22/08/2024
20/08/2024.
වෛද්‍ය රමේෂ් පතිරණ,
සෞඛ්‍ය අමාත්‍ය,
සුවසිරිපාය,
අංක 385,
පූජ්‍ය බද්දේගම විමලවංස හිමි මාවත,
කොළඹ 10.
අමාත්‍යතුමණි,
සමසෞඛ්‍ය උපාධිධාරීන් රජ්‍ය සේවයට බඳවා ගැනීමට පැවැත්වීමට නියමිත පොදු සාමාන්‍ය දැනීම විභාග පරීක්ෂණයට විරෝධය දැක්වීමටයි.
මීට දශක දෙකකට පමණ ඉහතදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක වර්ධනයක් ඇති කිරීමේ අරමුණින් රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ සමසෞඛ්‍ය උපාධි පාඨමාලාවන් ආරම්භ විය. මේ වන විට පේරාදෙණිය, රුහුණ, ජයවර්ධනපුර, කොළඹ, යාපනය විශ්වවිද්‍යාල මගින් ඉහළ Z අගයක් අ.පො.ස.(උ/පෙළ) ලබා ගන්නා සිසුන් සමසෞඛ්‍ය උපාධිධාරීන් ලෙස නිදහස් අධ්‍යාපනය මගින් බිහි කරනු ලබයි. නමුත් මේ වන විට, පසුගිය සෑම ආණ්ඩුවකම ප්‍රතිපත්තිය වූ අධ්‍යාපන පෞද්ගලිකරණය හේතුවෙන් එම සමසෞඛ්‍ය උපාධියට මෙන්ම එලෙස බිහිවූ සමසෞඛ්‍ය උපාධිධාරීන්ටද ගැටලු රැසකට මුහුණදීමට සිදුව ඇත. මෙහි නවතම තත්ත්වය නම් නිදහස් අධ්‍යාපනය යටතේ අතිශය තරඟකාරී විභාගයන්ට මුහුණදී කුසලතා පදනම මත විශ්වවිද්‍යාල වරම් ලබා ගනිමින් සමසෞඛ්‍ය උපාධිය ලබා ගන්නා සිසුන් සහ KDU, KIU සහ IIHS මගින් මුදලට ලබා දෙන සමසෞඛ්‍ය උපාධිය ලබා ගන්නා සිසුන් සම තැන තබමින් රජ්‍ය සේවයේ පවතින සීමිත පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට ආණ්ඩුව සූදානම් වීමයි. ඒ අනුව, නිදහස් අධ්‍යාපනය යටතේ බිහිවන සමසෞඛ්‍ය උපාධිධාරීන්ට සහ මුදල් ගෙවා උපාධිය ලබා ගන්නා පිරිසට පොදු සාමාන්‍ය දැනීම පරීක්ෂණයකට සහභාගී කරවා එහි ප්‍රතිඵල ලබා ගන්නා අනුපිළිවෙළින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට යෝජනා කරයි. එම විභාගයද කිසිසේත්ම විෂානුබද්ධ නොවූවකි. මෙමගින් මුදලට අධ්‍යාපනය විකුණන ආයතනවලට සුජාතභාවයක් ලබා දීම සඳහා ආණ්ඩුව උත්සාහා දරයි. එය එසේ සිදු වන විට සාමාන්‍ය ජනතාවගේ බදු මුදලින් අධ්‍යාපනය ලබා ගනිමින් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් නිර්මාණය කරගන්නා සමසෞඛ්‍ය උපාධිධාරීන්ට රජයේ සේවය අහිමි කරමින් මහජන ධනය විශාල වශයෙන් අපතේ යැවීමක්ද සිදු කරයි. නිදහස් අධ්‍යාපනය පෞද්ගලිකරණය සඳහා ගෙනෙන මෙම කූට වැඩපිළිවෙළට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ලෙස අප තරයේ විරෝධය ප්‍රකාශ කරන්නෙමු.
තවද සමසෞඛ්‍ය උපාධිධාරීන් වාර්ෂිකව රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තියක් තවමත් සකස් කිරීමට රජය අපොහොසත්ව සිටී. අවසන් වතාවට සමසෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගනු ලැබුවේ 2021 වසරේදීය. එම වසරේදීද භෞතික චිකිත්සක(Physiotherapy) උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගත්තේ නැත. ඔවුන් අවසන් වරට රාජ්‍ය සේවයට බඳවා ගත්තේ 2019 වසරේදීය. මේ වන විට සමසෞඛ්‍ය උපාධිධාරීන් 400 ට වඩා වැඩි පිරිසක් රැකියා අපේක්ෂාවෙන් සිටී. මෙය හුදු රැකියාවක් පිළිබඳව වූ ගැටලුවකටත් වඩා රටේ සංවර්ධන ක්‍රියාවලියේදී අත්‍යවශ්‍ය මානව සම්පත සුවපත් කිරීම පොදු අරමුදල් භාවිත කරමින් නිදහස් සෞඛ්‍ය සේවය යටතේ සිදුවන රටක එම නිදහස් සෞඛ්‍ය සේවය පුළුල් කිරීම උදෙසා මෙම උපාධිධාරීන් බඳවා ගැනීම සිදු කළ හැකි වුවත්, රාජ්‍ය සේවය සඳහා බඳවා නොගැනීමෙන් නිදහස් සෞඛ්‍ය සේවයද බරපතල අර්බුදයකට ඇද වට්ටමින් එය පෞද්ගලික අංශයට විවෘත කිරීමේ කූට උත්සාහයකද ආණ්ඩුව නිරත වී සිටී. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ලෙස අප, වාර්ෂිකව සමසෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීමට නිසි වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් මේ මොහොතේ රැකියා අපේක්ෂාවෙන් සිටින උපාධිධාරීන් කඩිනමින් රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලෙසත් බලකර සිටිමු. තවද සමසෞඛ්‍ය උපාධිධාරීන්ට නිසි සීමාවසික පුහුණුවක් ලබා දීමට රජය අපොහොසත්වී ඇත. එයද වහා ලබාදෙන ලෙස බලපෑම් කර සිටිමු. නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය විනාශ කිරීමේ අරමුණින් ගෙනෙන මෙම වැඩපිළිවෙළ නතර නොවන්නේ නම් ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස මීට එරෙහිව අඛණ්ඩ ක්‍රියාමාර්ග සඳහා අවතීර්ණ වන බව දැනුම් දීමට කැමැත්තෙමු.
මෙයට,
මදුෂාන් චන්ද්‍රජිත්,
කැඳවුම්කරු,
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය.