මනියේ Würzburg විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය Jörg Schultzගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර උද්භිද විද්‍යාඥයින් සහ ජීව විද්‍යාඥයින් කණ්ඩායමක් විසින්, නූතන මස් අනුභව කරන ශාක තුනක ජෙනෝම සහ ව්‍යුහ විද්‍යාව සංසන්දනය කළා. ලොව පුරා මාංශ භක්ෂක ශාක විශේෂ සිය ගණනක් තිබුණත්, පර්යේෂකයන් කෘමි භක්ෂක ශාක තුනක් පමණක් මේ පර්‍යේෂණය සඳහා තෝරාගත්තා. ඒ ශාක තුනම Droseraceae පවුලේ සාමාජිකයන් වගේම ශාක තුනම ගොදුර අල්ලා ගැනීමට චලනය භාවිතා කරන අයයි.
එක් ශාකයක් වන්නේ හුරුපුරුදු වීනස් මැසි උගුල් -Venus flytraps (Dionaea muscipula)) වන අතර එය කැරොලිනා ප්‍රාන්තයේ තෙත්බිම් වලට ආවේණික වූ එකක්. අනෙක ජලජ waterwheel plant (Aldrovanda vesiculosa) නම් සෑම මහාද්වීපයකම පාහේ හමුවෙන ශාකයක්. විමර්ශනය කරන ලද තුන්වන ශාකය, ඉතා අලංකාර නමුත් මාරාන්තික වටැස්ස පවුලේ- sundew (Drosera spatulata), ශාකයයි. ඕස්ට්‍රේලියාවේ බහුලව දක්නට ලැබෙන මේ ශාකය වින්දිතයින් පැණි රසයෙන් ආකර්ෂණය කර ගන්නවා.
මේ ශාක විශ්ලේෂණය කිරීමෙන් පසුව පර්‍යේෂක කණ්ඩායම, ශාක මාංශ භක්ෂකත්වය දෙසට ගමන් කළ පියවර තුනක ක්‍රියාවලියක් සොයා ගත්තා. එහිදී ඔවුන්ට හමුවුනේ පළමුව, වසර මිලියන 70 කට පමණ පෙර, මේ නූතන ශාක මාංශ භක්ෂකයින් තිදෙනාගේ මුල් 'මාංශ භක්ෂක නොවන මුතුන් මිත්තෙකුගේ ජාන, එහි සම්පූර්ණ ජෙනෝමයේ දෙවන පිටපතක් එහෙමත් නැත්නම් අනුපිටපතක් ජනනය කර තිබෙනවා. මේ අනුපිටපත මඟින් පත්‍ර සහ මූල ජානවල පිටපත් වලින් එකක් විවිධාංගීකරණය කිරීමට නිදහස් කර ඇති අතර, එයින් පත්‍ර සහ මුල් වලට පැවරී ඇති රාජකාරියෙන් පිට වෙනත් කාර්යයන් ඉටු කිරීමටත් ඒවාට ඉඩ සලසනු ලැබුවා. ඒ අනුව සමහර පත්‍ර ජාන (leaf genes) උගුල් සඳහා ජාන බවට වර්ධනය වූ අතර, පසෙන් පෝෂණය ලබා ගැනීමට මුල්වලට බලපෑ ජාන, මාංශ භක්ෂක පෝෂණය සහ අවශෝෂණ ක්‍රියාවලීන් මෙහෙයවීමට අනුවර්තනය වුනා.
මාංශ භක්ෂකත්වය වෙත යන ඔවුන්ගේ ගමනේ දෙවන පියවර සිදුවුනේ ශාක තම ගොදුරෙන් නව පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීමට පටන් ගත් පසුවයි. එම අවස්ථාවේදී, මේ ශාක වලට සාම්ප්‍රදායික කොළ සහ මුල් තවදුරටත් අවශ්‍ය වුනේ නෑ. ඒ නිසා මේ ශාක වල මාංශ භක්ෂක පෝෂණයට සම්බන්ධ වුනේ නැති බොහෝ ජාන අතුරුදහන් වීමට පටන් ගත්තා. නිදසුනක් විදියට, ජලජ waterwheel ශාකවල බීජ පැල වල පූර්ව මූල් (proto-roots) හටගත්තත් ශාකය පරිණත වෙද්දී ඒවා තවදුරටත් වර්ධනය වෙන්න අසමත් වෙනවා. ඒ කියන්නෙ පරිණත waterwheel ශාක වලට මූල පද්ධතියක් නෑ. මේ පූර්ව මුල් තමයි වරක් මේ ශාක වලට මූල පද්ධතියක් තිබුණු බවට එකම සාක්ෂිය වෙන්නේ. මේ මූල ජානය සහ තවත් ජාන කිහිපයක් අහිමි වීමේ ප්‍රතිඵලයක් විදියට, මේ අධ්‍යයනයේ නිරීක්ෂණය කරන ලද ශාක තුනම ජාන වලින් දුප්පත්ම (gene-poorest) ශාක බව පර්යේෂකයෝ සඳහන් කරනවා..
2013 දී වෙනත් විද්‍යාඥ කණ්ඩායම් විසින් කරන ලද අධ්‍යයන දෙකකිනුත් අනෙකුත් මාංශ භක්ෂක ශාකවල සමාන ජාන දුර්වලකම් පෙන්නුම් කර තිබෙනවා. ඇන්ටාක්ටිකාව හැර අනෙකුත් සියලුම මහාද්වීපවල වර්ධනය වන ජලජ bladderwort නම් පැළෑටියක් සහ බ්‍රසීලයට ආවේණික corkscrew නම් බිම් ආවරණය කරන ශාකයක් යන දෙකෙහිම මාංශ භක්ෂක නොවන ශාක හා සසඳන විට ඉතා කුඩා ජෙනෝම ඇති බව ඔවුන් සොයා ගෙන තිබෙනවා. මේ මාංශ භක්ෂකයින් ද එම ජාන වැගිරීම් ක්‍රියාවලියටම භාජනය වී ඇති බවයි නව අධ්‍යයනයේ පර්යේෂකයෝ ප්‍රකාශ කරන්නේ.
මාංශ භක්ෂක බවට පරිවර්තනය වීමේ තුන්වන පියවරේදී, ශාක ඔවුන්ගේ පරිසරයට විශේෂිත වූ පරිණාමීය වෙනස්කම් වලට භාජනය වෙනවා. සාමාන්‍ය මුල් සහ කොළ, 'උගුල්-විශේෂිත' ඒවා ලෙස පරිණාමය වූ බව පර්යේෂකයෝ එහිදී සොයා ගත්තා. පසෙන් පෝෂ්‍ය පදාර්ථ සොයා ගැනීමට සහ අවශෝෂණය කර ගැනීමට භාවිතා කළ මුල් සඳහා වූ ජාන දැන් ගොදුරෙන් පෝෂ්‍ය පදාර්ථ ජීර්ණය කිරීමට සහ අවශෝෂණය කර ගැනීමට අවශ්‍ය එන්සයිම නිර්මාණය කිරීමට අණ දෙනවා. පරාගනය කරන කෘමීන් ආකර්ෂණය කර ගැනීම සඳහා මල් පැණි ස්‍රාවය කරන ග්‍රන්ථි සඳහා වරක් භාවිතා කළ ජාන, දැන් උගුල්වලට සතුන් කැඳවනු ලබන අතර, එහිදී ඒවා ගොදුරු ආකර්ෂණය කර ගැනීම සඳහා ද්‍රව්‍ය නිපදවනවා.
මේ නව අධ්‍යයනය සිදු කලේ මාංශභක්ෂක වුනු ශාක එහෙම වෙන්න හේතු වුනු කරුණු මොනවාද කියලා සොයා බලන්නයි. එහිදී හෙළි වූ පියවර තුනක ක්‍රියාවලිය, කාලයත් සමඟ පුරාණ "මාංශ භක්ෂක නොවන ශාක, ග්‍රහලෝකයේ වඩාත්ම දක්ෂ හරිත දඩයම්කරුවන් බවට පරිණාමය වූ ආකාරය" පැහැදිලි සාක්ෂි සහිතවම පෙන්නුම් කරන බවයි පර්යේෂකයෝ අධ්‍යයන වාර්තාවේ සඳහන් කරලා තියෙන්නේ. මේ සම්බන්ධ පර්‍යේෂණ වාර්තාව Current Biology සඟරාවේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.
කොහොම නමුත්, කොළ සහ මුල් සහිත බොහෝ ශාකවල මාංශ භක්ෂක වීමට අවශ්‍ය ජාන ද්‍රව්‍ය අඩංගු වෙනවා කියලයි විද්‍යාඥයන් කියන්නේ. නමුත් ඒ හැම ශාකයක්ම ඉහත සඳහන් කළ පියවර තුනේ ක්‍රියාවලිය හරහා යමින් තවමත් මාංශ භක්ශක වෙලා නෑ. ඒත් ඕන නම් වෙන්න එහෙම වෙන්නත් අවස්ථාව තියෙනවා.
ඒ කියන්නෙ තව අවුරුදු දහස් ගාණක් ගිය තැන පෘථිවියේ මිනී කන සොම්බි ශාක තියෙන්නත් බැරි නෑ .....☢️
Timeline Tales