31/07/2025
--- සමරිසි විවාහය, කතෝලික දහමේ ඉගැන්වීම සහ කාදිනල් තුමා ---
"පිරිමි පිරිමි දෙන්නෙක් විවාහ වෙනවා. ගැහැනු ගැහැනු දෙන්නෙක් විවාහ වෙනවා... කොහොම ද පිරිමි දෙන්නෙක් පවුලක් හදන්නේ? කොහොම ද දරුවෝ ලබන්නේ? ගැහැනු දෙන්නෙක් කොහොම ද දරුවෙක් හදන්නේ? අද මිනිස් සමාජය ගිහිල්ලා තියෙන ගමන් මාර්ගය නිසා මේ විවාහ සංස්ථාව සම්පූර්ණයෙන් ම, ඉතාමත් ම දූෂිත තත්ත්වයකට ඇද දමන ක්‍රමවේදයක් ලෝකය තුළත් අපේ රට තුළත් ඇති වෙමින් පවතිනවා."
බේරුවල, සාන්ත ආනා දේවස්ථානයේ ජූලි 26 වන දා පැවති මෙහෙයේ දී කාදිනල් හිමියන් සිය දේශනාව අතරතුර සමරිසි විවාහ සම්බන්ධයෙන් සිදු කළ ඒ ප්‍රකාශය ගැන සමාජයේ විවිධ අදහස් පල වෙනවා.
ඒ ඇතැම් විවේචන වල ඇත්තේ ඉතා දැඩි (ඇතම්විට අවිනීත) ප්‍රතිවිරෝධයක්: "එයා එනවා රට හදන්න! එයාට ඕන විදියට මේ රටේ ජනතාව ජීවත් වෙන්න ඕන ද?", "කාදිනල්ට හෝමෝෆෝබියාව", "කාදිනල් තමන්ගේ සීමාවේ දැනගෙන කතා කළොත් හොඳයි", "'කාදිනල් ලංකාවේ සමකාමී ප්‍රජාවගෙන් සමාව ගන්න ඕනේ", "ඉස්සෙල්ලා තමන්ගේ සුවාමිලා, සිස්ටර්ලව හදා ගන්නේ නැතිව උන් මඟුල් නටද්දී මෙයා එනවා අපිව හදන්න"...
බැලූ බැල්මට පෙනී යන කරුණක් තමයි, ඔවුන් කාදිනල් තුමාගේ අදහස් දැක්වීම අර්ථකථනය කරගෙන ඇත්තේ "දේශපාලන" ප්‍රකාශයක් ලෙස මිසක "ආගමික" ප්‍රකාශයක් හැටියට නොවෙයි. එතුමා මෙම ප්‍රකාශය කරන්නේ දේවස්ථානයක දේශනාවක් අතරතුර කතෝලිකයන්ට පමණක් බව හැමෝටම අමතක වී ඇති බවයි හැඟෙන්නේ. රූපවාහිනී නාලිකා වල ගිය වීඩියෝ කොටස අර ඉහත කී ආන්දෝලනයට තුඩු දුන් ප්‍රකාශයත් සමඟම අවසන් වෙනවා. නමුත් ඉන් පසුව ඒ සමඟම එම දේශනයේ එන්නේ මේ වදන් පෙළ යි:
"විවාහය කියන්නේ සක්‍රමේන්තුවක්. දෙවියන් වහන්සේ හදන දෙයක්, එය අබිරහසක්. එය දේව සැලැස්මේ කොටසක් කියලා තේරුම් ගන්නට බැරි භෞතික පැවැත්ම ගැන පමණක් හිතන ආයතනයක්, සංස්ථාවක් ලෙස සලකන නිසා මිනිස් සමාජයට අද මේ තත්ත්වය උදා වේගෙන එනවා."
ඉතින් පැහැදිලිව පෙනෙන පරිදි, ඒ මොහොතේ කාදිනල් හිමි අමතන්නේ කතෝලික බැතිමතුන් මිසක, සමස්ත ශ්‍රී ලාංකිකයන් නොවෙයි. මාධ්‍ය වල ප්‍රසිද්ධ කළ පමණින්, එය හැමටම අදාලව කියූ කරුණක් ලෙස වටහා ගැනීම කොතරම් වැරදි ද? දේශනාවක් තුළ, තමන් අදහන ධර්මයේ ඉගැන්වීම අද සමාජයට ගැලපෙන පරිදි තම ආගමිකයනට ඉදිරිපත් කිරීම ඕනෑම ආගමික පැවිද්දෙකු විසින් සිදුකරන්නක්. එතුමන්ගේ ප්‍රකාශයට ද පදනම් වන්නේ කතෝලික ධර්මයේ ඉගැන්වීමයි.
සමරිසි පුද්ගලයින් සම්බන්ධයෙන් කතෝලික සභාවේ නිල ස්ථාවරය කොටස් දෙකකින් විග්‍රහ කරන්න මම කැමතියි.
1. ධාර්මික උගැන්වීම (Doctrine)
2. ප්‍රායෝගික ප්‍රවේශය (Pastoral approach)
1. *ධාර්මික උගැන්වීම (Doctrine)*
# සමලිංගික ක්‍රියාවන් ගැන (Homosexual Acts):- සමලිංගික ක්‍රියාවන් යනු "සහජයෙන්ම ස්වාභාවික නීතියට පටහැනි" ("intrinsically contrary to the natural law.") දෙයක් බවයි කතෝලික දහමේ නිල ඉගැන්වීම. "ප්‍රජනනය" (procreation) තුළින් දෙවියන් වහන්සේගේ මැවීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්නට උන්වහන්සේ තෝරාගනු ලැබුවේ, මිනිසාගේ පමණක් නොව සෑම ජීවියෙකුගේම, පිරිමියා සහ ගැහැණිය අතර සිදුවන (heterosexual) ක්‍රියාවලියක් මිසක සමලිංගික ක්‍රියාවලියක් නොවෙයි. එනිසා කතෝලික දහමට අනුව, මිනිසා එම දේව කැමැත්තට පිටුපා යාම, "පාපයක්" ලෙස සලකනවා. සමලිංගික විවාහයන් ද පාපයක් ලෙස සැලකීමේ පදනම එය යි. මේ ඉගැන්වීම පිළිගන්නා කතෝලික නොවන අන් කිතුනු සභාවන් පවා නිතරම භාවිතා කරන උද්‍යෝග පාඨයක් තමයි මේ - God created Adam and Eve; not Adam and Steve!
# සමලිංගික නැඹුරුව / දිශානතිය ගැන (Homosexual Inclination/Orientation):- සමලිංගික ක්‍රියාවන් පාපයක් වුවත්, යම් කෙනෙකුට සමලිංගික නැඹුරුවක් ඇත්නම්, එම නැඹුරුව කිසි ලෙසකත් පාපයක් ලෙස කතෝලික දහම අර්ථ දක්වන්නේ නැහැ. සමලිංගික ක්‍රියා වලින් වැළකී සිටින එවැන්නෙක්ව "පවුකාරයෙක්" ලෙස හංවඩු ගැහීමට කතෝලික සභාව එක හෙලාම විරුද්ධ යි.
2. *ප්‍රායෝගික ප්‍රවේශය (Pastoral approach)*
කෙසේ හෝ සමරිසි සබඳතාවන් සම්බන්ධයෙන් කිතුනුවාගේ දැක්ම සහ ප්‍රවේශය සැමවිටම ප්‍රේමයේ අත්තිවාරම මත ගොඩ නැගිය යුත්තක් බව සභාව පැහැදිලිව ප්‍රකාශ කරනවා.
# ගෞරවය සහ සංවේදීතාව:- සමරිසි පුද්ගලයන්ට පවා එකම මානව ගරුත්වයෙන් සැලකීම ගැනත්, ඔවුන් කෙරේ ප්‍රේමයේ සහ දයාවේ හස්තය දිගු කිරීම ගැනත්, ඔවුන්ට වෙනස්කම් කිරීම (discriminate) හෝ පීඩනයට ලක් කිරීම (persecute) සමාජයේ සිදු නොවිය යුත්තක් බවත් කතෝලික දහමේ උගන්වන්නේ අද ඊයෙක සිට නොවේ. කෙසේ වුවත්, ඔවුන්ට මානව ගරුත්වයෙන් සැලකීමෙන්, සමලිංගික ක්‍රියාවන් හෝ එවැනි විවාහයන් වලට එකඟ වීමක් අර්ථ ගැන්වෙන්නේ නැහැ.
# සමරිසි යුවල් ආශිර්වාදය:- 2023 දෙසැම්බර් මාසයේ දී වතිකානුවේ විශ්වාසය පිලිබඳ පර්ෂදය එළිදැක්වූ "Fiducia Supplicans" නම් නිල ප්‍රකාශනය තුළින් සමරිසි යුවල් වලට පවා "දේව ආශිර්වාදය ලබා දීමේ" හැකියාව කතෝලික පියතුමන්ලා වෙත ලබා දී තිබෙනවා. වරදවා වටහා නොගන්නා පිණිස, ඉතා පැහැදිලිව එම ප්‍රකාශනයේ දක්වන පරිදි, ඔවුන් දෙපලට එම ආශිර්වාදය ලබා දෙන්නේ ඔවුන් ද දේව දරුවන් ලෙස සලකා මිසක, ඔවුන්ගේ "විවාහක" එකමුතුවට නොවෙයි. එලෙසම එම ආශිර්වාදය, පූජනීය විවාහ චාරිත්‍රයකට සමාන නොවිය යුතු බවත් එහි පැහැදිලිව සඳහන් වෙනවා.
# සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ට සක්‍රමේන්තු සම්බන්ධයෙන් ඇති අයිතිය:- "සක්‍රමේන්තු" හෙවත් ප්‍රසාද නිධාන යනු කතෝලික සභාව විසින් ඇදහිලිවන්තයන්ට ලබා දෙන, දේව වරප්‍රසාදයෙන් අනූන සුවිශේෂී පිළිවෙත් සප්තකයකට යි. සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට (Transgender Individuals) බෞතීස්මය ලබන්නටත්, ආත්මික මාපියන් (godparents) වීමටත්, විවාහයන් හි සාක්ෂිකරුවන් වීමටත් කතෝලික සභාව තුළ හැකියාව තිබෙනවා.
# සමරිසි ක්‍රියාවන් පාපයක් (sin) මිස "අපරාධයක්" (crime) නොවන බව:- අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කිහිප විටකදීම සමලිංගික ක්‍රියාවන් සාපරාධීකරණයට ලක්කිරීම ප්‍රතික්ෂේප කළා. දහමට අනුව එය පාපයක් ලෙස විග්‍රහ කළත්, නීතිය ඉදිරියේ දඬුවම් දිය යුතු සාපරාධී ක්‍රියාවක් බව කතෝලික දහම කිසිවිටෙකත් උගන්වන්නේ නැහැ.
# ධර්මය තුළ සමරිසි ප්‍රජාව කැටුව ගමනක යෙදීම (accompaniment):- LGBTQ+ කතෝලික කණ්ඩායම් රාශියක් ලොව විවිධ ස්ථානයන් හි තිබෙනවා. ඔවුන් ප්‍රධාන ලෙසම කතෝලික සභාවෙන් ඉල්ලන්නේ ඔවුන්ව ප්‍රේමයෙන් වැළඳ ගන්නා ලෙසයි. අන් කවරදාටත් වඩා අද වන විට, සමලිංගික නැඹුරුවක් ඇත්තන්ව කතෝලික සභාව දෑත් දිගහැර සභාව තුළට පිළිගෙන (making them inclusive) කිතුනු ජීවිත ක්‍රමයකට ප්‍රේමයෙන් කැඳවනවා. ඒ හැර, ලිංගික අනන්‍යතාව මත ඔවුන්ව දෙවන පෙළේ කතෝලිකයන් ලෙස හංවඩු ගැසීම හෝ හුදෙකලා කිරීම සිදු කරන්නේ නැහැ.
------------------
ඉතින්, ඉහත දැක්වූයේ කතෝලික ධර්මයේ සමරිසි සබඳතා පිලිබඳ කතෝලික දහමේ එන ඉගැන්වීමේ සංක්ෂිප්තය යි.
එනම්, වෛවාහික ලිංගික ජීවිතය යනු පිරිමියා සහ ගැහැණිය වෙනුවෙන් දෙවියන් වහන්සේ විසින් දායාද කරන ලද්දක් මිසක පිරිමි යුගලයකට හෝ ගැහැණු යුගලයකට දෙන ලද්දක් නොවෙයි. එම නිසා සමලිංගික විවාහය සහ සමලිංගික ක්‍රියාවන් කතෝලික දහම දේව සැලැස්මට සහ ස්වාභාවික නීතියට විරුද්ධව කරන පාපයක් ලෙස විග්‍රහ කරනවා. නමුත් පාපය සහ පාපය සිදුකරන්නා (sin and the sinner) වෙන් වෙන්ව හඳුනාගනිමින්, සමරිසි නැඹුරුව සහිත පුද්ගලයන්ව කිසිසේත් ප්‍රතික්ෂේප නොකර, දයාවේ ගමනක ඔවුන් කැටුව යනවා. එවැනි නැඹුරුවක් තිබීම ගැන කිසි ලෙසකත් විවේචනය නොකරන අතර, එම පාපකාරී ක්‍රියාවෙන් පමණක් වැළකී සිටීමට ආරාධනා කරනවා.
එදා කාදිනල් හිමි මාධ්‍ය / කැමරා ඉදිරිපිට එතුමන් තෝරාගත් වචන සහ ඉදිරිපත් කිරීමේ හැඩය සම්බන්ධයෙන් ඇතැමෙකුට සාධාරණ විවේචනයක් තිබිය හැකියි. ඒ කෙසේ වුවත්, ඉන් ඔබ්බට ගොස්, ඒ මොහොතේ එම වදන් වලට පාදක වූ සමරිසි සබඳතා පිලිබඳ කතෝලික දහමේ ඉගැන්වීම ගැන දැනුවත් වන්නටත්, ඒ පිලිබඳ ගැඹුරු කතිකාවතක් ඇතිකර ගන්නටත්, විශේෂයෙන් කිතුනුවන් හට මෙය මහඟු අවස්ථාවක් බවයි මගේ හැඟීම.