10/06/2023
පසුගිය වසර තුල ගාල්ල දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය, ගාල්ල දිස්ත්‍රික් 4 වන ස්ථානය සහ 7 වන ස්ථානය ඇතුලු විශිෂ්ටයන් රැසකට රසායන විද්‍යාව දායාද කල ගුරුවරයා....
ලංකාවේ ජනප්‍රියම රසායන ඉංජිනේරුවාගෙන් කර්මාන්ත රසායනය (රසායනික කර්මාන්ත සහ පරිසරය) ඉගෙන ගනිමු....
පසුගිය වසර 11 ක කාලය තුල දිවයිනේ ප්‍රමුඛයන් බිහිකල අසමසම අද්විතීය පාඨමාලාව
කර්මාන්ත රසායනය ඇරඹුනා
ලංකාවටම ඔන්ලයින්...
2023 ජුනි මස 17 සෙනසුරාදා සිට සෑම සෙනසුරාදාවකම රාත්‍රී 7 සිට 10 දක්වා..
03/05/2020
මෙන්න අපේ ඉස්තරම්ම දුඹුරු සීනි....
අපේ ලංකාවේ වාර්ෂික සීනි පරිභෝජනය මෙට්‍රික් ටොන් 665,000 ක් වැනි විශාල ප්‍රමාණයක්. ඒ වගේම වාර්ෂික ඒකපුද්ගල සීනි පරිභෝජනය කිලෝ ග්‍රැම් 30.26 ක ප්‍රමාණයක්. එතකොට මේ සමස්ත අවශ්‍යතාවයෙන් දේශීය නිශ්පාදනය 7.7% ක් වැනි කුඩා ප්‍රමාණයක් පමණයි. ඒ කියන්නේ මෙරට සමස්ත වාර්ෂික සීනි නිශ්පාදනය මෙට්‍රික් ටොන් 51 205 ක් වැනි ප්‍රමාණයක්. මේ සමස්ත නිශ්පාදනයෙන් 80% ක දායකත්වයක් දරන්නේ ලංකා සීනි සමාගමයි. ලංකා සීනි සමාගම සතුව පැල්වත්ත සහ සෙවනගල යන කර්මාන්ත ශාලා පවතිනවා.. ඒ වගේම ලංකාවේ විශාලතම සීනි නිශ්පාදනය කරන කර්මාන්ත ශාලාව ලෙස පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව හදුන්වන්න පුලුවන්..පැල්වත්ත ඒකකයේ ශ්‍රම බලකාය හාරදහසකට ආසන්නයි. ඒ වගේම පැල්වත්ත සතුව උක්වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර 10 500 කට ආසන්නයි. සෙවනගල ශ්‍රම බලකාය දහසකට ආසන්න වන අතර සමස්ත වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර හාරදහස් දෙසීයයක් පමණ වනවා. දත්ත අනුව සෙවනගල සීනි කර්මාන්ත ශාලාව මගින් 2017 වසරේ නිශ්පාදිත සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 14 630 ක්.. එය මෙරට අවශ්‍යතාවයෙන් 2.2% ප්‍රමාණයක්..පැල්වත්තේ දායකත්වය සමස්ත රටේ සීනි අවශ්‍යතාවයෙන් 4% කට ආසන්න වෙනවා.
උක් සීනි නිශ්පාදන ක්‍රියාවලිය රසායන ඉංජිනේරු ක්‍රියාවලියක්..Multi Effect Evaporation, Crystallization, Centrifugal Separation, Crushing, Filtration, Mill Process, Clarification, Drying, Screening etc. වැනි මූලධර්ම (Unit Operations) බොහෝමයක් එහි අන්තර්ගතයි. සාමන්යෙන් අපේ රටේ පවතින උක් ප්‍රභේද වලින් උක් ගස් ටොන් එකකින් සීනි කිලෝ 80 ක් නිපදවන්න පුලුවන්...නමුත් මේ උක් ගසේ කිසිවක් ඉවත දමන්නේ නෑ.. නිපදවෙන බැගෑස් බොයිලේරුවේ ඉන්ධනයක් ලෙස යොදා ගැනීමෙන් කර්මාන්ත ශාලාවට මෙන්ම අවට වටපිටාවට අවශ්‍ය විදුලිය හුමාල ටර්බයින සහ විදුලි ජනන යන්ත්‍ර මගින් නිපදවනවා.පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවේ පිහිටා ඇති බොයිලෙරුව ලංකාවේ ඇති බොයිලෙරු අතර විශාලතම එකක්..
ඒ වගේම සීනි නිශ්පාදනයේදී සෑදෙන මොලෑසස් වලින් එතනොල් නිපදවා ගැනීම සිදු කරනවා..මෙසේ දිනකට පැල්වත්තේදී පමණක් එතනෝල් ලීටර් 25,000 ත් 27000 ත් අතර ප්‍රමාණයක් නිපදවෙනවා.
පහුගිය කාල වකවානුවල මේ එතනෝල් නිශ්පාදනය සිදු කලේ නැහැ... බොහෝමයක් එතනෝල් පිට රටිනුයි මෙරටට ගෙන්වූයේ.. ඒ කාලය තුල ලංකා සීනි සමාගම තම එතනොල් සාධාරණ මිලකට විකුණාගත නොහැකිව දැඩි අර්බුධකාරී වාතාවරණයකට මුහුණදුන්නා...දැනගන්න ලැබුණු විදියට එතනෝල් ලීටරයක් රුපියල් 275 ක් වැනි මුදලකටයි ඔවුන් කලින් අලෙවි කලේ... නමුත් මේ වසරේ ජනවාරි පලමු වෙනිදා සිට එතනොල් රටින් ගෙන්වීම තහනම් වීමත් සමගම පැල්වත්ත හා සෙවනගල ඒකක වල එතනෝල් වලට දැඩි ඉල්ලුමක් පවතිනවා...මේ දැඩි ඉල්ලුම නිසා එතනෝල් ලීටරයක මිල රු 500 කට අලෙවි වූ බව දැනගන්නට ලැබුණා. මේ දවස් වල පැල්වත්ත කර්මාන්ත ශාලාව යකෙක් වගේ වැඩ. ඒ අපේ රටට අවශ්‍ය කරන සීනි හා එතනෝල් නිශ්පාදනය කිරීමට.
මේ සෑදෙන එතනෝල් ලෝකයේ විශිෂ්ටතම වර්ගයේ එතනොල් ප්‍රභේදයක් ලෙස සලකන්න පුලුවන්... මෙහිදී 96.4 % එතනෝල් නිපදවා ගන්නවා. මෙය ඇසියෝට්‍රෝපික මිශ්‍රණයක් වන අතර තව දුරටත් භාගික ආසවනය කිරීමෙන් සාන්ද්‍ර කර ගැනීමේ හැකියාවක් නැහැ...
මේ තියෙන්නේ ඉස්තරම්ම දුඹුරු සීනි. සල්ෆර් ඩයොක්සයිඩ් භාවිතා කර විරන්ජනයෙන් සුදු සීනි නිපදවීම කිසිදා ලංකා සීනි සමාගම සිදු කරන්නේ නෑ... ඒ ඔබට ස්තරම්ම කැට දුඹුරු සීනි ඔබ වෙත ලබා දීමටයි. 2020 වන විට ලංකා සීනි සමාගමේ දැඩි අරමුණ රටේ අවශ්‍යතාවයෙන් 15% ක ප්‍රමාණයක් මෙටර නිශ්පාදන කිරීමට වෑයම් කිරීමයි.
27/04/2020
උද්ගතවී ඇති COVID -19 වෛරස තත්වය තුල ජාතියක් ලෙස COVID-19 ව්‍යාප්තියට එරෙහිව කටයුතු කිරීමේදී බොහෝ පුද්ගලින් සහ ආයතන විවිධ ආරක්ෂක උපකරණ නිපදවමින් පවතියි. විෂබිජහරණ කුටිය එලෙස නිපදවා ඇති ජනප්‍රිය ආරක්ෂක පද්ධතියකි.
මෙම විෂබිජහරණ කුටියේ ප්රධාන ගැටලූව වන්නේ ඵලදායි ලෙස විෂබිජහරණයක් සිදුවනවා ද යන්නයි. සංවෘත කුටියක් තුල විෂබිජනාශක ප්රතික්රීයක ඉසීම මගින්‘මිනිස් සිරුර කාර්යක්ෂමව විෂබිජහරණයට ලක්කිරීම පිළිබද විද්යාත්මකව සනාථ කර නොමැත. පෘෂ්ඨයක් විෂබිජහරණය සදහා සම්මත ක්රමය වන්නේ තත්පර 20-30 ක කාලයක් ආදාළ පෘෂ්ඨය විෂබීජනාශක වලින් සම්පුර්ණයෙන් ආවරණය වන ලෙස තැබීම හෝ ගිල්වා තැබීමයි. මෙම විෂබිජහරණ කුටියේ මෙලෙස මිනිස් සිරුර සම්පුර්ණයෙන් ආවරණය වනවාද යන්න ගැටළු සහගතය. ඇල්කොහොල් (IPA /එතනෝල්) මගින් පිසදැමීම ද සම්පුර්ණයෙන් පෘෂ්ඨ ආවරණ වන යාන්ත්රණය මත ක්රියාකරයි. නිර්මාණය කරන ලද මෙම විෂබිජහරණ කුටිවල විෂබීජනාශක ද්රව බිදිති රැුදී පවතින සත්ය කාලය හා විෂබිජහරණයට ලක්කළ යුතු මුළු පෘෂ්ඨයම ආවරණය වනවාද යන කරුණු සම්මත මට්ටම් වල පවත්වාගෙන යන බවට පැහැදිලි අධ්යනයක් සිදුකර නොමැත. මෙම වෛරසය පැතිරීම ගැන සැලකීමේදී අත් හා මුහුණ ප්රදේශ ආරක්ෂා කරගත යුතු ඉතා වැදගත් ස්ථන ලෙස හදුනාගෙන ඇත. අත් විෂබීජනාශක දාව්යය මගින් සේදීමට ලක් කිරීම අතපසු කල ද මෙම කුටි හරහා යෑමෙන් වෛරසයෙන් තමන් ආරක්ෂා වී ඇති බවට වැරදි අදහසක් ඇතිවිය හැක.
තරුණ නව නිපැයුම්කරුවන්ගේ අදහස් හා නිර්මාණ අවතක්සේරුවට ලක් කිරීමට අපගේ කිසිදු උත්සාහයක් නොමැති බව සහතික කර පැවසීමට කැමැත්තෙමු. නමුත් මෙය මෙම නිර්මාණය පිළිබද ඉංජිනේරුමය, ක්ෂුද්රජීවවිද්යාත්මක හා සෞඛ්යමය තත්වය ගත්කල කල හැකි තාක්ෂණික විග්රහයයි.
මෙම පද්ධතිය ඇල්කොහොල් (IPA/එතනෝල්), සෝඩියම් හයිපෝක්ලොරයිඞ් ^NaOCl/HOCl&" ඕසෝකෘත ජලය, අත් සේදුම්කාරක වැනි දියර ඉසීම සදහා භාවිතා කරන අතර තත්පර 10 ‐60 ක කාලයක් සදහා කුටිය තුල ඒ මගින් මීදුමක් නිර්මාණය වේ. පෘෂ්ඨයන්ට විෂබීජනාශක ඉසීම හා මහා පරිමාණයෙන් ගෘහස්ථ හා එළිමහන් ප්රදේශයන්ට විෂබීජනාශක ද්රව ඉසීම මගින් වෛරසය විනාශ කල හැකි බවට පැහැදිලි සාක්ෂි නොමැත, නමුත් මෙලෙස විෂබීජනාශක ඉසීම හා ඇතිවන මිදුම මගින් වෛරසය විශාල දුර ප්රමාණයන්ට පැතිර යාමට ද, සමේ ආසාදන තත්වයන් ඇති කිරීමටද, විෂබීජනාශක ආශ්වාස කිරීමෙන් ශ්වසන පද්ධතියට අහිතකර බලපෑම් ද, පරිසර දුෂණ තත්වයන් ඇති කිරීමටද හැකියාවක් පවතියි.
මෙලෙස ඉසීම සදහා භාවිතා කරන ඇල්කොහොල්/IPA විශාල වශයෙන් ආශ්වාස කිරීමෙන් ඔක්කාරය, වමනය, නාසයේ ශ්ලේෂමය පටලවල හා උගුරේ අපහසුතාවයන් ,හුස්ම ගැනීමේ අපහසුතා හා කැස්ස ඇතිවිය හැක. මිනිස් සිරුරට IPAසුළු ප්රමාණයක් හැසිරවිය හැකි අතර, ප්රමාණය අධික වූ විට අක්මාවට එය දරාගත නොහැකිව ශරීරයට IPAවිෂවීම සිදුවේ. මෙම IPAවලින් ආසන්න වශයෙන් 20%-50%අතර ප්රමාණයක් වකුගඩු මගින් පිටත් කළ හැකි අතර ඉතිරි ප්රමාණය ඇල්කොහොල් ඩයිහයිඩ්රජනේස් යන එන්සයිමය මගින් ඇසිටෝන් බවට හැරවේ. මෙම ඇසිටොන් වකුගඩු හෝ පෙනහළු මගින් ශරීරයෙන් පිටතට පෙරා හරිනු ලබයි. IPAවහා ගිනිගන්නා සුළු වන අතර එම වාෂ්ප වාතය සමග පිපිරෙනසලුු මිශ්රනයක් ඇතිකරයි. IPAතාපය, ගිනි පුපුරු,ගිනි දැල් හා වෙනස් ජවලන ප්රභවයන්ගෙන් ඈත්ව තැබිය යුතුය. එම නිසා IPAපරිහරනයේදී මිනිසුන් ඉතා ආරක්ෂාකාරී විය යුතුය. IPAහොද සන’’පාරක්ශකයක් ලෙස සැලකුවද වගකීම් විරහිත ලෙස භාවිතා කළහොත් ඇතිවන ප්රතිවිපාක ගැන මෙම සමාජය දන්නේ ඉතා අල්ප වශයෙනි. වගකීම් විරහිත ලෙස භාවිතා කළහොත් ඕසෝන් ද එසේමය.
මහරු තර්ක කරනුයේ, මෙම විෂබීජ නාශක කුටිවල මිනිසුන්ට හානි වන මට්ටමේ සාන්ද්රණයකින් රසායනික ද්රව්ය අඩංගු නොවන බවයි. කෙසේ වෙතත්, මෙම විෂබීජ නාශක රසායනික ද්රව්ය මිනිසුන්ට හිතකර මට්ටමක සාන්ද්රණයකින් භාවිතා කරන විට විෂබීජ නාශක අරමුණු සඳහා කිසිසේත් ඵලදායී නොවන අතර එනම් එය හානිකර බැක්ටීරියා සහ වෛරස් විනාශ නොකරනු ඇත.
මේ සමඟ තවත් තර්කයක් තිබේ. එනම් “සම්පූර්ණ විෂබීජ නාශනය නොමැති නම් අවම වශයෙන් අර්ධ වශයෙන් විෂබීජ නාශනය කිරීම වටී”. නමුත්, මෙම තර්කය පැමිණෙන්නේ ක්ෂුද්ර ජීවීන්ගේ පරිවෘත්තීය ක්රියාව සිදුවන ආකාරය පිළිබඳ අවබෝධයක් නොමැති පුද්ගලයින්ගෙනි. ක්ෂුද්ර ජීවීන් මාරාන්තික නොවන මාත්රාවන්ට නිරාවරණය වන සෑම විටම එය විෂබීජ නාශක, ප්රතිජීවක යනාදියට එරෙහිව ප්රතිරෝධය වර්ධන ය කරනු ඇති අතර මාරාන්තික මාත්රාවෙන් පවා විනශ කිරීම දුෂ්කර කරයි. අප සැවොම දන්නා පරිදි මෙම SARSCOV2 වෛරසය වේගයෙන් විකෘති වන අතර, එය මාරාන්තික නොවන විෂබීජ නාශක මාත්රාවන්ට නිරාවරණය කිරීමෙන් එය විකෘති අනුපාත වැඩි කරන අතර වෛරසයේ නව ක්රියා වලට මග පාදයි.
ඕසෝන් විෂබීජ නාශක කුටි නැවතත් ඉදිරියට එන අතර නියමිත ඕසෝන් සාන්ද්රණය OSHAS මාර්ගෝපදේශ තුළ ඇති අතර එම අගය මානව හිතකාමී වේ. නමුත් මෙහි අහිතකර බලපෑම් දෙකක් ඇත. පලමුවන්න මාරාන්තික නොවන මාත්රාව නව විකෘති හා ප්රතිරෝධී ක්රියා වලට මග පෑදීමයි. දෙවෙන්න මිනිසාගේ ශ්වසන පද්ධතිය දුර්වල කිරීමයි, එනම් අඩු සාන්ද්රණයක ඇති ඕසෝන් මිනිසුන්ගේ ශ්වසන පද්ධතියේ එපිටිලියල් සෛල වලට සුළු වශයෙන් හානි කළ හැකිය.COVID19 සමඟ සටන් කිරීම සඳහා, මිනිසෙකුගේ අත්යවශ්යම කොටස ශක්තිමත් ශ්වසන පද්ධතියකි..
මෙම කුටියේ සෝඩියම් හයිපෝක්ලෝරයිට් භාවිතා කරන විට එහි විෂවීමේ හැකියාව ඔක්සිකාරක හැකියාව හා ද්රාවණයේ pH අගය මත රදා පවතීයි. සම හා ශ්ලේෂමය පටල හා සම්බණ්ධ වී ඇතිවන විඛාදන ක්රියාකාරිත්වය මගින් විෂවීම සිදුවේ. කුඩා ප්රමාණයක් අමාශගත වූ විට සැලකිය යුතු විෂ වීමක් නොපෙන්වන අතර විශාල ප්රමාණයක් අමාශගත වුහොත් ආමාශයේ තුවාල, පරිවෘත්තිය ආම්ලිකතාව, Hypernatremia හා Hyperchloremia වැනි තත්ව ඇතිවිය හැක. දීර්ඝ කාලයක් සම නිරාවරණයට ලක්වුහොත් සමේ ආසාදන හා සමේ හානිවීම් සිදුවිය හැකි අතර, ක්ෂණිකවම හෝ පසු කාලීනව සමේ ප්රතිකියා ඇති විය හැක .අධි සාන්දා දාාවණ මගින් සමේ රසායනික පිලිසුම් ඇති වේ. සෝඩියම් හයිපෝක්ලෝරයිට් ආශ්වාස කළහොත් ඇතිවන තත්වයන් පිළිබද තොරතුරු සීමිත වන අතර හයිපොක්ලොරයිට් පමණක් ආශ්වාස කලවිට වායු ගමන් කරන ඉහළ පෙදෙසේ අපහසුතාවයන් ඇති කල හැක .සෝඩියම් හයිපොක්ලෝරයිට් ඇසෙහි තැවරුණහොත් විෂවීම හා පිළිස්සීම් ඇති වේ. ඇසෙහි ඇති ස්වභාවික තෙතමනය විරංජකය සමග එකතු වී අම්ලයක් සාදනු ලබයි.
2020 අප්රියෙල් 17 දින පාරිසරික සෞඛ්ය, වෘත්තීය සෞඛ්ය සහ ආහාර සුරක්ෂිතතාව පිළිබද අධ්යක්ෂක මණ්ඩලය විසින් ප්රකාශිත සේවා ස්ථානයන්හි නව කොරෝනා වෛරසය පැතිරීම වළක්වා ගැනීම හා සුදානම සදහා වන මාර්ගෝපදේශයෙහි 8 වන පිටුවෙහි දැක්වෙන පරිදි ද විෂබීජහරණ කුටි නිර්දේශ නොකෙරෙයි. එලෙස විෂබීජහරණ කුටි විෂබීජහරණය සදහා නිර්දේශ නොකලද පොදු ස්ථාන, කර්මාන්තශාලා, සුපිරිවෙලදසැල් ජාල හා පොදු ප්රවාහන පද්ධති ආශ්රිතව පුද්ගලයින් විෂබීජහරණය කිරීම සදහා ස්ථාපනය කෙරෙමින් පවතියි.
එම නිසා මෙම පද්ධතිය භාවිතයේ අසාර්ථකත්වය හා රසායනික ද්රව්යය මගින් සිදුවන හානිකර අතුරුඵල සලකා බලා මෙම විෂබීජහරණ කුටි පද්ධති පොදු ස්ථාන, කර්මාන්තශාලා, සුපිරිවෙලදසැල් ජාල හා පොදු ප්රවාහන පද්ධති ආශ්රිතව ස්ථාපනය වහාම අත්හිටුවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ලිපිය සදහා දායකත්වය ලැබුණු පහත විද්වතුන්ටද ස්තුතීවන්ත වෙමු.
Poorna Vidanage (Chemical Engineer)
(PhD Candidate at Nanyang Technological University-Singapore and Probationary Lecturer University of Moratuwa)
Malki Ranasinghe.
MSc (Microbiology) Microbiologist/ABC aqua science
22/04/2020
පහුගිය දින වලදී අපි දැක්කා ජනතාව සිය දහස් ගනනින් මේ හයිලන්ඩ් පැල්වත්ත කිරිපිටි ඔන්ලයින් ක්‍රමයට ඇණවුම් කරණ ආකාරය.ඒ වගේම කිරි පිටි ලොරි පිටුපස සිය දහස් දෙනා පොරකමින් ඉල්ලුම් කරන ආකාරය. විශේෂයෙන් ජනතාව අන්තර්ජාලය ඔත්සේ ඉතා පහත් අයුරින් මේ දේශීය ආයතන වලට බැන වදින ආකාරය.ඇත්තටම ලන්කාවේ සියලු දෙනා මේ හයිලන්ඩ් පැල්වත්ත කිරි පිටි ඔන්ලයින් ඕඩර් කරනවානම් ආසන්නව 20% කට පමණයි මේ නිශ්පාදන ප්‍රායෝගිකව ලබා දිය හැක්කේ... .එහෙනම් මේ ක්‍රියාවලියේ වරද කොතැනද..? මම විශ්වාස කරන පරිදි ආයතනයකට තම ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දිය නොහැකිනම් ඒ පිලිබදව ඒ ඒ ආයතන විසින් ජනතාව දැනුවත් කිරීම කල යුතුය. නැත්නම් දිනකට සැපයිය හැකි ප්‍රමාණයට අදාලව ඔන්ලයින් ඕඩර් භාර ගැනීම කල යුතුය. අප්‍රේල් මස මුල් සතියේ ඇණවුම් පවා සමහරුන්ට නොලැබී යාමෙන් උරණ වූ ජනයාගේ අදහස් අන්තර්ජාලයේ ඒ ඒ අදාල පිටුවල මේ දිනවල දක්නට ලැබීම සුලභ කාරණාවක්...
පැල්වත්ත ආයතනයේ කිරි පිටි නිශ්පාදන යන්ත්‍රාගාර (Process Plant) 3 ක් තිබෙනවා.හයිලන්ඩ් ආයතනයේ මෑතක් වන තුරුම ක්‍රියා කලේ 1974 දී ස්ථාපනය කරන ලද ඩෙන්මාක් සම්භවයක් ඇති විසිර වියලන (Spray Drying) කර්මාන්ත ශාලවයි.නමුත් වසර කිහිපයකට පෙර ලොව ඇති විශාලතම විසර වියලන කර්මාන්ත ශාලා ගණයට සැලකිය හැකි ඩෙන්මාක් සම්භවයක් සහිත අලුත්ම කිරි යන්ත්‍රාගාරය නිපදවනවා...මේ සමග හයිලන්ඩ් ආයතන සතුව පවතින නිශ්පාදන ධාරිතාව දිනකට කිරි ලීටර් 320,000 කින් එකවර ඉහල නැංවෙන්නේ ජාතියේ කිරි සිහිනය සැබෑ කරමින්...මෙම ඩෙන්මාක් යන්ත්‍රාගාරයේ ධාරිතාවය පැල්වත්ත ආයතනයේ නිශ්පාදන යන්ත්‍රාගාර 3 හිම ධාරිතාවයටත් වඩා විශාල ලෙස වැඩි අගයක්...පැල්වත්තේ නිෂ්පාදන ධාරිතාවය දවසකට කිරි ලිටර් 255,000 විතර ප්‍රමාණයක්. හයිලන්ඩ් ආයතනයේ මුලු නිශ්පාදන ධාරිතාවය දිනකට කිරි ලීටර් 420,000 ක් පමණ ප්‍රමාණයක්. මේ ආයතන දෙක උපරිම ධාරිතාවයෙන් ක්‍රියා කරන්න මේ ආයතන දෙකට දිනකට කිරි ලීටර් 675,000 ක් විතර ප්‍රමාණයක් උවමනා වෙනවා.වැස්ස අඩු පහුගිය කාල සීමාවේ පැල්වත්ත ආයතනයට ලැබුනේ දිනකට කිරි ලීටර් 50 000 ආසන්න ප්‍රමාණයක්... ඒ වගේම හයිලන්ඩ් ආයතනයට දිනකට කිරි ලීටර් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ලැබුණා... ඒ කියන්නේ මේ ආයතන දෙකටම මෑතක් වෙනකම් ලැබුනේ දිනකට කිරි ලීටර් එක් ලක්ශ පන්ස් දහසකට ආසන්න කිරි ප්‍රමාණයක්... දැන් නම් වැසි කාලය නිසා මේ ආයතන දෙකටම ලැබෙන කිරි ප්‍රමාණය දිනකට ලීටර් දෙලක්ෂ පනස් දහස තරම් අගයකට වැඩි වෙලා.නමුත් පහුගිය දත්ත එක්ක වැසි සමයේ මේ වසරේ මේ ආයතන දෙකටම ලැබෙන උපරිම කිරි ප්‍රමාණය දිනකට කිරි ලීටර් 300 000 -350 000 අතර අගයක් වේ යයි සිතිය හැකියි.
සාමාන්‍යෙන් සම්පූර්ණ යොදය සහිත කිරි පිටි 1 kg පැකට්ටුවක් හදන්න එලකිරි ලීටර් 8.3 ත් 8.5 ත් අතර අගයක් වැය වෙනවා.දැන් මේ ලිටර් ලක්ෂ දෙකහ මාරම සම්පූර්ණ යොදය සහිත කිරි පිටි නිශ්පාදනයට යොදා ගතහොත් දිනකට නිපදවන්න පුලුවන් කිරි පිටි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 29.5 ක් වැනි ප්‍රමාණයක්. ඒක අපේ රටේ දිනක පරිභෝජනයෙන් 16% කට ආසන්න අගයක්. දිනක අවශ්‍යතාවය අපේ රටේ මෙට්‍රික් ටොන් 185 ක් විතර...දැන් ඔබට තේරෙනවා ඇති මේ ආයතන දෙකටම ලැබෙන කිරි ප්‍රමාණය අනුව රටට අවශ්‍ය කිරිපිටි ඉල්ලුම කිසිසේත්ම සපුරාලිය නොහැකි බව. උපරිම ධාරිතාවයට ලගා වූවත් රටේ දිනක අවශ්‍යතාවයෙන් 42% ක් පමණයි මේ ආයතන දෙකෙන්ම ලබා දිය හැක්කේ.හයිලන්ඩ් ආයතනයේ අලුත්ම ඩෙන්මාක් තාක්ෂණයෙන් යුත් කිරි පිටි යන්ත්‍රාගාරය (දිනකට කිරි ලීටර් 320 000 ක් නිශ්පාදනයට එක් කල හැකි) වසර කිහිපයකට ඉහතදී ඉදිකිරීමත් සමගම අතීත දත්ත සලකා බැලීමේදී මේ ආයතන දෙකේම දායකත්වය උපරිමය දායකත්වය 22% ක් වැනි අගයක පවතිනවා...මේ දායකත්වය 42% උපරිමයට යන්න නම් තවත් මේ ආයතන දෙක දිනකට කිරි ලීටර් ලක්ශ 4 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගත යුතුයි....මෙය ලේසි පහසු කටයුත්තක් නොවේ..
මේ දේශීය කිරි පිටි වල ගුණාත්මකභාවයේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ අපේ දේශීය ඉස්තරම්ම දේවල්. විශේෂයෙන් හයිලන්ඩ් ආයතනය මේ වෙනකොට ඔවුන්ගේ කිරි එකතු කිරීමේ විශිෂ්ඨ වැඩපිලිවෙල තව දුරටත් ශක්තිමත් කරන්න පටන්ගෙන..
ඇත්තටම කිරි පිටි කියන්නේ කිරි ද ? උත්තරයක් දීමට තරමක් අසීරුයි. නමුත් කිරි පිටි සහ නැවුම් එල කිරි කියන්නේ ඇත්තටම ප්‍රභේද දෙකක්..මේ කිරි පිටි නිශ්පාදනයේ අතීතය 1832 වැනි ඉතා ඈත අතීතයකට උරුමකම් කියනවා. ඉක්මනින් බැක්ටීරියා ක්‍රියාකාරීත්වයට ලක්වෙන කිරි කල් තබා ගැනීමේ ක්‍රමවේදයක් ලෙසටයි මේ කිරි පිටි ලෝකයට හදුන්වා දෙන්නේ. නමුත් එසේ කිරි පිටි වලින් සාදා ගන්නා කිරි සහ නැවුම් එලකිරි අතර පෝෂණ ගුණයෙහි සෑහෙන වෙනස්කම් පවතිනවා. කිරි පිටි වල නොයෙක් ප්‍රභේද තියනවා... අපේ රටේ බහුලව භාවිතා කරන්නේ සම්පුර්ණ යොදය සහිත කිරි පිටි (Full Cream Milk Powder) සහ මේද රහිත කිරි පිටි (Skim Milk Powder) කියන ප්‍රභේද දෙක..යම් ප්‍රභේදයක් සැලකූ විට එය නිශ්පාදන ක්‍රියාවලිය ලොව ඕනෑම තැනක එකම ආකාරයක් ගන්නවා. පොඩි වෙනස්කම් දකින්න පුලුවන්. ඒත් මූලධර්ම සියල්ල එක හා සමානයි.උදාහරණයක් විදියට මා විසින් අධ්‍යයනය කරන ලද අප්‍රිකානු මහද්වීපයේ පිහිටා ඇති සූඩානයේ DAL Dairy Group නැමැති කිරි පිටි නිශ්පාදන ආයතනයේ පිහිටා ඇති යන්තාගාරය සහ උපකරණ (Four Effect Falling Film Evaporator and Two Stage Drying Design by European Spray Dry Technologies UK) අපේ රටේ පැල්වත්ත ආයතනයේ ඇති යන්තාගාර උපකරණ වලට ඉතාමත්ම සමාන වෙනවා.(Designed by SSP India). එසේම කිරි පිටි නිශ්පාදනය පිලිබදව ලොව වැඩිම පර්යේෂණ සහ නිර්මාණ (Research & Design) සංඛාවකට උරුමකම් කියන නවසීලන්තයේ කැන්ටබරි විශ්ව විද්‍යාලයේ රසායන ඉංජිනේරු පීඨයේ මහාචාර්ය කෙන් මොරිසන් විස්තර කරනු ලබන Effective Milk Distributor Systems Design in Falling Film Evaporators සහ Upward V***r Flows in Falling Film Evaporators වැනි කිරි පිටි නිශ්පාදනය සම්බන්ධ නූතන සංකල්ප බොහෝමයක්ඒ අයුරින්ම පැල්වත්ත යන්ත්‍රාගාරයේ දැකගැනීමට ලැබීම විශේෂත්වයක්.
හයිලන්ඩ් ආයතනය මගින් එකතුකරගනු ලබන එලකිරි වල ගුණාත්මකභාවය ඉතාමත් විශිෂ්ඨ බව මෙහිදී ප්‍රකාශ කරන්න ඕන. ඒකට හෙතුව ඔවුන්ගේ ක්‍රමවත් කිරි එකතු කිරීමේ වැඩපිලිවෙල. මේ කාර්යෂම වැඩපිලිවෙල නිසා ආයතනයෙන් පරිබාහිර කිසිවෙකුට කිරි වලට යම් යම් දෑ එකතු කරමින් පරිමාව වැඩි කරමින් ගුණාත්මකබව පහතට හෙලන්න කිසිම අවස්ථාවක් නෑ.. කිරි පිටි වල ගුණාත්මකභාවය තීරණය කරන ප්‍රධානම සාධකය මේ කිරි වල ගුණාත්මකභාවය..මම ඉහත සදහන් කල වාශ්පීකරණ අටලු (Evaporators) වල උශ්ණත්ව අනුක්‍රමණයේ විචලනය අනුව රසායන ඉංජිනේරුවෙකුට ඉතා පහසුවෙන් මේ සෑදෙන කිරි පිටි පිලිබදව අදහසක් ගන්න පුලුවන්. 95% කට වඩා වැඩි අවස්ථා වලදී හයිලන්ඩ් කිරි පිටි නිපදවීමේදී මේ වාෂ්පීකරණ අටලු වල උෂ්ණත්වය Design Temperature වලට බොහෝ සමානවීම තුල හයිලන්ඩ් කිරි වල නැවුම් බව මනාවට ඔප්පු වෙනවා..
නිශ්පාදන ක්‍රියාවලිය සැලකීමේදී ඉතරම්ම දේවල් යයි පැවසුවාට මේ කිරි පිටි වල පෝෂණ ගුණය ඉතාමත් පහල අගයක පවතින බව අවිවාදයෙන් පැවසිය යුතුය. . කිරි පිටි නිෂ්පාදනයේදී විසිර වියලනයේදී යොදා ගනු ලබන සෙල්සියස් අංශක 170-190 පමණ වූ උණුසුම් වායු ධාරාවකට නිරාවරණය වීමේදී එහි ඇති ප්‍රෝටීන බොහෝමයක් විනාශ වීමත් සමගම (Protein Denaturation) ගුණාත්මකභාවය ඉතාමත් දරුණු ලෙස පහතට වැටෙනවා. මේනිසා එල කිරි වල ගුණාත්මකභාවය සමග සැසදීමේදී කිරි පිටි ඉතා පහල මට්ටමක පවතිනවා. කල්තබා ගැනීමේ කාලය අඩු පාස්චරිත කිරි, ප්‍රමිතිගත කිරි වැනි දෑහි ගුණාත්මකභාවය එල කිරි තරම් නොවූවත් කිරිපිටි වලට වඩා ඒවායේ ගුණාත්මකභාවය බොහොම වැඩියි. නමුත් ඒවා පානය කිරීමෙන්ද ඔබට අවශ්‍ය ප්‍රතිපල ලබා ගත හැකි වේ යයි සිතීම අනුවණ කමකි.
කිරි පිටි නිශ්පාදන්යේදී කිරි යන්ත්‍රාගාරයට ගැනීමට ප්‍රථම ඒවා ප්‍රමිති කරණය කල යුතුයි. මොකක්ද මේ ප්‍රමිති කරණය. ඔබ භාවිතා කරනු ලබන සම්පුර්ණ යොදය සහිත කිරි පැකට්ටුවක් අරගෙන බලන්න. එහි මේදය උපරිමය බර අනුව 26% -28%ත් අතර අගයක පැවතිය යුතුයි. ඒ වගේම මේදය නොවන ඝන ද්‍රව්‍ය 71% ක් සහ උපරිමය තෙතමනය 3% ක් පවතින්න පුලුවන්... තෙතමනය වැඩි තරමට නිශ්පාදකයාට වාසි සහගතයි. නමුත් 3% ඉක්මවූ විට කිරි පිටි කෙටි කලක් තුල ගල් වීමට පුලුවන්. මේ නිසා ඔවුන් 3% තෙතමනය කිරි පිටි වල පවත්වා ගන්නවා.. එතකොට කොහොමද මේ මේදය පාලනය කරන්නේ...නිශ්පාදකයා කවදාවත් 28% මේද ප්‍රමාණයක් කිරි පිටි වල තබා ගන්නේ නෑ... එහෙම උනොත් ඔහුට බටර් නිශ්පාදනයට යොදා ගත හැකි මේද 2% කින් අඩු වීමෙන් ඔහුට ලැබෙන ලාභය අවම වෙනවා. කිරි පිටි වල තිබිය යුතු මේද නොවන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය සහ මේදය අතර අනුපාතය 71/26 = 2.73 අගයක් ගන්නවා.. මේ අනුපාතය අපි එල කිරි වලත් සකසා ගන්න ඕනේ...මොකද නිශ්පාදන ක්‍රියාවලියේදී අපි කිසිවක් බාහිරෙන් එකතු කරන්නේ නැහැ.. ජලය පමණයි ඉවත් වන්නේ. මේ නිසා මේ අනුපාතයට සකසා ගන්න වැඩිපුර මේදය ඉවත් කරන්න අපි කිරි කෙන්ද්‍රාපසාරී උපකරණ තුලින් යැවීමෙන් ක්‍රීම් ලෙස ඉවත් කරනවා..
මේ ක්‍රීම් වල 40% ක් බර අනුව මේදය පවතිනවා. ඉතුරු සියල්ලම වාගේ මේද නොවන ඝණ ද්‍රවය සහ ජලය අඩු ප්‍රමාණයකුත් තිබෙනවා. මෙසේ කේන්ද්‍රාපසාරී උපකරණ තුලින් යවා ප්‍රමිතිගත කල කිරි තමයි සම්පූර්ණ යොදය සහිත කිරි පිටි වලය යොදා ගන්නේ... මෙහි මේදය සහ මේද නොවන ඝන ද්‍රව්‍ය එකතුව බර අනුව 11.5% ක් වැනි අගයක් ගන්නවා. ඉතිරි 88.5% ම ජලය. මේ ප්‍රමිතිගත කිරි වල ඇති මුලු ඝන ද්‍රව්‍ය ප්‍රමාණය 11.5 wt.% minimum (මේදය සහ මේද නොවන දෙකෙහි එකතුව )නිශ්පාදන ක්‍රියාවලියට සෘජුවම බලපැවැත්වෙනවා. කර්මාන්ත ශාලාවට ලබා ගන්නා නැවුම් එලකිරි වල මේදය 4% ක් සහ මේද නොවන ඝන ද්‍රව්‍ය 8% ක අවමයක් වත් පැවතිය යුතුයි.(12 wt% Total Solids) එවිටයි බටර් නිශ්පාදනයට අවශ්‍ය මේද කොටසුත් වෙන් කරගනිමින් ඉහත කී මුලු ඝන ද්‍රව්‍ය ප්‍රමාණය 11.5 wt.% ක් වන ප්‍රමිතිගත කිරි (Standardized Milk) කිරි පිටි (Full Cream Milk Powder) නිශ්පාදනයට යොදා ගත හැක්කේ.. එසේ නොවුනහොත් ජලය ඉවත් කිරීමට අධික පිරිවැයක් යොදන්න වෙනවා. ජලය ඉවත් කිරීමට Falling Film Evaporators නැමති දැවැත්ත Chemical Process Equipment භාවිතා කරනවා.. මේ උපකරණ මීටර් 20 ක් පමණ උසින් සහ මීටරයක් පමණ පලලකින් යුතුයි. ඇත්තටම මේ ක්‍රියාවලිය ඉතාමත් සංකීර්ණයි.
අපේ රටේ මේ ක්‍රීම් වලින් බටර් නිපද වෙනවා... ක්‍රීම් වල 40% ක් ඇති මේදය 82% ක් පමණ වන තුරු බටර් චර්නර් තුල භ්‍රමණය කිරීමෙන් සාන්ද්‍ර (Agglomerate) කරනවා.මෙහිදී මේදය එකට එකතු වීමත්, මේද නොවන ඝන ද්‍රව්‍ය දියරයක් ලෙස වෙනමත් වෙන් කර ගන්නවා. මෙම විශේෂ දියරය බටර් මිල්ක් ලෙස හදුන්වනවා... මෙය ඇත්තටම අධි පෝශණ ගුණයෙත් යුත් කිරි පිටි නිශ්පාදනයට යොදා ගන්නවා. මේවා මිලෙන් ඉතාම අධිකයි. මේ රටේ අපි මේ කිරිපිටි නිශ්පාදනය කරන්නේ නැහැ..
මට ලෝකයේ තියෙන ප්‍රමුඛ සමාගම් කිහිපයක ඉංජිනේරුවන් හදුනා ගන්න, එකට වැඩ කරන්න ලැබුණා. ඒ වගේම European Spray Dry Technologies වගේ කිරි පිටි නිශ්පාදන යන්ත්‍රාගාර නිර්මාණය පිලිබදව යුරෝපීය විශේෂඥ සමාගම් සමග සම්බන්දතා පවත්වන්න, ඔවුන්ගේ නිර්මාණ සහ ආසියාතිකරයේ උපකරණ නිර්මාණය සම්බන්දව විශේෂඥයන්ගේ අදහස් අතර සමානතා සහ වෙනස්කම් ගැබුරින් අධ්‍යයනය කරන්නත් අවස්ථාව ලැබුණා. විශේෂයෙන් ඉන්දියාවේ පිහිටා ඇති රසායන ඉංජිනේරු උපකරණ නිර්මාණය සහ ඉදිකිරීම පිලිබදව විශේෂඥ දැනුමක් ඇති SSP Pvt. Ltd ආයතනය සමග. https://www.sspindia.com/ ඔවුන් මේ කිරි පිටි නිශ්පාදනයේ ආසියාතිකරයේ විශේෂඥයින්... ඔවුන් පවා මේ කිරි පිටි භාවිතය එතරම්ම එලදායී දෙයක් ලෙස දකින්නේ නැහැ.විශේෂයෙන් ඔවුන් මේ කිරි පිටි නිශ්පාදනයට යොමු වෙලා තිබෙන්නේ අතිරික්ත කිරි කල්තබා ගැනීමේ ක්‍රමවේදයක් විදියට. ලෝකයේ වැඩිම කිරි නිශ්පාදනය කරන ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ වල තාමත් ප්‍රචලිත දියර කිරි භාවිතයයි.
දැන් ඔබට ඉතාමත් සරල අවබෝධයක් ලැබෙන්න ඇති මේ රටේ නිශ්පාදන ධාරිතාව, නිශ්පාදන කියාවලිය වගේම ප්‍රායෝගිකව සැපයීමට හැකි ප්‍රමාණය ගැන.. ඔබට දැන් තේරෙනවා ඇති ඔබ මෙතෙක් සිහින ගැන ගැන සිටි ඕඩරය ඇයි ඔබට නොලැබුනේ කියා...දැන්වත් මේ කිරිපිටි පිලිබදව අන්තගාමී ප්‍රතිපත්ති සහ අදහස් වලින් ලාංකික ජනතාව මිදිය යුතුමයි.
ඔබේ ඔය ඔලුවේ තියන කිරි පිටි මානසිකත්වය ඕනෑවටත් වඩා වැඩි තරම්. කිරි පිටි කියන්නේ අත්‍යවශ්‍ය ආහාරයක් සහ එයින් ඔබට දවසේ වැඩ කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා, උදේට කිරි එකක් බිව්වේ නැතොත් දවස ගෙවන්න අමාරුයි කියලා හිතෙනවනම් ඔබ ඇත්තටම ම්ත්‍යාවක් තුලයි ජීවත් වෙන්නේ..මිත්‍යාවෙන් මිදිලා අවබෝධයෙන් දේශීය කිරි පිටි පරිභෝජනය කරන්න...එතකොට මේ බොරු තරගය ජනතාව අතරින් නිකම්ම නැතිවෙලා යාවි
Article By-
Hasitha Tharinda Jayawardane
B.Sc Engineering(First Class Hons, University of Moratuwa), M.Sc( UoM),PG Training LNG Technology (KOGAS, South Korea), AMIESL, F(AKOFE), M(IAENG).M(IEPSL)
Profesional Chemical Engineer
Visiting Lecturer/ Energy Auditor (ISO 50001: UNIDO Certified) & Environmental Consultant
Former Factory Engineer-(Full Cream Milk Powder Operations) 2017-2018
Former Project Engineer For Sri Lanka-10 MT/day Full Cream Milk Powder/Skim Milk Powder Plant Design, Construction.and Commissioning Project with SSP India Pvt.Ltd. 2017
Four Effect Falling Film Evaporator and Two Stage Drying Plant Installation and Commissioning Project.
21/04/2020
ඉතිහාසයේ පළවෙනි පාරට WTI බොරතෙල් බැරලයක මිළ ඍණ අගයක් අරගෙනලු.එහෙම වෙන්න පුලුවන්ද? එහෙම උනොත් මොකද වෙන්නෙ? අපි තෙල් ගත්තොත් අපට සල්ලි දෙනවද? මොකද්ද WTI කියන්නෙ? මේ තියෙන්නෙ පොඩි පැහැදිලි කිරීමක්.
මොකක්ද මේ WTI?
WTI කියලා කෙටියෙන් හදුන්වන්නෙ West Texas Intermediate කියන එක.මේක Marker Crude එකක්.ලෝකෙ එක එක තැන්වල තියෙන තෙල් ළිං වලින් ගන්න බොරතෙල් වල සංයුතිය එකිනෙකට වෙනස්.හයිඩ්‍රොකාබන් ප්‍රතිශතය, සල්ෆර් ප්‍රතිශතය වගේ ඒවා. ඒ එක එක බොරතෙල් වර්ග මිල කරන එක standardize කරන්න තමයි marker crude කියන ඒවා හදුන්වලා දීලා තියෙන්නෙ. දැනට ලෝකෙ ප්‍රධාන marker crudes 4ක් පාවිච්චි වෙනවා. ඒක වෙනස් වෙන්නෙ region එකේ හැටියට.උදාහරණයක් විදියට ඇමෙරිකානු මහාද්වීපයේ WTI crude එකත් යුරෝපයේ Brent කියන crude එකත් තමයි marker crudes වෙන්නෙ. ලංකාව ඇතුලුව ආසියාතිකරයේ පාවිච්චි වෙන්නෙ Dubai-Oman කියන blend එක. එහෙමත් නැත්‍තන් මිශ්‍රණය. මීට අමතරව Opec Basket කියලා marker crude එකකුත් තියෙනවා අපි කවුරුත් දන්න OPEC (Organization of Petroleum Exporting Countries) සංවිධානයට අයත් රටවල් වල ප්‍රධාන බොරතෙල් වර්ග වල මිශ්‍රණයකින් හැදුන. ඕනම බොරතෙල් වර්ගයක් price කරන්නෙ මේ marker crudes වලට සාපේක්ෂව. උදාහරණයක් විදියට ඇමෙරිකාවෙ කොහේ හරි තෙල් ළිදකින් ගන්න තෙල් වල quality එක WTI crude එකට වඩා වැඩිනම් අපි ඒක price කරන්නෙ WTI+1.5 වගේ. ඒකෙ අදහස WTI බොරතෙල් බැරල් එකක මිල $40 නම්, අපි කතා කරපු අනිත් බොරතෙල් බැරල් එකක මිල $41.5 කියන එක. දැන් ඍණ අගයක් වෙලා තියෙන්නෙ ඔය කියන WTI crude එකේ Futures price එක.
මොකක්ද Futures price කියන්නෙ?
Crude oil market එක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා spot market සහ futures market කියලා. Spot market කියන්නෙ අපි කඩේකට ගිහින් බඩුවක් ගන්නවා වගේ. ඒකෙදි වෙන්නෙ අද දවසෙ බොරතෙල් බැරල් එකක මිලට on the spot බොරතෙල් ප්‍රමාණයක් මිලට ගන්න එක. Futures එකක් කියන්නෙ agreement එකක්. ඒකෙදි කරන්නෙ අනාගතේ යම් කිසි දවසක එකග වෙච්ච බොරතෙල් බැරල් ගාණක් මිළට ගන්නවා කියන එක. මෙතනදි වෙන්නෙ බොරතෙල් විකුණන කෙනයි මිළට ගන්න කෙනයි මූණට මූණ හම්බෙලා කතා කරන එක නෙවෙයි. මේ Futures සකස් කරන්නෙ comodity exchanges (උදාහරණ විදියට NYMEX- New York Merchentile Exchange, SIMEX-Singapore Merchantile Exchange) වලදි.අපි හිතමු NYMEX එකේ WTI වර්ගයේ බොරතෙල් බැරල් ලක්ෂයකට futures එකක් දැම්මා කියලා. එතකොට ඒ ගාණ විකුණන්න පුලුවන් කෙනෙක් seller විදියට futures contract එක ගනිද්දි ඒ බොරතෙල් බැරල් ගාණ මිලට ගන්න ඕන කෙනෙක් (හිතන්න refinery එකක් කියලා) buyer විදියට futures contract එක ගන්නවා. මේ දෙගොල්ලොම සන්නිවේදනය කරන්නෙ exchange එකත් එක්ක මිස මූණට මූණ නෙවෙයි.
අනිත් කාරණාව exchange එකත් එක්ක මුලදි agreement එකට ආපු buyer and seller දෙන්නා, agreement එක කල් පිරුණට පස්සෙ transaction එක, ඒ කියන්නෙ බොරතෙල් සහ මුදල් හුවමාරුව වෙනකන් ඉන්න ඕන කියල නියමයක් නෑ. Exchange එක විසින් නියම කරන දිනයකට කළින් ඕනනම් seller ට පුලුවන් WTI බොරතෙල් බැරල් ලක්ෂයක් විකුණන්න කැමති කෙනෙක්ට මේ contract එක විකුණන්න. එතකොට අලුතින් contract එක ගන්න කෙනා තමයි මිළදී ගන්න කැමති කෙනාට බොරතෙල් ටික සපයන්න ඕන. ඒ වගේම තමයි buyer ට පුලුවන් වෙන WTI බැරල් ලක්ෂයක් මිළට ගන්න ඕන කෙනෙක්ට මේ contract එක විකුණන්න. එතකොට මෙතනදි හුවමාරු වෙන්නෙ මේ futures contract එක මිසක් බොරතෙල් හෝ මුදල් නෙවෙයි. මං කියපු දෙයින් මේකෙන් කාරණා දෙකක් ඉස්මතු වෙනවා. ඒ කියන්නෙ මේ contract එක කල් පිරෙන දිනයක් තියෙන්න ඕන. ඒ වගේම contract එක එක්කෙනෙක් තව කෙනෙක්ට දෙන්න motive එකක් තියෙන්න ඕන.
Futures contracts නම් කරන්නෙ ඒක deliver කරන මාසෙ හැටියට. උදාහරණයක් විදියට June WTI Futures එකක් ගත්තොත් ඒකට අදාළ බොරතෙල් බැරල් ප්‍රමාණය ජූනි මාසය ඇතුළත මිළට ගන්න කෙනාට ලැබෙන්න ඕන. ඒ කියන්නෙ ඒ contract එක ජූනි මාසෙට කළින්, මැයි මාසෙ දවසක කල් පිරෙන්න ඕන. නිව්යෝර්ක් එක්ස්චේන්ජ් එකේ නම් මැයි 19 කල් පිරෙනවා. ඒ කියන්නෙ June WTI Futures එකක් මැයි 19 වෙනකන් අතින් අත හුවමාරු වෙන්න පුලුවන්. හැබැයි මැයි 19 වෙනිදට contract එක අතේ තියෙන buyer and seller ගනුදෙනුව කරන්න ඕන. මේ විදියට contracts වලින් ගනුදෙනු කරන්නෙ spot market එකේ දවසින් දවස තෙල් මිල උච්චාවචනය වෙන එකෙන් වෙන්න පුළුවන් පාඩුව නවත්තගන්න. ඒ කියන්නෙ futures වල මිලට වඩා spot prices වැඩි වෙනව වගේ පේනවනම් buyerට වාසියි contract එක දිගටම තියාගෙන කල් පිරුණට පස්සෙ තෙල් ටික ගන්න එක.
Futures වලදි marginal account කියල concept එකකුත් තියෙනවා. ඒකත් පැහැදිලි කරන්න ගියොත් මේක සංකීර්ණ වෙනවා.
කොහොමද මේ මිළ ඍණ උනේ?
අපි හිතමු කවුරු හරි බොරතෙල් ඕන කෙනෙක් May WTI Futures එකක් ගන්නවා කියලා. ඒවා මැයි මාසෙ delivery වෙන්න ඕන කියන්නෙ මේ මාසෙ 19 වෙනිදට කල් පිරෙන්න ඕන. හැබැයි ඇමෙරිකානු මහාද්වීපයේ රටවල් වල තෙල් වල ඉල්ලුම සෑහෙන අඩු වෙලා covid නිසා. Total Lockdown එකක් නොවුණත් ඒ රටවල පෞද්ගලික වාහන වලටම හුරු වෙලා තියෙන නිසා, කර්මාන්ත මත යැපෙන නිසා මේවා අඩුවෙන එක තෙල් වල ඉල්ලුමට සෑහෙන්න බලපානවා.පිරිපහදු කරපු තෙල් විකිණෙන්නෙ නෑ කියන්නෙ refinery වලට අලුතෙන් පිරිපහදු කරන්න බොරතෙල් ගන්න ඕන නෑ. ඒ නිසා එයාලා අරන් තිබ්බ May Futures දැන් cancel කරනවා. (නිකන් කරන්න බෑ.දඩයක් ගෙවන්න වෙනවා කියල හිතන්නකො. ඒ පාඩුව තමයි marginal account එකෙන් පැහැදිලි කරන්නෙ.නමුත් මේ අවස්ථාවෙදි එහෙම ගාණක් ගෙවලා හරි contract එක cancel කරන එක ලාභයි තෙල් ගේන්නයි ගබඩා කරන්නයි යන වියදම එක්ක බලද්දි.ඒ නිසා crude oil buyersලා May Futures cancel කරනවා)
දැන් අපි එමු crude oil seller ගාවට. මැයි මාසෙ මුල supply කරන්න කියල ගබඩා කරගෙන හිටපු තෙල් එළියට යන්නෙ නෑ මොකද buyers ල cotracts cancel කරපු නිසා. හැබැයි අනිත් පැත්තෙන් බොරතෙල් තෙල් නිපදවන එක නැවතිලත් නෑ. ඒ කියන්න ගබඩා වලට දිගටම බොරතෙල් එනවා. ඒ වගේම ජුනි මාසෙට දෙන්න තියෙන futures වල මිළ positive අගයක තියෙනවා. එතකොට මෙයාගෙ අරමුණ වෙන්නෙ බොරතෙල් ගබඩා හිස් කරල දාන එක ඉක්මනට. ඉතින් සල්ලි ගෙවලා තෙල් ගන්න කවුරුත් නැත්තන්, seller ට සිද්ද වෙනවා කාටහරි ගාණක් දීලා හරි තියෙන තෙල් ටික ගබඩා වලින් අයින් කරලා දාන්න. ඊළග මාසෙ contracts වලට ඉඩ දෙන්න. ඒ නිසයි හරියටම ඊයෙ (අප්‍රේල් 20) මේ මිළ ඍණ උනේ.
Spot price එකත් ඍණද?
දැනට ඍණ අගයක් වෙලා තියෙන්නෙ futures prices විතරයි. ඒකත් ඊයෙ විතරයි. මොකද පෙරේදට May contracts කල් පිරුණ එකෙන් තමයි ඔය ප්‍රශ්නෙ ආවෙ. ආයෙ ඊයෙ ඉදලා trade වෙන්නෙ ජුනි සහ ඊට ඉස්සරහ මාස වලට අදාළ contracts. හැබැයි මේක ලබන මාසෙත් වෙන්න බැරි නෑ මොකද Texas ප්‍රාන්තෙ බොරතෙල් production එක cut කරන්න බෑ කියලා තියෙනවා. Spot prices 20 වෙනිදා ඍණ උනේ නෑ.(ඉදිරියේ වෙන්න බැරිකමක් නෑ. මොකද storage ප්‍රශ්නය ඒකටත් බලපානවා) ඒක $0.01ක අවම අගයකට ඊයෙ ආව. (හැබැයි ඔයාලට තේරුම් ගන්න පුලුවන් 20 වෙනිදා WTI Crude එක marker එක විදියට පාවිච්චි කරන සහ WTI වලට වඩ quality එකෙන් අඩු crude oil වල spot prices ඍණ උනා කියන එක.) අද වෙද්දි Futures prices වැඩි වෙලා (තාම minus. හැබැයි value එක අඩුයි).Spot prices පවා Covid එන්න කලින් තිබ්බට වඩා සෑහෙන්න අඩුයි.
අනිත් කාරණාව මේ තත්වය කළින් කිව්ව අනිත් marker crudes වලට දරුණුවට බලපාලා නෑ. උදාහරණයක් විදියට WTI බැරල් එකක් $0.01ට අඩු වෙද්දිත් Brent Barrel එකක් $20ට විකිණුනා. ඒ කියන්නෙ මේ තත්වය බලපෑවෙ WTI crude එක marker crude එක විදියට භාවිතා කරන අනිත් බොරතෙල් වර්ග වලට. මොකද මම කිව්ව storage අවුල දරුණුවටම ආවෙ එයාලට.
අපට මේක වාසියට හරවගන්න තිබුණද?
කාලයක් එක්ක දැක්මක් ඇතුව වැඩකරානම් තිබුණා. ඒ කියන්නෙ මෙහෙම තත්‍ත්වයක් predict කරලා සූදානම් වෙනවා කියන එක නෙවෙයි. ඕනම රටකට තියෙන්න ඕන strategic reserves කියල දෙයක් බොරතෙල් වලට. හදිස්සියකට supplies නැති උනොත් පාවිච්චියට ගන්න තෙල් ගබඩා කරන්න පහසුකම්. අපේ රටේ එහෙම ලොකු reserve එකක් නෑ. හැබැයි ත්‍රිකුණාමලය චීන වරායෙ අපි තෙල් ටැංකි 101ක් අතෑරල දාලා තියෙනවා වල් වදින්න. මේවා සුද්ද කරලා ගත්තනම් මේ වෙලාවෙ බොරතෙල් අරන් ගබඩා කරන් තියාගන්න එකෙන් සෑහෙන්න ලොකු වාසියක් ගන්න තිබුනා. මොකද මේ වෙලාවෙ තෙල් නිපදවන අයට තියෙන ප්‍රශ්නෙ පොළොවෙන් උඩට ගත්ත තෙල් ටික ගබඩා කරල තියන්න ඉඩ නැති එක....
Futures contracts ගැන සමහර කාරණා මෙහෙම පැහැදිලි කරන්න අමාරුයි. අපේ නිව්ස් චැනල් වලත් "ඉතිහාසයේ පළමු වරට තෙල් මිල ඍණ අගයක් ගනී" කියනවා මිසක් හරි හමන් විදියට පැහැදිලි කිරීමක් නොකරන නිසයි මේක ලියන්න හිතුවෙ. මේක තේරුණාද දන්නෙත් නෑ. අපහැදිලියි වගේනම් සොරි.
28/12/2017
2017 උසස්පෙළ මාගෙන් රසායන විද්‍යාව ඉගෙනගත් විශිෂ්ටයින්...
උණුසුම් සුභපැතුම් !!! :)
05/10/2017
"Chemical and Process Engineer's Contribution Towards Milk Powder Manufacturing in Sri Lanka".
01/10/2017
"Process Engineering for a Sustainable Future"
National Chemical and Process Engineering Conference
COMPASS 2017
on 4th October 2017 at BMICH 12.30 p.m
07/01/2017
A year with Best Chemistry Results... :)
Total Students = 11 with A=2, B = 5, C=2 :)
Congratulations My students who are selecting to the Universities.
Bio District 119.....................(A) AB
Bio District 242.................... (A) BC
Maths District 80..................(B) AB
Bio District 157 ....................(B) BA
Bio District 219.....................(B) AB
Bio District 508.....................(B)CC
Bio District 625.................... (B) CA
Maths District 1024...............(C)SS
Bio District 1159....................(C) SC
2 more results to display... :)
Congratulations all... :)
- Hasitha Jayawardane