Episteme

Episteme

Share

A Place where you can find interesting and mysterious facts from all around the world.

02/12/2023

👽 Woolpit හි කොළ පැහැති අත්භූත ළමුන් දෙදෙනා 👽

වර්ෂ 1150 පමණ, තවත් එක සාමාන්‍ය දවසක බ්‍රිතාන්‍යයේ Woolpit කියන ගම්මානයේ වැසියන් ට මුණ ගැහෙන්නෙ අදහාගන්න බැරි දසුනක්. කොළ පැහැති සමක් තියෙන කුඩා ළමුන් දෙදෙනෙක්. මෙයාලාගෙ අමුතු පෙනුම විතරක් නෙවෙයි, මෙයාලා කතා කරන්නෙත් කවුරුත් දන්නෙ නැති භාෂාවක්, ඒ වගේම සාමාන්‍ය මිනිස්සු කන කිසිම කෑමකට මෙයාලා කැමති වෙන්නෙත් නැහැ.
ඉතින් ගම්වැසියන් විසින් හදාවඩාගන්න ගන්න මේ ළමයි දෙන්නා කාලයත් එක්ක ඔවුන්ගෙ සමේ තිබ්බ කොළ පැහැය නැතිව යනවා විතරක් නෙවෙයි, මෙයාලට ගම්වැසියන් ටිකෙන් ටික ඉංග්‍රිසි භාෂාවත් හුරු කරනවා. මේ ළමයි දෙන්නාට අනුව එයාලා එන්නෙ St. Martin කියලා කවුරුත් අහලා නැති දේශයකින්, මේ දේශයෙ කවුරුත් ඉර එළිය දැකලා නෑ කියල තමයි මේ ළමයි දෙන්නා විස්තර කරන්නෙ.
එදා පටන්, අවුරුදු සිය ගාණක් තිස්සේ, Woolpit හි කොළ පැහැ ළමුන් දෙදෙනා කියන්නෙ හැමෝටම අභිරහසක් වෙච්ච කතාවක්. මෙයාලා ඇත්තටම හිටියද ? මේක නිකන් ජනකතාවක් විතරද ? මෙයාලගෙ හම කොහොමද කොළ පැහැ වුනේ ? කොහේවත් සිතියමක නැති St. Martin දේශය මොකක්ද ? මෙයාල පිටසකවලින් ආපු අයද ? අද අපි කතා කරන්න යන්නෙ මේ ගැන.

📜 ඉතිහාස වාර්තා

මේ කොළ පැහැති ළමයි දෙන්නා ගැන හොයන්න ගත්තටම අපිට ඉස්සෙල්ලාම ඉතිහාසයේ වාර්තා දැකගන්න පුලුවන් වෙන්නෙ 13 වෙනි සියවසේ ඉතිහාසඥයෙකු වෙන Newburg හි විලියම් සහ, 12 වෙනි සියවසේ ඉතිහාසඥයෙකු වන Coggeshall හි රැල්ෆ් ගේ සටහන් අතරින්. මේ දෙන්නගෙම සටහන් බොහෝ දුරට සමානයි.
කතාවේ හැටියට, මේ ළමයි දෙන්නව ගම් වැසියන් සොයාගන්නෙ 1150 වර්ශයේදි. මේ වාර්තා වලට අනුව, මේ ළමයි දෙන්නා මුලින්ම හමුවෙන්නෙ, වෘකයන්ව කොටු කරන්න ගැමියන් හදපු වලකින් ගොඩ එන ගමන් ඉන්නකොටයි. (Woolpit කියන නම එන්නෙ පුරාණ ඉංග්‍රිසි භාෂාවේ wulf-pytt කියන නමෙනුයි). ඉතින් හැමෝටම ඉස්සෙල්ලම පෙනුන දේ තමයි, මේ ළමයි දෙන්නා කොළ පාටයි !
පුදුමෙ වෙන්නෙ, මේ දෙන්නා කොළ පාට විතරක් නෙවෙයි, මෙයාල ඇඳන් ඉන්නෙ ගම්මුන් දැකලා නැති ද්‍රව්‍යයකින් හදපු ඇඳුම්, මෙයාලා කතා කරන්නෙ කවුරුත් අහලා නැති විකාර භාෂාවක්.
ඉතිහාස වාර්තා වලට අනුව, මේ දෙන්නව Sir Richard de Calne විසින් ඔහුගෙ නිවසට එක්කගෙන යනවා. ඔහු විසින් මේ ළමයි දෙන්නට කෑම බීම දුන්නත් මේ ළමයි දෙන්නා ඒවා ප්‍රතික්ෂේප කරනවා.
දවස දෙක තුනකට පස්සෙ මේ ළමයි දෙන්නා දකිනව de Calne ගෙ ගෙවත්තෙ වැවෙන කොළ පාට බොංචි ඇට වගයක්, මේක දකින ළමයි දෙන්නා බොහොම ආසාවෙන් මේවා ගිලදමනව. මීට ටික කාලෙකට පස්සෙ ගැමියන් ගෙනල්ලා දෙන ආහාරත් පිළිගන්න පටන් ගන්න මේ ළමුන් දෙන්නාගෙ හමේ තියෙන කොළ පැහැය ටික ටික නැති වෙලා ගිහින් සාමාන්‍ය පාටට හැරෙනවා. කාලයත් එක්ක, මේ ළමයි දෙන්නගෙන් පිරිමි ළමයා ලෙඩ වෙලා මිය යනවා. නමුත් ගැහැණු ළමයා ගැමියන්ගේ ආගන්තුක සත්කාට හමුවේ හොඳින් හැදී වැඩෙනවා විතරක් නෙවෙයි ටිකෙන් ටික ඉංග්‍රිසි භාෂාවත් ඉගෙනගන්නවා. ඊට පස්සෙ තමයි මෙයාලා ආපු දේශය ගැන විස්තර කරන්න ගන්නේ.

🗺️ St. Martin දේශයේ පුරාවෘත්තය

මම කලින් සඳහන් කරා වගේ, මෙයාලා කියන විදියට ඔවුන්ගේ රට වෙන්නෙ St. Martin කියලා දේශයක්.
"එක දවසක අපි දෙන්නා අපේ පියාගෙ රැළේ සත්තුන්ට කන්න දිදී ඉන්නකොට අපිට විශාල ශබ්‍දයක් ඇහෙන්න ගත්තා, හරියට ශාන්ත එඩ්මන්ඩ් පල්ලියේ ඝාන්ඨාර ශබ්දය වගේ. ඉතින් අපි මේ අරුම පුදුම ශබ්දය අහගෙන ඉන්නකොට අපිව ධ්‍යානයකට සමවැදුනා වගේ වෙන්නට පටන් ගත්තා. අපට හරියට සිහිය එනකොට අපි ඉඳියෙ ඔයාලගෙ කුඹුරු යාය මැද"

"අපේ දේශයට ඔයාලට වගේ හොඳට ඉර පායන්නෙ නැහැ, අපිට ලැබෙන්නෙ ඔයාලට ඉර බැහැගෙන යනකොට ලැබෙනවා වගේ බොහොම පොඩි ආලෝකයක් විතරයි. අපේ රටට අල්ලපු රට නම් බොහොම ආලෝකමත් දේශයක්, ඒක ලොකු ගඟකින් එහා තමයි පිහිටලා තියෙන්නෙ"

මෙන්න මෙහෙම තමයි පසු කාලෙක Agnes Barre කියන නමින් ප්‍රසිද්ධ වෙන කොළ පැහැති ළමයි දෙන්නගෙන් ගැහැණු ළමයා තමන්ගෙ රට විස්තර කරන්නෙ. කොහොම වුනත් කාටවත් සොයාගන්න පුලුවන් වෙන්නෙ නැහැ මේ අත්භූත ළමයි දෙන්නා ආවෙ කොහි සිටද කියල. වාර්තා වලට අනුව Agnes තමන්ගේ ජීවිතයේ ඉතුරු කාලය සාමාන්‍ය මනුස්සයෙක් වගේ ගත කරනවා.

🕵️ ඇත්තටම මෙයාලා කොහේ ඉඳලද ආවෙ ?

මේ ළමයින්ගෙ හමේ කොළ පැහැය, අමුතු ඇඳුම්, අමුතු භාශාව ගැන බොහෝ මත තියෙනවා.
එක මතයක් තමයි මෙයාලගෙ හම කොළ පැහැ උනේ කවුරුහරි මෙයාලට ආසනික් කියන වස වර්ගය ලබා දීම නිසා කියල. තවත් මතයකට අනුව, මන්දපෝෂණයෙන් පෙළීම නිසා ඇතිවෙන Chlorosis කියන රෝග තත්වය නිසා සම කොළ පැහැයක් ගත්තා කියල කියවෙනවා. කෑම ගැනීමත් එක්ක මේ හමේ කොළ පැහැය නැතුව ගියා කියන එකෙන් මේ තර්කය සනාථ වෙනව කියලත් කියැවෙනව.
එතකොට මෙයාලා ඇඳන් හිටපු අමුතු ඇඳුම් ? කතා කරපු අමුතු භාශාව ? බ්‍රිතාන්‍යයේ ඉතිහාස වාර්තා වලට අනුව මේ ළමයි දෙන්නා Flemish (බෙල්ජියමෙ කොටසක්) සංක්‍රමණිකයන් වෙන්න පුලුවන් කියල මතයක් තියෙනව. දෙවනි හෙන්රි රජු හෝ ස්ටීවන් රජු විසින් මේ ළමයින්ගෙ දෙමාපියන් ඝා/තනය කරන්නට ඇති කියලත්, ඒ නිසා මේ ළමයි Woolpit ප්‍රදේශයට පළා ආ බවත්, මෙයාලා කතා කරපු අමුතු භාශාව ඕලන්ද භාශාව බවත්, ඒ භාශාව එංගලන්තයේ ගැමියන් නොදැන සිටි නිසා අමුතු භාශාවක් වගේ පෙනුන බවත් සමහරුන්ගෙ මතයයි. කොහොම උනත් මටනම් හිතෙන්නෙ මේ කිසිම මතයක් හරි නැහැ කියලයි.
සමහරුන්ට අනුව මෙයාලා පිටසකවලින් ආපු අය, සමාන්තර ලෝකෙකින් ආපු අය, පොළොව යට සැඟවිලා තියෙන වෙනත් ශිෂ්ඨාචාරයකින් ආපු අය කියල හඳුන්වනවා. නමුත් අද වෙනතුරු මේ අබිරහස හරියටම විසඳන්න කවුරුත් සමත් වෙලා නැහැ. ඉතින් මේක ගැන ඔයාලා හිතන්නෙ මොකක්ද ?

මේ වගේ අභිරහස් සත්‍ය කතාවක් අරගෙන ලබන සතියෙත් හමුවෙමු.

26/11/2023

⚓ Mary Celeste නැවේ අබිරහස. ⚓

ඔබ Arthur Conan Doyle මහත්මයාගේ Sherlock Holmes පොත් කියවපු කෙනෙක් නම් ඔබට මතක ඇති Mary Celeste නැවේ අබිරහස හෝම්ස් විසඳපු විදිය. ගොඩක් දෙනා හිතුවට මේ කතාව හුදෙක් ප්‍රභන්දයක් විතරයි කියලා, මේක සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වෙච්ච දෙයක්. අද අපි කතා කරන්න යන්නේ ඒ ගැන.

1872 නොවැම්බර් 7වෙනිදා Mary Celeste කියන කුඹ ගස් දෙකකින් සමන්විත brigantine වර්ගයේ රුවල් නැව නිව් යෝක් නගරයෙන් පිටත් වෙන්නේ කර්මාන්ත සඳහා පාවිච්චි වෙන මධ්‍යසාර ගොන්නක් පටවාගෙනයි. නැවේ වැඩ කරන නැවියන් 7 දෙනෙක්, කපිතාන් Benjamin Spooner Briggs, ඔහුගේ බිරිඳ Sarah සහ ඔවුන්ගේ දෙවසරක් වයසැති කුඩා දියණිය Sophia සමහ මොවුන් ගමන් අරඹන්නේ ඉතාලියේ Genoa නගරය සඳහායි.

මසකට පමණ පසුව, දෙසැම්බර් 5 වෙනිදා Dei Gratia කියන තවත් නැවක යාත්‍රිකයන් පිරිසක් අත්ලාන්තික් සාගරයේ මැදදී මේ Mary Celeste නැව දකිනවා. මේ නැවේ කපිතාන් David Morehouse විසින් Mary Celeste නැව අඳුරගන්නවා, මොකද ඔහු තමන්ගේ චාරිකාව පටන් ගන්නට දවස් 8කට පමණ කලින්, ඒ වරායෙන්ම තමයි Mary Celeste නැවත් පිටත් වෙන්නේ. මේ නිසා David Morehouse, Mary Celeste නැවේ කපිතාන්ව පෞද්ගලිකව හඳුනනවා. කොහොම උනත්, Mary Celeste නැව තවමත් ගමනාන්තය කරා ලඟා වෙලා නැති නිසා, Dei Gratia නැවේ කපිතාන් David Morehouse විසින් තීරණය කරනවා තමන්ගේ නැවෙන් පිරිසක් කුඩා බෝට්ටුවක නංවලා Mary Celeste නැවට යවන්න. ඉතින් මුහුද මැද පාවෙමින් තිබ්බ Mary Celeste නැවට ගොඩවුන Morehouseගේ පිරිසට දැකගන්න ලැබෙන්නේ කිසිම හානියක් නොවෙච්ච, ඉතාම හොඳ තත්වයේ තියෙන Mary Celeste නැවයි. මධ්‍යසාර බැරල් කිහිපයක් ඇරෙන්න, අනිත් සියලුම මධ්‍යසාර බැරල් සහ මස හයකට පමණ සරිලන කෑම සහ වතුරත් තවමත් මේ නැවේ දැකගන්නට ලැබෙනවා. නැවේ යාත්‍රිකයන්ගේ කාමර වලට ගිය Morehouseගේ පිරිසට, Mary Celeste නැවේ වැඩකළ යාත්‍රිකයන්ගේ සියලුම අම්පන්න පවා තිබෙනවා දැකගන්නට ලැබෙනවා. නමුත් ඇත්භුතම දේ තමයි, Mary Celeste නැවේ පිරිස කොහේවත් හොයාගන්නට නැහැ ! හැමෝම අතුරුදහන් !

ඉතින් මේ සිදුවීමෙන් කම්පාවටත් විමතියටත් පත් වෙන Dei Gratia නැවේ පිරිස තීරණය කරනවා Mary Celeste නැව, හැතැප්ම 800ක් පමණ දුරින් තියන Gibraltarවට ගෙනිහින්, අඩුම තරමේ නැවේ රක්ෂණ මුදලවත් ලබාගන්න. හැබැයි ඔවුන්ගේ මේ ක්‍රියාව හැමෝගේම සැකයට භාජනය වෙනවා. මේ අතර විශේෂතම වෙන්නේ බ්‍රිතාන්‍යයේ වයිස් අද්මිරාල් උසාවියයි. මේ සිදුවීම සම්බන්දයෙන් ප්‍රශ්න කිරීමේ කමිටුවේ නියමුවා වෙන්නේ Frederick Solly-Flood කියන නීතිපති වරයායි. ඔහුට හිතෙනවා මෙතන මොකක්මහෝ දෙයක් වෙලා තිබෙන බව,නමුත් ඔහුට වුනත් එකවර හිතාගන්න බැරි වෙනවා ඒ මොකක්ද කියලා . ඒ මොකද, Mary Celeste නාවේ පිරිස අතුරුදහන් වුනත්, ඔවුන්ගේ බඩු භාණ්ඩ හෝ අහාර හෝ කිසිම දෙයක් Dei Gratia පිරිස අරගෙන තිබුණේ නැහැ. Dei Gratia නැවේ කපිතාන්ට අනුව, Mary Celeste නැව හමුවුනේ ඉතාමත්ම හොඳ තත්වයෙන් සහ, යාත්‍රා කරමින් තිබෙන අතරෙයි. මේ හැමදේම කල්පනා කරලා බැලුවම හැමෝටම හිතෙන්නේ Dei Gratia නැවේ පිරිස Mary Celeste නැවේ පිරිසව ඝාතනය කරලා, සිරුරු මුහුදට දමලා, නැව සොරකම් කරලා, නැවයි එහි බඩු භාණ්ඩයි අරගෙන Gibraltarවට ඇවිත් රක්ෂණ වන්දි ගන්න හදන බවයි.

හැබැයි ඇත්තටම එහෙම දෙයක් වුනාද ?

ප්‍රශ්න කිරීමේ කමිටුවේ නියමුවා වුන Frederick Solly-Flood කියන්නේ මෙහෙම දෙයක් සිදුවෙලා නැහැ කියලයි. ඇත්තටම මේ සිදුවීමෙන් Dei Gratia නැවේ පිරිසට ලාභයක් තිබීම හැමෝගෙම සැකයට ලක් වුනත්, මාස තුනකට අධික දැඩි ප්‍රශ්න කිරීම් සහ පරීක්ෂණ වලට පසුව වුනත්, උසාවියේ පිරිසට මෙහෙම දෙයක් වුණා කියල කිසිම සාක්ෂියක් සොයාගන්නට බැරි වෙනවා. හැබැයි හැමෝගෙම හිතේ කොනක තිබ්බ සැකය නැති වෙන්නෙත් නැහැ, මොකද Dei Gratia නැවේ පිරිසට Mary Celeste නැවේ රක්ෂණ මුදලින් 1/6ක්, ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් 46,000 ක වන්දියක් ලැබෙනවා. දළ වශයෙන් ගත්තොත් එක්කෙනෙකුට ඩොලර් 830ක් පමණ.

කලින් සඳහන් කරා වගේ, සර් ආතර් කොනන් ඩොයිල් මේ කතාව ආඳමින් 1884දී ප්‍රභන්දයක් නොලිව්වානම් මේ කතාව හැමෝටම අමතක වෙලා යන්නට තිබුණා . ඇත්තටම සිද්දියෙන් අවුරුදු 12කට පමණ පසුව ලියන මේ ප්‍රභන්ධයෙන් Mary Celeste නැවේ ඉඳපු නැවියෙකු තමන්ගේ කතාව, නැවට ඇත්තටම වුන දේ කියවෙනවා. නමුත් මෙය හුදෙක් ප්‍රබන්ධයක් පමණයි. කොහොම උනත් මේ කෙටි කතාව කියෙව්වයින් පසුව, මේ නැවේ පිරිසගේ අතුරුදහන් වීම ගැන ඇත්තටම පරීක්ෂණ කරපු Frederick Solly-Flood ත් ආපහු මේ පිලිබඳ සොයන්නට පටන් ගන්නවා. නමුත් අවාසනාවකට වගේ මේ පාරත් ඔහුට වැඩි විස්තරයක් සොයාගන්නට වෙන්නේ නැහැ.

ඇත්තටම මුහුදේ පාවෙමින් තිබ්බ Mary Celeste නැවේ තිබිලා හොයාගත්තේ මොනවද ?

කළින් සඳහන් කරා වගේ, මද්‍යසාර බැරල් 1701ක් නැවේ තිබිලා සොයාගැනෙනවා. බැරල් 9ක් පමණක් හිස්ව තිබී සොයාගැනෙනවා . නැවේ සවිකර තිබු වතුර ඉවත් කිරීමට පාවිච්චි කෙරෙන පම්පයක් ගලවා ඉවත් කර තිබෙනවා, මේ නිසා නැවේ බඩු ගෙනියන කොටස යම් තරමක් (අඩි තුනහමාරක් පමණ) මුහුදු ජලයෙන් යටවී තිබෙනවා. මාස හයකට පමණ ඇතිවන තරමේ කෑම සහ වතුර නැවේ තිබුන බව කියවෙනවා. ඉතින් මේ නැවෙන් අතුරුදහන් වුන ඉතා වැදගත් දේවල් කිහිපයක් තියෙනවා. නැවේ කපිතාන් වුන Briggs ගේ Sextant උපකරණය (මුහුදේදී යම්කිසි තැන් දෙකක් අතර දුර මනින්නට පාවිච්චි කෙරුණ උපකරණයක්), chronometer උපකරණය (කාලය මැනීමට පාවිච්චි කෙරුණ උපකරණයක්), නාවේ නාවික පොත (navigation book) නැවෙන් අතුරුදහන් වෙලා තිබෙන බව පිරිසට දැකගන්නට ලැබෙනවා. කොහොම උනත්, නැවේ ලොග් පොත තවත් නැවේ තිබී හමුවෙනවා. එහි අවසන් සඳහන වෙන්නේ නොවැම්බර් 25, උදේ 8ටයි. එහි සඳහන් වෙන විදියට මේ වෙලාවේ Mary Celeste නැව තිබී තිබෙන්නේ පෘතුගාලයේ Azores ප්‍රදේශයේ නැගෙනහිරට වන්නට තිබෙන Santa Maria දුපතෙන් හැතැප්ම 6ක් දුරිනුයි.
මේ අතුරුදහන් වුන උපකරණ ගැන සිතා බැලුවම අපට උපකල්පනය කරන්නට පුළුවන් කපිතාන් ඉතාම පිළිවෙලට සහ යම් කිසි වෙලාවක් අරගනිමින් (ඉතාම හදිස්සියේ නැතුව) නැව අතහැර දමා ජීවිතාරක්ෂක බෝට්ටුවට නැග පිටවී ඇති බව. ජීවිතාරක්ෂක බෝට්ටුවත් කාටවත් සොයාගැනීමට හැකිවෙන්නේ නැහැ.

ඉතින් නැවට සහ නැවේ සිටි පිරිසට ඇත්තටම මොකද උනේ ?

අද වෙනතුරුත් නැවේ සිටි පිරිසට ඇත්තටම මොකක්ද වුනේ කියල කිසිම කෙනෙක් දන්නේ නැහැ. නමුත් වුණා යයි සැක කෙරෙන දේවල් කිහිපයක් අපට සිතාගන්නට පුළුවන්.

1. ද්‍රෝහිකමක්

1872 දී මේ ගැන විමර්ශනය පත් කෙරුණු කමිටුවේ මුල්ම අදහස උනේ Dei Gratia නැවේ පිරිස විසින් Mary Celeste නැවේ පිරිසව ඝාතනය කරන්නට ඇතිය යන්නයි. නමුත් මම කලින්ම සඳහන් කලා වගේ, ඔවුන්ට මේ අදහස සනාථ කරන්න කිසිම සාක්ෂියක් හම්බෙන්නේ නැහැ. අනික, මේ නැව් දෙකේ කපිතාන් වරු දෙදෙනා ඉතාම හොඳ මිතුරන් වුන බව කියැවෙනවා . කපිතාන් Briggs කියන්නේ එකල නැව් කර්මාන්තයේ අතර ප්‍රසිද්ධ සහ දක්ෂ කපිතාන්වරයෙක් වුණා. හැමෝම ඔහුට ගරු කළා. Mary Celeste නැව වරායෙන් පිටත්ව ගිය දවසට කලින් රාත්‍රියේ නිව් යෝක් හි Astor Houseහිදී මෙම කපිතාන්වරු දෙදෙනා එකට රාත්‍රී ආහාරය ගන්නට ඇති බවද කියැවෙනවා. ඉතින් මේ දෙදෙනාගේ මිත්‍රකමත්, කිසිම මිනීමැරුමක සාක්ෂි හමුනොවිම නිසාත්, මේක වෙන්න ඇති කියල අපිට ටිකක් හිතන්නට අමාරුයි.
තවත් අය යොමු කර ඇති අදහසක් තමයි මුහුදු කොල්ලකරුවන් හෝ, නැවේම වැඩ කල අය විසින් ඇති කරපු කැරැල්ලක් නිසා මේ අය අතුරුදහන් වෙන්න ඇති බව. නමුත් ඉතින් කිසිම දෙයක් හොරකම් කර ඇති බවක් පෙනෙන්න්නට නැහැ. අනික මොන මුහුදු කොල්ලකරුවද නැවේ සිටි පිරිස මරා දමා, බඩු භාණ්ඩ පිරුණ නැවක් අතැරලා යන්නේ ? නැවේ වැඩ කල අය කැරැල්ලක් ඇති කරා කියන දේත් ටිකක් විශ්වාස කරන්නට නොහැකි දෙයක්. මොකද, කපිතාන් Briggs කියන්නේ ඉතාම දක්ෂ, සේවකයන්ට කරුණාවෙන් සැලකූ පුද්ගලයෙක් බව ප්‍රසිද්ධ කාරණයක්. අනික, තමන්ගේ බිරිඳ සහ ළමයා සමග යන ගමනකට ඔහු තමන්ට විශ්වාස කළ නොහැකි පුද්ගලයන් නැවට බඳවා ගනීවි කියල අපිට හිතන්නට බැහැ . එහෙම කැරැල්ලක් ඇති වුනත්, ඔවුන් නැව තම පාලනයට ගත්තා නම් ඇයි නැව අතහැර දැමුවේ ?

2. මද්‍යසාර පිපිරීමක්

තවත් වුණා කියල අපට හිතන්න පුළුවන් දෙයක් තමයි මේක. අපි දන්නවා නැවේ තිබුණ බැරල් 1701 ක කර්මාන්ත වලට පාවිච්චි කරන මට්ටමේ මද්‍යසාර තිබුණ බව. මේවා අධි සාන්ද්‍ර මට්ටමේ මද්‍යසාර. මේ කතාවේ හැටියට, සමහර බැරල් වල කාන්දුවක් තිබුණා වෙන්නට පුළුවන්. නැවේ තිබුණ හිස් බැරල් 9 දිහා බැලුවම මේක වෙන්න පුළුවන් දෙයක්. මේ බැරල් වලින් මද්‍යසාර කාන්දූ වෙන්නේ මද්‍යසාර වාෂ්ප විදියටයි. ඉතින් මේ වාෂ්ප එකදිගට එකතු වෙලා ලොකු පිපිරීමකට ලක්වෙන්න පුළුවන්, එහෙමත් නැතිනම් මද්‍යසාර කාන්දු වීම නිසා පිපිරීමක් වෙයි කියලා නැවියන් බියට පත් වුණා වෙන්නට පුළුවන්.
මේ නිසා බියට පත් වුන කපිතාන් විසින් නැවේ සියලුම දෙනාට ජීවිතාරක්ෂක බෝට්ටුවට නැගලා, එය නැවට ලණුවකින් අමුණලා, නැවේ එකතු වුණ මද්‍යසාර වාෂ්ප නැති වෙලා යනතුරු නැව පිටුපසින් බෝට්ටුවේ එන්නට සැලසුම් කරා වෙන්නට පුළුවනි. නමුත් කුමක්ම හෝ හේතුවක් නිසා නැව සහ ජීවිතාරක්ෂක බෝට්ටුව සම්බන්ද කල ලණුව ගැලවී ගියානම්, සියලුම දෙනා මුහුදේ අතරමන් වන්නට තිබුණා. මෙහෙම දෙයක් වුනානම් කිසිම කෙනෙක් දිවි ගලවගත්තා හෝ, වෙන කිසිම කෙනෙක් විසින් මේ බෝට්ටුව සොයාගන්න ඇති බව අපට හිතන්නට අමාරුයි.

3. ක්‍රියා විරහිත වුන ජල පොම්පයක්

වැඩිම සාක්ෂි ප්‍රමාණයක් තිබෙන සහ වුණා යැයි සිතන්නට පුළුවන් හොඳම සිද්ධිය වෙන්නේ මේකයි. Solly-Flood කල විමර්ෂණයේ සටහන් ගැන අපි හොයල බැලුවොත්, එහි සඳහන් වෙනවා පර්යේෂකයන් විසින් සොයාගත්තා වූ කරුණු කිහිපයක්. අපි මුලින් සඳහන් කලා කපිතාන් Briggs විසින් ඔහුගේ ලොග් පොතේ සඳහන් කරලා තිබුනේ අවසන් සටහන තැබූ දිනයේදී ඔහු සිටියේ Santa Maria දුපතෙන් හැතැප්ම 6ක් දුරින් බව. නමුත් පර්යේෂකයන්ට අනුව ඇත්තටම නැව තිබී ඇත්තේ කපිතාන් සිතූ තැනින් හැතැප්ම 120කට බටහිරිනුයි. මෙයට හේතුව ලෙස සැක කැරෙන්නේ කපිතාන්ගේ chronometer උපකරණයේ දෝෂයකුයි. නැව අතහැර දැමුවා යැයි සැක කරන දිනයට කලින්, ඔහු විසින් නැවේ දිශානතිය වෙනස් කර තිබෙනවා, සමහරවිට ඒ දිනයේ තිබූ රළු මුහුදෙන් බේරෙන්නට මෙය කලා වෙන්නට පුළුවන්.නමුත් කැඩිච්ච chronometer උපකරණයක් සහ ටිකක් රළු මුහුදක් නිසා Briggs වගේ පළපුරුදු කපිතාන් වරයෙක් නැවක් අතහැර දමාවිද ? නැහැ, මේ පසුපස තවත් හේතුවක් තිබුණා වෙන්නට පුළුවන්. මෙන්න මෙතැනදී තමයි අපිට කැඩුණු වතුර පොම්පය වැදගත් වෙන්නේ. මම මුලින්ම සඳහන් කරා නැවේ තිබුන වතුර පොම්ප දෙකෙන් එකක් ක්‍රියා විරහිත වී තිබුන බව. Mary Celeste නැව මෙම චාරිකාවට කලින්, පහුගිය චාරිකාවේ ප්‍රවාහනය කරමින් තිබී ඇත්තේ ගල් අඟුරුයි. මේ චාරිකාවෙන් පසුව Mary Celeste නැව දැඩි ලෙස ප්‍රතිසංස්කරණය තිබෙනවා. පර්යේෂකයන්ට අනුව කලින් චාරිකාවේදී එකතු වුන ගල් අඟුරු කුඩු සහ ප්‍රතිසංස්කරණයෙන් පසුව එකතු වුන ලී කුඩු එකතු වීම නිසා මේ එක වතුර පොම්පයක් අවහිර වෙනවා. සාමාන්යෙන් මේ කාලයේ නැව් වල බැරල් පටවන්නේ එකකට එකක් හේත්තු වෙන විදියටයි, මේ ආකාරයට තදට බැරල් ගබඩා කරනවිට බැරල් අතර කිසිම හිඩැසක් තිබෙන්නේ නැහැ. කුණාටුවක් නිසා බැරල් ගබඩා කර තිබෙන තැනට වතුර පිරෙන්නට ගත්විට, කොපමණ මට්ටමකට වතුර පිරී ඇත්දැයි කපිතාන්ට බලන්නට කිසිම හැකියාවක් නැහැ මේ නිසා. අපි දන්නවා නැව සොයාගන්න විටත් අඩි තුනහමාරක පමණ මුහුදු වතුර පිරී තිබුණ බව. ඉතින්, කුණාටුවක් සමග පොරබදින වෙලාවක, එක පොම්පයක් ක්‍රියාවිරහිත වී තිබෙන අවස්ථාවක, කපිතාන්ට මෙහි ජලය පිරී ඇති මට්ටම දැනගන්නට කිසිම හැකියාවක් නැහැ. මේ සියලු හේතු නිසා කපිතාන් Briggs විසින් තමන්ගේ පිරිසට නැව අතහැර දමන්නට අණ කල බවට පර්යේෂකයන් අනුමාන කරනවා. මින් පසුව ජීවිතාරක්ෂක බෝට්ටුවට වුන දේ කවුරුත් දන්නේ නැහැ.

Mary Celeste නැවේ සිටි කිසිම කෙනෙකු අද වෙනතුරු සොයාගෙන නැහැ. හැබැයි Mary Celeste නැවටත් හොඳ අවසානයක් නැහැ. මේ අතුරුදහන් වීමේ සිද්ධියෙන් පසුව සුපුරුදු පරිදි මේ නැව භාණ්ඩ ප්‍රවාහනය සඳහා පාවිච්චි කෙරෙනවා. 1884 නොවැම්බර් හිදී මේ නැව හිතාමතාම Haitiයට නුදුරින් පිහිටි කොරල් පරයක් කරා පදවා ගිල්වා දමනවා. එහි එකල නව කපිතාන් වරයා එය සිදු කරන්නේ රක්ෂණ වන්දිය ලබාගන්නයි. නමුත් පසුව ඔහු මෙය සිතාමතා කල දෙයක් බව දැනගන්නා උසාවිය විසින් ඔහුව සිරගත කරනවා.

මේ වගේ අභිරහසක් අරගෙන ලබන සතියෙත් අපි එනවා.

Photos from Episteme's post 12/03/2023

🔰 චීනයේ පාද බැඳීමේ චාරිත්‍රය 🔰

පාද බැඳීම, එසේත් නැතිනම් "නෙළුම් පාද" ලෙස හැඳින්වෙන මේ සම්ප්‍රදාය 10 වන සියවසේදී චීනයේ ආරම්භ වූ අතර මේ සම්ප්‍රදායය 1912 දී නිල වශයෙන් තහනම් කරන තෙක් වසර 1,000 කට වැඩි කාලයක් පැවතුනා.

මේ සම්ප්‍රදායයෙන් කෙරෙන්නේ පාද සම්පීඩනය හා විකෘති කිරීමක්. තරුණ ගැහැණු ළමයින්, ප්‍රමාණයෙන් කුඩා, සියුම් සහ "ආකර්ශනීය" පාද සාක්ෂාත් කර ගැනීම තමයි මේ පාද බැඳීමේ අරමුණ වෙන්නේ.

පාද බැඳීමේ ක්‍රියාවලිය වේදනාකාරී වූ අතර බොහෝ විට මේ ක්‍රියා පටිපාටියට ලක් වූ කාන්තාවන්ට ජීවිත කාලය පුරාම විවිධා ආකාරයේ ශාරීරික ආබාධ ඇති වුනා. වයස අවුරුදු හතරක් හෝ පහක් වයසැති ගැහැණු ළමයින්, ඔවුන්ගේ පාද සාමාන්‍ය ලෙස වර්ධනය වීම වළක්වන්නට රෙදි පටිවලින් තදින් බැඳ තබා, ඇඟිලි පහළට නැමී යටි පතුල යටට බලෙන්ම ගෙන යන අතර, මේ නිසා ඇඟිලි කැඩී වළලුකර දෙසට ඉහළට තල්ලු වෙනවා.

මෙම ක්‍රියාවලිය ඇදහිය නොහැකි තරම් වේදනාකාරී වූ අතර, බොහෝ ගැහැණු ළමයින් මේ කාලය පුරාම කෑගසමින් අඬන බව පැවසෙනවා. කාලයාගේ ඇවෑමෙන්, පාදය විකෘති වී විකෘති වී, බොහෝ විට ජීවිත කාලය පුරාම මේ පාදය වේදනාවට සහ ආබාධිත තත්ත්වයට පත් වනවා. පාද බැඳ ඇති කාන්තාවන්ට සාමාන්‍ය කාන්තාවන් වගේ ඇවිදීමට නොහැකි වූ අතර, ආධාරය සඳහා සැරයටි මත යැපීමට හෝ අන් අයගේ දෑත් මත දැඩි ලෙස හේත්තු වී එහා මෙහා යාමට සිදු වුනා. මොවුන්ට කුඹුරුවල වැඩ කිරීම වැනි ශාරීරික ක්‍රියාකාරකම්වලට සහභාගී වීමට ද නොහැකි වූ අතර බොහෝ විට ඔවුන්ගේ නිවෙස්වලට සීමා වෙන්නට සිදු වුනා.

පාද බැඳීම චීන සමාජයේ උසස් තත්ත්වයේ සහ අලංකාරයේ සංකේතයක් ලෙස සැලකෙනවා. බැඳුණු පාද සහිත කාන්තාවන් භාර්යාවන් ලෙස වඩාත් ආකර්ශනීය සහ ප්‍රියජනක ලෙස සලකනු ලැබූ අතර ඔවුන්ගේ සියුම් පාද සුඛෝපභෝගී සහ විවේකී ජීවිතයක් ගත කිරීමට ඔවුන්ට ඇති හැකියාවේ ලකුණක් බව විශ්වාස කෙරුනා. පිරිමින් බොහෝ විට කාන්තාවන්ගේ පාදවල සුන්දරත්වය ගැන කවි සහ ගීත ලිවූ අතර පාද බැඳීම චීන සංස්කෘතියේ වැදගත් අංගයක් බවට පත්වුනා.

පාද බැඳීමේ සම්ප්‍රදාය වසර දහසකට වැඩි කාලයක් පුරා පැවති අතර, මෙම කාලය තුළ චීන කාන්තාවන් බිලියනයක් පමණ ඔවුන්ගේ පාද බැඳ තිබූ බව කියැවෙනවා. චීන බුද්ධිමතුන් සහ සමාජ ප්‍රතිසංස්කරණවාදීන් විසින් මෙම පුරුද්ද ප්‍රශ්න කිරීමට හා විවේචනයට ලක් කිරීමට පටන් ගත්තේ 20 වැනි සියවසේ මුල් භාගයේදී. ඔවුන් චීන සංස්කෘතියේ පසුගාමීත්වයේ සංකේතයක් ලෙස පාද බැඳීම දුටු අතර එම පුරුද්ද නතර කරන ලෙස ඉල්ලා සිටියා.

1912 දී අලුතින් පිහිටුවන ලද චීන සමූහාණ්ඩුව නිල වශයෙන් පාද බැඳීම තහනම් කළ නමුත් සමහර ග්‍රාමීය ප්‍රදේශවල දශක කිහිපයක් තිස්සේ මෙම පුරුද්ද පැවතුනා. වර්තමානයේ, පාද බැඳීම අතීතයේ තවත් එක් චායා මාත්‍රයක් ලෙස සලකනු ලබන අතර, චීනයේ හෝ ලෝකයේ වෙනත් ප්‍රදේශවල මෙම පිළිවෙත තවදුරටත් දකින්නට ලැබෙන්නේ නැහැ.

වයෝවෘද්ධ චීන කාන්තාවන් අතර පාද ආශ්‍රිත ආබාධ බහුල වීම, පාද බැඳීමේ උරුමයක් ලෙස අපට අදටත් දැකිය හැකිය. මෙම පිළිවෙත මිලියන සංඛ්‍යාත කාන්තාවන්ට ජීවිත කාලය පුරාම වේදනාව හා ආබාධිතභාවය ඇති කළ අතර එහි ප්‍රතිවිපාක අදටත් කාන්තාවන් තුල අපට දැකිය හැකියි. කෙසේ වෙතත්, මේ පාද බැඳීම, සංස්කෘතිය සහ සම්ප්‍රදායන්හි බලය සහ ඒවා සමාජයට ඇති කළ හැකි බලපෑම පිළිබඳ මතක් කිරීමක් ලෙස ද අපිට හඳුන්වන්න පුලුවන්.

Photos from Episteme's post 15/11/2020

🔰 දිගු ගෙලැති කාන්තාවන් 🔰

කාලෙකින් ලිපියක් ලියන්න පුලුවන් උනේ පෞද්ගලික වැඩ රාජකාරි එක්ක. පහලින් තියන පින්තූර ඔයාලත් කොහේදි හරි දැකලා ඇති. ඒත් මේ චාරිත්‍රය මොකක්ද කියලා දන්නවද ? අද විස්තර ගේන්නේ ලෝකයේ වටේ මිනිස්සු පිලිපදින තවත් අමුතු චාරිත්‍රයක් ගැන.

මියන්මාරය කියන්නේ ලෝකයේ තියෙන ජනවර්ග විශාල ප්‍රමාණයක් ජීවත් වෙන රටක්. 135කට ආසන්න ජනවාර්ගික කණ්ඩායම් ප්‍රමාණයක් ජීවත් වෙන මේ රටේ එක සුළු ජන වර්ගයක් ඉන්නවා මුලු ලෝකයේම ප්‍රසිද්ධ වෙච්ච. ඒ තමයි Kayan කියන කණ්ඩායම, ඉතින් මෙයාලා ප්‍රසිද්ධ වෙන්න එකම හේතුව තමයි මේ දිග බෙල්ලක් තියන ගැහැණු අය.

ඉතින් ඔයාලා කල්පනා කරනවා ඇති ඇයි මෙයාලා මේ තමන්ගේ බෙල්ලේ වලලු පැලඳගෙන ඉන්නෙ කියලා. දශක ගණනාවකට කලින් මෙයාලා ජීවත් වෙච්ච ප්‍රදේශ නිතරම ව්‍යාඝ්‍ර ප්‍රහාරයන්ට ලක් වෙලා තියනවා. ඒ කාලයේ මේ වලලු බෙල්ලේ විතරක් නෙවේ තමන්ගේ ශරීරයේ තවත් තැන් වල පලඳින්න මෙයාලා පුරුදු වෙලා තියනවා. ඒත් වර්තමානය වෙද්දි මේ වළලු භාවිතා කරන්නෙ සංස්කෘතියේ කොටසක් විදියට විතරයි. මෙයාලා අතර ප්‍රසිද්ධ මතයක් තිබිලා තියෙනවා කවදහරි මේ වළලු අයින් කරොත් ඒ කෙනා ජීවිතක්ෂයට පත් වෙනවා කියලා. මේ කතාව මිත්‍යාවක් විතරයි, සමහර සංචාරයකයන් කියන විදියට ඔවුන් දැකලා තියෙනවා මේ වලලු ගලවලා ඉඳපු Kayan කාන්තාවන්ව. කොහොම උනත් මෙයාලා මේ වළලු ගලවන්නේ විශේෂ අවස්තාවලදි විතරයි, මොකද මේවා ගලවලා ආයෙමත් පලඳින්න පැය ගණනාවක් යන්න පුලුවන්.

මෙයාලව වැඩි හරියක් දකින්නට පුලුවන් වෙන්නෙ තායිලන්තය අවට ගම්මාන වලදි. Kayan ගෝත්‍රිකයන් මියන්මාර ජාතිකයන් නම් ඇයි මෙයාලා තායිලන්තය අවට ගම් වල ඉන්නේ ? මියන්මාරයේ පැවති යුද්ධ කාලයේදි මේ Kayan ජාතියකයන් මියන්මාරයෙන් පලා ගිහින් උතුරු තායිලන්තයේ සරණගතයන් විදියට පදිංචි වෙන්න මෙයාලට සිද්ධ වෙනවා.
කොහොම උනත් අවාසනාවන්ත විදියට මේ තායිලන්තයේ හිටපු කාලයේදී මෙයාලට ජීවත් වෙන්න වෙන්නෙ වහලුන් විදියටයි. සත්වයින් වගේ සංචාරයකයන්ට විකිණෙන්නත්, ඔවුන් සමග ඡායාරූප වලට පෙනී සිටින්නත් මෙයාලට සිද්ධ වෙනවා. පසුකාලෙක මියන්මාරයේ සටන්විරාමයත් එක්ක මේ Kayan ගෝත්‍රිකයන්ට තමන්ගේ මව්බිම වුන Kayah ප්‍රාන්තයේ Loikaw ප්‍රදේශයට පදිංචියට එන්නට හැකි වෙනවා. මියන්මාරයේ බහුතරයක් කතා කරන භාෂාව Burmese උනත් මේ Kayan ගෝත්‍රිකයන්ට එයාලගෙම වෙනම භාශාවක් තියෙනවා.

ලෝකය වටේම තියන තවත් මේ වගේ අමුතු දේවල් ගැන දැනගන්න, දිගටම අපේ පේජ් එකත් එක්ක එකතුවෙන්න.

Photos from Episteme's post 10/09/2020

⚰️ මළවුන් සමග සාදයක් ? ⚰️

මම ඔයාට කිව්වොත් මිනිස්සු කොට්ඨාසයක් ඉන්නවා, එයාලා මලමිනී එක්ක සාදයක් පවත්වනවා කියලා ඔයාලා පිලිගන්නවද ?
Toraja කියන මේ සිද්ධියට සම්බන්ධ ගෝත්‍රිකයන් ඉන්නේ ඉන්දුනීසියාවේ දකුණු Sulawesi ප්‍රදේශයේ. ඉතින් මෙයාලා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මෙයාලගේ මේ මියගිය ඥාතීන්ව තමන්ගේ නිවස ඇතුලේ තියාගන්න චාරිත්‍රයක් නිසා. සමහර වෙලාවට මාස ගනනක් සමහර තැන් වල දශක ගනන් පවා තියාගන්න මේ මලසිරුරු එක්කලා මේ සිද්ධ කරන චාරිත්‍රයට සාම්ප්‍රදායික ඉන්දුනීසියානු භාෂාවෙන් කියන්නෙ Ma'nene කියලා. මේකෙ තේරුම වෙන්නේ " මුතුන්මිත්තන් ව රැක බලාගැනීම" කියන එකයි.
ඉතින් ඇයි මේ වගේ දෙයක් මෙයාලා කරන්නෙ ? මැරිච්ච කෙනෙක්ගේ සිරුරක් තියාගන්නවා කියන්නෙ පිළිකුල් සහගත දෙයක් නේ ? ඔව්, හැබැයි ඒ අපේ විශ්වාස නිසා නේ. අපි හිතන්නේ මේ අය මැරිලා, දැන් මේවා කුණු වෙනවා කියලා. නමුත් මේ Toroja සංස්කෘතියට අනුව මේ අය මැරිලා කියලා මෙයාලා විශ්වාස කරන්නෙ නෑ. මෙයාලා හිතන්නෙ ,මැරුනා කියලා නෙවෙයි ඒ අය ලෙඩ වෙලා කියලයි. ඉතින් මේ "ලෙඩ වෙච්ච අය" ව හඳුන්වන්නේ Makula කියලා. ඉතින් ලෙඩ වෙච්ච කෙනෙක් ව බලාගන්න ඕන නේ, අන්න ඒ නිසයි Toraja වරු මේ චාරිත්‍රය පවත්වාගෙන යන්නෙ. මේ වගේ කෙනෙක් මැරුණාම මෙයාලා ඒ සිරුර ෆෝමලීන් වලින් සංරක්ෂණය කරන්නේ ඒක දිරායන එක වලක්වන්නයි. ඊට පස්සෙ අනර්ඝතම ඇඳුම් වලින් සරසලා, මිනීපෙට්ටිය ඇතුලට තෑගි විදියට එක එක දේවල් දාලා තමන්ගේ ගෙවල් ඇතුලේ වෙනම කාමරයක මේ සිරුරු තියාගෙන ඉන්නවා. ඉතින් දිනපතාම වගේ මේ කාමරයට එන ගෙදර අය මේ අයගේ ආත්ම සතුටින් තියන්න, කෑම පවා කවන බව කියනවා.
ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේ අයගේ පොඩි දරුවන් "මරණය" කියන සංකල්පයට පුරුදු වෙන්නේ පොඩි කාලෙ ඉඳලමයි. මේ සංස්කෘතිය අවුරුදු 900කට වඩා ඈත අතීතයකට යන එකක්. ඉතින් සමාජය කොච්චර දියුණු වුනත් මේ චාරිත්‍රය නම් මෙයාලා නොකඩවාම කරගෙන යනවා. Toroja අය ශෝකය කියන දේ ගැන විශ්වාස කරන්නෙ නැහැ. ඒ වෙනුවට මෙයාලා සාද පවත්වනවා, මේ මැරිච්ච අය එක්ක කතා කරනවා, හිනා වෙනවා, සමහර වෙලාවට මේ මලගිය සිරුරු වලට වෙනත් සාද වලටත් එන්න කියලා ආරාධනා ලැබෙනවා. මේ වගේ සාද සමහර වෙලාවට මාස ගනන් හෝ අවුරුදු ගනන් තියෙනවා. ගොඩක් පවුල් මේවගෙන් පස්සේ ණය වීම් නිසා බංකොලොත් බවට පත්වෙන අවස්ථා ගොඩක් අපිට දැකගන්න පුලුවන්.
එතකොට මේ සාද ඉවර උනාම මොකද කරන්නේ ? මේ අයගේ ආත්ම පරලොවට යන එක පහසු වෙන්න කියලා මෙයාලා මී හරකුන් විශාල ප්‍රමාණයක් යොදාගෙන බිලි පූජාවක් කරනවා. මේකට හේතුවකුත් තියනවා, Toroja ගෝත්‍රයේ දෙවියන් වෙන Puang Matua විසින් පලවෙනි පණිවිඩකරුවාව මේ ලෝකෙට එව්වේ මී හරකෙකුගේ පිටේ කියලා තමයි මෙයාලා විශ්වාස කරන්නේ. මේ නිසා මී හරකුන්ට මේ මැරිච්ච අයගේ ආත්ම ඒ දෙවියන්ගේ ලෝකයට ගෙනියන්න පුලුවන් කියලා මෙයාලා විශ්වාස කරනවා. මේ උත්සවයෙන් පස්සේ සිරුරු සමූහ සුසානයක මිහිදන් කෙරුවත්, සෑම අවුරුද්දම අගෝස්තු මාසයේදි මේ සිරුරු ගොඩගන්නවා. ඒ මැරිච්ච අයගේ ආදරණීයයන් විසින්. ඊට පස්සේ මෙයාලට අලුත් ඇඳුම් අන්දලා, සුද්ද පවිත්‍ර කරලා, මිනීපෙට්ටි නැවත සකස් කරලා , උත්සවයෙන් පසුව නැවත තැන්පත් කරනවා.

පුදුමයි නේද ? තවත් මේ වගේ පුදුම හිතෙන දේවල් ගැන දැනගන්න, අපේ පේජ් එකට ලයික් එකක් දාලා එකතු වෙන්න. 👍

Photos from Episteme's post 07/09/2020

💀 බෝනික්කන්ගේ සුසානය 💀

අහලා තියනවද බෝනික්කන්ගෙන් පිරුණ දූපතක් ගැන. එහෙම කිව්ව ගමන් හිතට එන්නේ ලස්සන පාට පාට බෝනික්කන්ගෙන් පිරුණ, යන්න ආස හිතෙන තැනක් නේද ? හැබැයි මම කිව්වොත් මේ බෝනික්කෝ අවුරුදු ගානක් තිස්සෙ ගස් වල එල්ලිලා තිබිලා, ජරාජීර්ණ වෙලා, දුර්වර්ණ වෙලා එහෙම තියෙන්නෙ කියලා, යන්න හිතෙනවද මෙතනට ? ඔන්න මේ පාර විස්තර අරන් එන්නෙ මේ බෝනික්කන් ගේ දූපත ගැන.
මෙක්සිකෝ රටේ Mexico city නගරයේ පිහිටලා තියෙන මේ දූපතට ස්පාඤ්ඤ භාෂාවෙන් කියන්නේ La Isla de las Munecas කියලා. ඉතින් නමෙන් අදහස් වෙනවා වගේම මේ දූපත පුරාම මේ දූපතේ අයිතිකරු වුන Julian Santana Barrera විසින් ගස් වල එල්ලපු බෝනික්කෝ විශාල ප්‍රමාණයක් දැකගන්න පුලුවන්. ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ, මේ ස්ථානය බොහොම බිය උපදවනසුලු, අසාමාන්‍ය තැනක්. අපි මෙතනට දූපතක් කිව්වට ඇත්තටම මේක ස්වාභාවික දූපතක් නෙවෙයි. මේ වගේ දූපත් හඳුන්වන්නේ chinampa කියන නමින්. ඇස්ටෙක් (Aztec) ශිෂ්ඨාචාරයේ මිනිසුන් විසින් බොහෝම අතීතයේදී, කෘෂිකර්මය සඳහා කෘතීමව නිර්මාණය කරපු කුඩා දූපත් අතරෙන් එකක් තමයි මේ බෝනික්කන්ගේ දූපත. අහලා තියනවද La Llorona ගේ කතාව ? තමන්ගේ දරුවන් සොයමින් විලාප දෙන සුදු ඇඳගත් කාන්තාවගේ කතාව ? ඒ ජනප්‍රවාදයත් සිදුවෙලා තියෙන්නේ මේ ප්‍රදේශයේමයි. ඒ කතාව වෙනත් ලිපියකින් ගේන්නම්. මේක කිව්වෙ, මේ දූපත වටා අත්භූත දේවල් ගොඩක් තියන නිසයි.
මේ දූපත පිටිපස්සේ තියන කතාව මොකක්ද ? මේ බෝනික්කො ඇයි මෙතනට ගෙනාවේ ? මේ හැමදේම පටන් ගන්නේ 1950 දී Julian Santana Barrera කියන පුද්ගලයාගෙන්. තමන්ගේ අඹුදරුවන් අතහැර මේ පුද්ගලයා මේ දූපතට එන්නේ තනිකඩ ජීවිතයක් ගතකරන්න හිතාගෙනයි.
දූපතේ කාලය ගත කරද්දී මොහුට අසල තිබූ ඇලෙහි ගිලී මිය ගිය දැරියකගේ අවතාරයක් දකින්නට ලැබුන බව කියවෙනවා. රාත්‍රියේදී මේ දැරියගේ විලාපයත්, අඩි ශබ්දත් Julian ට ඇසෙන්න පටන් ගන්නවා. සමහරු විශ්වාස කරන විදියට මේ ඇලෙහි ඇත්තටම කුඩා දැරියක් ගිලී මිය යනවා, නමුත් මේක දැකලා ඇයව බේරගන්න ගිය Julian ට ඇයව වෙලාවට ගොඩට ගන්න බැරි වෙනවා. මේ කරුණ ඔහුගේ ජීවිත කාලය පුරාවටම හිතට වද දෙන්නට පටන් ගන්නවා. ඉතින් මේ කතා දෙකෙන් මොකක් සිදු වුනත්, Julian හිතනවා මේ මියගිය දැරියගේ ආත්මය වෙනුවෙන් මොනවාහරි දෙයක් කරන්න ඕන කියලා. ඉතින් මේ දැරිය මිය ගිහින් ටික කාලයක් යන්නට මත්තෙන් Julian ට දකින්න ලැබෙන්නේ ඇලෙහි පාවෙන බෝනික්කෙක්. මේ බෝනික්කා ඇත්තටම දියේ ගිලුණ දැරියට අයිති එකක් වෙන්නත් පුලුවන්, Julian හිතනවා මේක දැරියගේ ආත්මයෙන් ලැබුන සංඥාවක් කියලා. එහෙම හිතන Julian මේ බෝනික්කාව ගඟෙන් ගොඩට අරන් ගහක එල්ලනවා. මේ දැරියගේ ආත්මයට ගෞරව පිණිස තමයි එහෙම කරන්නේ.
එතකොට ඇයි මෙච්චර බෝනික්කෝ ගොඩක් ? මම කිව්වා Julian ට හිතට මේ කාරණාව වද දෙන්න ගත්තු බව. මේ නිසා මොහු දිගින් දිගටම බෝනික්කන් එකතු කරමින් ගස් වල එල්ලන්නට පටන් ගන්නවා. සමහර බෝනික්කන් ඇලෙහි ගසාගෙන ආපුවා, සමහර බෝනික්කන් කුණු ගොඩවල් වලින් එකතු කරපුවා. ගම් වාසීන් කියන විදියට මොහු දූපතේ හැදෙන පල වැල එහෙම ගම්වාසීන්ගෙ බෝනික්කන්ට හුවමාරු කරලා තියෙනවා. මේවගෙ විශේෂත්වය තමයි Julian ට ලැබෙන බෝනික්කෝ මෙයා ඒ විදියට ගස් වල එල්ලන්න පුරුදු වෙලා ඉඳියා. ඒ කියන්නෙ කිසිම විදියක පිරිසිදු කිරීමක් වත්, නැවත සකස් කිරීමක් වත් කරන්නේ නැතුවයි එල්ලන්නෙ. මේ නිසා සමහර බෝනික්කන් ජරාජීර්ණ වෙලා, සමහර ඒවාගෙ ඔලු නැහැ, අත් පා නැහැ, සමහර ඒවා අවුරුදු ගනනක් අව්වේ තිබීම නිසා විරූපී වෙලා. මේ නිසා මේ දූපත බොහෝම බය උපදවනසුලු තැනක් බවට පත් වෙලා තියෙනවා. සමහරු විශ්වාස කරනවා මේ බෝනික්කන්ට මියගිය කුඩා දැරියන්ගේ ආත්මයන් ආවේශ වෙලා රාත්‍රියේදී පණ එනවා කියලා. මේ කොහොම උනත් Julian මේ කිසිම දේකට බය වෙන්නෙ නෑ, ඒ විතරක් නෙවෙයි ඔහු මේ බෝනික්කන් සලකන්නෙ තමන්ගේ ආරක්ශකයන් කියලා. ඉතින් කාලයක් යද්දී මේ ස්ථානය ප්‍රසිද්ධ වෙනවා. මේක බලන්න එන අයට Julian බොහොම කැමැත්තෙන් වටපිටාව පෙන්වනවා. 2001 දී Julian බොහොම අභිරහස් විදියට මිය යනවා. සමහරු කියන විදියට ඔහු මියයන්නේ හෘදයාබාධයකින්. නමුත් ගොඩක් අය පිලිගන්නේ Julian අර කුඩා දැරිය ගිලී මිය ස්ථානයේම ගිලී මියගියා කියලා. මේ ස්ථානය මේ වෙන විට ලෝකය පුරාම ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මෙතනට යන අය අදටත් බෝනික්කන් ගෙනිහින් එල්ලනවා. ඒ Julian ගේ කාර්‍යය ඉදිරියට කරගෙන යන්නයි. ඉතින් ඔයාලත් කවදහරි මෙතනට යනවනම්, බෝනික්කෙක් අරන් ගිහින්, ගහල එල්ලලා Julian ටත්, මිය ගිය දැරියටත් ගෞරව කරන්න අමතක කරන්න එපා.

⚠️️ Fun fact: ඔයා බෝනික්කන්ට බයයි ද ? ඒකට මනෝවිද්‍යාවේ දී කියන්නේ Pediophobia කියලා .

මේ වගේ ලෝකේ වටේ අමුතු තැන් ගැන දැනගන්න, ලයික් එකක් දාලා අපේ පේජ් එකට එකතු වෙන්න. යාලුවන්ටත් කියන්න. 👍

Photos from Episteme's post 05/09/2020

☠️ Aokigahara සියදිවි නසාගැනීමේ වනාන්තරය ☠️

****සියදිවි නසාගැනීම කියන්නෙ කිසිම ප්‍රශ්නයකට උත්තරයක් නෙවෙයි. නිතරම තමන්ගේ ප්‍රශ්න බෙදාගන්න.****

කවදාහරි අහලා තියනවද මිනිස්සු සියදිවි නසාගන්න යන වනාන්තරයක් ගැන ? මේ කතාවට පාත්‍ර වෙන Aokigahara වනාන්තරය තියෙන්නෙ ජපානයේ Fuji කන්ද පාමුලයි. මේ තැන වටා ගොඩක් ජනකතා එහෙම තියෙනවා, මේකට හේතුව වෙන්නේ Aokigahara වනාන්තරයට තියෙන දුක්ඛිත අතීතය.
ජපානය අපිට පිටින් බැලුවම බොහෝම සතුටින් ඉන්න රටක් වගේ පෙනුනට 2020 වෙද්දී ලෝකයේ වැඩිම සියදිවි නසාගැනීම් වෙන රටවල් අතරින් 14 වෙනි තැනට තියෙන්නේ මේ ජපානයමයි. මේකට ප්‍රධානතම හේතුව වෙන්නෙ, රැකියා අහිමිවීම හෝ දික්කසාද වීමයි. මොකද ජපාන සංස්කෘතියට අනුව පුද්ගලයෙක්ගෙන්, විශේෂයෙන්ම පිරිමියෙක් ගෙන්, බලාපොරොත්තු වෙනවා ඔහු මැරෙන තුරුම එක් කසාදයක් පමණක් කරගෙන, ඒ පවුලේ අයට ජීවිත කාලයටම මුදල්, අවශ්‍යය දේවල් සපයන්න ඕන කියන එක. ඉතින් මේවා කරගන්න බැරි උනාම ඒ අය තමන්ව දකින්නේ පරාජිතයෙක් විදියට. 2019 අවුරුද්දේ විතරක් 20169 ක් සියදිවි නසාගැනීම් වාර්තා වෙලා තියෙනවා.
ඉතින් ඔය චිත්‍රපටි එහෙම බලන අය දන්නවා ඇති ජපනුන් කියන්නෙ ගෞරවය කියන දේ දිවිහිමියෙන් ආරක්ශා කරන ජාතියක්. අතීතයේ සමුරායිවරුන්, තමන් සතුරන්ට පරාජය වෙමින් එන විට තමා විසින්ම ජීවිතය නැති කරගන්නා චාරිත්‍රයක් තිබුණා. මේකට කියන්නෙ Seppuku කියලා. මේකෙන් අදහස් වෙන්නෙ සතුරාට යටත් වනවාට වඩා මියයෑම ගෞරවනීයයි කියන එක. මෙන්න මේ සමාජ සංකල්පයම තමයි මේ Aokigahara වනාන්තරයෙන් අද වෙන විට කෙලවර වෙන්නේ.
මේ වනාන්තරය Jukai කියලත් හදුන්වනවා , මේකෙ අදහස වෙන්නේ ගස් වලින් සෑදුන මුහුද කියන එකයි. මේකෙ ගස් කොච්චර ඝනට වැවිලා තියෙනවද කියනවනම්, හොඳට ඉර පායලා තියන දහවලක උනත් වනාන්තරය ඇතුල ඉතාම අඳුරුයි. ඒ වගේම මේ වනාන්තරය ඇතුලේ බොහෝම සුලු සත්වයන් පිරිසක් තමයි ජීවත් වෙන්නේ. මේ වනාන්තරය කොච්චර නිශ්ශබ්ද ද කියනවනම් කුරුල්ලෙක් ගේ ශබ්දයක් වත් ඇසෙන්නේ නැහැ. ඒ වගේම වනාන්තරය ඇතුලේ ගල් පර්වත, ගුහා 200කට ආසන්න සංඛ්‍යාවක් පිහිටලා තියෙනවා. මේ ආසන්නයේ ජීවත් වෙන අයට අනුව මේ වනාන්තරයට ඇතුල් වෙන පුද්ගලයින් 3 වර්ගයක් ඉන්නවා. 1.කඳු නගින්නන්
2. කුතුහලය නිසා එන්නන්
3. නොයෙන ගමන් යන්නන්
ඉතින් මේ වනාන්තරයට ඇතුල් වෙනකොට අපිට දකින්න පුලුවන් ගසෙන් ගසට ඇදලා තියන නූල් ගොඩක් දැකගන්න පුලුවන්. මේ මොනවද ? මේවා මෙහෙම ඇදගෙන යන්නේ හේතු දෙකකට. එකක් තමයි, මේ වනාන්තරයට ඇතුලු උනාම ගොඩක් අය අතරමං වෙනවා, අනික ගිනිකඳු පසින් මේ අවට සෑදිලා තියන නිසා මාලිමා වලින් දිශාව හරියට පෙන්නන්නේ නැහැ (ගිනිකඳු පස් වල කාන්දම් ගුණ තියෙන නිසා). මේ නූල් ඇදගෙන ගියාම ඒ පාර දිගේම ආපහු එන්න පුලුවන්. අනික් හේතුව අදාල වෙන්නේ සියදිවි නසාගන්න යන අයටයි. මේ වනාන්තරයට සියදිවි නසාගන්න එන සමහරු ටික කාලයක් මේක ඇතුලේ ඉන්නවා කියලා තමයි කියන්නෙ. කූඩාරම් ගහගෙන, තමන් ජීවිත කාලෙම කරපු දේවල් මතක් කර කර ඉන්නකොට සමහරකගේ හිත වෙනස් වෙන්න පුලුවන්. එතකොට ආයෙම එන්න පාර හොයාගන්න මේ නූල් බොහොම වැදගත් වෙනවා. නමුත් අවාසනාවකට වගේ ඔයා මේ නූලක් දිගේ ගියොත් ඒක කෙලවර වෙන තැන ගහක එල්ලී තිබෙන මල සිරුරක් හම්බෙන්න තියන සම්භාවිතාවය බොහොම වැඩී. මේ වනාන්තරයේ විශාලත්වය නිසා මේ හැම සිරුරක් ම සොයාගන්න අමාරුයි. මේ නිසා සමහර සිරුරු කොටස් මාස ගනන් තිබී සොයාගන්නා අවස්තා ද නැතුවා ම නෙවෙයි.
ප්‍රාදේශිය පොලීසිය විසින්, මේ වනාන්තරයට මිනිස්සු සියදිවි නසාගන්න එන එක නතර කරන්න ඕන නිසාම 2003 අවුරුද්දෙන් පස්සෙ මේ වනාන්තරයේ මිය ගිය ගනන මාධ්‍යයට නිකුත් කරන එක නවත්වනවා. අන්තිමට නිකුත් වුන වාර්තාවේ 105 දෙනෙක් ඒ අවුරුද්දේ දී මේ වනාන්තරය ඇතුලේ තම ජීවිතය කෙලවර කරගෙන තියෙනවා. නමුත් මම කලින් කිව්වා වගේ සිරුරු හොයාගැනීමට අපහසු නිසා මේ සංඛ්‍යාව මීට වඩා ගොඩාක් වැඩී කියලයි විශ්වාස කෙරෙන්නෙ. 2010 යේ වාර්තාවකට අනුව මෙහි 247 දෙනෙක් සියදිවි නසාගන්න තැත් කරලා තිබුනත්, සාර්ථක වෙලා තියෙන්නේ 54 දෙනෙකු විතරයි.
අදටත් මේ වනාන්තරයේ ඇතුලු කොටස් වලට ගියොත් ඔයාට දැකගන්න පුලුවන් ඒ මැරුණු අයගේ කූඩාරම්, කියවමින් සිටි පොත්, චායාරූප ආදිය.
මේ වනාන්තරයට ඇතුලු වෙන තැන් වල, ආරක්ශක නිලධාරීන් විසින් පුවරු වගයක් ප්‍රදර්ශනය කරලා තියෙනවා. මම ඒවාගෙන් මේ ලිපිය අවසන් කරන්නම්.
🚫"ඔයාගේ ජීවිතය කියන්නේ දෙමාපියන්ගෙන් ඔයාට ලැබුණ වටිනාම තෑග්ගයි"
🚫"ඔයාගේ දෙමාපියන්, සහෝදරයන්, අඹුදරුවන් ගැන හිතන්න, තමන්ගේ ප්‍රශ්න කා එක්ක හෝ බෙදාගන්න" 💙

ඔයාටත් සියදිවි නසාගැනීමේ සිතුවිලි පහල වෙනවනම් මේ අංකයට ඇමතුමක් දෙන්න.

🤝 ශ්‍රීලංකා සුමිත්‍රයෝ - 011 2692909

මේ වගේ ලෝකේ වටේම අමුතු දේවල් ගැන දැනගන්න, අපේ පේජ් එකට ලයික් එකක් දාලා සෙට් වෙන්න 👍


Want your school to be the top-listed School/college in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Galle