29/07/2025
සර්පයෙක් සමඟ පොළොවේදී රාජාලියා කිසිදා සටන් කරන්නේ නැහැ.
ඇයි දන්නවද? මොකද පොළොව කියන්නේ සර්පයාට ශක්තිමත් තැනක්. ඒ වෙනුවට රාජාලියා උසට පියාසර කරලා, සටන් බිම වෙනස් කරනවා. එතකොට සර්පයාට බලයක් නැති වෙනවා.
මේක හුදෙක් ස්වභාවධර්මය විතරක් නෙවෙයි - මේක ජීවිත පාඩමක්.
ඔබේ අභියෝග, විවේචකයන්, හෝ සතුරන් සමඟ ඔවුන්ගේ මට්ටමින් පොරබදින්න එපා.
කෝපයෙන්, ආඩම්බරයෙන්, හෝ බියෙන් ප්‍රතිචාර දක්වන්න එපා - ඒක ඔවුන්ගේ භූමිය.
ඒ වෙනුවට, ඉහළට නගින්න.
ඔබේ චින්තනය උසස් කරන්න.
විශ්වාසය, අවධානය, දැක්ම, සහ සන්සුන්කම වෙත මාරු වන්න.
ඉහළ මට්ටමකදී, ඔවුන්ගේ ආයුධ අසාර්ථක වෙනවා, ඔබට ප්‍රතිඵලය තීරණය කරන්න පුළුවන්.
ජයග්‍රහණය කියන්නේ අමාරුවෙන් සටන් කිරීම නෙවෙයි. ඒක උසට පියාසර කිරීමක්!
16/02/2024
සුද්දන්ගෙ කාලෙ පුස්කොළ පොත් ලියපු ගල්ලෙන්ගොල්ල
බ්‍රිතාන්‍ය පාලනය උඩරට පමණක් නොව මුළු රටම ගිලගෙන පැවති 19 වැනි සියවසේදී පුස්කොළ පොත් අතින් ලියමින් විහාරස්ථානවලට පූජා කරමින් ධර්ම ශාස්ත්‍රීය සේවයක් කළ පිං බිමක් ලෙස උඩුනුවර ගල්ලෙන්ගොල්ල පොත්ගුල් විහාරය හැඳින්වීමට පුළුවන. ඒ සඳහා මුල් වී ඇත්තේ ගල්ලෙන්ගොල්ල ලෙන් විහාරය ආරම්භ කිරීමටත් මුල්වුණු වනවාසී වැලිගමුවේ අත්ථදස්සි හිමියෝ වෙති. ඒ ගැන දීර්ඝ විස්තරයක් ඒ හිමියන් බුද්ධවර්ෂ 2427දී ලියූ පිං පොතේ සටහන් කර තිබේ.
විහාරය ආරම්භ කිරීමට මුල්තැන ගෙන කටයුතු කළ වැලිගමුවේ හිමි පුස්කොළ පොත් ලිවීමට ප්‍රවීණත්වයක් දැක්වූ හිමිනමකි. මේ විහාරයේ පොත්ගුල තනවා තිබෙන්නේ උන්වහන්සේ ලියූ පුස්කොළ පොත් තැන්පත් කිරීමෙනි. අත්ථදස්සි හිමි ලියූ පුස්කොළ පොත් තැන්පත් කර උඩුනුවර අඟුණාවල සහ මාතලේ කූඹියන්ගොඩ විහාරවලද පොත්ගුල් ඉදිකරවා ඇති බව පැවසේ.
19 වැනි සියවසේදී බුරුමයෙන් (රාමඤ්ඤය) උපසම්පදාව ලබාගෙන දකුණේ පිහිටවූ රාමඤ්ඤ නිකාය මධ්‍යම පළාතේ වර්ධනය කිරීමේ මූලස්ථානයක් ලෙසද ගල්ලෙන්ගොල්ල කටයුතු කර තිබේ. වර්ෂ 1867දී ගම්පොළ දී රාමඤ්ඤ නිකායේ උපසම්පදා විනය කර්මයක්ද සිදුකර ඇත. මෙය රාමඤ්ඤ නිකායට අයත් විහාරයකි. උරුලෑවත්ත විහාරය සහ පත්තිනි දෙවොල නරඹා වැඳපුදා ගැනීමෙන් පසු එයට නුදුරින් පිහිටි ගල්ලෙන්ගොල්ලට පැමිණිය හැකිය. අද දක්නට ලැබෙන විහාරය රජමහා විහාරයක් නොවූවත් රජ සමයේ මෙහි ඉපැරණි ආරණ්‍ය භූමියක් පැවති බවට පුරාණ ගල්ලෙන් සාක්ෂි දරයි. විහාරය පිහිටා තිබෙන්නේ සුන්දර කඳුකර වටපිටාවක පිහිටි ලෙන් ඇසුරු කරගෙනය. එය උඩුනුවර පුරා විහිදී ඇති සින්දුරන් කන්දයි. එහි තැනින් තැන විශාල ගල් පර්වත පිහිටා තිබේ. ගල්ලෙන්ගොල්ල විහාරය පිටුපස ඇති කුඩා ලෙන තුළින් උරුලෑවත්තේ ගල්ලෙන් විහාරයට සහ සින්දුරන් කන්ද දෙසට යන උමං මාර්ග දෙකක් ඇති බවත් ඒ උමං ඔස්සේ ගිය විට විශාල පොකුණකට වැටෙන බවත් ජනප්‍රවාදයේ එන කතාවකි. මෙම ලෙන් තුළ කුඩා උමං මාර්ග පිහිටි බව අදත් දැකගත හැකිය.
විහාරය අවට කන්දේ තැනින් තැන ගල්ලෙන් කිහිපයක්ම ඇති නිසා ඒ පෙදෙස ගල්ලෙන්ගොල්ල ලෙස හඳුන්වා තිබේ. පුරාණයේ සින්දුරන් කන්දේ සිදුවූ නායයාමක් නිසා විශාල පර්වත එකින් එක දැවටීම නිසා මෙසේ ලෙන් සකස් වී ඇති බව පෙනේ. විහාරයේ විවිධ අංග කඳු පාමුල තැනිතලාවේ සිට කඳුමුදුන දක්වා විහිදී ඇත. තෙමහල් පොත්ගුල් විහාරය, ලෙන් විහාරය සහ ආවාසයක්, බෝමළුව, දාගැබ සහ ධර්ම ශාලාව, ශ්‍රීපාද කුටිය, පෝය ගෙය, භික්ෂු ආවාසය ලෙස මෙහි විහාර අංග සඳහන් කළ හැකිය.
තෙමහල් පොත්ගුල් විහාරය ඉදිකරවා ඇත්තේ කඳු බෑවුමේ කළුගල් යොදා සකස් කළ අත්තිවාරමක් මතය. එය තැනූ අන්දම අත්ථදස්සි හිමි පිංපොතේ සටහන් කර ඇත්තේ මෙලෙසයි. දකුණු පැත්තේ අඩි පහළොවක් පළල අඩි පනහක් දිගින් යුක්තවද උසින් අඩං තිහක් ඇති උඩින් අඩි පනස් පහක් දිගින් හා අඩි විසිපහක් පළල ඇති මහ බෝක්කුව බන්දවා නොයෙක් විචිත්‍ර චිත්‍ර කර්මාන්ත කරවා එහි සිතියමේ දහසක් බුද්ධ රෑප අන්දවා දොළොස් රියන් උස මහ බුද්ධ රූප දෙකක් පියුමතුරා මෛත්‍රී බුදුන් වෙනුවට අන්දවා ගෞතම බුදුන් වෙනුවට දහ අට රියන් දිග ඇති සැතපෙන මහ බුද්ධ රෑපයක් බන්දවා...* (එච්.එම්.එස්. දන්දෙණිය - උඩුනුවර විහාර වංශය III කොටස, අමුද්‍රිත පිටපත, පේරාදෙණිය වි.වි. පුස්තකාලය)
වැලිගමුවේ අත්ථදස්සි හිමි ආරම්භ කළ විහාර කර්මාන්තය නිමකර ඇත්තේ උන්වහන්සේගෙන් පසුව 1915දී බව විහාරයේ උඩුමහලේ ඇති සටහනින් පැහැදිලි වේ. එම විහාර මන්දිරය නිම කරවා 1915දී නේත්‍ර ප්‍රතිෂ්ඨාපන පින්කම කළ බව එහි පුවරුවක සඳහන් කර තිබේ.
මෙය ඉතා විශාල තෙමහල් විහාරයකි. ඉංග්‍රීසි පාලන සමයේ එය ඉදිකරවීම විශාල අභියෝගයක් වන්නට ඇත. ආරුක්කු, කුලුනු ආදිය සහිතව නිමාකළ විහාර ගොඩනැගිල්ලේ මූර්ති සහ බිතුසිතුවම් මහනුවර සම්ප්‍රදායට අනුව නිම කිරීමට සිත්තරා උත්සාහ ගෙන තිබේ. උඩරට ද්විමාන සම්ප්‍රදාය ක්‍රමයෙන් ත්‍රිමාණ ආකාරයට හැරෙන අන්දම මෙහිදී දැක බලාගත හැකිය. උඩරට සාම්ප්‍රදායික මෝස්තර රුසකින්ද විහාරයේ වියන සහ බිත්ති අලංකාර කිරීමට සිත්තරා උත්සාහ කර තිබේ.
මේ විහාරය ගැන ආචාර්ය සිරි ගුණසිංහ සහ එල්.ටී.පී. මංජු ශ්‍රී මෙසේ සඳහන් කර සිටී.
මෙය ඉතා සුවිසල් තැනක් වන අතර ගෘහ නිර්මාණය ශිල්පියාගේ දෘෂ්ටි කෝණයෙන් විමසා බලන විට වැදගත් වේ. චිත්‍ර එතරම් පැරණි ඒවා නොවේ. වියන්තලය සාමාන්‍ය රසාත්මක බවක් පළ කරන්නේ එහි තිබෙන %පූට්ටු^ තේමාවන් සහිත චිත්‍ර නිසයි. (ශ්‍රී ලංකාවේ විහාර බිතුසිතුවම් පිළිබඳ සමීක්ෂණ වාර්තාව, 48 පිට)
විහාරයේ ඉදිරිපස මණ්ඩපයකි. පළමු මහල තනා ඇත්තේ කටාරම් සහිත ලෙනක් ඇසුරු කරගෙනය. ගල් උළුවස්සකින් බැතිමතා ඇතුළු වන්නේ කුලුණු සහිත බරාඳයකටය. එහි හිඳ බුදු පිළිමයක්ද හිටි පිළිමයක් සහ සැතපෙන ප්‍රතිමාවක්ද දැකගත හැකිය. කුලුණු මෙන්ම වියනද විහාර බිත්තිද සිතුවමෙන් අලංකෘතය. මෙම චිත්‍ර ශිල්පීය වශයෙන් විශිෂ්ට නොවේ. වියන සරසා තිබෙන්නේ නාරිලතා මල්, හංස පූට්ටු සහ කඩුපුල් මල් සහිත සිතුවම් රටාවකිනි. බිම් මහලේ දකුණු පස කුටිය වෙන්ව ඇත්තේ විශාල සැතපෙන බුද්ධ ප්‍රතිමාවකටය. ඒ දෙපස හිටි බුදු පිළිම දෙකකි. එහි සඳහන් කර ඇති සටහනකට අනුව එම කොටසේ චිත්‍ර ප්‍රතිසංස්කරණය කරවා ඇත්තේ 1979දීය. එසේ ප්‍රතිසංස්කරණය කරවා තිබෙන්නේ බු.ව. 2425දී කරවූ විහාරයයි. එහි මුලින්ම ඇඳ තිබූ අසූ මහා රහත් රෑපද සැතපෙන පිළිමයේ ශ්‍රී පතුලේ මංගල ලකුණු 216ද ප්‍රතිසංස්කරණයේදී මකා දමා තිබෙන බව දැන ගැනීමට ලැබුණි.
දෙවැනි මහලට පිවිසීමට පියගැට පෙළකි. එහි විහාර මන්දිරයට දොරටු දෙකකි. උඩුමහලද විශාල ආරුක්කු හතරකින් යුක්තව තනා තිබේ. එහි බිත්තියේ ලියා ඇති සටහනට අනුව 1915දී එවකට විහාරාධිපතිව සිටි මාත්ගමුවේ ධම්මජෝති හිමියන්ගේ අනුශාසනා පරිදි උඩුමාලේ ඇතුළ පමණක් රුපියල් එක්දහස් විසිහතක් වැය කරවා පී.ඇල්. සෙන්දිරිස් නම් සිත්තරා ලවා සිතුවම් කරවා ඇත.
විහාරය කරවීමට මුල් වූ වැලිගමුවේ අත්ථදස්සි නාහිමි විහාර කර්මාන්තය හය අවුරුද්දක් තුළ රුපියල් පනස් දහසක වියදමින් කරවා බු.ව. 2435 (ක්‍රි.ව. 1874) අපවත් වූ බවද එහි සටහන් කර තිබේ. වැඳ සිටින ආකාරයෙන් නිම කළ වැලිගමුවේ නාහිමියන්ගේ ප්‍රතිමාවක්ද මෙහි දැක ගැනීමට පුළුවන. මෙම විහාරයේ සිතුවම් හා මූර්තිවල නවීන ලක්ෂණ මතුව තිබේ. අටවිසි බුද්ධ ප්‍රතිමා, හිඳි බුද්ධ ප්‍රතිමා දෙකක්ද කරවා තිබේ.
පිළිමගෙය මැද විශාල පිත්තල කරඬුවකි. බුද්ධ චරිතය හා සත්සතිය චිත්‍රවලින් බිත්ති සරසා තිබේ.
විහාරයේ තුන්වන මහල මෑත යුගයට අයත් චිත්‍ර හා මූර්තිවලින් යුක්තය.
කඳු මුදුන මත ඈත දර්ශනය දැකගත හැකි ස්ථානය හඳුන්වන්නේ අසුන්ගල ලෙසිනි. එයට නුදුරින් ගල් පර්වතයක නෙළූ මෑත අතීතයට අයත් සිරිපා සලකුණක්ද දැක ගැනීමට ලැබේ. පැරණි ප්‍රාකාරයක සහ පියගැට පෙළක ශේෂ ද මේ අසල වනයේ දැකගත හැකිය. කන්දේ නැගෙනහිර බෑවුමේ තවත් ගල්ලෙන් කිහිපයක්ම පිහිටියේය.
ගල්ලෙන්ගොල්ලේ කටාරම් කෙටූ ලෙන් තෙමහල් ප්‍රතිමා ගෘහ, දාගැබ, ධර්ම ශාලාව හා පැරණි පියගැට පෙළ 2009.1.24 දින පුරාවිද්‍යා ස්මාරක ලෙස ප්‍රකාශිතය.
කුසුම්සිරි විජයවර්ධන
උපුටා ගැනිමකි..
මුල් හිමිකරුට ස්තුතිය 🌹
27/01/2024
කොළඹ සහ ඉන්දියාවේ මදුරාසිය යා කරන මුහුදු තැපෑල් සේවය😮😮
බලන්න මේ කතාව මීට කලින් අහලා තියෙනවද කියලා...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වෙන් කරනු ලබන්නේ පෝක් සමුද්‍ර සන්ධිය නම් පටු මුහුදු තීරයෙන්. දෙරට ඉතාම ආසන්නයෙන් පිහිටා තිබුණත්, ලාංකිකයන් වැඩි දෙනෙකුට ඉන්දියාව වෙත යාමට සිදුව තිබෙන්නේ ගුවන් යානයෙන්. නමුත් මීට දශක 4කට පමණ එපිට දී ලාංකිකයන්ට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පහසුවෙන් ගමන් කිරීමට හැකිවුණා. ඒ, ඉන්දියා-කලම්බු එක්ස්ප්‍රස් නමින් හැඳින්වුණු මුහුදු තැපැල් සේවාව ඔස්සේ යි.
බ්‍රිතාන්‍ය පාලන සමයේ දී ඉන්දියාව සහ ලංකාව අතර පහසුවෙන් ප්‍රවාහන කටයුතු සිදුකිරීම සඳහා ආරම්භ වුණු එම සේවාව 80 දශකයේ මැද භාගයේ දී නැවැත්වීමට සිදුවුණේ උතුරුකරයේ කොටි ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් වර්ධනය වුණු නිසා යි. අපට එසේ අහිමිවුණු ඉන්දු-ලංකා මුහුදු තැපැල් සේවය පිළිබඳව වර්තමාන පරපුර ද දැනගත යුතු යි. මේ ඉන්දු-ලංකා මුහුදු තැපැල් සේවයේ ඉතිහාසය යි.
ඉන්දු-ලංකා මුහුදු තැපෑල ආරම්භ කිරීමට මුල්වුණු හේතුව..
19 වන සියවසේ අගභාගය වන විට ලංකාව තුළ විශාල ලෙස තේ වගාව ව්‍යාප්ත වී, බ්‍රිතාන්‍ය ආණ්ඩුවට සැලකිය යුතු තරමේ ආදායමක් ලැබුණා. එනිසා බ්‍රිතාන්‍ය වැවිලිකරුවන් තව තවත් කැලෑ බිම් එළිපෙහෙලි කරමින් තේ වගා බිම් ආරම්භ කළා. නමුත් ඒවායේ සේවය කිරීමට කම්කරුවන් සොයාගැනීම ලෙහෙසි පහසු නොවුණේ ලාංකිකයින් වැඩිදෙනා සුද්දන්ගේ තේ වතුවල වැඩ කිරීමට දැක්වූ දැඩි අකමැත්ත නිසා යි. එනිසා බ්‍රිතාන්‍යයන්ට දකුණු ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වා ගැනීමට සිදුවුණා.
ඉන්දියාව සහ ලංකාව අතර ආසන්නතම මාර්ගය වැටී තිබෙන්නේ ධනුස්කොඩි හරහා යි. තලෙයිමන්නාරම සිට ධනුස්කොඩිවලට ඇත්තේ කි. මී. 32ක පමණ දුරක්. නමුත් ධනුස්කොඩි නගරයට ආසන්න පම්බන් දූපත එකල ඉන්දියාවට මාර්ග ඔස්සේ සම්බන්ධව තිබුණේ නැහැ. එනිසා එම යුගයේ දී ඉන්දියාවේ සිට ලංකාවට පැමිණීමට දුරින් වැඩි මාර්ගයක් භාවිතා කිරීමට සිදුවුණා. එනිසා එකල ද්‍රවිඩ කම්කරුවන් මදුරාසියේ සිට දුම්රියෙන් තූත්තුකුඩිය වෙත රැගෙනවිත්, එතැන් සිට දුම් බෝට්ටු මඟින් කොළඹට රැගෙන ආවා. තූත්තුකුඩියේ සිට කොළඹට කි.මී 270ක දුර ප්‍රමාණයක් තිබුණු නිසා ගමන සඳහා විශාල කාලයක් වැයවුණා. එසේම වැඩි මුදලක් වියදම් වුණා.
බ්‍රිතාන්‍ය ජාතිකයන් ඉන්දියාවේ සිට ලංකාවට කම්කරුවන් ඉක්මනින් ප්‍රවාහනය කළ හැකි ක්‍රමයක් කල්පනා කළා. ඔවුන් සොයාගත් හොඳම විසඳුම වුණේ තමිල්නාඩුවේ සිට පම්බන් දූපත හරහා තලෙයිමන්නාරම වෙත ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීම යි. එදා බ්‍රිතාන්‍යයන්ගේ සැලසුම වුණේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාතපුරම් දිස්ත්‍රික්කයට අයත් මණ්ඩපම් නගරයේ සිට පම්බන් දූපත දක්වා මුහුද හරහා කි. මී. 2කට වැඩි දිගකින් යුත් දුම්රිය පාලමක් ඉදිකිරීම යි. පම්බන් දුම්රිය පාලම ඉදිවෙයි..
1911 අගෝස්තු මාසයේ දී දුම්රිය පාලමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වුණත් මුහුද මැද කිලෝමීටර් 2කට මඳක් වැඩි දුම්රිය පාලමක් නිර්මාණය කිරීමට ලෙහෙසි පහසු වුණේ නැහැ. නමුත් බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන්ට එකතු වුණු ෂර්සර් නම් ජර්මානු ඉංජිනේරුවා දුම්රිය පාලමේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව කරගෙන ගියා.
ඉංජිනේරුවරුන්ගේ සහ එහි වැඩකර කම්කරුවන්ගේ නොපසුබට උත්සාහය නිසා 1914 පෙබරවාරි 24 වැනිදා කි. මී. 2.065ක දිගකින් යුත් පම්බන් මුහුදු දුම්රිය පාලම විවෘත කිරීමට හැකිවුණා. එම දුම්රිය පාලම මඟින් තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාතපුරම් දිස්ත්‍රික්කයේ මණ්ඩපම් නගරයත් පම්බන් දූපතත් යා කෙරුණා. මේ දුම්රිය පාලම ඉන්දියාවේ පළමු මුහුදු පාලම යි. 1988 වසරේ දී මණ්ඩපම් සිට පම්බන් දූපත දක්වා පාලමක් ඉදිකරන තුරුම පම්බන් දූපත තමිල්නාඩුව සමග සම්බන්ධ වුණේ පම්බන් දුම්රිය පාලම මඟින්.
ඉන්දු-ලංකා මුහුදු තැපෑල ආරම්භ වෙයි..
පම්බන් දුම්රිය පාලමේ වැඩ කටයුතු සිදුවෙමින් පැවති අතරතුර, තලෙයි මන්නාරම සිට ධනුස්කොඩි දක්වා දුම් බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම සඳහා පම්බන් දූපතේ කෙළවර තිබුණු ධනුස්කොඩි නගරයේ සහ තලෙයිමන්නාරමේ නාවුක ජැටි 2ක් නිර්මාණය කෙරුනා. පම්බන් මුහුදු පාලම විවෘත කළ දිනය වුණේ 1914 පෙබරවාරි 24 වැනිදා යි. එදා ඉන්දු-ලංකා මුහුදු තැපෑල ආරම්භ වුණා. එය "ඉන්දියා-කලම්බු එක්ස්ප්‍රස්" යන නමින් හඳුන්වනු ලැබුවා. මේ සේවාව මඟින් ඉන්දියාව සහ ලංකාව අතර භාණ්ඩ සහ මඟීන් ප්‍රවාහනය සිදුවුණා.
එකල මදුරාසියේ එග්මෝර් දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 8ට පිටත් වුණු දුම්රිය පසුදින සවස 3ට පමණ වන විට ධනුස්කොඩි දුම්රිය ස්ථානයේ ජැටිය වෙත පැමිණියා. දුම්රියෙන් පැමිණෙන මඟීන් සහ භාණ්ඩ ජැටියේ නවතා තිබෙන දුම් බෝට්ටු දෙකකට පැටවීම සිදුවුණා. සවස 4ට ධනුස්කොඩි ජැටියෙන් පිටත්වුණු දුම් බෝට්ටු පැය 3ක පමණ ගමනකින් පසුව සවස 7ට පමණ තලෙයිමන්නාරම වෙත ළඟා වුණා. එයින් පැමිණි මඟීන් සහ භාණ්ඩ රාත්‍රී තැපැල් දුම්රිය හරහා කොළඹ දක්වා රැගෙන යාම සිදුවුණා. ඉන්දියාව සහ ලංකාව අතර මෙම ප්‍රවාහන සේවය ඒ යුගයේ දී දිනපතාම ක්‍රියාත්මක වුණා.
සුළි සුළඟක් නිසා මුහුදු තැපෑල අතරමඟ නවතියි..
1964 දෙසැම්බර් 18 වැනිදා දකුණු අන්දමන් දූපත් දෙසින් ආරම්භ වුණු සුළි සුළඟක් දෙසැම්බර් 19 වැනිදා වන විට පැයට කි. මී. 260ක පමණ වේගයකින් පම්බන් දූපත වෙත ළඟා වුණා. "රාමේෂ්වරම් සුළිසුළඟ" නමින් ප්‍රසිද්ධියට පත්වුණු එම චණ්ඩ මාරුතය හේතුවෙන් මීටර 7ක පමණ උසකට ජල ප්‍රහාරයක් ධනුස්කොඩි නගරයට එල්ලවුණා. ධනුස්කොඩි නගරයත්, දුම්රිය මඟත් සම්පූර්ණයෙන්ම විනාශයට පත්වුණා.
ධනුස්කොඩි දුම්රිය ස්ථානයේ සිටි මඟීන් 150ක් පමණ සුළිසුළඟ නිසා මුහුදට ගසාගෙන ගිය බව එකල පුවත්පත්වල වාර්තා වී තිබුණා. ධනුස්කොඩි දුම්රිය ස්ථානයේ නවතා තිබුණු දුම්රියක් ද 200ක පමණ මඟීන් පිරිසක් සමගින් විනාශයට පත්වුණා. එසේම පම්බන් මුහුදු දුම්රිය මාර්ගයට ද විශාල වශයෙන් හානි සිදුවුණා. එනිසා ඉන්දු-ලංකා මුහුදු තැපෑල වසර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණේ නැහැ.
මුහුදු තැපෑල යළි ඇරඹෙයි..
එදා ඉංජිනේරුවන් වසර 5ක කාලයක් වැයකර විනාශයට පත්ව තිබුණු දුම්රිය මාර්ගය පිලිසකර කළා. නමුත් ධනුස්කොඩි නගරය යළි ඉදිකිරීම පිළිබඳව තමිල්නාඩු ප්‍රාන්ත රජයේ බලධාරීන් උනන්දු වුණේ නැහැ. එසේම සුළි සුළඟ නිසා විනාශයට පත්වුණු තලෙයිමන්නාරම නාවුක ජැටියත් යළි ඉදිවුණේ නැහැ. වසර කිහිපයක් පුරා නැවතී තිබුණු මුහුදු තැපෑල 70 දශකයේ මුල් භාගයේ දී යළි ආරම්භ වුණා. නමුත් එහි ගමන් මාර්ගය තරමක් වෙනස් වී තිබුණා.
අලුතින් ආරම්භ මුහුදු තැපැල් සේවාවේ දී, මදුරාසියේ සිට පැමිණි දුම්රිය පම්බන් දූපතේ ප්‍රධාන නගරය වුණු රාමේෂ්වරම් වෙත පැමිණියා. නමුත් රාමේෂ්වරම් නගරයේ සිට තලෙයි මන්නාරම දක්වා දුම් බෝට්ටුවලින් පැමිණීමට වැඩි කාලයක් ගතවුණා. එසේම ඒ වන විට තලෙයමන්නාරම පිහිටා තිබුණු නාවුක ජැටිය විනාශ වී තිබුණු නිසා අඟුල් භාවිතා කර මඟීන් සහ භාණ්ඩ බෝට්ටුවල සිට දුම්රිය වෙත රැගෙන ගියා. මෙනිසා අලුතින් ආරම්භ වුණු මුහුදු තැපැල් සේවාවේ දී කොළඹ සිට මදුරාසිය බලා යාමට පෙරට වඩා කාලයක් ගතවුණා.
ඉන්දු-ලංකා මුහුදු තැපෑලේ අවසානය..
1983 වසරේ දී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශ මුල්කර ගෙන ඊළාම් යුද්ධය ආරම්භ වුණා. 1984/85 කාල සමයේ දී කොළඹ සිට කන්කසන්තුරය බලා ගමන් කළ යාල් දේවි දුම්රිය ත්‍රස්තවාදීන් විසින් කිහිප වරක් පුපුරුවා හැරියා. එනිසා ඉන්දු-ලංකා මුහුදු තැපැල් සේවය ද ඉදිරියට පවත්වාගෙන යාම අවදානම් ක්‍රියාවක් බව බලධාරීන්ට ඒත්තු ගියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1985 වසර වන විට ඉන්දු-ලංකා මුහුදු තැපැල් සේවාවේ අවසානය සනිටුහන් වුණා.
(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)
Arunella
————————————————
DM For Credit Or Removal
Credit Always Goes to respective owner 💚
————————————————
04/01/2024
TIN එක, එහෙමත් නැත්නම් මේ දවස්වල හැමෝම වගේ කතා වෙන ‘බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය’ තනිවම ලබාගන්නේ කෙසේද?
⭕ TIN ලබාගන්න හැටි ගැන දැනගන්න කලින් මතක තියාගන්න ඕන ප්‍රධානම දේ තමයි, ඔබ TIN Certificate එක ලබාගැනීම සඳහා කිසියම් ආයතනයකින් හෝ පුද්ගලයෙක් ගෙන් සේවාවක් ලබාගන්නේ නැතිනම් කිසිම හේතුවක් මත ඔබගේ පෞද්ගලික සංවේදී තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැර කිසිම පාර්ශවයකට ලබාදෙන්න එපා
✔ කොහොමද TIN Certificate එක තනිවම ලබාගන්නේ?
⭕ TIN Certificate එක (පෞද්ගලික) ලබාගැනීමට පෙර ඔබ පහත ලේඛනවල, පැහැදිලි scan පිටපත් සූදානම් කරගත යුතුයි.
01. ජාතික හැඳුනුම්පත / වලංගු රියදුරු බලපත්‍රය / වැඩිහිටි හැඳුනුම්පත
02. ඔබගේ ස්ථිර ලිපිනය, ජාතික හැඳුනුම්පතේ සඳහන් ලිපිනයට වඩා වෙනස් නම්, අදාල ලිපිනය තහවුරු කිරිම සඳහා ඔබගේ නමට නිකුත්කල ජල හෝ විදුලි බිල්පතක් / ස්ථාවර දුරකතන බිල්පතක් / ග්‍රාම සේවක සහතිකයක්
03. ඔබ, ලියාපදිංචි කරන ලද තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකරුවෙක් නම්, අදාල ව්‍යපාර ලියාපදිංචි කිරීමේ සහතිකය.
0️⃣1️⃣ පියවර
TIN Certificate එක අයදුම් කිරීම වෙනුවෙන් ඕනෑම වෙලාවක පිවිසිය හැකි, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ePortal වෙත මුලින්ම ඔබ පිවිසිය යුතුයි. 👇
https://eservices.ird.gov.lk/Registration/TINRegistration/ShowRequestHeader
පහළින් තියන QR Code එක scan කරලා යන්නත් පුළුවන්
0️⃣2️⃣ පියවර
එම අතුරු මුහුණතේ ‘Registration Type’ ලෙස සඳහන්ව ඇති තැන ‘INDIVIDUAL LOCAL’ ලෙසින් තෝරා, එවිට ලැබෙන අයදුම්පත නිවැරදිව පුරවන්න
◾ Nearest regional office යන කොටස පුරවන්න එපා.
◾ CONTACT NUMBER කොටසේ, ඔබගේ ජංගම දුරකතන අංකය සහ භාවිතයේ පවතින email address එක නිවැරදිව ඇතුළත් කරන්න
◾ අයදුම්පත පිරවීමේදී BANK INFORMATION ලබාදිම අත්‍යවශ්‍ය කර නැති නිස එම කොටස පිරවීමට අවශ්‍ය නෑ.
◾ ඔබ විවාහක නම් FAMILY INFORMATION යටතේ සම්පූර්ණ කල යුතු විස්තරද නිවැරදිව සම්පූර්ණ කරන්න.
◾ ඔබ තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකරුවෙක් නම් INDIVIDUAL BUSINESS යටතේ ඔබගේ ව්‍යාපාරයේ විස්තර නිවැරදිව ඇතුළත් කරන්න
0️⃣3️⃣ පියවර
Supporting Documents ලෙසින් ඇති කොටසට ඔබ සුදානම් කරගෙන ඇති ජාතික හැඳුනුම්පත ඇතුළු scan ලේඛන නිවැරදිව තොරා upload කරන්න
◾ Purpose of registration ලෙසින් ඇති කොටසට Tax Purpose ලෙස තෝරන්න
◾ පසුව, එම අතුරු මුහුණතේ පහත ඇති ‘Next’ button එක click කරන්න
0️⃣4️⃣ පියවර
ඔබ ඇතුළත් කල සම්පූර්ණ විස්තර දැන් ඔබට දිස්වනු ඇත.
◾ එම තොරතුරු වෙනස් විය යුතු නැත්නම් DECLARATION යන කොටස සම්පූර්ණ කර පසෙකින් පෙන්වන සත්‍යාපන කේතය ඇතුළත් කර ‘submit’ කරන්න.
◾ එවිට ඔබට ලැබෙන Acknowledgement එක, TIN Certificate එක ලැබෙන තුරු සුරැකිව තබාගන්න.
◾ වැඩකරන දින පහක් ඇතුළත් ඔබ ලබාදුන් email address වෙත ඔබගේ TIN Certificate එක සහ PIN එක ඔබට ලබාදේ.
⭕ විශේෂයි :
TIN Certificate එකක් ලබාගත් පමණින් ඔබ ආදායම් බදු ගෙවීම සඳහා බැඳී සිටින්නේ නැත. ඔබගේ ආදායම බදු ගෙවිය යුතු මට්ටමේ පවතීනම් පමණක් බදු ගෙවිම හා බදු වාර්තා ගොනු කිරීම සිදුකල යුතුය,
මේ පහසු පියවරයන් අනුගමනය කිරීමෙන් ඔබට TIN Certificate එක ලබාගත හැක.
02/01/2024
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
දේශීය ආදායම් පනතේ 102 වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ පදිංචි පුද්ගලයින් ලියාපදිංචි කිරීම
2024 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි, හෝ 2024 ජනවාරි 01 හෝ ඊට පසු වයස අවුරුදු 18 සම්පූර්ණ වන ඕනෑම පුද්ගලයෙකු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී TIN එකක් ලබා ගැනීම අනිවාර්ය වේ. (බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය).
තවද, රු. 1000 කට වැඩි ආදායමක් ලබන ඕනෑම පුද්ගලයෙක්. 1,200,000/- තක්සේරු වර්ෂයක් සඳහා (වසරක අප්‍රේල් 01 සිට ඊළඟ වසරේ මාර්තු 31 දක්වා), ආදායම් බදු සඳහා ලියාපදිංචි විය යුතුය.
ඉහත උපදෙස් අනුව ලියාපදිංචිය ලබා නොගන්නා පුද්ගලයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කරනු ලබන අතර රු. 50,000/-.
ඉහත ලියාපදිංචිය පිළිබඳ දැනුම්දීම ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය පහත සබැඳිය හරහා බාගත කළ හැක.
http://www.ird.gov.lk/en/publications/sitepages/gazette.aspx?menuid=1602
18/12/2023
This is a very beautiful past that will never come back. 😥❤️🔥✔
16/09/2023
හෙට ආසියානු කුසලාන අවසන් මහා තරඟය පවත්වන
රෑට බෝල ගහන්න මාස 6න් හදපු ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ඔබ නොදත් අපූරු කතාව...
ලාංකිකයන්ගේ ක්‍රිකට් මහ ගෙදර හෙවත් කෙත්තාරාම ක්‍රීඩාංගනය (R.Premadasa Stadium ) ඉඳිකිරීමේ අපූරු කතා පුවත පිළිබඳව අද නවක පරපුර දැණුවත් කිරීම වැඳගත් යයි මා විශ්වාස කරමි. 1985 වර්ෂයේදී එවක්ට අගමැතිවරයාව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා නිළ සංචාරයක් සඳහා Australia ව බලා ගමන් ගන්නා අතර එහිදී එතුමාට “පර්ත්” ක්‍රීඩාංගණයේ පැවති දිවා රාත්‍රී ක්‍රිකට් තරඟයක් නැරඹීමේ අවස්ථාවක් හිමිවෙනවා.
එහිදී තමන්ගේ රටේත් මෙවැනි ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා ඔහුට දැඩි ආශාවක් ඇතිවූ අතර ඔහු ලංකාවට පැමිණි වහාම ඉංජිනේරු සංස්ථාවේ එවකට සිටි ප්‍රධාන ඉංජිනේරුවරයා කැඳවා “අපිට රෑට බෝල් ගහන්න පිට්ටනියක් හඳන්න පුළුවන්දැයි” ඔහුගෙන් විමසා සිටිනවා. එහිදී ඔහු වික්ෂිප්ත වී ටික වේලාවක් බලා සිට “පුළුවන් සර්” යැයි පිළිතුරු ලබා දෙනවා. ඒ ඔහුට පුළුවන් නිසා නොව තමාගේ රැකියාවට ඇති ආදරය හේතුවෙන්, මොකද ප්‍රේමදාස මහතා තුල නැහැ, බැහැ කියන වචන ඇසීමට ඇති අකමැති බව ඔහු දැන සිටියා. ඉන් පසුව ප්‍රධාන ඉංජිනේරුවරයාට ප්‍රේමදාස අගමැතිවරයා “ මම ඔයාට මාස 6 ක් දෙන්නම් මේක හදන්නයැයි “ පවසා සිටිනවා. ප්‍රධාන ඉංජිනේරුවරයා කරකියා ගැනීමට දෙයක් නොමැතිව එම ස්ථානයෙන් පිටව යනවා.
ප්‍රේමදාස අගමැතිවරයා අවශ්‍ය මුදල් සියල්ලම ඉංජිනේරු සංස්ථාවට ලබාදෙනවා. මෙහිදී මාස 4 ක කාලයක් තුල ඔවුන විදුලි ආලෝක කුළුණු හැර අනෙකුත් ඉඳිකිරීම් සිදු කරනු ලබනවා. මෙම ක්‍රීඩාංගනය ඉදිකිරීමේ කාලය තුල බොහෝ වතාවක් අගමැතිවරයා මෙය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණෙනවා. ක්‍රීඩා භූමිය නිර්මාණය කිරීමෙන් පසුව අගමැතිවරයා ඉංජිනේරු සංස්ථාවෙන් අසා සිටින්නේ ඔබට මාගෙන් තවදුරටත් අවශ්‍යවන්නේ කුමක්ද යන්නයි. එහිදී ඔවුන් පවාසා සිටින්නේ මෙම ක්‍රීඩාංගණයට විදුලි බුබුළු සවිකිරීම සම්බණ්ධයෙන් ඔවුන්ට දැණුමක් නොමැති බවයි. එය විමසීමෙන් පසුව අගමැතිවරයා සංස්ථාවේ ඉංජිනේරුවන් Australia ව බලා පිටත් කර යවන්නේ විදුලි බුබුළු දැමීම සඳහා අවශ්‍ය දැනුම හා තාක්ෂණය ලබා ගැනීම සඳහායි.
ඔවුන් පර්ත් ක්‍රීඩාංගනය ඉඳිකල ඉංජිනේරුවන් හා ක්‍රීඩාංගනය බාර ප්‍රධාන නිළධාරියාද හමුවෙනවා එහිදී ඔවුන් අවශ්‍ය තාක්ෂණය ලබාදෙන අතර ඔවුන් විමසා සිටිනවා “මේ දේවල් කරන්න ඔයාලට කොච්චර කල් තියෙනවාද “ යන්නයි.
එහිදී අප ඉංජිනේරුවන් පවසා සිටින්නේ “තව මාස 3 ක් විතරයි කියායි” එසේ කියූ සැණින් ඔවුන් සිනාසී “අපිට මේකෙ බල්බ දාන්න අවුරුද්දක්ට වැඩියෙන් ගියා ඕක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි” කියා පවසා සිටිනවා. ලංකාවට පැමිණිමෙන් පසු මාසයක් තුල අවශ්‍ය උපකරණ සියල්ල ලබා ගන්නා අතර තවත් මාසයක කාලයක් සඳහා කල් ලබා ගැනීමට අගමැතිවරයා අවස්ථව ලබා දෙනවා.
පසුව ඔවුන් මාස 3 ක කාලය තුල විදුලි බුබුළු සවිකිරීමට සමත් වෙනවා. නමුත් එම විදුලි ආලෝකය තුල තරඟ ක්‍රීඩා කල හැකි වුවත් කැමරා කිරීම සඳහා එම එළිය ප්‍රමාණවත් වන්නේ නැහැ. ඉන් පසුව ඔවුන් මේ පිළිබඳව අගමැතිවරයා දැනුවත් කරනවා. එහිදී අගමැතිවරයා සඳහන් කරන්නේ දැන් කුමක් සිදුකල කලයුතුද යන්නයි. එහිදී ඉංජිනේරුවරුන් මේ පිළිබඳව තව දුරටත් සොයා බැලීමෙන් පසුව මෙම විදුලි බුබුළු වලට වඩා දීප්තියෙන් ඉහල විදුලි බුබුළු ගෙන්වා ගැනීමට සමත් වන අතර පැරණි විදුලි බුබුළු නැවත හරවා යැවීමට සමත් වෙනවා.
මෙය ඉදිකිරීමෙන් පසුව විවෘත කිරීමේ උළෙල සඳහා පර්ත් ක්‍රීඩාංගනය බාර නිළධාරියාටද ආරාධනා කරනු ලබනවා. එහිදී ඔහු ක්‍රීඩාංගනය දැක විශ්මයට පත්වෙන අතර “ මෙම ක්‍රීඩාංගනයේ තත්වය පර්ත් ක්‍රීඩාංගනයටත් වඩා හොඳයි” කියා සටහනක් තබනු ලබනවා.
එවකට ඉංජිනේරු සංස්ථාව වැනි දේශීය ආයතන යොදාගෙන කාර්යක්ෂමව යොදා ගන්නේ කෙසේදැයි රණසිංහ ප්‍රේමදාස මහතා පෙන්නුම් කලා. මෙම ක්‍රීඩාංගනය “කෙත්තාරාම” ක්‍රීඩාංගනය ලෙස නම් කරනු ලැබුවා. ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් පසු මෙම ක්‍රීඩාංගනය “R. PREMADASA” අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙස නම් කරනු ලැබුවා.
-දැනට වසර කිහිපයකට පෙර “දොරමඩලාව” රූපවාහීනී වැඩ සටහට පැමිණි එවකට රාජ්‍ය ඉංජිනේරු සංථාවේ ප්‍රධාන ඉංජිනේරුවරයාගේ ප්‍රකාශය අනුව සටහන ලියන ලදී –