27/09/2026
Please Like and Share!!!!
Share කර Like කරන්න.
https://www.facebook.com/share/p/1HnTwRrpJg/
"සිතුවිලි සිත්තම්" කෙටිකතා තරගය
කතා අංකය: #20
කතාවේ නම: රතු හැට්ටකාරිය එන්න කලින්
නිර්මාණය: ඩබ්. ඒ. පි. සෙව්මිණි වීරසූරිය
අපේ පුංචි කාලෙ අපි හරි ආසයිනේ කතන්දර අහන්න.ආත්තම්මා, සීයා තාත්තා, අම්මා , අප්පච්චි මේ කවුරුහරි කියන කතන්දර අහන්න අපි හරිම ආසනේ.හැබැයි මේ කතන්දරවල තියෙන්නෙ ඇත්තම ඇත්තද ?නැත්තම් අපි මේක අල්ලගත්තේ වැරදි තැනින්ද?ඇත්තටම අපි කරන්න ඕනි කතන්දරය අහන් ඉන්න එක විතරක්ද?අපිට ඇයි බැරි ප්‍රශ්න කරන්න.එහෙම ප්‍රශ්න කරොත් තමා ඒකෙ හැංගිච්චි ගොඩක් විස්තර අපිට හොයාගන්න පුලුවන්.සමහර කතන්දර ඇත්ත වගේ පේන්නෙ අපි ඒව ප්‍රශ්න නොකරන තාක් විතරයි.හරියට 'රතුහැට්ටකාරිගෙ කතාව ' කතන්දරය වගේ.
රතු හැට්ටයක් ඇඳගත් පුංචි ගැහැනු ළමයෙක් වනාන්තරයක් මැදින් ආත්තම්මාගෙ ගෙදරට යනවා.වෘකයෙක්ව එයාට අතරමඟදී හම්බෙනවා.ආත්තම්මගෙ ගෙදරට යද්දි වෘකයා එතන ඉන්නව. වෘකයා ආත්තම්මව ගිලලා.එයාවත් ගිල දමන්නයි වෘකයගෙ සූදානම පුංචි රතුහැට්ටකාරි හිතන්නේ එහෙම.අන්තිමේදී දඩයක්කාරයා ඇවිල්ලා දෙන්නවම බේර ගන්නව.අපි හැමෝම ඒ කතාව අහල තියෙනව.ඒත්, ඒ කතාව අහද්දි අපි මීට කලින් ප්‍රශ්න නොකරපු තැන් කීපයක් තියෙනව.මන් එයින් එකක් දෙකක් කියන්නම්.
ආත්තම්මාගෙ ගේ තිබ්බේ කැලේ මායිමේ.ඉතිං එයා කැලේ සත්තුන්ට කරුණාවන්ත කෙනෙක් උනේ නැද්ද?කැලේ සත්තුයි එයයි අතර තිබ්බෙ මොනවගේ සම්බන්ධයක්ද?
එදා ඇත්තටම වෘකයා ගෙදරට ඇවිත් තිබ්බෙ ඇයි?
අපි හොයන්නේ මේ ප්‍රශ්නවලට උත්තර නම් මිත්‍රවරුනි අපි දැන් හදන්නෙ හැබෑම කතාව එළිකරගන්න.ඔව් එදා ඇත්තටම මොකද උනේ.අපි බලමු.
එදා උදෙත් වනාන්තරය වෙනදා වගේම නිහඬයි. වෘකයා ගස් අස්සෙන් හෙමි හෙමින් ඇවිදින ගමන් හිටියේ. උගේ කකුල්වලට පෑගිලා වේලිච්ච කොළ කැඩෙන හඬ ඈතට ඇසෙන තරම් නිශ්ශබ්දතාවක් වනාන්තරය පුරා තිබ්බේ.
ඒ වෙලාවේ ඌ එයාව දැක්කා.රතු පාට හිස්වැස්මක් දාන් ඉන්න පුංචිකෙල්ල.රතුහැට්ටකාරි.වනාන්තරයේ අඩිපාර දිගේ,සුවද හමන දුම් දැමූ රසවත් කප්කේක් පිරුණු කූඩයත් ඒ මේ අත වනමින් සිංදුවක් මුමුණමින් ඇවිදින් යන පුංචි ගැහැනු ළමයෙක්.අඩිපාරේ තියෙන පුංචි පුංචි ඩේසි මල් , ලිලී මල් කඩාගෙන ඒවයෙ සුවඳ බලමින් ඒවත් තමන්ගේ කූඩෙට පුරවන් යන පුංචි කෙල්ලෙක්ව වෘකයා දැක්කා.
වෘකයා එයාගෙ පස්සෙන් ගියේ නෑ. ඌට ඇහුණා තියුණු ශබ්දයක්. හරියටම කිව්වොත් කැලෑවෙ මායිම හරියෙන්.අත්තම්මගෙ ගේ තියෙන ඉසව්වෙන්.උගේ ගමනේ තිබුණේ කලබලයක්.තමන්ගේ කෙනෙක්ට කරදරයක් වෙද්දී හිතට දැනෙන තැතිගැන්ම,බය දැනෙන්න ගත්තා. අත්තම්මට මොනම හරි කරදරයක් විපත්තියක් වෙලා වගේ ඉවක් මේ වෘකයාට දැනෙන්න පටන් ගත්තා.
ආත්තම්මාගෙ ගේ තිබුණේ වනාන්තරයේ අයිනේ. වෘකයා දිවීම නතර කරලා හුස්මක් වත් ගත්තේ ගේ පේන මානෙටම ආවට පස්සෙයි.මොකද ඌ දැනන් හිටියා උන්දෑ බොහොම වයස බව.නිතර දෙවේලෙ අසනීප වන බව. ගෙයි දොර බාගෙට ඇරල තිබුණා.වෘකයා දොර ලගටම ගිහින් නතර උනා. ගේ ඇතුළින් කිසිම සද්දයක් ඇහුණෙ නෑ.ඌ දොර තල්ලු කළා. ආත්තම්මා හිටියේ බිම වැටිලා.හුස්ම වැටෙනවා .ඒත් හරිම හෙමිහිට.
වෘකයා එයා ළගටම දුවලා ගියා.ආත්තම්මාගෙ ඇහිපියන් හිමිහිට ඇරුණා. ඒ ඇස් මළානිකයි.වෘකයාව දැකලා එයා බය වුණේ නැහැ.ඒ වෙනුවට ඇගේ වියළි දෙතොල් සොලවල යන්තමින් වචනයක් පිටකළා.
“උඹද...පුතේ....?”
වෘකයා නිහඬව ඇය දිහා බලන් හිටියා.ඌට මතක් වූයේ මීට අවුරුදු ගාණකට කලින් දවසක්.එදා මේ වනන්තරේ වැසි වැටුණු රාත්‍රියක්.පුංචි වෘක පැටියෙක් ගහක් යට වෙව්ලමින් හිටියා. උගේ අම්මව දඩයක්කාරයන්ගේ උගුලකට හසුවී මියගිහිල්ලා.ඒ පුංචි පැටියට කෑම දුන්නේ අත්තම්මා.තුවාලයට බෙහෙත් දැම්මෙත් එයාමයි.
“බයයිද පුතේ...?” වෘක පැටියා කිසිවක් නොකියා ඇය දෙස බැලීය. උගේ ඇස්වල තිබුණේ වැස්සට වඩා තද තෙතමනයකි.
“අම්මා ආයෙ එන්නෙ නැද්ද...?” ඇය උගේ හිස අතගෑවා.හිමිහිට.හරිම ආදරෙන්.කරුණාවෙන්.
“සමහරු අපි ළඟට ආයෙ එන්නෙ නෑ පුතේ... ඒත් ඒකෙන් එයාලා අපිට දීලා ගිය ආදරේ නැති වෙන්නෙ නෑ.” වෘක පැටියා හිස පහත් කළා.
“මං තනියමද දැන්?”
“නෑ... අද ඉඳන් උඹ තනියම නෙමෙයි.”
“ඒත්... මං වෘකයෙක්නෙ. මිනිස්සු මට බයයි.”ආත්තම්මා උගේ දෑස් දෙස කෙළින් බැලුවා.
“වෘකයෙක් වෙලා ඉපදුණා කියලා හිතක් නැති වෙන්නෙ නෑ පුතේ.” වෘක පැටියා නිහඬව ඇය දෙස බැලුවා.
“මිනිස්සු උඹේ දත් දකීවි. උඹේ නිය දකීවි. ඒත්...”ඇය උගේ හිස සෙමින් පිරිමැද්දා.
“...උඹේ හිත ඇතුළෙ තියෙන දේ දකින්න හැමෝටම බැරි වෙයි.”
“එහෙනම් මං මොනවා කරන්නද?”
“උඹට කවදාවත් කෙනෙක් බය වුණොත්, ඒ බය නිසාම එයාට රිද්දන්න එපා. උඹට රිදුණු නිසා ලෝකෙටම රිද්දන්නත් එපා.”ඇය උගේ නළල සිප ගත්තා.
“මතක තියාගන්න... කෙනෙක් උඹව වැරදියට දැක්කා කියලා, උඹත් නරක කෙනෙක් වෙන්න ඕනෙ නෑ.”
වෘක පැටියා ආත්තම්මාගේ උකුළට ඔලුව තියාගත්තා.එදා වැස්ස තව තදින් වැටුණා. ඒත් ඒ පුංචි වෘක පැටියාට, බොහෝ කලකට පසු, තමා තනි නොවන බව දැනුණා.වෘකයාට ඒ වචන අමතක වුණේ නැහැ.
කාලය ගෙවිලා ගියා.ඒ පුංචි වෘක පැටියා දැන් කැලේ මිනිස්සුත් බයවෙන සතෙක් වෙලා ඉවරයි .ඇත්තටම ඒකට හේතුවත් කටකතා.වෘකයගෙන් උනු හිටිහැර ගැන ගම්මුම ගොතපු ගම්මුම ප්‍රචාරය කරපු කටකතා.ඒ කතා කොහොම උනත් ආත්තම්මාට නම් ඌ තවමත්...“එදා හිටි පුංචි වෘක පැටියාම" තමා.
වෘකයා ආච්චිව නැගිටවන්න උත්සාහ කළා.ඒත් එයාට ශක්තියක් තිබුණේ නැහැ.ඒ වෙලේම ගෙවත්ත දිහායින් රතුහැට්ටකාරිගෙ අඩි සද්දෙ ඇහුණා.රතු හැට්ටකාරිගෙ අඩි සද්දේ දොරට කිට්ටුවෙන්ම ඇහුණා. දැන් රතුහැට්ටකාරි තමන්ව දැක්කොත් බය වෙලා හයියෙන්ම කෑගහලා ලොකු විනාසයක් වෙන්නෙ කියලා වෘකයා කොහොමත් දැනන් හිටියා.එයාට තිබුණා ඕන්නම් රතුහැට්ටකාරි මරලා එතනින් යන්න.ගම්මුන්ගේ 'මිනීමස් කන වෘකයන්' ගැන කටකතා ඇත්තක් කරන්න.ඒත් කොහොමද එහෙම කරන්නේ.එදා ආත්තම්මා කිව්ව වචන ටික වෘකගෙ හිත ඇතුළටම කිදා බැහැලයි තිබ්බෙ.වෘකයා වෙන උපායක් හිතන්න පටන් ගත්තා.එයාට පණ බේරගන්න කරන්න තිබ්බෙ එකම දෙයයි. ඌ ආච්චිව ඇඳ යටට තල්ලු කරලා දැම්මා.ඌ ඇඳ උඩට ඇවිත් ආත්තම්මාගේ ඇඳුමක් පොරව ගත්තා.ඌට පණ බේර ගන්න තිබ්බ එකම විදිය ආත්තම්මා වගේ රගපාන එක කියලත් ඌ දැනන් හිටියා.
“ආත්තම්මා. ආත්තම්මා . මන් ආවා.මේ දොර අරින්නකෝ.”
“දොරට අගුලු දාලා නෑ පුතේ. ඇරන් එන්න. මන් මේ කාමරේ.”
රතු හැට්ටකාරිය කාමරයට ආවා. ආත්තම්මා ළගටම ආව මේ පුංචි කෙල්ලට ආත්තම්මාගෙ වෙනසක් පෙනුනා.
“ආත්තම්මා... ඔයාගේ ඇස් මෙච්චර ලොකු ඇයි?”
"ඔයා ආත්තම්මා නෙමේ. ඔයා වෘකයෙක් නේද? මිනී මස් කන වෘකයෙක් නේද?"
එයා කෑගැහුවා .හයියෙන්ම කෑගැහුවා .එවෙලෙ පුංචි රතුහැට්ටකාරි දැක්කේ වෘක මූණ මිසක් බයෙන් පිරුණු ඒ ඇස් නෙමේ. රතුහැට්ටකාරි කෑගැහුවා.උදව් ඉල්ලලා හයියෙන්ම කෑගැහුව. එයාගෙ මේ කෑගැහිල්ලට කැලේ හිටපු දඩයක්කාරයා වේගෙන් එතනට දුවන් ආවා.වෘකයාට එක වචනයක් කතා කරන්න ඉඩක් ලැබුණේ නෑ.වචනවලට කලින් තුවක්කුව ඉස්සර උනා.
වනාන්තරයේ නිහඬතාවය දෙකඩ කරමින් විලාප තියමින් වෘකයා මැරී වැටුණා.යාන්තමින් හුස්ම අදින ගමන් ආත්තම්මත් බේරුණා.පුංචි රතු හැට්ටකාරියත් බේරුණා.කතාව අවසන් වුණා.අපි දන්න විදිහට.
ඒත් දැන් තමා කතාවෙ වැදගත්ම හරිය. දඩයක්කාරයා පිටත් වෙලා ගියාම යන්තමට හුස්ම අදිමින් හිටිය ආත්තම්මා යමක් කියන්න හැදුවා.ඒත් එයාගෙ කටහඩ පිටවෙන්නැ.වචනවලට ඉස්සරින් කඳුළු කතා කළා. ඇඳ යටට අත දික්කරමින් ඇය මොනවා හෝ දෙයක් කියන්නට හැදුවා.මේක දැක්ක රතු හැට්‍ටකාරිය ඒ දිහාට ගියා.ඇඳ යටට නැමුණ එයා දැක්කා පුංචි ලී පෙට්ටියක්. ආත්තම්මා කියන්න හදන්නෙ මේ ගැන වෙන්න ඕනෙ.පුංචි ලී පෙට්ටිය පරිස්සමින් එළියට ගත්තා.
ඒකෙ තිබුණේ පැරණි ඡායාරූපයක්. ඡායාරූපයේ සිටියේ කුඩා වෘක පැටියෙක්.ඒ ළගින්ම මූණ හිනාවකින් පුරවන් හිටියේ ආත්තම්මා.පින්තූරෙ අනික් පැත්තේ එයාගේ අත් අකුරින් වචන කිහිපයක් ලියල තිබ්බා.
“මිනිස්සු මේ සතාට වෘකයා කියාවි.
මට නම් මේ මගේ පුතා වගේ..”
මේ වචන කීපයම ඇති උනා මේ පුංචි කෙල්ලව මොහොතකට නිහඩ කරවන්න.වචන නෙමේ.කඳුළු ඉස්සර උණා.එදා පටන් එයා කැලෙ අඩිපාරෙ යන හැම වෙලේකම වට පිට බැලුවා.ඒත් එයාට ආයෙ කවදාවත් වෘකයෙක්ව හම්බුනේ නෑ.ඒත් එක වැහි දවසක, කැලේ තිබිච්ච පරණම ගසක් යටින් රතු පාට රෙදි කෑල්ලක් එයාට හම්බුණා.එයා ඒක අතට ගත්තා.ඒකෙ සුවඳ එයාට හුරුයි.ආත්තම්මාගෙ ගෙයි තිබ්බ පරණ බෙහෙත් පෙට්ටියේ සුවඳමයි ඒ.එයා ඒක පපුවට තද කරගත්තා.එයාට එවෙලෙ දෙයක් මතක් උණා…………සමහර කතා අවසන් වෙන්නේ දඩයක්කාරයාගේ තුවක්කුවේ හඬින් නෙමේ.සමහර කතා අවසන් වෙන්නෙ නැහැ.ඒව පටන් ගන්නෙම අපි අහන්න අමතක කළ තැනින්.
🏆 ජනප්‍රියතම කෙටිකතාව තේරීම සඳහා ඔබ කැමතිම කතාවට Like / React කර ඔබගේ මනාපට ලබා දෙන්න!
⏰ මනාප (Likes & Reactions) ගණනය කිරීම සැප්තැම්බර් 30 වනදා රාත්‍රී 12.00 න් අවසන් වේ.