19/09/2026
ඩොක්ටර් ගාවට යන්න දවස් තුන හතරකට කලින් ඉඳන් පැණි රස කන එක නවත්තලා, බතුත් අඩුවෙන් කාලා,තව කරවිල එහෙමත් කාලා, ලේ චෙක් කරලා (Fasting Blood Sugar) රිපෝට් එක අරන් ඩොක්ටර් ගාවට යන අය අපේ අතර ඕන තරම් ඉන්නවා නේද?
රිපෝට් එකේ සීනි මට්ටම ගොඩක් අඩුවෙන් තියෙනවා දැක්කම ඩොක්ටර් කියයි "ආ... දැන් නම් සීනි ගොඩක් කන්ට්‍රෝල්, නියමයි!" කියලා. එහෙම හිතාගෙන හරිම ආඩම්බරෙන් රිපෝට් එක පෙන්නුවම, සමහර දොස්තර මහත්වරු කියනවා "අපි මේකත් එක්කම HbA1c (ඒ-වන්-සී) පරීක්ෂණයකුත් කරලා බලමු" කියලා.
ඔන්න ඔය HbA1c රිපෝට් එක ආවම තමයි අර දවස් තුනේ කරපු 'හොර ඩයට්' එක මාට්ටු වෙන්නේ! 😅
අද අපි කතා කරන්නේ දියවැඩියා රෝගීන්ට වගේම, දියවැඩියාව හැදෙන්න අවදානමක් තියෙන අයටත් ගොඩක් වැදගත් වෙන මේ HbA1c පරීක්ෂණය ගැනයි. හරියටම දැනගමු ඇයි මේක මේ තරම් වැදගත් කියලා. 👇
🤔 ඇයි උදේට බලන සීනි (FBS) රිපෝට් එක විතරක් මදිද?
උදේ කෑම නොකා බලන Fasting Blood Sugar (FBS) පරීක්ෂණයෙන් පෙන්නන්නේ, හරියටම ලේ ගන්න ඒ මොහොතේ ඔයාගේ ඇඟේ සීනි කොච්චර තියෙනවද කියන එක විතරයි.
ඒක හරියට ඉස්කෝලේ එක දවසක දෙන 'සප්‍රයිස් ටෙස්ට්' (Pop quiz) එකක් වගේ. එදාට විතරක් හොඳට පාඩම් කරන් ගියොත් ලකුණු ගන්න පුළුවන්. ඒ වගේ තමයි, දවස් දෙක තුනක් පරිස්සම් වුණොත් මේ රිපෝට් එක හොඳට එන්න පුළුවන්. හැබැයි අනිත් දවස් වලට සීනි කොහොම තිබ්බද කියලා මේකෙන් හොයන්න බෑ.
🩸 එතකොට මොකක්ද මේ HbA1c (Hemoglobin A1c) කියන්නේ?
මේක හරියට ඔයාගේ 'වාර අවසාන රිපෝට් කාඩ් එක' වගේ. පසුගිය මාස 3ක කාලය පුරාවටම ඔයාගේ ඇඟේ සීනි මට්ටම සාමාන්‍යයෙන් කොහොමද තිබුණේ කියලා මේකෙන් හරියටම පෙන්නනවා. දවස් දෙකක් ඩයට් කළාට මේ රිපෝට් එක රවට්ටන්න බෑ!
මේක වෙන්නේ කොහොමද? අපේ ලේ වල තියෙන රතු රුධිර සෛල (Red Blood Cells) වල 'හිමොග්ලොබින්' (Hemoglobin) කියලා ප්‍රෝටීනයක් තියෙනවා. මේ රතු රුධිර සෛලයක් අපේ ඇඟේ ජීවත් වෙන්නේ දින 120ක් විතර. අපේ ලේ වල සීනි වැඩි වෙනකොට, ඒ සීනි ගිහින් අර හිමොග්ලොබින් වල ඇලෙනවා (Glycation).
ඔයා දිගටම පැණි රස, පිටි කෑම කනකොට ලේ වල සීනි වැඩිවෙලා හිමොග්ලොබින් වලට ඇලෙන සීනි ප්‍රමාණයත් වැඩි වෙනවා. HbA1c පරීක්ෂණයෙන් කරන්නේ, අන්න ඒ විදිහට සීනි ඇලිලා තියෙන හිමොග්ලොබින් ප්‍රතිශතය (%) කොච්චරද කියලා මනින එකයි.
📊 මේ රිපෝට් එකේ අගයන්ගෙන් කියවෙන්නේ මොකක්ද?
මේ රිපෝට් එක එන්නේ ප්‍රතිශතයක් (%) විදිහට. සාමාන්‍යයෙන් මේක කියවන්නේ මෙහෙමයි:
👉 නිරෝගී කෙනෙක්ගේ (Normal): 5.7% ට වඩා අඩුයි.
👉 දියවැඩියාව හැදීමේ අවදානම (Prediabetes): 5.7% ත් 6.4% ත් අතර. (මේ තත්ත්වයේ ඉන්නවා නම්, කෑම පාලනය කරලා ව්‍යායාම කළොත් දියවැඩියාව හැදෙන එක වළක්වාගන්න පුළුවන්!)
👉 දියවැඩියාව (Diabetes): 6.5% හෝ ඊට වැඩියි.
දියවැඩියාව තියෙන කෙනෙක්ගේ ඉලක්කය මොකක්ද?
ගොඩක් වෙලාවට දියවැඩියා රෝගියෙක් තමන්ගේ HbA1c අගය 7% ට අඩුවෙන් තියාගන්න එක තමයි වෛද්‍යවරුන්ගේ ඉලක්කය වෙන්නේ. හැබැයි මේ ඉලක්කය වයස සහ වෙනත් රෝගාබාධ අනුව දොස්තර මහත්තයා විසින් වෙනස් කරන්න පුළුවන්.
⚠️ ඇයි මේ HbA1c අගය පාලනය කරගන්න එක මෙච්චර වැදගත්?
දියවැඩියාව කියන්නේ ඇඟට නොදැනීම අපේ ඇඟේ තියෙන වැදගත් අවයව විනාශ කරන නිහඬ මාරයෙක්.
HbA1c අගය දිගටම 7% ට වඩා වැඩියෙන් තියෙනවා කියන්නේ, ඔයාගේ ඇඟේ ලේ වල මාස ගාණක් තිස්සේ අධික සීනි ප්‍රමාණයක් කැරකෙනවා කියන එක. මේ සීනි වලින් ඔයාගේ ඇස් වල පෙනීම නැති කරන්න, වකුගඩු නරක් කරන්න, ස්නායු දුර්වල කරන්න (කකුල් හිරිවැටීම) වගේම හාට් ඇටෑක් එකක් ගේන්න වුණත් පුළුවන්.
මේ පරීක්ෂණය කරන්න බඩගින්නේ (Fasting) ඉන්න අවශ්‍ය නෑ. දවසේ ඕනෑම වෙලාවක කරන්න පුළුවන්.
HbA1c අගය වැඩි වෙලා නම්, බය වෙන්න එපා. හරියට බෙහෙත් පාවිච්චි කරලා, පිෂ්ඨය සහ සීනි කෑම අඩු කරලා, දවසට විනාඩි 30ක්වත් ව්‍යායාම කළොත් මේ අගය ලස්සනට පාලනය කරගන්න පුළුවන්.